"ඇදහීම" සඳහා විවිධාකාර අර්ථ දැක්වීම් ඇත. මේ අතරින් වඩාත්ම පිළිගත් නිර්වචනය නම් "තමාට ප්‍රත්‍යක්ෂ නොවූ යමක් වෙන කෙනෙක් පැවසූ නිසා සර්ව සත්‍යයක් ලෙස පිළිගැනීමයි".
මෙම නිර්වචනයට අනුව පව්-පිං වල විපාක ඇති බව, උපතට පෙර සහ මරණින් මතු පැවැත්ම, නිර්වාණය හෝ මෝක්ෂය, සර්වබලධාරී දෙවි කෙනෙකු සිටින බව, දෙවිවරුන්, දිව්‍යතල, භූත-ප්‍රේත ආත්ම සහ ලෝක, අපාය ආදී සංකල්ප සියල්ලම ඇදහිම්ය.
මිත්‍යාව යන සංකල්පය ඇතිවන්නේ ඇදහීම නිසාය. යමක් අදහන්නාට ඉන් පරිබාහිර වූ සියල්ල මිත්‍යාවන්ය. මේ අනුව මිත්‍යාව පුද්ගල-සාපේක්ෂ කරුණකි. කෙනෙකුගේ පරම සත්‍ය තවත් අයෙකුගේ මිත්‍යාවක් විය හැක.
බොහෝ අය මගෙන් අසන ප්‍රශ්ණයක් වන්නේ මේ අර්ථ දැක්වීමට අනුව විද්‍යාවත් ඇදහීමක් නොවන්නේද යන්නයි. මෙම ගැටලුවට හේතුව බොහෝ දෙනෙකුට විද්‍යාවේ මූලික සංකල්පය පිළිබඳව අවබෝධයක් නැති වීමයි. විද්‍යාව නමැති සමස්ත ක්‍රියාවලියේම කිසිවක් සර්ව-සත්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත (තමාටම ප්‍රත්‍යක්ෂ වුවත්). මෙහිදී සිදු කෙරෙන්නේ යම් කාල රාමුවකදී යම් යම් තත්ව යටතේ යමක් තාවකාලිකව නිවැරදියයි සැලකීමයි. ඉන් පසු එම මොඩලය (නිවැරදි යැයි සැලකූ සංකල්පය) යොදාගෙන විශ්වයේ නොයෙකුත් සංසිද්ධීන් තේරුම් ගැනීමට අපි උත්සහ කරමු. එය කිරීමේදී ගැටළු මතුවන විට අපි මොඩලය වෙනස් කර ගනිමු.
"විද්‍යාවෙන් මිත්‍යාව බිඳීම" ආදී ප්‍රකාශවල කිසිඳු පදනමක් නැත. මිත්‍යාව ඇදහීම මත පදනම් වූ සංකල්පයකි. විද්‍යාවේ ඇදහීමක් නැත. මේ නිසා විද්‍යාවෙන් කිසිවක් මිත්‍යාවක් ලෙස දැකිය නොහැක. විද්‍යාව තුල ඇත්තේ දෙනු ලබන කාල රාමුවක් තුල අපගේ බුද්ධි මට්ටමට සහ දැනුම් සම්භාරයට ගෝචර වන සහ නොවන කාරණා පමණකි. වෙනත් කාල රාමුවක මේ තත්වයන් වෙනස් විය හැක.
No comments:
Post a Comment