Monday, 26 May 2025

පිස්සා කවුද?


මීට වසර කිහිපයකට පෙර අසල්වැසි රටකදී විදේශිකයෙකු සහාසික ලෙස මරා දමන ලදී. ඒ තම ආගමට සම්බන්ධ වගන්තියක් ඇති පෝස්ටරයක් ඉරා දැම්මා කියාය. මෙම ආගමික අන්තවාදීන් කෘර ලෙස එම විදේශිකයාව ඝාතනය කරද්දී එය වළකාලන්නට එතන සිටි තවත් ස්වදේශිකයෙක් උත්සහ ගත්තේය.  ඉතා දරුණු මානසික තත්වයක සිටි අන්තවාදීන් ඔවුන්ගේම ආගමට අයත් එම පුද්ගලයාටද පහර දුන් අතර පසුව ඔහුව උම්මත්තකයෙක් යැයි කියා අසල පිහිටි රෝහලක මානසික ප්‍රතිකාර ඒකකයට බාරදෙනු ලැබීය. එහි සිටි වෛද්‍යවරු සිදුවී ඇති අවාසනාවන්ත සිද්ධිය දැනගත් පසු එම පුද්ගලයාව ආරක්ෂා සහිතව ඔහුගේ නිවසට පිටත් කර හැරියේය.

වසර කිහිපයකට පසු මෙම පුද්ගලයා එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වූ අතර ආගමික අන්තවාදීන් ගණනාවක් මරණ දඩුවම ලදහ. අවසාන තීන්දුව ලැබෙන්න ආසන්න වන විට එම ආගමික අන්තවාදීන් ඒ අවස්ථාවේ උම්මත්තක තත්වයක සිටි බව ඔප්පු කිරීමට විත්තියේ නීතිඥයෝ උත්සහ ගත්හ. එහෙත් එය ව්‍යවර්ථ විය.

මට මේ කතාව කීමට සිත් වුයේ "උමතුබව" අර්ථ දැක්වීමේ ඇති අපහසුතාවය පෙන්වීමටය. ආගම සහ උම්මත්තකභාවය බොහෝ විට එකිනෙකට අත්වැල් බැඳගත් සංකල්ප දෙකකි. 

කෙනෙක් මැටි පිඩකින් බලිරූපයක් සාදාගෙන එයට උදේ සවස වැඳ පුදන්න වූ විට අපි ඔහු "උම්මත්තකයෙකු" ලෙස හඳුන්වමු.  මේ ක්‍රියාවට තවත් දෙතුන් දෙනෙක්, විස්සක් තිහක්, සීයක් දෙසීයක් එකතු වුවහොත් අපි ඔවුන් "භක්තිකයන්" ලෙස හඳුන්වමු. මේ ආකාරයටම යම් පුද්ගලයෙක් කොන්ක්‍රීට් කනුවකට ගල් ගසමින් තමන් යක්ෂයාට පහර දෙන බව පැවසුවහොත් අපි ඔහුට "පිස්සෙක්" යයි කියමු. නමුත් මෙය මිලියන ගණනක් දෙනා කරන විට අපි ඔවුන්ට "ආගමික බැතිමතුන්" යයි කියමු. 

මෙලෙස පිස්සා බැතිමතා වෙන අවස්ථා අපේ සමාජයේ අනන්තවත් ඇත. බැතිමතා වූ කලින් පිස්සා හැමවිටම අනෙක් අයව දකින්නේ, අපතයන්, අධමයන්, හෝ සමහර විට පිස්සන් ලෙසය. 

දැන් ගැටළුව නියම පිස්සා කවුද යන්න තීරණය කිරීමයි.

මේ පිස්සා-බැතිමතා ද්විත්වය ඉතා සූක්ෂමව තම ලාබ ප්‍රයෝජන සඳහා යොදාගන්නා පිරිසක් වෙයි. ඒ දේශපාලකයාය. මේ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. 

 


3 comments:

  1. තමන් සේරම දන්නවා කියලා හිතන එකත් උමතුවක් තමයි මහත්මයා...

    ReplyDelete
  2. ආගම/ දේශප්‍රේමය/ ජාතිවාදය කියන්නේ එක වල්ලේ පොල් තමා

    ReplyDelete
  3. භක්තිය, උමතුව, අන්තවාදය —
    එකවගේ පෙනුනත්
    භක්තිය (විශ්වයම ) සන්සුන් කරයි,
    උමතුව (තමා) විකෘති කරයි,
    අන්තවාදය( ලෝකය) විනාශ කරයි.
    සියුම් එහෙත් බර වෙනස්කම්වලින්
    මනුස්සත්වය තීරණය වෙයි.

    ReplyDelete