Tuesday 21 August 2018

පැන්නට පසු සිතා බලමු



මැලේසියාවේ නැගෙනහිර වෙරළට යාබද කෙලන්තාන් සහ තෙරෙන්ගානු පළාත් ලංකාවට බෙහෙවින් සමානකම් දක්වයි. කුඹුරු යායවල්, පොල් ගස්, සරම් ඇඳි මිනිසුන් මෙම ප්‍රදේශයේ ගමන් කරන ඔබව එකවරම ලංකාවේ ගම්බද පළාතකට රැගෙන යයි. ලංකාවටද බලපාන ගැටළුවක් මෙම ප්‍රදේශයේ උද්ගත වී ඇත. එනම් මෙම පරිසරයේ මූලික අංගයක් වන ප්‍රදේශය පුරා පිහිටි වැව් දියබෙරලිය (water hyacinth) ශාකයෙන් වසා ගැනීමයි. මෙය දැන් දශක කිහිපයක් පුරාම බලපාන ගැටළුවකි. මෑතකදී මෙම ජලාශ ආශ්‍රිතව ගොඩනගා තිබෙන ක්ෂුද්‍ර-ජල විදුලි බලාගාර (micro-hydro power stations) පවත්වාගෙන යාමද මේ නිසා අසීරු වී ඇත.

මෙයට දියහැකි විද්‍යාත්මක විසඳුමක් උදෙසා ගිය වසරේදී විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය විසින් යෝජනා කැඳවනු ලැබීය. මේ සඳහා මමද යෝජනාවක් ඉදිරිපත් කලෙමි. එහි වුයේ කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගෙන දියබෙරලිය හඳුනා ගන්නා රොබෝ මාළුවෙකි. මෙය මම Hyacinth Swallowing Shark (HSS) නමින් හැඳින් වුයෙමි. HSS දියබෙරලිය ශාකය හෝ එහි කොටස් හඳුනා ගත් විට, එය එම ශාකය සම්පුර්ණයෙන්ම ගිලදමයි. මෙය නම්‍යශීලී නලයක (flexi-tube) ආධාරයෙන් එම  ගිලගත් ශාක කොටස් ගොඩ බිමට පොම්ප කරයි. එසේ පොම්ප කරන ශාක පොහොර හෝ බයෝ ඩීසල් සෑදීම සඳහා උපයෝගී කරගත හැක. සුර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බැවින් HSS සඳහා විදුලි බිලක් නැත. 

මෙය වැවක පාකර දින දෙක තුනකින් විශාල වපසරියක ඇති දියබෙරලිය ඉවත් කරයි. වැවේ ධාරිතාවය සහ තිබෙන දියබෙරලිය ප්‍රමාණය මත HSS හි ප්‍රමාණය තීරණය කල හැක. තෙමසක් පමණ එය වැවේ පාවීමට සැලසු විට නැවතත් නොවැවෙන සේ එයින් දියබෙරලිය ඉවත් කල හැක. 

මගේ යෝජනාව වට තුනක් පසු කර අන්තිමේදී පර්යේෂණ අරමුදල් අනුමැතිය සඳහා යොමු විය. මෙම යෝජනාව ඇගැයීමට (evaluate) ලක් කලේ විද්‍යුත් ඉංජිනේරු තාක්‍ෂණික මඩුල්ලකි.

මුදල් සම්මත කිරීමට පෙර අමාත්‍යාංශය තවත් අගැයීම් කමිටුවක් පත් කළේය. ඒ මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිබඳව සොයා බැලීමටය. එය සමන්විත වුයේ පරිසරවේදීන්, ජලජ ශාක විද්‍යාඥයින් සහ එම ප්‍රදේශයේ වෙසෙන සමාජ සත්කාරක ප්‍රමුඛයින් කිහිප දෙනෙකුගෙනි. 

එම කමිටුවේ වාර්තාව පෙන්නුම් කලේ තරමක් සංකීර්ණ තත්වයකි. මෙම ප්‍රදේශ රැසක වැව්වල මිරිදිය මත්ස්‍ය වගාව සාර්ථකව කෙරෙයි. මීට දශක දෙකකට පමණ පෙර හඳුන්වා දී ඇති තිලාපි විශේෂයක් මෙම මත්ස්‍ය වගාවේ ප්‍රධාන අස්වැන්නකි. එම මත්සයාගේ බෝවීම සඳහා දියබෙරලිය ශාකයේ මුල විශාල කාර්ය භාරයක් ඉටු කරයි. කෙටි කලකින් සම්පුර්ණයෙන්ම දියබෙරලිය ඉවත් කිරීම විශාල පිරිසකගේ ජීවනෝපාය විනාශ කරනු ඇති බව කමිටු වාර්තාවේ සඳහන් විය.  

මේ නිසා රජය මගේ ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම තාවකාලිකව නැවතීය. ඉන්පසු ඔවුන් මෙම මත්ස්‍ය අභිජනනය සම්බන්ධයෙන් ඇතිවන ගැටළුව විසඳීම සඳහා යෝජනා කැඳවීය.

දැනට පවතින්නේ මෙම වාතාවරණයයි. මගේ ව්‍යාපෘතිය කල් තැබීම පිළිබඳව මට කිසිඳු කණගාටුවක් නැත. ඒ වෙනුවට සිදුවන්න ගිය ප්‍රජා ව්‍යසනයක් වැලකීම පිළිබඳව මම අතිශයින් සතුටු වෙමි.

මට මේ පිළිබඳව ලියන්න සිතුනේ ලක් රජය සිදු කරන විලම්භීත ක්‍රියා අතර නවතම නිර්මාණය දුටු විටයි. ඔවුන් මගී ත්‍රිරෝද රථ සඳහා රියැදුරාගේ වයස 35 ක් ලෙස නීතියක් ගෙන ආවේය. මේ රජය පටන් ගත් දා සිටම කරන පරිදි ඔවුන් බලාත්මක කල නීතිය ක්‍රියාත්මක වන විට ඔවුන් අකුළා ගත්තේය. මෙහිදීද සිදුවන ප්‍රජා-ව්‍යසනය පිළිබඳව ඔවුන්ට තේරෙන්නේ නීතිය ප්‍රතිෂ්ඨාපනය කල පසුවයි.

ත්‍රීරෝද රථ නිසා මාර්ගයේ ගමන් කරන සහ රථ වාහන පදවන බොහෝ දෙනෙකුට දිනපතා සිදුවන ගැහැට පිළිබඳව කිසිඳු තර්කයක් නොමැත. එය නැවතිය යුතුය. ඒ අතරම ත්‍රීරෝද රථ පැදවීම රටේ විශාල රැකියා පදනමක් බව රජය පමණක් නොව කුඩා දරුවෙකුට පවා වැටහෙන යථාර්තයකි. එය එක රැයකින් විනාශ කරනවා යනු රට දැවැත්ත අර්බුදයක් කරා රැගෙන යන පියවරක් බව ඔවුන්ට ඉතා පහසුවෙන් වටහා ගත හැකිව තිබුණි. 

ත්‍රීරෝද රථ පමණක් නොව ලංකාවේ මාර්ග පද්ධතිය භාවිතා කරන වෙනත් වාහන සඳහාද අවධානය යොමු කිරීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී ඇත. වාහන ධාවනයේදී සිදුවන අනතුරු සහ අක්‍රමිකතා අවම කරගැනීමේ ක්‍රමවේදයන් සකස් කල යුත්තේ ඒ පිළිබඳව විශේෂ දැනුමක් ඇති විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් විසිනි. ඔවුන්ටද එම ක්‍රියාමාර්ග යෝජනා කල හැක්කේ පුර්ණ පර්යේෂණ මාලාවකින් පසුවයි. සමහර විට වෙනත් රටක සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ලංකාවට නොගැලපිමට පුළුවන. 

මහා මාර්ග කළමනාකරණය සහ ප්‍රවාහන තාක්ෂණය (highway management and transport technology) පිළිබඳව ආචාර්ය හෝ ශාස්ත්‍රපති උපාධි සහිත ලාංකිකයන් කිහිපදෙනෙක් වත් රටේ සිටින බව මම විශ්වාස කරමි. ඔවුන්ගේ දැනුම ලබාගන්නේ නැතිව දේශපාලකයා සියළු දේ පිළිබඳව විශේෂඥයා වන්නට යෑම රටේ බොහෝ ව්‍යසනයන්ට හේතු පාදක වී ඇත.  

මේ ලිපිය සඳහා ලැබුණු පළමු ප්‍රතිචාරයට මා පළ කල අදහස සිංහලෙන් ලිවීමට සිත්වේ. එය ලියු මහත්මයා ඇසුවේ මෙම නීතිය ගෙන ඒමට මුල් වුයේ ත්‍රීරෝද රථ පැදවීමේ සේවාව නිසා සමාජයට අවශ්‍ය වෙනත් රැකියා කෙරෙන් තරුණයන් ඈත් වීම නැවතීමට නොවේද කියාය. එය සත්‍යයක් විය හැක. එහෙත් මගේ දැනුම අනුව නම් නිත්‍යානුකූල රැකියාවක් සඳහා පුද්ගලයන් යොමුවීම නැවතීමට නීති පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. එබඳු තත්වයක් ඇත්නම් රජය කල යුත්තේ අනෙකුත් රැකියාවන් සඳහා ඇති ඉල්ලුම වැඩිවන ආකාරයෙන් වැඩපිළිවෙලක් දියත් කිරීමය. එසේත් නොමැති නම් ත්‍රීරෝද රථ සේවය සඳහා ඇති ඉල්ලුම අඩු වන පරිදි ක්ෂුද්‍ර-ප්‍රවාහන සේවා ජාතික මට්ටමින් ඇති කිරීමය. සමාජය යොමු වන්නේ වඩාත් ලාබදායි සේවා සඳහාය. එය සමාජයේ අයිතියයි.

රටේ සමස්තයටම බලපාන යම් තීරණයක් ගැනීමේදී රජයක් පළමුව ප්‍රමුඛත්වය දිය යුත්තේ මුලිකව තීරණය කල අරමුණු එම පියවර මගින් සාක්ෂාත් කරගත හැකිද යන්නටයි. ඉන් පසු එම පියවර ක්‍රියාත්මක කිරීමෙන් සිදුවිය හැකි අවශේෂ ප්‍රතිඵල පිළිබඳව ඇගැයීමක් කල යුතුය. මේ දෙකම නොමැතිව අපි දැන් දශක ගණනාවක් පිය නගන්නෙමු.

තවත් මේ පද්ධතිය තුලම ඉදිරියට පාවෙනවාද නැද්ද යන්න ලාංකික ඔබට බාරය. 




7 comments:

  1. Is there a beneficial effect from Salvinia too?

    They say three wheeler law was brought in to prevent the school leavers taking to that profession to the detriment of essential technical trades such as electrical, plumbing, carpentry,construction work. But, as you say, it should not be done overnight.

    ReplyDelete
    Replies
    1. Yes, many of these aqua-floating plants support fish breeding process, when only a part of the water body is occupied by the plant. However, Salvinia provides a good breeding bed for several types of mosquitos as well.

      One cannot forcefully keep someone away from a legitimate employment on a democractic platform. If the national tendancy is towards one type of employement then the government should take measures to increase the demand for the other sectors. They could also develop micro public transport to reduce the demand for three wheelers.

      Delete
  2. මරු විසදුම්.
    මරු නිසදහසට කරුනු.
    බලන් ගියාම වැවේ පුධාන කාර්්‍්‍්‍්‍්‍යය මාලුු හැදීම

    ReplyDelete
  3. ඔබේ ජලජ ශාක ව්‍යාපෘතිය අපූරුයි. එහෙත් එය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල අතිශයින් සාධනීයයි.
    ලංකාවේ තත්වය ගැන නම් කථා කරන්නේ කුමටද

    ReplyDelete
  4. එක් වරම මේ ත්‍රී රෝද රථ නීතිය ගෙන ඒම රට දැවැන්ත අර්බුදයකට ගෙන යනවා කියල ඔබ මතු කරන තර්කය, එක් වරම රැකියා අහිමි වීම එක්කලා ගලපලා බැලුවාම සාධාරණයි. නමුත් සමස්ථ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩු පාඩු නිසාම, අද තරුණ දරුවෝ කණ්ඩායමක් ඉන්නවා, උසස් පෙළ කරලා හෝ සාමාන්‍ය පෙළ කරලා පාසලෙන් ඉවත් වෙන්නෙම ත්‍රී විලරය රැකියාව කරගන්න බලාගෙන. මේ පාරේ තැනින් තැන රස්තියාදු වෙන්නේ රටේ තරුණයින්ගේ ශ්‍රමය. ඒ එක්කම, මේ සමග එකතු වන මත්ද්‍රව්‍ය සහ අනිකුත් අපරාධ. ඊළඟට මේ තරුණ කොටස වටා ගොඩ නැගෙන උප සමාජ සංස්කෘතිය. මේ එකක්වත් රටේ යහපත සඳහා නෙවේ සිද්ධ වෙන්නේ. මේක මේ ත්‍රී වීලර් නිසා මහමග ඇති වන අවහිරතාවයට වඩා බොහෝ එහාට ගිය කාරණයක් කියලයි මට හිතෙන්නේ.

    වැඩිහිටියෙක් වෙලා අවුරුදු 35 වෙද්දීත් වෘත්තියකට සුදුසු කම් නොලබපු කෙනෙක්, වෘත්තියක් විදියට මේ රැකියාව තෝරා ගන්නේ හුදෙක්ම තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න. නමුත් මේ පොඩි එව්වෝ මේක තෝරා ගන්නේ කාරනා දෙක තුනක් නිසා. එකක් සරලවම ශරීරය වෙහෙසල රැකියාවක් කරන්න තියෙන කම්මැලි කමට. ඊළගට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විසින් අතරමං කරන තරුණ පිරිස. අපේ ලංකාවේ අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නේ වෘත්තීන් අරමුණු කරගෙන නෙවේ. ලකුණු අරමුණු කරගෙන සහ වයිට් කොළර රැකියා සුළුතරයක් අරමුණු කරගෙන. නමුත් ප්‍රායෝගික බුද්ධිය සහ තාක්ෂණික දැනුම තිබෙන දරුවන් මේ තරගය ඇතුලේ අතරමං වෙනවා. මේ ත්‍රී වීලර් කියන්නේ, අඩු අදායම් සහිත පවුල් වල එවැනි අතරමං වන දරුවන්ට ඇති එක්තරා පිහිටක්. මේ වගේ නීතියක් ගෙන කලින්, දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. අඩුම තරමේ හය වෙනි පන්තියේ ඉදන්ම තාක්ෂණික විෂයන් ප්‍රගුණ කරන්න අවශ්‍ය දරුවන්ට ඒ සදහා පහසුකම් ලබා දෙන්න ඕනේ. එතකොට ඔවුන් පාසලෙන් පිට වෙන්නේ වෘත්තියක් දැනගෙන. මේ දේ එක රැයකින් කරන්න බැහැ. අඩුම තරමේ අවුරුදු දහයක්වත් යනවා, ඔය වගේ ක්‍රමයක නිසි ප්‍රථිපල නෙලා ගන්න.

    නමුත් ඔබ කියන්නා වගේ අපි කවදාවත් වෙනස් වෙන්නැති ජාතියක්. කිසිම දෙයක් විශ්ලේෂණය කරන්න ඉගන ගන්නැති ජාතියක්. අද වෙද්දී තරුණ පරම්පරාවෙන් මේ විශ්ලේෂනාත්මක බුද්ධිය සම්පුර්ණයෙන්ම ගිලිහිලා යනවා. මොකද ඔවුන්ට උදාහරණයට ගන්න වැඩිහිටි පරම්පරාවක් නැති නිසා.

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete