අප බොහෝ දෙනෙකුට අමතක වන කාරණයක් නම් අප මේ ගෙවන්නේ ඉතා සාර්ථක අරගලයකින් මාස කිහිපයකට පසු සමය බවය. එම අරගලය ඇරඹුණේ "Go Home Gota" තේමාව යටතේය. අරගලකරුවා එම ඉලක්කය කරා මාස කිහිපයකින් ළඟාවිය. අරගල ප්‍රස්තුතය ගෙදර නොව රටෙන්ද පලා ගියේය. එම අරගලය අති සාර්ථක වන්නේ මේ නිසාය. මෙවැනි අරගල මෑත ඉතිහාසයේ තිබී ඇත්තේ අතේ ඇඟිලි ගානටය. අරගලයෙන් පසු සිදුවූ විකාරයට වගකිව යුත්තේ දේශපාළුවාය. අරගලකරුවා ඉටු කල කාර්ය භාරය ඉදිරියට ගෙනයාමට තරම් හයියක් හෝ ප්‍රඥාවක් දේශපාලකයා සතු නොවීය. එය අරගලකරුවාගේ දෝෂයක් නොවේ.
නමුත් මේ අරගලය ලාංකීය ජනතාවගේ මනෝබාවය විශාල වශයෙන් වෙනස් කල බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි. ඉන් එක කාරණයක් දේශපාලන විරෝධතාවයන්ට ඍජුවම බලපායි. එනම් "කොළඹ වටලන විරෝධතාවයක්" කී පමණින් දැන් ජනතාව එය සංසන්දනය කරන්නේ අරගලයේ ප්‍රතිපල සමගය. මේ නිසා එදා දහස් ගණනක් කොළඹට පැමිණ ගාලුමුවදොර පිටිය පුරවා ගෙදර යාම දේශපාලන පක්ෂයකට විශාල ජයක් වුවත් අද එය එතරම් ගණන් ගත නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ඇඟට දැනෙන ප්‍රතිඵලයක් නොමැති විරෝධතාවයක් අද ජනතාවගේ ඇසින් නිෂ්ඵල ක්‍රියාවකි. මා කියන දෙය ඔබට වැටහෙන්නේ ඔබ ඊළඟ විරෝධතාවයට ජනතාව කැඳවන විටදීය.
වේගයෙන් ඉදිරියට පැමිණෙන රැඩිකල් පක්ෂ පැහැදිලි අරමුණක් හෝ ප්‍රතිදානයක් නැති විරෝධතාවලින් දියවී යනු මා මැලේසියාවේදී, තායිලන්තයේදී, සැම්බියාවේදී, පකිස්ථානයේදී, සහ දකුණු අප්‍රිකාවේදී first hand experience තුලින් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව තවත් රටවල් කිහිපයක සිදුවනු අසා ඇත.
රටක් ආගාධයට වැටුණු මොහොතක පක්ෂයක් වටා බොහෝ විට එක්වන්නේ තරුණ සහ මුල්-මැදිවියේ පිරිසයි. මේ බොහෝ දෙනෙක් තුල උගත්-නූගත් බේදයකින් තොරව යම් අඩුපාඩුවක් ඇත. එනම් ලෝකය පිළිබඳව ඇති අනවබෝධය සහ අවස්ථාව ගැඹුරට විශ්ලේෂණය කිරීමට ඇති නොහැකියාවයි. ඔවුන්ගේ කෝප වූ මනස නිරවුල් චින්තනයට වැට කඩුළු බඳී. රාජපක්ෂලා මෙතෙක් සිදුකළේද, රනිල්, සජිත් ඇතුළු හරිත පක්ෂ සහ වාමවාදී පක්ෂ සිදුකළේද මේ නොමේරු - වියවුල් මනස තම දේශපාලන උන්නතියට යොදා ගැනීමයි.
මා කුමක් පැවසුවත් NPP වැනි පක්ෂයකට ඉහත පිරිසෙන් ස්වායත්ත විය නොහැක. එම නායකයන්ටද මෙම වියවුල් මනස සන්තර්පණය කිරීමට සිදුවේ. මා සිතන ආකාරයට මේ විරෝධතාවල අරමුණ එයයි. එහෙත් ඉන් සිදුවිය හැකි හානිය බොහෝ විශාලය.
අද ජනතාව බලාපොරොත්තුවන්නේ පවතී අරගලය පන්නයේ ගාමක බලවේගයකින් තම දරිද්‍රතාවයට ආමන්ත්‍රණය කරන operation එකකි. එනම් යම් ඉලක්කයක් අර්ථ දක්වා නොනවතින රැල්ලකින් එය සාක්ෂාත් කරගැනීමයි. මෙම operations කිහිපයක් තිබිය හැක. මට පෙනෙන pathways දෙකක් ඇත. මීට වඩා හොඳ මාර්ග පිළිබඳව ඔබ සිතන්න.
- මුළු රටේම ජනතාව (අඩුම ගණනේ බහුතරයක්) සංවිධානාත්මකව සේවා බිල් නොගෙවා සිටීම (බැංකු ණය වාරික නොගෙවීමට මම යෝජනා කලත් එයට එරෙහිවන ඉහල මධ්‍යම පාන්තිකයන් බොහෝ ඇති බව පෙනෙයි).
- දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවීම.