Wednesday, 16 June 2021

ලංකාවට නිදහස ලැබුනේ කවදාද?


මා පලකල පෝස්ට් එකක එක් හිතවතෙක් ඉහත පැනය අසා තිබුණි. ඔහු බලාපොරොත්තු වන්නේ ඔහුගේ දේශපාලන දැක්මට අනුගත වූ අහිංසක පිළිතුරක් බව මට හැඟෙයි. ඔහුගේ අරමුණ කෙසේ වුවත් එම පැනය ඉතා රසවත් සාකච්චාවකට දොරගුළු විවර කරයි.

රටක් යනු යම් බිම් කඩකි. එවැන්නක් නිදහස් වීම යන්නෙහි අර්ථයක් ඇත්දැයි මට ගැටළුවක් ඇතිවෙයි. ඊටත් පෙර අප විමසා බැලිය යුත්තේ නිදහස යනු කුමක්ද කියාය. නිදහස අර්ථ දැක්වීමට නම් අප මානව ඉතිහාසයේ ඇරඹුමට යායුතුය. 

කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මානවයා සමුහයක් ලෙස ඒකරාශී වීමේදී ඔවුන්ට සාමුහික මග පෙන්වීමක අවශ්‍යතාවය දැනෙන්න ඇත. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ඔවුන් නායකත්වයක් සොයා ගැනීම ස්වභාවිකය. මේ නායකත්වය විසින් ලබා දුන් මගපෙන්වීම වෙනුවෙන් සමූහයට යම් ගෙවීමක් කිරීමට සිදුවිය. මරා ගත් සතාගේ හොඳම මස් කුට්ටිය, සමුහයේ සිටින රුමත්ම කාන්තාවන්, සමුහයේ ශ්‍රමය, ආදී වශයෙන් මෙම ගෙවීම කරන්න ඇත. නමුත් ඔවුන් විශාලම ගෙවීම කලේ එයින් නොවේ. ඒ ඔවුන්ට තනි තනිව සිටින විට හිමිව තිබූ සිතීමේ, කතා කිරීමේ සහ කටයුතු කෙරීමේ හැකියාවෙනුයි. මෙම සීමා කිරීම සමුහ පාලනය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වූ අතර එක් එක් නායකයා මත මෙම සීමාවන්ගේ දිග පළල තීරණය විය. මා අර්ථ දක්වන ආකාරයට නිදහස යනු මෙම මානවයා සතු සිතීමේ, කතාකිරීමේ (භාෂණයේ) සහ කටයුතු කිරීමේ  හැකියාවයි. මනා සමුහ පාලනයක් සඳහා මෙම නිදහස සීමාකිරීම අත්‍යවශ්‍ය වෙයි. නමුත් එහි සීමා මායිම් මොනවාද? මෙය වැදගත් පැනයකි. 

ශිෂ්ඨාචාර ඉදිරියට ඇදෙද්දී නායකයා පාලකයා බවට පත්වෙමින් ඔහු වඩ වඩාත්  සමුහයේ නිදහස සීමා කර ඇති බව පෙනෙයි. මෙහිදී පාලකයා  තමාගේ කාර්යභාරයෙන් ඉවත්වී ස්වාර්ථය පිණිස කටයුතු කිරීම වැඩි කරන තරමට (අද වචනයෙන් නම් දූෂණය, භීෂණය, වංචාව වැඩි වන තරමට) ඔහු සමූහයේ නිදහස් සීමා කිරීම වැඩි කරන්න ඇති බව අපට නිගමනය කල හැක. 

යම් රටක පාලනය පවතින පාලන තන්ත්‍රය පරදා තම අනසකට නතු කරගැනීම එම බිම් කඩෙහි අයිතිය හුවමාරු කරගැනීමකි. මෙහිදී රටවැසියාගේ නිදහස අඩු වෙනවාද වැඩි වෙනවාද යන්න ඒ ඒ අවස්ථාව මත රඳා පවතී. උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු එළාර රජුගෙන් බිම්කඩෙහි අයිතිය ලබා ගැනීම රටවැසියාගේ නිදහසට කෙසේ බලපාන්න ඇත්දැයි පුරාවිද්‍යා සාක්ෂි මත නිගමනය කල යුතු කරුණකි. සමහර විට මෙම සටනින් දුටුගැමුණු පැරදුනා නම් එළාර විසින් ලංකාවම අත්පත් කරගැනීමට ඉඩකඩ තිබුණි. එසේ නම් අද අප එළාර වීරයෙකු සහ දුටුගැමුණු දුෂ්ටයෙකු ලෙස නම් කරනු ඇත.

නිදහසේ සීමාවන් පිළිබඳව මානවයා තුල පවතින මිනුම් සලකුණු (benchmarks) විවිධාකාර වේ. සාමාන්‍යයෙන් වැසියන්ගේ නිදහස ක්‍රම ක්‍රමයෙන් කප්පාදු වන විට හෝ ඇතිකරන වෙනස යම් කාල සීමාවක් ඉක්මවා පවත්වාගෙන යනවිට ඔවුන්ට ඒ පිළිබඳව දැනීමක් නැතිවෙයි. මේ අනුව ඔවුන් කාලයෙන් කාලයට තම මිනුම් සලකුණ වෙනස් කරගනිමින් ඉතා කටුක තත්වයක් වුවද සාමාන්‍ය ස්වභාවය යයි සම්මතයක් ඇති කරගනියි. ඉතිහාසයෙන් මේ සඳහා ගත හැකි උදාහරණයක් නම් ඇමරිකාවේ සිටි වහලුන්ය. ඔවුන් බොහෝ දෙනෙක් තමන්ව වහල්බාවයෙන් මුදවාලනවාට කැමැත්තක් නොදැක්වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. වර්තමානයේ මේ සඳහා ගත හැකි හොඳම උදාහරණය චීන වැසියන්ය. බොහෝ සාර්ථක පාලකයෝ රටවැසියන්ගේ මේ මනෝභාවය පිළිබඳව හොඳින් අවබෝධ කරගත් අය වෙති.

මිනිසුන්ට තමන්ගේ නිදහස කප්පාදු කර ඇති බව හැඟෙන අවස්ථා තුනක් ඇත. ඉන් පළමුවැන්න කවරෙකු විසින් හෝ ඔවුන්ට ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමට තරම් දක්ෂ වීමයි. මාටින් ලූතර් කිං, චේ ගවේරා, නෙල්සන් මැන්ඩෙලා ආදීන් මේ සඳහා උත්සහ ගත් චරිත කිහිපයකි. ඔවුන්ගේ බලපෑම ඉතා විශාල සමාජ පෙරලියක් කිරීමට පාදක විය හැකි බැවින් අදාළ රටේ පාලකයන් මෙම චරිත විනාශ කරදැමීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. 

මිනිසුන්ට තමන්ගේ නිදහස සීමා කර ඇති බව හැඟෙන ඊළඟ කාරණය නම් එකවර විශාල වෙනසක් වීමයි. හොංකොං රාජ්‍යයේ පසුගියදා සිදු වුයේ එවැනි වෙනසකි. එහෙත් අප කලින් දැක්වූ පරිදි මෙම වෙනසට කාලයත් සමග මිනිසුන් හුරුවෙයි. හොංකොං රාජ්‍යයේ මෙන්ම බුරුමයේද මේ වෙන විට සිදුවෙමින් පවතින රටවැසියාගේ මේ හුරුවීම අපට අධ්‍යනය කල හැක. 

මේ පිළිබඳව ඇති තෙවන කාරණය නම් පාලනය තමන්ගේ කෙනෙකුගෙන් පරිබාහිර පිටස්තර පුද්ගලයෙකු හෝ බලවේගයක් විසින් අත්පත් කරගැනීමයි. ඉස්ලාම් ආක්‍රමණිකයන් බටහිර ආසියාව හරහා ඉන්දියාවට පැමිණෙද්දී බොහෝ වැසියෝ ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුහ. එහෙත් පසු කලෙක ඒ කැරලි ගැසූ අයගේ පරම්පරාම ඉස්ලාම් ආක්‍රමණිකයන් බවට පත්විය. මේ ආකාරයටම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අත්පත් කරගනිද්දී ලාංකිකයා කැරලි ගැසීය. මෙහිදී ස්වදේශික රජුන් යටතේ රටවැසියාට තිබූ නිදහස තවදුරටත් කප්පාදු උනාද එසේ නැත්නම් වැඩි වුනාද කියා අධ්‍යයනයක් කිරීම වටින්නේය. මේ ආකාරයට තමාව පාලනය කරන පාලන තන්ත්‍රය පිටස්තර බලවේගයක් නතු කරගත් විට වැසියන් ඊට එරෙහි වන්නේ ඇත්තටම ඔවුන්ගේ නිදහස අඩුවන නිසාද නැත්නම් පිටස්තර පාලනයකට දක්වන අකමැත්ත නිසාද යන්න හැදෑරීම අපි මතුවට තබමු.

පාලකයන් බොහෝ විට බලාපොරොත්තු වන්නේ රටවැසියන් තමන් වෙනුවෙන් බොහෝ දේ කැප කිරීමයි. මෙය තමන්ගේ මාලිගා තැනීමේ සිට තමන් වෙනුවෙන් "සතුරන්" සමග සටන් කර දිවි පිදීම දක්වා දිව යයි. නමුත් සාමාන්‍යයෙන් මානවයා තවත් මානවයෙකුගේ අණ දීම් පිළිගැනීමට මැලි බවක් දක්වයි. මේ මානසික අවස්ථිතිය යටපත් කිරීමට පාලකයා විසින් ඉතා සාර්ථක උපක්‍රම තුනක් භාවිතා කරයි.

ඉන් පළමුවැන්න නම් අජීවී බිම් කඩකට සංකල්පීය ජීවයක් ලබා දීමයි. මෑතකදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම වැඩසටහනකදී දැන්වීම් සහ අලෙවිකරණ ආයතන ගැනුම්කරුවන්ගේ මනෝභාවයේ අති සංවේදී ස්ථාන කිතිකවන ආකාරය පිළිබඳව විස්තර කරන ලදී. මෙහිදී ඔවුන්ගේ ප්‍රධානම උපක්‍රමය "අම්මා" යන යෙදුම භාවිතා කිරීමයි. එය එළදෙනගේ සිට ගෑස් සිලින්ඩරය දක්වා ව්‍යාප්තවී ඇත. මෙම වෙළඳ උපක්‍රමය පාලකයා විසින් ප්‍රයෝජනයට ගන්නේ මීට සහශ්‍ර කිහිපයකට පෙරයි. මේ අනුව ඔවුන් අජීවී බිම් කඩක් වන රටකට මව ආදේශ කර "මව්බිම" තනා ගනී. ඉංග්‍රීසියෙන් "motherland" ලෙසද ලොව වෙනත් සියලුම භාෂාවලින්ද මෙලෙස බිම් කඩක් වෙනුවෙන් අම්මා අලෙවිකරයි. "මව්බිම නැත්නම් මරණය" ආදී සටන්පාඨ මෙහි ඇති අති සාර්ථක බව පෙන්නුම් කරයි.

දෙවැන්න ආගමයි. තවත් කෙනෙකුගේ අණ දීම් පිළිපැදීමට අකමැති මිනිසා තමන්ගේ පංචේන්ද්‍රියට ගෝචර නොවන බලවේගයන්ගේ අණපනත් වලට කිසිඳු පැකිලීමක් නොමැතිව කීකරු වෙයි. මේ අනුව පාලකයා විසින් තමන්ට අවැසි දේ මහජනතාව මත පැටවීම සඳහා දෙවියන් මවා ඇති බව පෙනෙයි. මෙහිදී පාලක-පූජක සංයෝගය ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේ භෞතික නොවන බලවේගයන්ගේ අවශ්‍යතාවය කෙතරම් පාලකයාට අවශ්යවීද යත් එවන් ලෝ පාලක දෙවිවරුන් ප්‍රතික්ෂේප කල දහම් පිළිගන්නා රටවල පවා කෙසේ හෝ මිනිසාට අණ දීමට සමත් දෙවිවරුන් බිහිකරගෙන ඇත. සමහර අවස්ථාවලදී ගස්, කඳු හෝ පුජනීය ස්ථාන වලට අධිගෘහිත දෙවිවරුන් ලෙසද මේ බලවේග එළිදක්වා ඇත. 

තෙවැන්න ජාතියයි. ජාතියක් අර්ථ දක්වන්නේ යම් සමානතා ඇති සමුහයක් හැඳින්වීමටයි. නමුත් පාලකයා විසින් මෙම සංකල්පය ඊට වඩා බොහෝ සෙයින් තමාට පාලනය ගෙනයාම සඳහා උපකාරී වන්නාවූ කර්තව්‍යයකට යොදාගෙන ඇත. රටක පාලකයාට අමතරව ප්‍රාදේශීය නායකයන් තවත් උපකුලක රාශියක් පාලනයේ පහසුව සඳහා භාවිතා කරයි. කුලය, ගෝත්‍රය, වෘතිය මින් කිහිපයකි.  

දැන් අපි අපේ හිතවතාගේ පැනය දෙස බලමු. ලංකාව කෙසේ වෙතත් රටේ ජනතාවගේ නිදහස සාක්ෂාත් වූ අවස්ථා කිහිපයක් මෙරට ඉතිහාසයේ දකින්නට ලැබේ. 1948 පෙබරවාරි 4 වනදා මෙය සිදුවුනාද යන්න ප්‍රශ්නාර්ථයකි. මම දකින ආකාරයට මෑතකදී ජනතාවගේ නිදහස වැඩිවූ එකම අවස්ථාව 2009 මැයි මාසයයි. මෙහිදී නිදහසේ වැඩිම වර්ධනයක් සිදුවුයේ දෙමළ ජනතාවටයි. එය ලංකාවේ පමණක් නොව ලොව පුරා විසිරී සිටින දෙමල ජනතාවගේ නිදහසේ වැඩිවීමකි. ඔවුන්ට LTTE පාලන සමයේ තිබුනාට වඩා විශාල වශයෙන් සිතීමේ, භාෂණයේ සහ කටයුතු කිරීමේ නිදහස් හිමි විය. දකුණේ ජනතාවටද බියෙන් සැකෙන් තොරව ගමන් බිමන් යාමේ නිදහස හිමි විය. මෙය අප සැමගේ සතුටට කාරණයක් විය.

එහෙත් ඉන් වසර දොළහකට පසු මේ නිදහස පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්ද? 
 



Wednesday, 5 May 2021

අපොස උපෙ රටට සාපයක් නොවීමට



අපොස උසස් පෙළ තරඟ විභාගයක්ද? මේ පැනයට ලංකාවේදී බොහෝ විට ලැබෙන්නේ "ඔව්" යන පිළිතුරයි. මම රටවල් ගණනාවක අධ්‍යාපනය හා සම්බන්ධ වී ඇත්තෙමි. ඒ සෑම රටකම උසස් පෙළ හෝ ඊට සමාන කඩඉම් විභාගයක් ඇත. එහෙත් බොහෝ දියුණු රටවල මෙය තරඟ ඉසව්වක් සේ සැලකෙන්නේ නැත.

කඩඉම් විභාගයක් යනු දරුවෙකුට තමාගේ අනාගත වෘත්තීය තීරණය කල හැකි තවත් එක් අවස්ථාවකි. මෙවැනි විභාගයකින් බලාපොරොත්තු වන්නේ දරුවාට තමා යා යුතු දිශාව පිළිබඳව යම් මග පෙන්වීමක් ලබා දීමයි. නමුත් එයින් දරුවාගේ මග අහුරාලීම හෝ දරුවා යම්  මාවතකට බලහත්කාරයෙන් තල්ලු කිරීම සිදු නොවිය යුත්තකි. කෙනෙකුගේ හැකියාව සහ ප්‍රඥාව උද්දීපනය වීමට නිශ්චිත කාල වකවානුවක් නැත. එය ජිවිතයේ ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. දියුණු යයි සම්මත රටවල් දියුණු වීමට එක් මූලික හේතුවක් වන්නේ රටේ නීති සම්පාදකයන් මේ බව මීට දශක ගණනාවකට පෙර තේරුම් ගැනීමයි. 

ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල මේ කඩඉම් විභාගය තරඟ විභාගයක් වන්නේ උසස් අධ්‍යාපනයට රටේ ඇති ඉඩකඩ ඉතා සීමිත බැවිනි. මේ අනුව නොමිළේ අධ්‍යාපනය සඳහා  දරුවන් අතර ඉතා තියුණු අසහනකාරී තරඟයක් හටගනී. රටේ සියළුම දෙමව්පියෝ තමාට හැකි (හෝ නොහැකි වුවත් දහසක් ආර්ථික අතවරයන්ට මුහුණ දෙමින්) පමණින් දරුවාට අමතර අධ්‍යාපනය ලබා දෙමින් මේ තුරඟ තරංග පිටියේ ඔවුන්ව දුවවයි. මෙය මා දකින ආකාරයට නොමිළේ අධ්‍යාපනයේ එක් අඳුරු ප්‍රතිඵලයකි (මේ පිළිබඳව දීර්ඝ ලිපියක් මම වසර කිහිපයකට පෙර පළ කලෙමි). මේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක යෙදී විසඳුමක් ලබා දීමට අපි දැනටමත් දශක දෙක තුනක් පමාවී ඇත.

මේ වන විට ලෝකයේ ඕනෑම දියුණු රටක හෙදියකට ජිවිතයේ ඕනෑම අවස්ථාවක තම අත්දැකීම් සමග අදාළ පාඨමාලා හැදෑරීමෙන් වෛද්‍ය වෘත්තිකයකු විය හැක. නමුත් ලංකාවේ එසේ නොමැතිය. දැන් දේශීය අපොස උසස් පෙළ විභාගය නොකළ හෝ ඉන් යම් නිශ්චිත සාමාර්ථයක් නොලද කෙනෙකුට ලෝකයේ කුමන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තත් ලංකාවේදී එම වෘත්තියේ යෙදිය නොහැකිය. එසේම විදේශික වෛද්‍යවරයෙක් නොබෙල් සම්මාන ලාභියෙක් වුවත් ඔහුට ලංකාවේ සේවය කල නොහැක. 

මෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සහ විදේශ ගතව වෛද්‍ය විද්‍යාව හදාරන බොහෝ දරුවන් රට හැර යාමයි. මේ බොහෝ දෙනෙක් යම් ප්‍රමාණයක වත්පොහොසත්කම් ඇති පිරිසකි. ඔවුන් රට හැර යාමේ පල විපාක ඉතා කටුක විය හැක. 

කන්දක් තරණය කිරීමට තිබිය යුත්තේ එකම මගක් පමණක් යයි සිතන, ඒ සඳහා නීති පනවන, ජන සමාජයකින් ඈත්වීම ඔබගේ ජයග්‍රහණයක් වනු ඇත.  





Friday, 30 April 2021

අට වසර ගණිත ගැටළුවක් විසඳන්න පුලුවන්ද?


අසර්බයිජානේ හාදයෙක් මොංගෝලියාවෙන් ශීතකරණ ගෙන්වල තමන්ගේ රටේ විකුනන්න තීරණය කරනවා. ආනයනය කරන ශිතකරණයකට අසර්බයිජාන් ආණ්ඩුවෙන් 100% බදු ගහනවා. හැබැයි පොත්පත්වලට ඒ රටේ ආනයන බදු අයකරන්නේ නැහැ. අසර්බයිජාන්කාරය මොංගෝලියානු කොම්පැනියෙන් එකක් ඩොලර් 100 වන ශීතකරණ 1000 ක් ගෙන්නලා එකකින් ඩොලර් 40ක් ලාබ තියාගෙන විකුනන්න සුදානම් වෙනවා. ඒ කියන්නේ එක ශීතකරණයක් ඩොලර් 240 කට. ශීතකරණ දාහක් විකුණන කොට ඩොලර් 40,000 ක් ලාබයි. නරක නැහැ නේද?

මේ හාදයාගේ හොඳ යාළුවෙක් ඉන්නවා මොංගෝලියාවත් එක්ක නිතර ගනුදෙනු කරන. යාළුවට වැඩේ ආරංචි වෙලා මිනිහ ඇවිත් අපේ හාදයට යස උපදෙසක් දෙනවා. ඒක මොනතරම් අපූරූ අදහසක්ද කියල මේ හාදයට තේරෙන්නේ වැඩේ කෙරිලා ලාභය අතට එනකොට. මෙන්න මෙහෙමයි වැඩේ කෙරුණේ.

යාළුවගේ උපදෙස් අනුව අසර්බයිජාන් හාදය මොංගෝලියන් කොම්පැනියේ සේල්ස් මැනේජර්ට කතා කරලා මෙහෙම කියනවා.

"මට එකක් ඩොලර් 20 ගණනේ ශිතකරණ 1000 කට ඉන්වොයිස් කරන්න. ඒ එක්කම මොංගෝලියාවේ තියෙන එකක් ඩොලර් 1 ක් වෙන පොත් ලෝඩ් එකකටත් ඉන්වොයිස් කරන්න, එක පොතක් ඩොලර් 9 ගණනේ දාල. පොත් ලෝඩ් එක තීරණය කරන්න ඔයගොල්ලගේ කොම්පැනියට එකක් ඩොලර් 100 ගණනේ ශීතකරණ 1000 ටයි  පොතක් ඩොලර් 1 ගණනේ පොත් ලෝඩ් එකටයි මුදල් ලැබෙන විදියට". 

මොංගෝලියන් සේල්ස් මැනේජර්ට තේරුණා මේකෙන් ඒගොල්ලන්ට කිසිම පාඩුවක් නොවෙන වග. අනෙක මොංගෝලියාවේ රට ඇතුලේ නීතිරීති බොහොම තදට තිබුණට මොංගෝලියානු කොම්පැනි රටෙන් පිටත අයත් එක්ක කරන ගනුදෙනු වලදි ඇති වෙන ඔය සුළු සුළු අංක ගණිත ගැටළුවලට රජය අතගහන්නේ නැහැ.

ඉතින් අන්තිමේදී අසර්බයිජාන් හාදය ඉන්වොයිස්වල තිබුණ විදියටම බදු ගෙවල බඩු ටික ක්ලියර් කරගත්තා. 

දැන් ඔයාලගේ වාරේ.  

පොත් ලෝර්ඩ් එකේ පොත් කීයක් තිබුනද?

මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින්  හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?

මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?


                                           


Tuesday, 6 April 2021

සුහුරුව හිතන්න - Think smart

බැංකුවකට පැමිණි තරුණයෙක් තමාට මුදල් හදිස්සියක් ඇති බැවින් ඩොලර් 500ක් ණයට ගත හැකිදැයි කළමණාකරුගෙන් ඇසුවේය. ඒ සඳහා ඇපයට තම BMW ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථය තැබිය හැකියයි ඔහු පැවසීය. ඩොලර් 400,000ක්  පමණ වටිනා මෙම රථය ඇපයට තබා ගැනීම හොඳටම ප්‍රමාණවත් බව හැඟුණු බැවින් මුදල ලබා දීමට කළමණාකරු එකඟවිය. එහෙත් මසකට පොලිය 10% බව ඔහු පැවසීය.  මෙය ඉතාමත්ම අධික පොලියක් වුවත් (වසරකට වැල් පොලිය නොසලකා හැරියත් පොලිය 120%) තරුණයා කිසිඳු පැකිලීමක් නොමැතිව ඊට එකඟ විය. කාරය බැංකුවේ යටි මහලේ විශේෂ ආරක්‍ෂිත කලාපයේ ගාල් කිරීමෙන් පසුව ඔහු ඩොලර් 500 ද රැගෙන යන්න ගියේය.

මසකට පසු පැමිණි තරුණයා ඩොලර් 550 ලබා දී මෝටර් රථය රැගෙන යන්න හදද්දී, මේ ගනුදෙනුව සඳහා ලියකියවිලි සකස් කල තරුණ නිලධාරියා ඔහු වෙතට පැමිණ මෙසේ ඇසීය. 

"මහත්මයා මට සමාවෙන්න ඔබගෙන් පුද්ගලික පැනයක් අසනවාට. මෙතරම් වටිනා රථයක් තිබෙන ඔබට ඇයි මෙතරම් සුළු ණයක් ලබාගැනීමට සිදුවුයේ, මේ වගේ රථයක් ඇපයට තියල". 

සිනහවකින් මුව සරසා ගත තරුණයා මෙසේ කීය.

"මම ගිය මාසේ මගේ නිවස විකුණුවා ඉතා හොඳ ඉල්ලුමක් ලැබුණු නිසා. ඉන්පසු මම ලොව පුරා මාසයක් සංචාරය කිරීමට සිතුවා. සංචාරයෙන් පසු නව නිවසක් කුලියට ගැනීම මගේ අරමුණ වුණා. නමුත් ප්‍රශ්නය මම බොහොම ආදරය කරන මගේ මේ කාර් එක. මාසයක් කලින් ගේ ගත්තා නම් මට ඩොලර් 8000 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. වාහනය මාසයක් සුරැකිව රදවා ගැනීමට BMW සමාගම ඩොලර් 6000 ක මුදලක් ඉල්ලුවා. නමුත් ඔබේ බැංකුවට පිං සිද්ධ වෙන්න මම ඩොලර් 50 ගෙවා ඉතා සුරක්ෂිත තැනක කාරය තබා සැනසිල්ලෙන් ගමන ගොස් පැමිණියා".



Sunday, 28 March 2021

අනුරාධපුරයේ මහා සෑ ත්‍රිත්වයේ පිහිටීමට රණවිරු මහා සෑයේ බලපෑමක් ඇත්ද?

මා මේ ලියන්නේ මට කිසිසේත්ම අවබෝධයක් නොමැති කරුණක් සම්බන්ධවයි.

ගිය සිකුරාදා අප සරසවියේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකු අතර ඇතිවූ සතුටු සාමිච්චියකදී ඊජිප්තුවේ මූලික පිරමිඩ තුන පිළිබඳව කතා බහක් ඇතිවිය. එහිදී එක් මහාචාර්යවරයෙක් කියා සිටියේ මෙම පිරමිඩ තුන මගින් මානවයාට ගෝචර නොවන යම් බලවේගයන් අතර අන්තර් සම්බන්ධිත සංවේදනයක් සිදුවන බවයි. මම සාමාන්‍යයෙන් මෙවැනි අද්භූත කතා පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුවත් සංවාදය රසවත් වූ බැවින් අවධානය යොමු කරගෙන සිටියෙමි. 

මෙහිදී කිහිප දෙනෙකුගේම මතය වුයේ මෙම ශිෂ්ඨාචාරය පැවති වසර 3000 පමණ කාලය තුල (මෙම ශිෂ්ඨාචාරය අවසන් වී තවමත් ගතව ඇත්තේ වසර දෙදහසක් පමණ වේ) කිසිදු පාලකයෙක් මෙම පිරමිඩ තුනට යන්තමින් හෝ සමාන ප්‍රමාණයෙන් වෙනත් පිරමිඩ සාදා නැති බවයි. ඊට හේතුව මේ සන්නිවේදන ජාලයට එයින් බලපෑමක් ඇතිවිය හැකි වීම බව ඔවුන්ගේ මතය විය. මෙම සන්නිවේදන අද දක්වාම කෙරෙන බවත් තව වසර දහස් ගණනක් එලෙසම පවතින බවත් ඔවුන්ගේ මතය විය. 

මගේ පුදුමයට මෙන් එතන සිටි සියලුම වියතුන් පාහේ මේ කතාව තරයේ විශ්වාස කරන බව මට වැටහුණි. ඊළඟට ඇසුණු කතාවෙන් මගේ පුදුමය විශ්මයක් බවට පත්විය. 

මුලින් කතාව පටන් ගත් මහාචාර්යවරයා පැවසුයේ මෙම පිරමිඩවල වඩා සාර්ථක වූ නිර්මාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවයි. ඒවායේ ව්‍යුහයන්ගේ (structures) හැඩය සහ මාන අනුව ඇතිවූ වැඩි කාර්යක්ෂමතාවය නිසා ඒවා වඩා කුඩාවට සකසා අවශ්‍ය කාර්ය කරගැනීමට හැකිවූ බව ඔහුගේ අදහස විය. මට වැරදීමකින් ශ්‍රී ලංකා යන වචනය ඇසුනා දෝ යයි සිතමින් සිටින විට ඔහු ඉතා අපහසුවෙන් තම දුරකතනයේ වූ ගූගල් සෙවුම ආශ්‍රයෙන් (යැයි මම සිතමි) රුවන්මැලි සෑය, උච්චාරණය කරද්දී මට නොවැරදුනු බව පසක් විය. එතැන සිටි සියලු දෙනාම මා මැලේසියානුවෙක් යැයි සිතා සිටි බැවින් ඔවුන් මගෙන් මේ ගැන කිසිවක් නොවිමසීය. 

අද දින ලංකාවේ විද්‍යුත් පුවත්පත් බලන විට දුටු සඳහිරු සෑය හා සම්බන්ධ පුවත එකවරම මගේ මතකය වසර දෙක තුනක් පසුපසට ගෙන ගියේය. දිනක් මගේ දුරකතනයට ලංකාවෙන් ඇමතුමක් ලැබුණි. එකල අපි මැලේසියාවේ පදිංචිව සිටියෙමු. දුරකතනයෙන් ඇමතු මහතා (මට ඔහුගේ නම මතක නැත) ඇසුවේ ලංකාවේ ඉදිවන රණවිරු මහා සෑය මගින් අනුරාධපුරයේ ඇති මූලික දාගැබ් තුනේ පිහිටීමේ හැඩ තලයන්ට හානියක් නොවන්නේද යන්නයි.  සාමාන්‍යයෙන් මෙවැනි කරුණු දේශපාලනය හා සම්බන්ධ වන බැවින්ද මා ඇත්තටම ඒ ගැන කිසිවක් නොදැන සිටි බැවින්ද එම මහතා තුන් හතර විදියකින් ඇසූ එකම පැනයට මම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කලෙමි. 



Saturday, 27 March 2021

අමරණීය පානය


හූ මින්ග් රජු ඉතා කෘර පාලකයෙක් විය. වයස අවුරුදු 20 දී සිහනසුනට පත් වූ ඔහු ධනවත් සිටුවරුන්ගෙන් මෙන්ම දිළිඳු ගොවියන් ගෙන්ද ඉතා අසාධාරණ ලෙස බදු අය කළේය. බදු ගෙවිය නොහැකි ගොවියන් පවුල් පිටින් මරා දැමිය. ඔහු වසරේ වැඩි කාලයක් තම අධිරාජ්‍ය විශාල කරගැනීම සඳහා ගම් නියම ගම් ගිනිබත් කරමින්, අසරණයන් වහල්භාවයට පත් කරගනිමින්, ආක්‍රමණයේ යෙදුනේය. ඉහල පෙළේ සෙනෙවිවරුන් පවා ඔහුට වඩා දක්ෂ බව හැඟී ගියහොත් ඔහු සුක්ෂම ලෙස ඔවුන්ව අපරාධවලට පටලවා හිස ගසා දැමිය. කෙමෙන් ඔහුට, මතුපිටින් නොපෙන්නුවත් සිත යටින් අකමැති වූ සතුරන් විශාල ගණනක් බිහිවන්න විය. මෙය ඉවෙන් වැටහුණු හූ මින්ග් තදබල අසහනයකින් පෙලෙන්න විය. මේ නිසාම ඔහුගේ සැකය දිනෙන් දින උත්සන්න විය.

හූ මින්ග් රජුට ඉතා සට කපට උපදේශකයෙක් සිටියේය. ඔහු රජුගේ මානසික තත්වය වටහාගෙන රජුට කදිම උපදේශයක් දුන්නේය. 

"කඳුකරයේ වෙසෙන සාධුවරුන් කිහිප දෙනෙකු ලඟම අමරණීය වන පානයක් තිබෙනවා, එය පානය කළහොත් ඔබ සදාකාලිකවම මේ මුළු ලෝකයටම එකම අධිරාජ්‍යයා වනවා" උපදේශකයා කීය. 

මේ බව කන වැකුණු වහාම හූ මින්ග්, කඳුකරය පීරා සාධුවරයෙකුගෙන් අමරණීය පානය පැහැරගෙන එන ලෙස දන්වා සේනා පිටත් කර හැරියේය. මේ දරුණු සෙබළුන්ද කඳුකරයේ සිටින සාධුවරුන් අල්ලා ඔවුන්ගෙන් අමරණීය පානය තමන්ට ලබා දෙන ලෙස අණ කරන ලදී. තමා ළඟ එසේ පානයක් නොමැති බව පවසන සියළු සාධුවරුන් ඔවුහු මරා දැමුහ. 

මේ විනාශය දරා ගැනීමට නොහැකි වූ නැණවත් රටවැසියන් පිරිසක් කඳුකරයේ ඈත පෙදෙසක වෙසෙන ලූ ජයන් නම් ධ්‍යානලාභී සාධුවරයා හමුවී මේ ව්‍යසනයෙන් මානව සංහතිය ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. ලූ ජයන් තුමා ඔවුන්ට කියා සිටියේ තමා ළඟ අමරණීය පානය ඇති බව සෙබළුන්ට පවසන ලෙසයි. 

සෙබළුන් පැමිණි විට ලූ ජයන් තුමා කියා සිටියේ, තමා ළඟ අමරණීය පානය ඇති නමුත් එහි ඵල ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම එය තම පූජා භූමියේ ඇති ඉපැරණි රොන්ෂු ගස පාමුලදී පානය කල යුතු බවත්ය. 

මේ බව දැන් වූ විට ඉතා අකමැත්තෙන් වුවත් අමරණීය වීමට ඇති ලෝභය නිසා මෙම සාධුවරයාගේ භූමියට යාමට හූ මින්ග් කැමති විය. තමා අමරණීය වූ වහාම තමාව ඔහුගේ දෙපා මුලට ගෙන්වා ගැනීමෙන් කල අවමානයට සාධුවරයාගේ හිස ගසා දැමීම හූ මින්ග්ගේ අභිප්‍රාය විය. 

පූජා භූමියට ගිය හූ මින්ග් රජුට රොන්ෂු ගස මුලදී ලූ ජයන් තුමා විසින් ශාක පොතු තම්බා සකස් කල ඉතා තිත්ත පානයක් ලබා දෙන ලදී. ලූ ජයන් තුමා කියූ වත්පිළිවෙත් පිළිපැද ඉතා අපහසුවෙන් තිත්ත දියරය පානය කල හූ මින්ග් ඊළඟට ලූ ජයන් තුමාගෙන් ඇසුවේ තමා අමරණීය බව ඔප්පු කරන්නේ කෙලෙසද යන්නයි. 

ලූ ජයන් තුමා ඉතා යටහත් පහත්ව මෙලෙස කියා "නරෝත්තමයාණෙනි ඔබගේ ගෙලට කඩු පහරක් එල්ල කරන ලෙස ඔබගේ සෙබළෙකුට අණ කරන්න" 

තම අණින්ම හූ මින්ග්ගේ ගෙලට කඩු පහරක් එල්ල වූ අතර ඉන් ඔහුගේ ගෙල සිඳී හිස බිමට පතිත විය. මේ සමගම එතෙක් කලක් මුළු රටටම තිබූ හිසරදයක් නිමා විය. 



Friday, 12 March 2021

ඝර්ෂණ භූතයෝ

මේක ඒ දවස්වල මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මැතිතුමා පළමු වසර භෞතික විද්‍යා සිසුන්ට පවසන ජනප්‍රිය කතාවක්. 

විද්‍යාඥ පීටර් විසින් මතුපිටක ඝර්ෂණය පැහැදිලි කිරීමට මොඩලයක් ගොඩනැගීය. ඔහුගේ මතය අනුව ඕනෑම මතුපිටක ඇති සියුම් සිදුරුවල මිලියන ගණනක් වූ ඝර්ෂණ භූතයන් ජීවත්වෙයි. ඔවුන් තම වාසස්ථාන හරහා යමක් ගමන් කිරීමට දැඩිසේ  විරෝධය දක්වයි. මේ නිසා මතුපිටක් මත තව මතුපිටක් ඇතිල්ලෙන විට ඔවුන් වාසස්ථාන වලින් එලියට පැමිණ ගමන් කරන වස්තුව නවතාලීමට බලයක් යොදයි. මෙය ඝර්ෂණ බලය නම් වේ.

ඔහුගේ අදහසට විරුද්ධව අනෙක් විද්‍යාඥයන් ප්‍රශ්න රාශියක් අසන්නට විය. 

"එතකොට සුමට මතුපිටක ඝර්ෂණය අඩු ඇයි"

"එහෙම තැනක සිදුරු අඩු නිසා ඉන්න පුළුවන් භූතයන් ගණන අඩුයි" පීටර් ඉතා සරලව පිළිතුරු දෙයි 

"එතකොට අපි තෙල් තට්ටුවක් මතුපිට ආලේප කලාම ඝර්ෂණය අඩුවෙන්නේ ඇයි"

"අපොයි එතකොට භූතයෝ වැඩිදෙනෙක් තෙල් තට්ටුවේ ගිලිලා මැරෙනවා"

"අපි මුලින් බලය වැඩි කරනකොට ඊට සමානුපාතිකව ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට ලඟාවෙන්නේ ඇයි" 

"ඒක තේරුම් ගන්න හරි ලේසියි. මුලින්ම එන්නේ වසස්ඨාන වලින් එළියේ ඉන්න භූතයෝ. ඒ අයට නවත්ත ගන්න බැරි වෙනකොට ගෙවල් ඇතුලේ ඉන්න කට්ටියත් ටික ටික එකතුවෙනවා උදව්වට. ඉන්න ඔක්කොම භූතයෝආවට පස්සේ තවත් බලය වැඩි වෙන්නේ නැහැනේ" 

"මුලින් යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට එනවා (ස්ථිතික ඝර්ෂණය). ඊට පස්සේ මතුපිට මත අනෙක් මතුපිට ගමන් කරන්න පටන් ගත්තම ඝර්ෂණ බලය ටිකක් අඩුවෙනවා (ගතික ඝර්ෂණය). ඒ මොකද?"

"ආ ඒකද? කොච්චර මහන්සි උනත් නවත්තගන්න බැහැ කියල තේරුණාම සමහර කම්මැලි භූතයෝ වැඩේ අල්ල දාල ගෙවල් වලට යනවා". 

මේ ආකාරයට මොන ප්‍රශ්ණේ ගෙනාවත් පීටර් තර්කානුකුලව ඒවාට උත්තර දුන්න. 

අදටත් පීටර්ගේ ඝර්ෂණ මොඩල් එක මේ නිසා වලංගුයි.