Follow this Blog

Sunday, 14 October 2018

මම මෙන්න මෙයා


මට මතක ඇති ආකාරයට ඒ මේ වසරේ මාර්තු මාසයේ දිනෙකි.  ඉංජිනේරු පීඨයට අයත් අවන්හලෙහි මම කෝපි කෝප්පයක් තොල ගාමින් සිටියෙමි. මා දුටු මගේ මැලේසියානු මුස්ලිම් සඟයෙක් මා වෙතට දිවගෙන ආවේය. තම අත වූ ස්මාර්ට් දුරකථනයෙහි ඒ වන විටත් ක්‍රියාත්මක කර තිබූ වීඩියෝ පටයක් ඔහු මට පෙන්විය. එය මැලේසියානු රුපවාහිනී චැනලයක ප්‍රවෘති ප්‍රකාශනයයි.

පෙරදින පැවති නුවර ප්‍රදේශයේ මුස්ලිම් මිනිසුන්ට පහර දීමේ සිදුවීම එහි පෙන්වමින් තිබුණි. ගල් පොලු මුගුරු රැගත් තරුණයන් පිරිසක් උන්මාදයෙන් මෙන් කඩ පෙළකට පහර දෙයි. තව රූප රාමුවක තරුණ පෙනුමැති හාමුදුරු නමක් රෞද්‍ර විලාශයෙන් පිරිසකට අණ දෙයි. 

"චන්දිම, ලංකාවේ  දරුණු මුස්ලිම් විරෝධයක් තියෙනවද? මුස්ලිම් අයට ලංකාවට යන එක අනතුරුදායකද?" ඔහු ඇසුවේ ඊට සති දෙකකට පමණ පසු IEEE ආයතනයේ ආරාධනයක් මත ඔහුට කොළඹදී දේශනයකට ආරාධනා ලැබී තිබූ නිසාය. 

මොහොතකට මම ගොළු වුනෙමි. සියුම් හිරියක් හිසේ සිට පාදාන්තය දක්වා ඇදී යයි. එය ඇතිවූ ලැජ්ජාව නිසාවෙනි. මේ රටේදී ඔවුන් මා වෙත දක්වන කරුණාව, දයාව, සහෝදරත්වය පිලිබඳ අදහස් එක දිගට මගේ සිතට ගලා එන්න විය. තත්පර කිහිපයකින් මම පියවි සිහියට පැමිණියෙමි.

"හරි හමන් අධ්‍යාපනයක් නොලැබූ, නූගත් තරුණයන් පිරිසක්. මේ මෝඩ පිරිස වැඩිම වුනොත් 200 ක් වෙයි" මම කීවෙමි. 

ටික වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි මගේ සඟයා නික්ම ගියේය.

මම ඉතා දීර්ඝ සිතිවිල්ලකට අවතීර්ණ වුනෙමි. 

"හරි හමන් අධ්‍යාපනයක් නොලැබූ, නූගත් තරුණයන් පිරිසක්". මගේ වදන් මම නැවතත් ආවර්ජනය කලෙමි. 



මගේ සිත වසර 32 ක් ඔබ්බට ඇදී යයි. එය 86 දෙසැම්බරය යයි සිතමි (මා වැරදි නම් මගේ සඟයෙක් නිවැරදි කරනු ඇත). නවක වද සමය යන්තමින් ඉවර වෙමින් තිබුණි. නවක සිසුන්වූ අපට පීඨයේ ජේෂ්ඨයන් තබා අපගේ වසරේම සමහර සඟයන් පවා වෙන්කර හඳුනා ගැනීම උගහටය. 

එදින උදෑසන 7.30 ට පමණ මම වෙනදා මෙන්ම තර්ස්ටන් පාරේ ගේට්ටුවෙන් විද්‍යා පීඨයට ඇතුල් වුනෙමි. වෙනදා නොමැති විශාල වෙනසක් පීඨය පුරා  දිස්විය. පොලු මුගුරු අතින් ගස් ජේෂ්ඨයන් විශාල පිරිසක් කලබලයෙන් එහා මෙහා ගමන් කරයි. 

මා සෙමින් සෙමින් විවෘත ආපන ශාලාව වෙත පිය නැගුවෙමි. එහි කනුවකට තබා බැඳ දැමු සිසුවෙකි. ඔහු කිහිප විටක්ම දෙහිවල බස් නැවතුම් පොලේදී මා සමග කතා කර ඇති නීති පීඨයේ ජේෂ්ඨ සිසුවකු බව මම අඳුර ගතිමි. ඔහු සාමාන්‍යයෙන් බොහොම සෙමින් කතා කරන සිනහමුසු පුද්ගලයෙකි. නමුත් එදින ඔහුගේ මුවින් පෙනුනේ ඉතා තැතිගත් පෙනුමකි. කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව මම අන්ද මන්ද උනෙමි. 

උස මහත දේහයකින් හෙබි පුද්ගලයෙක් නුග ගස යට තිබූ කැඩිච්ච ගල් බංකුවක් උඩට නැග කතා කරන්න විය. මම ඔහුව හඳුනා ගතිමි. විද්‍යා පීඨයේ නිතර සැරිසැරුවත් ඔහු කලා පිඨයේ සිසුවෙකි. සිසුවෙක් කිව්වාට ඔහු අපට වඩා වසර 15 ක්  වත් වැඩිමල් ඇතැයි මට සිතෙයි. සමහර විට ඔහු වසර ගණනාවක් එකම වසරේ සිටින සිසුවෙකු විය හැක. 

දිනක් නවක වදය සඳහා ජේෂ්ඨ සිසුවෙක් (අද ඔහු ලංකාවේ සුපතල මහාචාර්යවරයෙකි) මට පොදු ශිෂ්‍ය කාමරයේදී (අපි එයට කිව්වේ කොමන් එක කියාය) මේසයක් මතට නැග එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට බණිමින් කතාවක් පවත්වන ලෙස අණ කළේය. කතා කිරීම මට කවදත් විනෝදජනක ක්‍රියාවකි. එබැවින් මා මේසය මතට නැග ඉතා උද්වේගකර කතාවක් කරමින් එවකට පැවති රජය විවේචනය කලෙමි. මෙය අවට සිටි සියළු දෙනාගේ අවධානයට පාත්‍ර විය. 

එම කතාවෙන් පසු මා බිමට බැස හතිලන විට අර උස මහත පුද්ගලයා මා වෙතට පැමිණ වතුර බෝතලයක් දිගු කළේය. ඉන් පසු පසෙක පිහිටි ආසනයක් වෙත මා රැගෙන ගිය ඔහු පවතින සමාජ විෂමතාවයන් සහ ශිෂ්‍යයන් ඊට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පිළිබඳව මට දීර්ඝ විස්තරයක් කළේය. එය විස්තරයකට වඩා අණ කිරීමකි. අවසානයේදී ඔහු පැවසුවේ ඔහු හමුදාවේ සේවය කර එයින් ඉවත් වූ අයෙකු බවයි.

නුග ගහ යට බංකුව මත සිටින උස මහත පුද්ගලයා ඉතා උස හඬින් කතා කරයි.

"අද ඉන්ඩෝ එන්නේ සයන්ස් ෆැකල්ටිය ඉවර කරලා දාන්න. උන් තමයි අපේ අරගලය පවා දෙන පරම හතුරෝ. මේ වෙලාවේ උන්ව නැති කලේ නැත්නම් උඹලා අපි ඔක්කොම ඉවරයි. උඹලාගේ මේ සටන ෆැකල්ටිය වෙනුවෙන් බව මතක තියා ගනිල්ලා". ඔහු කියාගෙන යයි. 

මම එවකට ජෝන් වේන්ගේ කව් බෝයි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වී සිටියෙමි. මේ නිසා උස මහත පුද්ගලයා ඉන්ඩෝ යනුවෙන් පවසන විට මට සිහියට ආවේ ඔළුවේ පිහාටු ගහගෙන අස්සයා පිට ගමන් කරන,  සුද්දන් මරන්නම ජිවත් වෙන (චිත්‍රපටය අපිට දෙන පණිවිඩය එයයි) රතු ඉන්දියානුවන්වය. චිත්‍රපටිය බලන විට මම සුද්දගේ පැත්තේය (චිත්‍රපටි බලන හැමෝම එහෙමය).



"උඹලා නිකන් ගුටි කන්නේ නැතුව අතට අහුවෙන ආයුධයක් අරන් ඉන්ඩන්ට නෙලපන්. මුකුත් නැත්නම් ගලක් හරි ගනින්" උස මහත පුද්ගලයා පවසයි. 

දැන් සැවොම ගල් පොලු සොයයි. මේ අතර මා වෙතට පැමිණි අපට වසරක් ජේෂ්ඨ සිසුවෙක් මගේ අතට ශල්‍ය කර්ම වලදී භාවිතා කරන මිට සහිත ඉතා මුවහත් තියුණු තලයක් (scalpel) දී "ඕනේ වුනොත් පාවිච්චි කරපන්" යයි කිවේය. අද මේ ජේෂ්ඨ අයියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහල නිලයක් දරයි. 

දැන් මම ජෝන් වේන්ට නොදෙවෙනිය. අඩුව ඇත්තේ අස්සයකු පමණි. සිසුන් සියල්ලෝම මහා හඬින් ගෝෂා කරමින් රීඩ් මාවතට මුහුණලා ඇති පිවිසුම දෙසට ඇදේ. 

"කොහොමද මචං අපි ඉන්ඩෝ අඳුන ගන්නේ" මා සමග ඉදිරියට යන මගේ වසරේ සඟයෙක් ගෙන් මම ඇසුවෙමි. ඔහුගේ අතේ දෙකේ දෙකේ පොල්ලකි. 

"අනේ මන්දා බං නෙලමු හතර අතට" මගේ මිතුරා පැවසුවේ අතේ තිබූ පොල්ලෙන් සතුරකුට ගහන ආකාරය අභිනය කරමිනි. ඔහුද කවුරුන් හෝ වීරයෙක් මනසෙහි ආරුඩ කරගෙන ඉන්න ඇත. 

රීඩ් මාවතෙන් එහා පැත්තේ තවත් මාර සෙනගකි. ඒ ඉන්ඩෝ ය. ඔවුන්ගේ හිසේ රාජාලි පිහාටු නැත. මා අවට සිටින පිරිසත් ඉන්ඩොත් අතර කිසිම වෙනසක් පෙනෙන්නට නැත. 

එක වරම රීඩ් මාවතට ඉහලින් ගඩොල් බාග පියඹා එන්න විය. මා අවට ගල් අතේ තියාගෙන සිටි පිරිස ප්‍රති පහර දෙන්න විය. මට තරමක් ඈතින් එහෙත් පෙනෙන මානයේ සිටි මගේ වසරේ සිසුවෙක් එක්වරම ඔළුව බදාගෙන පහත් විය. ඔහුගේ නම අනුර යැයි මට යාන්තමින් මතකය (වැරදි නම් නිවැරදි කරන්න). ඔහුගේ හිසෙන් ලේ ගලයි. ඒ සමගම අප ඉදිරියෙන් සිටි පිරිස අපවද තල්ලු කරගෙන පිටු පසට දුවන්න විය. අතේ තිබූ පිහි තලය කොහෙට විසි කලාදැයි මට මතක නැත. අපි නැවතත් විවෘත ආපන ශාලාව දෙසට දිව ගියෙමු. 

එදා මෙම නාටකය අවසන් වුයේ සරසවිය තුළට පොලිසිය ඇතුළු වී සිසුන්ට නිර්දය ලෙස බැටන් පහරින් සංග්‍රහ කිරීමෙන් අනතුරුවයි. බැටන් පොලු පහරක් වැදීමෙන් මගේ අත හොඳටම ඉදිමී තිබුණි. මගේ මව රිදවීමට නොහැකි බැවින් ගෙදර ගොස් මම මහා මුසාවාදයක් කිව්වෙමි; මම පැත්තකට වෙලා ඉන්න කොට ළමයි දුවගෙන ආව. ඒගොල්ලන්ව පොලිසියෙන් පැන්නුව. ළමයෙක් මගේ ඇඟේ වැදිලා මම ගල්  ගොඩක් උඩ ඇදගෙන වැටුණා ..... කතා ගොඩයි.

ඊට සති කිහිපයකට පසු අපේ නොදත් සතුරා වන ඉන්ඩන්ගේ නායක දයා පතිරණ ශිෂ්‍යයා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව සැලවිය. ඉන්ඩෝ යනු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ (independent Student Union) සාමාජිකයන්ය. ඔවුන්ට එරෙහි වුවෝ ජනතා විමුක්ති පෙරමුණට අයත් සාමාජිකයන් විය. ඉන් පසු ගතවූ වසර තුනක කාලය තුල සරසවි ශිෂ්‍යයෙකු යයි හැඳින්වීමද දැඩි ලෙස  අනතුරුදායක විය. නැවතත් සරසවි විවෘත කරන විට ඉන්ඩෝද, එදා සටන් මෙහෙය වූ ජවිපෙ සාමාජිකයෝද බොහෝ දෙනෙක් "අතුරුදන්වී" සිටියහ. අද ඔවුන් ගැන කිසිවෙකුටත් අංශු මාත්‍රයක් මතක නැත. 



මේ මහා දිග කතාව මට ලියන්න සිත් වුනේ අද ලංකාව පුරා දකින්නට හැකි ඍණාත්මක ප්‍රවනතාවයක් නිසාවෙනි. මගේ මැලේසියානු සඟයාට මා පවසා ඇත්තේ යථාර්තයක් දැයි මට ප්‍රශ්ණයක් ඇති වේ. තාරුණ්‍ය ප්‍රචණ්ඩත්වයට යොමුවීම සහ අධ්‍යාපන මට්ටම අතර සම්බන්ධයක් නැතැයි මට සිතේ. 

වරක් මට හමු වූ චීන රජයේ නිලධාරියෙක් බයිජු (ඉතා ඉහල මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති පානයක්) වීදුරු කිහිපයකින් පසු මෙසේ කීය.

"ඕනෑම පුද්ගලයකු ලවා ඔබට ඕනෑම දෙයක් කරගත හැක. අවශ්‍යවන්නේ ඔහුට අනන්‍යතා රාමුවක් තනා දීම පමණයි".

උපතින් ඔබට ඇත්තේ එකම එක අනන්‍යතාවයක් පමණකි. ඒ ගැහැණු හෝ පිරිමි බවයි. සමේ වර්ණයත් යම් පමණකට අනන්‍යතාවයක් ඔබට ලබා දෙයි. ඊට අමතරව ඔබට අනෙක් සියළුම අනන්‍යතාවයන් ලබා දෙන්නේ සමාජය විසිනි. කුලය, ආගම, ජාතිය, දේශපාලන පක්ෂය, ගුරු කුලය, සමාජ මට්ටම, ආර්ථික තලය ආදී ලේබල් ගණනාවක් සමාජය විසින් ඔබගේ ඇඟේ අලවයි. නොඑසේ නම් ඔබ ස්වේච්චාවෙන් අළවා ගනී. 

සමහර පිරිස් තමාට ඇලවූ ලේබල කිහිපයක් එකට අනා ඉතා කුඩා වපසරියක් සහිත කූඩුවකට බලෙන්ම කොටුවීම හාස්‍ය දනවයි. මීට වසර කිහිපයකට පෙර මැලේසියාවට පැමිණි ලාංකික කලාකරුවෙක් ඔහුව අනෙක් අයට හඳුන්වා දුන්නේ "මම උඩරට ගොවිගම සිංහල බෞද්ධයෙක්" කියාය. එය ඔහු උජාරුවෙන් පැවසුවත් එහි සිටි ලාංකික සම්භවයක් සහිත මැලේසියානුවන්ට ඔහු විකාරයක් විය. මේ සිද්ධියෙන් වසර කිහිපයකට පසුද එදා සිටි පිරිස නැවත එකතු වූ විට මේ කලාකරුවා විකට මාතෘකාවක් බවට පත්වෙයි. 

ඔබට ලේබලයක් වදින හැම විටම ඊට සමගාමිව සතුරෙකු බිහි වේ. එනම් එම ලේබලයට අයත් සමුහයෙන් පිටත සිටින්නන්ය. සතුරාගෙන් ඔබ සමුහය බේරා ගත යුතුය. ඒ නිසා ඔබ සතුරාට පහර දිය යුතුය. සමුහ නායකයන් වන ලේබලයේ අයිතිකරුවන් බේරා ගැනීම ලේබල්ධාරියාගේ පරම යුතු කමයි. 

ලංකාවට පැමිණි පෘතුගීසින් අතලොස්ස රටෙන් විශාල ප්‍රමාණයක් තනිව සටන් කර අල්ලා ගත්තා යයි ඔබ සිතනවද? ඔවුන් කලේ මුහුදුබඩ ජිවත් වූ ලාංකිකයන් කතෝලිකයන් ලෙස ලේබල් කිරීමයි. මෙහිදී කතෝලික දර්ශණය තුලින් එම සිංහලයාට හෝ දෙමළාට යහපතක් කිරීම පෘතුගීසීන්ගේ පරමාර්ථය වන්න ඇතැයි මම කිසිසේත් නොසිතමි. සිදුවුයේ මෙම ලාංකිකයන්ට කතෝලික ලේබලය අලවා ඔවුන්ගේ නව කුලකය රැක ගැනීම සඳහා ඔවුන්ගේම පරණ කුලකය (දැන් ඔවුන්ගේ සතුරන්) හා යුද්ධයට යැවීමයි.

ඉහත කතාවේ උස මහත පුද්ගලයා මේ සමුහකරණය සඳහා ගජ හපනෙක් යැයි මට සිතෙයි. සතුරන් හෝ මිතුරන් ගැන මෙලෝ හසරක් නොදත් අප ගල් පොලු අතට දී යුද්ධයට යැවීම සඳහා ඔහු ක්‍ෂණයකින් අපේ නළලේ ලේබලයක් ඇලවීය. ඒ ෆැකල්ටියයි. ඒ අතින් ඔහු පෘතුගීසි කාරයන්ටත් වඩා ඉදිරියෙනි.

අද සමාජය පුරා පිළිලයක් සේ පැතිරෙන්නේ අනාදිමත් කාලයක පටන් පැවතෙන මෙම කුලක හෝ සමූහ ලේබල් කිරීමයි. 

මා දකින ආකාරයට බොහෝ මුල් ආගමික නායකයින් සිදු කර ඇත්තේ අවට සමාජයෙන් සහ පරිසරයෙන් සිදුවන අතවරයන්ගෙන් තම පිරිස මුදවා ගැනීම සඳහා ඔවුන් ලේබල් ගත කිරීමයි. ඊට පසුව ශතවර්ෂ ගණනාවක් තුල බිහි වූ නායකයන් බොහෝ දෙනෙකු කර ඇත්තේ තමන්ගේ පැවැත්ම සඳහා ලේබලය අනුසාරයෙන් අනුගාමිකයා වහලෙකු කරගැනීමයි. 



"ඔබ වෙනුවෙන් ඔබ සටන් කරන්න". මෙය මහා දියාරු පාඨයකි. "අපි වෙනුවෙන් අපි" ව්‍යාපාරය සිංදු දෙකකට සිමා විය. 

"දෙවියන්වහන්සේ වෙනුවෙන් යුධ වදිව්"

"බුදුදහම බේරාගැනීමට සටන් කරව්"

"සමාජවාදය වෙනුවෙන් අරඟල කරව්"

"මාතෘභූමිය වෙනුවෙන් සතුරන් නසා දමව්"

මේවා ඉතා ආකර්ෂණීය සටන් පාඨය.

තම පැවැත්ම වෙනුවෙන් සමුහකරණය වීම මනුෂ්‍ය ස්වභාවයයි. එහි වරදක් මම නොදකිමි. එහෙත් අද ලෝකය වෙනස් වී ඇත. මීට ශතවර්ෂ කිහිපයකට පෙර සතුරු බලවේග වලට එරෙහිව කටයුතු කල ආකාරයට වඩා දැන් එය කලයුතු  තත්වය වෙනස්ය. 

දෙවියන්වහන්සේ වෙනුවෙන් යුධ වැදිය යුත්තේ ඔබ නම් ඔහුට සර්වබලධාරී යයි උපසර්ගයක් යෙදීම හාස්‍යජනකය. බුද්ධාගම බේරා ගැනීමට ඔබ සිතන විටම බුදු දහමේ හරය ඔබගෙන් ඈත් වී යයි. මන්ද එය පිළිපැදිය යුතු දර්ශනයක් මිස බේරා ගත යුතු භුතාර්ථයක් නොවන බැවිනි. 

එදා සිට අද දක්වාම ඔබේ නළලේ ලේබලයක් අලවා, අතට කඩුවක් දී ඔබව යුද්ධයට තල්ලු කලේ රජුන්ගේ, ආගමික නායකයන්ගේ, සාමාජීය නායකයන්ගේ පැවැත්ම උදෙසා බව ඔබ තේරුම් ගත් දින ඔබ වහල් බවෙන් නිදහස් වනු ඇත. 

ඔබට ආගමක් අවශ්‍ය අධ්‍යාත්මික සැනසීම උදෙසා බව ඔබ පිලිගන්නෙහිද? ආගමක් යනු හුදෙක් සංඛල්පයකි. එය ජීවමාන කරන්නේ ඒ මත යැපෙන පිරිසයි. යම් ආගමික සංඛල්පයක් තුලින් අධ්‍යාත්මික සැනසීම ලබා ගැනීමට නම් ඔබ එම ධර්මයෙහි හැසිරිය යුතුය. මේ සඳහා ඔබට සමූහකරණය වීමේ අවශ්‍යතාවයක් නැත (අවස්ථා කිහිපයකදී හැර). ඔබ ආගමික වත් පිළිවෙත් පුරණ විට, එයින් ඔබට සැනසීම ලැබෙන විට, ඔබ අවට සිටින්නන්ද එය කිරීමට හුරුවෙයි. එය ඊළඟ පරපුරටද සම්ප්‍රේෂණය වෙයි. ආගමක පැවතීම සිදුවන්නේ මෙසේය. 

සමුහකරණය වී ආගම රැකගැනීමට සටන් වැදීමේ අවශ්‍යතාවය පැන නැගෙන්නේ ආගමික නායකයන් සහ ඔවුන් මත යැපෙන දේශපාලුවන්ගේ වුවමනාව උදෙසාය. අද ලංකාව දෙස බැලුවොත් මෙය හොඳින් වැටහෙනු ඇත. ආගම කුමක්දැයි යන්නෙන් ස්වායත්තව පුජ්‍ය පක්ෂ නායකත්වය සහ දේශපාලුවන් සහජීවනයෙන් ක්‍රියා කරයි. ඒ ඔවුන්ගේ පැවැත්ම සහ සුඛ විහරණය වෙනුවෙනි. අවාසනාවන්ත කරුණ නම් මොවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මානසික වහලුන් බවට පත් වූ සාමාන්‍ය ජනතාව එකිනෙකා මරා ගැනීමයි. 

ආගම එක් ලේබලයක් පමණි. අද වන විට සමාජය, තමා පාවිච්චි කරන දන්තාලේපයේ සිට දහසකුත් කාරණා වෙනුවෙන් වෙන වෙනම සමුහකරණය වී ඇත. සමාජය, සමුහකරණයේ වාසි පසෙක තබා ලේබලය වෙනුවෙන් යුධ වැදීම මෙහි ඇති ඛේදනීය තත්වයයි. 

සමුහකරණ ක්‍රියාවලියේදී තාරුණ්‍ය පහසු ගොදුරක් වෙයි. මීට හේතු කිහිපයකි. එකක් මුහුකුරා නොගිය  සමාජය පිලිබඳ දැනුම සහ අත්දැකීම්ය. අනෙක් අතට තාරුණ්‍යයටම ආවේනික වූ  වීරයන් අනුගමනය කිරීම සහ තනි තනි වශයෙන් කටයුතු කිරීමට ඇති සමාජ භීතියයි. තම සමුහය සමග සිටින විට දඩබ්බර කුළු මීමුන් සේ හැසිරෙන බොහෝ තරුණයෝ තනිව සිටින විට කුලෑටි මීමින්නට නොදෙවෙනි වෙති. විද්‍යා පීඨයට පැමිණි උස මහත පුද්ගලයාගේ සිට අද වන විට කසා වතින් හෝ  සුදු වතින් සැරසුන පුජ්‍ය පක්‍ෂය දක්වා ආයුධය කරගන්නේ මෙම තාරුණ්‍යයේ හැසිරීම් ස්වභාවයයි. 

තාරුණ්‍යයේ මෙම හැඩතල වෙනස් කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියකි. ඊට වඩා පහසු ක්‍රමය නම් වැඩිහිටියන් ලබා දෙන නායකත්ව දිශානතිය නිවැරදි කිරීමයි. සමුහකරණය යහ මගට ජනතාව යොමු කිරීම සඳහා යොදා ගැනීමට සමාජ නායකත්වයට බල කිරීම වැදගත්ය. එසේම සමුහ ලේබලය රැකගැනීම සඳහා සටන් කිරීම වෙනුවට සමුහය ඵලදායි ක්‍රියාවලියකට යොමු වනසේ ජන මනස සකස් කිරීම යමක් තේරුම් ගැනීමට තරම් මානසික වර්ධනයක් ඇති සියලු දෙනාගේ යුතුකමකි. 

මේ වන විට සමාජ ජාලා තුල වැඩි වශයෙන් පළවන්නේ ජන මනස දුගතියට යොමු කරන කාරණාය. හැකි නම් ඔබ ඉන් මිදී සමාජයට අර්ථවත් දේ පළ කිරීමටත් අනර්ථකාරී දේ ව්‍යාප්ත කිරීමෙන් වැළකීමටත් අධිෂ්ඨාන කරගන්න. අපට යහපත් සමාජයක් ලෙස ඉදිරියට ගමන් කල හැක්කේ එවිටයි. 



6 comments:

  1. //උපතින් ඔබට ඇත්තේ එකම එක අනන්‍යතාවයක් පමණකි. ඒ ගැහැණු හෝ පිරිමි බවයි. සමේ වර්ණයත් යම් පමණකට අනන්‍යතාවයක් ඔබට ලබා දෙයි. ඊට අමතරව ඔබට අනෙක් සියළුම අනන්‍යතාවයන් ලබා දෙන්නේ සමාජය විසිනි//

    ඔය ඇත්ත අපේ උන් තේරුම් ගන්නේ නෑනේ.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපිට තියෙන අභියෝගය. ජයගන්න උත්සහ කරමු.

      Delete
  2. It is so difficult to be individualistic in SL nowadays. Since, I have never (in my mind) belonged to a particular group based on race, religion, school or profession, I have mostly been compelled to just nod my head and stay silent among the peers.

    ReplyDelete
    Replies
    1. Grouping is not bad. there may be many good sides of that. But grouping and then fighting to protect the group label is a curse.

      Delete
  3. චන්දිම මම ඔබේ ලියැවිල්ල අගය කරමි. අප අතීතයෙන් පාඩම් ලැබුවේ නම් 1971 කැරැල්ල වන්නක් 1989 දීත් , මේ දේශපාලකයන්ට කඩේ යන පිරිසුත් අතරේ දවසින් දවස පිටුපසට යන රටක් එන්නේ නැත . හැබැයි අළුත් පරපුර එය නිවැරදි කරනවාට වඩා යන දිශාව ද සුබදායක නැති බව පෙනෙන්නේ අනතුරක් , ගින්නක් දුටු විට දුරකථනයෙන් ෆොටෝ ගන්නා පිරිස් දුටු විටය . අපට බෝලයෙන් දමා ගැසුවත් රටේ හරි ප්‍රතිරූපය පෙනෙන්නේ රටින් පිට ඉන්නා විටය . ඔබේ ලියැවිල්ල බොහෝ දෙනෙකුට කියවන්නට ලැබේවායි පතමි ......

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete