Sunday, 17 September 2023

ඇත් මවට පිං අනුමෝදනා කරමු


අද අපට මොලමුරේලාගේ කාලේ මෙන් වන ඇතුන් කොටු කර මදු ගසා අල්ලා ගැනීමට නීතියෙන් ඉඩක් නැත. මා දන්නා තරමට ලංකාවේ හීලෑ ඇතුන් අභිජනනය කිරීමේ තාක්ෂණයක්ද නැත. එසේ නම් හීලෑ කරගැනීමට අලි ඇතුන් ලබා ගත යුත්තේ වනාන්තරයෙන් අලි පැටවුන් හොර රහසේ රැගෙන ඒමෙනි. 

තම පැටවා ස්ව කැමැත්තෙන් මිනිසුන්ට ලබා දීමට කිසිම ඇත් මවක් කැමති නොවන බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම වැටහෙනු ඇත. එසේ නම් අලි පැටවුන් ලබා ගත යුත්තේ කිරි එරෙන මව් ඇතින්න මරා දමාය.

කෙසේ හෝ ආගමික සංස්කෘතිය රැකගත යුතු බවට බහුතරයක් සිතනා රටක මව් ඇතින්න ඝාතනය කර ඇත් පැටවුන් පැහැරගැනීමේ වරදක් නැති විය හැක. ඒ නිසා මම එහි ගුණ දොස් විචාරීමට නොයමි.

ඊළඟ දවසේ පෙරහැරේ ඉතා ආඩම්බරයෙන් සහ ස්ව කැමැත්තෙන් කරඬුව රැගෙන වඩින පිංවත් ඇත් රජා දෙස බලාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ලබන ඔබ තම ජීවිතය සහ දරුවා දන් දුන් මව් ඇතින්නටද පිං අනුමෝදනා කරන්න. 



Saturday, 9 September 2023

නැට්ටෙන් අල්ලා ගත් පෙරහරේ අලි


පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම පිළිබඳව මගේ අදහස කිහිප දෙනෙකුම මගෙන් අසා ඒවා තිබුණි. අලි ඇතුන් නිසා සමාජය ගිනියම් වන අගෝස්තුවේ ඒ ගැන කිසිවක් ලිවිය නොයුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ අනෙක් බොහෝ කාරණා මෙන්ම පෙරහැරේ අලි පිළිබඳවද පක්ෂ විපක්ෂ දෙපිරිසම නැට්ටෙන් අල්ලාගෙන ඇති බව මට හැඟුනි.

ලොව වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සිටින අගනගරය බැංකොක් නුවරයි. ඒ සංචාරකයන් පිනවීම සඳහාය. වසර 2021 මේ අලි ඇතුන්ටත් ඇත් හිමියන්ටත් තදබල අපල කාලයක් විය. කෝවිඩ් සීමා හේතුවෙන් තායිලන්තයට සංචාරකයන් පැමිණීම ශුන්‍ය විය. මේ නිසා ජීවන වියදම අධික බැංකොක් නගරයේ තව දුරටත් තම අලි ඇතුන් නඩත්තු කිරීම බොහෝ ඇත් හිමියන්ට ඉතා අපහසු කාරණයක් විය. තම අලි ඇතුන්ද රැගෙන ඈත එපිට ගම්බද ප්‍රදේශ වලට යාමට බොහෝ දෙනා තීරණය කළහ. ඒ දිනවල අලි ඇතුන් සිය ගණනක් පාර දිගේ ගමේ යනු සුලබ දසුනක් විය. මේ අලි ඇතුන් බොහෝ දෙනෙකුට විලංගු දමා තිබුණේ නැත. ඇත් ගොව්වන් (ඔවුන් ඔහු හඳුන්වන්නේ ඇත් බාරකරු ලෙසයි) අත තියුණු උල් ආයුධ තිබුනේවත් ඇතුන්ට නොයෙකුත් ආකාරයෙන් තාඩන පීඩන කරනවාවත් කිසිවෙක් දුටුවේ නැත.

ලංකාවේ පෙරහැරේ යන අලියාට මෙන්ම පන්සලේ සිටින අලියාටද දෙපය ඈත් කල නොහැකි පරිදි යෝධ දම්වැල් දමා ඇත. බොහෝ අලි ඇතුන්ගේ දෙපාවල මෙන්ම සිරුරේ වෙනත් තැන්වලද දම්වැල් වලින් සහ හෙණ්ඩුවෙන් ඇනීමෙන් වූ තුවාල රාශියක් ඇත. ඇත්ගොව්වන් අලින්ට ඉතා කෲර ආකාරයෙන් සලකන වීඩියෝ පටි ගණනාවක් යූ ටියුබයේ සැරිසරයි. ඔවුන් බොහෝ විට සිටින්නේ අධික බීමතිනි.

වරද කොතනද?

ලංකාවේ ඇත් හිමියා සහ ඇත්ගොව්වා අතර ඇත්තේ ආර්ථික-සමාජීය වශයෙන් අහසට පොලව වැනි වෙනසකි. බොහෝ ඇත්ගොව්වන්ගේ ජීවන තත්වය ඉතා දුක්ඛිතය. ඔවුන් ඇත්ගොව්වන් වී ඇත්තේ එක්කෝ පරම්පරාවෙන් ලද රැකියාව නිසාය. නොඑසේ නම් වෙනත් රැකියාවක් නැති නිසාය. බොහෝ ඇත් හිමියන්ට ඇත්ගොව්වා ප්‍රවේණිගත දාසයකු පමණි. ඇත් ගොව්වාගේ ජීවන තත්වය ඉහල දැමීමට ඇත් හිමියන් කිසිවිටක උත්සහ නොගන්නේ මේ නිසාය. 

ගෘහස්ත කරගත් අලි ඇතුන් හෙණ්ඩුවෙන් ඇන, තලා පෙලා වැඩ කරගැනීම තායිලන්තය වැනි රටවල නවත්වා දැන් දශක ගණනාවකි. ඒ වෙනුවට අලි ඇතුන් හීලෑ කර පුහුණු කිරීමේ තාක්‍ෂණය ප්‍රගුණ කිරීම සඳහා පාසැල් සහ ආයතන ඇරඹිණි. සතුන්ට වද හිංසා නොකර ඔවුන් කීකරු කරගැනීමේ කලාව එහිදී ඔවුන් ඉහලටම ඉගෙන ගනියි. මෙම සමහර පාසල් විශ්ව විද්‍යාල තත්වයට උසස් කිරීමට දැන් තායි රජය කටයුතු කරයි. බොහෝ අවස්ථාවල ඇත් ගොව්වා සහ ඇත් හිමියා එක් පුද්ගලයෙකි. මේ නිසා ඔහු ඇතාව ආදරයෙන් රැක බලා ගනියි. දැන් මෙම පාසල් වලින් පුහුණුව ලැබු කාන්තා ඇත් ගොව්වන්ද ඔබට තායිලන්තයේදී දැකගත හැක. 

පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාජ මාධ්‍යවල මාරාන්තික සටන් කරන පිරිසටද ඊට එරෙහිව මහා දිග පදවැල් රචනා කරන පිරිසටද මම මෙසේ කියමි.

ඔබට හැකිද රජයට බලකරන්න ඇත්ගොව්වකු වීමට නම් ඒ සඳහා අනිවාර්ය පුහුණුවක් තිබිය යුතු බවට නීති ගෙන ඒමට 

ඔබට හැකිද ඇත් හිමියන්ට බලකර සිටින්න තම මුදලින් ඇත්ගොව්වන් තායිලන්තයට හෝ යවා පුහුණු කරවිය යුතු බවට 

ඔබට හැකිද ඇත්ගොව්වන්ගේ සේවය වෙනුවෙන් ඉහල වැටුපක් ගෙවා එය ගෞරවාන්විත රැකියාවක් කිරීමට බලකරන්න 

පෙරහැරේ ගියත්, පන්සලේ සිටියත්, සංචාරකයන් පිටේ තබාගෙන ගියත්, අලි ඇතුන් අවම සත්ව කරුණාවක් යටතේවත් ජීවත්වෙනවා දකින්න ඔබ කැමති නැද්ද?  එසේම ඇත්ගොව්වා ඔබත් මාත් මෙන්ම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යහපත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයෙකු විය යුතු යැයි ඔබට සිතෙන්නේ නැද්ද?  

ඔබ සටන් කල යුත්තේ මේ සඳහා නොවේද?


Sunday, 3 September 2023

මහරගම පිළිකා රෝහලේ ඛේදවාචකය


මීට වසර 10ට පමණ පෙර මම ගිලන්ව සිටි මගේ සමීපතම ඥාතියකු බැලීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. එවකට අප මැලේසියාවේ පදිංචි වී සිටි අතර රෝගියා වෙනුවෙන්ම අපි සති දෙකකට මැලේසියාවේ සිට ලංකාවට පැමිණියෙමු. ඥාතියා බැලීමෙන් පසු මගේ බිරිඳ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙක් සමග කතාබහට වැටුණු අතර මම හදිසි දුරකථන ඇමතුමක් දිය යුතුව තිබුණු බැවින් මෝටර් රථය වෙත පැමිණියෙමි.

රියඳුරු අසුනේ හිඳ දුරකථන ඇමතුමෙහි යෙදී සිටින විට මට අසල බිත්තියක වූ දසුනක් නෙත ගැටුණි. වහා වාහනයෙන් පිටතට පැමිණි මම එහි ඡායාරූපයක් ලබා ගතිමි. එහි වුයේ ගොඩනැගිල්ලේ අකුණු සන්නයකයේ සිට පැමිණෙන down conductor එක ආධාරකය ලෙස ගෙන සවි කර ඇති විදුලි රැහැනකි. බැලූ බැල්මට එම විදුලි රැහැන අළුතෙන් සවි කරන ලද්දකි. මෙය අකුණු ආරක්ෂණයේ මූලික සිද්ධාන්තයක් කඩ කරන ඇතුලේ ඇති උපකරණ වලට බලවත් හානි පැමිණිය හැකි ක්‍රියාවකි.

නිවසට පැමිණි විගස මම එවකට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කල මගේ බිරිඳගේ නැගණිය අමතා මේ බව පැවසුයෙමි. ඇය පවසා සිටියේ බාහිර පෙනුමෙන් බොහෝ විට මේ ගොඩනැගිල්ල ඊට ටික කාලයකට පෙර ඉතා අධික මිලක් ගෙවා මිලදී ගත් sychrotron යන්ත්‍රය සවිකළ ස්ථානය විය හැකි බවයි. ඉන් පසු මම සියලු වැඩ පසෙකලා ඇය ලබා දුන් ඊමේල් කිහිපයකට මේ සිද්ධිය සහ එහි බරපතල කම පිළිබඳව දන්වා යැව්වෙමි. ඒ එම ආයතනයේ ඉහලම නිලධාරින් කිහිප දෙනෙකුටය. ඒ කිසිවෙකුගෙන් මට පිළිතුරක් හෝ ලැබුණේ නැත.

අප මැලේසියාවට යාමට දිනකට පෙර පුවත්පත් සිරස්තලය වුයේ පෙරදින කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල අකුණු කුණාටුව නිසා මහරගම පිළිකා රෝහලේ ඉතා වටිනා උපකරණයකට රුපියල් කෝටි ගණනක හානි සිදුවී ඇති බවයි. මගේ නෙතට කඳුලක් මෙන්ම හිතට යම් වරදකාරී හැඟීමක්ද මතුවිය.

මේ අනතුර පිළිබඳව අදටත් මහරගම පිළිකා රෝහලේ නිලධාරීන්ට මතක ඇතැයි මම සිතමි. කිසිවෙකුට වරද පැටවිමටවත් කිසිවෙකු අපහසුවට පත් කිරීමටවත් මට අවශ්‍ය නැත. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂණ පියවරක් ගෙන නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි පමණක් මම ඉල්ලා සිටිමි. 

Saturday, 26 August 2023

සිංගප්පුරු වැසියෙකු සේ සිතමු

"ඔබට ලංකාව සිංගප්පුරුවේ මට්ටමට දියුණු කල යුතු නම් මුලින්ම සිංගප්පුරු වැසියකු සේ සිතන්න". මේ පෝස්ට් එකට ඉතාම වටිනා අදහස් (එහෙත් විවිධ කෝණ වලින්) පලවී තිබෙනවා. විය යුත්තේ මෙයයි.

විසිකළ යුතු අදහස කෙටි විය යුතු නිසා මම පලකලේ "thought provoker" එකක් විතරයි. නමුත් මෙය අප යම් ගැඹුරකට හැදෑරිය යුතු කාරණයක්.

සිංගප්පුරු වැසියන්ගේ චින්තනය තේරුම් ගැනීමට නම් අප සිංගප්පුරුවේ ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කල යුතුයි. මම මේ ගැන කලකට පෙර ඉංග්‍රීසි බසින් ලිපියක් පලකලා. මම එහි සඳහන් කරුණු කෙටියෙන් ලියන්නම්.

මැලේසියානු ෆෙඩරේෂණයට අයත් වූ  චීන සම්භවය ඇති බහුතරයක් සිටි සිංගප්පුරු ප්‍රන්තයත් මුස්ලිම් බහුතරයක් ඇති අනෙකුත් ප්‍රාන්තත් අතර 1920 ගණන්වල සිට විශාල අර්බුද මතුවී තිබුණා. 1965 දී එක රැයකින් මැලේසියාව සිංගප්පූරුව තම ෆෙඩරේෂණයෙන් එලවා දැමුවා. බොන්න ජලය නැති, අන්නාසි හැර වෙන යමක් වගා කල නොහැකි, කිසිම ආර්ථික වටිනාකමක් ඇති වත්කමක් නොමැති බිම කඩක නූගත් මිලියන කිහිපයක බඩගිනි හමුදාවක් සමග ලී ක්වාන් යූ නැමැති නායකයා තනි වුනා. 

එවකට පලවූ පුවත්පත් වාර්තා අනුව LKY කාමරයකට වී දින ගණනාවක් ආහාර නොගෙන හැඬු කඳුලින් සිටි බව පැවසෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ එවකට මැලේසියාවේ සිටි බ්‍රිතාන්‍යය තානාපති වරයා LKY හමුවී "ඔබ නැගිටින්න අපි ඔබට ආධාර කරන්නම්" යයි කී බව පැවසේ. එහිදී LKY කියා ඇත්තේ අපට අවශ්‍ය ඔබගේ ආධාර නොව ආයෝජන බවයි. ඒ වෙනුවෙන් තමන් ලෝකයට ආයෝජන සඳහා ඉතා සුදුසු වූ රටක් ලබා දෙන බවට සහතික වී ඇත. 

පසුදා ජාතිය ඇමතු LKY ජනතවට කියා ඇත්තේ ජනතාව කොන්දේසි දෙකකට කැමති නම් තමන් රටේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට එකඟ වන බවයි. 

1. රටේ ආගම්-ජාති බේදය ශුන්‍ය විය යුතුය.

2. රටේ දුෂණය-වංචාව ශුන්‍ය විය යුතුය.

ජනතාව එයට එකඟවිය. සිංගප්පුරුවේ ගමන පටන් ගන්නේ එතැන් සිටය. මේ කරුණු දෙක වෙනුවෙන් LKY ඉතා දැඩි තීරණ ගත්තේය. ඔහුගේ සමීපතම සඟයන් පවා දඟ ගෙයි දැමිය. ආගම ඇදහීම නිවසට හෝ පන්සලට-පල්ලියට සීමා විය. සංස්කෘතිය රටටම පොදු වූ විනෝදාශ්වාදය  ගෙන එන කටයුත්තක් විය. රටේ නිල භාෂාව ඉංග්‍රීසි විය. කන්තෝරුවේ කොලයක් අයථා ලෙස පරිහරණය කල කාර්ය සහයකයටද සිපිරිගෙට යාමට සිදුවිය. රථවාහන වරදක් කළහොත් මුළු මාසික වේතනයම දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය. පාරේ කෙල ගැසීම පවා සිපිරිගෙට යාමට හැකි වරදක් විය. නූගත් අලස ජනතාවක් දශක දෙකකදී විනයානුකූල කඩිසර අවංක සමාජයක් බවට පත්විය. ඔබ අද සිංගප්පුරුවේ පොලිස් රාජ්‍යයක වැසියන් ලෙස දකින්නේ මෙලෙස ගොඩනැගුනු සමාජයයි. 

LKY යනු සුර දුතයෙක් නොවේ. සිංගප්පුරුව ලොව දියුණුතම රාජ්‍යයක් වන විට LKY ඇතුළු නෑදෑ පිරිවරද ලෝකයේ ධනවත්ම පවුලක් විය. එසේම ඒ පවුලේ සාමාජිකයන් ලෝකයේ ඉහලම සරසවි වලින් උපාධි ලද උගතුන් සහ වෘත්තිකයන් විය. කෙසේ නමුත් මේ ගැන අදටත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට දොස් කියන්නේ නැත.

අප මැලේසියාවේ සිටි සමයේදී සිංගප්පුරුවට යාමට තිබුණේ අපගේ නිවසේ සිට පැය 4 පමණ drive එකකි. මේ නිසා මැලේසියාවට පැමිණෙන නෑදෑ හිත මිතුරන් සමග කිහිප වරක් අපට එහි යාමට සිදුවිය. සිංගප්පුරුව මම යාමට අකමැතිම රටකි. හේතුව එහි මිනිසුන්ගේ රොබෝ-වැනි හැසිරීමයි. ඔවුන් ඉතා විනය ගරුකය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු තුලින් මම මානුෂ්‍ය බැඳීමක් නොදකිමි. එය සමහර විට මගේ වරදක් විය හැක. 

අපට ගමනක් යනවා නම් 1965 සිංගප්පුරුවෙන් එය පටන් ගත යුතු නැත. ලාංකිකයා සාක්ෂරතාවයෙන්, දැනුමෙන්, මානසික මට්ටමින් එදා සිංගප්පුරු සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. එහෙත් අවාසනාවකට ඉරිසියාව-කුහකකම-ලේබල්ගතවීම යන ඍණාත්මක කරුණු තුනෙන් ඔවුන් යා හැකි උපරිම දරුණු මට්ටමට ලඟා වී ඇත.

ලාංකිකයා හිතන්න පුරුදු වූ දිනෙක ඔවුන් තම මනසට තමන්ම දමා ගෙන ඇති විලංගු වලින් මිදෙනු ඇත. ඒ සඳහා LKY කෙනෙක් අවශ්‍යද? ඔබ ඒ තරමටම දුර්වලද? 


Friday, 25 August 2023

බිඳුණු සිහින

ලංකාවේදී මා දුටු ඉතා ව්‍යාකූල සමාජ-ආර්ථික වාතාවරණය තේරුම් ගැනීමට මම කිහිප ආකාරයකින් උත්සහ ගතිමි. නමුත් එය නිෂ්ඵලය. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ නිෂ්පාදන හෝ ආදායම් මාර්ග කිසිවක වර්ධනයක් නැත. ඒ වෙනුවට ඇත්තේ අවගමනයකි. උද්ධමනය යම් පමණකට පාලනය කර ගෙන ඇත්තේ ආනයන සඳහා පනවා ඇති සම්බාධක මගින්ය. නමුත් ජනතාව අතරින් යම් කොටසක් අසීමිතව වියදම් කරති. මෙය සිදුවිය හැකි එකම ක්‍රමය ලෙස මා දකින්නේ අදිසි තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන කෘතීම කළමනාකරණයකි. ඒ ගැන මම තවම දැනුවත් නැත. නොදන්නා දේ කතා කල යුතුද නැත. 

මෑත ඉතිහාසයේදී ලාංකීය සමාජය බොහෝ සිහින ගොඩ නැගීය. 

අම්පිටියේ සුමන හිමි දේවගතිවරයෙකුගේ කනට ගසන විට, ඥානසාර හිමි, ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් චන්ඩින් සේ හැසිරෙන විට, වචනයක් අල්ලාගෙන නටාෂලා, සේපාල්ලාව දඟගෙයි දමන විට, තම දූ දරුවන් වෙනුවෙන් බුදු දහම රැකේවී යයි ඔබ සිහින දැකීය. 

පිටුපසින් සිටි දේශපලුවා රැකගැනීමට ආයුධ පෙන්වන නාඩගම පෙන්වා මාකඳුරේ මදුෂ්ලාව මරා දමන විට, සිපිරි ගෙයි කලබල ඇති කර සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන විට රටේ පාතාලය නැතිවේ යයි ඔබ සිහින දැකීය 

විමල් වීරවංශලා වැනි අවස්ථාවාදී මුග්ධයන් ඉදිරියේ පොලිසිය අසරණ වන විට, පොලිසියේ කෲර හස්තය අහිංසක ජනතාව තලා පෙලා දමන විට, හමුදාවේ මර්ධන හස්තය ඔබේ විරුද්ධවාදියා වෙත යොමුවන විට ඔබේ පස ජයපැන් වඩන අයුරු ඔබ සිහින දැකීය.

ඇවිදින මංතීරුවක ගල් ඇල්ලීමෙන් ඔබ්බට සංවර්ධන ව්‍යපෘති කිසිවක් හා සම්බන්ධ නොවූ, භූ - සමාජ දේශපාලනය ගැනද මෙලෝ හසරක් නොදන්නා මෝඩ පන්නයේ උද්දච්ච මිනිසෙක් රාජාසනයේ හිඳුවා, දියුණු රටක් පහල වෙතැයි ඔබ සිහින මැවීය. 

මේ කිසිවක් කිසිඳු පදනමක් ඇතිව ගොඩනග ගත් සිහින නොවේ. මේ නිසා ඒවා පැවතුනේ ඔබ නින්දෙන් ඇහැරෙන තුරු පමණි. සිහින යථාර්තයක් වනතුරු ඒ තුල ජීවත්වන මිනිසුන් මා අනන්තවත් දැක ඇත. එහෙත් ඔබ ගොඩනගා ගත්තේ යථාර්තයට ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි අභව්‍ය සිහිනය. ඒවා ඇහැරෙන විටම බිඳ වැටුනේ ඒ නිසාය. 

ලංකාවේදී මා දුටුවේ රටින් පිටවන සහ පිටවීමට පෙරුම් පුරන බහුතරයක් (සියල්ලන් නොවේ) කලකට පෙර මේ සිහින වෙනුවෙන් සිහිනවලට නතු නොවූවන් සමග සටන් කල උදවියයි. එදා යම් යම් දේශපාලකයන් වෙනුවෙන් "කන්න නැතත් ඉන්න රටක් තියෙනවා" යයි කියමින් කෑගැසූ මිනිසුන් මුලින්ම රට දමා දුවගොස් ඇත. මුදල් ගෙවා ලබන අධ්‍යාපනයට එදිරිව විලාප නැගූ අය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ඉවතට සංක්‍රමණය වෙමින් පවතී.  

රටවල් කිහිපයකම විවිධ සංවර්ධන ව්‍යපෘති වලට සහභාගී වී මා ලද අත්දැකීම් අනුව මට පහත නිගමනය කල හැක. 

බහුතරයක් මිනිසුන් සිය ආකල්ප වෙනස් කරගැනීමට සුදානම් නම් කවුරු රටින් පිට වුනත් කෙටි කලකදී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් කල හැක. 

ඒ සඳහා 

නීතියේ ආධිපත්‍යට හිස නමන්න

පාලකයන් පත්කරගැනීමේදී නිවැරදි තීරණ ගන්න 

දුෂණය-වංචාව පිටු දැකීමේ පළමු පියවර ඔබ වෙතින් පටන් ගන්න 

ඉරිසියාව සහ කුහකකම ඔබගෙන් ඈත් කරන්න 

තමා වෙත තමා විසින්ම ගසා ගෙන ඇති ලේබල් ගලවා දමන්න නොහැකි නම් අඩුම ගණනේ බොඳ කර දමන්න 

අපි ඉන් පසු ලංකාව ගොඩගන්න මාර්ග සිතියම සාදමු 



Saturday, 19 August 2023

මා දුටු ලංකාව

 

ලංකාවේ ගත කල සති තුනක කාලය තුලදී මට නිරීක්ෂණ කිහිපයක් සිදුකල හැකි විය. ඒවා මම මෙසේ පෙලගස්වමි. මා කතා බස් කල සමාජ රාමු අතර තරමක් පිටිසර දුප්පත් ගැමි පරසරයක්, නගරයේ පහල ආර්ථික ස්ථර කිහිපයක්, ත්‍රිරෝද රථ සමාජය, මධ්‍යම පන්තියේ අප සාමාන්‍යයෙන් ඇසුරු කරන නෑ සිය මිතුරන්, holiday resort හතරකදී සහ තරු පහේ හෝටල් දෙකකදී මුණ ගැසුණු පිරිස් සහ රටේ ඉතාම ධනවත් කිහිප දෙනෙකුගේ නිවෙස් වලදී හඳුනා ගත් පිරිස් විය.

ලංකාවේ පවතින්නේ අතිශයින්ම කෘතීම වූ සමාජ-ආර්ථික ව්‍යුහයකි. 

රටේ භාණ්ඩ සහ සේවා මිළ නොසිතිය හැකි තරම් ඉහල අගයක ඇත. එළවලු මස් මාළු ඉතා මිල අධිකය. කුලී රථයක ගමනක් යාමට කිලෝ මීටරයකට රුපියල් 120-160ත් අතර මුදලක් අය කරයි. ත්‍රිරෝද රථයක නම් කිලෝමීටරයට රුපියල් 80-100ත් අතර මුදලකි.

එහෙත් ආර්ථික මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් වල බඩු භාණ්ඩ පිරී ඉතිරී ඇත. රෙදිපිළි විකුණන සාප්පු සංකීර්ණ වලද සෙනග අඩුවක් පෙනෙන්න නැත. Pick Me හෝ Uber රථයක් ගෙන්වා ගැනීමට සෑහෙන වෙලාවක් ගතවේ. ත්‍රිරෝද රථ බොහෝමයකද පාරිභෝගිකයෙකු නැති අවස්ථාවක් සොයා ගැනීම අසීරුය.

පන්ති බේදයකින් තොරව මා කතා බස් කල බොහෝ දෙනා රටේ ජීවත්වීමට ඇති අපහසු තත්වය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත්කරන්න විය. බොහෝ දෙනා තමන්ගේ ආදායම සහ වියදම පිළිබඳව ගණන් හිලව් පවා ඉදිරිපත් කරනු ලැබීය. ඇත්තෙන්ම ඔවුන්ට තම සමාජ පංති රාමුව තුල සැනසුම් සහගත ජිවිතයක් ගත කිරීමට නොහැකි බව ඉතාමත්ම පැහැදිලිය. පහල පන්තියේ සියළු දෙනාම කියා සිටියේ මීට වසර දෙකකට පෙර තමන් පරිභෝජනය කල දේ දැන් 50% ට වඩා අඩු කර ඇති බවයි.

අනෙක් අතට holiday resort සහ තරු පහේ හෝටල්වල අවන්හල් පිරී ඇති සේයකි. කොළඹින් බැහැර ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක කාමරයක් සති අන්තයේ book කරගැනීමත් පහසු නැත. බොහෝ මධ්‍යම පාන්තිකයන් රට පුරා විනෝද ගමන්වල යෙදෙති. 

වෘත්තිකයන් පවුල් පිටින් රට හැරයාම ඉතා දරුණුවට සිදුවෙමින් පවතී. අප සිටි සති තුන ඇතුලත පමණක් අප ඇසුරුකරන පවුල් 6 ක් ලංකාවෙන් නික්ම ගියහ. ඔවුන් අතර වෛද්‍ය, හෙද, සහ IT විශේෂඥයන් විය. මීට අමතරව තවත් අප හා කතා බස් කල විශාල පිරිසක් නුදුරු අනාගතයේදී රටින් නික්ම යාමට පිඹුරුපත් සකස් කර අවසානය. ඔවුන් සියළු දෙනාම පැවසුවේ රටේ ජීවත්වීමට නොහැකි තරම් ජිවන වියදම ඉහල ගොස් ඇති බවත් විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් එම තීරණය ගන්නා බවත්ය. සියලු දෙනාගේම ඇත්තේ එකම මැසිවිල්ලකි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම සාධාරණය.

මේ පිටරට පදිංචියට සංක්‍රමණය වන බව කී වැඩි පිරිසක් මට හමු වුණේ තරුපහේ හෝටලයක හෝ නිවාඩු නිකේතනයක විවේක සුවය වෙනුවෙන් පැමිණ සිටින විටකදීය. 

මා මෙවර ලංකාවේදී  කල කිසිසේත් බලාපොරොත්තු නොවූ නිරීක්ෂණයක් ඇත. එනම් ජනතාව තුල දේශපාලනය කෙරේ ඇති ඉතා පහල උනන්දුවයි. වෙනදා අප හමු වූ විට කතාබස් කරන මුළු කාලයෙන් 80%ට වඩා දේශපාලන මාතෘකා සඳහා කැප කරන බොහෝ නෑදෑ - මිතුරු සමුහ මෙවර ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුයේ නැත. මා දේශපාලනය පිළිබඳව මාතෘකාවක් බලෙන් ඇද ගත්තත් "ඕව කතා කරලා වැඩක් නැහැ චන්දිම, පුලුවන්නම් අපිට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ ඔයා දන්න රටකින්" කියා කතාව නිම කරයි. සියළු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා උදාසීන කලකිරීම් සහගත ආකල්පයකි.

ජවිපෙ පිළිබඳව ඇති සමාජ ආකල්ප පිළිබඳව මම වැඩි උනන්දුවකින් අධ්‍යනය කලෙමි. සමාජ මාධ්‍ය තුල ඔවුන්ට ඇති තැන රට තුල ඔවුන්ට නැති බව මගේ නිරීක්ෂණයයි. අමාරුවෙන් කතාවට අල්ලා ගත බොහෝ දෙනා කියා සිටියේ "රටට යමක් කරනවා නම් කල හැක්කේ ජවිපෙට පමණයි. නමුත් ඒ අයටත් දැන් ඇවිල්ලා කිසිදෙයක් කරන්න බැහැ" වැනි ප්‍රකාශයි. එසේම උසස් අධ්‍යාපනය වැනි මාතෘකා වලදී ජවිපෙ කිසිඳු ස්ථාවරයක නොමැති බවත් මේ නිසාම ඔවුන් බලයට පැමිණීම තුල යම් අන්තරායදායක තත්වයක් පවතින බවත් ප්‍රකාශ විය. 

මා දකින ආකාරයට ජවිපෙ තමන් මෙතෙක් කල ඓතිහාසික වරදක් repeat කරමින් සිටියි. එනම් ඔවුන් චන්දදායකයන් එකතුකරනවා වෙනුවට පාක්ෂිකයන් එකතුකිරීමට උත්සහ දරමින් සිටීමයි. 

මේ කෘතීම සමාජ-ආර්ථික රාමුව කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ සහ ගමනාන්තය කුමක්ද? ජනතාවට කල හැකි දෙයක් ඇත්ද? මා කල නිරීක්ෂණ තුලින් මා ගොඩනැගූ නිගමන නැවත කාලවේලාවක් ලැබුණු විට ඉදිරිපත් කරන්නම්. 


Wednesday, 19 July 2023

ගැටළුව කුමක්දැයි නොතේරීමේ ගැටළුව

වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව නොතේරෙන අයට එය තේරුම් කර දීම අපහසුය. මන්ද ඔවුන්ට අවශ්‍ය ගැටලුව තේරුම් ගැනීමට නොවන නිසාය. මේ ලියන්නේ යමක් සිතීමේ හැකියාව ඇති අය වෙනුවෙනි. 

බොහෝ අයට ඇති ලොකුම ගැටළුව වෘත්තිකයා define කර ගැනීමට නොහැකි වීමයි. වෘත්තිකයෙක් (professional) යනු යම් ක්ෂේත්‍රයක නිසි පුහුණුව, කුසලතා වර්ධනය, අත්දැකීම් සහ පළපුරුද්ද ලැබූ නිපුණයෙකි. මේ අනුව වෘත්තිකයෙක් බිහි වීමට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඒ සඳහා ජේෂ්ඨ වෘත්තිකයන් සිටීමද අවශ්‍යවේ. ඔවුන් අපි "trainers of trainers" යනුවෙන් හඳුන්වමු. වෘත්තිකයන් වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තියේ සිට පෙදරේරු හෝ මැටි කර්මාන්තය දක්වා විශාල පරාසයක විහිදී ඇත. 

සමහර ලාංකිකයන්ගේ ඊළඟ අවුල තවත් ලාංකිකයෙක් රටින් නික්ම ගොස් ඇත්නම් ඔහු හෝ ඇය ගියේ කුමක් නිසාද, යන්න පෙර සහ පසුව එම පුද්ගලයා රටට කල සේවය, දැනටත් කරන සේවය, විදේශ ගත අයෙකුට තමන්ගේ උපන් රට වෙනුවෙන් කල හැකි සහ නොහැකි දේ මොනවාද ආදී වූ කිසිම දෙයක් නොදැන කියවීමයි. එය සමහර විට සමහර ලාංකිකයන්ගේ පාරම්පරික ගතිය විය හැක. 

ඊළඟ කරුණ, මේ වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව පිළිබඳව  මා නැවත නැවත පවසන්නේ එසේ රට හැර යන වෘත්තිකයන්ට දෝෂාරෝපණය කිරීමට නොවේ. එම වෘත්තිකයන් රට හැර යන තත්වයට රට බංකොලොත් කල දේශපාලකයන්ට බැනිමටද නොවේ. ඒ තබා ඒ දේශපාලකයන් පත් කර ඔවුන් හොර මැර තක්කඩිකම් කරද්දී ඔල්වරසන් දෙමින් ප්‍රශස්ති ගී ගැයූ අබුද්ධික ජනතාවට දොස් පැවරීමටද නොවේ. සිදු වූ දේ සිදුවී හමාරය. ඒ ගැන තව දුරටත් අදෝනා නැගීමෙන් පලක් නැත. සිදුවෙමින් පවතින දේ වලකා ගත යුතුය. 

වෘත්තිකයෙකුගෙන් උපන් රටට සේවය ලබා ගැනීමට ඔහුගේ භෞතික පදිංචියේ බලපෑම විවිධාකාරය. සමහර වෘත්තිකයන්ගේ පදිංචි දේශය මීට කිසිසේත් අදාළ නොවේ. IT විශේෂඥයන්, සහ බොහෝ consultant ලා මේ ගණයට වැටේ. සමහර වෘත්තිකයන්ට ලෝකයේ කොහේ සිටියත් අවශ්‍ය නම් උපන් රටට සෑහෙන යමක් කල හැක. පර්යේෂකයන්, උසස් අධ්‍යයනිකයන්, බොහෝ ව්‍යවසායකයන් මීට අයිති වේ. සමහර වෘත්තිකයන්ට උපන් රටේ උන්නතිය වෙනුවෙන් යම් සීමිත දායකත්වයක් ලබා දිය හැක. විශේෂඥ වෛද්‍යවරුන්, ඉහලම පෙලේ නීතිඥයන්, ඉංජිනේරු විශේෂඥයන්, ඇතුළු අවශ්‍යතාවයකදී ලංකාවට කෙටි කාලීනව පැමිණ දායකත්වය ලබා දීමේ හැකියාව ඇති අය මීට ඇතුලත් වේ. නමුත් රටේ අති බහුතරයක් වෘත්තිකයන් ඉහත කිසිම කුලකයකට අයත් නොවේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, හෙදියන්, ගණකාධිකාරීවරුන්, පොත් තබන්නන්, නීතිඥයන්, විද්‍යුත්-මෝටර්-වඩු ඇතුළු සියළුම පුහුණු කාර්මිකයන්, පෙදරේරුවන්, බස් රථ රියදුරන් ආදී විශාල පරාසයක් මීට ඇතුලත් වෙයි. ඔවුන් රට හැර ගියොත් ඒ අඩුව පිරවීමට ඉතා අසීරුය. සමහර විට ඊට අඩ සියවසක් හෝ සියවසක් ගතවිය හැක. 

භාරතයේ බුද්ධිමය තෝතැන්න ලෙස හැඳින් වූ බෙංගාලයේ (පසුව නැගෙනහිර පකිස්ථානය හා බංගලාදේශය) 1970-71 සමයේදී සිදු වූ වෘත්තික සංහාරය සහ ඉන් අනතුරුව සිදු වූ වෘත්තිකයන් විශාල ගණනක් කෙටි කාලයකදී රට හැර යාම (exodus of professionals) පිළිබඳව හදාරා බලන්න. ඔබට වැටහේවි බංගලාදේශය අන්ත දුප්පත් රටක් වුයේ ඇයිද කියා. අදටත් ඔවුන් මේ තත්වයෙන් ගොඩ ඒමට දැඩි ලෙස උත්සහ දරයි. 

එදා බොහෝ වෘත්තිකයන් රටින් නික්ම ගියේ යම් මුදලක් උපයාගෙන නැවතත් ලංකාවට පැමිණ සුව පහසු ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අද කොරියාවට යන තරුණයාගේ සිහිනයත් වෙනත් රටකට කෙසේ හෝ පදිංචිය සඳහා පැනගනිමටයි. අනතුර ඇත්තේ මෙතැනයි. මෙය වෙනස් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් අඩුම ගණනේ අපි ඒ ගැන සාකච්චා කල යුතු නොවේද?