Tuesday, 5 February 2019

සහජීවනය සහ යහජීවනය



ඒ ස්වීඩනයට වැඩියෙන්ම හිම වැටෙන ශීතල පෙබරවාරියේ මුල් සතියයි. හරියටම මීට දශක දෙකකට පෙර උප්සලා නගරයේ පිහිටි අප නිවසේ සිට මම ජනේලයෙන් පිටත බලාගෙන උනිමි. අඩි ගණනක් උසට හිම වැටුණු තණ පිට්ටනියේ ඉතා තද පාට ශීත ඇඳුම් පැළඳි දෙමව්පියෝ දරුවන් සමග සන්ධ්‍යාවේ ඇවිදින්න යති. ගිම්හානයේ පිට්ටනිය පුරා දුව පැන ඇවිදිමින් ගමන් කරන පොඩිත්තෝ අද කීකරු මුව පොව්වන් සේ දෙමව්පියන් පිටුපසින් සීරුවට ඇවිද යති. ටික වෙලාවක් බලා සිටින විට මෙම පොඩිත්තන්ගේ ගමන පිළිබඳව මට අවබෝධ කරගත හැකි විය. 

දෙමව්පියන් තම විශාල පාදවලින් ඉදිරියේ ඇති හිම පතනය තලාගෙන ගමන් කරයි. තමන්ගේ කුඩා කකුල් වලින් අඩියක් දෙකක් උස් වූ හිම තට්ටුව තලාගෙන යනවාට වඩා දෙමව්පියන්ගේ පා සටහන් මත ඇවිද යාම ඔවුනට ඉතා පහසුය. කිසිවිටෙකත් දෙමව්පියන් දරුවන් පිටුපසින් ගමන් නොකරයි. 

සංචාරක විද්‍යාඥයන් පිරිසක් ඉන්දුනීසියාවේදී කල නිරීක්ෂණයක් කලකට ඉහත මාධ්‍යයේ පලවිය. ඔවුහු පොකුණක් අසල දිය කෙලින වඳුරු රැලක් නිරීක්ෂණය කරමින් වුන්හ. එහි ඉතා කුඩා පැටවුන්ගේ සිට මහා වදුරන් දක්වා විශාල පිරිසක් සිටියෝය. හදිසියේම ඉතා ආසන්නයේ වෙඩි හඬක් ඇසුණු අතර තත්පර කිහිපයකදී වදුරෝ සියළුම පැටවුන් රැගෙන අසල තිබූ විශාල ගසකට ගොඩ වුහ. 

ඉන් පසු ගස නිරීක්ෂණය කරන විද්‍යඥයන් දුටුවේ අමන්දානන්දනීය දසුනකි. ගසට නැගගත් වදුරෝ එකිනෙකා අතර පැටවුන් හුවමාරු කරගනිමින් සිටියහ. අනතුරක සේයාවක් දුටු සැනින් ඔවුන් ලඟම සිටින පැටියා රැගෙන ආරක්‍ෂිත ස්ථානය කරා දිවගොස් ඇත. තමාගේ පැටියා සොයමින් සිටියා නම් වඳුරු රැලට පැයකටවත් මේ ගමන සිදු කල නොහැක. 

අධිවොල්ටියතා විද්‍යුත් විද්‍යාවේදී අපි නිතරම ප්‍රශස්තිකරණ තාක්ෂණය (optimization techniques) යොදාගනිමු. මෙහිදී Particle swarm optimization (PSO) අපි බොහෝ විට භාවිතයට ගැනෙන්න ක්‍රමවේදයකි. මෙය කුරුල්ලන්ගේ සමුහ පියෑම්බිම නිරීක්ෂණයෙන් ගොඩනගා ගත් සංකල්පයක් බව කියැවේ. මේ නිසා මම දිනක් මේ කුරුළු පියෑඹිම පිළිබඳව තතු කියවුයෙමි.

සමහර කාල වලදී අහසේ පියඹා යන සංක්‍රමණික කුරුල්ලන් සමුහ ඔබ දැක ඇතුවාට සැක නැත. ඔවුන් බොහෝ විට පියඹන්නේ V අකුරේ හැඩයටය. මීට හේතුව කුමක් විය හැකිද?

කුරුල්ලෙක් පියඹන්නට අත්තටු සලන විට හරියටම උගේ පිටුපසින් වා තලයක් පහලට තල්ලු වන අතර ගමන් මාර්ගයේ සිට අංශක 45ත් 60ත් අතර කෝණයක අඳින සරළ රේඛාවක් තුලින් වා කඳක් ඉහලට එසවෙයි. එබැවින් එම කුරුල්ලාට පිටුපසින් මෙම රේඛාව මත මදක් ඉහලින් පියාඹන තවත් කුරුල්ලෙකුට නිතැනින්ම ඉහලට එසවීමක් සිදුවෙයි. මේ නිසා එම දෙවෙනි කුරුල්ලා අත්තටු ගැසිය යුත්තේ අඩුවෙනි. මෙහිදී ඉදිරියෙන් යන කුරුල්ලාට අමතර පීඩනයක් (back pressure) නොදෙන පරිදි ඉහලට තෙරපුම උපරිම වන දුරක් ඇති අතර එය පිටුපස සිටින කුරුල්ලා සංවේදනය කරගනී. මීට අමතරව පිටුපස සිටින කුරුල්ලන්ට රෑන යන දිශාව සහ රෑනේ සාමුහිකත්වය රැකගැනීමටද මෙම පිහිටුම උපකාරී වෙයි. 

මෙබඳු කුරුළු රෑනක නායකයෙකු නැති අතර ඉදිරියෙන් යන කුරුල්ලා වෙහෙසට පත්වන විට ඔහු පසුපසට යන අතර තවත් වැඩිහිටි කුරුල්ලෙක් ස්වේච්චාවෙන් ඉදිරිය ගනී. කුඩා සහ දුර්වල කුරුල්ලන් හැමවිටම පිහිටීමේ පසු පසින් පියාඹයි.  

මේ කතා තුනම මට ලියන්න සිත් වුනේ ලාංකිකයා පටලවා ගත් තවත් තැනක් පිළිබඳව නිතර දකින හෙයිනි. 

ලංකාවට අද අත්ව ඇති ඉරණමට ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකිකයා බොහෝ දේ ස්ව-කැමැත්තෙන්ම ව්‍යාකූල කරගැනීමයි. මේ සඳහා දේශපාලකයගේද නොමද සහය ලැබේ. 

බොහෝ ලාංකිකයන්ට ආගම ධර්මය අවශ්‍ය වන්නේ එය පිළිපැදීමට නොව ඒ හා බැඳුනු අනන්‍යතාවය රැකගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් රට ඛේදවාචකයක් කරා ඇදගෙන යයි. 

ලංකාව ස්වභාවික සෞන්දර්ය අතින් බොහෝ රටවලට නොදෙවෙනිය. එහෙත් අප කරන්නේ එය ලෝකෙන් ලස්සනම, හොඳම, උතුම්ම රට යයි විශේෂණ පද යොදමින් උඩඟු වී සිටීම පමණකි. ඩුබායි දේශයේ වැලි කාන්තර නැරඹීමට අද දහස් ගණනින් ධනවතුන් ඇදෙද්දී අපේ රටේ සංචාරක ව්‍යාපාරය පණ අදී. 

සහජීවනයද ඒ හා සමානවම පොට පටලවා ගත් තවත් සංඛල්පයකි. සත්ව ලෝකය මෙන්ම කුඩා දරුවාද ස්වභාවයෙන්ම අවබෝධ කරගන්නා මේ යහ-සංකල්පය ලාංකිකයාට අපභ්‍රංශයක් වී ඇත. 



සහජීවනය යනු විවිධ හැඩතල සහිත පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සමාජ කුලකයක් එකිනෙකාගේ හැකියාවන් තම තමන්ගේ උන්නතිය උදෙසා සමුහයක් වශයෙන් ක්‍රමවත්ව සහ උපක්‍රමිකව යොදා ගැනීමයි. 

මෙය රටක මුළු මහත් ජනතාවම ඉහලට එසවෙන ක්‍රමවේදයකි. 

යථාර්තය ලාංකිකයා අප්‍රිය කරයි. ඒ වෙනුවට ඔවුන් කැමති පුහු ආටෝප වලින් අලංකාර කල මුරුංගා අතුවලටය. ඒ නිසා මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකුට පත්‍ය නොවන කතාවකි.

මම ලංකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ වැඩමුළු කිහිපයක් පැවැත්වීමට උර දී ඇත්තෙමු. මේ හැම අවස්ථාවකම පාහේ අපි විදේශීය අමුත්තන්ට රාත්‍රී සාදයක් පවත්වමු. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ එහිදී පැවැත්වෙන සංස්කෘතික අංගයයි. මේ සඳහා අපි ත්‍රිවිධ හමුදාවල, පොලිසියේ හෝ වෙනත් නැටුම් ආයතනයක කණ්ඩායමක් ගෙන්වමු. 

විදේශීකයන් උදෙසා පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් යැයි කියූ පමණින් ඔවුන් කරන්නේ එකම කාර්යයකි. එනම් බෙරගැසිම සහ පිරිමි නැට්ටුවන් පිරිසක් උඩ පනිමින් නැටීමයි. බොහෝ දෙනෙකු ඉතා උනන්දුවෙන් මෙම අංග නැරඹීම ඇරඹුවත් ටික වෙලාවකින් එකිනෙකා සමග පිළිසඳරේ යෙදීමට හෝ ජංගම දුරකතනයේ  මුණ හොවා ගැනීමට පටන් ගනී. එම රංගනයන් මනරම්ය, එහෙත් ඒකාකාරිය. 

විදේශීය අමුත්තන් බොහෝ දෙනෙකුගෙන් එම රංගනයන් පිළිබඳව ඇසු විට ඔවුන් බොහොම හොඳයි කියා පවසයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම් රටාව මෙන්ම ශරීර භාෂාවද (body language) කියන්නේ එය මහා කන්දොස්කිරියාවක් බවයි. 

වරක් ඇමරිකන් ජාතික විද්‍යාඥයෙක් මගෙන් කෙලින්ම ඇසුවේ "බෙරගනවා, උඩ පනිනවා සහ හිනා නොයන විහිළු වැනි යමක් කරනවා ඇරෙන්න ඔබලාට වෙන සංස්කෘතික අංග නැද්ද" කියාය. ඔහු හිනා නොයන විහිළුවක් ලෙස හැඳින්වුයේ සළුපාලියයි.

ඇත්තෙන්ම අපි ලංකාවට පැමිණෙන අයට සංස්කෘතික සංදර්ශණයක් යනුවෙන් පෙන්වන්න හදන්නේ ලංකාවේ එක්තරා කාලයක තිබූ සිංහල රාමුවට කොටුවූ අංග කිහිපයකි. මෙහි ඇත්තේ බෙර වාදන පමණි. මෙම සංස්කෘතියේ තත් භාණ්ඩ (string instruments), වා භාණ්ඩ (wind instruments), කාන්තා ගයනා සහ රංගන නැත. 

මීට දශක තුන හතරකට පෙර කවුරුත් බලන්න පුන පුනා සිටි උඩරට නැට්ටුවාගේ පිනුම් සෙට් එක අද පේමන්ට් එකට පැමිණ ඇත. ඇමරිකාවේ පදික වේදිකා රඟන්නන් මීට වඩා ඉතා ඉහල පෙලේ කරණම් ගසයි. එහෙත් උඩරට නැට්ටුවා තවමත් එතැනමය.

අපි හැමවිටම සිතන්නේ අපේ දේ ඉතා ඉහල බවත් සියළු විදේශිකයන් එය අනිවාර්යයෙන්ම රස විඳිය යුතු බවත්ය. එහෙත් යතාර්ථය මින් බොහෝ ඈතය. අවශ්‍යවන්නේ සංස්කෘතික අංග නාමයෙන් අපේ ඒවා කියා අපම ලේබල් ගසා ගත් ඒවා බලෙන්ම පෙන්වීම නොවේ. ඒ වෙනුවට, ලංකාවේ නොයෙකුත් උප-සංස්කෘතියන්ගෙන් උකහා ගත් විවිධාංග ඇතුළත් නරඹන්නා පිනවිය හැකි දර්ශනයක් ඉදිරිපත් කිරීමයි.  

ඔබ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර ඇති සලෝමා බිස්ට්‍රෝ (දැන් වාව් කේඑල් ) භෝජනාගාරයට රාත්‍රී ආහාරය සඳහා ගොඩ වදින්න, එහි සැමදා රාත්‍රී 8 සිට 10 තෙක් සංස්කෘතික සංදර්ශණයක් පැවැත්වේ. මෙහිදී ඔවුන් තම සංස්කෘතික අංග ලෙස මැලේ නැටුම්, චීන නැටුම්, ඉන්දියානු නැටුම්, අරාබි නැටුම්, බෝර්නියෝ නැටුම්, පෘතුගීසි නැටුම් ආදී තම රටට යන්තම් හෝ ගෑවී ගිය සියළුම ජන කොටස් වලට අදාළ අංග ඉදිරිපත් කරයි. බොහෝ දිනවල රුපියල් 4500 ට ආසන්න මුදලක් ගෙවා රාත්‍රී ආහාරය සඳහා සියගණනින් මෙම අවන්හලට රොක්වේ. මේ අතර විදේශිකයන් පමණක් නොව මැලේ  ජාතිකයන් පවා විශාල වශයෙන් සිටියි. 

හඳුනාගන්න මෙයයි සහජීවනය තුලින් යහජීවනයට යන පාර.


ලාංකික දෙමළ පිරිස් විශාල වශයෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ව්‍යාපාර පවත්වාගෙන යයි. මේ අතර තොරතුරු තාක්‍ෂණය (IT) පැත්තෙන් මහා පරිමාන ව්‍යාපාර අධිරාජ්‍යයන් හිමි පුද්ගලයන් ඇත. ලංකාවේ සියළු ජාතිකයන් අතර තොරතුරු තාක්‍ෂණය පරතෙරට හැදෑරුවන් ඇත. මේ දෙපිරිස අතර පාලමක් තැනිය හැකි නම් එයයි සහජීවනය.

මේ වන විට ලංකාවේ ඇඳුම් පැළඳුම් වෙළඳාම් අංශයෙන් මුස්ලිම් ජාතිකයන් ඉදිරියෙන් සිටියි. ඔවුන්ගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීම සඳහා නොයෙකුත් විකට ස්වරූපී මුසාවාද ප්‍රචාරය කිරීම නවතා එම ව්‍යාපාර වලට ඔබටත් දායක විය හැකි තැන් සොයන්න. රටක කුමන ජාතියක්, ආගමක්, සමාජ මට්ටමක් හරහා හෝ ව්‍යාපාරයක් බිහිවේ නම් එය රටට ආශිර්වාදයකි. එය කඩා බිඳ දැමීමට නොසිතා එයින් තමන්ටත් යමක් ලබා ගත හැකි ආකාරයක් ගැන හිතන්න. 

උතුරේ නිෂ්පාදන පමණක් නොව මත්ස්‍ය අස්වැන්නද දකුණේ වෙළඳපොළට එන්නේ මද වශයෙනි. මෙයින් උතුරේ දෙමළා මෙන්ම දකුණේ සිංහලයා මරක්කලයාද යහපතක් අත් කරගන්නේ නැත. මේ පරතරය නැති කල හැකි නම් එයයි සහජීවනය.

සිංගප්පුරුවේ හෝ මැලේසියාවේ කෙනෙකු සමග ඔබ කුමක් කතා කරන්න ගියත් ඔබට නිතරම ඇසෙන්නේ win-win situation යන්නයි. එය සිංහලට පෙරලද්දී මම ජය-ජය මග ලෙස සඳහන් කරමි. යමක් කිරීමේදී අදාළ පාර්ශව දෙකටම ජය ලැබෙනසේ (වාසි සැලසෙන සේ) යමක් කිරීම ජය-ජය මගයි. ඔබ යෝජනා කරන්නේ ජය-ජය මගක යාමට නම් කිසිවෙකු ඔබ හා යාමට පැකිළෙන්නේ නැත. එවිට ජාති, කුලමල, ආගම්, කරලියට පැමිණෙන්නේ නැත. 

දැනටත් ඉතා හොඳ සහ ජීවනයකින් ජය-ජය මගේ ජයටම යන පිරිසක් ලංකාවේ සිටියි. ඒ දේශපාලකයන් සහ ජාවාරම් කරුවන්ය. ලංකාවේ අද සිටින බොහෝ දේශපාලකයන් ආගම ජාතිය කුලය වැනි බොහෝ බෙදුම් සාධක වලින් ස්වායත්තව නෑදෑ කම් වලින් බැඳී ඇත. 

මේ මහා සිංහලයාගේ නංගි අර හැඩි දෙමළා සමග විවාහවී ඇත. අර දෙමලාගේ දූවරු මේ සිංහල බෞද්ධ දේශපාලන රත්නයන්ගේ පුතුන් හා විවාහවී ඇත. අරයාගේ බිරිඳ කතෝලික, මෙයාගේ මල්ලි බැඳලා ඉන්නේ අර මුස්ලිම් ඇමතිතුමාගේ දුවව. එතැන ඇත්තේ අපූරු සහජිවනයකි. ඒ සහජීවනය තුලින් ඔවුන් යහජීවනය උදා කරගෙන ඇත. නමුත්  අවාසනාවට ඒ යහජීවනය සාමාන්‍ය ජනතාවට ලැබෙනවාට එරෙහිව වැට කොටු පවුරු බඳින්නේද මේ දේශපාලුවාමය.

කුඩු මුදලාලිලා, මිනිස් ජාවාරම් කරුවන්, පාතාලයන් අතරද මෙම සහජීවනය උපරිමයෙන් ඇත. නමුත් එයින් ජනතාවට ලැබෙන්නේ අයහපත පමණි. 

ලංකාවේ මේ සහජීවනය වෙනුවෙන්ම නඩත්තු කෙරුණ ඇමතිවරයෙකු තම ධුර කාලයටම කලේ විවිධ ජාතීන්ට අයත් කොල්ලෝ කුරුට්ටන් පිරිසක් සමග ගෝල්ෆේස් පිටියේ සරුංගල් ඇරිමයි. එය ඔහුගේ සහජීවනය අර්ථ දැක්වීමයි. සමහරුන්ට අනුව අන්‍යාගමිකයන් බෞද්ධ පිළිම කැඩීම හෝ සිංහලයන් අන්‍යාගමිකයන්ගේ ගෙවල් ගිනිතැබීම වැනි කාරණා පිළිබඳව මුවින් නොබැන ඉවසා වදාරා සිටීම සහජීවනයයි. මෙය නීතිය හා සහජීවනය සම්පුර්ණයෙන්ම පටලවා ගැනීමකි. නීතිය, නීතිය ලෙස ක්‍රියාකරවීමට දේශපාලකයා මැලිවීම සහජීවනයට ඇති විශාලම බාධාවයි. 

සහජීවනය වෙනුවෙන් මුලින්ම කල හැකි සරලම ක්‍රියාව නම් කිසිම ආකාරයකින් (කතාවෙන්, ලිවීමෙන්, ඇඳීමෙන්, ඉදිරිපත් කිරීමෙන්) අනෙකෙකුගේ ජාතිය, ආගම හෝ කුලය මත පදනම් වූ අනන්‍යතාවයට රිදවීම නැවැත්වීමයි. බදුරුදීන් කරන වන විනාශයට එරෙහිවිය යුත්තේ එය කරන්නේ බදුරුදීන් නිසා නොව වන විනාශය ඛේදවාචයක් වන බැවිනි. බදුරුදීන් ගේ විල්පත්තු වන විනාශය දකින බොහෝ දෙනෙක් සිංහරාජයට, යාලට, රූමස්සලට, මුතුරාජ වෙලට සිංහල දේශපාලකයන් කර ඇති විනාශය නොදකී. මෙයත් මහා ඛේදවාචකයකි.



                           








                                             


Monday, 21 January 2019

අපි නොදන්න මාර්කටින්


ශ්‍රී ලංකාව 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේය. ඉන් අනතුරුව පැවති පළමු තරඟාවලිය සඳහා නවසීලන්තයට ගිය ලෝක ශූර ශ්‍රී ලංකා පිල හිස් ප්‍රේක්ෂකාගාර වලට ක්‍රීඩා කළේය. මා දන්නා කාලයක සිට ශ්‍රී ලංකා පිල යනු බොහෝ රටවලින් පහල ඉල්ලුමක් තිබූ කණ්ඩායමකි. සෑහෙන කලක්  සංචාරයකදී අපට ටෙස්ට් වරම් ලාබී රටවල් එක් ටෙස්ට් තරගයකට වඩා නොදෙන බවට අපි මැසිවිලි නගමින් සිටියෙමු. 

ලෝක කුසලාන ශූරතා සහ අනුශූරතා මෙන්ම අති දක්‍ෂ ක්‍රීඩකයන් අතින්ද ලංකාවට අහේනියක් නොවීය (මෑතක් වන තෙක්). එහෙත් ක්‍රීඩා වේදිකාවේදී අප හොඳ ඉල්ලුමක් සහිත පිලක් වුයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව මොන අතින් බැලුවත් ලංකාව අන්තර්ජාතික ප්‍රජාව අභියස යම් තරමකට පසුගාමිය. ලොව ඉස්තරම්ම තේ නිපදවනේ ලංකාවයි. එහෙත් තවමත් එයින් විශාලම ආදායම ලබන්නේ බ්‍රිතාන්‍යයි. මේ වන විට කෙන්යාව, ඉන්දියාව (විශේෂයෙන් Darjeeling Tea) පමණක් නොව මැලේසියාව පවා තේ වලට හොඳම සැපයුම් කරුවන් වී සිටිති. ලංකාව ලෝකයේ හොඳම මුහුදු වෙරළ තීරයන් ඇති රට බවට දෙවරක් පත්වෙද්දී (Lonely Planet) ලංකාව මෙන් 200 ගුණයකටත් වඩා කුඩා මාල දිවයිනේ මුහුදු වෙරළට, ලංකාවට එනවා මෙන් 200 ගුණයකටත් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ඇදෙයි. ලංකාවේ නිල් රතු පසිංගල් ගැන අපි පුරාජේරු කියමින් සිටින අතරේ තායි සහ චීන ජාතිකයෝ එම මැණික් කැටවලින්ම ලංකාව ලබන ආදායම මෙන් දස ගුණයක් උපයා ගනී.

..................................................................................

මේ ලිපිය මා ලියන්නේ ඉන්දියාවේ භූබනේශ්වර් නුවර පැවැත්වෙන අකුණු සහ වායු ගෝල කැළඹීම් පිළිබඳව සම්මන්ත්‍රණයකට සහභාගී වන අතරතුරයි. විරාමයක් අතර මම මිතුරු ආචාර්ය ක්‍රිෂ්ණා ගෞඩා සමග ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පිළිසඳරකට වන්නෙමි. ලංකාවේ ක්‍රිකට් පිළිබඳවද දැන් වැඩිපුර කතා කලයුතු දෙයක් නැත. එබැවින් මම වඩාත් නොසිතාම ක්‍රිෂ්ණා ගෙන් මෙසේ ඇසුවෙමි. 

"කොහොමද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන රටවලට වඩා ඉන්දියාවෙන් හමුවෙන්නේ".

මෙය වෙනත් ඉන්දියන් ජාතිකයෙකුගෙන් ඇසුවා නම් මට ඊළඟ පැය පුරා ඉතා ගැඹුරු විග්‍රහයකට ඇහුම්කන් දිය යුතු වනු ඇත. එය බොහෝ විට පුරාණ ඍෂිවරුන්ගේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙස හේතු දැක්වීමටද බැරි නැත. එහෙත් ක්‍රිෂ්ණා වෙනස් ලෙස සිතන ඉන්දියානුවෙකි.

"කවුද කියන්නේ ඉන්දියාවේ වෙන රටවලට වඩා දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා කියා". ඔහු ගත් කටටම කීය.

"වෙනස තියෙන්නේ වෙන රටවලට වඩා ඉන්දියානු ක්‍රීඩකයන්ගේ අලෙවිකරණය (marketing) හොඳයි. ක්‍රීඩකයන්ගේ විතරක් නෙවෙයි ඒ හා සම්බන්ධ සියළු දෙනාගේ. රටවැසියාගේ පවා". ක්‍රිෂ්ණා කියාගෙන යයි.

ක්‍රිෂ්ණා කියන දේ මට පිළිගත යුතුව ඇත. මුරලිදරන් ලෝකයේ සිටි වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත්  ක්‍රීඩකයාය. එහෙත් ඔහුට වඩා කපිල් දේව් පිළිබඳව ලෝකය කතා කරයි. අංශ රාශියකින් සචින් තෙන්ඩුල්කාර්ට වඩා සංගක්කාර ඉදිරියෙන් සිටියි. එහෙත් සංගක්කාරට වඩා සචින්ගේ ප්‍රතිරූපය බොහෝ සෙයින් ඉහලය. යථාර්තය මෙයයි. 

"ඉන්දීය ක්‍රීඩකයන්ගේ කැරිස්මාව (charisma; මෙයට නියමාකාරයෙන් සිංහල වදනක් නැතැයි මට සිතෙයි) ඉතා ඉහලයි. ඒ වගේම  ඉන්දියන් ක්‍රීඩා විචාරකයන්, නිවේදකයන් වගේම මාධ්‍යයත් ඔවුන්ව ඔසවා තබනවා".

බෞද්ධ කොඩිය හඳුනන්නේ නැති, ඕස්ට්‍රේලියාවෙන් මැටි ගෙන්වා තණතිලි හදන්න යෝජනා කරන, පිටරට ක්‍රීඩකයෙක් තට්ටුවක් ඇල්ලුවත් අතිශයෝක්තියෙන් වර්ණනා කරන අපගේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් මට මතක් වෙයි. 

..................................................................................

ස්වයං-අලෙවිකරණය (self-marketing) අද පමණක් නොව මිනිසා පැවතෙන දා පටන් නායකත්වයේ සහ ස්වයං-වර්ධනයේ  ප්‍රබල සාධකයක් විය.  ප්‍රාග්-ඓතිහාසික මිනිසා සතෙකු මරාගත් විට දෑතින් පපුවට ගසා ගනිමින් අත් පා ඔසවමින් මහා හඩින් කෑගසා තම අභිමානය සෙස්සන්ට පෙන්විය. මෙය ඔහුගේ නායකත්වය පිළිබඳව අනෙකාට දුන් ඉඟියකි.  අද දක්වා මෙහි වෙනසක් නැත (අද ලාංකික දේශපාලන වේදිකාව තුල පවා මෙය දෘශ්‍යමාන වෙයි). තම හැකියාවන් පිළිබඳව පෞද්ගලිකව මෙන්ම සාමුහිකවද ඵලදායි ලෙස (effectively) ලෝකයට දැනුම්දිය හැකි පුද්ගලයා හෝ සමාජය තම ජයග්‍රහණ ආර්ථික වර්ධනයන් බවට පරිවර්තනය කරගනී.

විනිසුරු දැනුම් දීමටත් පෙර තම දැවී යාම පිළිගෙන පිටියෙන් ඉවත්වන ලාංකික ක්‍රීඩකයන් සිටි සමයක් විය. තමා කඩුල්ලක් ලබාගත් විට හෝ ශතකයක් ලබාගත් විට ඉතා සංසුන්ව ජයග්‍රහණය සමරන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලේ අඩුවක් නැත. එය අපගේ නිහතමානි කම බව සමහරුන්ගේ මතයයි. නමුත් ලොවට අවශ්‍ය මේ ඕලාරික හැසිරීම් රටාව නොවේ. ලොවට අනවශ්‍ය දේ මාධ්‍යටත්, මාධ්‍යට අනවශ්‍ය දේ ආර්ථිකය හසුරුවන්නන්ටත් අවශ්‍ය නොවේ. අවසානයේදී අපිට ඉතිරිවන්නේ නිහතමානීකම සහ දුප්පත්කම පමණකි. 

ෂහිඩ් අෆ්රිඩි කඩුල්ලක් ලබා ගත් විටත්, විරාත් කොහොලි ලකුණු 50 ක් ගැසූ විටත්, දක්වන නර්තන ඔවුන්ගේ ස්වයං-අලෙවිකරණයේ අංගයන්ය. එය ඔවුන්ව මාධ්‍ය චුම්බක (media magnets) බවට පත් කරයි. පිටියේදී නිතර කිපෙන සුළු බවක් පෙන්වන, ලංකාවට ආරියාදු කතා කියන විරාත්, ශ්‍රී ලංකාවේදී පාරක් අයිනේ ලෑලි විකට්ටුවක් ඉදිරිපස කොල්ලෝ කුරුට්ටන් සමග ක්‍රිකට් ගැසීය. අපි ඔහුගේ අලෙවිකරණයේ මාධ්‍ය ප්‍රවර්ධකයන් වූයෙමු. ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම් හමුවේ ඔහුට බණිමින් සිය ගණනක් පෝස්ට් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. ඊටත් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාරේ ක්‍රිකට් ගැන පලවිය. ඔහුගේ අලෙවිකරණයේ සාර්ථක බව මෙයින්ම සහතිකවේ. අවසානයේ විරාත් කොහොලි ක්‍රීඩා කරන තරඟ බැලීමට හැම රටකම ජනතාව වැල නොකැඩී පැමිණෙයි. 

අද මේ අලෙවිකරණය පිළිබඳව අප ඉගෙන නොගත් පාඩම් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පවා හොඳින් හදාරා තිබේ. බංග්ලාදේශයේ නයා අපි ලෝකය වටේ අරන් ගියෙමු. බංග්ලාදේශය සහ වෙනත් රටවල් අතර තරඟ වලදීද එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙම නයා පෙන්වීම කරන බව මම පෞද්ගලිකව දනිමි. ඔවුන් දැන හෝ නොදැන බංග්ලාදේශයට අති විශිෂ්ඨ සේවයක් ඉටු කරයි. 

..................................................................................

ක්‍රිකට් යනු ජාතික පෞරුෂය වර්ධනය කළ හැකි උත්තේජකයක් මෙන්ම ඉතා හොඳ ව්‍යාපාරික මොඩලයකි. ඉන්දියාව තරම් මෙම ව්‍යාපාරික ආකෘතිය ඥානාන්විතව සහ අති දක්ෂ ආකාරයෙන් හැසිරවූ වෙන රටක් නැති තරම්ය. අද එය ඉන්දියාවට ධන උල්පතක් වී ඇත. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දක්ෂතාවයෙන් ඔබ්බට ගිය කැරිස්මාවක් තිබූ එකම ක්‍රීඩකයා ලෙස මා දකින්නේ ලසිත් මාලිංගයි. මෙරට තුල පමණක් නොව වෙන රටවලද නරඹන්නන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ශාරීරිකව අනුකරණය කිරීමට උත්සහ කළා නම් ඒ මාලිංගව පමණකි. එහෙත් මාලිංගගේ මේ කැරිස්මාව අලෙවි කරගත්තේ ලංකාව නොව මුම්බායි ඉන්ඩියන්ස් පිළයි. ලංකාවේ ශෝචනීය තත්වය පැහැදිලි කිරීමට මීට වඩා උදාහරණයක් නැති තරම්ය.

..................................................................................

මට පෙනෙන හැටියට නම් ලාංකිකයා තුල ජාතියක් වශයෙන් නිහතමානී කමක් නැත. අපි නිවසේ සිට සමාජයේ ඉහලම කෙලවරට යන තෙක් පුරාජේරුවට (නයා ඇරීමට) ඉතා කැමැත්තෙමු. එහෙත් අප නයි ඇරීමේ කලාවේ අන්තිම අදක්ෂයෝය. අප පුරාජේරු කියවන්නේ ස්වයං-සන්තුෂ්ඨිය හෙවත් හිත සනසා ගැනීම සඳහාය. ඒ වෙනුවෙන් අපි බොහෝ දෙනාගේ හිත් පාරමු. එය පෞද්ගලිකව මෙන්ම ජාතියක් හැටියටද අපි නිරන්තරයෙන් කරමු. මේ පිළිබඳව මම "ධනවතෙකු වීමේ මග" පොතෙහි පරිච්චේදයක්ම වෙන් කලෙමි. 

අපි නයා ඇරිය යුත්තේ පැහැදිලිවම එයින් අපට පල ප්‍රයෝජනයක් ඇත්නම් සහ එමගින් අනෙකාගේ හිත නොරිදේ නම් පමණකි. 

ඔබට ආචාර්ය උපාධියක් ඇත්නම් එමෙන්ම ඔබ වෘතියමය උපදේශකයෙක් (consultant) නම් ඔබට ඔබගේ අධ්‍යාපන සුදුසුකම නිරන්තරයෙන් ඔසවා තැබිය යුතුවෙයි. ඔබගේ සේවාලාභියා (client) ඔබ පිළිබඳව ඉහල ඇගයීමක් කිරීමෙහි ලා මේ නයි ඇරීම ඉමහත් සේ හේතුවෙයි. 

අනෙක් අතට ඔබට විවාහ උත්සවයකදී කලකට පසු අපොස උසස් පෙළවත් සමත් කරගැනීමට නොහැකි වූ ඔබේ ඥාති සහෝදරයා, මිතුරා, පැරණි අසල්වැසියා හමුවෙයි. ඔහු ඉදිරියේ ඔබගේ "ඩොක්ටරේට්" එක ගැන මහා ඉහලින් වර්ණනා කිරීමට යාම ඔබගේ සහෘදයා කණගාටුවට පත් කරනු ඇත. ඒ අතරම ඔබ බොහෝ විට විහිළුවක් බවටද පත්වනු ඇත. 

ජාතියක් ලෙසද මේ පාඩම ඉගෙන ගන්නවා නම් අපට බොහෝ දේ හිමිකරගත හැකි වනු ඇත.




****************











Sunday, 13 January 2019

පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ



මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම අපගේ කතා බහ ඇරඹීමට හේතු විය. 

ශාලොම්ගේ පියා යුදෙව් ජාතික (ස්වීඩන් - යුදෙව්) මහාචාර්යවරයෙකි. ශාලොම් කරන රැකියාව කුමක්දැයි මට අදටත් හරියටම නොතේරෙයි. ඔහු කිහිප වරක්ම ලංකාවට පැමිණ ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශයේ දොඩම් සහ දෙළුම් වගාව ආරම්බ කල හැකිදැයි ශක්‍යතා අධ්‍යනයක් සඳහාය. 

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි.

ශාලොම් මට අදටත් ප්‍රෙහේලිකාවකි. ඔහු මට මුණ ගැසෙන්නේ අධි විද්‍යුත් වෝල්ටීයතා සම්මන්ත්‍රණයකදීය.  ඔහු විද්‍යුත් ආම්පන්න නිෂ්පාදනයේ ලා ප්‍රසිද්ධ ස්වීඩන් කොම්පැනියක ඉහල නිලයක් දරයි. ඒ අතරම ඔහු ලංකාවේ දේශගුණය, පස, කෘෂිකර්මය පමණක් නොව දුෂිත දේශපාලකයන් ගැනද පරතෙරටම දනී.

.....................................................................

ඊශ්‍රායලය දොඩම් අපනයනය කරන රටවල් අතර පළමු 15 දෙනාටවත් අයත් වන්නේ නැත. ඒ ඔවුන්ගේ රට කුඩා නිසා ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව වැනි දැවැත්ත රටවල නිෂ්පාදන ධාරිතාවයට ඔවුන්ට කිට්ටු විය නොහැකි බැවිනි. එහෙත් ඔවුහු දොඩම් වලින් සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලබති. ඒ ඊශ්‍රායලය තුල වැවෙන විශේෂ රසයෙන් යුතු දොඩම් වර්ග විකිණීමෙනි. ඒ සඳහා අන්තර්ජාතික වෙළඳ පොලේ ඔවුන්ට ඉතා ස්ථාවර ඉල්ලුමක් ඇත. මට ශාලොම් ගේ කතාවෙන් තේරුණේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල මෙම ඊශ්‍රායලයට වැදගත්වන පලතුරු වර්ග වැවිය හැකි ප්‍රදේශ පිළිබඳව ඉතා ඉහල සැලකිල්ලක් දක්වන බවයි. 

.....................................................................

මේ මීට කලකට පෙර අපි බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහතිකයක් දීමට මට නොහැක. එහෙත් බොහෝ දෙනෙක් මෙය සත්‍ය බව මා සමග පවසා ඇත.

බිබිලේ දොඩම් ගැන අපි කුඩා කල කවි පවා ගායනා කර ඇත. 1960-70 ගණන් වන විට බිබිල ප්‍රදේශය දොඩම් වගාවෙන් ඉතා ඉහල ආදායමක් ලබාගෙන ලංකාවේ ධනවත්ම ප්‍රදේශයක් වන බවට අනාවැකි පලවිය. වගාව අන්තර්ජාතික තත්වයට ගෙන එම සඳහා එවකට පැවති රජය තෝරාගත් කුඩා කෘෂි විශේෂඥයන් කණ්ඩායමක් වැඩිදුර අධ්‍යනය සඳහා විදේශ රටකට යැවීය. මාස කිහිපයකට පසු ඔවුන් අධ්‍යනය නිම කර ලංකාවට පැමිණියේය. ඉන්පසු ගතවූ ඉතා කෙටි කාලයක් තුල බිබිලේ දොඩම් වගාව හඳුනා නොගත් රෝගයකින් සහමුලින්ම විනාශ වී ගියේය. 

මෙම විශේෂඥ කණ්ඩායමේ කිහිප දෙනා ඉන්පසු ඇමරිකාවේ නිත්‍ය රැකියා හිමිව ලංකාවෙන් සදහටම නික්ම ගිය බව සමහරු පවසයි.

.....................................................................

මා අපොස සාමාන්‍ය පෙළ හදාරන සමය වන විටත් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තේ, රබර්, පොල් විය. වසර 1970 අවසන් භාගය වන විට ලංකාවද ඇතුළු ලොව බොහෝ රටවල ඉතා තදින් පැතුරුණු මතයක් නම් පොල් තෙල් ඉතා අධික කොලෙස්ටරෝල් සහිත මේදයක් බැවින් හදවත් රෝගවලට ඉමහත් සේ ඉවහල් වන බවයි. ලංකාවේ පාසල්වලද ගුරුවරු මේ කතාවම ඉගැන්වීය. මෙහි ප්‍රතිඵලය වුයේ ලොව පුරා පොල් සඳහා වූ ඉල්ලුම පහල වැටීමයි. ලංකාවේද ඇති හැකි තැන්වල උදවිය පොල් තෙල් වෙනුවට, එළවලු තෙල් භාවිතා කරන්න විය. ඒ ගැන උජාරුවෙන් අසල් වැසියන් සමග උදම් අනන්න විය. 

ලංකාවේ පොල් ගස් යායවල් පිටින් සිදී ගියේය. ඒ වෙනුවට ඉඩම් කට්ටි කර විකුණන බෝර්ඩ් හැම අස්සක මුල්ලකම දකින්න හැකි විය. මේ අතර ඇමරිකාව ප්‍රමුඛ කරගත් බහු ජාතික සමාගම් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෙක්ටෙයාර මිලියන ගණනක පොල් සිටුවන්න විය. 

.....................................................................

මේ වන විට අප දන්නේ පොල්තෙල් යනු දැනට ලොව භාවිත කරන ගුණාත්මකම තෙල් විශේෂය බවයි. මුළු ලොව පුරාම පිරිසිඳු  පොල් තෙල් වලට අති විශාල ඉල්ලුමක් ඇත. එය සපුරා ලීමට බහු ජාතික සමාගම් දැන් අප්‍රිකානු සමුද්‍රාසන්න රටවලද ඉඩම් සොයයි. එහෙත් අපේ පොල් බිම් සිඳී ගොස් ඇත. පසුගිය සමයක ලංකාවට පැමිණි විට මා සුපිරි වෙළඳ සැලක රාක්කයක ඇති මැලේසියාවෙන් ආනයනය කල සුදු පොල්තෙල් බෝතලයක් දුටුවෙමි. දැන් එය ඇති හැකි අයගේ ආඩම්බරයි.



.....................................................................

සේනා ආවේ කොහොමදැයි අපි දන්නේ නැත. හෙට අනිද්දාට ගොයමට, බුලත් කොටුවට, කොස් ගෙඩියට පවා අමුත්තන් පැමිණෙනු ඇත. ඒ පසුපස කෘමි නාශක කන්ටේනර්ද සැපත් වනු ඇත.

.....................................................................

අපේ පොලිටික්කන් කෑගසන විදේශ කුමන්ත්‍රණ අද ලෝකයේ නැත. ඒවා ඇත්තේ පොලිටික්කා මවන සිහින ලෝක වල පමණකි. එහෙත් පසුගිය දශක තුන හතරක සිට ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කුමන්ත්‍රණ ඉතා සුක්‍ෂම සහ තීව්‍ර අන්දමින් ක්‍රියාත්මක වේ.  ඒවා අවබෝධ කරගෙන නිසි ආරක්ෂක පියවර ගැනීමට තරම් අපේ දෙසපාලුවා බුද්ධිමත් නොවෙයි.

විපක්‍ෂයේ සිටින විට බහුජාතික බූවල්ලා හොඳ සටන් පාඨයකි. බලයට පැමිණි විට බූවල්ලා හා පැටියෙකු බවට පත්වෙයි.  




Sunday, 6 January 2019

පරාජයේ සීතල, සදාචාරය සහ ක්‍රිකට්



ඒ  අපගේ තරුණ කාලයයි. බ්ලුම් ෆීල්ඩ් සහ සී සී සී ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරගයක් රීඩ් මාවතේ පිහිටි බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබුණි. එකවරම යම් පුවරුවක් ඇඟේ එල්වා ගත් (කවුරුන් විසින් හෝ එල්වූ) දඩාවතේ යන බල්ලෙක් පිටිය මැදට දිව ආවේය. බල්ලා සමීපයට එන විට ලියා ඇති දේ කියවිය හැකි විය. එහි ලියා තිබුනේ "අබු ෆුවාඩ්" යන නමයි. බොහෝ දෙනෙකුට මෙය දැක සිනහ පහලවූ අතර සමහරුන් විසිල් ගසමින් කෑ මොර දෙන්න විය. එසැනින්ම ක්‍රියාත්මකවූ ක්‍රීඩාංගනය බාර සේවකයෙක් දිවැවිත් සෑහෙන උත්සහයකින් පසු පුවරුව ගලවා බල්ලාව එම ගැහැටෙන් මුදා හළේය.

"අබු ෆුවාඩ්" යනු එවකට ක්‍රිකට් පරිපාලනයේ සිටි දැවැත්ත චරිතයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණ රාශියක් (පිටියේ මෙන්ම ඉන් පිටතදීද) පිටිපස අබු ෆුවාඩ් මහතා සිටි බව බොහෝ දෙනෙක් පිළිගනී. ජාතික පිල තේරීමේදී ඔහුගේ තීරණයන් හැමවිටම ප්‍රමුඛස්ථානය ගන්නා බව අප සැමගේම මතය විය. අවුල තිබුනේ ඔහු ජාතික පිල තේරීමේදී බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ (විශේෂයෙන්ම නාලන්දාවෙන් පැමිණෙන) ක්‍රීඩකයන් කපා දමන බවට පැතිර ගිය රාවයයි. එය කෙතරම් ක්‍රීඩා ලෝලීන් තුලට කා වැදී තිබුණේද යත් "අබු ෆුවාඩ්" නම ඇසුණු සැණින් කෝපාවිෂ්ඨ වන බ්ලුම් ෆීල්ඩ් රසිකයන් විය. නාම පුවරුව එල්ලා ගත් බල්ලා මෙම රසික වෛරයේ තරම කියා පෑවේය.

මට මේ කතාව මතක් වුයේ මීට මාස කිහිපයකට පමණ පෙර ලංකාවට පැමිණි අවස්ථාවේ මුණ ගැසුණු මිතුරෙකු කී කරුණක් නිසාය. ඔහු මට හමුවුයේ වසර 30ට පමණ පසුවය. ප්‍රබල බ්ලුම් ෆීල්ඩ් රසිකයෙකු වූ ඔහු එවකට එන් සී සී පිලට යම් ලබැඳියාවක් තිබු මා සමග පැය ගණන් ඉතා දරුණු ආකාරයෙන් වාද කල අවස්ථා විය. නාම පුවරු බල්ලා පිටිය පුරා දුවන විට මා සමග සිටි මේ මිතුරා අමන්දානන්දයට පත්ව උඩ පනිමින් ඔල්වරසන් දෙන්න විය. 

"අපෝ ක්‍රිකට් ගැන නම් අහන්නවත් එපා බන්, මේ බුකිකාරයෝ සෙට් වෙලා ඒක විනාශ කළා. තිලංගල එක්ක තිබ්බහම අබු ෆුවාඩ්ලත් හෙණ ජෙන්ටෝ මචන්" මිතුරා කියාගෙන යයි.

ඔහු වසර දෙක තුනකින් ක්‍රිකට් තරඟයක් රුපවාහිනියේ වත් නරඹා නැත. එදා අහවල් දින, අහවල් තරඟයේදී, අහවල් ක්‍රීඩකයා ලබා ගත් ලකුණු ප්‍රමාණයත්, එම පිතිකරු ක්‍රීඩා කල ආකාරයත් මැනවින් විස්තර කල හැකි මතකයක් තිබූ ඔහු අද පිලේ සිටින ක්‍රීඩකයන් වැඩි දෙනෙක් නමින් වත් දන්නේ නැත. 

මේ අද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දුක්බර තත්වයයි.



ක්‍රිකට් යනු සුද්දා අපිට දුන් කමකට නැති, විජාතික ක්‍රීඩාවක් බව කෙනෙකුට තර්ක කල හැක.  එහෙත් ඔබ විදේශ සංචාරයෙහි නිරත වන අයෙකු නම් මෙම ක්‍රීඩාව ඔබට අත් කරදෙන ස්ථානය මැනවින් අවබෝධ වනු ඇත. ඇමරිකානුවෙක්ට, ජර්මනුවෙක්ට, ඔස්ට්‍රේලියනුවෙක්ට, ජපනෙක්ට විදේශයකදී තම රට පිළිබඳව හැඳින්වීමක් කල යුතු නැත. තමා කුමන ජාතිකයෙක්දැයි කියූ පමණින් ඔවුන්ට ඉහල පිළිගැනීමක් ලැබේ. ව්‍යාපාරික මෙන්ම වෘතිය කටයුතු සඳහාද මෙම පිළිගැනීම කෙතරම් වැදගත්දැයි දන්නෝ දනිති.  

ලොව මට හමුවූ බොහෝ මිනිසුන් ලංකාව යනුවෙන් රටක් ඇති බව අසා තිබුණේවත් නැත. තිත්ත ඇත්ත මෙයයි. නමවත් අසා නැති රටක මිනිසෙක් ඔවුන්ට කිසිසේත්ම වැදගත් වන්නේ නැත. ලංකාව ගැන දන්නා පිරිසෙන් 99% ම දැනුවත්ව සිටියේ කාරණා තුනක් පිළිබඳවයි. ඒ සනත් ජයසුරිය, සිරිමාවෝ බණ්ඩාරනායක (විශේෂයෙන් වියපත් පිරිස) සහ LTTE ත්‍රස්තවාදයයි. 

ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම ලංකාව පිළිබඳව දනී. මුරලිදරන්, ජයසුරිය, අරවින්ද, අර්ජුණ, සංගා, මහේල ගැන ඔවුහු ඉහලින් කතා කරති. මේ ඉහල ඇගයීමෙන් කොටසක් ඔබටද ලැබෙයි. එය ලබාගෙනම අත්දැකිය යුතු කරුණකි. 

මා සමහර රටවලදී මාව හඳුන්වා දෙන්නේ මැලේසියාවෙන් පැමිණියකු ලෙසයි. මට මැලේසියාවේ නිත්‍ය පදිංචිය ඇති බැවින් මෙහි අසත්‍යතාවයක් නැත. එහෙත් සමහර රටවලදී මෙය අවාසියකි. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාවේ බොහෝ දෙනෙක් මැලේසියාව පිළිබඳව අසා නැත. එහෙත් ශ්‍රී ලංකාව යැයි කී පමණින් එම රට නොදන්නා අයෙක් මට තවමත් හමුවී නැත. ඒ අන් කිසිවක් නිසා නොව ක්‍රිකට් ක්‍රීඩාව නිසාය.

නමුත් අවාසනාවකට දැන් මට සමුවන බොහෝ දකුණු අප්‍රිකානුවන් අසන පොදු ප්‍රශ්නයක් ඇත.

"What has happened to your cricket, man".


ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ඇරඹෙන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සමගිනි. එතෙක් කල් ක්‍රීඩා පරිපාලනයට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයක් දැක්වූ අයයි. ඔවුන් අතර තම ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමේලා ධූරය උපයෝගී කරගත් ගාමිණී දිසානයකලාද, තම හිතවත් ක්‍රීඩා සමාජය සඳහා යම් පක්ෂග්‍රාහී තීරණ ලබා දුන් අබු ෆුවාඩ්ලාද සිටියෝය. නමුත් ඔවුන් සියල්ලෝම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අතිශයින්ම වැදගත්වන කාර්යභාරයක් ඉටු කල අතර ඒ කිසිවෙක් තම තනතුරු පෞද්ගලික මුදල් උත්පාදනයෙහි ලා ක්‍රියාත්මක කර වුයේ නැත. එසේම ඔවුන්ගේ රැකියාවන් හෝ ව්‍යාපාර ක්‍රිකට් ක්‍රීඩාව සමග කිසිසේත්ම සම්බන්ධ වුයේද නැත. 

අපි 1996 වසරේ ලෝක කුසලානය දිනා ගතිමු. ඉන් සමසක් යාමට පෙර එම ජයග්‍රහණයෙහි ලා සුවිසල් කාර්යභාරයක් ඉටුකළ ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා මහතා ගෙදර යැවීය. ඒ ක්‍රිකට් ආයතන නිලවරණයේ චන්ද දායකයන් ගත් තීරණයයි. ඒ වෙනුවට පත්වන්නේ ක්‍රිකට් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ව්‍යාපාරිකයන් පිරිසකි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා උපයා ගත හැකි පෞද්ගලික ධනස්කන්ධය පිළිබඳව ඉව වැටී සිටි හයිනාවන් රැලක් විය. එහි කූට ප්‍රාප්තිය සිදුවන්නේ ඉතා පහල මට්ටමෙන් යන්තම් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූ, මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සිරගත වූ, පරම්පරාවෙන් සූදුව ව්‍යාපාරයක් කරගත් අයෙක් ක්‍රිකට් සභාපති පුටුවට පත්වීමෙනි.

එතෙක් බොහෝ විට නිතරඟයෙන් හෝ සුහඳ චන්දයකින් තේරුණු ක්‍රිකට් පාලක මණ්ඩලය, බලූ  බල පොරයක් බවට පත්විය. චන්දය සඳහා පමණක් වූ කාඩ්බෝර්ඩ් ක්‍රීඩා සමාජ බිහිවන්න විය. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා වසරකට වැයකරන මුදලටත් වැඩි ප්‍රමාණයක් ක්‍රිකට් පාලක මණ්ඩල චන්ද විමසීම පවතින යුගයේදී විසිවෙන බව දන්නෝ කතා කරන්න විය. වරක් ලංකාවේ ධනවත්ම ක්‍රීඩා ආයතනය වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටට බරක් වූ ණයකාරයෙකු විය. 

අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩකයන් වෙතද දරුණු චෝදනා එල්ලවෙමින් පවතී. ඉතා තීව්‍ර ලෙස තරඟ පාවා දීම් සහ වෙනත් වංචාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. 

හිටපු සභාපති වරයා මෙම චෝදනාවලට වැරදිකරුවෙක්ද නැත්ද යන්න අනාගතය තීරණය කරනු ඇත. නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ. සූදුව පවුලේ ව්‍යාපාරයක් වූ, අපරාධ චෝදනා මත සිරභාරයට පත් වූ පුද්ගලයෙක් ක්‍රීඩා ආයතනයක ඉහලම පුටුව හෙබවීමට ඇති සදාචාරය කුමක්ද යන්නයි? එවන් පුද්ගලයෙකු මුල් පුටුවට පත් කරගැනීමට කටයුතු කල ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ගේ සදාචාරය කුමක්ද?

"සදාචාරය"- ලංකාවට විහිළුවක් වැනිය.

සදාචාරාත්මක නොවන පාලකයෙක් මුල් පුටුවේ තබාගෙන ඊට පහල නිලධාරීන්ගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් සදාචාරාත්මක ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තුවන ජනතාවද විහිළුවකි. 

...........................................................................................

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිරීක්ෂණය කරන අයෙකුට පැහැදිලිවම පෙනෙන කාරණයක් නම් ඔවුන් තනි තනිව ගත් කල ඉතා ඉහල කෞශල්‍යයක් ඇති ක්‍රීඩකයන් බවයි. උදාහරණයක් ලෙස ඔවුන් වෘතිය බොක්සිං ක්‍රීඩකයන් වුවා නම්, බොහෝ තරඟ ඔවුන් ජයගනු ඇත. අවාසනාවකට ඔවුන් කණ්ඩායමක් ලෙස එකතුවන්නේ එකිනෙකා කෙරේ කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමකය. මුල් පුටුවේ සූදු නියාමකයෙක් සිටින විට ඔවුන්ට කිසිවෙකු සහෝදරත්වයෙන් පිළිගත නොහැක. 

ජාතික කණ්ඩායමෙන් පිටතදී මාලිංග පන්දු යැවූ ආකාරයත් (මුම්බායි ඉන්දියන් පිළ සඳහා), සංගක්කාර පිති හරඹයේ යෙදුනු ආකාරයත් (සසෙක්ස් පිළ සඳහා) අධ්‍යනය කරන්න. මීට ආසන්න වකවානු වලදී ඔවුන්ගේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වූ දායකත්වය ඊට වඩා බොහෝ සෙයින් පහල මට්ටමක විය. මේ පිළිබඳව බොහෝ දෙනා මත පල කලේ ඔවුන් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි. එහෙත් කිසිවෙක් ගැටළු මූලය පිළිබඳව දැඩි අවධානයක් යොමු කලේ නැත.

අද සූදු නියාමක සභාපතිවරයා නැත. එහෙත් ඔහුගේ දැවැත්ත සෙවණැල්ල ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව වසාගෙන ඇත. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත දෙපයින් නැගී සිටීමට නම් මේ පුද්ගලයා සිය කැමැත්තෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත යුතුය. ඉන් පසු තවත් ටික කලක් යන තෙක් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සඳහා වැඩ සටහන් දියත් කල යුතුය. 

නොඑසේ නම් අපිට තව ටික කලක් තරගාවලිය පැරදුන පසු අවසන් තරඟය දිනා සැනසෙන්න සිදුවනු ඇත. ඒ ටික කලද ඉක්ම ගිය පසු සුදු ශෝදනය දායාද කරගන්න වනු ඇත.

දැනටමත් අපි ආසියාවේ අන්තිමයා වී ඇත.




Monday, 24 December 2018

ලංකාවේ ඇමරිකන් රෙස්ලින්




අද ලංකාවේ දේශපාලනය දෙස බලන විට මගේ මතකයට එන්නේ American Wrestling ය. එකෙක් අනෙකාට දැන් දැන් මැරී වැටෙතැයි අපිට සිතෙන ආකාරයෙන් පහර දෙයි. සමහර විට පුටුවකින්ද ඔලුවට ගසයි. හැමවිටම ඔවුන් අතට හසුවන්නේ එකම හැඩයේ එකම විදියේ පුටුවකි. ටික වෙලාවකින් ගුටි කෑ හාදයා කිසිම දෙයක් නොවුනා සේ ගුටි දුන් එකාට අර විදියටම බැට දෙයි. 

මෙහි වඩාත්ම විනෝදාත්මක කොටස උන්මාදයෙන් මෙන් දඟලන නරඹන්නන්ගේ විසිල්, බල්ටි සහ අනෙකුත් විප්‍රකාරයි. 

- පිටස්තරයෙක් 

...............................................................................

මෙම මල්ලවපොර දර්ශන නරඹන කුඩා දරුවකුට වුවත් එම සියළු සටන්වල ඇති විකෘති ස්වභාවය මැනවින් අවබෝධ වෙයි. මේ ගැන මට ප්‍රත්‍යක්ෂ අදහසක් දුන්නේ එම ව්‍යාපාරයට සම්බන්ධ කළමනාකරුවකු විසිනි. මෙක්සිකන් සම්භවයක් ඇති ඔහු මට හමුවන්නේ අහම්බෙනි. 

වරක් ඩුබායි ගුවන් තොටුපලේ ඉතාලියට යන ගුවන් යානය බලපොරොත්තුවෙන් සිටි මට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මගේ නම කියවෙනු ඇසුනි.

"ඉතාලියේ වැනීසි නගරය දක්වා අසවල් ගුවන් යානයෙන් ගමන් කිරීමට සිටින C. Gomes මහතා අසවල් කවුන්ටරය වෙත වහා පැමිණෙන්න". ගුවන් තොටුපලකදී මෙවැනි නිවේදනයක් නිතැනින්ම ඔබ තැති ගැනීමට ලක් කරයි. 

වහාම අදාළ කවුන්ටරය වෙත ගිය මා එහි සිටි සේවිකාව අමතන්න සූදානම් වුවා පමණකි. කිටිකිටියේ ඇඟට තදවුනු ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි හයේ හතරේ පුද්ගලයෙකු (සුවිසල් දේහධාරියකු) මටත් පෙර සේවිකාව ඇමතීය. 

"ඔබ මාව ඇමතුවා නිවේදන පද්ධතියෙන්, මොකක්ද හේතුව? මම ක්‍රිස්ටියන් ගෝමස්" ඔහු ඇසුවේ තරමක් නොසන්සුන් ස්වරයකිනි. 

"මම චන්දිම ගෝමස්. යන්නේ වැනීසියට. මම හිතුවේ ඔබ ඇමතුවේ මාව කියා" මමද මේ යෝධයා පරදන හඬින් පැවසුවෙමි. 

"ඔහෝ, මෙය කලාතුරකින් සිදුවන සමපාත වීමක් (coincidence)". ගුවන් සේවිකාව සිනහ මුසු මුහුණින් පැවසුවාය. යෝධයාටද සිනහ පහළවිය. 

ඇමතුම ලැබී තිබුනේ ක්‍රිස්ටියන් ගෝමස්ටයි. ප්‍රථම පන්තියේ ආසනයක ගමන් කරන ඔහුගේ checked-in බෑගය හඳුනා ගැනීමේ ගැටළුවක් මතුවී තිබුණි. මම ඔවුන්ට සමුදී නැවතත්, ගුවන් යානයට නැගීමට පෙර මගීන් රැඳී සිටින ශාලාවට පැමිණියෙමි. 

ටික වෙලාවකින් ක්‍රිස්ටියන්ද ශාලාව වෙත පැමිණි අතර ඉදිරිපෙළ ආසනයක සිටින මා දුටු ඔහු එදෙසට පිය නැගීය.

"What a coincidence" කියමින් ඔහු මා අසලම වූ අසුනේ වාඩි ගත්තේය. 


එතැන් පටන් ඊළඟ පැයක පමණ කාලය තුල මා සමග ඉතා කුළුපඟ වූ මේ අපූරු පුද්ගලයා වෘතිය පිළිබඳව බොහෝ දේ මා සමග පැවසුවේය. 

දිග කතාවක කෙටි සාරාංශය මෙසේය. 

බොහෝ විට ඇමරිකානු මල්ලව පොර තරඟ සඳහා ඉදිරිපත්වන තරඟකරුවන් යොදවන්නේ සමාගම් හරහාය. මෙහිදී එම සමගම සහ තරඟ සංවිධායකයන් අතර මූලික එකඟතාවයක් ඇති කරගනී. 

සමහර තරඟ මුල සිට අගටම 100% ක් පෙර ලියන ලද තිර රචනයකට අනුව ක්‍රියාත්මක වෙයි. සමහර තරඟ 50% ක් තිර රචනය අනුව සිදුවන අතර ඉතිරි කොටස ඒ අවස්ථාවේදී තරඟ කරුවන්ට අවශ්‍ය ආකාරයට සිදුවේ. තරඟ නීති උල්ලංඝනය කිරීම්ද පෙර සිදුවන එකඟතා අනුව ක්‍රියාත්මක වේ. 

සියල්ල සිදුවන්නේ නරඹන්නාගේ විනෝදාශ්වාදය උපරිම තලයකට ගෙන ඒම සඳහාය. සමහර විට ක්‍රීඩකයාට අදාළ සමාගම අවසාන මොහොතේදී තිර රචනය අනුව තරඟ කිරීමට නම් වැඩිපුර මුදල් ඉල්ලා සිටින අවස්ථා නැතුවාම නොවෙයි. සමහර අවස්ථාවල මෙහිදී ඇතිවන විසංවාද කෙලවර වන්නේ ක්‍රීඩකයා තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමෙනි. සමහර විට තරඟය පටන්ගත් සැනින් එකෙක් පරාජය වෙයි. මෙය සංවිධායකයන්ට රිදවීමේ හොඳම ක්‍රමයයි. 

ක්‍රිස්ටියන්ට අනුව මේ කිසිඳු අවස්ථාවක සූදුව සඳහා තරඟ පාවාදීමක් සිදුවන්නේ නැත. සියල්ල කෙරෙන්නේ නරඹන්නාගේ උපරිම තෘප්තිය සඳහාය. 

"ඉතින් බලන්න එන මිනිස්සු දන්නේ නැද්ද මේ තරඟ කලින් සැලසුම් කර ක්‍රියාත්මක වන බව" මම ක්‍රිස්ටියන්ගෙන් ඇසුවෙමි. 

"බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා" ඔහු ඉතා සැහැල්ලුවෙන් පැවසීය.

"එහෙනම් ඇයි ඔවුන් මේ තරඟ බලන්න ඇවිත් ඔය තරම් ඔල්වරසන් දෙන්නේ" 

"ඔබ චිත්‍රපටි බලන්නේ නැද්ද? චිත්‍රපටි බලන්න ඇවිත් වීරයා දිනන විට විසිල් කරමින් කෑගසන මිනිසුන් ඔබ දැක නැද්ද? නැතිනම් ඔබ මෙක්සිකෝවට පැමිණෙන්න" කියමින් ක්‍රිස්ටියන් මහා හඬින් සිනාසුනේය.


ලංකාවේ දේශපාලනයට වඩා ඇමරිකන් රෙස්ලින් යතාර්ථවාදී බව මට සිතෙයි. 



Sunday, 23 December 2018

අද දේශපාලනය - පිටස්තරයෙකුගේ ඇසින්


1980 ගණන්වල කෝට්ටේ රජ මහා විහාරයේ පැවති උත්සවයකදී එවකට ප්‍රවීණ දේශපාලඥයන්වූ කිහිප දෙනෙක් සංවාදයේ  යෙදෙන දුර්ලබ අවස්ථාවක් දැක ගැනීමේ භාග්‍ය මට උදා විය. මේ 88/89 භීෂණයට පෙර සමයයි. එම දේශපාලකයෝ ආරක්‍ෂකයන් කිසිත් නොමැතිව ටකරන් මඩුවක පනවා තිබු අසුන් මත හිඳගෙන වුන්හ. එවන විට උත්සවයේ නිල කටයුතු අවසන් වී තිබුණු අතර ඔවුන් සතුටු සාමිච්චිය සඳහා තව දුරටත් රැඳී සිටින බව පෙනුනි. ඉතා සැහැල්ලුවෙන් එහෙත් බැරෑරුම් කරුණු සම්බන්ධයෙන් ඔවුහු සාකච්චා කළහ. 

එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල ආනන්ද තිස්සද අල්විස් සහ නිශ්ශංක විජයරත්න යන මහත්වරුන්ද, වාමාංශික ව්‍යාපාරයේ නියමුවෙකු වූ ලෙස්ලි ගුණවර්ධන මහතාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල ස්ටැන්ලි තිලකරත්න මහතාද තවත් නාදුනන අයෙක්ද එහි විය. 

ශ්‍රී ලංකාවේ එවකට පැවතී විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව විය. නිශ්ශංක විජයරත්න මහතා ඉතා අඩුවෙන්ද නාදුනන පුද්ගලයා ඉතා තීව්‍ර වශයෙන්ද මෙහිදී අදහස් දැක්වීය. එවකට සිටි මහාමාත්‍යවරුන්ගේ නම් මෙන්ම ලෝක දේශපාලනයේ චරිතද සංවාදයට ඇදී ආවේය. සෑම චරිතයකම ආකල්ප පමණක් සකච්චාවට බඳුන් විය. විටෙක පන්සල් පරිසරයක තිබිය යුතු හඬ මට්ටම ඉක්මවා යන තරම් කතාබහ වේගවත් විය. 

ඊට වසර කිහිපයකට පසු එදා එම සංවාදය අසාගෙන සිටි කිහිප දෙනාගෙන් අයෙකු මට සරසවියේදී මුණගැසුණි. ඔහුගෙන් දැනගත් පරිදි අර නාදුනන පුද්ගලයා එස් ඩී බණ්ඩාරනායක විය. ඔහු ගම්පහ අසුන නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකි. 

ඉන් දශක කිහිපයකට පසු මට නැවතත් නුතන දේශපාලකයන්ගේ සංවාදයකට ඇහුම්කන් දීමට සිදුවිය. ඒ දිවයිනේ ප්‍රධාන පාසල් දෙකක ආදී සිසුන්ගේ සුහඳ හමුවකදීය. මෙම දේශපාලකයන් බොහෝ දෙනෙකුගේ අද පක්ෂය, ඊයේ පක්ෂයවත් හෙට පක්ෂයවත් නොවේ. කිහිප දෙනෙක් පමණක් එක්සත් ජාතික පක්ෂයේ චිරාත් කාලයක් රැඳී සිටින්නේය. 

ඔවුන් අතරින් කිහිප දෙනෙකුම මා පෞද්ගලිකව දැන හඳුනන බැවින් ඔවුන් ගේ නම් මෙහිදී සඳහන් නොකරමි. මේ වන විට මොවුන් ජවිපෙ හැර ලංකාවේ අනෙක් බොහෝ පක්ෂවලට අයත්ය. 

පක්ෂය කුමක් වුවත් ඔවුහු එකම කුලකයකට අයත් වන්නාහ. ඔවුන්ගේ සංවාදය කෙනෙකුට ඉතා විනෝදජනක ලෙස හැඳින්විය හැක. තවෙකෙකු ඉතා පිලිකුල්දායක ලෙස දැකිය හැක. මම ඒ පිළිබඳව විනිශ්චය නොකරමි. 

ඔවුන් ගේ ප්‍රධාන මාතෘකා වුයේ තම තමන්ගේ පක්ෂ වලම සිටිමින් "කඩේ යන" අනෙකුත් මන්ත්‍රී / ඇමති වරුන්ය. ඒ ඔවුන්ගේ කැලෑසියෙන් බොහෝ පහල සිටින අමනයන් පිරිසකි (ඔවුන්ට අනුව). ඒ දෙවන, තුන්වන පන්තියේ සඟයන් මේ ඉහල පන්තියේ "ශිෂ්ඨ" මිනිසුන්ගේ උපහාසයට (ඇත්තෙන්ම දැඩි අපහාසයට) ලක්වන ආකාරය ජුගුප්සා ජනකය (ආනන්දජනක හෝ ඛේදජනක ලෙස තවෙකෙකුට විස්තර කල හැක). 

යම් දේශපාලන නායකයෙක් වෙනුවෙන් කඩේ යන දේශමාමකත්වය ඉහවහා ගිය එක් දේශපාලකයෙක්, ඔහුගේම පැත්තේ ඉහල පන්තියට අනුව, මස් කට්ටක් වෙනුවෙන් තම ස්වාමියා අණ දුන් විට බුරා පනින කීකරු බලු දන්ඩෙකි. ඔහුගේ නිවස ඔහුට මෙන්ම ජනතාවටද මහා මෙරක් වුවත් එය මේ හයි-ක්ලාස් පිරිසට අනුව නම් ගුබ්බෑයමකි. ඔහු හිරේ යන්න ඇති බිය නිසා තම බාල වයසේ දියණියද දේශපාලන වේදිකාවට නැංවූ බව කියැවුණි. මෙහිදී මෙම දේශපාලුවා අයත් පක්ෂයේ තරුණ නායකයෙක් උපහාසාත්මකව ප්‍රකාශ කලේ හොඳ පෙඩිගිරියක් ඇති බල්ලෙක් නිසා සාධාරණ මිලකට ආවොත් ඔහුව විකුණා දමන බවයි.

තවත් සුපිරි දේශපාලන පක්ෂයකට අයත් නාහෙට නාහන දඩබ්බරයෙක් සහ නළු බට්ටෙක් පිළිබඳවද එම පක්ෂයේම උදවිය කියූ කතා බොහෝ දෙනෙකුට සිනහ පහල කළේය. ඔවුන් "ඩිංගක් ෆෝර්ම් කලාම ඕනෙම ගේමකට යවන්න පුළුවන් බිලී බෝයිස්ලා" බව මේ කැලෑසියේ අදහසයි.  

තව කිව හැකි දේ බොහෝය. එහෙත් මම මෙතෙකින් විස්තරය නවතමි.

...............................................................................................

තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් පහල සමාජ මට්ටම්වල පුද්ගලයන් කඩේ යැවීම අදටත් වඩා දරුණුව එකල තිබෙන්නට ඇත. තම පන්තියට එතරම් වැදගත් නොවන තරමක් විශාල ගෙවල් දොරවල්, යාන වාහන සහ සමාජයේ කැපී පෙනෙන එහෙත් අඳබාල චරිතයක් වැනි දේ ලබාදී බාලයා බැලමෙහෙවරෙහි යෙදවීම වැඩවසම් යුගයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නෂ්ඨාවශේෂ වූ දායාදයකි. එහෙත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් එදා ඉහල කැලෑසියේ දේශපාලකයා දීන නොවීය. එහෙත් අද තත්වය වෙනස්ය. මේ වෙනස ඇති කලේද ජනතාව විසින්මය. පවතින ව්‍යවස්ථාවද යම් පමණකට ඊට දායක විය. 

කිසිඳු වග විභාගයකින් තොරව දේශපානයට කිසිසේත් සුදුසුකම් නැති ජනප්‍රිය නළු නිලියන්, ක්‍රීඩකයන් ඉහල චන්ද ප්‍රතිශත වලින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව උත්සුක විය. දේශපාලන ප්‍රතිරූපය අන්තයටම පිරිහී ජනතාව විසින් ගෙදර යැවූ දේශපාලකයන් අත්ලොස්සද නැවතත් පත්කළ මන්ත්‍රීන් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඇමති කම් පිරිනැමීමට තරම් නායකයෝ විලි ලැජ්ජාවක් නැති තැනකට පත්විය. "අපි මොන අයහපත් දේ කලත් පාර්ලිමේන්තුව ඇතුලේ" යන අදහස දේශපාලකයා තුලට කා වැදෙන්නේ මේ වාතාවරණය තුලයි.

........................................................................................

දැන් අපි පසුගිය දෙමස දෙස හැරී බලමු. මෙම වකවානුව පසුගිය දශකය පුරා රටේ පැවති දේශපාලන කතාවේ කෙටි සාරාංශයක් විය. මා දකින ආකාරයට නම් ඔවුන් සියල්ලෝම හොරුය. වෙනසකට ඇත්තේ හොරුන්ගේ වර්ගිකරණයයි. 

හොරකමේ ප්‍රමාණය අනුව පොඩි, ලොකු, මහා, දැවැත්ත ආදී වශයෙන් බෙදීමක් ඇත. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකධුරයේ සිට ජනාධිපතිධුරය දක්වා යාමට මිනිසුන් වලිකන්නේ මේ වර්ගීකරණයේ ඉහල ශ්‍රේණියට සමත්වීම සඳහාය. 

පීචං හොරු සහ වැදගත් හොරු ලෙස තවත් දෙකොටසකි.  ප්‍රාදේශීය සභාවේ සිටියදී වැලි ලොරියෙන් ගත්ත කප්පමද ඇමතිකමක් ලැබුණ පසුත් ගන්න හදන පිරිස පළමු කොටසයි. ඔවුන් තත්වය අනුව හොරකම අප්ග්‍රේඩ් කරගන්න තරම් විඥානයක් නොමැති උදවියයි. වැදගත් හොරු පහසුවෙන් අදාළ සමාජ තත්වයට අනුගත වෙයි. 

ශූර හොරු සහ අමන හොරු ලෙස ඇත්තේ වැදගත්ම වර්ගීකරණයයි. 2015 ජනවාරියේදී සිදුවන්නේ වැඩි බලතල පළමු කොටසින් දෙවන කොටසට හුවමාරු වීමයි. ශූර හොරු සොරකමේදී සුක්ෂම වෙති. ඔවුන් ලෙහෙසියෙන් නීතියේ රැහැනට හසුවන ලෙස හොරකමේ නොයෙදෙති. අමන හොරු කලබලකාරිය, සොර කලාවෙහි ලා ඥානය මදය. පහසුවෙන් හසුවෙති. 

මා දකින ආකාරයට 2015 ජනවාරි විප්ලවය ජනතාවට වැදගත් වන්නේ මේ සොරුන් වර්ගයේ වෙනස්කම සිදු වූ නිසාවෙනි. තවත් ශූර හොරුන් පිරිසකට බලය හුවමාරු වුවා නම් රට වල පල්ලටම යනතෙක් සොරකම සිදුවන්න තිබුණි. අමන සොරුන් නිසා සොරකම් කිරීමේ ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් විය. ඒ සමගම කල යුතුව තිබුනේ ජනතාව එකාවන්ව නැගිට සොරකමට එරෙහිව සිටි-සිටින සියළුම පාර්ශවයන්ට එරෙහිව කටයුතු කිරීමට පාලන තන්ත්‍රයට මෙන්ම අධිකරණයටද බලකිරීමයි. 

නමුත් අවාසනාවකට සිදු වුයේ වෙනෙකකි. ජනතාවට එදිරිව සියළුම හොරු අත්වැල් බැඳගන්නා ලදී. සොරකම් සෙවීමේ යාන්ත්‍රණයක් වෙනුවට නොයෙකුත් ආකාරයේ නර නාඩගම් එකක් හැර එකක් රටේ මතු වන්න විය. ජනතාව ඒවා පසු පස හැල්මේ දිව ගියා මිස තමාගේ උන්නතිය උදෙසා විය යුත්තේ කුමක් දැයි කල්පනා කලේ නැත.

පොලියට ගත් නය ගෙවීමට පොලියට ගත් නයෙන් විශාල ප්‍රමාණයක් ගසා කෑමේ ප්‍රතිඵල අද අපට ඇස් පනාපිට පෙනෙන්නට ඇත. රටේ මුළු ආදායම ඉක්මවා යාමට ආසන්න තරම් මුදලක් නය වාරික ලෙස ගෙවිය යුතුය. රටේ ආරම්භ කල බොහෝ ව්‍යපෘති චීනයට පවරා දීම හැර වෙන දෙයක් කිරීමට කිසිවෙකුටත් නොහැකි තත්වයක් උද්ගතවී ඇත. උදාවන සෑම දිනයක්ම නිමා කිරීම රටට අති විශාල අභියෝගයක් වී ඇත. 

මේ සියල්ල ජනතාවගෙන් වසන් කර තව ටික කලක් ඇදගෙන යාමට (හොරා කෑමට) දේසපාළුවා ඉතා හොඳ සුසංයෝගයකට පැමිණ සිටියි. වරකට එක බැගින් එක් පසෙකින් විදේශ කුමන්ත්‍රණ, බුදු දහම හා සිංහල ජාතිය, සමනලයන්, කොටි ත්‍රස්තවාදය, මහා බැංකු කොල්ලය මහජනතාව වෙත මස් කටු සේ විසිකරයි. අනෙක් පසින් තජුඩීන්, සිරිලිය ගිණුම, ක්‍රිෂ් ගනු දෙනුව, සුදු වෑන් සංස්කෘතිය, චීන ගිවිසුම් විසි කරයි. මහජනතාව තමන් සිටිනා පුපුරන්න ආසන්න ගිනි කන්ද පිළිබඳව අමතක කර මස් කටු වලට පොරකයි. සොරුන්ගේ එකමුතුව කොපමණ ප්‍රබල දැයි අද සමාජ ජාල කියවන පිටස්තරයෙකුට පහසුවෙන් වටහාගත හැක. 

ඔබ පසුගිය වසර 3-4 ක පමණ කාලය හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබට ඉතා හොඳින් යම් කාරණයක් වැටහෙනු ඇත (වටහා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්නම් පමණක්). දේශපාලුවන් කිසිවෙක් ඔවුනොවුන් කිසිවෙකුට හානි කරන්නේ නැත. හොඳින් සැලසුම් කල පිටපතක් ඉඳහිට ජනතා ප්‍රදර්ශනය සඳහා රඟ දැක්වෙන අතර ජනතාව දෙපිල බෙදී විසිල් ගසයි නැත්නම් හූ කියයි. 

දෙසපළුවන් එකෙක් වැටෙන විට සාමාන්‍යය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි ලෙස විරුද්ධ පිලෙන් එකෙක් ඉදිරිපත්වී ඔහුව ගොඩ ගනී. මෙය පෞද්ගලික මෙන්ම සාමුහික මට්ටමින්ද සිදුවේ. මේ රංගනයට නොයෙකුත් ආකාරයෙන් දායක වෙමින් මස් කුට්ටිය බෙදා ගැනීමට හවුල්වන වෘතිය සමිති කිහිපයක්ද වේ.  

දැන් ජාතියක් ලෙස අප ප්‍රමාද වුවා වැඩි බව මට සිතේ. ඊළඟ වසර තුල තෙල් මිල, බඩු මිල මෙන්ම බදු බරද අඩුවනු ඇති බව තාර්කිකව සිතන අයෙකුට පැහැදිලිව පෙනෙයි. ඒ නුවණැති පොලිටික්කාගේ තාවකාලික ගැලවීමේ ක්‍රමවේදයයි. 

මේ සහන පිළිබඳව ප්‍රවෘති ඇසෙන විට ඔබට හඬා වැලපීමට සිතේ නම් ඔබ බුද්ධිමත් අවාසනවන්තයෙකි. 








Wednesday, 5 December 2018

අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින්



වසර 7 ක් පුරා දැලි පිහියෙන් කිරිකන හැටි ලොවට කියා දුන් රාජ්‍ය නායකයා ලෙස මම ඔහුව හඳුන්වා දෙන්නෙමි. මෙතෙක් කල් මා, බලයේ සිටින රාජ්‍ය නායකයෙකු සමග සුහඳ කතා බහක යෙදී ඇත්නම් ඒ ඔහු සමග පමණි. ඔහු පර්වේෂ් මුෂරෙෆ්ය (Pervez Musharraf). මා දන්නා තරමින් හමුදා කුමන්ත්‍රණයකින් රටක් අල්ලා ගත් මිලිටරි නායකයෙක් දීර්ඝ කාලින පාලනයකින් පසු ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියා නම් ඒ මුෂරෙෆ් පමණකි. අනෙක් සියල්ලෝම එක්කෝ මිය පරලොව ගියෝය. නැතහොත් සිරගෙදර ගියෝය. 

මා මුෂරෙෆ් මහතා හමුවූ දිනම එවන විට පකිස්ථානය දැවැත්ත තාක්‍ෂණික විප්ලවයක් කරා මෙහෙයවමින් සිටි යෝධ චරිතයක් මුණ ගැසුණි. ඒ අතා-උර්-රහ්මාන් (Atta-ur-Rahman) නම් විද්‍යාඥයාය. කලින් සිටි ඇමතිවරයෙක්ද වූ ඔහු ඒ වන විට මුෂරෙෆ් මහතාගේ දකුණු අත බඳු විය.  

ටික වෙලාවක් අප සමග කෝපි කෝප්පයක් තොලගාමින් සාමිච්චියේ යෙදී සිටි මුෂරෙෆ් මහතා අපෙන් සමුගෙන ගියේ මා රැගෙන යාමට වාහනය එන තෙක් අපට කතා බහ ඉදිරියටත් කරගෙන යන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවයි.  අතා-උර්-රහ්මාන් මහතා සමග ගත කල ඊළඟ විනාඩි 10ය මා ජිවිතේ ලද විශාලම දැනුම් සම්භාරයකට මග පෑදීය. 

පකිස්ථානය, ලංකාව වැනි ලෝකයේ ඇති ආර්ථික ඇබිත්තයන් පමණක් නොව යුරෝපයේ සියළු රටවල්, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි සද්ධන්තයන් පවා පසුගිය දශක ගණනාවක් තුල යම්තාක් දුරකට පාලනය වුයේ ඇමරිකානු සමාගම් කිහිපයකට අවශ්‍ය ආකාරයටය. මෙම සාකච්චාවෙන් පසුව ගෙවුණු දශකයකට වැඩි කාලය තුලදී මම අමතර කාරණා දෙකක් පසක් කරගතිමි. ඉන් පළමුවැන්න නම් සෙසු ලෝකය පමණක් නොව ඇමරිකානු පාලන තන්ත්‍රයද මෙම සමාගම් වල රූකඩයක් බවයි. දෙවැන්න,  ලෝකයේ සිටින ආර්ථික වශයෙන් අසරණ බොහෝ රටවල පාලන තන්ත්‍රයේ දුරස්ථ පාලකය ඇමරිකානු සමාගම් වලින් බිඳී නව වහල් හිමියකුගේ අතට පත්වෙමින් තිබෙන බවයි. ඒ චීනයයි.

"චන්දිම, අපිට බැහැ අපිට ඕනේ විදියට කෙබාබ් (Kebab) හදන්න. ඒක කරන්න ඕනේ ඇමරිකානු කොම්පැනි වලට ඕනේ විදියට. මේක තමයි සරල යථාර්තය. හැබැයි අපි අවංක නම් ඒ වගේම දක්ෂ නම් අපිට පුළුවන් අපේ දේවල් වලින් අපේ කටට ඕනේ රහට, ඒත් ඇමරිකන් කාරයට ඕනේ විදියට කෙබාබ් හදන්න". අතා-උර්-රහ්මාන් මහතා මට ඉතා දිග පාඩමක් කෙටියෙන් කියා දුන්නේය.

කොහොම කෙබාබ් හැදුවත් එක් අවස්ථාවකදී මුෂරෙෆ් මහතා ඇමරිකානුවන්ට අවශ්‍ය වට්ටෝරුවෙන් මදක් පිට පැන්නේය. ඒ ඔහු පමණට වඩා දේශීය බලවේගයන්ට කිට්ටු වූ බැවිනි. ප්‍රතිපලය වුයේ ඔහු බලයෙන් පහ වීමයි. එහෙත් බලයෙන් පහවී යහතින් තම ඉදිරි දිවිය ගෙනයාමට තරම් (යම් කාලයක් ස්ව-කැමැත්තෙන් රටින් පිටුවහල් වී සිටියද) මුෂරෙෆ් මහතා භාග්‍යවන්ත විය. ඒ ඔහු පකිස්තානු ජනතාවට අගතියක් නොකළ හෙයින් බව මම සිතමි.



දැන් මා ඔබට කීමට යන්නේ බොහෝ දෙනෙකුගේ හද පාරවන කතාවකි. එය සිංහල ඔබගේ හිතට යවුල් පහරක් වනු ඇත.

අපේ රටේ 30 අවුරුද්දක් තිස්සේ කුරිරු යුද්ධයක් තිබුණි.

"මෙම යුද්ධය ඉන්දියාවට අවශ්‍ය විට ඇරඹුණි. ඉන්දියාවට අවශ්‍ය විට සමාප්ත වුනි".

ඔවුන්ගේ එම අවශ්‍යතාවය වෙනුවෙන් ලක්‍ෂයකට අධික මිනිසුන් සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වුනි.  

70 දශකය නිමා වන විට ලංකාව ඉන්දියාවෙන් යම් පමණකට ස්වායත්ත ආර්ථික වර්ධනයක් කරා යොමුවී තිබුණි (එහි සමාජීය ගුණ දොස් වෙනමම සාකච්චා කල යුතුය). ඉන්දියාව එවන විට සෝවියට් කඳවුරේ හිතමිතුරෙකු වූ අතර පකිස්ථානය ඇමරිකන් කඳවුරේ විය. ලංකාව 70-77 කාලය තුල ගිය ගමන් මග අංශක 180 කින් කරකවා ඇමරිකන් ගැත්තකු බවට පත්වී තිබුණි. මේ වාතාවරණය ඉන්දියාවට අහිතකර වුවාට සැක නැත. ප්‍රතිපලය වුයේ මධ්‍යම රජයේ සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ පුර්ණ ආශිර්වාදය සහිතව දකුණු ඉන්දියාවේ LTTE පුහුණු කඳවුරු ඇතිවීමයි. මේ සඳහා ඉන්දියාවේ එවකට පැවති ප්‍රාන්ත දේශපාලන වාතාවරණයද හේතු සාධක වන්නට ඇත. 

අහඹු සිදුවීමක් නොවන 83 කළු ජූලිය පසුපස ඉන්දියානු හස්තය තිබූ බව එවකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්චා වූ කරුණකි.  හමුදා සෙබළුන් ඝාතනය කිරීම මෙන්ම ඉන්පසු ඇරඹි මෝඩ සිංහල අතලොස්සකගේ මංකොල්ලයද ඉතා මැනවින් සැලසුම් කල ක්‍රියාදාමයක් බවට සාක්ෂි එමට තිබුණි. 



ඉන්පසු එළඹී දශකයේදී ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තරමටම රටේ ගැටලුවලට මැදිහත් විය. ලංකාවේ ජනමාධ්‍ය වල රටේ ජනාධිපතිවරයාට නොදෙවෙනි තැනක් ජේ එන් ඩික්සිත්ලාට හිමි විය. ඉන්දියාවට අවශ්‍ය ආකාරයට යුද්ධය හා සාමය දෝලනය වන්න විය. රජයේ සහ LTTE නියෝජිත කණ්ඩායම් ඉන්දියාව  කියන කියන ආකාරයට සාම සාකච්චා සඳහා නව දිල්ලියට, තිම්පු නුවරට ආදී වශයෙන් චාරිකා කරන්න විය. 

මේ අවධියේ ලංකාවට යම් හෝ වාසියක් අත්පත් කර දුන් එකම ක්‍රියාවලිය ලෙස මා දකින්නේ ඉන්දු-ලංකා සාම ගිවිසුමයි. එහි අඩුපාඩු මෙන්ම එය අත්සන් කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයා අනුගමනය කල ක්‍රියාමාර්ග වල පැහැදිලි දුර්වලතා තිබුනත් එය සිදු නොවන්න ලංකාවේ අනාගතය බොහෝ සෙයින් අභාග්‍ය සම්පන්න වන්නට තිබුණි. එහෙත් එහි තිබු බොහෝ වාසි ලංකාවට නෙලාගැනීමට තිබු අවස්ථාවන් එවකට සිටි රැඩිකල් දේශපාලකයන් අහුරා දැමීය. 

අන්තර් ජාතික දේශපාලනය කොතරම් සංකීර්ණ මෙන්ම තක්කඩි දැයි පෙන්වීමට හොඳම සාධකය අසූව දශකයේ ඊශ්‍රායලය ලංකාවේ ගැටළුවට සම්බන්ධ වූ ආකාරයයි. වික්ටර් ඔස්ත්‍රෝවුස්කි (Victor Ostrovsky) නම් මොසාඩ් නිලධාරියා ලංකාවට වැදගත් වන කරුණක් පසුකාලීනව හෙළිකරයි. මොසාඩ් සංවිධානය ඉන්දියාවේද අනුදැනුම පිට එකම කාලයක ඊශ්‍රායලයේ කන්තාරබද ප්‍රදේශයක ලංකා රජයේ හමුදා මෙන්ම LTTE සාමාජිකයන්ද  පුහුණු කර ඇත. මේ සඳහා එකිනෙකට නුදුරේ වූ කඳවුරු දෙකක් යොදාගෙන ඇත. රජයේ හමුදා පුහුණු කිරීම සඳහා මුදල් ලබා ගෙන ඇති අතර LTTE සාමාජිකයන්ගෙන් මුදල් මෙන්ම නොයෙකුත් සේවාවන්ද ලබා ගෙන ඇත. 

"මේ වඳුරන් අතට ආයුධ දී කාන්තාරය මැද එකිනෙකා මරා ගැනීමට ඉඩ දුන්නා නම් කොපමණ අහිංසක මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබුනා දැයි" කියමින් ඊශ්‍රායල් නිලධාරීන් විනෝද වූ බව ඔස්ත්‍රෝවුස්කි පවසයි.

ඉහත විහිළුව තුල ඇති කටුක යතාර්ථය ඔබට තේරුම් ගත හැකිද? ඔබගේ ලාංකික, සිංහල, බෞද්ධ යන ලේබල් ගලවා මේ දෙස බලන්න. පිටස්තරයන් පිරිසක් එකම රටක සහෝදර දෙපිරිසක් රිලවුන් මෙන් නටවමින් විනෝද වන අයුරු ඔබට පෙනෙනු ඇත. ඒ විනෝදය උදෙසා ධනය සහ ජීවිත කොතරම් නැති වුනාද? වරද කා අතද?  



90 දශකයේ මුල් වසර කිහිපය බොහෝ විචාරකයන් හඳුන්වන්නේ "මායිම් ප්‍රති-අර්ථ දැක්වූ යුගය (Era of redefining borders)" ලෙසයි. සෝවියට් දේශය දේශසීමා ගණනාවකට කැඩුනි. බටහිර සහ නැගෙනහිර ජර්මනි අතර තිබු දේශසීමාව මෙන්ම දකුණු අප්‍රිකානු සමාජයේ තිබූ ආපාතෙඩ් සිමාද වියැකුනි. ඉන්දියාව සහ ඇමරිකාව අතර මිතුදමක් ගොඩනැගුණු අතර පකිස්ථානය චීනය වෙත සමීප විය. ලංකාව දෙලොවක් අතර තනි විය. 

මා දකිනා ආකාරයට ඇමරිකාවට කිසිදාක ලංකාව පිළිබඳව විශේෂ උනන්දුවක් තිබුනේ නැත. ඔවුන්ට වැදගත් වන්නේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන්ද දැවැත්තයෙකු වන ඉන්දියාවයි. ඔවුන් ලංකාවේ කටයුතු වලට බලපෑමක් කරයි නම් ඒ බොහෝ විට ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව විය හැක. යුරෝපයට හෝ කැනඩාවටද ලංකාව එතරම් වැදගත් වන්නේ නැත. එම රටවල දේශපාලකයන්ට ලංකාවේ ප්‍රශ්ණය යම් තරමකට අදාළ වුයේ ඒ රටවල සිටිනා චන්ද බලය හිමි දෙමල ඩයස්පෝරාවේ සැලකිය යුතු ප්‍රමාණය නිසාය. අදටත් මෙම රටවල් පිළිබඳව පමණට වඩා විශාල භීතියක් ජනතාව අතර මවන්නේ වාර්ගික ප්‍රශ්නය හිගන්නාගේ තුවාලය කරගෙන රටේ සම්පත් සූරා කන තක්කඩි දේශපාලුවාය.   

නව සහශ්‍රකය ලබන විට LTTE සංවිධානය පිළිබඳව ඉන්දියාව තුලද තිබුනේ නොසතුටකි. ඔවුන්ගේ අගමැතිවරයෙකු LTTE හස්තය මගින්  ඝාතනය කර තිබුණි.  එමෙන්ම තමිල්නාඩුව සහ ලංකාවේ කොටසක් සමග ඊලාම් රාජ්‍ය ලෙස ඉන්දියාවේ කොටසක් කැඩී යාමේ ඉඩකඩක්ද ඇති බව ඔවුන්ට පෙනුනි. තමන් ඇරඹු ක්‍රියාවලිය තමන්ගේ පාලනයෙන් ඉවතට ඇදී ගොස් ඇති බව ඉන්දියාවට පැහැදිලි විය. ඉන්දියාවේ ගාන්ධි ආධිපත්‍ය බිඳ වැටී තිබුණු අතර 2007 වනවිට තමිල්නාඩු දේශපාලනයේද හැඩතල වෙනස් විය. 

ලංකාවේ යුද්ධය අවසන් කිරීමට තමන්ටද අවශ්‍ය බවට පණිවිඩය ඔවුන් ලංකා රජයට දන්වන්නේ මෙම කාලයේදීය. මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී බලයට පැමිණෙන විටත් ඉන්පසු ගතවූ වසරක පමණ කාලයේදීත් LTTE ය යුධමය වශයෙන් පරාජය කිරීමට ඔහුගේ අදහසක් නොවූ බව ඔහුගේ දේශපාලන සිරුරු බසින් (political body language) මනාව පැහැදිලි විය. එහෙත් ඉන්දීය රජයේ ඉඟියත් සමගම ඔහු ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රශංසනීය වේ. ඉන්පසු ගතවූ වසර දෙක තුල සිදුවූ කටයුතු බොහොමයක් ජනතාවට නොරහසකි. මහින්ද, ගෝඨාභය සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ධෛර්ය, ඥාන ශක්තිය මෙන්ම උපාය මාර්ගික ක්‍රියාන්විතයන්ද නොවන්න ඉන්දියාව මීට වඩා බොහෝ සෙයින් යුද්ධයට මැදිහත්වන්න ඉඩ තිබුණි. 



යුද්ධය අතරතුර ලංකාව පකිස්ථානයේ ආධාර ලබා ගැනීම සීමා කිරීමටත් ඒ අතරම යුද්ධය ජයග්‍රාහීව පවත්වගෙන යාම  සඳහා අවශ්‍ය අවම ආධාර පමණක් ලබා දීමටත් ඉන්දියාව වගබලා ගත්තේය. ඇමරිකාව මෙහිදී දැක්වූ නිද්‍රාශීලී ස්වභාවය ඉන්දියාවේ අවශ්‍යතාවය විය. සමහර විට ඇමරිකානු සමාගම් වලටද මෙම යුද්ධයෙහි සමාප්තිය තමාට වාසිදායක බව වැටහෙන්න ඇත. 

යුද්ධය නැවැත්වීම සහ ත්‍රස්තවාදී නායකයන් බේරා ගැනීම සඳහා යුරෝපීය රටවලින් යෙදුනා යයි කියන අති විශාල පීඩනය ගැන බොහෝ දෙනා කතා කරති. මෙම "අති විශාල" පීඩන කතාව බොහෝ සෙයින් ලංකාවේ දේශපාලකයන් තම වාසියට ගොඩ නගා ගත් සංඛල්පයක් බව පෙනේ. තම රටවල චන්ද කටයුතු වලදී වාසි ලබා ගැනීමට සමහර යුරෝපීය දේශපාලකයන් දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් යම් කර්තව්‍යයක් කරන බව පෙන්වීය. ඔවුන් එය අදත් කරයි. ඒ සඳහා ඔවුන් පුළුල් මාධ්‍ය ප්‍රචරයක්ද ලබා දෙයි. අපේ දේශපාලකයන් මේ බටහිරයන්ගේ අභිප්‍රායයන් ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහලින් මල්පල ගන්වා ඇත.  

යුද්ධයෙහි අවසන් කාල වකවානුවේදී ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් හෝ යුරෝපීය රටකින් බලඇණියක් පැමිණ බලහත්කාරයෙන් රටට ඇතුළු වුවා නම් කුමක් කළ හැකිව තිබුණේදැයි ඔබ අවංක උසස් හමුදා නිලධාරියකුගෙන් අසන්න. පිළිතුර අනිවාර්යයෙන්ම "මුකුත් නැහැ" යන්න බව මම සක් සුදක්සේ දනිමි. 

එසේ බලහත්කාරයෙන් ඇතුළු වුවා නම් ලෝක ප්‍රජාව ඊට එරෙහි වන බව සමහරුන් පවසනු ඇත. මෙය අතිශයින්ම හාස්‍යජනක ප්‍රකාශයකි. පකිස්ථානයේදී, ඇෆ්ඝනිස්ථානයේදී, සිරියාවේදී, ඉරාකයේදී, කුවේටයේදී මේ බටහිරයන් අමුඅමුවේ මානුෂීය අයිතිවාසිකම් කෲර ලෙස උල්ලංඝනය කරද්දී ඊට එරෙහිවුවෝ කවුද? 

වැඩිම වුනොත් රටවල් කිහිපයක් සිද්ධිය හෙලා දකින බවට ප්‍රකාශ නිකුත් කරනු ඇත. 

පශ්චාත් යුධ සමයේදී ඉන්දියාවේ ක්‍රියාන්විතය ඉතා සරල සහ පැහැදිලි අරමුණු කරා යොමුවී ඇති බව පෙනෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ලංකාවේ යුධ අපරාධ පිළිබඳව චෝදනා සකස්වන්නේ තනිකරම ඉන්දියාවට උවමනා ආකාරයෙන් බව සියළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මැනවින් දන්නා කරුණකි. ඉන්පසු විටෙක එම චෝදනා සම්බන්ධයෙන් මතුවන යෝජනා වලට සහයෝගය දෙමින්ද විටෙක විරුද්ධ වෙමින්ද ඔවුන් තමාට රිසි සේ නූල හසුරුවයි. 

ලොව පුරා බොහෝ ඌන සංවර්ධිත රටවල දුෂිත දේශපාලකයන් චීන මුදල් ඉදිරියේ නැවෙන බව ඉන්දියාවට පමණක් නොව මුළු ලොවටම විවෘත වූ රහසකි. කිසිඳු පක්ෂ බේදයකින් තොරව ලංකාවේ දේශපාලකයාද චීන සූත්තරයේ ඇමිණී ඇති බව සියළු දෙනා දනී. ඉන්දියාව මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මේ යථාර්ථය තේරුම් ගෙනය. 

ලංකාවේ අද සිදුවන බොහෝ දේශපාලනික වෙනස්කම් සඳහා පිඹුරුපත් සැකසෙන්නේ නව දිල්ලියේ හෝ බෙයිජිං නුවර බව ජනතාවට නම් තවමත් රහසකි. අපේ සියළුම දේශපාලකයන් මේ රංගනයේ නැට්ටුවන් පමණි.