Saturday, 26 September 2020

කරවල කෑල්ලෙනුත් පර්යේෂණ පත්‍රිකාවක්


වසර තුනකට පමණ පෙර මට ලංකාවේ පැවති පර්යේෂණ ක්‍රමවේද පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට ආරාධනා ලැබුණි.  මෙහිදී මට හමුවූ බොහෝ ලාංකික විද්‍යාඥයන් තුල දකින්නට ලැබුණු කරුණක් නම් ඔවුන් පර්යේෂණ ගැටළුවක් සොයාගත නොහැකිව අතරමං වී ඇති බවයි. නමුත් ඒ කිසිවෙක් මේ බව කෙලින්ම පැවසුවේ නැත. 

ලංකාවේ වෙසෙන බොහෝ පර්යේෂකයන් කරන්නේ තමන් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යනය කල විෂය ඔස්සේම තව දුරටත් ගමන් කිරීමට උත්සහ කිරීමයි. එය ඔවුනට යම් සුරක්ෂිතබාවයක් ලබා දෙයි. එසේම විදේශීය රටක සිටින ඔවුන්ගේ PhD  සුපවයිසර්වරයාගේද අභිප්‍රාය එයමය. මන්ද එමගින් ඔවුනට තමන්ගේ මූලික පර්යේෂණ අවශ්‍යතා සපුරාගත හැකි බැවිනි.  එබැවින් මේ දේශීය පර්යේෂකයෝ රටට අවශ්‍ය වුවත් නැතත් එකම හොද්ද සදාකාලිකවම හැඳි ගාති. ඒ වෙනුවෙන් ඉඳහිට ලැබෙන  විදේශීය ගමනකින්, පර්යේෂණ පත්‍රිකාවකින්, සුළු පර්යේෂණ අරමුදලකින් ඔවුහු සෑහීමකට පත්වෙති. මේ රටාවෙන් ඉවත්ව ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් රට හැර ගොස් ඇත.

මේ තත්වය බොහෝ නොදියුණු රටවල මම පැහැදිලිවම දකිමි. ලංකාව ඉන් එකක් පමණි. මේ රටවල් නොදියුණු ලේබලයෙන් ගොඩ ඒ ගත නොහැකිව සිටින ප්‍රධාන හේතුවක් වන්නේද මෙයයි. 

ඔබට රටට සේවයක් කරන්නටත්, පර්යේෂණ පත්‍රිකා ඵල කරන්නටත් ඒ වෙනුවෙන් දැඩි ඇගයීමකට ලක්වීමටත් අවශ්‍ය නම් තමා සතු පර්යේෂණ උපකරණ වලින් පමණක් කල හැකි දේ පවා බොහෝ ඇත. 

මම උදාහරණයක් දෙන්නම්. 

ලංකාවේ කරවල සෑදීමේ ක්‍රමවේදය බොහෝ දෙනෙකුට නොරහසකි. විකුණා ගත නොහැකි කුණුවූ මාළුවන් ෆෝමලීන් සහ වෙනත් රසායනික ද්‍රව්‍යවල ගිල්ලා ඉන්පසු ක්ෂනිකව වේලා පිළියෙළ කරගන්නා මේ කරවල වලට මැස්සෙක් වත් වහන්නේ නැති බව බොහෝ දෙනෙකු අසා ඇත. 

මෙය කරන්නේ මුහුදු ගොස් දිවි පරදුවට තබා මත්ස්‍ය අස්වැන්න රැගෙන එන ධීවරයාද? බොහෝ විට උත්තරය නැත යන්නයි. මෙය දේශපාලන අධිකාරිය, පොලීසිය, පාතාලය යන ත්‍රිත්වයම එකතු වූ මහා පරිමාණ ක්‍රියාවලියක් බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. 

මේ අවකල් ක්‍රියාවට එරෙහිව ගොඩනැගෙන අරගලයකදී  සහයවනවා නම්, රසායන විද්‍යාව හා සම්බන්ධ පර්යේෂකයෙකුට කල හැකි ඉතා සරල ක්‍රියාවලියක් ඇත. 

ලංකාවේ කරවල වෙළඳසැල් 100 කින් පමණ කුඩා කරවල නියැදි ලබාගෙන (ඔබට මේවා මිලදී ගත යුතු වනු ඇත), එහි ඇති සංඝටක පිළිබඳව විශ්ලේෂණය කරන්න. කරවල වර්ගය, කරවල කුරියාගේ අදාළ කොටස (හිස ආසන්නයේ, මාංශමය කොටස්, කටු, ආදී), තෙතමනය, එය ලබා ගත් ප්‍රදේශය, විකුණන ස්ථානයේ ස්වභාවය සහ  සොයාගත හැකිනම් කරවල සාදන ප්‍රදේශය සහ ඒවායේ කාලය  ආදී පරාමිති අනුව ඔබට කරවල වල ඇති රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ, ජීව කාරක ආදිය විශ්ලේෂණය කල හැක. මෙය අනිවාර්යයෙන්ම ඉහල IF (impact factor) අගයක් ඇති සඟරාවක පළ කල හැකි පත්‍රිකාවක් වනු ඇත. 

එසේම මෙවන් විද්‍යාත්මක සාක්‍ෂියක් මත පදනම්ව කටයුතු කිරීම මෙවැනි අවනීතික ක්‍රියාවලියකට එරෙහිව නැගී සිටීමට විශාල ශක්තියක් වනු ඇත. එය ඔබ සමාජ ජාලාවල පලකරන සහයෝගීතාවන්වලට වඩා ඉමහත් වටිනාකමක් ගනු ඇත. 

මේ ක්‍රමවේදය මේ ආකාරයටම කහ කුඩු, මිරිස් කුඩු, නොයෙකුත් පැණි බීම වර්ග, එළවලු-පලතුරු, සහල් සහ ධාන්‍ය වර්ග, මස් මාළු ආදී ආහාර වර්ග රාශියක් සඳහා ව්‍යාප්ත කල හැක. 

මෙය රසායනික විද්‍යාඥයන්ට පමණක් අදාළ කාරණයක් නොවේ.  ලංකාවේ විකුණන ගඩොල්, බ්ලොක් ගල්, උළු  කැට ආදියෙහි යාන්ත්‍රික ශක්තිය (mechanical strength), කල් පැවැත්ම, ජලය සමග හැසිරීම ආදිය පිළිබඳව කිසිවෙක් පත්‍රිකාවක් පළ කර ඇද්ද? ලී පදම් කිරීමට, කල් තබා ගැනීමට හා කෘමින්ගෙන් ආරක්ෂා කරගැනීමට ආලේප කරන තීන්ත සහ වෙනත් මිශ්‍රණවල සෞඛ්‍යමය බලපෑම ගැන හදාරා ඇත්ද? වෙළඳපොලේ ඇති සරල විද්‍යුත් උපකරණවල ආරක්‍ෂිත තත්වය පිළිබඳව පරික්ෂා කර ඇත්ද? මේ ලැයිස්තුව ඉතා දිගය.

ලාංකික පර්යේෂකයාගේ අදහස මේ සියල්ල ප්‍රමිති කාර්යාංශය මගින් කල යුතු බවද?  

හිතන්න යමක්. බලන්න දෑස් හැර අවට පරිසරය දෙස. ඔබේ රටට ඔබ අවශ්‍යය. ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය දෙය විතරද? 


6 comments:

  1. මේ කතාව කියෙව්වාම මට ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට එවන මිරිස් කුඩු වල තියන සිරුරට අහිතකර වර්ණකයක් සොයා ගැනීමේ කතාවක් මතක් උනා. 1990 දශකයේ මුල් කාලයේ පමණ, මගේ හොඳම මිතුරාගේ බිරිඳට යම් අසාත්මිකතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ සඳහා නොයෙකුත් පරීක්ෂණ සිදු කලත්, සාර්ථක උනේ නැහැ. මෙය මොනවා හෝ ආහාර විෂ වීමක් බවට සැක කල වෛද්‍යවරයා, ආහාර වර්ග, සහ ඒවා ඉවීමට ගන්න කුළු බඩු ආදිය එකින් එක තමන්ගේ ආහාර වලින් ඉවත් කරමින් ඒවා ලේඛනගත කරමින් මේ සිදු වීමට අදාළ ආහාරය සොයා ගැනීමට උත්සාහ කළා. මෙසේ මාස ගණනාවක්ම ගත වූ පසු "මිරිස් කුඩු" භාවිතා නොකර ආහාර පිළියෙළ කිරීමේදී මේ අසාත්මික තාවය හැදෙන්නේ නැති බව හොයා ගත්තා. ඉන්පසු ඒ මිරිස් කුඩු සාම්පලයක් පරීක්ෂණයට භාජනය කර, එහි අන්තර්ගත වූ විෂ සහිත වර්ණකයක් හඳුනා ගත්තා. ඉතාම සුළු ලාංකිකයන් පිරිසක් මෙල්බර්න් වල ජීවත් වූ ඒ කාලයේ, සිංහල කඩ තිබුනේ එකම එකක් පමණයි. මේ මිරිස් කුඩු මිලදී ගෙන තිබුනේත් එතනිනුයි. එහි අයිතිකරුවනුත් අපි කොයි කව්රුත් දන්නා හඳුනන අය නිසා, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කලේ නැහැ. නමුත් ඒ මිරිස් කුඩු පැකට් සියල්ලම කඩයෙන් ඉවත දැමූ අතරම ඒ වර්ගයේ මිරිස් කුඩු ගෙන්වීමත් ඔවුන් නතර කළා.

    ReplyDelete
    Replies
    1. Thanks Sam for this valuable information. If this is the situation in 90s, what could you expect by today?

      Delete
  2. චන්දිම ගෝමස් මහැදුරුතුමන්ගේ 'පර්යේෂණ ගැටළු' පිළිබඳ අගනා ලිපියත් ඊට සෑම් පෙරේරා මහතාගේ ප්‍රතිචාරයත් අනුව මට දැනෙන තවත් කරුණක් මීට එක්කළයුතු වග හැඟෙයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ 'තෙවැනි ලෝකයට'අයිති යැයි හඳුන්වනු ලබන රට වල නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපළක් ස්ථාවරව පවත්වාගැනීමට තිබෙන බාධාවළින් එකක් නම් ඒවායේ උසස් තත්ත්වය දිගටම පවත්වා නොගැනීම බවටඇතිචෝදනාවලට හොඳ සාක්ෂ්‍යයක් සෑම් පෙරෙරා මහතා විසින් සපයනු ලැබ ඇත. මුල් අවස්ථාකීපයෙන් පසු ටිකෙන් ටික එම නිෂ්පාදනවල තත්ත්වය දුර්වලබවටපත්වන විට තරඟකාරිත්වය මත තත්ත්වය, ඉල්ලුම, සහ මිල නියාමනය වන වෙළඳපළකින් ඉබේම එවැනි භාණ්ඩ ඉවත් වනු ඇත. ශාස්ත්‍රලයීය පර්‍යේෂණ සහ රටක සංවර්ධනය ගැන බොහෝ වැදගත් දෑ ඔබේ සිංහල ලිපි මගින් ඉදිරිපත් කරන ඔබට පිං.

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේගේ අදහසට බොහොම පිං.

      මෙතැනදී (මිරිස් කුඩු ප්‍රශ්ණයේදී) මම දකින්නේ තාක්‍ෂණයේ ගැටලුවකට වඩා රටේ ජන විඥානය පිළිබඳව ගැටළුවක්. අපි තාක්‍ෂණ සංවර්ධන, විද්‍යාත්මක ක්‍රමවේද කොපමණ ඉහලට ගෙන ආවත්, බහුතර ජනයා තුල ආකල්පමය වෙනසක් ඇති කල නොහැකි නම් ඒ කිසිවකින් වැඩක් ඇත්දැයි කියා සිතෙනවා.

      Delete
  3. චන්දිම හැමදාම ඔබේ ලියැවිලි කියවන්නේ සතුටින් . ඒවා අවසානයේදී ගන්නට කොච්චර දේ තියෙනවාද . දැන් තියෙන අළුත් රැල්ලත් එක්ක පිබිදෙන ලංකාවේ ප්‍රතිපත්ති ආයතන ඔබේ දැනුම සහ උපදෙස් ගන්නවා නම් හොදයි. මම මේ කියන කාරණය දේශපාලනයෙන් තොරවූ එකක්. අපේ තරුණ පිරිස් අතරේ වෙනස් විදිහට හිතන අය ඉන්නවා. ඒත් ඔය උසස් අධ්‍යාපන ආයතන වල බලධාරීන් ඒවාගේ පර්යේෂණ කරන අය සමත් කරයිද ?

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ස්තුතියි අනුරුද්ධ.

      මා කලිනුත් සඳහන් කළා වගේ රටේ සෑම ස්ථරයකම ආකල්පමය වෙනසක් (අංශක 180 ක උත්ක්‍රමනයක්) අවශ්‍යයි. රටේ පාලකයන් විසින්ම දශක ගණනාවක් තුල විකෘති කල ජන මනස නැවතත් යථා තත්වයට ගෙන ඒමට පාලකයන්ටම වුවත් ඉතා අපහසුයි. එය කල් ගතවන ක්‍රියාවලියක්. නමුත් කොතනකින් හෝ පටන්ගත යුතුද වනවා.

      Delete