Monday, 21 January 2019

අපි නොදන්න මාර්කටින්


ශ්‍රී ලංකාව 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගත්තේය. ඉන් අනතුරුව පැවති පළමු තරඟාවලිය සඳහා නවසීලන්තයට ගිය ලෝක ශූර ශ්‍රී ලංකා පිල හිස් ප්‍රේක්ෂකාගාර වලට ක්‍රීඩා කළේය. මා දන්නා කාලයක සිට ශ්‍රී ලංකා පිල යනු බොහෝ රටවලින් පහල ඉල්ලුමක් තිබූ කණ්ඩායමකි. සෑහෙන කලක්  සංචාරයකදී අපට ටෙස්ට් වරම් ලාබී රටවල් එක් ටෙස්ට් තරගයකට වඩා නොදෙන බවට අපි මැසිවිලි නගමින් සිටියෙමු. 

ලෝක කුසලාන ශූරතා සහ අනුශූරතා මෙන්ම අති දක්‍ෂ ක්‍රීඩකයන් අතින්ද ලංකාවට අහේනියක් නොවීය (මෑතක් වන තෙක්). එහෙත් ක්‍රීඩා වේදිකාවේදී අප හොඳ ඉල්ලුමක් සහිත පිලක් වුයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව මොන අතින් බැලුවත් ලංකාව අන්තර්ජාතික ප්‍රජාව අභියස යම් තරමකට පසුගාමිය. ලොව ඉස්තරම්ම තේ නිපදවනේ ලංකාවයි. එහෙත් තවමත් එයින් විශාලම ආදායම ලබන්නේ බ්‍රිතාන්‍යයි. මේ වන විට කෙන්යාව, ඉන්දියාව (විශේෂයෙන් Darjeeling Tea) පමණක් නොව මැලේසියාව පවා තේ වලට හොඳම සැපයුම් කරුවන් වී සිටිති. ලංකාව ලෝකයේ හොඳම මුහුදු වෙරළ තීරයන් ඇති රට බවට දෙවරක් පත්වෙද්දී (Lonely Planet) ලංකාව මෙන් 200 ගුණයකටත් වඩා කුඩා මාල දිවයිනේ මුහුදු වෙරළට, ලංකාවට එනවා මෙන් 200 ගුණයකටත් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ඇදෙයි. ලංකාවේ නිල් රතු පසිංගල් ගැන අපි පුරාජේරු කියමින් සිටින අතරේ තායි සහ චීන ජාතිකයෝ එම මැණික් කැටවලින්ම ලංකාව ලබන ආදායම මෙන් දස ගුණයක් උපයා ගනී.

..................................................................................

මේ ලිපිය මා ලියන්නේ ඉන්දියාවේ භූබනේශ්වර් නුවර පැවැත්වෙන අකුණු සහ වායු ගෝල කැළඹීම් පිළිබඳව සම්මන්ත්‍රණයකට සහභාගී වන අතරතුරයි. විරාමයක් අතර මම මිතුරු ආචාර්ය ක්‍රිෂ්ණා ගෞඩා සමග ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පිළිසඳරකට වන්නෙමි. ලංකාවේ ක්‍රිකට් පිළිබඳවද දැන් වැඩිපුර කතා කලයුතු දෙයක් නැත. එබැවින් මම වඩාත් නොසිතාම ක්‍රිෂ්ණා ගෙන් මෙසේ ඇසුවෙමි. 

"කොහොමද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන රටවලට වඩා ඉන්දියාවෙන් හමුවෙන්නේ".

මෙය වෙනත් ඉන්දියන් ජාතිකයෙකුගෙන් ඇසුවා නම් මට ඊළඟ පැය පුරා ඉතා ගැඹුරු විග්‍රහයකට ඇහුම්කන් දිය යුතු වනු ඇත. එය බොහෝ විට පුරාණ ඍෂිවරුන්ගේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙස හේතු දැක්වීමටද බැරි නැත. එහෙත් ක්‍රිෂ්ණා වෙනස් ලෙස සිතන ඉන්දියානුවෙකි.

"කවුද කියන්නේ ඉන්දියාවේ වෙන රටවලට වඩා දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා කියා". ඔහු ගත් කටටම කීය.

"වෙනස තියෙන්නේ වෙන රටවලට වඩා ඉන්දියානු ක්‍රීඩකයන්ගේ අලෙවිකරණය (marketing) හොඳයි. ක්‍රීඩකයන්ගේ විතරක් නෙවෙයි ඒ හා සම්බන්ධ සියළු දෙනාගේ. රටවැසියාගේ පවා". ක්‍රිෂ්ණා කියාගෙන යයි.

ක්‍රිෂ්ණා කියන දේ මට පිළිගත යුතුව ඇත. මුරලිදරන් ලෝකයේ සිටි වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත්  ක්‍රීඩකයාය. එහෙත් ඔහුට වඩා කපිල් දේව් පිළිබඳව ලෝකය කතා කරයි. අංශ රාශියකින් සචින් තෙන්ඩුල්කාර්ට වඩා සංගක්කාර ඉදිරියෙන් සිටියි. එහෙත් සංගක්කාරට වඩා සචින්ගේ ප්‍රතිරූපය බොහෝ සෙයින් ඉහලය. යථාර්තය මෙයයි. 

"ඉන්දීය ක්‍රීඩකයන්ගේ කැරිස්මාව (charisma; මෙයට නියමාකාරයෙන් සිංහල වදනක් නැතැයි මට සිතෙයි) ඉතා ඉහලයි. ඒ වගේම  ඉන්දියන් ක්‍රීඩා විචාරකයන්, නිවේදකයන් වගේම මාධ්‍යයත් ඔවුන්ව ඔසවා තබනවා".

බෞද්ධ කොඩිය හඳුනන්නේ නැති, ඕස්ට්‍රේලියාවෙන් මැටි ගෙන්වා තණතිලි හදන්න යෝජනා කරන, පිටරට ක්‍රීඩකයෙක් තට්ටුවක් ඇල්ලුවත් අතිශයෝක්තියෙන් වර්ණනා කරන අපගේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් මට මතක් වෙයි. 

..................................................................................

ස්වයං-අලෙවිකරණය (self-marketing) අද පමණක් නොව මිනිසා පැවතෙන දා පටන් නායකත්වයේ සහ ස්වයං-වර්ධනයේ  ප්‍රබල සාධකයක් විය.  ප්‍රාග්-ඓතිහාසික මිනිසා සතෙකු මරාගත් විට දෑතින් පපුවට ගසා ගනිමින් අත් පා ඔසවමින් මහා හඩින් කෑගසා තම අභිමානය සෙස්සන්ට පෙන්විය. මෙය ඔහුගේ නායකත්වය පිළිබඳව අනෙකාට දුන් ඉඟියකි.  අද දක්වා මෙහි වෙනසක් නැත (අද ලාංකික දේශපාලන වේදිකාව තුල පවා මෙය දෘශ්‍යමාන වෙයි). තම හැකියාවන් පිළිබඳව පෞද්ගලිකව මෙන්ම සාමුහිකවද ඵලදායි ලෙස (effectively) ලෝකයට දැනුම්දිය හැකි පුද්ගලයා හෝ සමාජය තම ජයග්‍රහණ ආර්ථික වර්ධනයන් බවට පරිවර්තනය කරගනී.

විනිසුරු දැනුම් දීමටත් පෙර තම දැවී යාම පිළිගෙන පිටියෙන් ඉවත්වන ලාංකික ක්‍රීඩකයන් සිටි සමයක් විය. තමා කඩුල්ලක් ලබාගත් විට හෝ ශතකයක් ලබාගත් විට ඉතා සංසුන්ව ජයග්‍රහණය සමරන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලේ අඩුවක් නැත. එය අපගේ නිහතමානි කම බව සමහරුන්ගේ මතයයි. නමුත් ලොවට අවශ්‍ය මේ ඕලාරික හැසිරීම් රටාව නොවේ. ලොවට අනවශ්‍ය දේ මාධ්‍යටත්, මාධ්‍යට අනවශ්‍ය දේ ආර්ථිකය හසුරුවන්නන්ටත් අවශ්‍ය නොවේ. අවසානයේදී අපිට ඉතිරිවන්නේ නිහතමානීකම සහ දුප්පත්කම පමණකි. 

ෂහිඩ් අෆ්රිඩි කඩුල්ලක් ලබා ගත් විටත්, විරාත් කොහොලි ලකුණු 50 ක් ගැසූ විටත්, දක්වන නර්තන ඔවුන්ගේ ස්වයං-අලෙවිකරණයේ අංගයන්ය. එය ඔවුන්ව මාධ්‍ය චුම්බක (media magnets) බවට පත් කරයි. පිටියේදී නිතර කිපෙන සුළු බවක් පෙන්වන, ලංකාවට ආරියාදු කතා කියන විරාත්, ශ්‍රී ලංකාවේදී පාරක් අයිනේ ලෑලි විකට්ටුවක් ඉදිරිපස කොල්ලෝ කුරුට්ටන් සමග ක්‍රිකට් ගැසීය. අපි ඔහුගේ අලෙවිකරණයේ මාධ්‍ය ප්‍රවර්ධකයන් වූයෙමු. ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම් හමුවේ ඔහුට බණිමින් සිය ගණනක් පෝස්ට් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. ඊටත් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාරේ ක්‍රිකට් ගැන පලවිය. ඔහුගේ අලෙවිකරණයේ සාර්ථක බව මෙයින්ම සහතිකවේ. අවසානයේ විරාත් කොහොලි ක්‍රීඩා කරන තරඟ බැලීමට හැම රටකම ජනතාව වැල නොකැඩී පැමිණෙයි. 

අද මේ අලෙවිකරණය පිළිබඳව අප ඉගෙන නොගත් පාඩම් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පවා හොඳින් හදාරා තිබේ. බංග්ලාදේශයේ නයා අපි ලෝකය වටේ අරන් ගියෙමු. බංග්ලාදේශය සහ වෙනත් රටවල් අතර තරඟ වලදීද එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙම නයා පෙන්වීම කරන බව මම පෞද්ගලිකව දනිමි. ඔවුන් දැන හෝ නොදැන බංග්ලාදේශයට අති විශිෂ්ඨ සේවයක් ඉටු කරයි. 

..................................................................................

ක්‍රිකට් යනු ජාතික පෞරුෂය වර්ධනය කළ හැකි උත්තේජකයක් මෙන්ම ඉතා හොඳ ව්‍යාපාරික මොඩලයකි. ඉන්දියාව තරම් මෙම ව්‍යාපාරික ආකෘතිය ඥානාන්විතව සහ අති දක්ෂ ආකාරයෙන් හැසිරවූ වෙන රටක් නැති තරම්ය. අද එය ඉන්දියාවට ධන උල්පතක් වී ඇත. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දක්ෂතාවයෙන් ඔබ්බට ගිය කැරිස්මාවක් තිබූ එකම ක්‍රීඩකයා ලෙස මා දකින්නේ ලසිත් මාලිංගයි. මෙරට තුල පමණක් නොව වෙන රටවලද නරඹන්නන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ශාරීරිකව අනුකරණය කිරීමට උත්සහ කළා නම් ඒ මාලිංගව පමණකි. එහෙත් මාලිංගගේ මේ කැරිස්මාව අලෙවි කරගත්තේ ලංකාව නොව මුම්බායි ඉන්ඩියන්ස් පිළයි. ලංකාවේ ශෝචනීය තත්වය පැහැදිලි කිරීමට මීට වඩා උදාහරණයක් නැති තරම්ය.

..................................................................................

මට පෙනෙන හැටියට නම් ලාංකිකයා තුල ජාතියක් වශයෙන් නිහතමානී කමක් නැත. අපි නිවසේ සිට සමාජයේ ඉහලම කෙලවරට යන තෙක් පුරාජේරුවට (නයා ඇරීමට) ඉතා කැමැත්තෙමු. එහෙත් අප නයි ඇරීමේ කලාවේ අන්තිම අදක්ෂයෝය. අප පුරාජේරු කියවන්නේ ස්වයං-සන්තුෂ්ඨිය හෙවත් හිත සනසා ගැනීම සඳහාය. ඒ වෙනුවෙන් අපි බොහෝ දෙනාගේ හිත් පාරමු. එය පෞද්ගලිකව මෙන්ම ජාතියක් හැටියටද අපි නිරන්තරයෙන් කරමු. මේ පිළිබඳව මම "ධනවතෙකු වීමේ මග" පොතෙහි පරිච්චේදයක්ම වෙන් කලෙමි. 

අපි නයා ඇරිය යුත්තේ පැහැදිලිවම එයින් අපට පල ප්‍රයෝජනයක් ඇත්නම් සහ එමගින් අනෙකාගේ හිත නොරිදේ නම් පමණකි. 

ඔබට ආචාර්ය උපාධියක් ඇත්නම් එමෙන්ම ඔබ වෘතියමය උපදේශකයෙක් (consultant) නම් ඔබට ඔබගේ අධ්‍යාපන සුදුසුකම නිරන්තරයෙන් ඔසවා තැබිය යුතුවෙයි. ඔබගේ සේවාලාභියා (client) ඔබ පිළිබඳව ඉහල ඇගයීමක් කිරීමෙහි ලා මේ නයි ඇරීම ඉමහත් සේ හේතුවෙයි. 

අනෙක් අතට ඔබට විවාහ උත්සවයකදී කලකට පසු අපොස උසස් පෙළවත් සමත් කරගැනීමට නොහැකි වූ ඔබේ ඥාති සහෝදරයා, මිතුරා, පැරණි අසල්වැසියා හමුවෙයි. ඔහු ඉදිරියේ ඔබගේ "ඩොක්ටරේට්" එක ගැන මහා ඉහලින් වර්ණනා කිරීමට යාම ඔබගේ සහෘදයා කණගාටුවට පත් කරනු ඇත. ඒ අතරම ඔබ බොහෝ විට විහිළුවක් බවට පත්වනු ඇත. 

ජාතියක් ලෙසද මේ පාඩම ඉගෙන ගන්නවා නම් අපට බොහෝ දේ හිමිකරගත හැකි වනු ඇත.




****************











13 comments:

  1. බීරි අලින්ට වීණා වාදනය කිරීම පලක් නැති වුණත් ඔබ ගන්නා උත්සාහය පිළිබඳව මගේ ප්‍රණාමය.

    ReplyDelete
  2. Please write a post about your publications and where to buy them!
    Thanks!

    ReplyDelete
    Replies
    1. If you are referring to "Dhanawatheku Weeme Maga" you can freely download it at https://payhip.com/b/ljHi

      After the first edition was sold out within a month after its release, I thought of making it freely available to all.

      Delete
    2. මරු පොතක්. මා කැමති ආකාරයේ කතන්දර ඇසුරෙන් ලියා තිබීම නිසා මගේ සිත ගත්තා. දැනටමත් මුල් පරිච්ඡේද දහතුන කියවා හමාරයි. අප කාගේත් සිත ඇරෙන පොතක්!

      පොතේ දහතුන්වෙනි පරිච්ඡේදය ඉතා වැදගත්. මා මගේ හොඳම යහළුවන් කිහිප දෙනෙකු සමග දේශපාලනය කතා නොකරන්නේ, ඒ අය දේශපාලනිකව වෙනස් අහස් දරණ නිසායි. නමුත් නන්නාදුනන අය සමග මා එසේ පැකිළෙන්නේ නෑ, ඇතැම්විට අද භාෂාවෙන් බයියන් කුලප්පු කිරීම යනුවෙන් හැඳින්වෙන කාර්යයේ විනෝදය සඳහා නිරත වෙනවා.

      ඔබේ උපදේශය මෙනිසා මට ඉතා වැදගත්!

      Delete
    3. මමත් පොත ගැන අහන්න හැදුවේ. බොහොම ස්තුතියි.

      Delete
  3. "කොහොමද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන රටවලට වඩා ඉන්දියාවෙන් හමුවෙන්නේ"

    මගේ පිළිතුර:
    ඉන්දියාවේ ජනගහනය ක්‍රිකට් ක්‍රීඩා කරන අන් සියළුම රටවල්වලට වඩා වැඩි නිසා ය!

    ReplyDelete
    Replies
    1. බංග්ලාදේශයේ ජනගහනය මිලියන 165 කි
      ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 ට අඩුය.
      නවසීලන්තයේ ජනගහනය මිලියන 5 ටත් අඩුය.

      නවසීලන්තයට හෝ ඔස්ට්‍රේලියාවට වඩා දක්ෂ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් බංගලාදේශයේ සිටිනවාද?

      Delete
  4. ඔබට ආචාර්ය උපාධියක් ඇත්නම් ...................
    ............
    ................බවටද පත්වනු ඇත.

    මේ ගැන මා ඔබෙන් ප්‍රශ්නයක් අසන්නම්.

    ආචාර්ය උපාධියක් ඇති අයෙකු හෝ වෛද්‍ය උපාධියක් ඇති අයෙකු හෝ එසේත් නැතිනම් නීතිඥයෙකු ලෙස දිවුරුම් දී ඇති අයෙකු නවකතාවක් හෝ වෙනත් නිර්මාණාත්මක ලේඛනයක් කර එහි ආචාර්ය/වෛද්‍ය/නීතිඥ පදය තමන්ගේ නම ඉදිරිනේ පළ කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

    එය ලිපියේ කියා ඇති පරිදි-

    ඔසවා තැබීමක් ද?
    විහිළුවක් ද?

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් සඳහා ආචාර්ය උපාධිය හෝ වෙනත් ඉහල අධ්‍යාපන සුදුසු කමක් සඳහන් කිරීම (විශේෂයෙන්ම නවක නිර්මාණ කරුවෙකුට) සෑහෙන වෙළඳ වාසියක් අත් කර දෙයි.

      නිර්මාණයක් සඳහා කිසිවෙකු තම ආචාර්ය උපාධිය සඳහන් කිරීමෙන් තවෙකෙකුට හිත් වේදනාවක් ඇතිවේද? එසේ නම් එය රෝගයකි.

      ඉතිරිය ඔබට බාරයි

      Delete