පරම්පරාවෙන් දායාද වූ ධන සම්පත් ඇති මණ්ඩුක නම් මානවකයෙක් පෙර කල සිටියේය. ඔහුට තම වස්තුව සොර සතුරන් කොල්ල කතැයි තද බල බියක් තිබුණි. මේ නිසා ඔහු අසල තිබූ විශාල ගසකට පහන් පූජා පවත්වමින් එම වෘක්ෂයට අධිපති රුක් දෙවියන්ගෙන් තමාට ආරක්ෂාව අයද සිටියේය. මේ මානවකයා ගැන පැහැදුණු රුක් දෙවියා දිනක් ඔහු ඉදිරියේ පෙනී සිට ඔහු අතට අලංකාර රත්තරන් කඩුවක් දුන්නේය. "ඕනෑම සොර සතුරෙක් ආ විට මේ කඩුවෙන් පහර දෙනු. එහි හුළඟ පවා වදින සතුරන් විනාශ වී යන්නේය" කියා රුක් දෙවියා නොපෙනී ගියේය.
එදා පටන් මණ්ඩුක මානවකයා දැඩි මානසික පීඩනයකට පත්විය. ඒ රත්තරන් කඩුව සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද කියාය. තම නිවසේ පෙට්ටගමෙහි පතුලේ කඩුව තැන්පත් කල මණ්ඩුක ඊට උඩින් වී දමා එය සැගවීය. ඉන්පසු පෙට්ටගමට විශාල ඉබ්බෙක් දමා වැසූ මණ්ඩුක එතැන් පටන් දවස පුරාම පෙට්ටගම වටේ කැරකෙමින්, රාත්‍රියට ඒ මත නිදා ගනිමින් කඩුව ආරක්ෂා කිරීමට පටන් ගත්තේය. කාලය නොමැති කමින් රුක් දෙවියාට කල පහන් පුජාවද නැවතුණි. ඉඳහිට වී ටික ඉවතට ගෙන කඩුව දෙස බලා සතුටුවන මණ්ඩුක වසර ගණනාවකට පසු පෙට්ටගම උඩම සිය දිවි සැරිය නිමා කළේය.
ලංකාවේ සෑහෙන පිරිසකට ආගම යනු රත්තරන් කඩුවකි. ඔවුන්ට ආගමක් අවශ්‍යවන්නේ එය රැක ගැනීමටයි. එය රැක ගැනීම සඳහා මේ මණ්ඩුකලා මාරාවේශයෙන් මෙන් සමාජය සමග සටනට බසිති. තම චිත්ත සමාධිය, සිතේ සැනසීම, මෙන්ම තර්කගෝචර, බුද්ධිමත් මනෝභාවයන්ද පසෙක ලා සිතෙන් මවා ගත් සතුරන් සමග යුධ වදිති. සමාජයේ පහලම ස්ථරයන් අන්‍ය ආගමිකයන්ගේ දේපලවලට ගල් මුගුරුවලින් පහර දෙද්දී ඊට තරමක් ඉහළ උගත්කමක් ඇති ස්ථර සමාජ මාධ්‍ය හරහා තමාගේ තරමට කිසිසේත්ම නොගැලපෙන ඉතා සැහැසි ස්වභාවයක් ප්‍රදර්ශණය කරයි. ආගම නිසා යැපෙන්නන්ද ගින්නට අවශ්‍ය ඉන්ධන සපයමින් මේ අවස්ථාවෙන් උපරිම ලාබ ලැබීමට උත්සුක වෙයි.
රටක සිටින මණ්ඩුකලා වැඩිවෙන තරමට දූෂිත පාලකයන්ට රාජ්‍ය පාලනය පහසුය. බල්ලෙකු දෙසට මස් කට්ටක් විසිකරන්නා සේ මෙම දේශපාලකයන් මේ ආගමික උම්මාදයෙන් පෙලෙනා දන වෙත රත්තරන් කඩු මවා පෙන්වයි. මේ තුලින් ඔවුන් සමාජයේ සැබෑ සතුරන් වන තමන්ව සඟවා මවා ගත් සතුරන් වෙතට ජනතාවගේ වෛරය සහ ක්‍රෝධය හරවා යවයි.
මෙය දිගින් දිගටම සිදුවෙන විට ශිෂ්ඨාචාරයක් ලෙස රටක් බරපතල ආගාධයකට පතිත වෙයි. මෙය දශක ගණනාවක් අත්දැකීමෙන්ම දැන දැනත් සමාජයක් නැවත නැවතත් ස්ව-කැමැත්තෙන්ම මණ්ඩුකලා බවට පත්වෙයි නම් ඒ රට පිළිබඳව තව දුරටත් කම්පා විය යුතු නැත.
No comments:
Post a Comment