හූ මින්ග් රජුට ඉතා සට කපට උපදේශකයෙක් සිටියේය. ඔහු රජුගේ මානසික තත්වය වටහාගෙන රජුට කදිම උපදේශයක් දුන්නේය.
"කඳුකරයේ වෙසෙන සාධුවරුන් කිහිප දෙනෙකු ලඟම අමරණීය වන පානයක් තිබෙනවා, එය පානය කළහොත් ඔබ සදාකාලිකවම මේ මුළු ලෝකයටම එකම අධිරාජ්‍යයා වනවා" උපදේශකයා කීය.
මේ බව කන වැකුණු වහාම හූ මින්ග්, කඳුකරය පීරා සාධුවරයෙකුගෙන් අමරණීය පානය පැහැරගෙන එන ලෙස දන්වා සේනා පිටත් කර හැරියේය. මේ දරුණු සෙබළුන්ද කඳුකරයේ සිටින සාධුවරුන් අල්ලා ඔවුන්ගෙන් අමරණීය පානය තමන්ට ලබා දෙන ලෙස අණ කරන ලදී. තමා ළඟ එසේ පානයක් නොමැති බව පවසන සියළු සාධුවරුන් ඔවුහු මරා දැමුහ.
මේ විනාශය දරා ගැනීමට නොහැකි වූ නැණවත් රටවැසියන් පිරිසක් කඳුකරයේ ඈත පෙදෙසක වෙසෙන ලූ ජයන් නම් ධ්‍යානලාභී සාධුවරයා හමුවී මේ ව්‍යසනයෙන් මානව සංහතිය ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. ලූ ජයන් තුමා ඔවුන්ට කියා සිටියේ තමා ළඟ අමරණීය පානය ඇති බව සෙබළුන්ට පවසන ලෙසයි.
සෙබළුන් පැමිණි විට ලූ ජයන් තුමා කියා සිටියේ, තමා ළඟ අමරණීය පානය ඇති නමුත් එහි ඵල ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම එය තම පූජා භූමියේ ඇති ඉපැරණි රොන්ෂු ගස පාමුලදී පානය කල යුතු බවත්ය.
මේ බව දැන් වූ විට ඉතා අකමැත්තෙන් වුවත් අමරණීය වීමට ඇති ලෝභය නිසා මෙම සාධුවරයාගේ භූමියට යාමට හූ මින්ග් කැමති විය. තමා අමරණීය වූ වහාම තමාව ඔහුගේ දෙපා මුලට ගෙන්වා ගැනීමෙන් කල අවමානයට සාධුවරයාගේ හිස ගසා දැමීම හූ මින්ග්ගේ අභිප්‍රාය විය.
පූජා භූමියට ගිය හූ මින්ග් රජුට රොන්ෂු ගස මුලදී ලූ ජයන් තුමා විසින් ශාක පොතු තම්බා සකස් කල ඉතා තිත්ත පානයක් ලබා දෙන ලදී. ලූ ජයන් තුමා කියූ වත්පිළිවෙත් පිළිපැද ඉතා අපහසුවෙන් තිත්ත දියරය පානය කල හූ මින්ග් ඊළඟට ලූ ජයන් තුමාගෙන් ඇසුවේ තමා අමරණීය බව ඔප්පු කරන්නේ කෙලෙසද යන්නයි.
ලූ ජයන් තුමා ඉතා යටහත් පහත්ව මෙලෙස කියා "නරෝත්තමයාණෙනි ඔබගේ ගෙලට කඩු පහරක් එල්ල කරන ලෙස ඔබගේ සෙබළෙකුට අණ කරන්න"
තම අණින්ම හූ මින්ග්ගේ ගෙලට කඩු පහරක් එල්ල වූ අතර ඉන් ඔහුගේ ගෙල සිඳී හිස බිමට පතිත විය. මේ සමගම එතෙක් කලක් මුළු රටටම තිබූ හිසරදයක් නිමා විය.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.