නවකවදය නිසා අහිමිවූ වටිනා ජීවිතය පිළිබඳව මතකය කෙමෙන් මැකී යද්දී නවකවදයට එරෙහිව නැගුණු හඬ ද වෙනදා මෙන්ම අතීතයට එක්වෙමින් පවතී. අපි ඊළඟ ජීවිතය නවකවදයට ගොදුරු වනතුරු සිටිය යුතු නැත. ඒ නිසා මම පහත දැක්වෙන සත් වැදෑරුම් ප්‍රායෝගික පියවර ඉදිරිපත්කිරීමට කැමැත්තෙමි. සමාජ මාධ්‍ය සංවාදයකින් පසු එය අදාළ අමාත්‍යංශයට යොමු කිරීමට අපි උත්සහ ගනිමු.
මේ පියවර වසර 10 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වනු ඇත.
1. මාස තුනක් වැනි කාලයක් තුල ජේෂ්ඨ සිසුන් නොමැති පරිසරයක නවක සිසුන් සරසවි පරිශ්‍රයට හුරු කිරීම සහ ඔවුන් අතර දැඩි මිතුරු බැඳීමක් ඇති කිරීම.
2. සියළු සිසුන් සරසවියට ඇතුළු වීමේදී නවකවදය යන "සාපරාධී වරද" නොකිරීමටත් එසේ කර අසුවුවහොත් දෙන ඕනෑම දඩුවමක් විඳීමට සුදානම් බවටත් ලිඛිත ප්‍රතිඥාවක් ලබා ගැනීම.
3. සියළු සිසුන්ට වාර්ෂිකව දින කිහිපයක මානසික සෞඛ්‍ය සායනයකට සහභාගිවීම අනිවාර්ය කිරීම.
4. සරසවියේ සදාචාරාත්මකව පිළිගත හැකි සියළුම ස්ථානවල CCTV කැමරා සවිකිරීම.
5. සරසවි ආචාර්යවරුන් නවකවදයට කිසිසේත්ම සහයෝගය නොදෙන පරිදි මානසිකව පුනරුත්ථාපනය කිරීම.
6. Cloud එකක real-time රෙකෝඩ් වන පරිදි වූ body camera වලින් සන්නද්ධ මාෂල්වරුන් කණ්ඩායමක් පත්කිරීම.
7. නවකවදයට වරදකරුවන් වන සිසුන් සරසවියෙන් නෙරපීමට අමතරව ඔවුන්ට සිවිල් නීතිය යටතේ දඬුවම් කිරීම සහ මානසික පුනරුත්ථාපන කඳවුරක නේවාසික ප්‍රතිකාර ගැනීම අනිවාර්යය කිරීම.
මෙහිදී සිසුන් යන වදන මා සිසුසිසුවියන් යන දෙපාර්ශවයම සඳහා යොදාගන්න ලදී.
ඉහත ඕනෑම පියවරක් ප්‍රායෝගිකව සිදුකල හැකි ක්‍රමවේද මට ඉදිරිපත් කල හැක. එහෙත් ඔබ වැඩි දෙනෙකුගේ අදහස් ලැබෙන්නේ නම් එය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.