Sunday, 3 May 2020

සුළඟට පාවෙන ලංකාවේ එළවලු ගොවියා


මීට වසර 20 කට පමණ පෙර මගේ කිට්ටුවන්ත මිතුරෙක් මා හමුවට පැමිණියේය. ඔහු එවකට කුරුවිට ප්‍රදේශයේ කුඩා පරිමාණයෙන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිටියේය. 

"මචං නියම බිස්නස් එකක් තියෙනවා ඉන්වෙස්ට් කරනවා නම්. මම වැලිමඩ පැත්තේ පොඩි ඉඩමක් බදු අරන් අල හිටෙව්වා. උඹට හිතාගන්න පුලුවන්ද ප්‍රොෆිට් එක? එකට පහයි. වෙන කිසිම දේකින් ඔහොම ප්රෝෆිට් හොයන්න බැහැ මචං". ඔහු ඉතා තර්කනුකූලව තම ආයෝජනය සහ ලාබය පිලිබඳ අවංක විවරණයක් කළේය. 

මේ සැරේ මම අක්කර පහක අල දානවා. උඹ කැමතිද 50% දාන්න? ෂුවර් ප්‍රොෆිට් කේස් මචං". මට ඔහු කියූ අක්කර ප්‍රමාණය හරියටම මතක නැත. එය 5 ක් හෝ 15 ක් විය යුතුය. 

මගේ මිතුරා ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙකි. මේ යෝජනාව ඉතා වාසිදායක බව මට පෙනේ. එහෙත් ඒ වකවානුවේදී මම මගේ වෘත්තියට අදාළ ක්‍ෂේත්‍ර කිහිපයක ආයෝජනය කර තිබුනෙමි. එසේම මගේ බිරිඳගෙන්ද මේ සඳහා ලැබුනේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. එබැවින් මම මිතුරාගේ යෝජනාව ඔහුගේ සිත නොතැලෙන සේ ප්‍රතික්‍ෂේප කලෙමි.

එවර අර්තාපල් සඳහා ලැබුණු අධික මිල හේතුවෙන් ඊළඟ කන්නයේදී විශාල පිරිසක් අල වගාවට යොමු වී තිබුණි. එසේම රටේ ඇතිවූ අල හිගය හේතුවෙන් (එසේ යයි හේතු දක්වමින්) එවකට පැවති රජය අල සඳහා තිබූ ආනයනික බදු බොහෝ සෙයින් අඩුකළේය. මෙහි ප්‍රතිපලය වුයේ ඊළඟ කන්නයේ අර්තාපල් ගොවියාට තම අස්වැන්න ඉතා අඩු මිලකටවත් විකුණා ගැනීමට අපහසු වීමයි. මගේ මිතුරා ලක්ෂ ගණනක මුදලක් පාඩු කරගෙන තිබුණි. 

 වරද කොතැනද? 

මේ අර්තාපල් පමණක් නොව ලංකාවේ වවන ලූණු, තක්කාලි, අනෙකුත් එළවලු ආදී බොහොමයක් කෙටි කාලින බෝග සඳහාද  වලංගු වන සත්‍යයකි. එක කන්නයකදී කුමක් හෝ හේතුවක් නිසා බෝගයක මිළ විශාල ලෙස ඉහල ගිය විට සියලු දෙනා එම බෝගය වගා කිරීමට පෙළඹේ. එවිට එහි අස්වැන්න කුණු කොල්ලයටවත් විකුණා ගත නොහැකි තත්වයක් උදාවෙයි. 

එසේම පැවති බොහෝ රජයන් විසින්ද කරනු ලබන ඉතා පහත් නොපනත්කමක් ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ ලොකු ලූණු සහ අල සඳහා වැඩි කරනු ලබන බදු පිළිබඳව සලකා බලමු. මේ බෝග වල වැඩි අස්වැන්නක් ලැබුණු විට ගොවියා රැකගැනීමට කියා රජය මේ සඳහා වන ආනයනික බදු ඉහල දමයි. බැලූ බැල්මට යහපත් ක්‍රියාවක් සේ පෙනෙන නමුත් මේ වැඩිකිරීම කරන කාල වකවානු පිළිබඳව සැලකිල්ලට ගැනීම වැදගත්ය.  

ආණ්ඩුව විසින් ලූණු සහ අල වැඩි අස්වැන්නක් ලැබුණු විට සාමාන්‍යයෙන් අගෝස්තු මැද භාගයේ සිට මේ සඳහා පවතින බද්ද 150% පමණ වැඩි කරයි. මෙහිදී රජය ගෙනෙන තර්කය නම් මෙමගින් ගොවියා ආරක්ෂා කරගත හැකි බවයි. එහෙත් සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. 

ලංකාවේ අල වගාව පෙබරවාරි-මැයි සහ සැප්තැම්බර්-දෙසැම්බර් කාලවල නුවර එළියේද මැයි-අගෝස්තු අතර බදුල්ල දිස්ත්‍රික්කයේද සිදු කෙරේ. මේ අනුව අගෝස්තු වන විට අල වගාවේ අස්වැන්න නෙලාගෙන හමාරය. ලූණු වගාව සාමාන්‍යයෙන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කල හැකි අතර සැප්තැම්බරයේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල අගෝස්තු මුල් සතිය වන විට ලූණු අස්වැන්න නෙලා ගනී. ලංකාවේ සාමාන්‍ය ක්‍රමය නම් මේ බෝග දෙක සඳහාම අස්වැන්න නෙලීමට පෙර මිළ ලකුණු කරගෙන තොග වෙළෙන්දාට විකිණීමයි. එවිට තොග වෙළෙන්දා ගොවි පොලට ගොස් අස්වැන්න එකතු කරගනී. මීට අමතරව සුළු පරිමාණ වගා කරුවෝ අස්වැන්න නෙලූ විගසම ලොරිවලින් තොග වෙළදසැල් කරා තම අස්වැන්න ගෙනියති. ඊට හේතුව ඔවුන්ට ගබඩා පහසුකම් නොමැති වීමය.

ඒ අනුව මෙම බදු වැඩි වීම ප්‍රකාශ කරන විට අල සහ ලොකු ලූණු යන නිෂ්පාදන දෙකම තොග වෙළෙන්දා ළඟය.

මේ අනුව මෙම බදු වැඩි කිරීමෙන් විශාල වශයෙන් වාසි ගන්නේ රජය සහ තොග වෙළෙන්දාය.

විඳවන්නේ ගොවියා සහ පාරිභෝගිකයාය. 

මම මැලේසියාව, තායිලන්තය සහ ඊශ්‍රායලය යන රටවල රාජ්‍ය කෘෂි කළමනාකරණය පිළිබඳව යම් පමණකට කරුණු දනිමි. එම රටවල සියළු මහා පරිමාණ ගොවියන් රජයේ අදාළ කෘෂි කළමනාකරණ ආයතනයක ලියා පදිංචි විය යුතුය. සුළු පරිමාණ ගොවියන්ට තම අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය ආයතනයක ලියා පදිංචි විය හැක. මෙම ආයතන ආර්ථික, කෘෂිකාර්මික, දේශගුණික, සංඛ්යානමය පරාමිති රාශියක් විශ්ලේෂණය කර රටට සහ ගොවියාට උපරිම ලාබයක් ලැබෙන ආකාරයෙන් වගා කලයුතු බෝග මොනවාදැයි සොයාගනී.

මේ අනුව එක් එක් ප්‍රදේශවල ඊළඟ කන්නය හෝ කන්න කිහිපය සඳහා වගා කලයුතු බෝගය රජය විසින් නිර්දේශ කරයි. මහා පරිමාන ගොවියන් මේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතු අතර සුළු පරිමාණ ගොවියාට ඒ පිළිබඳව ස්වයං තීරණ ගැනීමේ අවස්තාව ලබා දෙයි. ඊශ්‍රායලය මෙම විශ්ලේෂණ සඳහා ලෝක වෙළඳපොලේ හැසිරීමද අධ්‍යනය කරයි. මෙම විශ්ලේෂණයන් සඳහා මේ වනවිට ඉතා නිරවද්‍ය ප්‍රතිදාන ලබාදෙන මෘදුකාංග නිෂ්පාදනය කර ඇත. එබැවින් අවශ්‍ය ආදාන දත්ත සැපයූ විට ඉතා කෙටි කාලයකදී නිර්දේශ ලබාගත හැක. 

ලංකාව ඉතා ඉක්මණින් මෙතැනට පැමිණේවා යැයි අපි ප්‍රර්ථනා කරමු. 



3 comments:

  1. මේ අනුව මෙම බදු වැඩි කිරීමෙන් විශාල වශයෙන් වාසි ගන්නේ රජය සහ තොග වෙළෙන්දාය. คาสิโนออนไลน์

    ReplyDelete