පසුගිය සතිය මා ගතකලේ මාලදිවයින් සමුහයේය. ඒ අකුණු ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහාය. දින හයකදී විශාල හෝටල් පහක් අධ්‍යනය කිරීම පහසු නැත. සෑම හෝටලයක්ම සම්පුර්ණ දුපතකි. එක දුපතක සිට ඊළඟ හෝටලය ඇති දුපතට යාමට පැයක පමණ අධි වේගී බෝට්ටු හෝ මුහුදු අහස යානා ගමනකි. රාජකාරිය අධි වෙහෙසකර වුවත් කලාතුරකින් ලැබෙන අතිශය සුන්දර වූ මාලදිවයින් මුහුදු තීරය සහ තරුපහේ පහසුකම් එම සතිය වර්ණවත් කළේය.
මේ කතාව ඒ ගැන නොවේ. ඩුබායි සිට කොළඹට පැමිණෙන ගුවන් යානය මාලදිවයිනේ පැය එකහමාරකට පමණ නවත්වයි. මා ලංකාවට පැමිණෙන්නේද බොහෝ විට මේ ගුවන් යානයේමය. වෙනදා මෙන්ම ගුවන් යානයෙන් තුනෙන් දෙකක් පමණ මාල දිවයිනෙන් බැස්සේය. ඒ අතර ව්‍යාපාරික පන්තියේ සියළු දෙනාම විය. ගුවන් තොටුපල මෙන්ම මා පා තැබූ සියලුම හෝටල් සංචාරකයන්ගෙන් පිරි ඇත.
වසර 2023 දී මාලදිවයිනට සංචාරකයන් මිලියන 1.8 ගොඩබස තිබේ. එම වසරේම ලංකාවට පැමිණි සංචාරකයන් ගණන මිලියන 1.5කට මදක් අඩුය. මාලදිවයිනේ භූමි ප්‍රමාණය අසන්න වශයෙන් වර්ග කිලෝමීටර 300 කි. ලංකාවේ භූමිය වර්ග කිලෝමීටර 66,000. මේ අනුව ලංකාව මාලදිවයිනට වඩා භූමි ප්‍රමාණයෙන් 220 ගුණයක් විශාලය.
මාලදිවයිනට පැමිණෙන සංචරකයෙක්ට පෙට්ටි කඩයෙන් පාන් බාගයයි හන්දියේ කඩෙන් පරිප්පු දීසියයි ගෙන බෝක්කුවක් මත ඉඳගෙන කෑමේ ඉඩකඩක් නැත. හෝටල් කාමරයක දෛනික අවමය සාමාන්‍යයෙන් ඩොලර් 200 ඉක්මවයි. ඒ අන්තිම පහල පන්තියේ හෝටලයකය. සාමාන්‍යයෙන් හෝටල් කාමරයක මිල දිනකට ඩොලර් 800 ඉක්මවයි. මේ අනුව එහි පැමිණෙන්නේ ඇති හැකි උදවියයි.
සංචාරක ව්‍යාපාරය විශාල ලෙස දියුණු වී ඇතැයි සමහරුන් උදම් අනන ලංකාවේ තත්වය මෙයයි.
මුහුදු තීරයකට වඩා බොහෝ දේ සංචාරකයන්ට ලබා ගත හැකි ලංකාව පෙනෙන නොපෙනෙන මානයේ තිබියදී ධනවත් මිනිසුන් විශාල වශයෙන් මාලදිවයිනට ඇදෙන්නේ ඇයි. මා ඩුබායි ගුවන් තොටුපලින් මාලදිවයින බලා ගමන් කරන ගුවන් යානයට ගොඩවූ තැන සිටම මේ පිළිබඳව පුළුල් අධ්‍යනයක් කලෙමි. ඒ ගැන මම ඊළඟ ලිපියේ ලියන්නම්. එතෙක් ඔබ මේ පිළිබඳව දරණ මතය සහ අදහස් මෙහි පළකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබේ අදහස් ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීමේ ලා ඉදිරිපත් කල හැකි යෝජනාවලියකට පාදක වනු ඇත.
No comments:
Post a Comment