Friday, 19 December 2025

දුරකථන කුළුණු නිසා සිදුවන අකුණු හානිය


දුරකථන හෝ සම්ප්‍රේෂණ කුළුණු මගින් අවට ගොඩනැගිලි වලට ඇතිවිය හැකි අකුණු බලපෑම් ගැන නැවතත් කිහිප දෙනෙක්ම අසා තිබුණි. මේ ගැටළු වලට වෙන වෙනම පිළිතුරු දෙනවා වෙනුවට මේ ලිපිය ලිවීමට සිත්විය.

දුරකථන කුළුණක් තම නිවස අසල ඉදිකළ විට එයින් හෝ ඒ මත සවිකරන අකුණු ආරක්ෂණ පද්ධතියෙන් තම ගොඩනැගිල්ලට අකුණු විසිකරනවා වැනි මත සාවද්‍ය වේ. ඒ සඳහා කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ තම ගොඩනැගිල්ලට ඇදී එන්න තිබූ ඍජු අකුණක් පවා කුළුණට සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් ඇතිවීමයි.

නමුත් අසල ඇති දුරකථන කුළුණකින් තම නිවසේ උපකරණ වලට අලාබ හානි වීමේ ප්‍රවණතාවය වැඩිවිය හැක. ඒ පිළිබඳව මම හැකිතාක් සරළව පහතින් විස්තර කරමි.

උස ලෝහ කුලුණකට අවට සෑහෙන විශාල වපසරියකට පැමිණෙන අකුණු ඇදී යාමේ සම්භාවිතාවයක් ඇත. මේ හැම අවස්ථාවකම අකුණු ධාරාව කුළුණ හරහා භූගත වන විට එහි earthing system එකේ විභවය ඉහල යයි. මෙය Ground Potential Rise හෙවත් GPR එක ලෙස හැඳින්වේ. කුළුණේ earth resistance එක වැඩි නම් මේ GPR එකේ අගයද වැඩිවේ. 

ඕනෑම කුළුණක උපකරණ රදවා ඇති කුටීරයේ (මෙය Base Transmission Station හෙවත් BTS එක ලෙස හැඳින්වේ) ප්‍රධාන විදුලි සැපයුම් පැනලයේ අකුණු ආරක්ෂණ පද්ධතියක් (SPDs) සවිකර ඇත.  GPR එකත් සමගම මෙම SPDs ක්‍රියාත්මක වී අකුණු ධාරාවෙන් කොටසක් නියුට්‍රල් වයරය දිගේ BTS එකට විද්‍යුත් සැපයුම ලබා දෙන ට්‍රාන්ස්ෆෝමරය දක්වා ගමන් කරයි. ට්‍රාන්ස්ෆෝමරයේද earthing system එක එතරම් හොඳ නැත්නම් මේ අකුණු ධාරාව ට්‍රාන්ස්ෆෝමරයෙන් භූගත වෙනවා වෙනුවට එමගින් විදුලිය සපයන අනෙකුත් ගොඩනැගිළි කරා ගමන් කරයි. දැන් බොහෝ විට මෙම ගොඩනැගිලි අතුරින් හොඳම earthing system එක ඇති ගොඩනැගිල්ලේ හෝ ගොඩනැගිලි කිහිපයක ප්‍රධාන පැනලයේදී හෝ උපකරණයක්/උපකරණ තුලදී neutral එකේ සිට earth එකට ආර්ක් වීමෙන් අකුණු ධාරාව එම ගොඩනැගිල්ලේ earthing system එක හරහා පොළවට ගමන් කරයි.  මෙහි ප්‍රතිඵල ප්‍රධාන පුවරුව පුපුරා යාම, එය ගිනි ගැනීම හෝ ගොඩනැගිල්ලේ ඇති උපකරණ damage වීමයි. 

ඉහත තත්වය සඳහා ගොඩනැගිල්ල කුළුණේ සිට කොපමණ භෞතික දුරකින් පිහිටනවාද යන්න අදාළ නොවේ.

ඉහත කාරණයේදී ගොඩනැගිලි හිමියාට ගත හැකි නීතිමය පියවරක් ලංකාවේ ඇත්දැයි මම නොදනිමි. රජය මා කරන යෝජනාව නම් යම් දුරකථන හෝ සම්ප්‍රේෂණ කුළුනකට පොදු ට්‍රාන්ස්ෆෝමරයකින් සැපයුම ලබා ගන්නේ නම් එම ට්‍රාන්ස්ෆෝමරයෙන් සැපයුම ලබා දෙන සියළුම ගොඩනැගිලිවලට කුළුණ හිමි ආයතනයේ මුදලින් SPDs සවි කර දිය යුතු බවට නීතියක් ස්ථාපිත කිරීමයි.

මීට අමතරව අදාළ ගොඩනැගිල්ල කුළුණට ඉතා ආසන්නයේ (මීටර 15-20 පමණ දුරින්) පවතී නම් අකුණු ධාරාව භූගත වීමත් සමගම ඇතිවන GPR එක කෙලින්ම එම ගොඩනැගිලිවලට බලපායි. එවිට එම ගොඩනැගිලිවල earth එකේ විභවය වැඩිවී ප්‍රධාන පැනලයේදී හෝ උපකරණ තුලදී earth වයර් එකේ සිට neutral වයර් එකට arc වීමෙන් අකුණු ධාරාව ට්‍රාන්ස්ෆොර්මරය කරා ගමන් කරයි. මෙහිදී ගොඩනැගිල්ලට සැපයුම ලබා දෙන්නේ වෙනස් ට්‍රාන්ස්ෆෝමරයකින් නම් damage එක විශාල වශයෙන් වැඩිවේ.

මාද මුල්වී ගොඩ නැගු TRC guidelines වල (මා අවසන් වරට එයට සහභාගී වුයේ 2008දී පමණය) address කරන්නේ ඉහත කුළුණ ආසන්නයේ ඇති ගොඩනැගිලි පිළිබඳව පමණි. මෙය යාවත්කාලීන කිරීම වැදගත්ය.


        

Tuesday, 16 December 2025

අනුර නැවත කියවිය යුතු LKY 66


ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ට පොදු වූ කරුණක් ඇත. එනම් තම මැති ඇමතිවරුන් සහ හෙංචයියන්ට මෙන්ම තමන්ට ප්‍රතිවිරුද්ධ පිල්වල දේශපාලකයන්ටද වැරදි කිරීමට ඉඩ හැරීම හෝ ඔවුන් වැරදි කිරීමට යොමු කිරීමයි. ඉන්පසු ඔවුන් කල පව් වල ෆයිල් මගින් ඔවුන්ව balckmail කර තමන්ට අවශ්‍ය විදියට ආණ්ඩුව හැසිරවීම මෙම නායකයන්ගේ ක්‍රමවේදය විය. ජේ ආර් මේ සෙල්ලම පටන්ගත් කාලයේ සමහර දේශපාලන විචාරකයන් මෙය චාල්ස් ඩි ගෝල් න්‍යාය ලෙස හඳුන්වනවා මට මතකය.

චාල්ස් ඩි ගෝල් ක්‍රමවේදය අදාළ නායකයන්ට කෙතරම් උපකාරී වුවත් රටට ඉන් කොපමණ සෙතක් වුවාදැයි තීරණය කිරීම ඔබට බාරය. 

චාල්ස් ඩි ගෝල්ගේ පාලන සමයේ අවසාන වකවානුව හා සම්පාත වන LKY පාලන ක්‍රමවේදය මීට හාත්පසින්ම වෙනස් විය. ඔහු මුලින්ම කලේ තමන්ගේ ගමනට බාධාවක් වීමට ඉඩ තිබූ සියළු ප්‍රතිවාදීන් පින්තුරයෙන් ඉවත් කිරීමයි. ඔවුන් දැරූ රජයේ ධූරයන්ගෙන් පහකිරීම, සිරගත කිරීම, රටින් පිටුවල් වන තැනට වැඩ සැලසීම ආදී ක්‍රම සහ විදි ඉතා නීත්‍යානුකූලව ඔහු දියත් කළේය. ඒ සඳහා ඔහු මෙම පුද්ගලයන් කල දුෂණ, වංචා උපයෝගී කරගත්තේය. ඉන් පසු ඔහු කලේ තමන්ට හිසරදයක් වන තම පක්ෂයේම පුද්ගලයන් කිහිප දෙනෙක් කල වැරදිවලට සිරගත කිරීමයි. මෙය ජනතාව අතර ඔහු කෙරේ විශ්වාසය තහවුරු වීමට විශාල රුකුලක් විය.

1966 පටන් ගත් LKY නව දැක්ම 2015 ඔහු මියගිය පසුද අවසන් වුයේ නැත. අදත් එය සිංගප්පුරුවේ ක්‍රියාත්මක වේ.

LKY 66 සිංගප්පුරුවට සිදුකල වෙනසේ හොඳ-නරක තීරණය කිරීමද ඔබටම පවරමි. 



Sunday, 7 December 2025

කතාව නවත්වා දැන්වත් ව්‍යසනය තේරුම් ගනිමු


ලංකාවේ මේ සිදුවුණ විපතේදී මා අන්තිම තක්කඩි විදියට ක්‍රියාකරනවා දැක්කේ රජයේ ආයතන කිහිපයකි. විපක්ෂයත් පෙන්නුම් කලේ ඊට වඩා අඩු තක්කඩිබාවයක්. 

විපක්ෂ ගැති වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ රජය කියන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික කියල (දැන් ඉන්න අය විපක්ෂයේ ඉන්න කොටත් එහෙමයි). මම උදාහරණයක් විදියට මේ දවස්වල පැතිරෙන අති ගොබ්බ කතාවක් ගන්නම්. ඒ තමයි BBC එක කිව්ව අනාවැකියක් මේ රජය තුට්ටු දෙකකට මායිම් කලේ නැහැ කියන එක. 

පළමු කාරණේ තමයි BBC එක කාලගුණ අනාවැකි ගැන අධ්‍යනය කරන ආයතනයක් නොවෙයි. ඔවුන් ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් පමණයි. ඔවුන් කරන්නේ යම් කාලගුණ ආයතනයක් මගින් ලබාදෙන තොරතුරු ප්‍රචාරණය කිරීම පමණයි. ලෝකයේ කිසිම ආණ්ඩු පක්ෂයක් ප්‍රවෘත්ති ආයතනයක් කියන විදියට වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි එවැනි ආරංචියක් ලැබුනා නම් එවිට මුලින්ම ක්‍රියාත්මක විය යුත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඔවුන් එවිට රුපවාහිනි සම්මුඛ සාකච්චා පැවැත්වීම නෙවෙයි වැදගත්. ඇතිවිය හැකි තත්වය පිළිබඳව DMC එක, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, water board එක, airport aviation සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමයි. ඉන්දියාවේ සහ පකිස්ථානයේ නම් ඔවුන් මුලින්ම දැනුවත් කරන්නේ ත්‍රිවිධ හමුදාවයි (මම එය පෞද්ගලිකවම දනිමි). මීට අමතරව අමතර ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ පහසුකම් සපයා දීමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය දැනුවත් කල යුතුය. 

මේ දැනුවත් කිරීම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කළා දැයි මම නොදනිමි. කළා නම් ඊළඟට ක්‍රියාත්මක විය යුතුව තිබුණේ අදාළ ආයතනයි. 

"Evacuation under a forecasted disaster" යනු ඕනෑම අයෙකුට හිතුන හිතුන ආකාරයෙන් කළ හැකි සරල කටයුත්තක් නොවේ. ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමවේදයක් ඇත. මේ බව දැන හෝ නොදැන සමහර උගත් යයි කිව හැකි ඔළමොට්ටලයන් පවා පලකරන අදහස් චමත්කාරජනකය. 

ජල ගැලීම්, නාය යාම්, වසංගත වැනි අවස්ථාවල ගත යුතු ක්‍රියාමාර්ග, evacuation plans, පිළිබඳව අප අධ්‍යනය කර මූලික ප්‍රතිපත්ති සහ guidelines develop කලේ මීට වසර 20-25කට පෙර ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම හරහාය. මහාචාර්ය තිස්ස විතාරණයන්ට, ආචාර්ය නොබෙල් ජයසුරිය මහතාට අප දිවා රෑ නොබලා කල මේ කටයුතු අදත් මතක ඇතැයි සිතමි. 

මේ අවස්ථාවේදී මේ කිසිම අදාළ ආයතනයක ලොක්කෙක් මේ ගැන කට හොල්ලන්නෙ නැත. ඉතා මන්ද බුද්ධික ආකාරයෙන් හැසිරෙන විපක්ෂ හිතවාදීන් මේ ඔක්කොම කුණු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයට හරවා යවනු බලාගෙන ඔවුන් නිහඬව සිටියි. 

මෙම විපත සම්බන්ධයෙන් අනාවැකි පලවීමේදී පියවරක් ගැනීමට කාලයක් නොමැති තරම් ප්‍රමාදයක් සිදුවීද එසේ නැත්නම් යම් අතපසුවීමක් සිදුවී දැයි අදාළ අංශ විසින් කට්ටෙන් එලියට විත් ජනතාවට පැවසිය යුතුය. අපට ඉදිරියේදී මේ තත්වය නැවතත් ඇති නොවීමට යම් පියවරක් ගත හැක්කේ එවිටයි. 


Saturday, 6 December 2025

මඩ තරම් ලේසි නැති ගැට තුනක්


මීට වසර 15ට පමණ පෙර මා බ්ලොග් සටහන් ලියන්න පටන්ගන්නේ ප්‍රධාන වශයෙන්ම ස්වභාවික ආන්තික සිදුවීම් පිළිබඳව යම් පණිවිඩයක් කියවන්නන්ට ලබාදීමටය. එදා මෙදාතුර මා මේ පිළිබඳව ලිපි ගණනාවක් ලියා ඇත. පැවති සියළුම ආණ්ඩු මෙන්ම විපක්ෂද (දැන් පවතින රජයේ උදවිය විපක්ෂයේ සිටින විටද) හැමදාම කලේ මේ ගැටළුවලට කෙටි සහ දීර්ඝ කාලීන විසඳුම් සොයනවා වෙනුවට එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමයි. 

මේ නිසාම රටේ ජනතාව අතරද කිසිඳු පදනමක් නැති ගොබ්බ, විකාරරූපී අදහස් පැතිරෙන්න විය. මෙය අධ්‍යාපන මට්ටම කුමක්ද යන්න හෝ ජීවත්වන්නේ ලංකාවේද, අසර්බයිජනයේද, කැනඩාවේද යන්නෙන් ස්වායත්තව පුළුල් සමාජ පරාසයක පැතිරී ඇත. 

කෙසේ නමුත් ස්වභාවික ආන්තික සිදුවීම් සහ ඒවායින් සිදුවන මානව විපත් මෙයින් අවසන් නොවේ. තව නොබෝ දිනකින් මීටත් වඩා දරුණු තත්වයන් උදාවිය හැක. මේ නිසා අපි දේශපාලන කෝණයකින් තොරව කල යුත්තේ කුමක්දැයි විමසා බලමු. මට නොපෙනෙන බොහෝ පැතිකඩ ඔබ දැකිය හැක. 

පහත දැක්වෙන පැනයන්ට පිළිතුරු දීමට ඔබට හැකිද? තෙවැනි පැනයට බොහෝ කරුණු මා මෙතෙක් ලියූ බ්ලොග් ලිපිවල පෙන්වා දී ඇත.

1. ආන්තික සිදුවීම පිළිබඳව සාමාන්‍ය අනාවැකියක් (general forecast) සහ නිශ්චිත අනාවැකියක් (exact forecast) ලැබුණු පසු කල යුතුව තිබූ එහෙත් මේ රජය නොකළ දේ මොනවාද?

2. කහ, තැඹිලි, රතු අනතුරු හැඟවීම් වලදී ජනතාව ගත යුතු එහෙත් මෙවර නොගත් පියවර මොනවාද?

3. දීර්ඝ කාලීනව මෙතෙක් කිසිඳු රජයක් නොකළ මේ රජයද නොකරන දේ මොනවාද?

Friday, 5 December 2025

නාගරික ගංවතුර සහ ග්‍රාමීය ගංවතුර

 


ගමේ ගංවතුර නගරයේ ගංවතුර වලට වඩා හොඳද? මා මේ පිළිබඳව ලිපියක් මීට වසර කිහිපයකට පෙරද ලියා ඇත. නමුත් දැන් ඒ ලිපියේ තිබුනාට වඩා තත්වය වෙනස්ය.

ගංවතුර සම්බන්ධයෙන් සෞඛ්‍ය ගැටළු වැඩිපුරම මතුවන්නේ ගංවතුර බැසගෙන යනවිටය. ජලය ගලායාමෙන්, පොළොවට අවශෝෂණය කරගැනීමෙන් සහ වාෂ්පීභවනය වීමෙන් අනතුරුව මඩ කඩිති, වැව්, පොකුණු, සහ අනෙකුත් කුඩා ජලාශවල ඉතිරිවන්නේ විෂබීජ සහ විෂ රසායනික සාන්ද්‍රණය අධික ජලයයි. 

නාගරික ගංවතුර පරිසරයක කැලිකසළ, රෝහල් සහ කම්හල් අපද්‍රව්‍ය, වැසිකිලි-කැසිකිලි උතුරා යාම ආදියෙන් අපිරිසිඳු වූ ජලය බලාපොරොත්තු විය හැක. මේ ජලයේ microbial සහ toxic chemicals අධි සන්ද්‍රනයෙන් ඇති බව අපට උපකල්පනය කල හැක. මේ නිසා නාගරික ගංවතුර වඩා භයානක බවට මතයක් පැවතුනි.

නමුත් මෑතකදී කල යම් යම් අධ්‍යයන වලදී පෙනී යන්නේ, කෘෂි ආර්ථිකයක් සහිත අඩු දියුණු රටවල ග්‍රාමීය ගංවතුරද අහිංසක නොවන බවයි. වගාවන්ට යොදන ටොන් දහස් ගණනක් වූ රසායනික පොහොර, කෘමි-දිලීර-වල්පැල  නාශක කෙටි කාලයක් තුල ජලය හා මිශ්‍රවීමෙන් ගංවතුරෙහි සාන්ද්‍රණය අධිකවේ. විශේෂයෙන්ම ඉතිරිවන ජලයේ  බැරලෝහ අධික වීමට ඉඩකඩ ඇත. මීට අමතරව ලංකාව වැනි රටවල මී උණ වාහක වැනි රෝග පැතිරීමේ අවධානම් මේ ජලයේ පැවතිය හැක. නාගරික ගංවතුර මෙන් අවපැහැයක් හෝ දුගඳක් නැතිව මාරයා සැඟවුන ග්‍රාමීය ගංවතුර මේ නිසා වඩාත් අන්තරායකර වීම පවා ඉඩකඩ ඇත.

රසායනික විද්‍යාව, microbiology හෝ පාරිසරික විද්‍යාවන් හදාරන පර්යේෂකයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරි දින කිහිපය තුල ආවරණය නොකළ ජලාශ (ළිං පොකුණු වැනි) 40 පමණවත් (නාගරික ජලාශ 20 සහ ග්‍රාමීය ජලාශ 20ක්) නියැඳි ලබාගත හැකි නම් (නියැඳි ප්‍රමාණය වැඩිවූ තරමට ප්‍රතිඵල වඩා නිරවද්‍ය වේ), ඒ නියැඳි පරීක්ෂණයෙන් සහ දත්ත විශ්ලේෂණයෙන් ඔබට අනිවාර්යයෙන්ම Q1 journal paper එකක් publish කරගත හැක.  


    

Tuesday, 2 December 2025

ආණ්ඩුව අනාගනීද?


ලෝකයේ අති දියුණු රටවල පවා ආන්තික සිදුවීමකදී ඇතිවන හානි ඉතා දරුණු විය හැක. ඇමරිකාවේ, ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ පවා මෑත කාලයේ සිදුවූ විපත් මීට සාක්ෂි දරයි.

ලෝකයේ කිසිම රටකින් (අපේම විපක්ෂය හැර) ලංකාවේ සිදුවූ මානව විපත ගැන ආණ්ඩුවට දෝෂාරෝපණ එල්ල වුයේ නැත. එය කිරීමෙන් ඵලක් නොමැති බව ලෝකය දනියි. ලෝක ප්‍රජාව රටක සාර්ථකත්වය මනින්නේ ආන්තික සිදුවීමක පසු-කළමනාකරණය (post-event disaster management) මතය. මේ රජයට දැන් ඇති දැවත්තම අභියෝගය එයයි. ලංකාවට ඉදිරියේදී ලැබෙන ආධාර සහ අන්තර්ජාතික සහයෝගී තාවය මේ පසු-කළමනාකරණ සාර්ථකත්වය මත ඉතා දැඩිව රඳා පවතී.

ආන්තික සිදුවීමකින් රටකට බරපතල මානව විපතක් සිදු වූ විට (විශේෂයෙන්ම එම රාජ්‍යය ජාත්‍යන්තරය තුල යහපත් සබඳතා පවත්වාගෙන යා නම්) එරටට විදේශ ආධාර ගලාගෙන පැමිණෙයි. මෙවර රාජ්‍ය මට්ටමින් ලැබෙන ආධාරවලට අමතරව පිටරටවල පදිංචි ලාංකික සම්භවය ඇත්තන් සහ අනෙකුත් දානපතියන්ගෙන් ලැබෙන ආධාරද ඉතා ඉහල අගයක පවතින බවට ආරංචි ලැබෙමින් පවතී. කුඩා ශ්‍රී ලාකික සමුහයක් වෙසෙන දකුණු අප්‍රිකාවේ පවා මේ වන විට බලාපොරොත්තු වුවාට වඩා විශාල මුදලක් එකතු වෙමින් පවතී. 

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ තත්වය පහළ ආර්ථිකයක් ඇති බොහෝ රටවලට වෙස් වළාගත් ආශීර්වාදයක් වන බවයි. බොහෝ විට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය හොඳින් කළමනාකරණය කරගතහොත් ඒ තුලින්ම රටේ අභිවෘද්ධිය ලඟා කරගත හැක. 

මේ ආකාරයේම තත්වයක් 2005 වසරේදී ලංකාව උදාවිය. සුනාමි ව්‍යසනයෙන් කෙටි කලකට පසු ඩොලරයේ අගය සැහෙන ප්‍රමාණයකින් පහත වැටුණු බව ඔබ සමහර දෙනෙක්ට මතකය. එහෙත් ඒ ගලාගෙන ආ විදේශීය ආධාර නැවතුනේ කොහෙද කියා ඔබ බොහෝ දෙනෙකු හොඳින් දනියි. ඔබට මේ ගැන පවසන විටම "සුනාමි සහන අරමුදල", "සිරිලිය ගිණුම" මතකයට නැගෙන්නේ මේ නිසාය.

මෙවරවත් අපට මේ වෙස් වලාගත් ආශීර්වාදය ධනාත්මක මාවතකට යොමු කල හැකිද?

අපි බලාගෙන ඉඳිමු....

Monday, 1 December 2025

සුබසෙත කිව්වොත් කිව්වමයි

 


අපි පොඩි කාලේ මට මතක හැටියට ජ්‍යෝතිෂය පුවත්පතකට තිබුණේ සුබසෙත විතරයි. අපේ සීය හැම සතියෙම සුබසෙත මිළදී ගන්නවා. හැම පාරම පත්තරේ headline එක නම් ත්‍රාසජනකයි.  "රටට මහා දරුණු ස්වභාවික විපතක්", "රටම ආදරය කරන ප්‍රසිද්ධ කලාකරුවෙකුට මාරක අපලයක්", "රටම හෙල්ලෙන දේශපාලන පෙරලියක්" ආදිය මේ කීපයක්. පත්තරේ අරගෙන දවස් දෙකක් තුනක් යනකල් අපේ ආචිචිලගේ ගෙදර කතාව ඔය ගැනමයි. හොඳට ඉන්න මිනිස්සුන්වත් මරනවා, කඳු නාය යවනවා, පතාක දේශපාලන නායකයන්ව විරුද්ධ පැත්තට පන්නනවා, එක වැඩයි.

ඔය කියන දේවල් ලේසියෙන් සිද්ධ වෙන්නෙ නැහැ. ටික දවසක් යනකොට ඕක  සුබසෙතට මතකත් නැහැ. ඊළඟ සතියේ හෙඩිම කියෙව්වට පස්සේ කොහොමටත් පරණ කතාව  මිනිස්සුන්ට මතකත් නැහැ, 

ඉඳල හිටලා මෝසම් වැස්ස වැඩිවෙලා ඇලක් දොළක් ගලලා ලංකාවේ ගමක් යටවෙනවා, එහෙම නැත්නම් මහා ඇලෙක්සැන්ඩර් නාටකේ අස්සයගේ පස්ස කකුලට ඇට් කරන මනුස්සයා මැරෙනවා, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඉඳගන්නවා.

ඊළඟ සතියේ පොල් ගෙඩි අකුරින් පළවෙනවා "සුබසෙත කිව්වොත් කිව්වමයි"