Friday, 9 March 2018

ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class


මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි.   

ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy Martin) හෝ ඩෑල්මෝර් (Dalmore) වීදුරුවක් තොලගාන අතර එකම මේසයේ යාබද අසුනේ සිටින ඉස්ලාම් ආගමිකයෝ දොඩම්  හෝ දෙහි යුෂ වීදුරුවක රස බලමින් සතුටින් සල්ලාපයේ යෙදෙති. මස් මාංශ වල රස විඳින අනෙකුත් ආගමිකයන් අතරම හිඳ භක්තිමත් හින්දුවරු නිර්මාංශ ආහාර රස විඳිති. ඒ අතරේ හාස්‍ය රසයෙන් පිරුණු පිළිසඳර ඇසේ. 

ජෝන් ලෙනන් පැතූ පරිකල්පිත ලෝකය මෙය යැයි මට සිතුනි.


මේ වකවානුවේ දීම අකුණු ආරක්‍ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිනුම් ලබාගැනීමට මම කොටහේනේ ඉදිවන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගියෙමි. සෑම පසින්ම විවෘත වූ ගොඩනැගිලි සැකිල්ලක ඉහලම මාලයේ, ගිනි අව්වේ,  සිමෙන්ති කුඩු සහ දුහුවිලි වළා තුලින් ඇවිද මිනුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා මා නොමැතිව වෙනත් පළපුරුදු කණ්ඩායමක් යැවීම සඳහා මට එකල වත් කමක් නොවීය. අවාසනාවකට එදින මගේ ගෝලයා පැමිණියේද නැත. එබැවින් මම සිමෙන්ති බදාමය ඔසවාගෙන යන තරුණයෙකු ලඟට ගොස් "මල්ලි මට මේ ටේප් එක අල්ලන්න උදව් කරනවද? මම ඔයාට අලාබෙ ගෙවන්නම්" යැයි කීවෙමි. තමාට අදාළ නොවන වැඩකට යම් අයෙකුව ඇඳා ගෙන ලබා දෙන කුලිය අලාබය ලෙස හැඳින්වීමට ඒ දිනවල මම පුරුදු වී සිටියෙමි. 

"හරි බොස්, ලොකු බාසුන්නැහැ එන්නේ දවල් කෑමෙන් පස්සේ එතකන් ටක් ගාලා වැඩේ දෙමු. කොහොමටත් අපි දැන් කෑමට වැඩ නවත්තනවා". ඔහුට කුලියක් දෙන ඕනෑම අයෙක් බොස් ය. 

"ඒයි රංජියා, පොඩි ගේමක් තියෙනවා, ඕක දාලා වරෙන්" ඔහු වීල්බැරෝවක් තල්ලු කරගෙන යමින් සිටි තවත් තරුණයෙකුට කීවේය. ඔවුන් අතර තනිවම කෑමක් නැත. 

දැන් දෙදෙනා එකතුව කඩියන් මෙන් වැඩේ කරයි. මට ඇත්තේ ටේප් පටියේ මිනුම කියවා පොතේ ලියා ගැනීම පමණකි. විනාඩි විස්සකින් පමණ වැඩේ ඉවර විය. දෙදෙනාටම මම අලාබය ගෙව්වෙමි. එය මගේ ගෝලයා පැමිණියා නම් දිය යුතුව තිබූ මුදලයි. අළුත් ගෝලයන් දෙදෙනාට එය ඉතා ඉහල මුදලක් බව ඔවුන්ගේ මුහුණු වලින් දිස් විය. 

මේ වන විට අනෙක් කම්කරුවන් වැඩ නවත්වා කෑමට එක්වී සිටියේය. ඒ අසල, තාවකාලිකව තනාගත් ලිපක් මතවූ තැනින් තැන තැලී ගිය විශාල මුට්ටියක වතුර උණු වෙයි. පැසුණු කෙස් ඇති කෙසඟ කම්කරුවෙක් තේ කොළ පිරුණු විශාල ගොට්ටක් අතේ ඇතිව බලා සිටියි. ජලය පැසෙන විට ඔහු ගොට්ට ඒ තුලට ඇතුළු කළේය. 

මේ වන විට මගේ උගුර කට වියලී ඇඟ පුරාම දහඩියෙන් තෙත්වී තිබුණි. මා දෙස බැලූ රංජි "බොස්, කැමති නම් ප්ලේන්ටියක් ගහල යන්න" කියා කිවේය. 

මෙහි ඇති තාවකාලික සෝපානය දහවල් ආහාරය ගන්නා වෙලාවට නවත්වයි. මේ අනුව මට බිම් මහල දක්වා තට්ටු 12 ක් බැසිය යුතුය. එතැන් සිට මගේ මෝටර් රථයට වැඩබිම හරහා වූ ගිනියම් තාර පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇවිදිය යුතුය. මේ තත්වය යටතේ ලැබෙන ප්ලේන්ටිය අමෘතයකි. එබැවින් මම ක්ෂණයකින් "හොඳයි එහෙනම් බොමු" කීවෙමි. 

මා මුලින්ම කතාකළ ගෝලයා "බෙන්ජමින් අයියේ, අපේ බොස්ටත් ප්ලේන්ටියක් දාන්න" කිවේය. ඔහු අක්‍රම් නැමැති මුස්ලිම් තරුණයෙකු බව මම පසුව දැනගතිමි. 

බෙලෙක් ජෝගුවකට දැමු තේ කහට එක, තේ සෑදු බෙන්ජමින්ම පැමිණ මට පිළිගැන්විය. ඉන්පසු ඔහු පරණ ජෑම් බෝතලයක බාගෙට පුරවා තිබු සීනි ටිකක් මගේ අත්ලට දැමීමට සැදුවත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ මා එවන විටත් සීනි නොමැතිව තේ පානයට පුරුදු වී සිටි බැවිනි. 

අනෙකුත් කම්කරුවන් මෙන්ම මමද එකපිට එක තැබූ බ්ලොක් ගල් දෙකක් මත හිඳ ගතිමි. දොළහක් පහළවක් පමණ වන එම පිරිසේ සිටි බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. ඒ අතර සිංහල සහ දෙමළ කිහිප දෙනෙක්ද සිටිති. බෙන්ජමින් අයියා බර්ගර් ජාතිකයෙකි. ඔවුන් කෑම පාර්සල් දිග හැරගෙන එකිනෙකා අතර බෙදාගෙන කති. සමහරෙක් අල්ලට දමාගත් සීනි ටික ලෙවකමින් තේ කෝප්පය තොල ගාති. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කතා කරති. එතන සිටින සියලු දෙනාටම මෙම භාෂා දෙකම ව්‍යක්තව කතා කල හැකි බව මට තේරුණි. කෙතරම් කර්කශ පරිසරයක වුවත් එහි සමගිය මෙන්ම හාස්‍ය රසයද පිරී තිබුණි. 

නැවතත් මම ජෝන් ලෙනන්ගේ පරිකල්පිත ලෝකය දුටුවෙමි.


මා කුඩා කල සිටම දැන හඳුනන සියළු දෙනාම පාහේ අයත් වුයේ ලාංකික සමාජයේ පහල මධ්‍යම පංතියටය. අදටත් ඒ සියලු දෙනාම පාහේ අයිති වන්නේ පහල මධ්‍යම පංතියටය. සමහරුන් පහල මධ්‍යම පංතියේම ඉහල හෝ පහල ස්ථර වලට සංක්‍රමණය වී ඇත. එලෙසම සමස්ථයක් වශයෙන් පසුගිය දශක කිහිපයේදී සමාජ පංති තුල ඇතිවූ යම් ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ඔවුන් පංතිය පිටින්ම පහල මධ්‍යම කළාපයේ තරමක් ඉහලට එසවී ඇත. 

නූතන බටහිර වර්ගීකරණයට අනුව (Birdsall, 2010), දිනකට ආදායම ඩොලර් 10ට වඩා වැඩි ජනතාවගෙන් 95% දක්වා පිරිස මධ්‍යම පංතිය ලෙසත් ඊට ඉහල 5% ධනපති පංතිය ලෙසත් වර්ගීකරණය වෙයි. ආසියාව සඳහා මීට ඉහත කරන ලද වර්ගීකරණයන් කිහිපයක මෙම පහල අදායම් මට්ටම ඩොලර් 2 ලෙස සලකා තිබේ (Banerjee and Duflo, 2007; Ravallion, 2009). 

වසර 2009 දී මා මාස කිහිපයක් ස්වීඩනයේ ගත කල අතර එහිදී වරක් මට මහාචාර්ය ගෝරාන් සුන්ඩ්ක්විස්ට් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවීය. එතුමා ආසියානු සමාජ ක්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති ස්වීඩන් ජාතික සමාජ විද්‍යාඥයෙකි. ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි. 

"දකුණු ආසියාවේ සමාජ පංති වර්ගීකරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?"

"මට හිතෙන විදියට දෛනික ආදායම මත පදනම් වෙච්ච මේ බටහිර අර්ථ දැක්වීම් ඉතා බොළඳයි. දකුණු ආසියානු සමාජය ඉතා සංකීර්ණයි. එය වර්ගීකරණය කිරීම සඳහා අපි මිනුම් දඬු කිහිපයක් යොදා ගත යුතුයි. මෙම සමහර මිනුම් දඬු නිරීක්ෂකයා මත යැපෙන (subjective)  පරාමිති විය හැකියි". මහාචාර්ය ගෝරාන් කියාගෙන යයි.


"මට පෙනෙන විදියට ආසියාවේ බොහෝ රටවල ඉහල සහ පහල ලෙස මධ්‍යම පංතිය කළාප දෙකකට බෙදෙනවා. මෙම කළාප දෙකේ හැසිරීම එකිනෙකට බොහෝ වෙනස්. ඉහල මධ්‍යම පන්තිය හුඟක් කාරණා වලදී ධනපති පන්තිය සමග සමපාත වනවා. එහෙත් පහල මධ්‍යම පංතිය තුල විශාල උප-කුලක සහ උප-ස්ථර ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ පහල මධ්‍යම පාංතිකයන් තම වපසරිය පිළිබඳව ඇති අනවබෝධය නිසා අතිශයින් ව්‍යාකුල තත්වයට පත්වන අවස්ථා මම දැක තිබෙනවා". මේ ඔහුගේ අදහසයි.   

මහාචාර්ය ගෝරාන්ට අනුව සමාජ ස්ථරයක මට්ටම මැනීම සඳහා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ නම් එම සමාජයේ පවුල් ඒකකයකට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි සේවා සහ භාණ්ඩ ප්‍රමාණයයි.

තරුණ වියේදී මගේ කිට්ටුවන්තම මිතුරන් සිටියේ දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයකය. එබැවින් මා සමහර සති අන්ත වල මෙම ප්‍රදේශයට ගියෙමි. එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි. 

එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. මෙමගින් පැල්ලම් පළුදු වලින් තොරව ගෘහ භාණ්ඩය පවත්වා ගැනීම නිවැසියන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එහෙත් මෙම කවර මත හිඳගැනීම හෝ නිදා ගැනීම අතිශය අපහසු (uncomfortable) කටයුත්තක් විය. එහෙත් ගෘහ භාණ්ඩයේ අලුත් පෙනුමේ නාමයෙන් නිවැසියන්ද, අමුත්තන්ද මෙම ගැහැට ඉවසීය. 

කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි. 



මේ තත්වය නොයෙකුත් ආකාරයෙන් මම ලංකාව පුරාවටම දැක ඇත්තෙමි. සමහර සුඛෝපබෝගී වාහන අයිතිකරුවන් එය මිළදී ගත් දින සිටම වද වෙන්නේ එය භාවිතා කිරීමට වඩා එය ආරක්ෂා කරගැනීමටයි. ඒ එය විකුණන දිනෙක හොඳ මට්ටමෙන් පවත්වා ගැනීමටයි. වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි.   

මේ අනුව ඉහත පුටු සෙටිය හෝ මෝටර් රථය එහි අයිතිකරුවන් අයත් සමාජ මට්ටමට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි භාණ්ඩ නොවේ. එනම් ඔවුන් සැබෑවටම අයත්වන සමාජ මට්ටම සහ ඔවුන් ආයෝජනය කර ඇති සමාජ මට්ටම අතර පරතරයක් පවතී. 

ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය තුල මෙන්ම නාගරික සහ ග්‍රාමීය පහල පන්තිය (දුප්පත්) තුලද මම මේ විශේෂත්වය නොදකිමි.

ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි. 

දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ.


එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි. 


මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය. 

ඉහත කරුණු මත දැඩි මානසික ආතතියකට ගොදුරුවන සමස්ත පහල මධ්‍යම පාන්තික සමාජය නිරතුරුවම තම ව්‍යසනයට හේතු සොයයි. පංසලේ, පල්ලියේ, මංගල්‍ය-අවමංගල්‍ය උත්සවයේ, කාර්යාලයේ, කැන්ටිමේ, පාර තොටේ මෙම පිරිස හමුවන හැමවිටම වාගේ සංවාද ගොඩ නැගෙන්නේ තමා පත්වී ඇති අසීරු තත්වය පිළිබඳවයි. මෙහිදී ඔවුනට එක් කාරණයක් පසක් වෙයි. එනම් තමා තනිවී නොමැති බවයි. අනෙකාටද තමාගේ ගැටළුව ඇත. අනෙකාත් තමන්ගේ වලේ සිටීම බොහෝ දෙනෙකුට සහනකාරී හැඟීමක් ඇතිකරයි. 

උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වයට හේතුව තමාගේ පැවැත්මේ අඩු ලුහුඬු කම් බව පිළිගැනීමට මේ කිසිවෙකුත් මැලිවෙති. ඒ වෙනුවට තවත් කාරණා සිය ගණනක් ඔවුන්ගේ සාකච්චා මණ්ඩපයට පැමිණෙයි. අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, අන්‍යාගමිකයන්, අන් වර්ගයන් (ජාතින්), ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දේශපාලන දෝෂ, රැකියා ප්‍රධානීන්ගේ දෝෂ, නෑදෑයන්ගේ බලපෑම්, අසල්වැසියාගේ බලපෑම් ආදී කරුණු රාශියක් මේ අතර වෙයි. තමන්ගේ අභාග්‍යට හේතුව ලෙස තමන්ගෙන් ස්වායත්ත සාධකයක් සෙවීම මිනිස් ගතියයි. ඒ අතින් පහල මධ්‍යම පාන්තිකයා සුපිරි මිනිසෙකි. 

මෙම තත්වය මැනවින් වටහා ගත් පිරිසක්ද මෙම සමාජ ස්ථරය තුලම ජිවත් වෙයි. ඒ ජ්‍යෝතිෂ්‍යවේදීන්, කපටි දේශපාලකයන්, දුස්සීල පුජ්‍ය පක්ෂය, බඩගෝස්තරවාදීන් (දේශීය මෙන්ම විදේශීය බලවේග මත යැපෙන) ආදීන්ය. කලින් කලට ඔවුහු කුමක් හෝ රංගනයක් වේදිකා ගත කරති. ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බිම වන්නේ පහල මධ්‍යම පන්තික සමාජයයි.    



කාර්යාලීය කාර්ය සහයකයන්ගේ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රසිද්ධ නීතිඥයන්, විශේෂඥ දොස්තරවරුන්, විධායක ඉංජිනේරුවන් දක්වා කුමන රැකියාව කලත් අප බොහෝ දෙනෙක් අයත් වන්නේ මෙම පහල මධ්‍යම පන්තියටයි. තමන්ගේ මෙන්ම රටේද බොහෝ ඛේදවාචකයන්ට මුල් වන්නේ මෙම පහල මධ්‍යම පංතියයි. 

පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ. 

පහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ  ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත.

පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත. 

පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත. 

මහාචාර්ය ගෝරාන්ට අනුව මෙම තත්වයෙන් සමාජයක් ගලවා ගත හැකි එකම ක්‍රමය නම් සමාජ මානසිකත්වය (societal mindset) වෙනස් කිරීමයි. තමා ජිවත්වන සමාජ ස්ථරය තේරුම් ගැනීම සහ ඊට අනුරූපව තම සිතුම් පැතුම්, බලාපොරොත්තු (expectations), ජිවන රටාව සහ වියදම් සකස් කරගැනීම පිළිබඳව සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුව ඇත. මෙහිදී අවධාරණය කල යුත්තේ වර්තමානය තුල තමා අයත්වන සමාජ ස්ථරයේ සැබෑ ලෙස ජීවත්වීමට සමාජය හුරුකිරීම මිස ඉහල සමාජ ස්ථරයන් කරා පුද්ගල මට්ටමින් හෝ සමාජයක් ලෙස පියනැගීම වාරණය කිරීම නොවේ. 

විෂම සමාජයක ඉහත පියවර ක්‍රියාත්මක කිරීම කිරීම පහසු නැත. එහෙත් අප කෙසේ හෝ මේ සඳහා සමාජ නායකත්වයක් සොයා ගත යුතුය. 
සමාජ-නායකත්වය යනු තනි පුද්ගලයෙක් මෙහෙයවන ක්‍රියාදාමයක් නොවේ. තනි තනි වශයෙන් කිහිප දෙනෙක් එකම අදහස සමාජ ගත කරන විට සමාජ නායකත්වයක් ගොඩ නැගේ. මීට තව තවත් පිරිස එකතුවන විට සමාජ නායකත්වය වර්ධනයවෙයි. එසේම පුළුල් වෙයි. මෙම නායකත්වයේ ක්‍රමවේදය ගොඩනැගීමද එක් අයෙකුගේ කාර්යභාරයක් නොවේ. එය සමස්ත නායකත්වයේම වගකීමකි. මේ සඳහා වේදිකා රාශියක් ඇත. පහල මධ්‍යම පන්තියේම අගතිය සඳහා භාවිතා වන වතපොත, අනෙකුත් මාධ්‍ය, කාර්යාලය, පාර තොට, සාමාජීය එකතුවීම්  ආදිය සමාජයේ සුගතිය සඳහාද යොදාගත හැක. 

සමාජයේ ජිවන රටාව යහපත් වන විට එය ආර්ථික වශයෙන් සවිමත් වෙයි. සවිමත් ආර්ථිකයක් ඇති සමාජයක වාර්ගික, ආගමික, දේශපාලනික විෂමතා වියත් සංවාද (educated dialogues) බවට පත්වෙයි. එවිට බොහෝ ගැටළු, ගැටළු නොවන බව බහුතරයකට ඒත්තු යයි. 

මේ නායකත්වයට උර දීම අප සැමගේම යුතුකමකි. 

     


Sunday, 25 February 2018

එය ඔබගේ පරිකල්පනයයි - That's your imagination


මේ කථාව සිදුවන්නේ මීට වසර තුනකට පමණ පෙරය. සියලු දෙනාගේ හිත සුව පිණිස මම මේ කථාව නොලියා සිටීමට අධිෂ්ඨාන කරගතිමි. එහෙත් මාගේ බොහෝ අධිෂ්ථාන සේම මෙයද කාලයා සමග වියැකී ගියේය. එබැවින් මම එය මෙලෙසින් වදන් වලට හරවමි.

දිනක් මගේ හිත මිතුරු කාසිම් සහ ෂියා අප නිවසේ රාත්‍රී ආහාරය සඳහා පැමිණියෝය. ඔවුන් සමග ශේෂාඩ්ද පැමිණ සිටියේය. පකිස්ථානු ජාතික කාසිම් සහ ෂියා සමග මා තුල තිබුණේ මිතුරුදමකටත් වඩා සහෝදරත්වයකි. අපි ව්‍යාපාරික හවුල්කරුවෝද වූයෙමු. ඉතා විනෝදකාමී පුද්ගලයකු වන ෂියා කැනේඩියානු පුරවැසියෙකි. එබැවින් මා ඔහුව නිතර හමුවුණේ නැත. එහෙත් කාසිම් සාමාන්‍යයෙන් එකල මාස කිහිපයකට වරක් මැලේසියාවට පැමිණෙයි. 

අපි හමුවූ විට දහසකුත් දේ ගැන පැය ගණනක් කථා කළෙමු. එහෙත් ආගම අපේ මාතෘකාවක් වන්නේ ඉතාම කලාතුරකිනි. ඒද එමගින් අපිට ව්‍යාපාරික කටයුත්තකට නිමිත්තක් සාදා ගත හැකි නම් පමණි. උදාහරණයක් ලෙස අප අවසන් වරට හමුවූ විට කතාබහ කලේ සෞදි අරාබිය වෙතින් වේගයෙන් ගිලිහී යන මුස්ලිම් ලෝකයේ ආධිපත්‍ය පකිස්ථානයට නතු කරගත හැකි ආකාරය පිළිබඳවයි. එමගින් ගොඩනැගිය හැකි ව්‍යාපාරික ආකෘති පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළෙමු.

ශේෂාඩ් මැලේසියාවේ පදිංචි පකිස්ථානු ජාතිකයෙකි. ඔහු අපගේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා වරාය වාප්පු සේවා සැපයිය. ඔහු අප නිවසට පැමිණි ප්‍රථම මෙන්ම අවසන් වතාවද එයයි. 

කාසිම්, ෂියා සහ මා අතර වූ නොලියවුන රීතිය පිළිබඳව නොදත් ශේෂාඩ් පැමිණි වෙලේ සිට නොනවත්වාම තම ආගම උත්කර්ෂයට නවන්න විය. ඔහු ආචාර්ය සක්කිර් නායක්ගේ අනුගාමිකයෙකි. ඔහු පවසන්නත් පෙරම මට ඒ බව වැටහුනේ ඔහුගේ තර්ක විතර්ක සක්කිර් නායකගේ ක්‍රමවේදයන් සමග හරියටම සමපාත වූ බැවිනි. 

කාසිම් කිහිප විටක්ම කතාව වෙනතකට ගෙනයාමට උත්සහ දැරුවත් එය නිෂ්ඵල විය. මම බොහෝ විට ශේෂාඩ් පවසන කරණා පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වමින් මුනිවත රැක්කෙමි. 

ඔහු නොයෙකුත් ආකාරයෙන් මාව කතාවට ඇද ගැනීමට උත්සහ කලත් එය සාර්ථක වුයේ නැත. ඔහු සක්කිර් නායක් කියාදී ඇති සියළුම ක්‍රම සහ උපාය මාර්ග යොදා ගන්න විය.


"මට ඔබගෙන් ප්‍රශ්ණ කිහිපයක් ඇසිය හැකිද" මගේ අනවධානය දරාගත නොහැකි වූ තැන ශේෂාඩ් ඇසීය.

මදක් සිනහසුණ මම "කිසිම ගැටළුවක් නැහැ ඔබට ඕනෑම දෙයක් ඇසිය හැකී" යැයි කිව්වෙමි. ඉන්පසු ඔහු කතාකිරීමට පෙර තවත් කොටසක් එකතු කලෙමි.

"නමුත් ඔබට හොඳටම ස්ථිරද මා දෙන පිළිතුරු ඔබට දිරවා ගත හැකිය කියා (but are you sure that you can digest my answers)" මා එසේ පැවසුවේ හේතු සහගතවය. මා කුඩා කල සිටම පුරුදු පුහුණු වී ඇත්තේ ආගම් දර්ශන පිළිබඳව බියකින් චකිතයකින් තොරව නිදහසේ සිතීමටය. ඒ සිතුවිලි වදනට නැගූ විට බොහෝ දේව වාදීන් මෙන්ම සමහර බෞද්ධයන්ද අපහසුතාවයට පත්වනු මම අත්දැක ඇත්තෙමි. 

"ඔබ ඒ ගැන වද වෙන්න එපා" ශේෂාඩ් උපහාසාත්මකව පැවසීය.

ඉන් පසු ඔහු තම පළමු පැනය ඉදිරිපත් කළේය.

"ඇයි ඔබ මෙහි ඉන්නේ (why are you  here)"

මට ඔහු අසන දෙය වැටහුනත් නොතේරුණ සේ පිළිතුරු දුනිමි. 
"මේක මගේ නිවස. ඒකයි මම මෙහෙ ඉන්නේ"

"මම ඇහුවේ ඒක නෙවෙයි. ඔබ මේ ලෝකෙට බිහිවෙලා ඉන්නේ ඇයි" ශේෂාඩ් තරමක් නොරිස්සුම් ආකාරයෙන් ප්‍රකාශ කළේය. 

"ආ ඒ මගේ දෙමව්පියන් පොඩි විනෝදාශ්වාදයක් ලබපු නිසා (That is because my parents had some fun)".  

"ඔහ් දෙවියනේ" ශේෂාඩ් ඉතා අපහසුවට මෙන්ම දැඩි නොරිස්සුම් ස්වභාවයකටද පත් විය. මගේ උපහාසාත්මක පිළිතුර ඔහුට නොවැටහේ. ඔහුගේ මුහුණේ දිස්  වුයේ "මේ මොන මෝඩයෙක්ද" යන හැඟීමයි. 

"මම අසන දේ තේරුම් ගන්න තරම් ඔබට ඉහල බුද්ධි මට්ටමක් නැහැ. ඔබ මෙලොව සිටින්නේ ලොව එකම මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේට යාඥා කිරීම පිණිසයි" ඔහු ඇසු ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දුන්නේය.

"ඒ ඔබගේ පරිකල්පනයයි (that's your imagination). එය දැරීමට ඔබට 100% අයිතිය තිබෙනවා" මම සිනහ මුසු මුහුණින් යුතුව ඔහුට පැවසුවෙමි. 

"එය පරිකල්පනයක් නොවෙයි. එයයි සත්‍යය" ශේෂාඩ්ගේ නොරිස්සුම් ස්වභාවය එන්න එන්නම වැඩි වෙයි.

"ඒකම තමයි මා එය ඔබගේ පරිකල්පනය යැයි පැවසුවේ. මැවුම්කරුවාණන් කෙනෙක් සිටින බව සහ ඔහුට යාඥා කිරීම ජිවිතයේ අරමුණ බව ඔබ පරිකල්පනය කරනවා. එහි කිසිදු වරදක් නැහැ. ඒ සඳහා ඔබට පූර්ණ අයිතිය තිබෙනවා" මම සැහැල්ලු ස්වරයෙන් පැවසුවෙමි.

මෙය ශේෂාඩ් කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් බව ඔහුගේ ඉරියව්වලින් දිස්විය. ඔහු මගෙන් බලාපොරොත්තු වන්න ඇත්තේ ඔහුගේ ප්‍රකාශයට එරෙහිව තද බල ප්‍රතිපහරයක් වන්නට ඇතැයි මට සිතේ. මුලින් තරමක් නොසන්සුන්ව සිටි කාසිම් සහ ෂියා ද මගේ සිනහමුසු පිළිතුරෙන් පසු සංවාදයට උනන්දුවක් දක්වනු පෙනුනි. 

"මෙය පරිකල්පනයක් නෙවෙයි. ඔබ එය තේරුම් ගත යුතුයි" ශේෂාඩ් තරමක රළු ස්වරයෙන් පැවසීය. එය ප්‍රකාශයකට වඩා අණ කිරීමකි.

"හොඳයි එහෙනම් ඔබ කියන්නකෝ කොහොමද ඔබ දන්නේ මැවුම්කරුවෙක් සිටින බව" මම ඇසුවෙමි.

"ඒ ගැන පැහැදිලිවම ශුද්ධ වූ ග්‍රන්ථයේ සඳහන් වෙනවා" ඔහු ඉතා ඉහල ආත්ම විශ්වාසයක් ඇතිව පැවසීය.  

"ඔබ නිවැරදී. ඔබගේ ශුද්ධවූ ග්‍රන්ථයේ සඳහන් වන බැවින් ඔබ මැවුම්කරුවාණන් පිළිබඳව හොඳ ආත්ම විශ්වාසයකින් පරිකල්පනය කරනවා. ඔබ මෙන්ම ඔබගේ මුතුන් මිත්තන්ද සිදු කර ඇත්තේ මෙයයි. ඒ පමණක් නොවෙයි ලොව ආගම් අදහන සියලුම දෙනා මෙන්ම ආගම් ප්‍රතික්ෂේප කරන සියලුදෙනාද සිදු කරන්නේ මෙයයි". මා ශේෂාඩ්ව පඹ ගාලක පැටලුවා නොවේදැයි මට සිතෙයි. ඔහු යමක් කියන්න වචන සොයයි.

"සමහර විට ඔබගේ පරිකල්පනයේ සිටින දෙවියන්වහන්සේ ඔබගේ අසල්වැසියාගේ පරිකල්පනයේ සිටින දෙවියන්වහන්සේට වඩා තරමක් වෙනස්විය හැකියි. ඊට හේතුව තොරතුරු මූලාශ්‍ර එකම වුවත් ඔබ දෙදෙනාට ඇත්තේ එකිනෙකාගෙන් ස්වායත්ත වූ පරිකල්පන නිසයි". මම දිගටම කතා කලෙමි. 

"ආගම් පිළිබඳව වාද විවාද කරගැනීම ඉතාම නිෂ්ඵල කාර්යයක්. මන්ද මෙහිදී සිදු කෙරෙන්නේ එකිනෙකාගේ පරිකල්පන අතර යුද්ධයක් (war of imaginations) නිසාවෙනි. අනෙකාට ගෝචර නොවන තමාගේ පරිකල්පනය වෙනුවෙන් යුධ වැදීමත්, තමාට ගෝචර නොවන අනෙකාගේ පරිකල්පනයට එරෙහිව යුධ වැදීමත් හාස්‍යජනක නොවන්නේද?" මා කී දෙය ශේෂාඩ්ට තේරුණා දැයි මම නොදනිමි. 

"එතකොට ඔබ කියන්නේ මැවුම්කරුවෙක් නැහැ කියාද?". ශේෂාඩ් ගේ අරමුණ මට වැටහේ. ඔහුට දැන් කාසිම්ගේ සහ ෂියාගේ සහයෝගය අවශ්‍ය වී ඇත. ඔහු මගෙන් බලාපොරොත්තුවන පිළිතුර මත කාසිම්ගේ සහ ෂියාගේ ප්‍රවිෂ්ඨය රැදී ඇතැයි ඔහු සිතන බව මට පෙනෙයි. 

"මම කොහොමද එහෙම කියන්නේ. මගේ දැනුම් සම්භාරයට අනුව මට මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳව ප්‍රත්‍යක්‍ෂ වන්නේ නැහැ. මා දන්නේ ඒ ගැන මා නොදන්නා බව පමණයි. නොදන්නා දේ ඇදහීම හෝ ප්‍රතික්ෂේප කිරීම මගේ පිළිවෙත නොවෙයි" මම පැවසුවෙමි. 

"මැවුම්කරුවෙක් සිටිනවා නම් එතුමාට ස්තුතිවන්ත වීමත් ඔහුට යාඥා කිරීමත් අනිවාර්ය බව ඔබ පිළිගන්නවාද?" ශේෂාඩ් අසයි.

"කිසිසේත්ම නැහැ. මා මෙලොවට බිහි වුයේ මට අවශ්‍ය නිසා නොවෙයි. එයට වගකිව යුත්තේ දෙවියන්වහන්සේ නම් මගේ බිහිවීම ඔහුගේ අවශ්‍යතාවයයි. ඒ වෙනුවෙන් ඔහු මට ස්තුතිවන්ත විය යුතු මිසක් එහි විලෝමය සිදුවිය යුතු නැත". මේ පිළිතුර ශේෂාඩ් අතරමං කරවිය. මෙබඳු පිළිතුරුවලට ප්‍රති පිළිතුරු දීමට ඔහු පුහුණුවී සිටින්නට නැත. 

සංවාදය බලෙන්ම ඇරඹුවේ ශේෂාඩ් විසිනි. මේ නිසා එය අවසන් කල යුත්තේ මා විසින් යයි මට සිතුණි. එබැවින් මම පහත දැක්වෙන කථාව පවසා ඔවුන්ව රාත්‍රී භෝජනයට කැඳවූයෙමි. 


අත්ලාන්තික් සාගරය හරහා වහළුන් ආනයනය කිරීම තහනම් වීමත් සමගම ඇමරිකාවේ වහල් හිමියන් අතර වහල් අභිජනනය බොහෝ සෙයින් ප්‍රචලිත විය. වහල් දරුවන් ලබා ගැනීම සඳහා තමාගේ අභිමතය පරිදි තෝරාගත් වහලෙක් සහ වහලියකට ලිංගිකව එකතුවීම සඳහා වහල් හිමියා අණ කරයි. 

තමාට අවශ්‍ය වන ගති ලක්‍ෂණ සහිත වහල් දරුවකු බිහිකිරීම සඳහා ලිංගිකව එක් කල යුතු වහලාගේ සහ වහලියගේ ගෝත්‍ර පිළිබඳවද වහල් හිමියාට හොඳ අවබෝධයක් තිබුණි. මේ අනුව අවශ්‍යතාවය බර වැඩ කරන්නෙකුද, වතු වැඩ කරන්නෙකුද, ගෘහ සේවකයෙකුද ආදී කරුණු අනුව වහලාගේ ගෝත්‍රය සහ වහලියගේ ගෝත්‍රය තීරණය කරනු ලබයි. සමහර විට ඥාණයෙන් ඉහල වහලෙකු අවශ්‍ය වූ විට තමාම වහලියක හා එක්වීමද වහල් හිමියා විසින් කරනු ලැබීය. ඒ තමන් ඥාණයෙන් පිරිපුන් යයි වහල් හිමියා සිතා සිටි බැවින් විය හැක. 

මෙසේ ඉපදෙන දරුවා කුඩා කල සිටම වහල් හිමියාට ස්තුතිවන්ත විය. එය ඔවුනට තම දෙමව්පියන්ගෙන් ලැබුණු හුරුවක් වන්නට ඇත. තමා මෙලොවට බිහි වුයේ වහල් හිමියාගේ කරුණාව මත යැයිද ඔහුට හෝ ඇයට ආහාර, ඇඳුම් පැළඳුම් සහ හිසට සෙවන ලැබෙන්නේ වහල් හිමියාගේ අනන්ත වූ පරිත්‍යාගශීලී බව නිසා යැයිද ඔවුහු තරයේ විශ්වාස කළහ. එබැවින් ඔවුන් දිවා රාත්‍රී වහල් හිමියාගේ සේවයට කැපවූ අතර නිරන්තරයෙන් ඔහුට ප්‍රශංසා කළහ. 


මට හැඟෙන ආකාරයට, අපට ප්‍රත්‍යක්‍ෂ වන්නේද ප්‍රඥා ගෝචර වන්නේද මේ ජීවිතය පමණක් බවයි. "මම" යන අතිශයින් සංකීර්ණ වූ භූතාර්තයේ මේ ජීවිතයෙන් එපිට පැවැත්ම අප සියළු දෙනාටම පරිකල්පනයක් පමණකි. එසේ පැවැත්මක් ඇත මෙන්ම පැවැත්මක් නැත යන්නද පරිකල්පනයන්ය. 

එසේ පැවැත්මක් ඇත යැයි පරිකල්පනය කරන අය එම පැවැත්ම තීරණය කිරීමේ සාධකය පිළිබඳව ඉන්පසු පරිකල්පනය කරයි. එබ්‍රහ්මික ආගම් අදහන සියලු දෙනා එය දෙවියන්වහන්සේ ලෙසද, බෞද්ධයන් එය කර්මය ලෙසද, හින්දු බැතිමතුන් එය ඉහත සාධක දෙකේ සම්මිශ්‍රණයක් ලෙසද, බොහෝ නිදහස් චින්තකයන් එය සම්භාවිතාව ලෙසද පරිකල්පනය කරයි. 

මා දකින ආකාරයට මේ කිසිඳු පරිකල්පනයක වරදක් නැත. යමෙකුගේ පරිකල්පනයේ හරි වැරදි බව ප්‍රශ්න කිරීමට අනෙකෙකුට අයිතියක් හෝ හැකියාවක් ඇත්තේද නැත. එසේ කිරීමට උත්සහ ගැනීම තුලද ඇත්තේ හාස්‍යයකි. එය හොඳම සිහිනය තෝරනවා වැනි නිෂ්ඵල ක්‍රියාවකි.

සියළු ගැටළු ආරම්භ වන්නේ මෙම පරිකල්පන තුලින් මෙලොව දී ප්‍රායෝගික වන කටයුතු ක්‍රියාවට නංවන්න යාමේදීය. විශේෂයෙන්ම තමන්ට දෙවියන් විසින් පවරන ලද අරමුණක් (God-given purpose) ඇතැයි පරිකල්පනය කරන්නෝ මිහිපිට අපායක් කරන අවස්ථා නිමක් නොමැතිව අපට අසන්න දකින්න ලැබේ. 

තමාගේ ඇදහීම හෝ දර්ශණය කුමක් වුවත් එය පරිකල්පනයෙන් ඔබ්බට ගෙන ඒමේදී අනෙකා මත තම පරිකල්පනය පැටවීමට කිසිවෙක් උත්සහ නොගන්නේ නම් එලොව කෙසේ වෙතත් මෙලොව සුරපුරක් වනු ඇත. 








Sunday, 11 February 2018

මහ පොළවේ යථාර්තය


මීට වසර දෙකකට පෙර මා මැලේසියාවේ ජොහොර් බාරු නගරයේ සංචාරයක නිරත වන අතර සිංගප්පුරු ජාතික ලී චෙන් මහතා අහම්බෙන් හමු විය. ගොඩනැගිළි ඉංජිනේරුවකු වූ ලී වයස අවුරුදු 70 පමණ වන වයෝවෘධ වෘත්තිකයෙකි. මා අකුණු ආරක්ෂණ තාක්ෂණයෙහි යෙදී සිටින්නකු බැවින් අප අතර ව්‍යාපාරික හවුල්කාරිත්වයක් ගොඩ නගා ගත හැකි බව හැඟී ගියෙන්, අපි හරිත තේ ජෝග්ගුවක් සමග පිළිසඳරට වන්නෙමු. බොහෝ මාතෘකා පසුකොට අපි දෙරටේ සාමාජීය කරුණු පිළිබඳව සාකච්චාවකට අවතීර්ණ වූයෙමු.

"ඔබට බිය නැද්ද මැලේසියාව කවර අවස්ථාවක හෝ සිංගප්පුරුව ගිල ගනී කියා" මම සිනා මුසු ස්වරයෙන් ඔහුගෙන් ඇසුවෙමි.

"අපි හැමෝම අතරේ එහෙම බරපතල බියක් තිබුණා මීට අවුරුදු 40ට විතර කලින්" ලී පැවසුවේ තරමක බැරෑරුම් ස්වරයකිනි.

"දැන් නම් මැලේසියාව බය ඇති අපි ඒගොල්ලන්ව ගිල ගනී කියලා" ලී එක වරම මහා හඬින් සිනාසෙමින් පැවසුවේ අසළ සිටි කිහිප දෙනෙකුගේද අවධානය අත් කරගනිමිනි.

එතනින් නිමවූ අපේ කතාව නැවතත් මගේ මතකයට නැගෙන්නේ අද පිටවන පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමගමය.


භූමියෙහි ජිවත්වන බොහෝ සත්වයන්ට පොදු වූ එක් ධර්මතාවයකි. එනම් තමා ජිවත්වන බිම් කඩෙහි අයිතිය පිළිබඳව ඇති විමසිලිමත් භාවයයි. සත්වයෝ තම බිමෙහි සිමා නිර්ණය සඳහා නොයෙකුත් ක්‍රම භාවිතා කරති. මුත්‍රා කිරීම, වසුරු සහ ඛේටය දැමීම, ගස් වැල් වල අං ඇතිල්ලීම හෝ උලා කෑම මගින් සලකුණු යෙදීම මේ මායිම් සනිටුහන් කිරීමේ ක්‍රමවේද කිහිපයකි. පක්ෂීන් සහ මත්ස්‍යයන් පවා තම සිමා මායිම් කියා පෑමට නොයෙකුත් ක්‍රම භාවිතා කරන බව සොයාගෙන ඇත. 

මෙසේ තමාගේ භූමි අයිතිය, තමා අයත්වන සත්ව කොට්ඨාශයේ අන් සතුනට පෙන්වීම සහ ඒ අයිතිය වෙනුවෙන් සටන් කිරීම බොහෝ සතුන් විසින් මූලික කාරණාවක් මත සිදුකරයි. එනම් තම ආහාර සහ ලිංගික අවශ්‍යතා සඳහා ඇතිවන තරඟය අවම කරගැනීමයි.  

තවත් එක් සත්ව විශේෂයක් වන මිනිසාටද මෙය පොදු වූ කරුණකි. එහෙත් මිනිසාගේ අවශ්‍යතා ආහාර සහ ලිංගික ඕනෑකම් වලින් බොහෝ ඔබ්බට දිවෙයි. භෞතික අවශ්‍යතාවලට අමතරව ඔවුන් නාමිකව අර්ථ දක්වා ගත් ජාතිය, ආගම, කුලය, සමාජ තලය වැනි වෙනත් භූතාර්ථ රැකගැනීම වෙනුවෙන්ද භූමියෙහි අයිතිය පවත්වා ගැනීමට යත්ත දරයි. 

මා දකින ආකාරයට අනෙක් සත්වයාට අදාළ නොවූ මේ භෞතික නොවන භූතාර්ථ, භූමියෙහි අයිතිය සමග අනුයුක්ත කරන්න ඇත්තේ නායකත්වයේ පැවැත්ම උදෙසාය. මේ මගින් නායකයා වෙනුවෙන් සටන් කිරීමට පොදු මිනිසාව පොළඹවා ගැනීම පහසු වන්න ඇත.


ලෝකයේ රටවල් රාශියක ජනතාවගේ මෙම භූමියෙහි අයිතිය පිළිබඳව ඇති ආකල්ප විශ්ලේෂණය කරන අයෙකුට විශේෂ කාරණාවක් නිරීක්ෂණය කල හැක. එනම් භූමිය අහිමි වෙතැයි ජනතාව අතර ඇති බිය දරිද්‍රතාවයට අනුලෝමව සමානුපාත වන බවයි. ඇමරිකාවේ සහ දකුණුදිග යුරෝපයේ සමහර රටවල පසුගිය වසර කිහිපය තුල වැඩි දියුණු වෙමින් පවතින විරැකියාව සහ දුප්පත්කම (සංවර්ධිත රාජ්‍යයක අංකනයන්ට සාපේක්ෂව) එම ප්‍රදේශවල ජනතාවගේ භූමි අයිතිය පිළිබඳව ඇති බිය තීව්‍ර කර ඇති බව පෙනේ. 

සිංගප්පුරුව පිළිබඳව ලී මහතාගේ විවරණය ඉහත නිගමනය සනාථ කරයි. සිංගප්පුරු ජාතිකයා දරිද්‍රතාවයෙන් මිදෙන විට තමා කෙතරම් කුඩා වුවද අසල්වැසි මැලේසියානු යෝධයාගෙන් ඇතිවිය හැකියැයි සිතෙන නොයෙකුත් ආකාරයේ ආක්‍රමණිකත්වයකට ඇති බිය පහව ගොස් ඇත. ලී කිවා සේම අද මැලේසියාව බියවී ඇත. සිංගප්පුරු ජාතිකයන්ට මැලේසියාවේ ඉඩම් මිළදී ගැනීම අපහසු කරවනු වස් (විශේෂයෙන්ම සිංගප්පුරුවට යාබද වූ ජෝහොර් ප්‍රාන්තයෙහි), ඔවුන් නොයෙකුත් අණ පනත් පනවයි. 

දුපත්වල හෝ කුඩා රාජ්‍යයන්හි සිටින මිනිසුන් තුල භූමියෙහි අයිතියට ඇති බිය "කොදෙව් මානසිකත්වය" නමින් හැඳින්වෙයි. මම මේ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරමු. ඉතා ඉහළ ජාතික ඒක පුද්ගල අදායමක් ඇති සිංගප්පුරුව, බෘනෙයි, තායිවාන් වැනි කුඩා රාජ්‍යවල වැසියන් සමග ඔබ අදහස් හුවමාරු කරගෙන ඇත්නම් ඔබ මගේ මතය පිළිගනු ඇත. හයිටි වැනි කුඩා දුපතක් වුවද ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක් වුවද රටේ දරිද්‍රතාවය ඉහල නම් ජනතාව තුල භූමිය නැතිවේ යැයි පවතින බිය ඉහල තලයක පවතී. 

"භූමියේ අයිතිය නැතිවේ යැයි ඇති බිය (land insecurity)" සහ "දේශප්‍රේමය (patriotism)" යනු ඉතා දුරස්වූ කරුණු දෙකකි. ජපානයේ, දකුණු කොරියාවේ මෙන්ම යුරෝපයේ බොහෝ රටවල වැසියන්ද ඉහළ දේශප්‍රේමයක් ඇති පුද්ගලයන් බව මම අත්දැකීමෙන් දන්නෙමි. එහෙත් ඔවුන් තුල භූමියේ අයිතිය නැතිවේ යැයි බියක් නොපවතී.  

සැබෑ දේශප්‍රේමය ඇති ජනතාවගේ පොදු ලක්ෂණ මෙසේය. ඔවුන් තම රට වෙනුවෙන් කාර්යක්ෂමව සහ යුහුසුළුව වැඩ කරයි. අන්‍යයන් කෙරේ ගෞරවාන්විත වෙයි. පුද්ගල මෙන්ම සාමුහික මට්ටම් වලදීද දුෂණය සහ වංචාව අවම මට්ටමක පවත්වා ගනියි. මේ සියල්ල සාරාංශ කල විට කිව හැක්කේ දේශප්‍රේමය යනු රටක ජනතාව එම රටෙහි උන්නතිය වෙනුවෙන් පුද්ගල මට්ටමේ සිටම උපරිමයෙන් දායක වීමයි. 


භූමියේ අයිතිය නැතිවේ යැයි බිය ඇති සමාජයක හැසිරීම මීට වඩා වෙනස්ය. ඔවුන් ජාති, ආගම්, සමාජ පංති ලෙසින් බෙදී නිතර එකිනෙකාට චෝදනා කරගනියි. මීට හේතුව තමාගේ අසල්වාසියා ද්‍රෝහී වනු ඇතැයි පවතින සැකයයි. තමාගේ පන්තියේ සිටි අයෙක් ඉන් මිදී ඉහල පන්තියකට යාම බොහෝ විට ජාති ද්‍රෝහිබව ලෙස අර්ථ දැක්වෙයි. ඔවුන් අතර අසමගිකම් බේද බින්න ඇති කිරීම පහසුය. නිතරම සටනට හිත යොමු කෙරෙනවා මිස මෙබඳු සමාජයක ඵලදායි කර්තව්‍යයක් කෙරෙන්නේ නැත. අවස්ථාවාදීන්ට මෙබඳු සමාජයක් පහසුවෙන් තම ග්‍රහණයට ගත හැක. 

දරිද්‍රතාවයෙන් පෙලෙන රටක ජනතාව භූමිය නැතිවේ යැයි ඇතිකරගන්නා බිය මුසු හැඟීම එම ජනතාවගේ වරදක් නොවේ. එය සියලු සත්වයාගේ ස්වභාවයයි. නැණවත් දේශපාලකයා මෙන්ම කපටි දේශපාලකයාද මේ බව මැනවින් වටහා ගැනීමෙන් එම සමාජයේ පාලන බලය අත්පත් කරගනියි. 

නැණවත් දැහැමි පාලකයා මෙසේ උපක්‍රමිකව ලබාගත් බලය යොදවන්නේ රටේ දරිද්‍රතාවය සිඳුවා, භූමිය නැතිවේ යැයි බියෙන් වෙසෙන ජනතාව සදාකාලික දේශප්‍රේමින් කිරීමටය. එසේ පාලන බලය ලබා ගන්නා කපටි කෛරාටිකයා තමා දේශප්‍රේමියෙකු යයි හඳුන්වා ගනිමින් ජනතාව තුල ඇති භූමිය අහිමිවීමේ බිය තව තවත් වර්ධනය කරයි. එමගින් ඔහු තමන්ගේ සහ සහචරයන්ගේ මඩිය තර කරගනී.

ලංකාවේ මට මතක ඇති කාලයක වැඩිම FB පෝස්ට් සහ කොමෙන්ට් ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල පළවුයේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ අභිනය පිළිබඳවයි. මිතොටමුල්ල කුණු කන්ද නාය ගිය විට හෝ මහා බැංකු වංචාව සම්බන්ධයෙන්වත් එතරම් තීව්‍ර උද්‍යෝගයක් ජනතාව තුල තිබුණේ නැත. ලාංකික සමාජයේ ඇති භූමිය අහිමිවෙතැයි තිබෙන බිය පිළිබඳව මෙය පැහැදිලි උදාහරණයකි. 

ලංකාවේ පාලන බලය ලබාගැනීම හෝ පවත්වා ගැනීම පිළිබඳව බලාපොරොත්තු ඇති ඕනෑම දේශපාලන පක්ෂයක් මෙම මහපොළවේ යතාර්ථය තේරුම් ගත යුතුය. මෙය තේරුම් ගත නොහැකි පක්ෂය හෝ පුද්ගලයා අන්ත මෝඩයෙකි. ඔහුට ලංකාව වැනි රටක දේශපාලන පැවැත්මක් නැත. 

මුලින්ම කල යුත්තේ ජනතාවගේ ඇති බිය යටපත් කර ඔවුන්ගේ චිත්ත ධෛර්යට ප්‍රාණ වායුව ලබා දීමයි. මේ සඳහා දේශපාලකයා බොහෝ සෙයින් උපායශීලි සහ උපක්‍රමශීලි විය යුතුය.

උදාහරණයක් ලෙස බ්‍රිගේඩියර්වරයාගේ අභිනය සලකමු. එය නොවිය යුත්තකි. මන්ද එයින් ජාත්‍යන්තරව ලංකාව අපහසුතාවයට පත් කිරීම සඳහා සතුරාට ආයුධයක් ලැබීමයි. එහෙත් මෙහිදී ලාංකාවේ පාලකයා උපක්‍රමශිලී වුවා නම් ජාත්‍යන්තරය තුල රටේ ජාමද බේරාගෙන, බ්‍රිගේඩියර්වද ගලවාගෙන, ලාංකික ජනතාවගේ සිත්සතන් තුල අභිමානයද වඩවා, තමන්ගේ දේශපාලන ප්‍රතිරුපයද ගොඩනගා ගත හැකිව තිබුණි.  



මේ සඳහා දියත් කළ යුතුව තිබුනේ සරල උපක්‍රමයකි. "රජයක් ලෙස අප මෙම අභිනය කිසිසේත් අනුමත නොකරන නමුත් තම රට ජාතියට නින්දිත ලෙස අපහාස කරන පිරිසක් හමුවේ මෙබඳු පියවරක් ගැනීමට අපගේ නියෝජිතයාට අකමැත්තෙන් වුවත් සිදුවූ බව කාරුණිකව තේරුම් ගන්නා ලෙස ජාත්‍යන්තරයට ඉල්ලීමක් කරන බව" නිවේදනය කළා නම් තත්වය බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි. 

මෙහිදී බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාව හෙලා නොදකින අතරම එය උත්කර්ෂයට නංවන්නේද නොමැතිව වචන හැසිරවීමට පාලකයා දක්ෂ විය යුතුය.  

ලෝකයේ පිළිගත් රාජ්‍යයක තම රටේ ඇති තානාපති කාර්යාලය ඉදිරියේ, තම රට තුල තහනම් කල සංවිධානයක පිරිසක් ඉතා අශ්ශීල ලෙස හැසිරීම නොදුටුවාසේ සිටි බ්‍රිතාන්‍ය රජයටද මෙහිදී නිහඬ වීමට සිදුවනු ඇත. අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රකශය මීට දිනකට පසු රටේ ජනතාව ඉදිරියේ කල යුතුව තිබුණි. එසේ නම් එය ජනතාවගේ ධෛර්ය වර්ධනයට හේතුවන්නට තිබුණි. ජාත්‍යන්තර අර්බුද කළමනාකරණය (international crisis management) යනු මෙයයි. මේ සඳහා අප ඇමරිකාවෙන් උගත යුතු පාඩම් බොහෝය. 

එහෙත් ශ්‍රී ලංකා රජය මෙම සිද්ධිය එහෙම පිටින්ම අනාගත්තේය. සිදු වූ දෙය මා ලිවිය යුතු නැත. ඔවුන් ජාත්‍යන්තරයේ මෙන්ම රට තුලද පිළිකුලටත්, හාස්‍යටත්, ව්‍යසනයකටත් ලක්විය. 

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ මහපොළවේ සත්‍ය කවදාවත් තේරුම් ගැනීමට හැකිවේ යැයි මම නොසිතමි. මන්ද ඔවුන්ට ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා ලැබුන බැවිනි.  
.
.
.
.
.

සත්‍ය තේරුම් ගත්තෝ දැහැමි වේවායි පතමි.   




   





Sunday, 12 November 2017

නලීන් ද සිල්වා අපේ ඇසින්...



මීට මාස කිහිපයකට පෙර, දුරු රටකදී, සරසවියේ අපට වඩා වසර කිහිපයක් පහල කණ්ඩායම සිටි මිතුරෙකු හමුවිය. අප හා එකට ඉගෙන ගත් බොහෝ දෙනෙකු දිගු කලකට පසු හමු වුනත් අපගේ කතිකාවත එක අවස්ථාවකදී අනිවාර්යයෙන්ම යම් පොදු මාතෘකාවකට පිවිසෙයි.

"ඔබ ඩොක්ටර් නලීන් ගැන අද දවසේ සිතන්නේ කෙලෙසද?" ඔහු ඉංග්‍රීසි බසින් මගෙන් ඇසීය. 

"He is one of the rare characters that I have met with 50 shades of grey" මා දුන් පිළිතුර ඉංග්‍රීසි බසින්ම ලිව්වේ එය අර්ථාන්විත වන්නේ එවිට පමණක් නිසාය. මන්ද ඒ නමින් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් ටික කලකට පෙර තිරගත වීම නිසාය.

පෞද්ගලිකව මා මහාචාර්ය නලීන් ද සිල්වා දකින්නේ සුදු පැහැයේ සිට කළු පැහැය තෙක් වූ සියළුම අළු වර්ණයන්ගේ සංකලනයක් ලෙසටයි. ඊට හේතු පාදක වන කාරණා බොහෝ ඇත.

අදටත් අප බොහෝ දෙනෙකුට ඔහු ඩොක්ටර් නලීන්ය. ඒ අපට උගන්වන කාලයේ හෙතෙම ආචාර්යවරයෙකු වීමයි. ඔහු මහාචාර්ය පදවියෙන් පිදුම් ලබන විට අප පළමු උපාධිය නිමවා තිබුණ බව යාන්තමට මතකය. අපගේ මිත්‍ර සමාජයේදී ඔහු අපට "මහ නලියා" විය. මන්ද අපේ රැහේ තවත් නලීන් ද සිල්වා කෙනෙක් සිටි බැවිනි. ඒ පසු කලෙක කොළඹ සරසවියේ රසායන විද්‍යා මහාචාර්යධූරයට පත් වූ (දැන් SLINTEC ආයතනයේ සේවය කරන) නලීන් ද සිල්වාය. අපට වසරක් ඉහල කණ්ඩායමේ සිටි ඔහු "බටු නලියා" විය. ඒ ඔහු එතරම් උස් මහත් නොවූ බැවිනි.

එය 1987 වසරේ ජනවාරි මාසය වන්නට ඇතැයි මම සිතමි. බ්‍රහස්පතින්දා දින පස්වරු 1-2 අතර ව්‍යවහාරික ගණිතය දේශනයට මා පිය නැගුවේ අලස ආකාරයෙනි. ඊට පෙර දවස් කිහිපයේ පැවති දේශන කිසිවක මෙලෝ දෙයක් නොතේරුණු අතර දේශනය අරඹා විනාඩි 10ක් යද්දී මගේ ඇස් දෙක පියවෙන්න පටන් ගනියි.

ආචාර්ය නලීන් ද සිල්වා නැමති දේශකයෙක් පැමිණ සිය කතාව ඇරඹීය. එතැන් සිට 2010 වසරේ ජනවාරියේදී මා කොළඹ සරසවියේ ආචාර්ය පදවියෙන් සමුගන්නා තෙක්, මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නයන් හැරුණු කොට මට හමු වූ දක්ෂතම ගුරුවරයා ඔහුය. දේශනය පවතින පැයක කාලයෙන් ඔහු ව්‍යවහාරික ගණිතය උගැන්වූයේ හරියටම විනාඩි විස්සකි. ඉතිරිය ඔහු විෂයට කිසිසේත්ම අදාළ නොවන කරුණු කීමටත් තමාට රිසි සේ අන්‍යයන්ට පහර දීමටත් යොදාගත්තේය. එහෙත් විෂය ඉගෙන ගන්නා අයෙකුට මේ විනාඩි විස්සේ පාඩම හොඳටම ඇතිය. වෙනත් බොහෝ දේශකයන් පැයම කතා කලත් ශිෂ්‍යයාගේ ඔලුවට යන්නේ විනාඩි 5 ක කරුණුය. 

මේ දේශනය කෙතරම් සිත්ගත්තා දැයි කිවහොත් මම ඊට පසු සතියේ සිටම බදාදා කෑම පැයේදී NBLT ශාලාවේ පැවැත්වෙන ගවේෂකයෝ දේශනයට සහභාගී උනෙමි. එය පවත්වන්නේ ආචාර්ය නලීන් විසිනි. එවකට ගවේෂකයෝ සංගමයේ සභාපති (මට මතක ඇති ආකාරයට) වුයේ ගෙවිඳු කුමාරතුංගය. ඔහුගේ ආරාධනයෙන් මා ගවේෂකයෝ සංගමයේ සාමාජිකත්වය ලැබූ අතර එහි කමිටු නිලධාරියෙකු ලෙසද පත් වූ බවක් යන්තමින් මතකය. මේ වන විට මා ආචාර්ය නලින්ද සිල්වාගේ හොඳ ගෝලයෙකු විය. ගවේෂකයෝ කණ්ඩායම සමග අනුරාධපුර යුගයේ වැව් පොකුණු පිළිබඳව ගවේෂණයක් කිරීමටද මම ඉදිරිපත් වී සිටියෙමි. 

ආචාර්ය නලීන් ද සිල්වා ජාතික චින්තනය පිළිබඳව පලකරන අදහස් කෙතරම් මගේ සිත් ගත්තත් ඔහු එය ඉදිරිපත් කරන ආකාරයත්, දේශන අතරතුර ඔහු සමහර සිසුන්ව සමච්චලයට සහ අපහසුතාවයට ලක් කරන ආකාරයත් ආචාර්යවරයෙකුට නොගැළපෙන බව මට දිනෙන් දිනම පෙනී යන්න විය. විශේෂයෙන්ම අප අතර සිටි අන්‍යාගමික (බෞද්ධ නොවන) සිසු සිසුවියන් ඔහුගේ නිර්දය ප්‍රහාරයන්ට ඉලක්ක විය. අපගේ වසරේම ඉගෙනුම ලැබූ සුනිල් සහෝදරතුමා (ඔහු කිතුණු  පූජකතුමෙකි) ආචාර්ය නලීන්ගේ නිරන්තර ගොදුරක් විය. මේ නිසා ක්‍රමයෙන් මට ආචාර්ය නලීන් පිළිබඳව තිබූ සුභවාදී ආකල්ප හීන වන්නට විය. 

මේ අතර දේශන ශාලාවෙන් පිටතද යම් පරිවර්තනයක් සිදුවෙමින් තිබුණි. ආචාර්ය නලීන්ගේ පසු පස යන ගෝල බාලයන් පිරිසක් නිර්මාණය වෙමින් පැවතුනි. ඔවුන්ගෙන් කී දෙනෙක් තම ආචාර්යවරයාගේ දර්ශනය තේරුම් ගෙන තිබුණාදැයි මම නොදනිමි. එහෙත් ඔවුන්ට ඒකරාශී වන්නට "නලීන් සහ ජාතික චින්තනය" හොඳ වේදිකාවක් විය. ආචාර්ය නලීන් දේශන ශාලාව තුල යම් සිසුවෙකු වෙත ප්‍රහාරයක් එල්ල කල විට මෙම ගෝල බාල පිරිස එය දේශන ශාලාවෙන් පිටත ප්‍රතිරූපණය කරන්නට විය. මෙය මගේ දැඩි කලකිරීමට හේතු වුවත් ගුරුවරයෙකු ලෙස ආචාර්ය නලීන් වෙත තිබු ඇල්ම නම් අඩු නොවීය.

මේ අතර එක් දිනක් ව්‍යවහාර ගණිතය දේශනය අතරතුර ආචාර්ය නලීන් අමනුෂ්‍ය බලවේග පිළිබඳව කතා කිරීමට පටන් ගත්තේය. 

"තමුසේ මොකද හොල්මන් අවතාර ගැන හිතන්නේ" ඔහු මා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇසීය. 

"ඕවා මහා පිස්සු මනස්ගාත සර්" මම කිසිවක් නොසිතාම උත්තර දුනිමි.

තරමක රෞද්‍ර මුහුණක් මවා ගත් ඔහු "තමුසේ කොහොමද එහෙම කියන්නේ" යැයි ඇසීය.

මට කිසිවක් සිතා ගත නොහැකි විය. එහෙත් එක වරම ඊට ටික කලකට පෙර අපේ ගෙදර ඇතිවූ කතා බහක් මතකයට ආවෙන් මම මෙසේ කියන්න පටන් ගතිමි. "ඇයි සර්, කාලෝ ෆොන්සේකයි, කොවුර් මහත්තයයි ඕපන් චැලේන්ජ් එකක් කලේ...." මට කිව හැකි වුයේ එපමණකි.

"ආ තමුසේ, තමුසේ තමයි එහෙනම් මේ බැච් එකේ ඉන්න හේතුවාදී ඒජන්තයා. තමුසෙගෙයි කාලෝ ෆොන්සේකගෙයි ඔළුගෙඩි දෙක අල්ලලා බිත්තියේ හප්පනවා, මේක ඇතුලේ ඔය හේතුවාදී උලව් අටවන්න ආවොත්". ඇස් ගෙඩි උලුප්පන් දත් මිටි කමින් ඔහු මහා හඬින් ගුගුලේය. 

අන්ද මන්ද වූ මා කිසිවක් කියා ගත නොහැකිව බලා සිටියදී ඔහු විනාඩි පහක් පමණ එක දිගටම බැන වැදුනේය. ඔහු කතාව අවසන් කලේ මගේ දෙසට ඇඟිල්ල දිගු කර "ඔළු දෙකේ බූරුවා" යයි කියමිනි. එතැන් පටන් මම සරසවියේ සිසුවෙකුව සිටි මුළු කාලය තුලම ආචාර්ය නලින් ද සිල්වාගේ නිරන්තර අපහාස, උපහාස, ගර්ජනා වලට ලක් වුයෙමි.

එදා එම දේශන ශාලාවෙන් පිටතට පැමිණෙන විට මා ලේබල් කිහිපයකට පාත්‍ර වී සිටියේය. ගෝල බාලයන්ට ආචාර්ය නලීන්ගේ හේතුවාදී ලේබලය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොවිය. ඒ වෙනුවට ඔවුන් මුද්‍රණය කර තිබුනේ වෙනත් නාමකරණ කිහිපයකි. CID කාරයා, සිරිකොතෙන් පඩිගන්නා ඒජන්තයා, ආණ්ඩුවේ ඔත්තුකාරයා මින් කිහිපයකි. 

එවන විට මා සිරිකොත යනු කුමක්දැයි දැන සිටියේද නැත. "මොකක්ද මචං සිරිකොත කියන්නේ?" මා මිත්‍ර උපුල් ප්‍රනාන්දුගෙන් ඇසුවා තවම මතකය. ඇත්තෙන්ම එකල මට මේ ලේබල යම් ආශ්වාදයක් ගෙන දුනි. සමහරුන් මා සමග කතා කරන්නත් බිය ගතියක් දැක්වීම මට බෙහෙවින් විනෝදජනක විය. එහෙත් ඒ ලේබල් වල ඇති බියකරු බව තේරුම් ගැනීමට මට වැඩි කලක් නොගියේය. එජාප-ජවිපෙ භිෂණය රට වෙලාගත්තේය. වසර තුනකට සරසවි වැසී ගියේය.  

ආචාර්ය නලීන් ද සිල්වා නිකම්ම නිකම් ගුරුවරයෙකු නොවෙයි. ඔහු පවුරු බිඳින්නෙකි. විද්‍යා විෂය උගෙන සරසවියට පිවිසෙන බොහෝ දෙනෙක් තමා වටා විශාල පවුරක් බැඳගෙන පැමිණෙන්නේය. ඒ පවුර තුල සිටින්නේ බටහිර විද්‍යාවේ වහලෙකි. ඒ වහලා බටහිර විද්‍යාව ගැනද කිසිවක් නොදනී. පළමු වසර මැද භාගය වන විට බොහෝ දෙනෙකුගේ මේ ස්වයං-සිර කුටිය නලින් ද සිල්වා කඩා බිඳ දමයි. මේ සමගම ඈත ක්‍ෂිතිජය දක්වා සිසුවාගේ නිම් වළලු පුළුල් වේ. මෙය ඉතා ආශ්වාදජනක අත්දැකීමකි. එහෙත් ඔහුගේ බොහෝ ගෝල බාලයෝ නලීන් කඩා දැමූ බටහිර-විද්‍යා පවුර වෙනුවට නලීන්ගෙන්ම ගල් වැලි සිමෙන්ති ඉල්ලා ගෙන ජාතික චින්තන පවුර බැඳ ගත්තෝය. මෙය අවාසනාවන්ත තත්වයකි.

නලීන් ද සිල්වා නැමැති ගුරුවරයා තුල තිබෙන දක්ෂතා සහ ව්‍යක්තභාවය අංශු මාත්‍රයකින්වත් නලීන් ද සිල්වා නමැති දාර්ශනිකයා තුල නොතිබීම ශෝචනීය වෙයි. කොපමණ රස කෑමක් වුවද, යමෙකු ඔබගේ උගුරට බලහත්කාරයෙන් ඔබා එය කුසට පිවිසෙන තුරු කොසු මිටකින් අනී නම් සිදුවන්නේ මහත් විනාසයකි. නලීන් ද සිල්වා මේ බව තේරුම් නොගනී. එසේම තමාගේ තරාතිරම, තමා ගැටෙන පුද්ගලයාගේ තරාතිරම මෙන්ම තමන් ගැටෙනා කාරණාවෙහි ඇති වැදගත්කම වැනි කරුණු ඔහු නොසලකයි. හොල්මන් අවතාර වැනි නොවටිනා මාතෘකාවක් වෙනුවෙන් තමා වැනි උගත් ආචාර්යවරයෙක් පළමු වසර සිසුවෙකු හා ගැටී ඔහුට අවලාද නැගීම කෙතරම් නිෂ්පල ක්‍රියාවක්දැයි ඔහු නොදකියි. මෙය මම නලින්ද සිල්වා නමැති චරිතය පුරාවටම දුටුවෙමි. 

ආචාර්ය නලීන් ද සිල්වා කුමන ප්‍රහාරයන් එල්ල කලත් ඔහුට උපහාස වන අයුරින්වත් වචනයක් නොකීමට අපගේ සහ අපට ඉහල කණ්ඩායම්වල සිසු සිසුවියන් වග බලාගත්තේය. ඒ ඔහුට තිබු යම් ගෞරවයක් හේතුවෙනි. එහෙත් අපට පහල වසරේ සිසුවෙකු හා නලීන් අතර වූ සංවාදයකින් පසු මේ අයිස් කන්ද බිඳී ගියේය.

ඒ ගවේෂකයෝ මෙහෙයවන බදාදා කෑම පැයේ නලීන්ගේ දේශනයයි. ඔහු එවකට සිටි වාමාංශික නායකයන් නිර්දය ලෙස විවේචනය කරමින් සිටියේය. 

"මේ වමේ නායකයෝ කියාගන්නා එවුන් එදා ඉඳන්ම වැඩ කලේ වල් බූරුවන් වගේ" ඒ නලීන් ද සිල්වාය.    

අතුරු සිදුරු නැතිව පිරී තිබූ NBLT ශාලාවේ මැද හරියෙන්, අත ඔසවා සිසුවෙක් නැගී සිටියේය. උස, කාල වර්ණ දේහධාරී මේ සිසුවාගේ හැඩරුව සහ වාග් විලාශය මට ඉතා හොඳින් මතක මුත් ඔහුගේ නම මතක නැත (මතක අයෙක් ලියා දක්වන්න).

"ඉතින් සර්රුත් ඒ කාලේ හිටියේ ඒ ගොඩේ නේ" ඔහු කිසිඳු කලබලයක් නොමැතිව නිදිමත හඬින් කිව්වේය.

"ඔව් ඒක ඇත්ත. මාත් අවුරුදු 15කට කලින් හිටියේ එවුන් එක්ක තමයි. මම ඒක නැහැ කිව්වේ නැහැනේ" නලීන් ගුගුලේය.

"එතකොට සර් කියන්නේ මීට අවුරුදු 15ට කලින් සර්රුත් වැඩ කලේ වල් බූරුවෙක් වගේද?"

නලීන් තරමක් තිගස්සෙනු මට තාම මතකය. ටික වෙලාවක් සිසුවා දෙස බලා සිටි ඔහු "ඔව් එතකොට මාත් වැඩ කලේ වල් බූරුවෙක් වගේ තමයි" කියා මද හඬින් කිවේය.

තවමත් නිදිමත ගතියෙන්ම කතා කරන සිසුවා "එතකොට සර් තව අවුරුදු 15 කින් කිව්වොත් දැන් සර් වැඩ කරන්නේ වල් බූරුවෙක් වගේ කියලා සර්ගේ ගෝල බාලයන්ට වෙන්නේ මොකක්ද?"

චින්තන-අචින්තන වෙනසක් නොමැතිව මුළු මහත් ශාලාවම මහා හඬින් සිනාසෙන්න විය. මෙය යුගයක නිමාවක් සනිටුහන් කළේය.

ඉන්පසු ගත වූ වසර දෙක තුනේදී බොහෝ දේ සිදුවිය. ආචාර්ය නලීන් ද සිල්වා තම ගෝලයන් හරහා ක්‍රියාත්මක කල ක්‍රමවේදයන්ට එරෙහිව විද්‍යා පීඨයේ සිසු විරෝධය පෙළ ගැහෙන්න විය. මේ සටන්වලට සම්බන්ධ නොවී පසෙකට වී සිටි මා ඇතුළු මගේ මිතුරු පිරිසට පිඨයේ ශිෂ්‍ය නිලවරණය පැමිණෙන විට තව දුරටත් නිහඬව සිටිය නොහැකිවිය. ලේඛම් තනතුර සඳහා තරඟ කල මම එම සටනේ ප්‍රධාන කථිකයෙකු වූයෙමි. එතෙක් විද්‍යා පිඨයේ පාලනය කිසිඳු අභියෝගයකින් තොරව තමා වෙත නතු කරගෙන සිටි නලීන් ද සිල්වාට පක්ෂපාති කණ්ඩායම හමුවේ අපි ඉතා අඩු චන්ද පරතරයකින් පරාජය වූයෙමු. එය ජයග්‍රහණයේ ඇරඹුම විය (කාගේ ජයග්‍රහණයේ දැයි මට තවමත් නොතේරෙයි). ඊළඟ වසරේ මම කෙටි කලකට නලීන් විරෝධී පාර්ශවයේ නායකයා වුනෙමි. එවර චන්දය පැමිණෙන විට අපගේ දක්ෂ කථිකයන් කිහිප දෙනෙකුම අධ්‍යාපන කටයුතු වල සිරවී සිටියේය. එබැවින් එවර චන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට අප තීරණය කල අතර නායකත්වයෙන් මම ඉවත් වුනෙමි. ඊළඟ අවුරුද්දේ නලීන් විරෝධී පිල ජයග්‍රහණය කළේය. ඉන්පසු ගතවූ දශක තුන තුල නලීන්වාදී පිරිසට එක වරක් හෝ චන්දය දිනා ගැනීමට නොහැකි වූ බව මගේ දැනීමයි. 

ඊට පසු කාලයක එවකට උප කුලපතිව සිටි ජී එල් පීරිස් මහතාට පහත් වදනින් බැනවැදීම නිසා ආචාර්ය නලින්ද සිල්වා සරසවියෙන් නෙරපූ බව ආරංචි විය. එතැන් සිට පැවති රජයන්හි ජී එල් පීරිස් මහතා ඇමති මණ්ඩලයේ සිටින තාක් කල් නලීන් ද සිල්වා හට රැකියාව නොලැබෙන බවට කතාවක් පතුරුනි. මේ කතාව නිසා මම අවංකවම බලවත් සේ කනගාටුවට පත් වුනෙමි.   

මා තරම් ආචාර්ය නලීන්ද සිල්වාගෙන් බැට කෑ මෙන්ම ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පීඨය දෙවනත් කල සිසුවෙක් තව සිටියා දැයි මම නොදනිමි. එහෙත් එතුමා  ඉගැන්වූ විෂය දෙකටම මට ඉතා ඉහල සාමර්ථ තිබුණි. ඒ අතින් කොළඹ සරසවියේ බෝ පැල මෙන් සිටි සමහර උපාසක මහාචාර්යවරුන්ට සාපේක්ෂව මහාචාර්ය නලින්ද සිල්වා යනු සැබෑ මහත්මයෙකි. 

මගේ අවංක මතය නම් නලීන් ද සිල්වා යනු අපතේ ගිය සම්පතක් බවයි. ස්වයං-අලෙවි (self-marketing) හැකියාවෙන් ඉතා දුර්වලවීමත්, සමහර අවස්ථාවල තමන්ට තමන් අවංක නොවීමත් මා ඔහුගේ දකින පැහැදිලි දුර්වලතාවයන්ය.

තමාගේ අදහස් නිර්මාණශීලි ආකාරයෙන් අන්‍යන්ට ඒත්තු ගැන්වීමට ඔහු අසමත්විය. තමා පමණක් හැමවිටම නිවැරදිය යන අධි-මානය ඔහුගේ ගමන ව්‍යාකූල කෙරීය. ඔහුගේ මතයට එරෙහිව යමෙක් අදහස් දක්වන විට ඔහුට සඟවා ගත නොහැකි කෝපයක් ඇති වන්නේද මේ නිසා විය හැක.

එසේම තමා සම්මතයෙහි පිහිටා කටයුතු කිරීම ඔහුගෙන් අතපසු විය. තම දරුවන් ගේ පාසල සහ ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, තමාගේ ගෝල බාලයන්ගේ පවා ජිවිත අවදානමෙහි වූ තීරණාත්මක අවස්තාවක තමා සප්ත වාර්ෂික නිවාඩුව සඳහා තෝරා ගත් රට, මෙන්ම තවත් නොයෙකුත් කාරණා වලදී ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනෙකුගේ නොපැහැදීම හේතු විය. මේවා සාධාරණීකරණය කිරීමට ඔහු අපමණ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. තර්ක හිරවූ විට ශ්ලෝකයක් හෝ පවසා ගැලවීමට තරම් ඔහු දක්ෂ විය. එහෙත් තර්කයකින් දිනීම සහ හදවත් දිනීම කාරණා දෙකක් බව ඔහුට නොවැටහෙන්නට ඇත. 

ලෝකයේ කොහේ සිටියත් මා පුවතක "නලීන් ද සිල්වා" නම දුටු කල්හිම එය ඔහුගේ වේවා, ඔහු ගැන ලියුවක් වේවා වහා කියවුයෙමි. එතුමාට ලිවීමෙන් තොරව ජීවිතයක් ඇතැයි මට නොසිතෙයි. එබැවින් ඔහු තව දුරටත් ලියනු ඇතැයි පතමි. 






Thursday, 28 September 2017

නිදහස් අරකට අත නොතබව්



පසුගිය දිනක අපගේ ශ්‍රී ලාංකික මිතුරෙක් රාත්‍රී භෝජනය සඳහා අප නිවසට ආරාධනා ලැබීය. බොහෝ විනෝදබර වූ එම සන්ධ්‍යාවේ ඔහු අපූරු කතාවක් කිවේය.

"අපේ මාම කෙනෙක් ඉන්නවා නුවර. ඉස්සර නම් මුකුත් නොකර ඔහේ පැත්තකට වෙලා ඉන්න අවස්ථාවක කවුරු හරි ඇහුවොත් මොකද මාමේ කරන්නේ කියල, එයා කියන්නේ 'මේ නිකං ඉන්නවා පුතේ' කියල. හැබැයි දැන් නම් කියන්නේ 'මේ නිදහසේ ඉන්නවා පුතේ' කියල". මිතුරා කීය. 

"මොකක්ද ඉතින් ඒ වෙනසට හේතුව" මම ඇසුවෙමි.

"මාම කියන්නේ එකට හේතුව 'නොමිලේ' කියල".

"මොකක්ද ඒ කතාවේ තේරුම?" මම වික්ෂිප්තව ඇසුවෙමි.

"ඇයි ඉතින් ලංකාවේ 'නිකං' කියන වචනේ තේරුමත් නොමිලේ, 'නිදහස්' කියන වචනේ තේරුමත් නොමිලේ. ඉතින් මාම කියන්නේ නිකං ඉන්නවා කිව්වත් එකයි, නිදහසේ ඉන්නවා කිව්වත් එකයි කියල".

ඔහුගේ කතාවේ උපහාස රසය මට වැටහුනේ එවිටය. 

ලංකාවේ බොහෝ දෙනෙක් නොමිලේ දේවල් ඉල්ලා විදී බසිති. එහෙත් නොමිලේ යයි කීමට ලැජ්ජාවෙන්දෝ ඔවුන් ඒ වචනය වෙනුවට නිදහස් යන වදන භාවිතා කරයි. "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු" යයි කෑගසන කෙනෙකුගෙන් මෙහි නිදහස් යන වචනයෙන් ඔහු අදහස් කරන්නේ කුමක්දැයි අසන්න. නොමිලේ යන්නට වඩා කිසිම දෙයක් ඔහුට කිව නොහැකි වනු ඇත. නොමිලේ නොලැබෙන නිදහස් අධ්‍යාපනයකින් ඔවුනට කිසිඳු ඵලක් නැත. 

මෙසේ නොමිලේ දේවල් ඉල්ලා කෑගසන උදවියම සමහර අවස්ථාවල 'ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය' පිළිබඳවද උදම් අනනු අප දැක ඇත. ලියවී ඇති ඓතිහාසක කරුණු පෙන්වන්නේ ලාංකිකයා ඉතා මෑතක් වනතුරු නිකං කෑමේ පිළිවෙතක් අනුගමනය කර නැති බවයි. තමා ලබා ගන්නා දැනුම වෙනුවෙන් පවා ශිෂ්‍යයා විසින් ආචාර්යවරයාට ගෙවීමක් කරන ලදී. ධනවතුන් නම් කහවණු වලින්ද, ධනය නොමැත්තන් තම ශ්‍රමයෙන්ද මෙම ගෙවීම කරන ලදී. එහෙත් මේ නිකං නොගැනීමේ අභිමානය අද ලාංකිකයා වෙතින් ගිලිහී ගොස් ඇත. 


දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු දරුණු ලෙස කඩා වැටුණු රටවල් නැගී සිටීමට යත්ත දරද්දී, සියල්ලටම පෙර තම ජනතාව දෙපයින් නැගී සිටුවිය යුතු බව එම රටවල පාලකයන්ට පෙනී ගියේය. මෙහි ප්‍රතිපලයක් ලෙස සමාජයේ පහල මට්ටමේ ජනතාව නැගිටුවාලිම සඳහා මූලික මානුෂිය අවශ්‍යතා නොමිළේ හෝ සලාක ක්‍රමයක් යටතේ අඩු මුදලකට ලබා දීම ආරම්භ විය. අධ්‍යාපනය, සෞඛ්‍ය, මූලික ආහාර සහ සමහර රටවල පානීය ජලය එසේ නොමිළේ ලබා දුන් අවශ්‍යතා විය. මෙය කෙටි කාලින සැලසුමක් වූ අතර ක්‍රමයෙන් මේ නොමිළේ ලබාදුන් දේ අඩු කර, බොහෝ රටවල සම්පුර්ණයෙන්ම නවතා දැමීය. 

සමහර යුරෝපීය රටවල් ආර්ථික අතින් ඉදිරියට එද්දී ඔවුනට අධ්‍යාපනය තවදුරටත් සිසුන්ගෙන් මුදලක් අය නොකර පවත්වාගෙන යා හැකි ක්‍රය ශක්තියක් ඇතිවිය. එහෙත් ලොව කිසිම භාණ්ඩයක් හෝ සේවයක් නොමිළේ ලැබෙන්නේ නැත. ඔබට මුදල් ගෙවීමකින් තොරව යමක් ලැබෙද්දී කවරෙකු විසින් හෝ එම මිළ ගෙවිය යුතුව ඇත. යුරෝපයේ සිදුවන්නේ අධ්‍යාපනය ලබන සිසුවා (හෝ ඔහුගේ දෙමාපියන්) අධ්‍යාපනය සඳහා ගෙවිය යුතු මුදල, සමාජය විසින් ගෙවනු ලැබීමයි. මෙම ගෙවීම සිදුවන්නේ සමාජයේ සියළු දෙනාගෙන්ම අය කරන, ආදායමෙන් 35% කට අධික වූ බදු මුදලිනි.

රුසියානු සහ චීන විප්ලව වලින් පසු සමාජවාදී රටවලද මේ ලෙස සිසුවා මුදල් නොගෙවා අධ්‍යාපනය ලබන පසුබිමක් සකස් විය. මේ නොමිලේ අධ්‍යාපනය වෙනුවෙන් ඉගෙන ගත් සිසුවාට මෙන්ම මුළු සමාජයටම තම ශ්‍රමයෙන් සහ දැනුමෙන් නොයෙකුත් ආකාරයෙන් මිල ගෙවීමට සිදුවිය. මෙහිදී බොහෝ විට සිදු වුනේ රජය විසින් නියම කරන රැකියාවක්, රජය තීරණය කරන වැටුපකට කල යුතු වීමයි. මෙය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කල යුතු විය. පසු කලක, අප සැවොම දන්නා පරිදි මෙම ක්‍රමය අසාර්ථක වී ලොව බොහෝ රටවලින් විසිවී ගියේය. අද චීනය රුසියාව වැනි සමාජවාදයේ නියමුවන් වූ රටවලද අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් අධ්‍යාපනය ලබන්නා විසින් වැය කල යුතුය. එහෙත් බොහෝ රටවැසියන් මෙම ක්‍රමයට කැමැති බව ඔවුන්ගේ කතා බහේදී හැඟී යයි. නොමිලේ අධ්‍යාපනය ලබන වහළුන් වීමට වඩා තම මුදලින් ඉගෙන ගන්නා නිදහස් මිනිසුන් වීමට ඔවුන් කැමතිය. කෙසේ නමුත් මේ රටවල අද දක්වා කිසිවෙකුටත්, මුදල් නොමැති බැවින් අධ්‍යාපනය නොලැබීමේ තත්වයක් උදාවී නැත.


ලංකාවේ නිකං දෙන සංඛල්පය එහෙම පිටින්ම විකෘතියකි. කෙටි කලකට හෝ යමක් නොමිලේ ලැබෙන විට ඔවුන් එය අයිතිවාසිකමක් කරගනියි. මෙයට හේතුව වන්නේ දේශපාලුවා විසින් රටේ ජන විඥානය මත සිදුකරන ව්‍යාකූලතාවයකි. ඔවුන් ජනතාව දුප්පතුන් සහ පොහොසතුන් ලෙස ස්ථිර බෙදීමකට ලක් කරයි. ඉන්පසු දුප්පතාට නිකං කන්න දීම පොහොසතාගේ අනිවාර්ය යුතුකමක් බවට අදහසක් ස්ථාපිත කරයි. 

සැබවින්ම ලාංකික සමාජයේ දුප්පත්-පොහොසත් කියා ස්ථාවර බෙදුම් ලක්‍ෂයක් සොයාගත නොහැක. ඇත්තේ සුමට ලෙස වෙනස්වන අනුක්‍රමණයකින් යුත් සරල රේඛාවකි. පුද්ගලයන් වශයෙන් හෝ සමුහ වශයෙන් ජනතාව මේ රේඛාවේ ඉහල පහල යන (හෝ යා හැකි) බව දේශපලුවා වසන් කරයි. මන්ද ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ මෙම බෙදීම සවිමත් වන තරමටය. ඔවුන් දුප්පත්කම උත්කර්ෂයට නංවන්නේ මේ නිසාය. මේ කිසිම දේශපාලකයෙකුට දුප්පතාට අතදී ඔහුව පොහොසතෙකු කිරීමට අවශ්‍ය නැත. මන්ද එවිට ඔවුනට තවත් එක් චන්දයක් අහිමි වන බැවිනි (හෝ ඔවුන් එසේ සිතනා බැවිනි).

සමාජයක් දියුණු වන්නේ සෑම පුද්ගලයෙකුම තමන් ලබන දෙයට නියමිත සාධාරණ මිලක් ගෙවීමෙනි. කලයුත්තේ මෙම සාධාරණ මිල ස්ථාපිත කිරීමයි. එය කිරීමට පෙර සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් තම තමන්ගේ යුතුකම් පිළිබඳව අවබෝධ කරගත යුතුය. තමා සමාජයේ ඇති-හැකි අය විසින් රැක බලා ගත යුතු නැති-බැරි අය බවට දරන සිතිවිල්ල ප්‍රථමයෙන්ම බැහැර කල යුතුය. එක්කෝ තමන් ලබා ගන්න දෙයට අත්පිට මුදල් ගෙවිය යුතුය. නොඑසේ නම් ලබන ආදායමෙන් ඉහල බදු ප්‍රතිශතයක් රජයට ලබා දීමට සුදානම් විය යුතුය. 

නොඑසේ නම් සිදුවන්නේ ..... මෙතෙක් සිදු වී ඇත්තේ ...... මෙයයි;

වැඩි ප්‍රතිශතයක් ජනතාව නිකං දේවල් බලාපොරොත්තු වෙන බව දේශපාලුවා දනියි. නිකං දෙන්න රටේ ධන උල්පතක් නැත. බදු ගැසුවහොත් ඔහුට පැවැත්මක් නැත. මේ නිසා හොඳම ක්‍රමය හැකි පමණ ණය (පොලියට) ගැනීමයි. ණයට ගෙන නිකං දීමයි. එමගින් රට දිනෙන් දින අගාධයට යයි. මේ බව අප කාටත් වඩා දන්නේ දේශපලුවාය. ගිලෙන නැවකින් අනාගතයේ යමක් ලබා ගැනීමට සිහින මැවීම අනුවණකමකි. ගිලෙන්න පෙර හැකි තරම් දේ රැස් කරගෙන නැවෙන් ඉවත් විය යුතුය. එබැවින් දේශපාලුවා හැකි සෑම අයුරකින්ම තමාගේ පෞද්ගලික මඩිය තරකරගැනීමට උත්සහ කරයි. මන්ද ඔහුගේ සහ පවුලේ පැවැත්ම ඇත්තේ එතනයි. සෑම දේශපාලුවකුගේම අරමුණ මෙය බැවින් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන් එකමුතු වී සිටියි. මුදල් වංචාවකට කිසිඳු දේශපාලුවෙක් මෙතුවක් සිපිරිගෙට ගොස් නැත්තේ මේ නිසාය.... 


-----------------------------------------------------------------------------------

මැලේසියාවේ පවතින 'සුප් කිචන්' සංඛල්පය පිළිබඳව වරක් මම ලිපියක් පළ කලෙමි. මෙහිදී කෙරෙන්නේ සමාජයේ ඇති හැකි අය එකතුවී විශාල පරිමාණයෙන් නැති බැරි අයට රසවත් ආහාර වේලක් දිනපතා ලබා දීමයි. මෙය කෙරෙන්නේ පෞද්ගලික සහ ස්වෙච්චා පදනමක් මතයි. 

මෙය කියවූ මගේ මිතුරෙක් පැවසුවේ "ලංකාවේ නම් මෙහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් එපා" කියාය. ඊට හේතුව ඇසූ විට ඔහුගේ පිළිතුර වුයේ "ඕක පටන් ගත්තා වගේ නෙවෙයි, බැරි වෙලාවත් නවත්තන්න වුනොත්, කට්ටිය රටම පෙරලයි, නිදහස් ආහාර වේලට අත නොතබව් කියල". 

ඔහුගේ ප්‍රකාශය ඇත්තෙන්ම අතිශයෝක්තියක් නොවේ. අසූව දශකයේ මැද භාගයේදී ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව සංඛල්පය ගෙන එන විට සරසවි සිසුන්ට නිකං සල්ලි දෙන ලෙස ඉල්ලීමක් තියා අදහසක්වත් කිසිවෙකු තුල තිබුණේ නැත. සරසවි අධ්‍යාපනය නොමිලේ ලබා දී, මාසය අන්තිමට අතට මුදලකුත් ලබා දෙන තවත් රටක් ලෝකයේ ඇත්දැයි මම නොදනිමි. වැඩිම වුවහොත් ලැබෙන්නේ ණය මුදලකි. ඔහුගේ වාසනාවට මෙන් ඇතුලත්මුදලි මහතා තමා කල වරදෙහි බරපතලකම පිළිබඳව නියම අදහසක් ලබා ගැනීමට පෙර දැයෙන් සමුගත්තේය. 

ටික කලක් යද්දී ශිෂ්‍යයෝ "මහපොළ වැඩි කරවූ", "මහපොළට අත නොතබවූ" යන සටන් පාඨ පෙරදැරි කරගෙන මහා උද්ඝෝෂණ, පන්ති වර්ජන ඇරඹුහ. මීට වසරකට පමණ පෙර ඇතුලත්මුදලි මහතා වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයක් තුල ඉදිකළ සමරු ඵලකය සිසුන් විසින් කඩා බිඳ දැමුවේ "මහපොළ, ඇතුලත්මුදලි ගෙදරින් ගෙන ආ දෙයක් නොවේ" යැයි කියමිනි.  ඔවුන් අගයන, පිළිම සාදන, එකදු දෙසපාලුවෙකුවත් කිසිම දෙයක් ගෙදරින් ගෙනවිත් බෙදා නොදුන් බව ඔවුනට අමතක වී තිබුණි. ඔවුන්ගේ සමහර නයුවන් රටේ තිබූ බොහෝ දේ විනාශ කර දමන ලද බවද ඔවුන්ට අමතක. ඒ ලංකාවේ හැටිය.........   


නිකං දෙනවා නම් දෙමළ පත්තරේ උනත් කමක් නැත 
හැබැයි නිකං දුන්නු දෙමළ පත්තරේ වුවද නවතුවහොත් එය මහා අර්බුධයක් වනු ඇත.