Saturday, 26 April 2025

අබුද්ධියට ආමන්ත්‍රණය කිරීම

 


තවමත් ලංකාවේ බහුතරයක් දේශපාලනිකව අවිඥානිකය. වෙනත් වචන වලින් කිවහොත් දේශපාලනික සාක්‍ෂරතාවය ඉතා අඩුය. එය තුනේ වසරට පමණක් පාසල් ගිය කොරියේ ගල් කඩන්නාගේ සිට ඇමරිකාවේ ජිවත්වන ආචාර්ය උපාධිය සහිත විද්‍යාඥයන් දක්වා පුළුල් පරාසයක දැකිය හැක.

පසුගිය වසර දෙක තුනේදී දේශපාලනික වශයෙන් බුද්ධිමත් තරුණ පෙළක් ගොඩනැගුණද රටේ සමස්ත ජනතාව සමග සසඳන විට මේ වැඩිවීම සැලකිය යුතු තරම් විශාල නැත. 

මට දැනුම් තේරුම් ඇති කාලයේ සිට ලංකාවේ මැතිවරණයක් දිනුවේ මේ අබුද්ධිමත් ජනතාවට හොඳින්ම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබූ පක්ෂයයි. 

මෑත යුගයේදී අබුද්ධියට ආමන්ත්‍රණය කිරීමේ චැම්පියන්ලා වුනේ රාජපක්ෂ කල්ලියයි. එහෙත් ඔවුන්ගේ දුෂණ, භීෂණ සහ අසමාර්ථතාවය ඔවුන්ට අබුද්ධියට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවෙන් ලැබුණු වාසිය අභිබවා ගියේය. මේ අබුද්ධියට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවේ පහලම කෙලවරේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් එජාපයයි. සජිත් සිතන්නේ ඔහු අබුද්ධිමත් ජනතාව ආමන්ත්‍රණය කරන බවයි. නමුත් ඇත්තෙන්ම ඔහු ආමන්ත්‍රණය කරන්නේ කාටදැයි ඔහුටවත් නොතේරෙන බව නම් සහතිකය.

ජවිපෙ ඇතුළු වාමවාදී කණ්ඩායම් බොහෝ කලක් මේ සම්බන්ධයෙන් බෙහෙවින් අසාර්ථක විය. ඔවුන් ආසන තුන හතරකට ජනතාව විසින් සීමා කර තිබුනේ මේ නිසාය. නමුත් NPP ධජය යටතේ ඔවුන් බොහෝ සෙයින් වෙනස් වී ඇත. මහා මැතිවරණයෙන් පසු ඔවුන් තවත් ඉදිරියට ඇවිත් ඇති බව මගේ හැඟීමයි.

අද විපක්ෂය හොඳටම වියවුල් වී කෑමොර දෙන්නේ ආණ්ඩුව පොරොන්දු පමා කරන නිසා නොවේ. ඔවුන් නියෝජනය කරන පක්ෂ මීට වඩා දහස් වාරයක් චන්ද පොරොන්දු කඩ කර ඇත. ඔවුන්ගේ ලොකුම වියරුව මෙතෙක් ඔවුන් ප්‍රාමාණික වශයෙන් අධි-නිපුණත්වයකට ප්‍රගුණ කර ඇති අබුද්ධිය ආමන්ත්‍රණය කිරීමේ කලාව NPP රජය වේගයෙන් අධ්‍යනය කර අවබෝධ කරගනිමින් සිටින බැවිනි.

අබුද්ධිමත් ජනතාව කැමති රටේ මුළු මහත් සම්පත් ප්‍රමාණයම සොරා ගෙන හෝ පාලකයා ඉතා මිල අධික ඇඳුම් අඳිමින්, අධි සුඛෝපභෝගී වාහන වලින් ගමන් කරමින්, කාමසුඛල්ලිකානුයෝගීව ජීවත්වනු දැකීමටයි. පිටකොටුවෙන් ගත් ලාබ ඇදුමක් ඇඳගෙන පරණ ඩබල් කැබ් එකකින් ගමට එන, අල්පේච්ච ජිවිතයක් ගත කරන දේශපාලකයෙක් තමා පාලනය කරනවාට ජනතාව කැමති නැත. රජවරු භාණ්ඩාගාර හිස්කරමින් මහේශාක්‍ය ජීවිත ගතකලේ මේ නිසාය. 

පළාත් සභා මැතිවරණයෙන් පසු තව බොහෝ දේ වෙනස්වනු ඇත. ලාංකිකයා වසර දහස් ගණනක් බලාපොරොත්තු වූ රට සෞභාග්‍යයට ගෙනියන දරදඬු ඒකාධිපති පාලකයා ඔවුන්ට ලැබෙනු ඇති බව පලිඟු බෝලය පෙන්වා දෙයි.



       

Saturday, 19 April 2025

නිලමේලාගේ වටිනාකම

 


මීට වසර කිහිපයකට පෙර ජපානයේ පැවති ආරාධිත වටමේස සම්මන්ත්‍රණයකදී මට dinner talk එකක් සඳහා ඇරයුම් ලැබුණි. එවන විට මා මැලේසියාව නියෝජනය කලත්, ලද අවස්ථාවෙන් ලංකාවට යම් ප්‍රවර්ධනයක් ලබාදීමට සිතුන නිසා මාතෘකාව ලෙස "ලංකාවේ අසිරිය" (The Glamour of Sri Lanka) තෝරා ගතිමි. 

කතාවෙන් අනතුරුව Q&A session එකක් තිබුණි. ලංකාවට කිහිප වරක්ම සංචාරය කර, මටත් වඩා ලංකාවේ බොහෝ ස්ථාන දැක බලාගෙන තිබූ අයිරිෂ් ජාතිකයෙක් සභාවේ සිටියේය. හොඳ කථිකයෙකු වූ ඔහු මටත් පෙර,  සහභාගිවූවන් මගෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න විය. 

මේ නුවර පෙරහැර පිළිබඳව ඔහුගේ අදහසයි.

"ඒක හරිම අපූරු අත්දැකීමක්. ඉතා වර්ණවත් රෙදිපිළි න්දවා ආලෝකමත්කල අලි ඇතුන් සිය ගණනක් ඉතා සන්සුන්ව පේලියට ඇවිදගෙන යනවා. ඔවුන් අසලින් අලින්ට අන්දා ඇති ආකාරයේම ඇඳුම් ඇන්දවූ කවටයන් (clowns) අලින් පා තබන විදිය අනුකරණය කරමින් ඇවිදින්නට උත්සහ කරනවා. එය හරිම විනෝදජනකයි".


- ඔබ කිසිවිටෙක නොසිතන ආකාරයකින් රටේ අභිවෘද්ධියට ඔබේ සහයෝගය දෙන අවස්ථා තිබිය හැක. 

Sunday, 6 April 2025

JVP බොරුව සහ අපි


පක්ෂයක් ලෙස NPPය ඉතා කෙටි කාලයකදී අධි ත්‍වරණයකින් ඉදිරියට පැමිණ මැතිවරණය තුලින් විශාල ජයග්‍රහණයක් ලැබීය. දශක ගණනාවක් JVP නමින් චන්දය ඉල්ලු පක්ෂයට මා සිතනා අයුරින් 3%-5%ට වඩා කවදාවත්ම චන්ද ගත නොහැකිවිය. අදටත් එසේමය. මේ ලියන මා එදා සිට අදවන තෙක් ජවිපෙ ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රතිපත්ති වලටද දැඩි අකමැත්තක්, විරෝධයක් දක්වන්නෙකි. එහෙත් මම පසුගිය මැතිවරණ දෙකේ දීම NPPයට මට හැකි අයුරින් සහයෝගය දුන්නෙමි. අදටත් මම NPP ප්‍රමුඛ රජයට මගේ දර්ශනය අනුව ධනාත්මක ගමනක් යාමට අවශ්‍ය උපරිම සහයෝගය දෙමි. 

මා සිතනා ආකාරයට NPPයට සහයෝගය දුන් 90% සිටින්නේ මා සිටින තැනය. ඔවුන් කොමියුනිස්ට්-සමාජවාදී පාලන ක්‍රමයක් කෙරේ විශ්වාසය හෝ කැමැත්ත ඇති පිරිසක් නොවේ. ඔවුන් සිටි තැනින් ඉවත්ව NPPය වටා රොක් වීමට ප්‍රධාන වූ කාරණය අසූචි කන්දක් සේ අහස උසට නැගුනු දුෂණය, භිෂණය, වංචාව, නාස්තිය වැනි රට බංකොලොත්බාවයට ඇදගෙන ගිය අවාසනාවන්ත පරාමිතීන්ය. මෙතෙක් සිටි පාලකයන් කතා කල විවෘත ආර්ථික ප්‍රතිපත්ති, නව ලිබරල් ක්‍රමවේදය, වඩා නම්‍යශීලි විදේශ ප්‍රතිපත්ති ආදියට මේ බොහෝ දෙනෙකුගේ අකමැත්තක් ඇතැයි මම නොසිතමි. නමුත් එදා පාලකයා මේ බොහෝ කැරට් අල ජනතාවට පෙන්නුවත්, ඔවුන් ගමන් කලේ ඊට වෙනස් කැලෑ පාරවල්වලය. ඔබට COPE කමිටුවේ episode කිහිපයක් නැරඹීමෙන් හෝ පසුගිය මාස දෙක තුනේදී දෙනු ලැබූ සමහර නඩු තීන්දුවල සමාලෝචන කියවීමෙන් මේ ගැන හොඳ චිත්‍රයක් මවා ගත හැක. 

NPPයට සහයෝගය දීමේදී අප බොහෝ දෙනෙකුට විශාල කුකුසක් නොතිබුණා නොවේ. ඒ ජයග්‍රහණයෙන් පසු NPPයේ නිදහස් මතධාරීන් යටපත් කරගෙන ජවිපෙ දැඩි මතධාරීන් ඉදිරියට එයිද යන සැකයයි. අපි මෙහිදී ඉහල risk එකක් ගත්තෙමු. ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර ලියනු ලැබූ ලිපියක, සමහර විට ඉදිරියේදී අපට අනුරට එරෙහිව හරිනි වෙනුවෙන් සටන් කිරීමට සිදුවනු ඇතැයි මා ලිව්වේ මේ නිසාය. 

දැන් විපක්ෂය මරළතෝනි දෙන්නේ, අදෝනා කියමින් වැලපෙන්නේ ජවිපෙ කලින් කී දේට වඩා වෙනස් දේවල් කරන බව කියමිනි. නමුත් ඔවුන්ට නොතේරෙන්නේ NPPයට චන්දය දුන් 90% ගේ අවශ්‍යද එයම බවයි. මෝඩිගේ ලංකා ගමනාගමනය, ඇමරිකාව සමග මෙන්ම චීනය සමගද ඇතිකරගන්නා නම්‍යශීලී ආර්ථික හා දේශපාලනික සම්මුති, දැඩි ලෙස පාඩු ලබන රජයේ ආයතන විනිවිදපෙනෙන ආකාරයෙන් පෞද්ගලිකරණය කිරීම, අනවශ්‍ය ආකාරයෙන් රජයේ සේවයට පිරිස් බඳවා නොගැනීම, ආදී කරුණුවලදී මේ NPPයට සහයෝගය දුන් බහුතරයට අවශ්‍ය වන්නේ JVPය කලින් කී දේ කිරීම නොව ඊට ප්‍රතිවිරුද්ධ දෙසට රජයක් ලෙස ගමන් කිරීමයි. 

විපක්ෂය දැන් කියන JVP බොරුව ගැන කම්පා වන්නේ කොටස් දෙකකි. ඒ හැමදාම JVPයට චන්දය දුන් hardcore 3% සහ කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඉබාගාතේ යන 30%ක් පමණ වන hardcore විපක්ෂයයි. මෙයින් JVP 3% කෙසේවත් මේ තිබෙන විපක්ෂය හා එක්වන්නේ නැත. කොටස් 30ට පමණ කැඩුණු විපක්ෂයේ 30% තව කාලයක් එලෙසම සිටිනු ඇත. කවදත් වාසි පැත්තට හැරෙන 10% පමණ වූ ජනවාර්ගික පදනම මත ගොඩනැගුණු සුළු පක්ෂ ගන්නා තීරණය මට සිතා ගත නොහැක. 



Thursday, 3 April 2025

අහෝ ඩොනල්ඩ්! නොදිටි මොක්පුර


1960-2000 අතර කාලය තුල ධනවත් රටවල් බොහොමයක් අදටත් දියුණු වෙමින් පවතින ආසියානු, සහ ලතින් ඇමරිකානු රටවලට විශාල වශයෙන් පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව සහ පර්යේෂණ ආධාර (research grants) ලබා දුන්නේය. 80 දශකය වන විට මෙම ප්‍රවාහයට ජපානයත් එකතු විය. මෙම ආධාර දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලිවම පෙනෙන්නේ මෙම දියුණු රටවල් උදව් කලේ ලංකාව වැනි රටවල මූලික පර්යේෂණ (basic research) සඳහා පමණක් බවයි. මෙම රටවලින් ව්‍යවහාරික පර්යේෂකයන් (applied researchers) බිහිවීම මෙම දියුණු රටවල් දැඩි ලෙස අධෛර්යමත් කලෝය. ඉඳහිට මේ බැම්ම කඩාගෙන ගිය පර්යේෂකයන් ඔවුන් තම දියුණු රටවල්වලම තබා ගැනීමට උත්සුක විය. මා මේ ගැන first hand experience ඇති කෙනෙකි.

අප රටවල පර්යේෂකයින් basic research වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කටයුතු කරන විට ඔවුන්ගේ පර්යේෂකයන් තම කාලය සහ දැනුම applied research සඳහා යෙදවීය. අපේ අය ඔවුන් ලබා දුන් නවීනතම spectroscopes වලට පිං දෙමින් සර්ප විෂවල අඩංගු ප්‍රෝටීන් සංඝටක හඳුනාගෙන පත්‍රිකා පළකළහ. ඔවුන් ඒ දැනුම යොදාගෙන ප්‍රතිවිෂ ඖෂධ තනා අප රටවලටම විකිණීය. මෙය සිදු නොවූ ක්ෂේත්‍රයක්  නැති තරම්ය. මේ මග ගිය දියුණු රටවල් තව තවත් දියුණු විය. 

නව සහශ්‍රකයේ පළමු දශකය වන විට මේ ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවලින් බිහි වූ විද්‍යාඥයන් තවදුරටත් basic research වල රඳවා ගැනීම උගහට බව දියුණු රටවල් අවබෝධ කරගත්තෝය. මේ සමගම ඔවුන් මේ රටවලට එතෙක් දුන් ආධාර ක්‍රමයෙන් අඩුකර, තව දුරටත් basic research වල පර්යේෂකයන් සිරකර තැබිය හැකියැයි ඔවුන් සිතූ අප්‍රිකානු මහාද්වීපය දෙසට හැරෙන්න විය. 

මට මේ කතාව සිහියට නැගෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇති ආනයන බදු දුටු විටය. බදු විශාල ලෙස වැඩි කර ඇති බොහෝ දියුණු වෙමින් පවතින රටවලින් ඇමරිකාවට ආනයනය කරන බඩු ගැන පොඩ්ඩක් සිතන්න. නිමි ඇඳුම් සහ රෙදි, පාවහන්, ලීබඩු සහ දැව, ප්‍රාථමික ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, කුළු බඩු, කෝපි, පළතුරු, එළවලු මින් කිහිපයකි. ඇමරිකාවට hi tech products අපනයනය කරන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් කිහිපයකි. 

ඉහත සඳහන් කල විශේෂ hi-tech හෝ cutting edge technologies ඉතා අවම වශයෙන් අවශ්‍ය වන බව භෝග සහ භාණ්ඩ ඇමරිකාවේම නිෂ්පාදනය කරන්න යෑම මොන තරම් නිෂ්ඵල ක්‍රියාවක්දැයි ඇමරිකානුවන් ඉක්මනින්ම අවබෝධ කරගනු ඇත. මේ නිෂ්පාදන වලට තම දැනුම, කාලය, මිල මුදල්, ඉඩකඩම් වෙන් කරනවාත් සමගම සිදුවන්නේ  මායිම් තාක්ෂණය (frontier technology) තුලින් ඇමරිකාව ඉදිරියට ආ ගමන එකවරම මන්දගාමී වීමයි. මෙය යුරෝපය, චීනය, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව වැනි රටවලට පමණක් නොව ඉන්දියාවට පවා අධි ත්වරණයෙන් ඉදිරියට යාමට කදිම අවස්ථාවකි. 

සමහර විට වැඩේ තේරෙන විට ඇමරිකාව පමා වැඩි විය හැක.