Wednesday, 17 August 2022
Friday, 12 August 2022
අරගලය නිම විය
ගෝල්ෆේස් අරගලය නිම විය. ඒ ගැන වැටෙන පෝස්ට් නිමක් නැත. ඒවා ලංකාවේ ජන විඥානය කියාපාන කැඩපත් වැනිය.
අරගලය සාර්ථකද අසාර්ථකද යන්න තීරණය වන්නේ අරගලය තුලින් ඔබ බලාපොරොත්තු වූ හෝ නොවූ ප්‍රතිදාන මතය. එහි මුඛ්‍ය සටන් පාඨය වූ "Go home Gota" යන්න අරගලයේ අරමුණ කරගත් පිරිසට මෙය අති විශිෂ්ඨ නිමාවකි. System change එකක් වෙනුවෙන් අරගලයට එක්වූ පිරිසට එහි ප්‍රතිඵලය ඉතා අසතුටුදායකය. මේ අන්ත දෙක අතරේ අරගලයේ යහ ඵල කිහිපයක්ම ඇත. System change එකක් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කී සමහරුන්ගේ ඇත්තම අරමුණ වී තිබුණේ Coruption-ownership change එකකි. එනම් උඹලා කැමති හොරා වෙනුවට අපි කැමති හොරා රජකිරීමයි.
මා දකින ආකාරයට අරගලයේ අග්‍ර ඵල දෙකකි. ඉන් පළමුවැන්න ලංකික ජන විඥානය ප්‍රායෝගිකවම අවබෝධ කරගැනීමට ඒ සඳහා උනන්දුවන අයට ලැබුණු අවස්ථාවයි. එය ලංකාව ගොඩ දැමීමට උණක් යන්තමට හෝ තවමත් ඇති සියළු දෙනාටම අනාගතයේදී බොහෝ සෙයින් උපකාරී වනු ඇත.
දෙවැන්න ලංකාවේ ක්‍රියාකාරී අති බහුතරයක් දේශපාලකයන් එකම ජාලයක ඉත්තන් බව ස්ථිර වශයෙන්ම සාක්‍ෂාත් වීමයි.
------------------------------------------
බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇරඹෙන්න හේතු පාදක වූ කරුණු මතක නැත. සමහරු දැන් කතාකරන්නේ එය අසුරු සැනෙකින් ඕපපාතිකව පහල වුවා සේය.
කෙටියෙන් කියන්නම්. අරගලය ඇරඹීමට පෙර රටේ කිලෝ මීටර ගණන් දිග තෙල්, ගෑස් පෝලිම් විය. සාගතය හිස ඔසවා තිබුණි. සංචාරක ව්‍යාපාරය පමණක් නොව රටේ සෙසු බොහෝ කර්මාන්ත බිඳ වැටී තිබුණි. උද්ධමනය ඉතා ඉහල අගයක තිබුණි. මාස කිහිපයක සිට රට ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබුණි.
අරගලයෙන් විනාශ වෙන්න තරම් දෙයක් රටේ ඉතිරි වී තිබුණේ නැත.
අරගලයේ මූලිකත්වය ගත්තේ දේශපාලන මෙන්ම සාමාජීය වශයෙන්ද පරිනත නොවූ තරුණ ජවයකි. එයට නායකත්වයක්, මාර්ග සිතියමක්, පැහැදිලි අරමුණක් සහ ඉලක්ක ලබා දිය යුතු විය. නමුත් එය කල යුතුව තිබූ අත්දැකීම් බහුල ක්‍රියාකාරී දේශපාලන ප්‍රවාහ එය මග හැරියෝය. ඒ ගැන මම කිහිප වරක්ම ලිව්වෙමි.
------------------------------------------
දේශපාලකයන්ට පවරා ඇති නඩු, නීතිපති විසින් තාක්‍ෂණික හේතු මත ඉවත් කරගත් නඩු, කෝප් කමිටු වාර්තා සහ වෙනත් අනේක කොමිෂන් වාර්තා අනුව මේ රටේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අති බහුතරයක් දේශපාලුවන් මහජන මුදල් ගසා කා ඇති බව සක් සුදක්සේ පැහැදිලිවේ. නොඑසේ නම් රුපියල් ට්‍රිලියන ගණනක මුදල් බහිරවයා ගිල්ලා විය නොහැක. WWE සහ ලංකාවේ පාර්ලිමේන්තුව අතිශයන්ම සමාන වන්නේ මේ හේතුව නිසාය. ඔවුන් එක් පවුලකි. එකෙකුට එකෙක් නැතුව බැරිය.
ලංකාවේ බහුතරයක් ජනතාවගේ දැනුම් සම්භාරය තුල මේ ගැන දත්ත ඇත. නමුත් මට දැනෙන ආකාරයට මේ දැනුම විශ්ලේෂණය කර තේරුම් ගැනීමට තරම් තර්ක බුද්ධියක් බොහෝ දෙනෙකු සතුව නැත. එය උගත්-නුගත් කියා වෙනසක් නැතිව සමාජය තුල පිළිබිඹු වේ. තේරුම් ගන්නා සුළුතරය අතර පවා තේරුම අවබෝධය කරා ගෙන යාම පිණිස මානසික අවස්ථිති පවුර තරණය කර ගත හැකි අය සිටින්නේ අතලොස්සකි.
අරගලය ඇති වන්නේ තමා පෙළන, තම ධනය සොරා කන, පාලක පැලැන්තියට එරෙහිව පද්ධති වෙනසක් සඳහා බව ලංකාවේ බහුතරයක් පාලිතයන්ට වැටහෙන්නේ නැත. අරගලය සමච්චලයට ලක් කරමින් පෝස්ට් පලකරන කිසිවෙක් රටේ යස ඉසුරින් වැජබෙන ධනපතියන් නොවන බව නම් ඉතා පැහැදිලිය. පාලකයාගේ හොර තක්කඩි අමන කම් හේතුවෙන් දරිද්‍රතාවය හිස මත තබාගෙන, බසයක පා පුවරුවේ එල්ලී යන පහල මධ්‍යම පාන්තිකයා, තම පීඩකයා වෙනුවෙන් පෙනී සිටින සමාජයක, system පෙරලන්නට පෙර, පෙරලන්න ඇති දේ බොහෝය.
Saturday, 6 August 2022
ලංකාවට what happened? එදා අද සහ හෙට පලිඟු බෝලයෙන්
කුඩුකාරයාට මොනවා කලත් කුඩු නැතිව බැරිය. ලංකාව ගැන උණ තියෙන එකාටද එසේමය. කෙතරම් නවත්වන්න සිතුවත් ඇසිල්ලක් ලද සැනෙන් ලියන්නම සිතේ.
මේ ලියන්නේ මගේ දැනුම් සම්භාරයේත්, විශ්ලේෂණ හැකියාවේත් උපරිමය තුල හැකි අවමයට මානසික අවස්ථිතිය අඩු කරගෙනය.
-------------------------------------
මට ලාංකිකයා පිළිබඳව ඇත්තේ විමතියකි. මගේ මූලික විෂය පථය සමාජ මනෝ විද්‍යාව වුවා නම් මම අඩුම ගණනේ ලාංකික ජන විඥානය පිළිබඳව high impact papers තුනක්වත් පළ කරමි.
අරගලය පැමිණිය යුතුවම තිබුණි. ඒ තරමට ලාංකික දේශපාලනය පිරිහීමකට ලක්ව ඇත. රට වේගයෙන් බංකොලොත්භාවයට පත්වන බව දුර තියාම කිව්වේ මා පමණක් නොවේ. දේශපාළුවා ඒ තරමට ඇස් පනාපිටම සොරකමෙහි යෙදුනේය. මංකොල්ලය කෙතරම් ම්ලේච්ඡ තත්වයකට වැටුනේද යත් කොවිඩ් රෝගයෙන් දැඩි ලෙස පෙලෙන සමාජයෙන් පවා ඔවුහු කඩා වඩා ගත්තෝය. මේ කාලකන්ණි තත්වය මා කිසිඳු දුෂිත අප්‍රිකානු රටක පවා දුටුවේ නැත.
මෙතරම් දරුණු මංකොල්ලයක් ඇස් ඉදිරියේ දකිත්දිත් බහුතරයක් තම ප්‍රියතම දේශපාලුවා රැකගැනීමට නොයෙක විද අමන කතා දෙඩීය. ඉන්දියාවේ හා බංගලාදේශයේ මා මේ මානසික දුර්වලතාවය දුටුවේ නූගත් ගැමි පරිසරයන් තුලයි. එහෙත් ලංකාවේ මෙලෙස කතා පැවසුවො සමාජයේ උගතුන් යයි පෙනී සිටින්නන් වුහ. රට වැටෙන්නේ කොවිඩ් නිසා යයි ඔවුන් පවසද්දී ලෝකයම එයට ගොදුරු වූ බව මෙනෙහි කරගන්න තරම් ඔවුන්ට හැකියාවක් නොවීය. තවත් සමහරු කොවිඩ් නිසා සංචාරක ව්‍යාපාරය වැටුණු බැවින් ලංකාව බංකොලොත් වූ බව කීය. ලංකාවට වඩා ඉතා අධික ලෙස සංචාරක ව්‍යාපාරය මත තම ආර්ථිකය පවතින මාල දිවයින, තායිලන්තය වැනි රටවල් අපුරුවට මේ තත්වයෙන් ගොඩ ආ බව වටහා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොවීය.
-------------------------------------
Thursday, 4 August 2022
සෝමාලි pirate buisiness මොඩලය
සෝමාලි මුහුදු මකොල්ලකරුවෝ ඉන්දියන් සයුරේ යාත්‍රා කරන නැව් කිහිපයක් අත්පත් කරගෙන විශාල මුදලක් කප්පම් ලෙස ලබා ගත්තෝය. නැව් රක්‍ෂණ සමාගම් අධික ලෙස රක්ෂණ වාරික වැඩි කලහ. ඒ සමගම පකිස්ථානය, ඉන්දියාව, ලංකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල පෞද්ගලික ආරක්ෂක සමාගම් බිහිවිය. රක්‍ෂණ සමාගම් තමා වැඩිපුර අයකරන මුදලෙන් සෑහෙන කොටසක් මේ ආරක්ෂක සමාගම්වලට දී ඔවුන්ගෙන් ship-escort සේවය ලබා ගනිති. නැව් සමාගම් තමා වැඩිපුර ගෙවන රක්ෂණ මුදල ආනයන/අපනයන කරුවන්ගෙන් අය කරගනිති. ආනයන/අපනයන කරුවෝ මේ වැඩිපුර ගෙවන නැව් ගාස්තුව පාරිභෝගිකයාගෙන් අයකර ගනිති. මේ අතර සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට උන්ඩියල් ක්‍රමයට මාස් පතා හොඳ මුදලක් ලැබේ.
දැන් සෝමාලි මුහුදු මංකොල්ලකාරයන් ගැන වැඩිය අසන්න නැත. එහෙත් මේ අපූරු ව්‍යාපාරය ඉතා සරුවට සිදුවේ.
මුහුදු මංකොල්ලකාරයන්ට සතුටුය, නිකන් තුවක්කුවක් එල්ලගෙන ඉදහිට බෝට්ටුවක ගොස් මාසේ අන්තිමට යහමින් මුදලක් අතට ලැබේ.
නැව් සමාගම්වලටත් සතුටුය, ඔවුන්ට සෑහෙන විශාල ප්‍රවාහන ගාස්තුවක් ලැබේ.
රක්ෂණ සමාගම්වලටත් සතුටුය, ඔවුන් අධික රක්ෂණ මුදලක් ලබාගනී.
ආරක්ෂක සමාගම්වලටත් සතුටුය, ඔවුන් ආයුධ සමග බෝට්ටු කිහිපයක් escort එකට ලබා දී හොඳ මුදලක් ලබා ගනී.
උන්ඩියල්කාරයන්ටත් සතුටුය, ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාරය සරුවට කරගෙන යයි.
මේක නියම සතුටු සාදයක්.
--------------------------------------------------
සෝමාලියාව ලෝකයේ ඇති දුප්පත්ම රටකි. දරිද්‍රතාවය දරාගත නොහැකි තැන සෝමාලි තරුණයෝ අවි අයුධ ගෙන රජයට එරෙහිව කැරළි ගැසීය. සිවිල් යුද්ධය නිසා සෝමාලි රජය සහ එහි නාවික හමුදාව අකර්මන්‍ය විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් අවට රටවල්වල ධීවරයෝ සෝමාලි මුහුදේ මත්ස්‍ය සම්පත නෙලාගන්න විය. ඉමහත් පීඩාවකට පත් ධීවරයෝ කැරළිකරුවන්ගේ පිහිට පැතීය. කුඩා පෞද්ගලික හමුදා ලෙස සංවිධානය වූ කැරළිකරුවෝ විදේශික ධීවර බෝට්ටුවලට පහර දුන්හ. මේ වෙනුවෙන් ඔවුන් ධීවරයන්ගෙන් ගාස්තුවක් අය කළේය. මෙය හොඳ ආදායම් මාර්ගයක් බවට අවබෝධකරගත් රැකියා විරහිත තරුණයෝ වැඩි වැඩියෙන් මේ රැකියාවට අවතීර්ණ විය. නමුත් මේ ව්‍යාපාරය තිරසාර නොවීය. විදේශ ධීවර බෝට්ටු පැමිණීම නැවතීමත් සමගම මේ ආරක්ෂක සේවයේ අවශ්‍යතාවය නිම විය.
මේ අවස්ථාවේ මේ සෝමාලි ජාතිකයන් අවට මුහුදේ සංචාරය කරන අරාබි ධනවතුන්ගේ සුඛෝපභෝගී බෝට්ටු කිහිප වරක් තම අත්අඩංගුවට ගෙන කප්පම් ලබා ගත්හ. මෙය ධීවරයන්ගෙන් ලැබෙන ගාස්තුවට වඩා අධික විය. නමුත් මෙයද තිරසාර නොවීය. ධනවත් බෝට්ටු හිමියන් මේ ප්‍රදේශයට පැමිණීම සීමා කළහ.
මේ අතර මෙම සෝමාලි කොල්ලකරුවන්ට මොගඩිෂු නුවර සිට උණ්ඩියල් (හවාලා) ක්‍රමයට විදේශ රටකින් එවන ලද මුදල්, බර අවි, සහ අධිවේගී බෝට්ටු කිහිපයක් ලැබුණි. ඒ සමගම ඔවුන් මුහුදු මංකොල්ලකරුවන් බවට පත්විය. එතැන් සිට ඉහල ඇති කතාව ඇරඹෙයි.
Sunday, 31 July 2022
මෝක්ෂය මෙයයි. නිර්වාණය කුමක්ද?
මට තේරෙන අද්වෛත මොඩලය වචන දෙකක වැකියකින් විස්තර කල හැක. එනම් "මමද ඔබමය" යන්නයි.
සරල උදාහරණයක් ගමු. විශාල රත්තරන් ගොඩක් සලකන්න. එය අර්ථ දැක්විය හැක්කේ රත්තරන් ලෙස පමණි. දැන් මේ රත්තරන් ගොඩෙන් ස්වල්පයක් ගෙන ඉන් මාලයක්, කරාඹුවක් සහ වළල්ලක් සාදමු. දැන් අර රත්තරන් ස්වල්පයට මාලයක්, කරාඹුවක් ආදී වූ හැඳින්වීම් ඇත. ඊට විශේෂණ පදද එකතු කල හැක. දැන් මාලය උණු කර සළඹක් සාදමු. එයට දැන් මාලය යයි නොකියමු. එය සළඹකි. සළඹ උණු කර මුද්දක් සෑදුවොත් එය මුද්ද ලෙස හැඳින්වේ. තරමක් ගැඹුරින් සිතුවොත් මේ සියල්ලටම ඇති එකම සත්‍ය රත්තරන් යන්නයි. මාල, වළලු, මුදු, කරාඹු අවස්ථාව අනුව පෙනෙන මායාවන් පමණි.
ලොව පවතින්නේ එකම සත්‍යයයි. ඒ බ්‍රහ්මන්. අප දකින අනෙක් මුළු විශ්වයම මායාවක් (බ්‍රහ්ම සත්‍යා ජගත් මිත්‍යා). බ්‍රහ්මන් සහ මහා බ්‍රහ්මයා පටලවා ගන්න එපා (මහා බ්‍රහ්මයා ද්වෛත වේදාන්ත සංකල්පයක්). බ්‍රහ්මන් යනු නිර්ගුණ (property-less), නිර්-අර්ථ (undefinable), නිර්මාන (dimensionless), නිර්ලිංග (non-gender) භූතාර්ථයක් (Dr Nalin ගෙන් සොරාගත් මේ වචනය මම යොදන්නේ තේරුම් ගත නොහැකි යමක් කීමටයි). මුළු විශ්වයම බ්‍රහ්මන් පමණයි. සමහර විද්වතුන් බ්‍රහ්මන් dark matter/dark energy ලෙස හඳුනාගන්න උත්සහ දරනවා.
ඔබද මාද පීටර්ද මොහමඩ්ද කියා ඇති වෙනස මාල, වළලු, මුදු, කරාඹු වැනිය. මේ සියල්ලේම ඇත්තේ බ්‍රහ්මන්ය. ආත්මය නම් මේ බ්‍රහ්මන්ය. මම යනු බ්‍රහ්මන් වන අතර ඔබද, පීටර්ද මොහොමඩ්ද බ්‍රහ්මන් වේ. මෙය සමස්ථ බ්‍රහ්මන් ගෙන් වෙනස් නොවේ. අද්වෛත සහ ද්වෛත වේදාන්ත වෙනස්වන්නේ මෙතනදීය. අද්වෛත වේදාන්තය අනුව මාද, ඔබද දෙවියන්ද එකමය. ආත්මය හෙවත් බ්‍රහ්මන් නිර්ගුණ, නිර්-අර්ථ, නිර්මාන, නිර්ලිංග භූතාර්ථයක් බව නැවත මතක් කරගන්න.
ඊළඟ විස්තරයට පෙර තවත් උපමාවකින් මම මෙය වඩාත් තහවුරු කරන්නම්. බ්‍රහ්මන් මුහුදේ ජලය සේය. මම, ඔබ, පීටර් සහ මොහොමඩ් මුහුදේ නැගෙන රැලි සේය. එක් ක්‍ෂණයකට අපි අර රැල්ල, මේ රැල්ල ලෙස හැඳින් වුවත් එහි ඇත්තේ ජලයමය.
උත්පත්තියක් යනු ආත්මය පංච කෝෂයක් තුලට ඇතුළු වීමයි. මෙය ජලය බඳුනකට පුරවනවා වැනිය. පංච කෝෂ යනු; අන්නමය කෝෂ (ආහාර මගින් ඇතිවන සිරුර), ප්‍රාණමය කෝෂ (ජීව ශක්තිය), මනෝමය කෝෂ (මනස), විඥානමය කෝෂ (ඉංග්‍රීසි බසින් conscouseness ලෙස හැඳින්වෙන මේ අද්වෛත වෙදාන්තයේ එන විඥාණය සිංහලෙන් තර්ක ඥානය ලෙස හඳුන්වා දිය හැක), ආනන්දමය කෝෂ (ඉංග්‍රීසි බසින් blissfullness ලෙස හැඳින්වෙන මේ සංකල්පය සිංහලෙන් දිව්‍යමය සතුට හෝ ආනන්දජනක බව ලෙස හැඳින්විය හැක).
ජීවීන් ලෙස අප හඳුන්වන භූතාර්ථයන්ට බොහෝ විට පංච කෝෂ ඇත. සමහර භූත, ප්‍රේත, පහල තලයේ දේව කොටස්වලට අන්නමය කෝෂය හෝ අන්නමය සහ ප්‍රාණමය කෝෂ නැත. සමහර ඉහල දේව ගණයන්ට ඇත්තේ විඥානමය සහ ආනන්දමය කෝෂ පමණි, ඉහලම බඹ තලවල ඇත්තේ ආනන්දමය කෝෂය පමණි. ආත්මයක් කෝෂ තැනීම අත්හල විට එය සමස්ථ බ්‍රහ්මන් හා බද්ධ වේ. ඉන්පසු එයට අර්ථ දැක්වීමක් නැත. එය බ්‍රහ්මන්මය. මෙය මෝක්‍ෂය නම් වේ.
අද්වෛත වේදාන්තයට අනුව අපට පංචෙන්ද්‍රියයන්ට නතුවන හෝ නොවන ජීවින්, භූත, ප්‍රේත, දෙව් බඹුන් ඇතුළු සියළුම දේ (බ්‍රහ්මන් හැර) යථාර්තයන් නොවේ. ඒවා මායවන්ය. මරණය හෝ චුතවීම නම් සංසිද්ධියේදී ආත්මය එක් කෝෂ පද්ධතියක් හලා තව එකක් අල්ලා ගනී. කර්මය නම් ස්වභාවික රීතිය බලපැවැත්වෙන්නේ පංච කෝෂ මත මිස ආත්මය මත නොවේ (නිර්ගුණ භූතාර්ථයක් මත කිසිවක් බලපැවැත්වෙන්නේ නැත). මරණයෙන් මතු ඊළඟ කෝෂ පද්ධතිය තීරණය වන්නේ කෙසේද යන ආකෘති හැසිරීම මම මේ වන විට හදාරමින් සිටිමි.
දෙවියන්, ප්‍රේතයන් ආදී භූතාර්ථයන්ද මායාවේම කොටස් බැවින් ගනුදෙනු ඇතිවන්නේ එම භූතාර්ථයන් සහ පංච කෝෂ අතර පමණි. ආත්මයට කිසිම බලපෑමක් කිරීමට මේ මායාවන්ට නොහැක.
දුකට හේතුව මනස විසින් පංච කෝෂ "මම" යයි වැරදියට වටහා ගැනීමයි. සියළු ගුණ බලපැවැත්වෙන්නේ පංච කෝෂ මතයි (සතුට, වේදනාව, දුක, භීතිය, ආදී). අප අවදියෙන් සිටින විටද, තද නින්දේ සිටින විටද, සිහින දකින විටද ආත්මය හෙවත් "මම", මම යයි මගේ මනස හඳුනා ගත් මම දෙස බලා සිටියි. මෙය අප චිත්‍රපටියක් බලනවා වැනිය. චිත්‍රපටයේ මිනිසුන්ට, සතුන්ට නොයෙකුත් දේ සිදුවේ. නමුත් භෞතිකව මට එය බලපාන්නේ නැත. අප චිත්‍රපට බලන්නේ මේ නිසාය. මේ ලෙසම "මම" හා පංච කෝෂ අතර පරතරය අවබෝධ කරගත හැකි නම් "දුක" එතකින්ම නිම වේ.
Thursday, 28 July 2022
ඉහිරුණු තීන්ත පැල්ලම
මීට දොළොස් වසරකට පමණ පෙර මට චීනයේ ශාන්ෂි ප්‍රාන්තයේ (Shanxi Province) ඇති ශුංග්ලින් පන්සල (Shuanglin Temple) වෙතට යාමේ භාග්‍ය උදා විය. UNESCO ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එහි මින්ග් රාජවංශයට (Ming Dynasty) අයත් කලා කෘති ගණනාවක් ඇත. මුලින් හමුවන සෑම මුර්තියක්, සිතුවමක්ම චායාරූප ගත කරන බොහෝ දෙනෙකු ටික වෙලාවකින් එය අත හැර දමන්නේ මෙය නිමක් නොවන කාර්යයක් ලෙස වැටහෙන බැවිනි.
පන්සලේ එක් කෙළවරක ඇති බෝධිසත්ව රූපයක මුහුණේ මුර්ති ශිල්පියාට වැරදීමකින් රතු තීන්ත පාරක් ඉහිරී ඇත.
පන්සලේ සංචාරයෙන් පසු බස් රථය තෙක් පිරිස සමග පැමිණෙන මග පෙන්වන්නිය පිරිසගෙන් පැනයක් අසයි. මෙය ඇය දිනපතා පැමිණෙන සෑම නඩයකින්ම අසන දෙයක් විය හැක.
"ඔබ මේ පංසලේ දැකපු හොඳටම මතක ඇති දේ කුමක්ද?"
"එක පිළිමයක මුහුණේ වැරදීමකින් තීන්ත පාරක් වැක්කෙරී ඇත" මේ අති බහුතරයකගේ පිළිතුරයි.
ඉන් පසු එම මග පෙන්වන්නිය අපූරු විස්තරයක් කරමින් එය වැරදීමක් නොව අධිරාජ්‍යයාගේ අණ පරිදි මුර්ති ශිල්පියා සිතා මතාම කල දෙයක් බව පවසයි. පන්සලෙන් පිටවන අයට පෙනෙන ලෙස එකල අධිරාජ්‍යයා පුවරුවක් සවිකර තිබූ බවට ඉතිහාසයේ සඳහන් වෙයි. එහි ලියා තිබී ඇත්තේ
"ඔබ දුටු දහස් ගණනක් අති අලංකාර මූර්ති වලින් ඔබට මතක ඇත්තේ ඉහිරුණු තීන්ත පැල්ලම පමණයි. මින් පසු මා කල නරක දෙයක් දුට විට මෙය මතක් කරගන්න".
දහසක් තීන්ත පැල්ලම් අතර එක හොඳ පිළිමයක්වත් නොසාදන නුතන පාලකයාගේ සිට මින්ග් රාජවංශය වෙත අපි පිය නගමු.
Wednesday, 20 July 2022
ඔබට සුබ අනාගතයක් - Adiós
මා දන්නා බොහෝ දේ ලිවිය නොහැක. එයට හේතු ඇත. නමුත් ජනතා මෙහෙවරක් ලෙස මම සෑම විටම ඔබට යම් ඉඟියක් දීමට උත්සහ කලෙමි. එය කියවා ගැනීමට සමහර සහෘදයන් සමත් විය.
රනිල්; ඔහු යන්නේ රාජපක්ෂලා සිතන ගමනවත් අරගලකරුවන් සිතන ගමනවත් නොවේ. රනිල්ට ස්වාමියෙක් ඇත. ඔහුගේ ගමන එම ස්වාමියා විසින් pre-program කරන ලද්දකි. ඒ සඳහා ඔහුට ජනතා ප්‍රසාදයක් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නැත. මන්ද ඔහු පත්වන්නේ මේ කිසිවක් නොමැතිවය. මේ නිසා ඔහු ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් වග කිව යුතු නැත. එය රනිල්ගේ ගමනටම ඉඳිකළ ස්වර්ණමය මාර්ගයකි.
මේ ගමනට මම පෞද්ගලිකව දැඩි ලෙස බිය වීමි. මේ නිසාම එයට එරෙහිව මට හැකි අයුරින් හඬ නැගුවෙමි. එම හඬ අද මම නිහඬ කරමි. අද ඇති දේශපාලන ගතිකය තුල රනිල්ගේ ගමනට බාධා කිරීම ලාංකිකයාට අතිශයින්ම භයංකාරය. මේ බව අරගලය තේරුම් නොගන්නා බව මට සහතිකය. එය ඔවුන් අනාගතයේදී දුෂ්කර මාර්ගයෙන් තේරුම් ගනු ඇත. යථාර්තය තේරුම් ගැනීමට තරුණ ජවය මැලිය. එය දැඩි අවාසනාවන්ත තත්වයකි.
ඔබ වියට්නාමය සහ පිලිපීනය ගැන අධ්‍යනය කරන්න. මේ රටවල් දෙකේම නායකයන් ඇමරිකන් ගැති විය. වියට්නාම් ජාතිකයන් ඉතා ඉක්මනින් ඇමරිකන් ගැතිබාවය වැළඳ ගත් අතර පිලිපීන වැසියන් කොටසක් එයට දැඩි ලෙස විරුද්ධ විය. අද වියට්නාම් වැසියන් බොහොමයක් සතුටින් ජිවත් වෙයි. ඔවුන් තම සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ආගම (බුදු දහම) ඇමරිකන් ගැති බාවය වෙනුවෙන් අත හැරියේය. ඒ වෙනුවට ඔවුන්ට හොඳ ගෙවීමක් ලැබුණි. අද වියට්නාමය වේගයෙන් දියුණු වෙයි. ඔවුන්ට ඇමරිකන් විසා ලබාගැනීම පවා ඉතා පහසුය. පිලිපීනයේ තත්වය තරමක් වෙනස්ය.
ඔබ 2500 මෙව්වා එක ගැන ආඩම්බර වුනා පමණකි. එයින් කිසිවක් උකහා ගැනීමට හෝ එම එඩියෙන් ඉදිරියට යාමට උත්සහ කලේ නැත. අද ඔබ පමා වැඩිය. කාලකන්ණි නායකයන් රොත්තක් මත බලාපොරොත්තු තබා ඔබ හිඟන්නන්ගේ තත්වයට පත්ව ඇත. තව දුරටත් ඔබට bargaining powers නැත. මේ බව අවබෝධ කරගන්න. රනිල් පසුපස යන්න. ඔබගේ 2500 ක ආඩම්බරය සහ සංස්කෘතිය අකුළා ඉන්දියන් සාගරයට දමන්න. ජීවත්වීමට මුල් තැන දෙන්න. සමහර විට ඔබගේ මී මුණුපුරන් නැවතත් ඔය අතීත ශ්‍රී විභූතිය ගැන සිතනු ඇත. ඔවුන් වෙනුවෙන් යමක් ලියා තබන්න.
මෙතෙක් මා ලංකාවේ දේශපාලනය ගැන පැවසූ දේ කියවූ ඔබට බොහොම ස්තුතියි.







