ඒ වෙනස අදම .....
රට වෙනුවෙන් වෙනසක් විය යුතු බව අද බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වෙනස ඇත්තේ අප අතේ මිස දේශපලුවාගේ අතේ නොවන බව සිතට ගන්න. අප වෙනස් වන විට දේශපලුවාද ඉබේටම වෙනස් වෙයි. ඒ ඔහුද අපම නිසාය.
අංක - 1: ආහාර බඩගින්නට මිස පන්ති ප්‍රදර්ශනයට නොවේ
මීට දෙවසරකට පමණ පෙර කල සංචාරයකදී මම රෝමයේ අවන්හලකට ගොඩ වුනෙමි. එහි සෑම මේසයක් මතම කරදාසි ඝනකයක් තබා තිබුණි. එම ඝනකයේ සිරස් පැති හතරේ අලංකාර කෑම බන්දේසියක රූපයකට යටින් වැකි දෙකක් ලියා ඇත. හතර පැත්තේම වුයේ එකම අදහස භාෂා හතරකින් බව මට හැඟී ගියේය. ඉංග්‍රීසි බසින් තිබු වැකි දෙකෙහි සිංහල පරිවර්තනය ආසන්න වශයෙන් මෙසේය.
අප ලාබ ලබන්නේ සපයන ආහාර මත මිස ඔබගේ නාස්තිය මත නොවේ.
ඔබට අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ඇනවුම් කරන්න.
යුරෝපයට මෙය විශේෂයෙන් මතක් කර දිය යුතු පණිවිඩයක් නොවේ. එහෙත් අවට බලන විට මට මෙහි අවශ්‍යතාවය වැටහුණි. එහි සිටි බොහෝ දෙනෙක් විදේශිකයෝය. එම ප්‍රදේශය ලෝක ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයකි.
ලාංකිකයා අතර පවතින ආහාර නාස්තිය පිළිබඳව මම අත්දැකීමෙන්ම දන්නෙමි. මෙහිදී වඩාත්ම අවිචරශීලි ආහාර භාවිතය ඇත්තේ පහල මධ්‍යම පාන්තිකයන් තුල වීම ඛේදජනකය. විශේෂයෙන්ම බුෆේ ක්‍රමයට ආහාර සපයන උත්සවවලදී පිගාන ඉතිරෙන තරමට කෑම බෙදාගෙන ඉන් තුනෙන් දෙකක් අපතේ යවන උදවිය අප අනන්තවත් දැක ඇත. පිරිසක් සමග අවන්හලකට ගිය විටද තම පසුම්බියට ඉතා අධික පීඩනයක් දැනෙන සේ සත්කාරකයා ආහාර පාන ඇනවුම් කිරීම නිතර දැකිය හැක. මෙය ආගන්තුක සත්කාරයකට වඩා තම ධනවත් බව ප්‍රදර්ශනය කිරීමක් බව නොරහසකි.
මීට දශක දෙකකට පෙර මම මේ පිළිබඳව ප්‍රථම පාඩම ඉගෙන ගත්තේ මගේ ස්වීඩන් ජාතික මිතුරන්ගෙනි. වරක් අපේ අසල්වැසි යුවලකට රාත්‍රී භෝජනය සඳහා අපි ආරාධනා කළෙමු. සාමාන්‍යයෙන් ලංකාවේදී කරන්නාක් මෙන් අප ව්‍යංජන 5-6 ක් සමග බත් සහ පාන් වර්ග මේසය මත තබා තිබුණි.
"කී දෙනෙක් අද මෙම සාදයට එනවාද?" අප මිතුරා විමසීය.
"මෙය සාදයක් නොවේ. ඔබ දෙපළට පමණයි අපි ආරාධනා කලේ" මම පැවසූ විට ඔවුහු නෙතින් නෙත බලා ගත්තෝය.
ආහාර ගන්නා විට ඔවුන් සෑම ආහාරයකින්ම ඉතා ස්වල්පයක් පිගානට බෙදා ගෙන එහි රස බලයි. එයට ඔවුන් කැමති නම්, ඉන් පසු මදින් මද තරමක් විශාල ප්‍රමාණ වලින් බෙදාගෙන එය නිමා වූ පසු අවශ්‍ය නම් නැවත බෙදා ගනී. එලෙසම තමාට අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගැනීමට ඔවුන් නොපැකිලෙයි. ඒ සඳහා කවුරුන් හෝ කියන තෙක් සිටීම ඔවුන්ගේ ක්‍රමය නොවේ. පෙරැත්ත කරමින් කෑම බෙදීම ඔවුන්ව තැති ගන්වයි. අපි වරක් මේ වරද කල අතර ඉන් පසු එයින් පාඩමක් ඉගෙන ගත්තෙමු.
අප මොන තරම් පුරාජේරු කතා කීවත්, මේ රටේ අද රෑ කුසට අහරක් නොමැතිව නින්දට යන වැඩිහිටියන්, දරුවන්, රෝගීන්, ගර්බණි කාන්තාවන්, කිරිදෙන මව්වරුන් කී ලක්ෂයක් ඇත්දැයි ඔබ සිතනවාද. අප බත් මිටක් විසි කරන විට ඒ අපතේ යන්නේ බඩවල් කීයක් පුරවන්න තිබූ අවස්ථාවක් දැයි ඔබට සිතේ නම් නැවතත් ඔබ ඒ වරද නොකරනු ඇත.
ඔබට අද සිට තම කුසට සරිලන අහර ප්‍රමාණයෙන් පමණක් සෑහී නාස්තිය අවම කරගත හැකි නම් ඔබ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරන්නෙකු වනු ඇත.
මීට අවුරුදු 50 කට 60කට පෙර අප කුඩා අවධියේදී අපේ අත්තල ආචීචිල කියාදීපු විධියට අප කවදාවත් ඉතිරිවීමට කෑද බෙදා නොගත්තෙමු.වෙනකක් තබා බත් ඇටයක් බිම වැටුනත් අසුලා සතෙකුට දැමිය යුතුය. අද මෙවැනි උප දෙසක් අප කාගෙන්වත් අසා නැත.
ReplyDeleteසත්තකින්ම ඔබ නිවැරදිය. අපි එය නැවත අරඹමු
Deleteසත්තකින්ම සර්..100% එකග වෙමි..අපිට ඔනතරම් අත්දැකීම් තියෙනවා..
ReplyDeleteඅපි හැමෝටම පුළුවන් පුංචි පියවරක් ගන්න ඇඟට පතට වැඩිය නොදැනීම. කවදා හෝ එය දැවැත්ත පා සටහනක් වනු ඇත.
Delete