මා සංචාරය කර ඇති සියළු දේශයන්හිදී වටහා ගත් කාරණයක් නම් ඒ සෑම රටකටම ආවේනික වූ ඖෂධ වර්ග රාශියක් ඇති බවයි. එය ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනගරයේ ජිවත්වන මහල් නිවැසියෙකුගේ සිට නැමීබියාවේ සිටින නොදියුණුම සමාජයක් ලෙස බටහිර ලෝකය ලේබල් කරන හිම්බා ගෝත්‍රිකයෙක් දක්වා අදාළ වේ. මේ අනුව දේශීය වෙදකම යනු ලංකාවට පමණක් ආවේනිකවූ විෂයයක් නොවේ. නවීන විද්‍යාව යම් යම් විසඳුම් ලබා දෙන තෙක් මේ සමාජ පද්ධති දීර්ඝ කාලයක් පවතින්නේ මේ දේශීය වෙදකමට පිංසිදු වෙන්නය. අදටත් හිම්බා වැනි ගෝත්‍ර නිරෝගී ජීවිත ගතකරන්නේ 100%ම දේශීය ඖෂධයන්ගේ පිහිටෙනි. ඔවුන් බටහිර වෙදකම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.
ආයුර්වේදයේ ඇතුළු ලොව පුරා පවතින මේ දේශීය වෙදකම ගොඩනැගී ඇත්තේ තැත්-වරද (trial & error) ක්‍රමවේදය සහ සතුන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් බව පෙනෙයි. මෙය සහශ්‍ර ගණනාවක සිට සියවස් ගණනාවක් දක්වා වූ කාල පරාසයක වර්ධනය වී ඇත. ලෙඩ රෝග සඳහා පරිසරයෙන් විසඳුම් සොයා ගැනීමට මිනිසාට වඩා ඉතා ඉහල හැකියාවක් බොහෝ සත්වයන්ට ඇත. මෙය ඔවුන්ගේ ජානගත හැකියාවකි. මේ සියල්ල ප්‍රත්‍යක්‍ෂ වූ විද්‍යාත්මක දැනුමයි. එහි කිසිඳු අද්භූත ස්වරුපයක් නැත.
ඉතිහාසයේ වරින් වර බිහි වූ බුද්ධිමත් පුද්ගලයන් මේ සහශ්‍ර ගණනක් තුල එකතු වූ දැනුම ග්‍රන්ථාරූඩ කර ඇත. මේ දැනුම සාර්ථකව ජනගත කිරීම සඳහා ඔවුන් සමහර විට දේව සංකල්ප යොදා ගන්නට ඇතැයි නිගමනය කල හැක. මෙම විද්‍යාර්තිකයන්ගේ සේවය උදෙසා පසු කලෙක ඔවුන්ව දේවත්වයෙන් ඔසවා තැබීමටද සමහර ජන කොටස් උත්සහ ගෙන ඇති බව පෙනෙයි.
මා කලින් කිහිප වතාවක් විස්තර කල පරිදි නවීන විද්‍යාව මේ වසර ලක්ෂ ගණනක විද්‍යාවෙන් වෙනස් වන්නේ මීට සියවස් කිහිපයකට පෙර ගොඩනැගුණු පිළිගත් පර්යේෂණ ක්‍රමවේදය නිසාය. මේ නිසා වසර දහස් ගණනක අත්දැකීම් අවශ්‍ය වූ නව නිපයුමක් (භාණ්ඩයක්, සේවයක් හෝ දැනුමක්) වසර හෝ දශක කිහිපයකදී සාක්ෂාත් කරගත හැකි විය. අනාදිමත් කාලයක සිට පැවතෙන විද්‍යාව (මානවයා ඇතුළු මුළු සත්ව ලෝකයටම පොදු වූ) නවීන විද්‍යාවෙන් වෙනස් වන්නේ මේ මූලික සාධකයෙනි.
ලංකාවද ඇතුළු බොහෝ රටවල වරින් වර පැමිණි වසංගත තත්ත්ව නිසා මිනිසුන් දහස් ගණනක් කෙටි කලකදී මිය ගොස් ඇත. ලංකාවේ ආසන්නතම සිද්ධිය 1930 ගණන් වලදී මතු වූ මැලේරියාවයි. මෙලෙස අළුතින් පැමිණෙන රෝගයකට මේ කිසිඳු දේශීය වෙදකමක විසඳුම් නොතිබූ බව ඉතිහාසය පෙන්නුම් කරයි. මේ නිසා දශක ගණනාවක් පුරා මිනිසුන් සහ සතුන් ලක්ෂ ගණනක් බිලිගනිමින් පැවතුන වසංගත ස්වභාවධර්මයා විසින්ම තුරන් කරන තුරු මිනිසාට කළහැකි දෙයක් නොතිබුණි. නමුත් සියවස් ගණනාවකට හෝ සහශ්‍ර කිහිපයකට පසු නැවතත් එම රෝගය හිස ඔසවන විට ඊට පිළියම් සමාජය විසින් උත්පාදනය කරගෙන තිබුණි. චීන, ඉන්දීය, මිසර, පර්සියානු, ග්‍රීක සහ රෝම ඉතිහාසය හදාරන අයෙකුට මෙම කාරණා අපූරුවට පැහැදිලි වෙයි.
කෝවිඩ් සඳහා දේශීය විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබූ ඖෂධය මම මැජික් පැණියක් ලෙස හැඳින්වුයෙමි. ඊට හේතුව එහි මූලය අභිරහසක් වූ බැවිනි. ඔබ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් යම් ඖෂධයක් පිළිබඳව විමසු විට ඔහු එහි මූලය (අඩංගු ද්‍රව්‍ය, ඒ ද්‍රව්‍යයන් යොදා ගැනීමට හේතුව, ඒවා සැකසීමේ ක්‍රමවේදයේදී සිදුවන වෙනස් කම් ආදී) පිළිබඳව ඉතා පැහැදිලි විවරණයක් කරනු ඇත. එහෙත් යන්ත්‍ර මන්ත්‍ර, දේව බලයෙන් ලැබෙන උපදෙස් ආදිය සඳහා මෙවැනි මූලයක් නැත. එය අද්භූත හෝ මැජික් (එදිනෙදා වදනින් ) ලෙසින් හඳුන්වා දිය හැක්කේ මේ නිසාය.
ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් මර්දනය සඳහා එහි ප්‍රාථමික අවධියේදී ඉතා සාධනීය පියවර රාශියක් ගනු ලැබිය. වෙනත් බොහෝ රටවලට වඩා කෝවිඩ් මර්දනය අතින් ලංකාව ඉදිරියෙන් සිටියේ මේ නිසාය. එහෙත් පසුව මේ තත්වය වෙනස් විය. මැතිවරණය මෙන්ම වෙනත් දේශපාලන වාසි තකා පසු කලකදී නායකාදීන් වගකීම් විරහිතව හැසිරීමට හා තීරණ ගැනීමට පෙළඹුණු බව සමාජය පැහැදිලිවම දුටුවේය (බහුතරයක් නොදැක්කා සේ සිටියේය). මෙහි ප්‍රතිඵලය වුයේ ඉතා වේගයෙන් කෝවිඩ් රෝගීන් ගණන වැඩිවීමයි. මෙම තත්වය රජයේ පාලනය වෙතින් ගිලිහී යන බව දැන් අපි නිරීක්ෂණය කරමු. දැන් සෑම දිනකම රෝගීන් 500-1000 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගනියි. ඒ සීමිත රෝගී පරීක්ෂාවක් මගිනි. සැබෑ සංඛ්‍යා මීට වඩා අතිශයින් විශාල විය හැක.
මා දකින්නේ, මේ තත්වය තුල රජයට මහජන අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා කඩිනම් පියවරක් ගැනීමට අවශ්‍ය වූ බවයි. මේ රජය තරම් සාර්ථකව ලංකාවේ ජන විඥානය තේරුම් ගත් පිරිසක් ලංකාවේ සිටියාදැයි මම නොදනිමි. මහන්සිවී හෝ නුවණ මෙහෙයවා වැඩ කිරීමට වඩා ලංකාවේ බහුතරයක් ජනතාව දියසේන කුමරු ඉපිද, රාවණා නැගිට, නාථ පහළවී තම ගැටළු විසඳා දෙන තෙක් ගල් කණු අතර බුලත් විට හප කරමින් කයිවාරු ගැසීමට උපන් ජාතියක් බව මේ දේශපාලුවා මැනවින් අවබෝධ කරගෙන ඇත. මේ අනුව ඔවුන් සුදර්ශනී පානය, මුට්ටි ගඟේ දැමීම, මැජික් පැණිය ආදී අද්භූත බලවේග එකිනෙක ගෙන එමින් පවතී. මේ ක්‍රමය තව මාස තුනක් ඇදගෙන ගියහොත් තමන් ගොඩ බව ඔවුන් වටහා ගෙන ඇත. මන්ද, එවන විට වෙනත් රටවල පර්යේෂකයන් ඉමහත් වෙහෙසකින් වැඩි දියුණු කල විසඳුම් ලංකාවටද ගොඩ බසින නිසාය.
මේ අතින් මා දකින්නේ රජය අතිශයින්ම සාර්ථක වූ බවයි. දැන් මිනිසුන්ට සුදර්ශනී පානය හෝ මුට්ටි දැමීම මතක නැත. ඔවුහු පසුගිය සතියක දෙකක පටන් මැජික් පැණියේ එල්ලී සිටිති. දැන් ක්‍රමයෙන් ඒ පිළිබඳව මතකය හීන වෙමින් පවතී. තව ටික දවසකින් තවත් විප්‍රකාරයක් මතුවනු ඇත. උගත් නුගත් සියළු දෙනා ඒ පසුපස හඹා යනු ඇත.
මේ සියළු නර නාටක අවසන් වී ජනතාව සිහිබුද්ධියෙන් සිතන දවසක් එළඹුනොත් අපි දේශීය වෙදකම දියුණු කල හැකි ක්‍රමවේද පිළිබඳව කතා කරමු.
ඔබේ ලිපිය සාධනීයි. පළමු වතාවේ COVID පාලනය කරගැනීමට හැකි වුයේ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ක්‍රියා මාර්ග ගෙන ජනතාව දැනුවත් කිරීම හා රෝගීන් පාලනය කිරීම මැනවින් සිදුකිරීමත් ජනතාව ඒකමිතිකව ඒ උපදෙස් පිළිපැදීමත් නිසාය. දැන් ජනතා මනස විවිධ සංකල්ප යොදා ගනිමින් විසුරුවා හැර ඇත. අනික දෙවන වර මුලාම්භය තව දුරටත් හෙළිවී නැත. ජනතාවගේ වරදින්ම එය වුවා යයි සිතිය නොහැකිය.
ReplyDeleteThank you Malini for your kind comment
Delete