Saturday, 7 May 2016

නවක වදයේ පිළිකුල් මුහුණ




ආචාර්‍ය රංජිත් නිර්මාල් දේවසිරි ලංකාවේ රජයේ සරසවි වල පවතින නවකවදය පිලිබඳ අර්ථාන්විත ප්‍රවිෂ්ඨයකට පිවිස ඇති බව දැක මම ඉතාම සතුටු වුනෙමු. පසුගිය වසර 30-40 පමණ කාලයේදී නවකවදය ලංකාවෙන් තුරන්කිරීමේ චේතනාවෙන් මෙලෙස කතිකාවතක් ඇරඹු කිහිප අවස්ථාවක් විය එහෙත් ඒ එක් අවස්ථාවකවත් එම සාකච්චා ක්‍රියාන්විතයක් දක්වා ගෙනයාමට කිසිවෙකුටත් නොහැකිවීම ජාතියේ අවාසනාවකි.

මා ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබන්නේ මෙතෙක් කල් මේ රටේ තිබූ දුර්භාග්‍යතම කාල පරිච්චේදයක් මැදි කරගනිමිනි. 86 අගභාගයේදී සරසවියට පය තියන අප පළමු වසර අවසන් කරන්නේ 1990 වසරේදීය. ඒ රබර් වූ පළමු වසර තුල බොහෝ දේ සිදුවිය. නැවත සරසවි යථා පරිදි අරඹන විට අපගේ සොයුරු සොයුරියන් සමහරෙක් අප අතර නොවිය. කිහිප දෙනෙකු මරණයේ සෙවනැලි අතර සැඟව ගොස් තිබූ අතර සමහරෙක් වසර ගණනාවකට පසු සියළු යස ඉසුරු සමග යුරෝපයෙන් හෝ වෙනත් සංවර්ධිත රටකින්  මතුවිය.

අප කණ්ඩායම නවකවදයට ගොදුරු වන්නේ 88/89 භීෂණයට පෙර එම වධ බන්දනයට ලක්වන අවසන් පිරිස ලෙසයි. කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

අප දෙවන වසරට පිවිසියේ මෑත ලංකා ඉතිහාසයේ (පසුගිය වසර 50 ක පමණ කාලයකදී) අඩුම නවකවදයක් තිබූ වසර සනිටුහන් කරමිනි. ඒ අපගේ හොඳක් නිසා නම් නොව, එවකට සිටි රාජ්‍ය ආරක්ෂක ආමාත්‍ය ජෙනරාල් රංජන් විජේරත්න මහතා නිසාවෙනි. 

රංජන් විජේරත්න යනු සාමාන්‍යයෙන් කථිකාවන් කෙරේ විශ්වාසය තැබූ අයෙක් නොවේ. ඔහු පළමු වසර සිසුන් සමග සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් විශාල ගණනක් එවීය. ඒ සඳහා ඔහු උපකුලපතිගෙන් හෝ අවසර ගත්තාදැයි නොදනිමි. එවන විට සරසවි සිසුන් රාශියක් ටයර් සෑයවල් උඩ අවසන් ගමන ගොස් තිබුණි. රංජන් විජේරත්න මහතා පෙරදින ජාතිය අමතා ඔහුගේ සුපුරුදු විලාශයෙන් අනතුරු ඇඟවුයේ නවකවදය දී හසුවන ඕනෑම සිසුවකුගේ ඉරණම දරුණු විය හැකි බවයි. 1990 වසරේදී සරසවියේ ප්‍රථම වසරට පිවිසි සිසු සිසුවියන් වෙනස වටහා ගන්නට ඇත. 

ඉහත රංජන් විජේරත්න පන්නයේ ක්‍රමවේදයෙහි හොඳ-නරක කීමට මම උත්සුක නොවෙමි. එහෙත් එම ක්‍රියාන්විතය 100% ම වගේ සාර්ථක විය. අවාසනාවකට එතුමා ඊළඟ වසරේ මුල් භාගයේදී LTTE ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. 

ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. 

මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් සහ හැසිරීම් රටා ඉතා වැදගත් පර්යේෂණ ගැටළු කිහිපයකට පාදක වෙයි. එය අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හත අටකට සහ ආචාර්ය උපාධි දෙක තුනකටවත් අවශ්‍ය කළමනා සපයයි. 

නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවකින් මේ අහිමි වීම් වලට අලඟු තැබීමටවත්  හැකියැයි මම නොසිතමි.   

නවකවදය විඳි මෙන්ම නවකවදය දුන් තැනැත්තන්ද (මේ දෙදෙනාම බොහෝ විට එක චරිතයකි) සමාජයට පිය නගන්නේ විකෘති මනස් ඇත්තවුන් ලෙසටයි. එය අද අපි ඇස් පනාපිටම අත්විඳිමු. 

නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවකවදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි. 

නවකවදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි. 

පැවති හෝ පවතින රජයන් කිසිවක් මේ පැනයට අර්ථාන්විත පිළිතුරක් ලබා දීමට උත්සුක වුයේ නැත. ඒ නවකවදය දැඩි ලෙසම ලංකාවේ දේශපලනය හා අනුබද්ධ වී ඇති නිසාදෝ යයි සැකයක් මතුවෙයි. 

මා සති කිහිපයකට පෙර ලංකාවට පැමිණි විට මේ පිළිබඳව බොහෝ නෑදෑ හිතමිතුරන් සමග කතාබහ  කලෙමි. ඉන් අනතුරුව සමාජ ජාලාවල පවතින අදහස් කියවුයෙමි. මට හැඟී ගියේ සරසවියේ දේශපාලනය කරන (රට තුල කිසිම ජන පදනමක් නොමැති) එක් ඉතා කුඩා පක්ෂයක සාමාජිකයන් හැරුණු විට මුළු මහත් රටේම ජනතාව එක හෙලා නවකවදය පිළිකුලෙන් යුතුව හෙලාදකින බවයි. නවකවදය හොඳ යයි කීමට මේ කුඩා පක්ෂයේ පුද්ගලයෝ පවා බියවෙති. ඔවුන් ඒ වෙනුවට පවසන්නේ නවකවදයට වඩා විශාල ප්‍රශ්න රටේ ඇති බවයි. මෙය ඉතා අඥාන තර්කයක් බව පැවසීමට අවශ්‍ය නැත. 

රටේ ජනතාව තුල සරසවි සිසුන් කෙරේ පිළිකුල් සහගත ප්‍රතිරූපයක් ගොඩනැගීමට යම් පක්ෂයකට හෝ රජයට අවශ්‍ය නම් නවකවදය තරම් ඊට සුදුසු නිමිත්තක් නැති තරම්ය. 

කෙනෙකුගේ කැමැත්තකින් තොරව ඔහු හෝ ඇය ප්‍රසිද්ධියේ වද හිංසාවට ලක් කිරීම (මානසිකව හෝ ශාරීරිකව) ශිෂ්ඨ සමාජය විසින් මීට ශත වර්ෂ  කිහිපයකට ඉහතදී  පිළිකෙව් කල කාරණයකි. එය ඉක්මනින්ම අවසන් කල සමාජ වඩ වඩා දියුණු විය. 

සරසවියකට මුලින්ම පිවිසෙන දරුවා ඇත්තෙන්ම පාසල් සිසුවෙකි. ඔහු කිසිඳු අයිතිවාසිකමක් වෙනුවෙන් සටන් කිරීමට පැමිනෙන්නෙක් නොවේ. එවන් සිසුවෙකු හෝ සිසුවියක් බලහත්කාරයෙන් තාඩන පීඩන වලට ලක් කරන ජේෂ්ඨ සිසුවා, ඔහුට පරිපාලනයෙන් එල්ලවන තාඩන පීඩන වලට එරෙහි වීම සමාජය දකින්නේ විහිළුවක් ලෙසයි. මෙය තමන් විසින්ම තම වල කපා ගැනීමකි. 

අප ජාතියක් වශයෙන් මෙම නවකවදයට එරෙහිව රටටම දැනෙන හඬක් නගන තෙක්, ඒ සම්බන්ධව වගකිව යුතු ක්‍රියාන්විතයක් දියත් කරන තෙක්, ලංකාවේ පවතින මේ පිළිකාව සුව වන්නේ නම් නැත. එය ජාතිය මරණය කරා රැගෙන යන තවත් එක් ප්‍රබල සාධකයක් පමණක් වනු ඇත. 

මේ වන විට නවකවදය සම්පුර්ණයෙන්ම තුරන් කල ලංකාවේ සරසවි සහ පීඨ වලට හිස නමා ගෞරවය පිරිනමමින් මම මෙතනින් නවතිමි. 





Saturday, 23 April 2016

Do Gods Have Internet Facilities...?



දෙවියෝ ඉන්ටර් නෙට් බලනවාද?

වසර 2011 ජූනි මාසයේ දිනෙක මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ලංකාවේ වකුගඩු රෝගයට හේතුව පොහොරවල ඇති ආසනික් බව තමාට නාථ දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුණු බවයි. මේ ගැන නොයෙකුත් වාද විවාද සිදුවූ අතර සාම්පල පරීක්ෂණ මගින් එය තහවුරු කල බවද, එම පරීක්ෂණ අසත්‍ය බවටද චෝදනා නැගෙන්න විය.

මම දන්නේ දැනට ලෝකයේ බොහෝ සරසවිවල උගන්වන විද්‍යාත්මක ක්‍රම වේදයන් පමණකි. මා මගේ සිසු සිසුවියන්ට උගන්වන්නේද මා දන්නා, මා උගත් දේ පමණකි.

එම පර්යේෂණ ක්‍රමවේදය (research methodology) අනුව විද්‍යාත්මක ගවේෂණයක් කිරීම සඳහා පර්යේෂණ ගැටළුවක් (research problem) ඇති බව අප මුලින්ම හඳුනා ගත යුතුය. මා දන්නේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවත්, භෞතික විද්‍යාවත් පමණි. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය සියළු විද්‍යාවන්ට එකසේ යෙදිය හැක. කුතුහලය නිසාම මම මේ වකුගඩු ප්‍රශ්නය පිළිබඳව කෙටි හැදෑරීමක් කලෙමි. 

මෙහි පැහැදිලිවම පර්යේෂණ ගැටළුවක් ඇත. ඊළඟ පියවර මේ ගැටළුව පිළිබඳව මෙතෙක් කර ඇති හැදෑරීම් අධ්‍යනය කිරීමයි (literature survey). මෙහිදී මට හමුවු පර්යේෂණ පත්‍රිකා ගණනාවක 2000-2004 කාලයේදී මේ පිළිබඳව බොහෝ හැදෑරීම් කර තිබුණු අතර විශේෂයෙන්ම බංගලාදේශයේ සහ බටහිර බෙංගාලයේ වගාවන් සඳහා යොදන පොහොර සහ කෘමිනාශක වල ආසනික් අඩංගු වීමත් ඒවා නිසා එහි භූගත ජලය ආසනික් අපවිත්‍රතාවයට පත් වීමත්, එමගින් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් පිළිබඳව දීර්ඝ විස්තර කිරීම් තිබුණි. 

ඔබට ගූගල් සෙව්මේ arsenic poisoning kidney failure agriculture යන වදන් ඇතුලත් කල විට ලැබෙන පළමු පත්‍රිකාවේ සිටම මේ පිළිබඳව කරුණු දැනගත හැක.

වකුගඩු රෝගය පිලිබඳ  මගේ අධ්‍යනයේ කතන්දරය මම මෙතනින් නවතමි.




ප්‍රථම උපාධියේ සිව්වන වසරේ සිටින මගේ සිසුන් දන්නා සරළම විද්‍යාත්මක ක්‍රම වේදයක් මහාචාර්ය නලින් ද සිල්වා සහ අදාළ අනෙකුත් ආචාර්යවරුන් නොදන්නවා යැයි සිතීම මහත්වූ මුලාවකි. සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා සොයාගත් කරුණු නාථ දෙවියන්ට බැර කිරීම බව පැහැදිලිය.  

මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පිරිස මේ සංසිද්ධිය පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයේ ඊළඟ පියවර තුන තැබුවා නම් අද වන විට මෙම මාරක වකුගඩු රෝගයට ස්ථිරසාර විසඳුමක් මෙන්ම අදාළ ආනයන සමාගම් වලට එරෙහිව නෛතික ක්‍රියාවලියක්ද ක්‍ෂණිකව ආරම්භ කිරීමට තිබුණි. එහෙත් එය එසේ සිදු නොවිණි. ඒ වෙනුවට සිදුවුයේ බුද්ධිමතුන් අතර පවා කිසිම වැදගැම්මකට නැති දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව කතිකාවතක් ඇතිවීමයි. මෙයින් රටේ වකුගඩු ප්‍රශ්ණයට කිසිඳු විසඳුමක් ලැබුනේ නැත. වස විස ගෙන්වන්නෝ ආසනික් යන වදනත් හාස්‍යට ලක් කරන්න විය. 

මහාචාර්ය නලින් ද සිල්වා වැනි වියතෙකු මෙවැනි නරක පුර්වාදර්ශයක් රටට ලබා දීම ඉතා ශෝචනීය බව වැටහෙන්නේ ඉන් පසු රටේ ඇතිවූ වාතාවරණයත් සමගය. අද වන විට ආචාර්ය උපාධි ඇතැයි කියාගන්නන් පවා පේන කියන්නන්ගේ තත්වයට වැටී ඇත. මහාචාර්ය රාජ් සෝමදේවයන් වසර ගණන් අව් වැසි නොතකා පර්යේෂණ කරමින්, කුඩා කුඩා පුරාවස්තු සොයාගනිමින්, ප්‍රාග් ඓතිහාසික සාධක ඉතා සුක්ෂමව අමුණමින්, වෙහෙසකර ගමනක් යද්දී තවත් ආචාර්යවරයෙකු නිකන් බලාගෙන සිටින විට ඔහු ඉදිරියේ පහළවන පෞරාණික රජවරු ඉතිහාස පොත් පිටින් ඔහුට ලියා දෙති. මේවා පිළිබඳව මහත් හරසරින් වැඩ සටහන් පවත්වන මාධ්‍ය මහත්වරුද, ඒවාට  සමාජ ජලා හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා දෙන බ්ලොග් කරුවන්ද, මේ කරුණු බුදු වදන් සේ හිස් මුදුනින් පිලිගන්නා රට වැසියන්ද එමටය. 

මෙම ප්‍රවණතාවය රටක් ලෙසින් ඉදිරියට යාමට ඇති මං ක්‍රමයෙන් අහුරා දමයි. රටේ දැවෙන ප්‍රශ්ණ වලට නියමාකාරයෙන් විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනාධිපතිවරයාගේ සිට හන්දියේ කඩේ සෝමලතා දක්වා සෑම පුරවැසියෙක්ම සාස්තර කරුවන්, පේන කියන්නන් කේන්දර බලන්නන්, දේවාල කපුවන් පසුපස දිව යන යුගයකට අද අපි පා තබා සිටිමු.

මෙය වෙනස් කල යුතුව ඇත. නොඑසේ නම් අප උගන්ඩාවේ ඈත එපිට නොදියුණු ගම්මානයක් කරා වේගයෙන් ඇදී යනු ඇත. 



Tuesday, 19 April 2016

Why don’t we get Madugalles and Arjunas any more



…And it was 35 years ago. 

As an early teen, I was so enthusiastic about extra-curricular activities at school, thus, every season, I participated at practice sessions of more than 20 different sports. I neither wanted nor I had the talent to be a sporting star, so that I never represented even the school team in any of those games. I was so happy and proud of practicing alongside the big names. 

My parents never bothered about what I stayed after school for. They knew that I was involved with one thing or the other in the right spirit. My mother’s only condition was that I never go even close to the college swimming pool. Few idiots have convinced her that as I have two vortices (සුළි දෙකක්) in my hair, I will have a high possibility of facing a tragic accident in water. 

We have never seen a parent in the peripherals of the ground, courts or ring, watching how their kids play. The only time that I remember a parent stepping across these boundaries was when a mother of a fellow mate (was it Kishan George?) brought a big cake into the basketball court for us to share as it was his birthday.


…And 25 years later....., 

I used to go to the same school, once in a while, on Saturdays, to pick my sons after their scouting sessions. 

The scouting room is located at a corner of the junior-school ground. About 10-15 kids were usually seen practicing cricket in the ground. And double the number of parents were sitting on the short concrete seating area beyond the boundary line, in small clusters. 

For every shot that reached the boundary, every ball that hit the wicket or every catch that is taken, a certain cluster of parents were cheering and clapping. Those kids were not even playing a practice match. They were just practicing.

Among these parents, several were those mates who played together with me during those good old days. Chatting casually with them I understood that many of these guys, who were once very close buddies, are no longer even looking at each other. Their wives were even more aggressive. Everyone has a story to tell.

“He used to offer many gifts as a bribe to the coach so that his son was selected to open the batting last season although the kid is the lousiest batsman in the squad”.

“That bitch is too close to the master-in-charge (then a wry grin), so that her son is always selected as the leg-spinner of the team ahead of our kid who turns the ball like Abdul Qadir”.

“All my friends say that our son will be the next Chaminda Vaas, so that all those stupid parents are so jealous that they poison the coach”.

Arrogance, frustration, vengeance, shrewdness, stupidity, self-inflation……. Their voices are filled with all sorts of emotions.

Not only cricket, whatever the sport you name, the issue is there. Not only in one school; from Royal to Dembaraweva Central College, the situation is the same.

Parents poke their nose, fingers, and everything possible into the kids’ affairs and spoil the whole picture. Master-in-charge, coach, school heads and even the principal are in utter stress. 

Willingly or unwillingly they have to bow their heads to the influential parents. Once they do that they are pampered with many perks…... bribes that come in various forms. 

If they try to swim against the tide, their lives become extremely uncomfortable. The first bullet comes from the almighty “old boys union”. The next one may be from a minister, the prime minister or even the president; else from a notorious underground kingpin. Thus, the vast majority will opt for the safer path; select the sons of the most influential.

Gradually, the talents were diminished and faded away. Parents with perseverance had to look for alternative paths for their children, if they have enough money. Thus, the affordable lot started playing for clubs and emerged into the national levels much latter.

A couple of decades ago most of our sporting heroes were born in the school arena, thus they had many years of sporting career. 

And now…………………



Tuesday, 29 March 2016

කුණු ඇපල්



ඇපල් ගෙඩියක පිට ඔපයට රැවටීම  සාමාන්‍ය මිනිස් ගතියකි. එලෙස මිලදී ගත් ඇපල් ගෙඩිය, ඇතුලෙන් කුණු වී පණුවන් සිටීයි නම් එය විසිකර දැමීමද සාමාන්‍ය මිනිස් ගතියකි. 

එසේ නොමැතිව ඇපල් ගෙඩියේ පණුවන් ඉවත් කර කන්න යනවා නම් හෝ, දෙවනුව ගත් ගෙඩිය කුණු වී ඇති බැවින් කලින් විසිකළ කුණු ඇපලයේ පණුවන් ඉවත් කර
ආහාරයට ගැනීමට කල්පනා කරයි නම් එතන මනුෂ්‍යභාවයකට වඩා ඇත්තේ ප්‍රේත ස්වභාවයකි.

අපේ සමාජය අලුත් ඇපල් ගැන හිතන්න පුරුදු වී ඇත්තේම නැත. ඒ ඇපල් අධිරාජ්‍යවාදී පළතුරක් නිසා වන්නට ඇත. ඔවුන් එදා ඉඳන්ම කලේ  ඇපල් ගෙඩිවල ඇති පණුවන් ගණන ගණන් කිරීමයි. ඒ අඩු පණුවන් ගණනක් සිටින ඇපල් කෑමටයි. එහෙත් අවාසනාවකට බොහෝ දෙනෙකුට ගණන්ද බැරිය. 

මට මේ කුණු ඇපල් කථාව මතක් වුයේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ ඇතිවූ දෙබසක් කියවීමෙන් අනතුරුවයි. දැන් ආණ්ඩුවේ ඇත්තෙක් නැගිට පෙර ආණ්ඩුවේ කුණු වැඩ ලැයිස්තුවක් කියවන ලදී. ඉන්පසු පෙර ආණ්ඩුවේ ඇත්තෙක් තේජස් හඬින් දැන් ආණ්ඩුවේ කුණු කම් ලැයිස්තුවක් සභා ගත කරන ලදී. පසු දින දෙපැත්තේම හිතැත්තෝ තම තමන්ගේ එකා ඉදිරිපත් කල ලැයිස්තු ගැන පාරම්බාමින් වතපොතේ පොස්ට් පුරවන්න විය. 

එකෙක්ටවත් තමන්ගේ වැරදි හදා ගන්නවත්, එල්ලවන චෝදනා නිශේධ කිරීමටවත් වුවමනාවක් නැත. මන්ද රටේ ජනතාවට අවශ්‍ය අනෙකා කන ඇපල් ගෙඩියේ ඉන්න පණුවන් ගණන වැඩි බව තහවුරු කර ගැනීම පමණි. 


රැවටිල්ලට සීමා නැත 

ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ නායකයන් යැයි කියා ගන්නා සියලු දෙනාම පාහේ එදා සිටම කලේ රැවටීමයි. මෙම රැවටීම 70 ගණන්වලදී ත්වරණයට ලක්වී අද වන විට අධි වේගයෙන් වර්ධනය වෙමින් පවතී. දැන දැනම මේ රැවටිම්වල පැටලීමට තරම් සමාජය මුග්ධ වීම තිබෙන අවාසනාවන්තම තත්වයයි.

ජාතිකවාදි
න් සහ සමාජවාදින් මෙන්ම ඔවුන්ගේ දරුමල්ලන්ද අවස්ථාවක් ලැබුණු විගස දිවයන්නේ ඔවුන් පට්ට ගසන බටහිර රාජ්‍ය වෙත මිස කොමියුනිස්ට් හෝ සමාජවාදී රටවලට නොවේ. ලංකාවේ සමාජවාදය ඇති කරන්න පොලවේ හැපෙන කුමාර් ගුණරත්නම් පුරවැසිබාවය පැතුවේ ඕස්ට්‍රේලියාවෙන් මිස උතුරු කොරියාවෙන් හෝ කියුබාවෙන් නොවේ. ජාතික චින්තනය පිළිබඳව කෑ මොර දෙන මහාචාර්යවරුන්ද සැබටිකල් ලැබුණු විගස දිව්වේද ඔවුන්ගේ දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත් වුයේද කොයි දිසාවටදැයි සොයා බලන්න. ජිනීවා-විරෝධය මත සෑහෙන කාලයක් තම දේශපාලන දිවිය ගැට ගසා ගත් සමහර දෙනා බලය හැලුණු මොහොතේ පෙත්සම් කර උඩ තියාගෙන ජිනීවා දුවනු අපි සැවොම දුටිමු. මේ හැම ක්‍රියාවක්ම සාධාරණීකරණය කිරීමට මෙම නායකයන්ට දහසක් හේතු ඇත. එම හේතු පිළිගැනීමටත්, පිළිගැනීමට නොහැකි හේතු අමතක කර දැමීමටත්, නායකයා හේතුවක් නොදුන හොත් තමාම හේතුවක් මවාගෙන නායකයා ගොඩ දැමීමටත් ඔවුන්ගේ අනුගාමිකයෝ සැදී පැහැදී සිටිති.

අනෙක් අතට ජනතාවගේ අයිතිවාසිකම් කාප්පාදු කරමින්, ඔවුන් කෘර ලෙස තලා පෙළමින්,  මහජන මුදල් කොල්ලකමින්, රටේ සම්පත් නොරටුන්ට විකුණමින් ජඩ පාලනයක් ගෙන ගිය  සියලු නායකයන් බලයට පැමිණියේද, දිගටම බලයේ සිටියේද ධාර්මිෂ්ඨ සමාජයක්, දුෂණයෙන් භීෂණයෙන් තොර රටක්, දේශීය චින්තනයක් මහජනයා ඉදිරියේ මවා පාමිනි. අද යහපාලනය නමින් සිදුවන්නේද එහි තවත් පියවරක් පමණි. 







රජයේ ඇඳුම 

මා දේශපාලනය ගැන කිසියම් හෝ අවබෝධයක් ලබන කාලය වන විට සිරිමාවෝ මැතිණියගේ රජය කාලි මෑණියන්ට ඇඳ (හෝ අන්දවා) තිබුණි. එය පත්තිනි මෑණියන්ට ඇඳ සිටි සමය මට මතක නැත.

ජේ ආර් ජයවර්ධන රජය පැමිණියේ සුදු පිරුවට පැළඳි මහෝපාසක ලිලාවෙනි. ක්‍රමයෙන් තම සළු පිළි උනා දැමු රජය 82 කළගෙඩි-ලාම්පු සෙල්ලමෙන් පසු අමු නිරුවත් යකෙකු විය.

ප්‍රේමදාස රජය බලයට පැමිණියේම යක් ඇඳුමිනි. එය දෙවියන්ට වඩා යකුන්ගේ සේවය රටට අවශ්‍ය වූ යුගයක් වීදැයි මම නොදනිමි.

චන්ද්‍රිකා රජය පැමිණියේ සුරංගනා වෙස් ඇතිවය. ඉන් පසු එය යක්ෂ, දේව, රාක්ෂ, බහුභූත, කෝලම්, ආදී නොයෙකුත් වෙස් ගනිමින් අන්තිමේදී කිසිම වැඩක් නොකරම යන්න ගියේය.

ටයි කෝට් පැළඳ පැමිණි කෙටි කාලින යු එන් පී රජය ඇඳුම් මාරු කිරීමට පෙරම ඇදගෙන වැටුණි.

මා දුටු ආකාරයට සාමාන්‍ය මනුෂ්‍ය ඇඳුමකින් සැරසී ප්‍රථම වරට බලයට පැමිණියේ මහින්ද රජයයි. එම රජයට ප්‍රථම වසර පහ තුලදී රටේ විශාල කර්තව්‍යයක් සිදු කිරීමට හැකි වුයේද මේ මිනිස් ඇඳුම නිසා බව මගේ හැඟීමයි. අවාසනාවට ඊළඟ වකවානුවේදී, මස් කටු වලට ඉව අල්ලමින් සිටි සුනඛ රැළක් එකතු වී මේ 'මිනිසාව' බලහත්කාරයෙන් රජාට ඇන්ද වීය. රජා සිතන්නේ රටේ සියලු දේ තමාගේ බවයි. මෙය කොයි රජාටත් අදාලය. එබැවින් ඔහු සිතැගි පරිදි රටේ සම්පත් තමාගේ සුඛ විහරණයට යොදා ගත්තේය. අන්තිමට සිදු වුයේ රජාට රජකමද අහිමි වී ගෙදර යාමට සිදුවීමයි. අද ඒ සුනඛ රැළම එකතු වී කලින් රජාට ඇන්දවූ මේ මිනිසාව ගොනාට අන්දමින් සිටියි. මෙය තවත් ඛේදවාචකයකි.

ටයි-කෝට් / සරම්-බැනියම් ඇඳගෙන පැමිණි රනිල්-සිරිසේන රජය ඉතා කෙටි කලකින් කවටයාට ඇඳ ඇති සේයකි. නිකම්ම කවටයෙක් නොව කපටි, මෝඩ, තක්කඩි ජෝකරයෙකි. මට පෙනෙන හැටියට මේ රජය හතර අතට ගොනුන් බැඳී ගැලක් මෙනි. හැම ගොනාම තමන්ට රිසි අතට ගැල ගෙනයාමට වෙර දරයි. ගැල එතැනමය. එහෙට මෙහෙට පැද්දීම නිසා ඇණ මුරිච්චි බුරුල් වෙමින් පවතී. කොයි වෙලේක හෝ ගැලම කඩා ගෙන වැටෙනු ඇත.  


මේ යතාර්ථය තේරුම් ගැනීමට සමත් කී දෙනෙක් මේ ලිපිය කියාවාවිදැයි මම නොදනිමි. එහෙත් මෙය ඒ මානසික නිරවද්‍යතාව රටට අත්‍යාවශ්‍ය මොහොතකි.  කළු දේ කළු ලෙසත්, සුදු දේ සුදු ලෙසත්, ලොව කළු සහ සුදු මිස කළු හෝ සුදු නොවන බවත් පැහැදිලිව ධාරණය කරගැනීමට කාලය එළඹ ඇත.

මා සැමදා පවසන්නා සේ වැදගත් වන්නේ ඔළු ගෙඩි තුල ඇති දේ වෙනස් කිරීම මිස ඔළු ගෙඩි වෙනස් කිරීම නොවේ. දෙවැන්න අවශ්‍ය වන්නේ පළමුවැන්න සිදු නොවන විටයි. 





වෙනසක ඇරඹුම

මෑත ඉතිහාසයේ නොයෙකුත් සාධනීය ගුණාංග සහිත තරුණ දේශපාලකයන් කිහිප දෙනෙක් සෑම පක්ෂයකින්ම බිහිවෙනු මම දැක්කෙමි. එහෙත් කුඩු කාරයන්, එතනෝල් කාරයන්, බුද්ධි හීන නළු නිලියන් හා ජනමාධ්‍ය මුදලාලිගේ ගෝල බාලයින් විශාල මනාප ප්‍රමාණයක් සහිතව පත් කර ගැනීමෙන් රටේ ජනතාව විසින්ම මෙම සුබවාදී දේශපාලකයන්වද පරණ මඩ ගොහොරුවටම තල්ලු කර දැමීය. සාධාරණ මනුෂ්‍යයෙකුට දේශපාලන ගමනක් නොමැති බව ජනතාව විසින්ම ඔප්පු කර පෙන්වීය. සමන්ත විද්‍යාරත්න වැනි කිහිප දෙනෙකු තවමත් දේශපාලන පණනල ගැට ගසා ගෙන ඇතත් ඒ තව කොපමණ කාලයකටදැයි මම නොදනිමි.

අපි වෙනස ඇරඹිය යුත්තේ මෙතන සිටයි. පවතින රටාව වෙනස් කල නොහැකි යැයි ඔබ සිතන තාක් කල් එය වෙනස් කල නොහැකිය. ඔබ
වෙනස පටන් ගත යුත්තේ ඔබ තුලින්මය. පළමුවෙන්ම ඔබගේ කොළ, නිල්, රතු කණ්නාඩි ගලවා පසෙකින් තබන්න.

ඉන් පසු සිතන්න.

තමා ඔසවාගෙන යන දේශපාලන පක්ෂයේ හෝ දේශපාලකයාගේ නොපනත්කම් ගැන මැදහත් සිතින් සිතන්න. ඔහු ඔසවාගෙන යෑමෙන් ඔබට හෝ රටට වැඩක් වේදැයි සිතන්න. ඔහුගේ සැබෑ ගුණ පිළිබඳව ඉන් පසුව සිතන්න. ඔහුගේ අගුණ දුරු කිරීමටත් ගුණ වර්ධනය කිරීමටත් තමාගේ මට්ටමින් කල හැක්කේ කුමක් දැයි කල්පනා කරන්න.

මේ ආකාරයටම තමා පහර දෙන තැනැත්තාගේ හෝ පක්ෂයේ ගුණ නුගුණ දෙස
ත් විවේචනාත්මකව බලන්න. ඔබගේ සිතිවිලි වල සමබරතාවයක් ඇති වී ඇතැයි ඔබට හැගීමක් ඇතිවන තෙක් සිතන්න. ඔබගේ චෛතසික සමබරතාවය ලඟා වී ඇත්දැයි පහත දැක්වෙන පරිදි අත්දකින්න.

වතපොතේ ඔබ ඔසවාගෙන යන දේශපාලකයාගේ ගුණ වයන පොස්ටුවක් දුටු විට ඔබගේ සිතට මහත් වින්දනයක් හා ගැම්මක් ඇතිවේද, ඔබ පහර දෙන දේශපාලකයාගේ එවැනි පොස්ටුවක් දුටු විට ඔබට ක්‍රෝධයක්
හා සාංකාවක් දැනේද, ඔබගේ මනස තවමත් සමතුලනය වී නැත.

ඔබ සමබර වූ විට ඔබ අවට සිටින
අය සමග මැදහත් සිතින් සාකච්චා කරන්න. වතපොතේ කිසිවෙකුත් ඔසවා තබන හෝ කිසිවෙකුත් අපහාසයට ලක් කරන පොස්ටු ෂෙයාර් කිරීමෙන් වලකින්න. ඔබ දෙස අන්‍යයන් වෙනදා නොමැති ගෞරවයකින් බලනු ඔබටම අත්දැකිය හැක. දින කිහිපයකින් ඔබගේ ප්‍රතිරුපයේ පැහැදිලි වෙනසක් දැකගත හැකිවනු ඇත.

දැන් මේ වෙනස ඔබ අවට සමාජය වෙතටද ඇතුළු කරන්න. කිසි විටෙකත් අන් අයගේ මත බිඳ හෙලීමට හෝ ඔබගේ මතයන් බලහත්කාරයෙන් ඔවුන්ගේ හිත වලට ඇතුළු කිරීමට උත්සහ ගන්න එපා. ඒ වෙනුවට ඔවුන්ට මැදහත්ව සිතීමේ වටිනාකම කියා දෙන්න. මේ ජිවන පාඩම ඔවුනට තම එදිනෙදා කටයුතු වලදී මෙන්ම ඊළඟ චන්දයේදී නිවැරදි තීරණ ගැනීමටද උපකාරී වනු ඇත. 


එක රැයෙන් ඇතිවන විප්ලව බොහෝ විට එක රැයින්ම කෙලවර වේ. එහෙත් සමාජයේ පුද්ගල මට්ටමින් පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය වන යහපත් වෙනස් වීම් දීර්ඝ කාලින සුභ ප්‍රතිඵල ලබා දෙයි. 







Monday, 21 March 2016

බුද්ධිය ඔහේ ගැලුවාවේ ......




ඒ පර්වේෂ් මුෂාරෙෆ් මහතා පකිස්ථානයේ ජනාධිපති පදවිය හෙබවූ සමයයි. එවකට මම පකිස්ථානු ගුවන් හමුදාවේ විද්‍යුත් චුම්බක ආරක්ෂණය පිලිබඳ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල බැවින් නිතර පකිස්ථානයට ගියෙමි. ඔවුන් ඒ දිනවල බෙල් හෙලිකොප්ටරයට ආදේශක යානයක් තැනීමට ව්‍යාපෘති සැලසුමක් ගොඩ නගා තිබුණි. ඒ වන විට පකිස්ථානයට කිසිම බල කඳවුරක් සමග හොඳ සම්බන්ධතාවයක් තිබුනේ නැත. එබැවින් මෙම ව්‍යාපෘතියට තාක්ෂණික දැනුම ලබා ගැනීම ඔවුන්ට බලවත් ගැටළුවක් විය. 

මේ අවස්ථාවේදී මුෂාරෙෆ් මහතා ව්‍යපෘති නියමුවන් සමග විශේෂ හමුවක් කැඳවිය. එහිදී එළඹී තීරණයකට අනුව ලොව පුරා රටවල දර්ශනපති (PhD) උපාධිය ආසන්නයේ සිටින හෝ පශ්චාත් දර්ශනපති ධුරවල සිටින හෙලිකොප්ටර් හා ගුවන්යානා ආශ්‍රිතව පර්යේෂණ කරන පකිස්ථානුවන් 100ක් පමණ තෝරාගෙන ඔවුන් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගන්න ලදී. පසුව ඉන් 20ක් පමණ තෝරා ගත් අතර ඉස්ලාමාබාද් හි පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට ලොව පුරා අයදුම්පත් කැඳවන ලදී. මෙහිදී තෝරා ගැනුනේ කලින් සඳහන් කල පකිස්ථානුවන් පමණි.

වසර දෙකක් තුල පකිස්තානු ගුවන් හමුදාව සැලසුම් කල හෙලිකොප්ටර් යානය සාදා නිම කළේය.

ඉන් දශකයකටත් පසුව අපි ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට පකිස්ථානය සහ ඉන්දියාව දෙස බලමින්, බලවතුන්ගේ ගෝරනාඩු වලට බියේ හැකිළෙමින් සිටිමු. ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් සහ අධ්‍යාපන ව්‍යුහයන් සහිත රටවල්වේ.

අපිට කොතනකදී හෝ වැරදී ඇත. භූමියෙන් කුඩා වීම අප ප්‍රශ්නයක් කරගෙන ඇත. නමුත් භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අපට වඩා කුඩා සශ්‍රීක රාජ්‍යයන් ලොව බොහෝ ඇත (සිංගප්පුරුව, බෙල්ජියම, හොංකොං, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය ආදී). සිදුවී ඇත්තේ අපි වර්තමානය පිළිබඳව කුඩාවට සිතමින්, සුවිසල් අතීතයක සිහින අතර ජීවත්වීමයි.

අතීතය ඇත්තේ පාඩම් ඉගෙන ගැනීමට මිස එය සදාතනික නිවහන කරගැනීමට නොවේ.

අපි යුක්රේනයෙන් ඇන්ටනොව් ප්‍රහාරක යානා 30 කට වඩා මිලදී ගන්න ඇත. ඊශ්‍රායලයෙන් කෆීර් යානා රාශියක් මිළදී ගෙන ඇත. එම නව ප්‍රහාරක යානා දෙකක මිල පර්යේෂණ කටයුතු සඳහා යොදවා තව යානාවක් මිළදී ගන්නා මුදලින් ලොව සිටින ශ්‍රී ලාංකික ගුවන් යානා විශේෂඥයන් කිහිප දෙනෙකුගේ සහය තාවකාලික පදනමක් යටතේ ලබා ගත්තා නම් අපිට අද ප්‍රහාරක යාන මිළදී ගැනීමට රට රටවලට වැඳ වැටෙන්න අවශ්‍ය වන්නේ නැත.

මා ඉහත තත්වය විග්‍රහ කරන්නේ මනෝමය සංකල්පයක් ලෙස නොව ඉතා යතාර්ථවාදීව භෞතික සහ මුල්‍යමය කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.


ලිපියේ මේ කොටස ලියන මොහොතේ මා සිටින්නේ ඉන්දියාවේ බැංගලෝර් නගරයේය. ඒ ඉන්දීය මධ්‍යම බලශක්ති ආයතනයේ (CPRI) පිරිසකට අධිවෝල්ටීයතා තාක්ෂණය පිළබඳව වැඩමුළුවක් පැවැත්වීම සඳහාය. 1960 ගණන්වල කුඩා පර්යේෂණාගාරයක් ලෙස ඇරඹුන මෙම ආයතනය අද වනවිට ලෝකයේ ඇති විශාලතම අධිවොල්ටියතා පර්යේෂණාගාර වලින් එකක් බවට පත්ව ඇත. ඔවුන් බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇත.

මම අතීතය දෙස හැරී බලමි.

ලංකාවේද පේරාදෙණිය සහ කටුබැද්ද සරසවි වල සෑහෙන කලකට පෙර අධිවොල්ටියතා පර්යේෂණාගාර ඇරඹුණි. වසර 2000 ගණන්වල මුල් භාගයේ මට පර්යේෂණ මාලාවක් පැවැත්වීම සඳහා අධිවොල්ටියතා පහසුකම් අවශ්‍ය විය. එවකට මා සේවය කලේ කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේය. එහි මෙම පහසුකම් නොතිබූ බැවින් කටුබැද්ද සරසවියේ හිතවත් මහාචාර්ය රොහාන් ලූකස් මහතාගෙන් මම මේ සඳහා අවසර ඉල්ලුවෙමි.

"කිසිම ප්‍රශ්නයක් නැහැ චන්දිම, ඔයාට ඕනෑම වෙලාවක ඇවිත් වැඩේ කරගන්න" කවදත් පරිත්‍යාගශීලී මහාචාර්යතුමා මට පැවසුවේය.

දිනයක් නියම කරගෙන, මගේ සිසුවාද කැටුව කටුබැද්ද සරසවියට ගිය මා දුටුවේ වළලු කරට පමණ වතුර ගලා තිබු අධිවොල්ටියතා පර්යේෂනාගාරයයි.

"සර්ලට ඕනෙ නම් මේකේ වතුර අස්කරගෙන පොඩ්ඩක් ඔයිල් කරලා වැඩේ පටන් ගන්න පුළුවන්" එම පර්යේෂණාගාරය බාරව සිටි තාක්ෂණ නිලධාරියා පැවසීය.

පෙනෙන විදියට අපගේ කාර්යය හය මාසයකින් වත් නිම කල නොහැක. අපි දෙදෙනා කිසිත් නොදොඩා හැරී ආවෙමු.

අපට අවශ්‍ය පහසුකම් ඇති ඊළඟ සහ අනෙක් එකම ස්ථානය පේරාදෙණිය සරසවියයි. එවකට එහි සේවය කල තවත් මගේ ඉතා කිට්ටු ජෙෂ්ඨයෙකු වූ මහාචාර්ය ජීවන් හූල් මහතාට මම අවශ්‍යතාවය පැවසුවෙමි. එවකට එතුමා එහි අධිවොල්ටියතා පර්යේෂණාගාරය බාරව සිටියේය.

"හරි චන්දිම, ඔයා මේකේ ටෙක්නිකල් ඔෆිසර් එක්ක වෙලාවක් කතා කරගෙන ඇවිත් වැඩේ කරගන්න".

මගේ ගෝලයාත් මාත් උදෑසනින්ම පේරාදෙණිය බල පිටත් වුනෙමු. තාක්ෂණ නිලධාරියා කලින් පොරොන්දු වූ ආකාරයෙන් විද්‍යාගාරය අසල නොසිටි බැවින් අපි ඔහු ගැන විපරම් කිරීමට විද්‍යුත් ඉංජිනේරු අංශයට ගියෙමු. අපගෙන් පැමිණි කාරණය විමසු එතන සිටි නිලධාරියෙක් අපව අංශ ප්‍රධානියා වෙත යවන ලදී.

"ඔයගොල්ලන්ට එහෙම ප්‍රොෆෙසර් හූල් එක්ක විතරක් කතා කරගෙන ඇවිල්ලා මෙතන වැඩ කරන්න බැහැ. ඒකට මගෙන් පර්මිෂන් ගන්න ඕනේ".

ඒ පර්මිෂන් එකට තව පැය තුනක් ගියේය. ඉන් පසු එම ලියවිල්ල රැගෙන පර්යේෂණාගාරය වෙතට ගිය අපිට එහි තාක්ෂණ නිලධාරීන්ගෙන් ලැබුණේද සීතල ප්‍රතිචාරයකි. එදා වැඩක් කෙරුනේ නැත.

අපගේ මුළු පර්යේෂණ මාලාවටම යන්න ඇත්තේ පැය 3-4 කාලයකි. එහෙත් මාත් මගේ සිසුවාත් දින ගණනාවක් පේරාදෙණියට ගියෙමු. හැමදාමත් පැය ගණනක් පර්මිෂන් එක දෙන තෙක් අපිට බලා සිටින්නට සිදු විය. පර්යේෂණය අවසන් වන විට පර්යේෂණද අපිට එපාවී තිබුණි. මගේ සිසුවා අද ඇමරිකාවේ PhD උපාධිය ලබා එහිම සේවය කරන බව ආරංචිය. ඔහුට ලංකාව එපා වුනේ මේ නිසාදෝ වත් දැයි නොදනිමි.

අපට මුහුණ පෑමට සිදු වූ සියලුම අතවරයන්ට හේතුව මහාචාර්ය හූල් සහ පරිපාලනය අතර වූ අසමගියක් බව පසුව අපට දැන ගන්න ලැබුණි. මේ අපේ රටේ සැබෑ තත්වයයි.

එකම ප්‍රමාණයෙන් ඇරඹුන CPRI සහ ලංකාවේ සරසවි වල අධිවොල්ටියතා පර්යේෂණාගාර අද අහසට පොලව වැනි තල දෙකකය. ලංකාවේ හැටි එහෙමය.   

ඉන්දියාව විද්‍යා හා තාක්‍ෂණ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා දුර දැක්මක් ඇති ප්‍රතිපත්තියකි. ජාත්‍යන්තර දැනුම සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන්නේ පහත දැක්වෙන උපාය මාර්ගයයි.

යම් ව්‍යාපෘතියක් සඳහා තාක්ෂණ දැනුම අවශ්‍ය වූ විට ඔවුන් මුලින්ම ඉන්දියාවේ සිටින විද්‍යාඥයන්ගේ සහය ලබාගනී. ඔවුන් තුල දැනුම නොමැති විට තෝරාගත් පිරිසකට වෙනත් රටක පුහුණුව ලබා දී කෙටි කලකින් අවශ්‍යතාවය සපුරා ගත හැකිදැයි ඔවුන් සොයා බලයි. මෙම විසඳුම නොතිබේ නම් ඔවුන් වෙනත් රටවල සිටින ඉන්දියානු සම්භවයක් ඇති අදාළ උගතුන්ගෙන් අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. එයත් අපහසු කල ඔවුන් පකිස්ථානය හැර කළාපයේ වෙනත් රටවල සිටින විද්‍යාඥයන්ගෙන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට උත්සහ කරයි. එම විකල්පයත් නොමැති කල පමණක් ඔවුන් බටහිරට යොමු වේ. 

ඉන්දියාව බුද්ධි ගලනය නවතාලන්න උත්සහ කලේ නැත. ඒ වෙනුවට ඔවුන් ගැලූ බුද්ධිය ප්‍රවර්ධනය වන තුරු සිට එහි ඵල නෙලා ගැනීමට උත්සුක විය.

ලංකාවේ අපි

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු උදෙසා පිටරට සිටින විද්‍යාඥයන්ගේ දායකත්වය ලබාගැනීමට යැයි පවසමින් ජාතික විද්‍යා පදනම (NSF) මගින් වසර 2011 දී "Global Forum of Sri Lanka" නමින් පදනමක් පිහිටවිය. 2011 දෙසැම්බරයේදී  මේ පදනම මගින් විශාල මුදලක් වැය කරමින් කොළඹදී දැවැත්ත සමුළුවක් පැවැත්විය. ඉන් පසු එම පදනමේ සාමාජිකත්වය ලබා ගත් අයට යම් යම් ව්‍යාපෘති ගැන විස්තර දන්වමින් ඉඳහිට ඊ මේල ලැබෙන්න විය. වසරක් පමණ යන විට මෙම විද්‍යුත් තැපෑල සාමාජිකයන්ගේ උපන් දින සැමරුම් දන්වා එවීමට පමණක් සිමා විය. අද එයත් නැත.

කුණු ප්‍රශ්ණය එතැනමය, රජරට වකුගඩු ප්‍රශ්ණය වෙනත් ප්‍රදේශ වලටද පැතිරෙමින් පවතී, බලශක්තිය අර්බුධයක් බවට පත්ව ඇත, නාය යාම් වලක්වා ගැනීමේ මනා ක්‍රමවේදයක් හෝ නුතන තාක්ෂණයක් අපිට නැත, ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන්නේ ඩෙංගු මදුරුවාමය, සියවස් දෙකක පමණ පටන් තේ වැව්වත් නිමි තේ තාක්ෂණයක් අපිට නැත. තව කියාගෙන යන්න හැකි මුත් එමගින් සිතට දැනෙන දුක වැඩි වනවා පමණි.

ගිනි ගොඩේ දැවෙන විට එයට බනිමින් අපි මඩ ගොඩට පනිමු. මඩ ගොඩේ දුගඳ උහුලන්නට නොහැකි විට අපි නැවතත් ගිනි ගොඩට පනිමු. දශක ගණනාවක් තිස්සේ මේ තේරීම් දෙකෙන් ඔබ්බට යා ගත නොහැකිව, එකිනෙකාටත්, අසල්වැසියාටත් බැන වදිමින් අපි සදා දුක් ගොඩක සිටින්නෙමු.

නිල් වන් තණ බිමකට පිය නගන්න ජාතියට වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා හැර වෙන කරන්න දෙයක් නැත.





Friday, 19 February 2016

මට පෙනෙන හැටි-කෙටියෙන්


ඉන්දියාව මට නුහුරු තැනක් නොවේ. 2004-2008 කාලය තුල USAID ආයතනයේ ආධාර යටතේ මම දකුණු ආසියාවේ සෑම රටකම පාහේ අකුණු ආරක්‍ෂණය පිළිබඳව පුහුණු වැඩමුළු පැවැත් වුයෙමි. මෙහිදී ඉන්දියාවේ පමණක් නගර 25කට වඩා ආවරණය කලෙමි. එබැවින් මට ඉන්දියාවෙන් අපි ගත යුතු දේ මෙන්ම නොගත යුතු දේ පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ඇත. මෙහිදී මම එක් සංසිද්ධියක් පමණක් ඔබ සමග බෙදා ගන්නම්.

2007 දී බැංගලෝරයේදී වැඩමුළුවක් පවත්වන අතර මට IISC හි සේවය කරන මහාචාර්යවරයෙක් හමුවිය. ඔහුගේ බිරිඳද මහාචාර්යවරියකි. ඔවුන් දෙදෙනාට වයස 17 සහ 15 වන දියණියක සහ පුතෙකු සිටිති. මේ දෙදෙනා තම දරුවන් ගැන කතා කලේ යම් සංවේගයකිනි.

ඇමරිකාවේ අද තොරතුරු තාක්ෂණය ග්‍රහණය කරගෙන ඇත්තේ ඉන්දියානුවන් බව කවුරුත් දන්නා කරුණකි. ඊට මුලික හේතුව වන්නේ ඔවුනට ඉතා තරගකාරී මිළකට තම සේවා සහ නිෂ්පාදන ඇමරිකානු වෙළදපොලට ලබා දිය හැකි වීමයි.

ඔවුන්ට එසේ කිරීමට හැකියාව ලැබුනේ කෙසේද?

ඇමරිකාවේ සිටියත් ඔවුන්ගේ ශ්‍රමික භූමිය ඉන්දියාවයි. තොරතුරු තාක්ෂණයට ශ්‍රමිකයාගේ භෞතික පදිංචිය අදාළ නොවේ. ඇමරිකාවේදී ඔවුන් ලබාගන්න සියලුම කාර්ය පැවරුම් (work assignments) ඔවුන් ඉන්දියාවේ ඇති ආයතනවලට ලබා දෙයි (out-sourcing). නගර මට්ටමින් ඇති මෙම ආයතන, ලැබෙන කාර්ය පැවරුම් කොටස් කර ප්‍රාදේශීය මට්ටමෙන් ඇති කුඩා ආයතනවලට ලබා දෙයි. මෙම ආයතන සමහර විට මේසයක්, පුටුවක් සහ පරිගණකයක් පමණක් ඇති කුඩා කාමර කෑල්ලකි. එම ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන් (වයස 12-13 දරුවන් පවා) කණ්ඩායම් සාදා ගෙන මෙම ආයතනවල ලියා පදිංචි වී ඇත (මෙම කණ්ඩායම් වල නම් කිහිපයක් මගේ මිතුරා පැවසු විට මගේ මතකයට ආවේ ලංකාවේ ඇති එල්ලේ කණ්ඩායම්ය).

මෙම කුඩා ආයතනයකට කාර්ය පැවරුමක් ලැබුණු විට ඔවුන් මෙම කණ්ඩායම්වලට එය දැනුම් දෙයි. එවිට ඉක්මන්වන කණ්ඩායම එම කාර්ය ලබාගෙන කාගේ හෝ නිවසක දිවා රාත්‍රී නොබලා වැඩකරමින් කෙටි කාලයකදී පැවරුම නිම කරයි. 

මේ සඳහා ඔවුන් ලබන ගෙවීම ඉතා සිත්කළුය. සාමාජීය ගැටලුව ඇතිවන්නේ මෙතනදීය. මගේ මිතුරා පවසන ආකාරයට ඔහු සහ බිරිඳ මහාචාර්යවරුන් ලෙස ලබන වැටුප මෙන් දෙගුණයක් පමණ ඔවුන්ගේ දරුවන් හම්බ කරයි. එබැවින්, මෙම තවමත් තාරුණ්‍යට පවා හරි හැටි පිය නගා නොමැති දරුවන් දෙමාපිය අණසකින් සම්පුර්ණයෙන්ම මිදී ඇත. දෙමව්පියන් ඔවුන් අකමැති වචනයක් හෝ පැවසුවහොත් තමාගේ කියා නිවසක් කුලියට ගෙන යාමට පවා ඔවුන්ට හැකියාව ඇත. 

මෙම සාමාජිය ගැටලුව පසෙකින් තබා බැලුව හොත්, ඔබට ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය ව්‍යාපාරික ආකෘතියක් (business model) ලෙස කොපමණ ශක්තිමත් පදනමක ඇත්දැයි වැටහෙනු ඇත. අපට මෙබඳු ව්‍යුහයක් පිළිබඳව නුදුරු අනාගතයේදී සිතා ගැනීමටවත් නොහැකිය. අපට සංවර්ධිත රටවල සිට මෙලෙස බාහිර සේවා ලබාදීමට හැකි ලාංකික ව්‍යාපාරික පදනමක් නැත. අපට බොහෝ විට බාහිර සේවා ලැබෙන්නේ ඇමරිකානු හෝ යුරෝපා සමාගම් වලිනි.

ඉන්දියානු වෘත්තිකයන් ලංකාවට ගෙන ඒමේදී  අප සැලකිය යුතු වැදගත් කරුණක් ඇත්තේ මෙතැනයි. මෙම වෘත්තිකයන් බොහෝ දෙනෙකුට ඉන්දියාවේ මේ පවතින සේවා යාන්ත්‍රණය හා කිට්ටු සබැඳියාවක් ඇත. එබැවින් ලංකාවට බාහිර සේවා ලබාදෙන ආයතන පිළිබඳව දැනගත් පසු ඔවුන්ට පහසුවෙන්ම මෙම ආයතන වල පැවරුම් කෙලින්ම ලබාගෙන ඉන්දියාවට නැවත බාහිර සේවා සඳහා යොමුකළ හැක. දැනටත් ස්ථාපිත වී ඇති තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ යාන්ත්‍රණය නිසා ඉන්දියාවට මෙම කාර්යයන් අඩු මුදලකට සැපයීමට හැකිවනු ඇත. මෙය ඇමරිකාවේ හෝ යුරෝපයේ වෙසෙන සේවා ලාභියාට වාසිදායක බැවින් අපට ලැබෙමින් පවතින සේවා ද නැතිව යා හැක.   








Monday, 15 February 2016

ඉන්දු භීතිකාවෙන් ඔබ්බට





නැවතත් රාවණා සුළගක් රට හරහා හමමින් පවතී. මගේ ජිවිත කාලයේදී මේ රාවණාගේ පුනරාගමනය මම කිහිප විටක් දැක ඇත්තෙමි.

80 දශකයේ මුල් සමය ප්‍රභල ඉන්දීය විරෝධී හඩක් නැගුන අවධියකි. ලාංකික ජන විඥානයේ කොටි ත්‍රස්තවාදියා සහ ඉන්දියාව ඒකාබද්ධ කරගෙන තිබුණේ මුල් කාලයේ සිටමය. 83 වර්ෂයේ කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ භට පිරිසක් ඝාතනය කරමින් ත්‍රස්තවාදය එළිපිට කරලියට ගෙන ඒමට වසර දෙක තුනකට පෙර සිටම ඉන්දියාව දෙසින් යම් යම් අරියාදු ඇතිවන්න විය. ඒ සමගම රාවණ රජු පිළිබඳව ගුවන් විදුලි කතන්දර, පුවත්පත් ලිපි, චිත්‍රකතා වැලක් පැමිණියේය.

අසුව දශකයේ අග භාගයේ ඉන්දියාවෙන් පරිප්පු දැමීමත්, ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමත් සමග නැවතත් රාවණා මතුවිය. එම ගිවිසුම ලංකාව මත ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පැටවූ ලියවිල්ලක් බව ඒ කාලයේ බොහෝ ලාංකිකයන්ගේ අදහස විය.එහි ප්‍රතිඵලය වුයේ දැඩි ඉන්දීය විරෝධයක් ජනතාව අතරින් මතුවීමයි. 

මෑතකදී ඉන්දියාව විසින් ජාත්‍යන්තරයේදී ලංකාවට එරෙහිව හඬ නැගීමත් සමගම නැවතත් රාවණා අවදිවිය. මෙවර ඉන්දීය බලපෑම වඩාත් තීව්‍ර වූ අතර ඊට අනුලෝමව රාවණා පිලිබඳ ජන විඥානික වපසරියද විශාල වන්න විය. පසුගිය වසර කිහිපයේදී ඉන්දියාවෙන් දිගින් දිගටම සිදු වූ අයහපත් බලපෑම් හමුවේ රාවණාටද  වැඩි වැඩියෙන් ජීවය ලැබෙන්න විය.

සුද්දාගෙන් මදී නොකියන්න බැටකමින් සිටි විසිවන සියවසේ මුල් භාගයේ ලාංකිකයා 'දියසේන' නමින් කුමාරයෙක් බිහිව තමා බේරාගන්න තෙක් බලා සිටියේද මේ ආකාරයෙන්මය. 

මා මේ සංසිද්ධිය දෙස බලන්නේ හිතට නැගෙන තදබල ආත්ම අනුකම්පාවකිනි. ලෝක ඉතිහාසය පුරාම අසල ඇති ප්‍රභල රාජ්‍යයන්ගේ අරියාදු වලට දුර්වල අසල්වාසීන් ලක් විය. මෙහිදී රටේ විශාලත්වයට වඩා බලපෑවේ ප්‍රභල රාජ්‍යයේ සමුර්ධිමත් භාවයයි. උදාහරණයක් ලෙස භූමියෙන් ඉතා විශාල චීනය දීර්ඝ කාලයක් ප්‍රමාණයෙන් කුඩා ජපානයෙන් බැට කෑවේය.


ජාතියක් ලෙස සිංහල බෞද්ධයා අද ඉතා ව්‍යාකුල තත්වයකට පත්ව සිටියි.

ඉන්දියානු ආක්‍රමණිකයෙක් ලෙස මහාවංශය  හඳුන්වා දෙන එළාර රජු පැරදවූ දුටුගැමුණු රජු පිළිබඳව මහාවංශය කරන වර්ණනාව සිංහල බෞද්ධයාට ඉතා ඉහළ චිත්ත සංතෘප්තියක් ගෙනදෙයි. එහෙත් එම ග්‍රන්තයම සියවස් කිහිපයකට පෙර ඉන්දියාවෙන් පැමිණි සහාසික කුමාරයෙකුගෙන් සිංහල ජාතිය පැවත එන බව පවසයි. ඊට ටික කාලෙකට පසු ඉන්දියාවේ රජෙකු ලංකාවට බුදු දහම අපනයනය කල බව මහාවංශය නැවතත් සඳහන් කරයි. තව කලකින්, බෞද්ධයාගේ මහානර්ඝ පුජනීය වස්තුන් වන ශ්‍රී  මහා බෝධියද දන්ත ධාතුවද ඉන්දීය කුමර කුමරියන් විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ බව මහාවංශය කියයි. දුටුගැමුණු, වලගම්බා වැනි ඉන්දීය ආක්‍රමණිකයන්ට එරෙහිවූ රජුන් පිළිබඳව මහත්සේ වනන මහාවංශයම මේ ඉන්දියානු පරිත්‍යාග ගැනද සඳහන් කිරීම සියලු දේ ව්‍යාකූල කරයි.

විශේෂයෙන්ම ඉන්දියාවෙන් කෙනෙහිලිකම් කෙරෙන විට මේ ඉන්දියන් සම්බන්ධතා අපට මහත් චිත්ත පිඩාවක් ගෙනදෙයි. අප රාමායණය හරහා හඳුනාගත් රාවණා සොයා යන්නේ එවිටයි. අපට බෞද්ධකමද හැරදැමිය නොහැක. එබැවින් පන්සලේ පුදන්නට මල් කඩාගෙන ඒම සඳහා කොහේදී හෝ හමුවන හුණුගල් උමගක් දිගේ රාවණාව පිටත් කර යවයි. දැන් නැවතත් අවුල් සහගත තත්වයකි. සාහිත්‍ය මුලාශ්‍ර සත්‍යයි පිළිගතහොත් රාවණා රජුගේ කාලය අද පටන් වසර හය හත් දහසක් පිටුපසට යයි. එහෙත් බුදුන් වැඩ සිටියේ මෙයට වසර දෙදහස් පන්සියකට පෙරය. මේ අවුලෙන් මිදීම සඳහා රාවණාට බණ කිව්වේ කාශ්‍යප බුදුන් යැයි තවත් මතයක් ගොඩ නගයි. එහෙත් බුදු දහමට අනුව බුදුවරුන් දෙදෙනෙකු අතර කාල පරතරය ඉතා විශාලය. එය අඩුම වශයෙන් වසර ලක්ෂ ගණනක් බව 'කල්ප' සංඛල්පය තුලින් හෙළිවේ. මේ අනුව දැන් අපි  ගණිත ගැටලුවකටද මුහුණ පා සිටිමු.

මේ වන විට ලංකාවේ බොහෝ මාධ්‍යවලට ඊටම ආවේනික වූ රාවණා පිලිබඳ මග පෙන්නන්නෙකු හෝ කිහිප දෙනෙකු සිටිති. මෙය ලොව කොතැනත් මාධ්‍යයේ ස්වභාවයයි. ඔවුන් ජනතාවට ලබා දෙන්නේ ජනතාව ඉල්ලන දෙයයි. මීට වසර පනහකට පමණ පෙර, මළගිය ආත්මයක් වැහුණු පුද්ගලයෙකු හා ඇතිවූ කතා බහක් ආශ්‍රයෙන් මාර්කස් ප්‍රනාන්දු නම් මහතෙක් කොග්ගල නිලමේ නමින් ග්‍රන්ථයක් ප්‍රකාශනයට පත් කර තිබුණි. මෙහි සඳහන් වුයේ රාවණා රජු දවස සිට භූත ආත්ම බවට පත්වූ කිහිප දෙනෙකු භුතාවේශ වූ පුද්ගලයා හරහා එම යුගය පිළිබඳව පවසන කාරණාය. මීට වසර දෙකකට පමණ පෙර මේ පොතේ මෘදු කොපියක් අන්තර්ජාලයේ සංසරණය වන්න විය. අද මාධ්‍ය හරහා නොයෙකුත් බලවේගයන්ගෙන් දැනගත්තා කියමින් රාවණා රජුගේ දේවල් පිළිබඳව කරන විස්තර හැම එකක්ම පාහේ මේ කොග්ගල නිලමේ ග්‍රන්ථයෙන් උපුටාගෙන අතින් කෑලි එකතු කළ කතාන්දරය.



මෙහිදී මා දකින සංවේගාත්මක කාරණයක් නම් මා ඉතා අගයකරන පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා මුහුණ දී ඇති තත්වයයි. වසර ගණනාවක් වෙහෙසී පරීක්ෂණ සිදු කර එතුමා යම් පුර්ව ඓතිහාසික සාධක සොයාගත් විට, එතුමාටත් පෙර රුපවාහිණි තිරය ඉදිරියට පනින සමහර පණ්ඩිතයෝ ඒ හැම දෙයක්ම රාවණාකරණය කරති. ස්වභාවික උමං තුලින් ගමන් කල විට හමුවන විශාල ගල් ගුහා සහ ඒවා තුළ පවතින ගංගා, පොකුණු, දියඇලි ලෝකයේ බොහෝ රටවල සමුවී ඇත.  එහෙත් ලංකාවේ උමගක් තුල ඇති දිය කඩිත්තක් හමු වූ විට, එය සීතාට ස්නානය කිරීමට රාවණා තැනූ ජල තටාකයකි. පෞරාණික වැසිකිලියක් හමුවුනොත් එය රාවණා හෝ ඔහුගේ බිසවුන් පාවිච්චිකළ ස්ථානයකි.

අපට බුදු දහම අවැසිය එහෙත් බුදුරදුන් ඉන්දියානුවෙකු වීම ඉවසිය නොහැකිය. බුදුරජාණන් වහන්සේගේ උප්පැන්න සහතිකය වෙනස් කිරීමට උත්සාහය පැමිණෙන්නේ මෙතනදීය. 

බුදුරදුන් ඉපදුන ස්ථානය පිළිබඳව නිරීක්ෂණ, ගවේෂණ, පර්යේෂණ ආදිය කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එහෙත් එබඳු කර්තව්‍යයක් කිරීමේ පිළිගත් ක්‍රමවේදයක් ඇත. ඉන්පසු එහි නිගමන ප්‍රකාශ කිරිමේදීද අධ්‍යාත්මික සංයමයක් මෙන්ම තමාගේ නිගමන පිළිබඳව මතුවන අභියෝගවලට සතුටින් සහ සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ද තිබිය යුතුය. එහෙත් මේ කාරණය සම්බන්ධයෙන් මෑතක සිට පළවන බොහෝ ලිපි ලේඛන මෙන්ම වාචික ඉදිරිපත් කිරීම් වලද මේ බොහෝ අංග නොමැතිය. ඒ වෙනුවට ඇත්තේ ක්‍රෝධයක සේයා සටහන් වන ප්‍රලාප දෙඩීමකි.

බුදු දහම පැතිරුණ ප්‍රදේශ (දැනට පවතින සහ වියැකී ගිය) දෙස බලන විට එම දහමෙහි උපත උතුරු හෝ ගිනිකොනදිග ඉන්දියාවේ කේන්ද්‍ර ගතවී ඇති බව පහසුවෙන් වටහා ගත හැක. එමෙන්ම බුදු දහම එම ප්‍රදේශයේ සිට පැමිණි බව සහශ්‍ර දෙකකට ආසන්න කාලයක සිට (හෝ ඉන් මෙපිට) ලෝකයේ බොහෝ රටවල විශ්වාසය වී ඇත. ඒ පිළිබඳව ලිඛිත සහ භෞතික සාක්ෂි මෙන්ම ජනකතාද පවතී. ටිබ්බතය, භූතානය, මොන්ගෝලියාව වැනි මෙම විශ්වාසය තිබෙන සමහර රටවල් ඉතා මෑතක් වනතුරු බටහිරයන්ගේ පාදස්පර්ශය හෝ ලබා නොතිබුණි. මේ අනුව සුද්දෙකු ලිවූ ලේඛනයක ලංකාවට දඹදිව කියා සඳහන් කර තිබීම වැනි කරුණකින් හෝ වෙනත් ඉතා දුර්වල තර්ක මගින් සියවසක පමණ කාලයකදී සුද්දන්
විසින්ම බුදුරදුන්ගේ ජන්ම ස්ථානය වෙනස් කළා යැයි පැවසීම පිළිබඳව අප තව වතාවක් කල්පනා කල යුතුය.

මා දන්නා ආකාරයට නම්, බුදු දහම යනු විශ්වයේ පැවැත්ම සහ ගලා යාම (මෙම වදන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන්න) පිලිබඳ න්‍යායන් විස්තර කෙරෙන දැනුම් සම්භාරයකි. ගුරුත්වය, ඒ පිළිබඳව අදහස් මුලින්ම ඉදිරිපත් කල අයිසැක් නිව්ටන් ගෙන් ස්වායත්ත වේ. නිව්ටන් කුමන රටක ඉපදුනත්, කිසිදාක නොඉපදුනත්, ගුරුත්වය ක්‍රියා කරන න්‍යායයන් වෙනස් නොවේ. මා බුදු දහම දකින්නේද මේ ආකාරයටයි. බුදු රදුන්ගේ ජිවිත රටාවෙන් අපට ගත හැකි අනෙක ආදර්ශයන් හැරුණු කොට, ධර්ම කාරණා වල සංයුතියට එතුමාගේ පැවැත්ම කිසිසේත් අදාළ නොවේ. මේ අනුව බුදු රදුන් ඉපදුනේ කුමන රටේද යන්නවත්, එවැනි භෞතිකමය පුද්ගලභාවයක් කිසිදා නොතිබුනාද යන්නවත් ධර්මතාවයන්ගේ පැවැත්මට අදාළ නොවේ.  


තම රට දැඩි පීඩනයකට පත් කල ජපානය සහ බ්‍රිතාන්‍යය පිළිබඳව චීනාටත්, මැලේසියාව පිළිබඳව සිංගප්පුරු ජාතිකයාටත්, ඇමරිකාව පිළිබඳව කියුබානුවාටත්, එංගලන්තය  පිළිබඳව අමරිකානුවාටත් ඇත්තේ තදබල විරෝධයකි. සමහර අකටයුතු සිදුවී සියවස් කිහිපයක් ගතවී ඇතත් මේ ජාතිකයන් තුල ශේෂවී ඇති විරෝධයේ මාත්‍රා මම අදද ඔවුන් කෙරෙන් දකිමි. එම රටවල නායකයෝ මෙම ජන හදවත් කළඹන විරෝධී ආකල්ප ධනාත්මක ලෙස රටේ සංවර්ධනයට යොදාගත්හ. ඔවුන් තුල  පීඩකයා අභිබවා යාමේ යම් චේතනාවන් තිබුණු අතර එය සිදු වුයේ වඩාත් සෞභාග්‍යමත් ජාතියක් ගොඩනැගීම ඉලක්ක කරගෙනය. එහි ප්‍රතිඵල අද ඔබට එම රටවල් දෙස බලන විට පෙනෙනවා ඇත.

එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාව, පකිස්ථානය, නේපාලය, සිම්බාබ්වේ ආදී රාජ්‍යයන් තුල මෙම අසල්වැසියාට එරෙහි විරෝධය යොදා ගැනුනේ දේශපාලකයාගේ පැවැත්ම උදෙසාය. මෙහි විපාකද ඔබ අදටත් අත්දකිමින් සිටියි.  අපගේ ඉන්දියන් විරෝධය ඇත්තේ බෝඩ් කෑලි සහ බැනර්, උද්ඝෝෂණ, දේශපාලන වාද විවාද, පොල් ගැසීම්, මල්වඩම් තැබීම් සහ මෑත කාලයේදී වතපොතේ පලකරන පින්තුර සහ කොමෙන්ටු මෙන්ම වාහන ස්ටිකර් වැනි දේ තුලය.




මේ සියළු විප්‍රකාර කිරීමෙන් අනතුරුව නිවස බලා යන ලාංකිකයා රුපවාහිනි තිරය ඉදිරිපසට වී සියලු ඉන්දියන් විරෝධී කටයුතු පසෙක තබා ඉන්දියන් නළු නිළියන්ගේ දුක්ඛ දෝමනස්ස කරදර කම්කටොලු තමාගේ කර ගනී. ටෙලි නාටක වලින් පසුවද නින්දට යනතෙක් ඔවුන් කතා කරන්නේ ඉන්දියන් නළු නිළි චරිත වලට හෙට දිනයේ කුමක් සිදු වේද කියාය. පසුදා අවදිවන ඔවුන් නැවතත් වතපොතේ පාර දිගේ තම ඉන්දීය විරෝධය පුම්බාලයි. නමුත් ඒ සියල්ල කරන්නේ ඉන්දියන් වෙළඳ ජාලයේම කිමිදිගෙනය.

උදෑසන අවදි වූ අවස්ථාවේ සිට අප වැඩිපුරම භාවිතා කරන්නේ ඉන්දියන් නිෂ්පාදනය. දත් බුරුසුවේ සිට, අඳින සාරිය, ගමන් කරන ලංගම බස් රථය, පාරේදී හමුවන බොහෝ වාහන, කෑම බිම වර්ග, බෙහෙත් වර්ග ආදී මෙකි නොකී බොහෝ දෙය පැමිණෙන්නේ ඉන්දියාවෙනි. 


මෙයින් ඉතාම අවාසනාවන්ත සංසිද්ධිය සාරියයි. ලාංකික කාන්තාවගේ අනන්‍යතාවය බඳු මේ වත පළඳනාව දැන් දශක ගණනාවක සිට රජයේ මෙන්ම සමහර පෞද්ගලික ආයතනවලද  අනිවාර්ය කාන්තා ඇඳුම බවට පත්ව තිබේ. මගුලට, මරණයට, පිරිත් පිංකමට මෙන්ම පාසලට දරුවා ඇරලිමටද දැන් බොහෝ තැන්වල කාන්තාව සාරිය ඇඳීම අනිවාර්ය වී ඇත.  නමුත් අපි එකද සාරියක්වත් මෙරට නිෂ්පාදනය කරනවාද? බංග්ලාදේශයෙන් සහ වෙනත් රටවල් කිහිපයකින් ගෙන්වන ඉතා සුළු ප්‍රමාණයක් හැර ලංකාවට ගෙන්වන සියළුම සාරි පැමිණෙන්නේ ඉන්දියාවෙනි. මට මතක ඇති කාලයක, ලංකාවේ සාරියක් නිපදවුනා නම් ඒ 70-77 සමයේ දීය. ඒවායින්ද බොහොමයක් එවකට 'භූමිතෙල් ප්‍රින්ට්" යැයි අපේ කාන්තාවන් පැවසු ඉතා බාල වර්ගයේ සාරි පමණි. අපි මෙවන් රටක ජීවත්වෙමින් ඉන්දීය විරෝධී වීම හාස්‍යට කරුණක් නොවේද?



ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් රථයේ පිටුපස සිංහ ලේ කියා ගසාගෙන ගියාට රටක් දියුණුවන්නේ වත් ඉන්දියාවට දැනෙන්නේවත් නැත.

අපට ඉන්දියාව පමණක් නොව ලෝකයම ඉදිරියේ අභිමානයෙන් නැගී සිටීමට නම් අපගේ ඉන්දියන් හෝ අධිරාජ්‍ය විරෝධී හැගීම් නාභිගත කල යුත්තේ රටේ සෞභාග්‍ය උදෙසාය. දේශපාලුවගේ උවමනා එපාකම් වෙනුවෙන් කෑගසමින් ඔබ කා දමන කාලයත්, ශක්තියත්, ආත්ම විශ්වාසයත්, චෛතසික සංයමයත් ඉතිරි කරගෙන එය තමාගේ ජිවන අභිවෘද්ධියට යොදා ගන්නේ නම් රටක් ලෙස අප සියලු දෙනාටම අභිමානයෙන් නැගී සිටිය හැක. ජාතියක් ලෙස නැගී සිටීම අප ඇරඹිය යුත්තේ ස්ව-අභිවෘද්ධිය තුලිනි. එය කවුරුන් හෝ ලබා දෙනකම් බලා සිටිය යුත්තක් නොවේ. 


තව බොහෝ දේ ලියන්න සිතුනත් කාල වෙලාව ඊට එරෙහිවේ. එබැවින් බුදුන්ගේ ශ්‍රී ලංකා උත්පත්තිය පිලිබඳ තරයේ අදහන මගේ කිට්ටු මිතුරෙකුගේ අදහසකට මා පලකල මතය ඉදිරිපත් කරමින් නවතිමි.

ඔහු පැවසුවේ බුදුන්ගේ උපන් දේශය ලංකාව යයි සනාථ කරගත හොත් විශාල සංචාරකයන් පිරිසක් ලංකාවට ගෙන්වා ගත හැකි බවයි. නමුත් මා දකින්නේ මේ සඳහා ඉතා දීර්ඝ කාලයක් පර්යේෂණ කලයුතු බවයි. ඉන් පසු මෙය සත්‍ය යයි ඔප්පු කලත් එය වෙනත් රටවල සිටින බෞද්ධ බැතිමතුන්ට කා වැද්දීමට තවත් ශතක කිහිපයක් ගතවිය හැක. 


අනෙක් අතට ඔබ පොඩ්ඩක් හිතන්න. මීට වඩා බොහෝ පහසුවෙන් මේ වන විට රටේ සෑදී ඇති රාවණා උමතුවෙන් අපිට විදේශ විනිමය ඇදිය හැක. ලොව පුරා කෝටි ගණනක් හින්දු බැතිමතුන් සිටිති. ඔවුන්ට නැරඹීමට රාමා මෙරටට පැමිණ නොයෙකුත් දේවල් කල ස්ථාන, සීතා නිදාගත් තැන, ස්නානය කල පොකුණ, ඇයට හනුමන්තා හමුවූ තැන, රාම කුමරු හමු වූ තැන, හනුමන්තා ගිනි තැබූ ස්ථාන ආදී මෙකි නොකී තැන් සිය ගණනක් අපට ලංකාව තුල අර්ථ දැක්විය හැක.  ඔබට කල යුතුව ඇත්තේ අදාළ ස්ථානවල කෝවිල් සාදා ඒ තුල පිළිම කිහිපයක් තැබීම පමණි. ඉන්දියානුවෝ ඒවා රනින් පුරවනු ඇත.