Saturday, 20 February 2021

දැලි පිහියෙන් කිරි කෑම


කිරිපැණි කන්න ඇති එකම ක්‍රමය දැලි පිහිය විතරක් නම් එය ඉතා සාර්ථකව සිදු කල එක් රාජ්‍ය නායකයෙක් මගේ මතකයට පැමිණේ. ඒ පර්වේෂ් මුශාරේෆ්ය. 

ප්‍රාදේශීයව මතුවූ තලේබාන්, අල් කයිඩා, සහ මුජහිඩින් ත්‍රස්තවාදය මෙන්ම පිටතින් පැමිණි ඇමරිකානු, ඊශ්‍රායල සහ රුසියානු ජාත්‍යන්තර ත්‍රස්තවාදයද ඔහු අපූරුවට සමබර කරගෙන සෑහෙන දුරක් ගියේය. අවශ්‍යතාවයකදී න්‍යෂ්ඨික බලය ලබා දෙන බවට වූ රහසිගත ගිවිසුමක් යටතේ සෞදි අරාබියෙන් පකිස්තානයට ඩොලර් බිලියන ගණනක ආධාර ලබා ගැනීමට ඔහු සමත් විය. ඒ මුදලින් විශාල ප්‍රමාණයක් ඔහු අධ්‍යාපනයට සහ පර්යේෂණ සඳහා පොම්ප කළේය. මේ කාලයේදී පර්යේෂණ හෝ විද්‍යාත්මක වැඩමුළු සඳහා පකිස්තානයට ගිය අයෙක් ඇත්නම් එහිදී ලැබෙන තරු පහේ ආගන්තුක සත්කාරය පිළිබඳව අමතක නොවී ඇති බව මට ස්ථිරව කිව හැක. 

මුශාරෙෆ් බලයට පැමිණෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පරිබාහිරවය. ඔහු පැමිණි පසු සියළුම රජයේ ආයතනවලට පාහේ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරින් පරිපාලනය සඳහා යෙදවීය. සරසවි පවා මේ ක්‍රමවේදය තුලට ඇතුලත් කෙරුණි. එහෙත් මෙම හමුදා නිලධාරීන්ගේ පාලනය තුල බොහෝ ආයතනවල සිදුවූ අයාථා  ගනුදෙනු බෙහෙවින් අඩුවූ බව ඔහුගේ ප්‍රතිවාදීන් පවා පිළිගත් කරුණකි. එහෙත් මෙම දරඳඬු පරිපාලනය බොහෝ දෙනෙකුට දිරවා ගත නොහැකි විය. 

මුශාරෙෆ් බලයට පැමිණෙන්නේ අලි භූතෝ ගේ පටන් සියා උල් හක්ලා, නවාස් ෂෙරිෆ්ලා, අලි සධාරිලා විසින් දුෂණය වැපුරූ බිමකය. බෙනාසීර් භූතෝගේ පාලන කාලයේ රටේ දුෂණය මෙහෙයවුයේ අලි සධාරි බව සියළු පකිස්ථානුවන්ට නොරහසකි. මේ අනුව මුශාරෙෆ් දේශපාලන ප්‍රවාහයට අනුගත වෙන්නේ දෙකොන පත්තු කල වික්කුවක් වැනි  පකිස්ථානයක් පවතින වකවානුවකය. 

මුශාරෙෆ් තුල ඔහුටම ආවේනික වූ දුර්වලතා කිහිපයක් තිබුණි.  ජනතාවගේ වීරයා වීම උදෙසා සිදුකල අනවශ්‍ය ජනප්‍රිය මාධ්‍ය භාවිතය ඉන් එකකි. ඒ හැරෙන්නට ඔහු තරම් දෙකොන සමබර කරගෙන අතුරේ යාමට සමත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මා මෑත කාලයේදී දැක නැත. ඔහු ඇමරිකාව සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. තලේබාන් සහ අල්කයිඩා නායකයන් සමග විරසක නොවී ඔවුන්ගේ පකිස්ථානය තුල වූ ක්‍රියාන්විත සීමා කළේය. ඉන්දියාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කළේය. අතල් බිහාරි වජ්පායි මහතාගේ යුගයේ කාශ්මීර ප්‍රශ්ණයට ස්ථිර විසඳුමක් ලබා දීමේ ඉතා ආසන්නයටම පැමිණියේය. 

මුශාරෙෆ් යුගයේ පකිස්ථානයේ සිදුවූ අධ්‍යාපන, පර්යේෂණ සහ ආර්ථික ප්‍රබෝධය මම දෑසින් දුටුවෙමි. පකිස්ථානය සංවර්ධනය කල හැක්කේ විද්‍යා සහ තාක්‍ෂණ ලෝකයේ කෙල පැමිණීමෙන්ම පමණක් බව ඔහු තරයේ විශ්වාස කළේය. 

ඉහත හේතුව නිසාවෙන්ම වසර 2008 මැද භාගය වන විට මම පෞද්ගලිකව මගේ අනාගතය පකිස්ථානයේ ගොඩ නැගීමට තීරණය කලෙමි. ඉස්ලාමාබාද් නුවර පදිංචි වීම සඳහා නිවෙසක් පවා මිළදී ගැනීමට අපි අදහස් කරගෙන සිටියෙමු. එහෙත් මා තරයේ විශ්වාස කරන පරිදි ඔහු කිසිසේත් සම්බන්ධ නොවූ බෙනාසීර් ඝාතනයේ ප්‍රතිඵලයක් ලෙස 2008 අගෝස්තුවේදී මුශාරෙෆ්ට බලයෙන් ඉවත් වීමට සිදුවිය. වෙනත් කරුණු කිහිපයක් කෙනෙකුට මේ සඳහා ඉදිරිපත් කල හැකි වුවත්, ජනතාව අතර ඔහුගේ ජනප්‍රියභාවය වේගයෙන් දිය වීමට බෙනාසීර් ඝාතනය මුල්වූ බව මගේ වැටහීමයි.  මා මෙහිදී දකින්නේ සධාරි එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බාගත් බවයි. 

මුශාරෙෆ් තුල හමුදා නායකයෙකුගේ තිබිය යුතු යහගුණද හමුදා පාලකයෙකු ළඟ කිසිසේත් කෙනෙකු බලාපොරොත්තු නොවන යහගුණ කිහිපයක්මද තිබුණි. මෙහි පසු කාරණය සලකා බැලීම වැඩදායකය.

මැතිවරණයකින් තේරී පත්වූ හෝ මැතිවරණයකින් නැවතත් බලයට පත්වීමට එතරම් උනන්දුවක් නොතිබූ පාලකයෙකු ලෙස මුශාරෙෆ්ට විශාල වාසියක් තිබුණි. එනම් ජනතාවට බොරු කීමට හෝ බොරු පොරොන්දු දීමට අවශ්‍ය නොවීමයි. ඔහු යතාර්ථය ජනතාවට ඉදිරිපත් කළේය. මේ නිසා ඔහුට අවාසි සිදු නොවුනාම නොවේ. එහෙත් ඔහුගේ පාලන කටයුතු එයින් පහසු විය. මුශාරෙෆ් අයින් කල විට මුළු දකුණු ආසියාතිකරයම එකම මුසාවාදාවකි.

ඉස්ලාම් රාජ්‍යයක නායකයා වුවත් ඔහු කිසිම විටෙක තම පැවැත්ම සඳහා ආගම් වාදය හෝ  ජාතිවාදය යොදා ගත්තේ නැත. ඔහුගේ යුගයේ නුගත් පකිස්ථානුවන් තුල පවා නිදහස් අදහස් මතුවෙනු මම පැහැදිලිවම  දුටුවෙමි. 

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඔහු කිසිසේත්ම ආවේගශීලි (impulsive) හෝ ආක්‍රමණශීලී (aggressive) නොවීය. මේ නිසා රටේ ජනතාව තුල ඉන්දියන් විරෝධී, ඇමරිකන් විරෝධී ආදී වූ ඍණාත්මක හැගීම් බිහි නොවීය. එසේම ඔහු හිස කෙලින් තබාගෙන සියළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගනුදෙනු කළේය. මෙයට හේතුවූ තවත් ප්‍රධාන කරුණක් විය. ඔහු පිටරටින් ලැබෙන කොමිස් මුදල්, වරදාන වෙනුවෙන් රාජ්‍ය දේපල විකුණුවේ හෝ අත යටින් ගනුදෙනු කලේ නැත. පවුල්වාදය කරපින්නාගෙන රාජ්‍ය දේපල අවභාවිතා කලේ නැත. ඔහු අවට සිටි අතාර් උර් රහ්මාන් වැනි අනෙකුත් සිවිල් නායකයන් තුලද මේ ගුණාංගය විය. එවැනි චරිතයක් කෙරේ ජාත්‍යන්තරය දක්වන ගෞරවයද, එම ගුණාංගය නොමැති පාලකයන් තම නුගත් රටවැසියන් ඉදිරියේ සිංහයන් වෙමින් ජාත්‍යන්තරය ඉදිරියේ නිවට සුනඛයන් වන ආකාරයද මම පැහැදිලිවම දකින්නෙමි. 

අවසානයේ ඔහු ධූරයෙන් ඉල්ලා අස්වී සිනහසෙමින් ගෙදර ගියේය. හමුදා බලයෙන් රටක පාලනය අත්පත් කරගත් ඒකාධිපතියෙක් බලයෙන් පහවූ පසු යහතින් දිවි ගෙවනවා අපි දකින්නේ ඉතාමත්ම කලාතුරකිනි. මුශාරෙෆ් ඒ භාග්‍ය ලද්දෙකි. 



No comments:

Post a Comment