Thursday, 3 April 2025

අහෝ ඩොනල්ඩ්! නොදිටි මොක්පුර


1960-2000 අතර කාලය තුල ධනවත් රටවල් බොහොමයක් අදටත් දියුණු වෙමින් පවතින ආසියානු, සහ ලතින් ඇමරිකානු රටවලට විශාල වශයෙන් පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව සහ පර්යේෂණ ආධාර (research grants) ලබා දුන්නේය. 80 දශකය වන විට මෙම ප්‍රවාහයට ජපානයත් එකතු විය. මෙම ආධාර දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලිවම පෙනෙන්නේ මෙම දියුණු රටවල් උදව් කලේ ලංකාව වැනි රටවල මූලික පර්යේෂණ (basic research) සඳහා පමණක් බවයි. මෙම රටවලින් ව්‍යවහාරික පර්යේෂකයන් (applied researchers) බිහිවීම මෙම දියුණු රටවල් දැඩි ලෙස අධෛර්යමත් කලෝය. ඉඳහිට මේ බැම්ම කඩාගෙන ගිය පර්යේෂකයන් ඔවුන් තම දියුණු රටවල්වලම තබා ගැනීමට උත්සුක විය. මා මේ ගැන first hand experience ඇති කෙනෙකි.

අප රටවල පර්යේෂකයින් basic research වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කටයුතු කරන විට ඔවුන්ගේ පර්යේෂකයන් තම කාලය සහ දැනුම applied research සඳහා යෙදවීය. අපේ අය ඔවුන් ලබා දුන් නවීනතම spectroscopes වලට පිං දෙමින් සර්ප විෂවල අඩංගු ප්‍රෝටීන් සංඝටක හඳුනාගෙන පත්‍රිකා පළකළහ. ඔවුන් ඒ දැනුම යොදාගෙන ප්‍රතිවිෂ ඖෂධ තනා අප රටවලටම විකිණීය. මෙය සිදු නොවූ ක්ෂේත්‍රයක්  නැති තරම්ය. මේ මග ගිය දියුණු රටවල් තව තවත් දියුණු විය. 

නව සහශ්‍රකයේ පළමු දශකය වන විට මේ ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවලින් බිහි වූ විද්‍යාඥයන් තවදුරටත් basic research වල රඳවා ගැනීම උගහට බව දියුණු රටවල් අවබෝධ කරගත්තෝය. මේ සමගම ඔවුන් මේ රටවලට එතෙක් දුන් ආධාර ක්‍රමයෙන් අඩුකර, තව දුරටත් basic research වල පර්යේෂකයන් සිරකර තැබිය හැකියැයි ඔවුන් සිතූ අප්‍රිකානු මහාද්වීපය දෙසට හැරෙන්න විය. 

මට මේ කතාව සිහියට නැගෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇති ආනයන බදු දුටු විටය. බදු විශාල ලෙස වැඩි කර ඇති බොහෝ දියුණු වෙමින් පවතින රටවලින් ඇමරිකාවට ආනයනය කරන බඩු ගැන පොඩ්ඩක් සිතන්න. නිමි ඇඳුම් සහ රෙදි, පාවහන්, ලීබඩු සහ දැව, ප්‍රාථමික ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, කුළු බඩු, කෝපි, පළතුරු, එළවලු මින් කිහිපයකි. ඇමරිකාවට hi tech products අපනයනය කරන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් කිහිපයකි. 

ඉහත සඳහන් කල විශේෂ hi-tech හෝ cutting edge technologies ඉතා අවම වශයෙන් අවශ්‍ය වන බව භෝග සහ භාණ්ඩ ඇමරිකාවේම නිෂ්පාදනය කරන්න යෑම මොන තරම් නිෂ්ඵල ක්‍රියාවක්දැයි ඇමරිකානුවන් ඉක්මනින්ම අවබෝධ කරගනු ඇත. මේ නිෂ්පාදන වලට තම දැනුම, කාලය, මිල මුදල්, ඉඩකඩම් වෙන් කරනවාත් සමගම සිදුවන්නේ  මායිම් තාක්ෂණය (frontier technology) තුලින් ඇමරිකාව ඉදිරියට ආ ගමන එකවරම මන්දගාමී වීමයි. මෙය යුරෝපය, චීනය, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව වැනි රටවලට පමණක් නොව ඉන්දියාවට පවා අධි ත්වරණයෙන් ඉදිරියට යාමට කදිම අවස්ථාවකි. 

සමහර විට වැඩේ තේරෙන විට ඇමරිකාව පමා වැඩි විය හැක.



            

No comments:

Post a Comment