Saturday, 27 February 2021

කපටියා අන්දන මෝඩයා ඇන්දෙන බිය හා බලාපොරොත්තුව

සුවිසල් දෙව් මැදුරේ අල්තාරය අභියස ඉතා මිල අධික ඇඳුම් පැළඳුම් වලින් සැරසුණු තරුණ විය නොඉක්මවූ කඩවසම් පාස්ටර් බුෂිරි දේශනාවක් පවත්වයි. 

"දේව දණ්ඩනයෙන් මිදී සියළු යස ඉසුරු ලබා ගැනීමට ඔබගේ වත්කම් දන් දෙන්න".

ඔහු දෙවියන් උදෙසා දන් දෙන යාන්ත්‍රණයද පැහැදිලි කරයි. එනම් අනුගාමිකයන්ගේ වත්කම් තම පල්ලිය වෙත නීත්‍යනුකුලව පවරා දිය යුතු බවයි. 

පසුගියදා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්වන විට ෂෙපර්ඩ් බුෂිරි සහ ඔහුගේ බිරිඳගේ වත්කම් දඩොලර් බිලියනයකට ආසන්න බව අනාවරණය විය. මලාවි ජාතික බුෂිරිගේ දඩයම් බිම දකුණු අප්‍රිකාව විය.  දකුණු අප්‍රිකාවේ ඔහුට සුවිසල් මන්දිර කිහිපයක්ම  තිබුණි. ලොව මිල අධිකම වාහන වෙළද නාම වල ඉහලම අන්තයේ  වාහන ගොමුවක් (fleet of vehicle) ඔහු සතු විය. 

ඔහු මේ සියළුම නිශ්චල දේපල හැරදා මලාවියට පලායන්නේ දකුණු අප්‍රිකානු සංචාරයකට පැමිණෙන මලාවි ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ බව පසුව අනාවරණය විය. ඔහුට ඇති වත්කම්වලට සාපේක්ෂව ඔහු අතහැර දමා ගිය දේ සොච්චමකි.

මා සේවය කරන විට්වෝටර්ස්රෑන්ඩ් සරසවියේ මනෝවිද්‍යා අංශය අප්‍රිකාව පුරා පැතිරෙන පාස්ටර් වසංගතය (නොයෙකුත් ක්‍රිස්තියානි නිකාය) පිළිබඳව සමාජ අධ්‍යයනයක් කරන බව මම දනිමි. මේ නිසා මම ඒ කණ්ඩායමේ එක් සාමාජිකාවක් සමග පිළිසඳරක යෙදුනෙමි. 

"චන්දිම, මිනිස්සු කාරණා දෙකක් නිසා මේ පාස්ටර්ලා පසුපස යනවා. ඉන් ප්‍රධාන කාරණය තමයි දේව බිය. මේක දැන් සියවස් කිහිපයකට පෙර යුරෝපීයයන් පැලකල මානසික සංකුලතාවයක්. අනෙක බලාපොරොත්තුව" ඇය පවසයි. 

යුරෝපියයා දේශාටනයේ යෙදුණේ අතකින් බයිනේත්තුවත් අනෙකේ බයිබලයත් රැගෙන බව ප්‍රකට කරුණකි. මෙය ඉතා සාර්ථක යුද ක්‍රමෝපායක් බව මට වැටහේ. තුවක්කුවේ භීතිකාව මරණයෙන් කෙලවර වේ. එවකට දියුණු මානව ශිෂ්ඨාචාර සතුවූ වස්තුව මංකොල්ල කෑම සඳහා තුවක්කුව මහෝපකාරී විය. දකුණු ඇමරිකාවේ සහ දකුණු ආසියාවේ ඔවුහු තුවක්කුව ඉහලින්ම භාවිතා කලෝය. එහෙත් අප්‍රිකාවේ තත්වය වෙනස් විය. එහි තිබුණේ වටිනා ඉඩකඩම් සහ භූගත වස්තුවයි. එය රන් රිදී දියමන්ති ලෙස පැවතුනි. මේ නිසා අප්‍රිකාවේ වස්තුව කොල්ලකන්න පෙර කළමනාකරණය කරගත යුතු විය. මේ සඳහා මානව සම්පත අත්‍යවශ්‍ය විය. මෙහිදී තුවක්කුවට වඩා බයිබලයේ හැකියාව ඉහල බව ඔවුන්ට වැටහෙන්න ඇත. 

ඔවුන් මුලින්ම මිනිසුන් අතර දේව බිය උපදවාලීය. ඒ වන විටත් ගෝත්‍රිකව බෙදී තමන්ගේ ආවේණික දේවත්වයන්ට බියෙන් ජිවත් වූ අප්‍රිකානු ජනතාව හැසිරවීම යුරෝපීය දේවගැති වරයන්ට අපහසුවක් නොවීය. ඔවුන්ට කළ යුතුව තිබුණේ පවතින දේව බිය එක් දෙවියෙකුගෙන් තව දෙවියෙකුට මාරු කිරීම පමණකි. මේ අනුව දේව බිය වෙනුවෙන් අප්‍රිකානුවා සිය දේපල පමණක් නොව ශ්‍රමයද සමහර විට තම ස්ත්‍රී පක්ෂයද සුදු මිනිසාට අවශ්‍ය පරිදි පරිහරණය කිරීමට ඉඩපහසුකම් ලබා දුන්නේය. 

අප්‍රිකාවේදී ඔවුන් ලද සාර්ථකත්වය මත ඔවුන්ගේ අනෙකුත් යටත් විජිතවලද තුවක්කුව බයිබලයෙන් ප්‍රතිස්ථාපනය කිරීම වඩා වාසිදායක බව ඔවුහු වටහාගත්හ. ඉතිරිය ඉතිහාසය විස්තර කරයි. 

බහුතරයකට ප්‍රඥා ගෝචර නොවන බලවේග සඳහා වූ බිය මත තම වර්ගයා හැසිරවීම මානව ඉතිහාසය පුරාවටම සියළුම ආගම්වල නැණවතුන් විසින් ක්‍රියාත්මක කර ඇති බව මගේ වැටහීමයි. මේ නැණවතා ගුණවතෙක් වූ විට සමස්ත වර්ගයාගේ යහපත සඳහාද කපටියකු වූ විට තමාගේ සහ තම පන්තියේ යහපත සඳහාද මෙම නොපෙනෙන බලවේග සඳහා වූ බිය හසුරුවා ඇති බව පෙනෙයි. මෙහිදී අප හොඳ-නරක හෝ යහපත-අයහපත ලෙස කරන වර්ගීකරණයද පවතින කාල අවකාශ රාමුවට සාපේක්ෂ වෙයි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ චිරාත් කාලයක සිට අද දක්වා පවතින දේව බිය මත පදනම් වූ කුල ක්‍රමය සැලකිය හැක. එය වසර තුන් හාර දහසක් පුරා සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉමහත්සේ දායක විය. එහෙත් නූතන සමාජයට එහි විශාල නොගැලපීමක් ඈති බව පසුගිය සියවස තුල පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඊට හේතුව මේ වකවානුවට අයත් සමුද්දේශ රාමුව තුල මානව සිතුම් පැතුම් රටාවේ ඇතිවූ වෙනසයි. 

බලාපොරොත්තුව යනු මිනිසා ජිවත්කරවන ප්‍රධාන මානසික ධාරාවකි. එය ලෝභය, තන්හාව, වෛරය, ක්‍රෝධය මෙන්ම භීතිය යන මානසික රටා සමග ඒකාබද්ධ වී ඇත. පැරණි ඉන්දියාවේ, චීනයේ මෙන්ම ඊජිප්තුවේද පූජකවරයන් රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ලබා ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ පාලකයාගේ හෝ බලය අත්පත් කරගන්නා පාර්ශවයේ බලාපොරොත්තුව බව පැහැදිලිවම පෙනෙයි. මෙය සාමාන්‍ය ජනතාව අතරද යෙහෙන් වැජඹීම සඳහා පුජකයන් යොදා ගෙන නැත්තේම නොවේ. 

එහෙත් වර්තමානයේ  මෙම "බලාපොරොත්තුව" ඉතාම පුළුල් හා සුක්ෂම ලෙස කපටියන් විසින් ජනතාව ඇන්දවීම සඳහා භාවිතා කරනු පෙනෙන්නට තිබේ. 

අප්‍රිකාවේ අති බහුතරයක් ජනතාව දරිද්‍රතාවයේ නිම් වළලු තුල දුක්ඛිත දිවි පෙවෙතක් ගත කරයි. එහෙත් සියවස් කිහිපයක සිට ඔවුන් ධනවතුන්ගේ ඉසුරුමත් ලෝකය සියැසින් දැක ඇත. ඔවුන් බොහෝ දෙනෙකුගේ සිතට කා වැදී ඇත්තේ මේ සුදු මිනිසුන්ගේ අසිරියට හේතුව සුදු මිනිසා අදහන දෙවියන් බවය. මේ නිසා අසරණ කළු මිනිසාගේ ඉහලම බලාපොරොත්තුව වුයේ එම දෙවියන්ගෙන් තමන්ටද තම පංගුව ලබා ගැනීමයි. සුදු මිනිසා තම බිමේ සම්පත් තම ශ්‍රමය මගින්ම සූරා කා සැපසේ දිවි ගෙවන බව ඔවුනට නොවැටහේ. මේ නිසා තමා පාගා ගෙන සිටින සුදු මිනිසාට එරෙහිව නැගී සිටි රැඩිකල් මිනිසුන්ද පිළිසරණ සෙව්වේ එම දෙවියා හරහාමය. පසු කලෙක නැණවත් කපටි කළු ජාතිකයන්ද මේ උපක්‍රමය අවබෝධ කරගත්හ. සියළුම සාර්ථක (තමා සහ පවුල) අප්‍රිකානු පාලකයෝ මේ පිළිබඳව හසල දැනුමක් ඇත්තෝය. 

පූජකයන් සහ දේශපාලකයන් පසු පස යන දුප්පත් අප්‍රිකානු ජනතාව ඔවුන්ට තම කැමැත්ත පමණක් නොව අසීරුවෙන් උපයන ධනයද පරිත්‍යාග කරන්නේ දෙවියන්ගෙන් ඒ සුපිරි පුද්ගලයන් ගෙවන ජිවිත ලබා ගැනීමේ පරම චේතනාවෙනි. මේ නිසා ඔවුන් සැමවිටම ඇදෙන්නේ ධනවත් සහ බලවත් කම් හොඳින්ම ප්‍රදර්ශණය කරන පූජකයන් සහ දේශපාලකයන් වෙතටය. මෙය විෂම චක්‍රයක කැරකෙමින් පුජකයා සහ දේශපාලකයා වැඩි වැඩියෙන් ධනවත් කරවන අතර අහිංසක පසුපස දුවන්නා තවදුරටත් දුගී කමෙහි ගිල්වා තබයි.

පාස්ටර් බුෂිරි යනු බිය සහ බලාපොරොත්තුව ඉතා සාර්ථකව සංකලනය කර ධනවත් ලොවේ ඉහලටම පිය නැගූ තවත් එක් පුද්ගලයෙක් පමණි. ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති චෝදනාව මුදල් විශුද්ධිකරණය මිස අසරණයන් මංකොල්ලකෑම නොවේ. මන්ද ඔහුට මුදල් දුන් සියළු දෙනාම සිය කැමැත්තෙන් සියළු පරිත්‍යාග කර ඇති බැවිනි. මනෝ විද්‍යාඥයන්ගේ මතය අනුව බුෂිරිගේ වත්කම් මාධ්‍ය මගින් වැඩිපුර හුවා දක්වන තරමට තව තවත් අනුගාමිකයන් ඔහු වටා රොක්වෙයි.  මේ සංසිද්ධිය ක්‍රිස්තියානි පමණක් නොව ඉස්ලාම්, හින්දු, බෞද්ධ ආදී නම් රාශියකින් ලොව පුරා ක්‍රියාත්මක වේ. 

බුෂිරිට සිදුවූ සුළු අත්වැරද්දක් නොවේ නම් ඔහු තවමත් කිසිඳු උපද්‍රවයක් නොමැතිව දකුණු අප්‍රිකාවේ වැජඹෙනු ඇත. තවත් බුෂිරිලා සිය ගණනක් තවමත් මෙහි සිටින බව නම් නොරහසකි. ඔබේ රටේ එය කෙසේද? 



No comments:

Post a comment