Sunday, 7 March 2021

මම කවුද? වේදාන්තය හා බුදුදහම දෙන පිළිතුරු

ආගම සහ විද්‍යාව යන කාරණා දෙකම බිහිවන්නේ සමාන මානව මනෝභාවයන් තුලින්. ආගම "මම කවුද" සහ විද්‍යාව "ලොව කුමක්ද" යන කුතුහලයන් මතත් මේ දෙකම "අපට ප්‍රත්‍යක්ෂ වන ජීවිතය සැපවත් කරගැනීම" යන සිතුවිල්ල මතත් බිහිවෙනවා. ආගම සහ විද්‍යාව යන කාරණා  දෙකේ සමානකම් සහ වෙනස්කම් මම කලින් කතා කර තිබෙනවා .

පහුගිය කාලයේදී මගේ අවධානය බොහෝ සෙයින් යොමු වුණේ "මම කවුද" යන පැනයට බුදු දහම සහ අද්වෛත වේදාන්ත සංකල්ප විසින් ලබා දෙන එකිනෙකට ඉතා සමාන එහෙත් පැහැදිලිවම වෙනස් පිළිතුරු දෙක පිළිබඳවයි.

මේ ගැන නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර අපූරු උපමාවක් ඉදිරිපත් කරනවා. අද්වෛත වේදානතයේ මම යනු කපු නූලක්. එහි ජිවිත නැමැති පබළු ඇමිණෙනවා. බුදුදහමේ මම යනු කෙඳි අඹරා සෑදෙන කඹයක්. මේ උපහැරණය මම තවදුරටත් ඉදිරියට ගෙන යයි නම් මෝක්ෂය යනු නූල නැවතත් පුළුන් බවට පත් කර එය විශාල සදාතනික පුළුන් ගොඩක් හා එක් කිරීමයි. එවිට තවදුරටත් පබළු ඇමිණීමට නූලක් නැහැ. නූලට අයත් පුළුන් යයි කීමට යමක් ඇත්තෙත් නැහැ. එය විශාල පුළුන් ගොඩක කොටසක් බවට පත්වී අවසානයි. 

නිර්වාණය යනු කඹයේ කෙඳි වෙන්කර තවදුරටත් කෙඳි සැපයීම නැවැත්වීමයි. එවිට තව දුරටත් කඹයක් පවතින්නේ නැහැ. 

මෙහිදී දර්ශන දෙක වෙනස් වන්නේ "මම" නැමැති භූතාර්ථයේ පැවැත්ම සම්බන්ධයෙන් පමණයි. "ආත්ම" සහ "අනාත්ම" සංකල්ප ඇතිවන්නේ මේ පදනම මතයි. මෙහිදී මරණින් මතු පැවැත්ම අද්වෛත වේදාන්ත සංකල්පයෙන් පැහැදිලි කරගැනීම ඉතා සරලයි. නමුත් බුදුදහම මේ සංසිද්ධිය පැහැදිලි කරන ආකාරය තවමත් මට අපැහැදිලියි.

අවසානයේ මම දකින්නේ මේ සංකල්ප දෙකම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්නා තුරු මොඩලයන් දෙකක් පමණක් වන බවයි. මේ නිසා තමන්ට අවශ්‍ය මොඩලය තෝරාගැනීම හෝ මොඩලයක් තෝරා නොගෙන සිටීම සෑම දෙනෙකුගේම අයිතියයි. 



Saturday, 27 February 2021

කපටියා අන්දන මෝඩයා ඇන්දෙන බිය හා බලාපොරොත්තුව

සුවිසල් දෙව් මැදුරේ අල්තාරය අභියස ඉතා මිල අධික ඇඳුම් පැළඳුම් වලින් සැරසුණු තරුණ විය නොඉක්මවූ කඩවසම් පාස්ටර් බුෂිරි දේශනාවක් පවත්වයි. 

"දේව දණ්ඩනයෙන් මිදී සියළු යස ඉසුරු ලබා ගැනීමට ඔබගේ වත්කම් දන් දෙන්න".

ඔහු දෙවියන් උදෙසා දන් දෙන යාන්ත්‍රණයද පැහැදිලි කරයි. එනම් අනුගාමිකයන්ගේ වත්කම් තම පල්ලිය වෙත නීත්‍යනුකුලව පවරා දිය යුතු බවයි. 

පසුගියදා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්වන විට ෂෙපර්ඩ් බුෂිරි සහ ඔහුගේ බිරිඳගේ වත්කම් දඩොලර් බිලියනයකට ආසන්න බව අනාවරණය විය. මලාවි ජාතික බුෂිරිගේ දඩයම් බිම දකුණු අප්‍රිකාව විය.  දකුණු අප්‍රිකාවේ ඔහුට සුවිසල් මන්දිර කිහිපයක්ම  තිබුණි. ලොව මිල අධිකම වාහන වෙළද නාම වල ඉහලම අන්තයේ  වාහන ගොමුවක් (fleet of vehicle) ඔහු සතු විය. 

ඔහු මේ සියළුම නිශ්චල දේපල හැරදා මලාවියට පලායන්නේ දකුණු අප්‍රිකානු සංචාරයකට පැමිණෙන මලාවි ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ බව පසුව අනාවරණය විය. ඔහුට ඇති වත්කම්වලට සාපේක්ෂව ඔහු අතහැර දමා ගිය දේ සොච්චමකි.

මා සේවය කරන විට්වෝටර්ස්රෑන්ඩ් සරසවියේ මනෝවිද්‍යා අංශය අප්‍රිකාව පුරා පැතිරෙන පාස්ටර් වසංගතය (නොයෙකුත් ක්‍රිස්තියානි නිකාය) පිළිබඳව සමාජ අධ්‍යයනයක් කරන බව මම දනිමි. මේ නිසා මම ඒ කණ්ඩායමේ එක් සාමාජිකාවක් සමග පිළිසඳරක යෙදුනෙමි. 

"චන්දිම, මිනිස්සු කාරණා දෙකක් නිසා මේ පාස්ටර්ලා පසුපස යනවා. ඉන් ප්‍රධාන කාරණය තමයි දේව බිය. මේක දැන් සියවස් කිහිපයකට පෙර යුරෝපීයයන් පැලකල මානසික සංකුලතාවයක්. අනෙක බලාපොරොත්තුව" ඇය පවසයි. 

යුරෝපියයා දේශාටනයේ යෙදුණේ අතකින් බයිනේත්තුවත් අනෙකේ බයිබලයත් රැගෙන බව ප්‍රකට කරුණකි. මෙය ඉතා සාර්ථක යුද ක්‍රමෝපායක් බව මට වැටහේ. තුවක්කුවේ භීතිකාව මරණයෙන් කෙලවර වේ. එවකට දියුණු මානව ශිෂ්ඨාචාර සතුවූ වස්තුව මංකොල්ල කෑම සඳහා තුවක්කුව මහෝපකාරී විය. දකුණු ඇමරිකාවේ සහ දකුණු ආසියාවේ ඔවුහු තුවක්කුව ඉහලින්ම භාවිතා කලෝය. එහෙත් අප්‍රිකාවේ තත්වය වෙනස් විය. එහි තිබුණේ වටිනා ඉඩකඩම් සහ භූගත වස්තුවයි. එය රන් රිදී දියමන්ති ලෙස පැවතුනි. මේ නිසා අප්‍රිකාවේ වස්තුව කොල්ලකන්න පෙර කළමනාකරණය කරගත යුතු විය. මේ සඳහා මානව සම්පත අත්‍යවශ්‍ය විය. මෙහිදී තුවක්කුවට වඩා බයිබලයේ හැකියාව ඉහල බව ඔවුන්ට වැටහෙන්න ඇත. 

ඔවුන් මුලින්ම මිනිසුන් අතර දේව බිය උපදවාලීය. ඒ වන විටත් ගෝත්‍රිකව බෙදී තමන්ගේ ආවේණික දේවත්වයන්ට බියෙන් ජිවත් වූ අප්‍රිකානු ජනතාව හැසිරවීම යුරෝපීය දේවගැති වරයන්ට අපහසුවක් නොවීය. ඔවුන්ට කළ යුතුව තිබුණේ පවතින දේව බිය එක් දෙවියෙකුගෙන් තව දෙවියෙකුට මාරු කිරීම පමණකි. මේ අනුව දේව බිය වෙනුවෙන් අප්‍රිකානුවා සිය දේපල පමණක් නොව ශ්‍රමයද සමහර විට තම ස්ත්‍රී පක්ෂයද සුදු මිනිසාට අවශ්‍ය පරිදි පරිහරණය කිරීමට ඉඩපහසුකම් ලබා දුන්නේය. 

අප්‍රිකාවේදී ඔවුන් ලද සාර්ථකත්වය මත ඔවුන්ගේ අනෙකුත් යටත් විජිතවලද තුවක්කුව බයිබලයෙන් ප්‍රතිස්ථාපනය කිරීම වඩා වාසිදායක බව ඔවුහු වටහාගත්හ. ඉතිරිය ඉතිහාසය විස්තර කරයි. 

බහුතරයකට ප්‍රඥා ගෝචර නොවන බලවේග සඳහා වූ බිය මත තම වර්ගයා හැසිරවීම මානව ඉතිහාසය පුරාවටම සියළුම ආගම්වල නැණවතුන් විසින් ක්‍රියාත්මක කර ඇති බව මගේ වැටහීමයි. මේ නැණවතා ගුණවතෙක් වූ විට සමස්ත වර්ගයාගේ යහපත සඳහාද කපටියකු වූ විට තමාගේ සහ තම පන්තියේ යහපත සඳහාද මෙම නොපෙනෙන බලවේග සඳහා වූ බිය හසුරුවා ඇති බව පෙනෙයි. මෙහිදී අප හොඳ-නරක හෝ යහපත-අයහපත ලෙස කරන වර්ගීකරණයද පවතින කාල අවකාශ රාමුවට සාපේක්ෂ වෙයි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ චිරාත් කාලයක සිට අද දක්වා පවතින දේව බිය මත පදනම් වූ කුල ක්‍රමය සැලකිය හැක. එය වසර තුන් හාර දහසක් පුරා සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉමහත්සේ දායක විය. එහෙත් නූතන සමාජයට එහි විශාල නොගැලපීමක් ඈති බව පසුගිය සියවස තුල පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඊට හේතුව මේ වකවානුවට අයත් සමුද්දේශ රාමුව තුල මානව සිතුම් පැතුම් රටාවේ ඇතිවූ වෙනසයි. 

බලාපොරොත්තුව යනු මිනිසා ජිවත්කරවන ප්‍රධාන මානසික ධාරාවකි. එය ලෝභය, තන්හාව, වෛරය, ක්‍රෝධය මෙන්ම භීතිය යන මානසික රටා සමග ඒකාබද්ධ වී ඇත. පැරණි ඉන්දියාවේ, චීනයේ මෙන්ම ඊජිප්තුවේද පූජකවරයන් රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ලබා ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ පාලකයාගේ හෝ බලය අත්පත් කරගන්නා පාර්ශවයේ බලාපොරොත්තුව බව පැහැදිලිවම පෙනෙයි. මෙය සාමාන්‍ය ජනතාව අතරද යෙහෙන් වැජඹීම සඳහා පුජකයන් යොදා ගෙන නැත්තේම නොවේ. 

එහෙත් වර්තමානයේ  මෙම "බලාපොරොත්තුව" ඉතාම පුළුල් හා සුක්ෂම ලෙස කපටියන් විසින් ජනතාව ඇන්දවීම සඳහා භාවිතා කරනු පෙනෙන්නට තිබේ. 

අප්‍රිකාවේ අති බහුතරයක් ජනතාව දරිද්‍රතාවයේ නිම් වළලු තුල දුක්ඛිත දිවි පෙවෙතක් ගත කරයි. එහෙත් සියවස් කිහිපයක සිට ඔවුන් ධනවතුන්ගේ ඉසුරුමත් ලෝකය සියැසින් දැක ඇත. ඔවුන් බොහෝ දෙනෙකුගේ සිතට කා වැදී ඇත්තේ මේ සුදු මිනිසුන්ගේ අසිරියට හේතුව සුදු මිනිසා අදහන දෙවියන් බවය. මේ නිසා අසරණ කළු මිනිසාගේ ඉහලම බලාපොරොත්තුව වුයේ එම දෙවියන්ගෙන් තමන්ටද තම පංගුව ලබා ගැනීමයි. සුදු මිනිසා තම බිමේ සම්පත් තම ශ්‍රමය මගින්ම සූරා කා සැපසේ දිවි ගෙවන බව ඔවුනට නොවැටහේ. මේ නිසා තමා පාගා ගෙන සිටින සුදු මිනිසාට එරෙහිව නැගී සිටි රැඩිකල් මිනිසුන්ද පිළිසරණ සෙව්වේ එම දෙවියා හරහාමය. පසු කලෙක නැණවත් කපටි කළු ජාතිකයන්ද මේ උපක්‍රමය අවබෝධ කරගත්හ. සියළුම සාර්ථක (තමා සහ පවුල) අප්‍රිකානු පාලකයෝ මේ පිළිබඳව හසල දැනුමක් ඇත්තෝය. 

පූජකයන් සහ දේශපාලකයන් පසු පස යන දුප්පත් අප්‍රිකානු ජනතාව ඔවුන්ට තම කැමැත්ත පමණක් නොව අසීරුවෙන් උපයන ධනයද පරිත්‍යාග කරන්නේ දෙවියන්ගෙන් ඒ සුපිරි පුද්ගලයන් ගෙවන ජිවිත ලබා ගැනීමේ පරම චේතනාවෙනි. මේ නිසා ඔවුන් සැමවිටම ඇදෙන්නේ ධනවත් සහ බලවත් කම් හොඳින්ම ප්‍රදර්ශණය කරන පූජකයන් සහ දේශපාලකයන් වෙතටය. මෙය විෂම චක්‍රයක කැරකෙමින් පුජකයා සහ දේශපාලකයා වැඩි වැඩියෙන් ධනවත් කරවන අතර අහිංසක පසුපස දුවන්නා තවදුරටත් දුගී කමෙහි ගිල්වා තබයි.

පාස්ටර් බුෂිරි යනු බිය සහ බලාපොරොත්තුව ඉතා සාර්ථකව සංකලනය කර ධනවත් ලොවේ ඉහලටම පිය නැගූ තවත් එක් පුද්ගලයෙක් පමණි. ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති චෝදනාව මුදල් විශුද්ධිකරණය මිස අසරණයන් මංකොල්ලකෑම නොවේ. මන්ද ඔහුට මුදල් දුන් සියළු දෙනාම සිය කැමැත්තෙන් සියළු පරිත්‍යාග කර ඇති බැවිනි. මනෝ විද්‍යාඥයන්ගේ මතය අනුව බුෂිරිගේ වත්කම් මාධ්‍ය මගින් වැඩිපුර හුවා දක්වන තරමට තව තවත් අනුගාමිකයන් ඔහු වටා රොක්වෙයි.  මේ සංසිද්ධිය ක්‍රිස්තියානි පමණක් නොව ඉස්ලාම්, හින්දු, බෞද්ධ ආදී නම් රාශියකින් ලොව පුරා ක්‍රියාත්මක වේ. 

බුෂිරිට සිදුවූ සුළු අත්වැරද්දක් නොවේ නම් ඔහු තවමත් කිසිඳු උපද්‍රවයක් නොමැතිව දකුණු අප්‍රිකාවේ වැජඹෙනු ඇත. තවත් බුෂිරිලා සිය ගණනක් තවමත් මෙහි සිටින බව නම් නොරහසකි. ඔබේ රටේ එය කෙසේද? 



Saturday, 20 February 2021

දැලි පිහියෙන් කිරි කෑම


කිරිපැණි කන්න ඇති එකම ක්‍රමය දැලි පිහිය විතරක් නම් එය ඉතා සාර්ථකව සිදු කල එක් රාජ්‍ය නායකයෙක් මගේ මතකයට පැමිණේ. ඒ පර්වේෂ් මුශාරේෆ්ය. 

ප්‍රාදේශීයව මතුවූ තලේබාන්, අල් කයිඩා, සහ මුජහිඩින් ත්‍රස්තවාදය මෙන්ම පිටතින් පැමිණි ඇමරිකානු, ඊශ්‍රායල සහ රුසියානු ජාත්‍යන්තර ත්‍රස්තවාදයද ඔහු අපූරුවට සමබර කරගෙන සෑහෙන දුරක් ගියේය. අවශ්‍යතාවයකදී න්‍යෂ්ඨික බලය ලබා දෙන බවට වූ රහසිගත ගිවිසුමක් යටතේ සෞදි අරාබියෙන් පකිස්තානයට ඩොලර් බිලියන ගණනක ආධාර ලබා ගැනීමට ඔහු සමත් විය. ඒ මුදලින් විශාල ප්‍රමාණයක් ඔහු අධ්‍යාපනයට සහ පර්යේෂණ සඳහා පොම්ප කළේය. මේ කාලයේදී පර්යේෂණ හෝ විද්‍යාත්මක වැඩමුළු සඳහා පකිස්තානයට ගිය අයෙක් ඇත්නම් එහිදී ලැබෙන තරු පහේ ආගන්තුක සත්කාරය පිළිබඳව අමතක නොවී ඇති බව මට ස්ථිරව කිව හැක. 

මුශාරෙෆ් බලයට පැමිණෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පරිබාහිරවය. ඔහු පැමිණි පසු සියළුම රජයේ ආයතනවලට පාහේ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරින් පරිපාලනය සඳහා යෙදවීය. සරසවි පවා මේ ක්‍රමවේදය තුලට ඇතුලත් කෙරුණි. එහෙත් මෙම හමුදා නිලධාරීන්ගේ පාලනය තුල බොහෝ ආයතනවල සිදුවූ අයාථා  ගනුදෙනු බෙහෙවින් අඩුවූ බව ඔහුගේ ප්‍රතිවාදීන් පවා පිළිගත් කරුණකි. එහෙත් මෙම දරඳඬු පරිපාලනය බොහෝ දෙනෙකුට දිරවා ගත නොහැකි විය. 

මුශාරෙෆ් බලයට පැමිණෙන්නේ අලි භූතෝ ගේ පටන් සියා උල් හක්ලා, නවාස් ෂෙරිෆ්ලා, අලි සධාරිලා විසින් දුෂණය වැපුරූ බිමකය. බෙනාසීර් භූතෝගේ පාලන කාලයේ රටේ දුෂණය මෙහෙයවුයේ අලි සධාරි බව සියළු පකිස්ථානුවන්ට නොරහසකි. මේ අනුව මුශාරෙෆ් දේශපාලන ප්‍රවාහයට අනුගත වෙන්නේ දෙකොන පත්තු කල වික්කුවක් වැනි  පකිස්ථානයක් පවතින වකවානුවකය. 

මුශාරෙෆ් තුල ඔහුටම ආවේනික වූ දුර්වලතා කිහිපයක් තිබුණි.  ජනතාවගේ වීරයා වීම උදෙසා සිදුකල අනවශ්‍ය ජනප්‍රිය මාධ්‍ය භාවිතය ඉන් එකකි. ඒ හැරෙන්නට ඔහු තරම් දෙකොන සමබර කරගෙන අතුරේ යාමට සමත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මා මෑත කාලයේදී දැක නැත. ඔහු ඇමරිකාව සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. තලේබාන් සහ අල්කයිඩා නායකයන් සමග විරසක නොවී ඔවුන්ගේ පකිස්ථානය තුල වූ ක්‍රියාන්විත සීමා කළේය. ඉන්දියාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කළේය. අතල් බිහාරි වජ්පායි මහතාගේ යුගයේ කාශ්මීර ප්‍රශ්ණයට ස්ථිර විසඳුමක් ලබා දීමේ ඉතා ආසන්නයටම පැමිණියේය. 

මුශාරෙෆ් යුගයේ පකිස්ථානයේ සිදුවූ අධ්‍යාපන, පර්යේෂණ සහ ආර්ථික ප්‍රබෝධය මම දෑසින් දුටුවෙමි. පකිස්ථානය සංවර්ධනය කල හැක්කේ විද්‍යා සහ තාක්‍ෂණ ලෝකයේ කෙල පැමිණීමෙන්ම පමණක් බව ඔහු තරයේ විශ්වාස කළේය. 

ඉහත හේතුව නිසාවෙන්ම වසර 2008 මැද භාගය වන විට මම පෞද්ගලිකව මගේ අනාගතය පකිස්ථානයේ ගොඩ නැගීමට තීරණය කලෙමි. ඉස්ලාමාබාද් නුවර පදිංචි වීම සඳහා නිවෙසක් පවා මිළදී ගැනීමට අපි අදහස් කරගෙන සිටියෙමු. එහෙත් මා තරයේ විශ්වාස කරන පරිදි ඔහු කිසිසේත් සම්බන්ධ නොවූ බෙනාසීර් ඝාතනයේ ප්‍රතිඵලයක් ලෙස 2008 අගෝස්තුවේදී මුශාරෙෆ්ට බලයෙන් ඉවත් වීමට සිදුවිය. වෙනත් කරුණු කිහිපයක් කෙනෙකුට මේ සඳහා ඉදිරිපත් කල හැකි වුවත්, ජනතාව අතර ඔහුගේ ජනප්‍රියභාවය වේගයෙන් දිය වීමට බෙනාසීර් ඝාතනය මුල්වූ බව මගේ වැටහීමයි.  මා මෙහිදී දකින්නේ සධාරි එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බාගත් බවයි. 

මුශාරෙෆ් තුල හමුදා නායකයෙකුගේ තිබිය යුතු යහගුණද හමුදා පාලකයෙකු ළඟ කිසිසේත් කෙනෙකු බලාපොරොත්තු නොවන යහගුණ කිහිපයක්මද තිබුණි. මෙහි පසු කාරණය සලකා බැලීම වැඩදායකය.

මැතිවරණයකින් තේරී පත්වූ හෝ මැතිවරණයකින් නැවතත් බලයට පත්වීමට එතරම් උනන්දුවක් නොතිබූ පාලකයෙකු ලෙස මුශාරෙෆ්ට විශාල වාසියක් තිබුණි. එනම් ජනතාවට බොරු කීමට හෝ බොරු පොරොන්දු දීමට අවශ්‍ය නොවීමයි. ඔහු යතාර්ථය ජනතාවට ඉදිරිපත් කළේය. මේ නිසා ඔහුට අවාසි සිදු නොවුනාම නොවේ. එහෙත් ඔහුගේ පාලන කටයුතු එයින් පහසු විය. මුශාරෙෆ් අයින් කල විට මුළු දකුණු ආසියාතිකරයම එකම මුසාවාදාවකි.

ඉස්ලාම් රාජ්‍යයක නායකයා වුවත් ඔහු කිසිම විටෙක තම පැවැත්ම සඳහා ආගම් වාදය හෝ  ජාතිවාදය යොදා ගත්තේ නැත. ඔහුගේ යුගයේ නුගත් පකිස්ථානුවන් තුල පවා නිදහස් අදහස් මතුවෙනු මම පැහැදිලිවම  දුටුවෙමි. 

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඔහු කිසිසේත්ම ආවේගශීලි (impulsive) හෝ ආක්‍රමණශීලී (aggressive) නොවීය. මේ නිසා රටේ ජනතාව තුල ඉන්දියන් විරෝධී, ඇමරිකන් විරෝධී ආදී වූ ඍණාත්මක හැගීම් බිහි නොවීය. එසේම ඔහු හිස කෙලින් තබාගෙන සියළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගනුදෙනු කළේය. මෙයට හේතුවූ තවත් ප්‍රධාන කරුණක් විය. ඔහු පිටරටින් ලැබෙන කොමිස් මුදල්, වරදාන වෙනුවෙන් රාජ්‍ය දේපල විකුණුවේ හෝ අත යටින් ගනුදෙනු කලේ නැත. පවුල්වාදය කරපින්නාගෙන රාජ්‍ය දේපල අවභාවිතා කලේ නැත. ඔහු අවට සිටි අතාර් උර් රහ්මාන් වැනි අනෙකුත් සිවිල් නායකයන් තුලද මේ ගුණාංගය විය. එවැනි චරිතයක් කෙරේ ජාත්‍යන්තරය දක්වන ගෞරවයද, එම ගුණාංගය නොමැති පාලකයන් තම නුගත් රටවැසියන් ඉදිරියේ සිංහයන් වෙමින් ජාත්‍යන්තරය ඉදිරියේ නිවට සුනඛයන් වන ආකාරයද මම පැහැදිලිවම දකින්නෙමි. 

අවසානයේ ඔහු ධූරයෙන් ඉල්ලා අස්වී සිනහසෙමින් ගෙදර ගියේය. හමුදා බලයෙන් රටක පාලනය අත්පත් කරගත් ඒකාධිපතියෙක් බලයෙන් පහවූ පසු යහතින් දිවි ගෙවනවා අපි දකින්නේ ඉතාමත්ම කලාතුරකිනි. මුශාරෙෆ් ඒ භාග්‍ය ලද්දෙකි. 



Saturday, 30 January 2021

ගැටලුව විද්‍යාවේද? සාමාන්‍ය දැනීමේද?


ඒ  1991 වසරේ මුල් කාලය වන්නට ඇතැයි මම සිතමි. ජේෂ්ඨ ජෝර්ජ් බූෂ්ගේ ඇමරිකානු බල ඇණි බෑග්ඩෑඩ් නුවරට ආසන්න වෙමින් තිබුණි. මට මතක ඇති ආකාරයට මෙය Operation Desert Storm ලෙස කේතනය කර තිබුණි. අපි බදාදා දින කොළඹ සරසවියේ PLT ශ්‍රවනාගාරයේ ආචාර්ය (එවකට) නලින් ද සිල්වා මහතාගේ දෙවන වසර ගණිතය දේශනයට සහභාගී වෙමින් සිටියෙමු. 

"තව ටික දවසකින් මුළු අරාබියම යුද්දෙට පැටලෙනවා. මුස්ලිම් රටවල් හැමෝම සදාම් හුසේන්ට සහයෝගය දෙනවා. ඊට පස්සේ ඇමරිකාව තෙල් ලිං වලට බෝම්බ දානවා. න්‍යෂ්ඨික පහර දීම් සිදුවෙනවා. ලෝකෙම බලශක්ති අර්බුදයකට යනවා. එතකොට අපි හැමෝටම වෙන්නේ ආයෙමත් බර කරත්තෙන් යන්න. අන්න එතන ඉඳන් අපි අපේ හෙළ ජාතික ගමන පටන් ගන්නවා" 

ඔහු යෙදූ වදන් හරියටම මතක නැතත් මේ නලින් ද සිල්වා ඇදුරුතුමාගේ දේශනයේ සාරාංශයයි.   

ඉන් පසු සුපුරුදු පරිදි එතුමාගේ නිරන්තර "බයිට්" එකක් වූ මා වෙතට ඇඟිල්ල දිගු කල ඔහු "තමුසේ මොකද මේ ගැන කියන්නේ" යයි ගෙරවිලි හඬින් ඇසීය.

නලින් ද සිල්වා මහතා බොහෝ විට සිය තර්ජනාංගුලිය එල්ල කරන්නේ නොසිතන වෙලාවකය. මෙහිදීද ඉරාකය පිලිබඳ සිහින ලෝකයක සිටි මම "තව දවස් තුනකින් විතර සදාම් යටත් වෙනවා පූසා වගේ. එතැනින් ඔය යුද්දේ ඉවරයි" කියා ඇඟට පතට නොදැනීම කිව්වෙමි.

"ඔව් තමුසෙට එහෙම වෙනවා නම් හරි සන්තෝස ඇති. ජාතිය ගැන කැක්කුමක් නැති ................" ඔහු නිතරම මට ගරහන යෙදුමක් සමග දත් මිටි කමින් තම වැකිය අවසන් කළේය. ඒ එතුමාගේ හැටිය. ඒ පිළිබඳව මට එකලද කිසිඳු සිත් අමාරුවක් ඇති නොවීය. ඇත්තෙන්ම මට එය විනෝදජනක විය. 

එදා මා කිසිවක් පිළිබඳව ගැඹුරින් නොසිතා පළකල අනාවැකිය ඒ ලෙසින්ම සඵල විය. මාධ්‍ය විසින් ජන මනස මොට කර දැමූ අද වැනි දිනක නම් මෙය ප්‍රසිද්ධ නැකැතියෙක් වීමේ ඉහලම සුදුසුකමක් වන්නට තිබුණි. 

ඇත්තෙන්ම මා නොසිතා කිව්වත් ඒ අවස්ථාවේ පැවතුණු මැදපෙරදිග දේශපාලන ගතිකය විශ්ලේෂණය කරන්නෙකුට මෙම අනාවැකිය පහසුවෙන් කීමට හැකියාව තිබුණි. ඇමරිකානු යුධ ශක්තිය, සෞදිය, කුවේටය, අරාබි එමීර් රාජ්‍ය සහ කටාරය වැනි රටවල තිබු ඇමරිකන් ගැති බව, ඉරානය හා ඉරාකය අතර තිබූ විරසකය ආදී කාරණා මත මුස්ලිම් ලෝකයේ එකමුතුවක් කිසිසේත්ම සිදු නොවීම සාමාන්‍ය දැනීම විය.

ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ක්‍රමවේදයට (මතවාදයට නොවේ) එරෙහිව දියත් කල සටනේ පෙරමුණේ රාළ කෙනෙක් වුවත් මම එතුමාගෙන් ලද දැක්ම අදටත් ඉහලින්ම අගය කරමි. එය මට වෙන කවරෙකුගෙන්වත් මෙතෙක් ලැබී නැත. එහෙත් අවාසනාවන්ත ලෙස එතුමා තුල වූ තම මතවාදී මොඩලයෙන් පිටත ලෝකය ගැන නොවිමසීමේ සහ නොඉවසීමේ ගතිගුණය ඔහුගෙන් සමාජයට ලැබීමට තිබූ බොහෝ දේ වැලක්වීය. ඒ වෙනුවට ඔහු වැඩි පිරිසකගේ හාස්‍යට ලක් වූ අතර සමහර දෙනෙකු අතර පුහු වන්දනීය තත්වයකට පත්විය. 

දේශීය හෝ ගෝලීය තලයේ සිදුවන වෙනස් වීම් කිසිඳු විශ්ලේෂණයකින් තොරව තම මොඩලය වෙනුවෙන් සකසා ගැනීමේ පුරුද්ද එතුමාට කොහෙන් ලැබුණාදැයි මට සිතා ගත නොහැක. රජරට වකුගඩු ගැටළුව (CKD) සම්බන්ධයෙන් නාථ දෙවියන් සම්බන්ධ කරගැනීමත් මෙබඳුය. මට මතක ඇති ආකාරයට මේ ගැන මුලින්ම පවසන්නේ කැළණිය සරසවියේ කථිකාචාර්යවරියකි. 

ඒ කාලයේම මම මේ පිළිබඳව බ්ලොග් සටහනක් ලියමින් මෙසේ පවසා සිටියෙමි.  අධික ලෙස කෘමි නාශක භාවිතා කරන වගා ආශ්‍රිත ජලයේ ආසනික් සහ බැර ලෝහ පවතින බවත් ඒ මගින් CKD තත්වය වර්ධනය වීමට යම් ඉඩකඩ ඇති බවත් විස්තර කෙරෙන පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම ප්‍රකාශිතව ඇත. මේ අනුව CKD සඳහා ජලයේ ඇති ආසනික් හේතු සාධකයක් විය හැකි බව දෙවියන්ගෙන් කෙසේ වෙතත් අන්තර්ජාලයෙන් සොයාගත් හැකිව තිබුණි. නමුත් එහිදීද කොහෙවත් සිටි මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ඔහුගේ සාමාන්‍ය දැනීම පසෙක තබා තම මොඩලය සනාත කරගැනීමට නාථ දෙවියන් පසුපස දුවන්න විය. 

මේ ආකාරයටම ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිකවාදී නායකයෙකු ලෙස ඉහලින්ම අගය කල එතුමා ට්‍රම්ප්ගේ මග පෙන්වීමට අනුව ලෝකයම ජාතිකවාදී මාවතක ගමන් කරන බවට අදහස් පල කළේය. වසර හතරකින් ට්‍රම්ප් ගෙදර ගියේ ලෝකයේම අපවාදයට ලක්වූ තක්කඩියෙකු ලෙසයි. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාගේ අතීත ක්‍රියා කලාපය ගැන සාමාන්‍ය දැනීමක් ඇති ස්වාධීන මතවාදියෙකුට ඔහුගේ මේ හැසිරීම පහසුවෙන් තේරුම්ගත හැකිව තිබුණි. 

මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ඊළඟට බරපතල වරදක් කළේය. ඒ කාලි මෑණියන්ගෙන් ලැබුණු උපදෙස් අනුව තමන් නිපදවූවා යයි කියන කොවිඩ්-19 නිවාරණ ඔසුවක් සම්බන්ධයෙන් පෙදරේරු කාර්මිකයෙක් ඔසවාගෙන යාමයි.  

එය "ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් දෙවියෙකු ඈඳා ගත හැකි නම් නලින් ද සිල්වා ඔබ සමගය" යන කියමන තහවුරු කළේය.  

මේ කියන පුද්ගලයාට හෙළ වෙදකම ගැන ඉතිහාසයක් තිබේද, අඩුම ගණනේ පාරම්පාරික වෙදෙක්ද එසේ නැත්නම් ඔහු මානසික රෝගියෙක්ද, වංචාකාරයෙක්ද, දේශපාලන උප්පරවැට්ටියක්ද, මාධ්‍ය ඇටවූ උගුලක්ද, ආදී සාමාන්‍ය දැනීමට ගෝචර විය යුතු කිසිවක් මේ අවස්ථාවේදී ඔහු සැලකුවේ නැත. ඒ තබා දෙයියා ලෝකල්ද, ඉන්දියානු ආනයනයක්ද යන්න ගැනවත් මහාචාර්ය නලින් ද සිල්වා තකන්නේ නැත. "දෙවියෙක් සම්බන්ධ නම් ඔහු හෙළයෙක්" යන උදෘත පාඨය එතුමා කරපින්න ගෙන යන සැටියකි. 

නලින් ද සිල්වා යනු කිසිවිටෙකත් පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා මතවාද ඉදිරිපත් කරන්නෙකු නොවන බව මම තරයේ විශ්වාස කරමි. එහෙත් මහාචාර්යවරයෙකු ලෙස ඔහු වපුරන මේ අතාර්කික සහ විකාරරුපී අදහස්, පටු දේශපාලන සහ ස්වයං වාසි තකා ඉතා නිහින ලෙස අවභාවිතා කරන "උගත්" යයි සම්මත පිරිසක් බිහිවීම මෙහි ඛේදවාචකයයි. 

  


Tuesday, 19 January 2021

දුෂණයට එදිරිව තාක්‍ෂණය


බලය ඇති පාර්ශවයක් යම් අයථා ලාභයක් වෙනුවෙන් වංකව හෝ වංචනිකව කටයුතු කිරීම දුෂණය ලෙස අර්ථ දැක්විය හැකිය.  ලොව බොහෝ නොදියුණු රටවල් දුෂණය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී. මෙය ඔවුන්ගේ නොදියුණු බවට ප්‍රධාන හේතුවකි. 

රටක ජන විඥානය දරුණු ලෙස පිරිහීම දුෂණය සමාජගත වීමට හේතු කාරක වේ. මෙය අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ සහ දකුණු ආසියාවේ ඉතා දරුණු මට්ටමක පවතිනු අපි දකින්නෙමු. රටක සංවර්ධනයේ ළමා අවදියේදී  දැඩි නීති රීති සම්පාදනය කිරීමෙන් එය ව්‍යාප්තවීම වලක්වා ගත හැක. සිංගප්පුරුව මීට උදාහරණයකි.  දුෂණය අවම මට්ටමක පවතින සංවර්ධිත රටවල ජන විඥානය වර්තමාන තත්වයට පත්වීමට සියවස් කිහිපයක ක්‍රමික විකාශයක් සිදුවී ඇති බව  පෙනෙයි. 

නමුත් දුෂණය සමස්ත සමාජයේ මස් නහර ඇට මිදුළු දක්වා ව්‍යාප්ත වූ රටක නීති මගින් එය දුරලීම ඉතා අපහසු කටයුත්තකි. මන්ද නීතියද මෙම සමාජයේම කොටසක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක අපට ඇති එකම ඵලදායී ක්‍රමවේදය දුෂණ කාරක ක්‍රියාවලියන් පුද්ගල මෙහෙයුම්වලින් ඉවත්කර තාක්‍ෂණයට භාර දීමයි. 

මේ සඳහා විස්තීර්ණ වර්තාවක මුළු සමාජ ක්‍රියාන්විතයම ආවරණය වන සේ ක්‍රමවේද රාශියක් ඉදිරිපත් කල හැකි වුවත් මහජන අවධානය සඳහා මෙහිදී මම කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරමි.

දුෂණයේ ප්‍රධාන දොරටුවක් වන රථ වාහන වැරදි හා සම්බන්ධව පොලිසියෙන් ලබා ගන්නා අල්ලස් මැඩලීමට එම මුළු ක්‍රියාදාමයම ස්වයංක්‍රීයකරනය කල හැක. මෙහිදී කැමරා පද්ධතියක් සහ ස්වයංක්‍රිය කේන්ද්‍රීය නිරීක්ෂණ මධ්‍යස්ථානයක් මගින් කිසිඳු මිනිස් අත්පෙවිමකින් තොරව සියළුම වැරදි හඳුනාගෙන දඩ මුදල් වාහන අයිතිකරුගේ ගෙදරටම යැවීමට කටයුතු කල හැක. මෙමගින් වාහනයක භාරකාරත්වයේ වගකීම පිළිබඳවද අදාළ පුද්ගලයන්ට වැඩි හැඟීමක් ඇතිවේ. මීට අමතරව මාර්ගය අසල වැරදි මැඩලීම සඳහා සිටින පොලිස් නිලධාරීන්ට කැමරා ආවරණයක් ලබා දීමට හැක. රාජකාරි අතරතුර විශේෂ හේතුවකින් තොරව එම කැමරා පථයෙන් ඉවතට යාම ඔවුන්ට තහනම් කල හැක. 

බොහෝ රජයේ ආයතනවල දුෂණය සිදුවන ප්‍රධාන කාරණයක් නම් යම් කටයුත්තක් ඉක්මනින් කරදීම සඳහා අල්ලස් ලබා ගැනීමයි. මේ සඳහා සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාන්විතය පහසුවෙන් පුර්ණ ස්වයංක්‍රිය කරණයකට භාජනය කල හැක. මේ සමගම එදිනෙදා භාවිත කරන කඩදාසි, මුද්‍රණ තීන්ත, සහ වෙනත් ලිපි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකට යන මුදල ඉතිරිවේ. රෝහල් සඳහා මේ ක්‍රමවේදය රෝගින්ටද වෛද්‍යවරුන්ටද ආශිර්වාදයක් වනු ඇත. 

ඊළඟ දුෂණ මූලය ඇත්තේ තේරීම් ක්‍රියාවලිය තුලයි. ටෙන්ඩර්, නිලධාරී පත්වීම්, ප්‍රසම්පාදනය (procurement) ආදී තේරීම් කටයුතු රාශියක් බොහෝ රටවල දැඩි දුෂණයකට ලක්වී ඇත. මේ සියලුම තේරීම් සඳහා තරමක වෙහෙසකර ක්‍රියාවලියකින් පසු ඉතා නිරවද්‍ය බුද්ධිමත් ඇල්ගොරිතම දියුණුකළ හැක. ඉන්පසු කිසිවෙකුටත් මේ සඳහා අත පෙවීම පහසු කටයුත්තක් නොවනු ඇත. 

මේ ආකාරයෙන් තාක්‍ෂණය දුෂණය මැඩලීමේ ප්‍රධාන සාධකයක් බවට පත් කරගත හැක. එහෙත් ඒ සඳහා පාලකයාගේ කැපවීම අත්‍යවශ්‍ය වේ. 

ලාංකිකයා ලංකාව පිළිබඳව ලොකුවට සිතනවා නම් මේ ඒ සඳහා කදිම අවස්ථාවකි. අපට හැකි නම් පුර්ණ වශයෙන් බුද්ධිමත් ලෙස ස්වයංක්‍රියකරණයවූ (intelligently automated) ලෝකයේ ප්‍රථම රට බවට පත්වීමට එය සියලුම ලාංකිකයන්ට අභිමානයක් වනු ඇත.  


---------------

This is a brief summary of a comprehensive report prepared for a certain government in Africa

   



Monday, 18 January 2021

වඳුරු වෙළෙන්දා හෙවත් කොටස් වෙළඳපොල

 


මේක බොහොම දෙනෙක් දන්නා කතාවක්. නොදන්නා අයට කියවන්නයි ලියන්නේ. 

දවසක් පීතර එනවා පිටිසර ගමකට එයාගේ සහයක ඇන්තනී එක්ක. පීතර ගමේ හැමෝටම කියනවා තමන් රුපියල් 500 ගණනේ වඳුරන් මිලදී ගන්නවා කියල. පහුවදා උදේ පාන්දර ඉඳන් ගම්මු පෝලිමට කැලේ හිටිය වඳුරෝ අල්ලාගෙන එනවා. පීතර ඒ හැමෝටම වඳුරෙකුට රුපියල් 500 ගණනේ ගෙවලා උන්ව විශාල කූඩුවකට දානවා. ටික දවසකින් කැලේ වඳුරෝ හොඳටම අඩු වුණා. 

පීතර කිව්වා දැන් අල්ලාගෙන එන හැම වඳුරෙක්ටම රුපියල් 2000 ගණනේ ගෙවනවා කියලා. මිනිස්සු කැලේ පීරලා වඳුරෝ කිහිප දෙනෙක් අල්ලාගෙන ආව. 

ඊළඟට පීතර කියනවා දැන් අල්ලාගෙන එන වඳුරෙක්ට රුපියල් 5000 ගණනේ ගෙවනවා කියලා. උත්සහවන්තයෝ කීප දෙනෙක් වනන්තරේ ඇතුලටම ගිහිල්ල බොහොම අමාරුවෙන් වඳුරෝ දෙන්නෙක් අල්ලාගෙන ආව.

පහුවදා පීතර කියනවා ගමේ හැමෝටම කතා කරලා, වඳුරෝ ටික නගරෙට ගෙනියන්න වාහන අරන් එන්න තමන් දින තුනකට නගරෙට යනවා. ඒ වෙනකොට තව වඳුරෝ අල්ලගෙන ඇවිත් හිටියොත් උන්ට රුපියල් 10,000 ගණනේ දෙනවා කියල. 

මේ වෙනකොට ගම්මුන්ට වඳුරු බිස්නස් එක හොඳටම රස වැටිලා. කවදාවත් නොහිතපු ඉල්ලමක්නේ කඩා වැටුනේ. හැබැයි දැන් වනන්තරේ පැත්ත පලාතක වඳුරෙක් බෙහෙතකට හොයාගන්න නැහැ. 

පීතර ගියාට පස්සේ ඇන්තනී ගම්මු කීප දෙනෙක්ට රහසින් කථා කරලා මෙහෙම කිව්වා. 

"මම තමුසෙලට කූඩුවේ ඉන්න වඳුරෝ කීප දෙනෙක් රුපියල් 7000 ගණනේ දෙන්නම්. තමුසෙලා පීතර මහත්තය ආපුවහම උන්ව රුපියල් 10,000 ගණනේ විකුණනවා" 

ගම්මු බැලුවා මේක නියම අදහසක්. නිකන් ඉඳල රුපියල් 3000 ගණනේ ලැබෙනවා. 

කතාව කටින් කට ගිහින් දැන් ගම්මු එකා දෙන්න හොරෙන් හොරෙන් ඇවිත් වදුරෝ පස් හය දෙනා අරන් යනවා. සමහරු තමන්ගේ ගෙවල් දොරවල් උගස් තියල වඳුරෝ ගන්න සල්ලි හොයා ගත්තේ. දවස් දෙකෙන් මුළු කූඩුවේම හිටපු වඳුරෝ ටික රුපියල් 7000 ගණනේ විකිණුනා. 

ඔන්න අද පීතර එන දවස. ගම්මු උදේ පාන්දරම වඳුරෝ ටිකත් අරගෙන පෝලිමේ යනවා පීතරගේ නවාතැන්පොළ පැත්තේ. අනේ ඒ යනකොට පීතර තියා ඇන්තනීවත් පෙනෙන අහලක නැහැ. එයාල ආයේ කවදාවත් ගම්මුන්ගේ ඇහැ ගැටුනෙත් නැහැ. 

-----------------

ආයෙමත් පීතරයි, ඇන්තනියි කොලොන්තොට පැත්තේ කරක් ගහනවා වගේ පෙනෙන නිසා ලියන්න හිතුණා. 




Friday, 1 January 2021

ආයෙමත් මල් පිපිලා - මියැදෙන්නට



















අහසින් බිමට බැස රොබරෝසියා වියන
සුදුවැලි මාවතේ බුමුතුරුණු අතුරලා
ඔබේ හද මැදුර වෙත එමග පිය නගන්නට
ලැබුණු ආරාධනා නොහැඟුනා නොවේ මට 

යෞවනයේ කිරි සුවඳ කටගාන අවධියේ
ඔබෙ සොඳුරු දෙතොල් පෙති හාදුවෙන් සරසන්න
සිහින ලොව පසුකරන් එන්න නොතිබූ එඩිය
අද කුමට සොදුරියේ කොඳුරාවි  බිඳුණු හද 

මල හිරුගෙ රත් සේල සැලෙන සැන්දෑ සමේ 
රොබරෝසියා වියන පිබිදිලා අයෙමත් 
නැවත ආ නුඹ මහද අරණ තුල වැළඳ ගමි 
බැරි නිසා ලබන්නට ඇඟිලි තුඩු පහසවත්  

කඳුකරේ කොටු පවුරු අතර සිරවූ ඔබේ 
නෙතු දකිමි තරු රටා අතර දිලෙනා රැයේ 
තනිකමත් පාළුවත් සිත පෙලන යාමයේ 
සිහින ලෝකයටවත් එන්න මගේ කුමරියේ 

සත් සමුදුරින් එපිට වැළපෙනා හදවතක 
අරුත කීම අසයි මංමුලා වූ සිහි නුවණ 
මතු භවයකදි ලැබෙන තෙක් ඔබව මගෙම වී 
සමුගනිම්දෝ කෙසේ තැවෙන හද ඉකිබිඳී 

- චන්දි