ඉතා කෙටි කාලයක් තුල බොහෝ දෙනෙකුට අරගලය ඇති වුණේ මක් නිසාද යන්න අමතක වී ඇත. සමහර අදහස් කියවන්නෙකුට ඇතිවන්නේ රට සුඛිත මුදිතව තිබූ අවදියක මිනිසුන් අරගල කර රට විනාශ කළා වැනි හැඟීමකි.
කිහිප දෙනෙක් පවසා ඇති සේ පත් කරගත් පාලකයන් රට විනාශ කරනවා දැක දැක ඔවුන්ට ප්‍රශස්ති ගී ගායනා කල පිරිස මේ විනාශයට ඍජුවම වගකිව යුතුය. අරගලයට සහභාගී වූ බොහෝ දෙනෙක් තමන් යන්නේ කොහේදැයි දැන නොසිටිය බව මම සිතමි. නමුත් රටේ සිදුවන තක්කඩි අමන පාලනයට එරෙහිව තමන් යමක් කල යුතු බව ඔවුන්ට දැනෙන්නට ඇත. එසේම අරගලය අපට පෙන්නුවේ ලංකාවේ පාලකයා කුමක් කලත් එයට හිස නමාගෙන සිටින දීන නිවට බහුතරයට අමතරව තවමත් කශේරුකාව සවිමත් සුළුතරයක් හෝ රටේ සිටින බවයි. නමුත් එය එතැනින් ඉදිරියට ගෙන ගොස් ආර්ථික-සාමාජීය-දේශපාලනික නිවහල් නිදහස් ජාතියක් කරා ගෙනයාමට සමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අපට තිබුණේ නැත.
රටේ කුමන තත්වය ඇති වුනද එයින් වාසි ලබා ගන්නා පාර්ශව ගණනාවක් ඇත. ඔවුන්ට අරගලය තවත් කෙලි බිමක් විය. එය අරගලයේ වරදද නැත්නම් අරගලය ඇතිවීමට පාර කැපූ හොර තක්කඩියන්ගේ වරදද යන්න සිතාගැනීමට සමත් සුළුතරයක් තවමත් සිටින බව මම උපකල්පනය කරමි.
මා දකිනා ආකාරයට නම් ලාංකිකයා නැවතත් පරණ පුරුදු විෂම චක්‍රයටම වැටි ඇත. දීන වහල් බහුතරයක් ඇති රටක මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන් අද ණයට කමින් පාටි දමයි. පාලකයාගේ ලොකුම ජයග්‍රහණය අදට වඩා දෙගුණයක් විශාල ණයක් හෙට ලබා ගැනීමයි. තව වසර දෙකකින් අපට ඉතිරිවන සුවිසල් ණය කන්ද මුළු රටේම සම්පත් විකුණුවත් පියවා ගත නොහැක. එදාට ඉන්දු-ඇමරිකන් මුහුණ මීට වඩා බොහෝ සෙයින් වෙනස්වනු ඇත.
ඊළඟ වර තෙල් ගෑස් හාල් පාන් පෝලිම් වලට එරෙහිව ජනතාව පාරට බහින්නේ නැත. මන්ද ඔවුන්ට ඒවා එක් වරක් දැන් හුරුවී ඇති බැවිනි. ඔවුන් මගට බසින්නේ තත්වය ඊට වඩා බෙහෙවින් නරක අතට හැරුණු විටය. සමහර විට එතනට යාමට පෙර ලාංකිකයා තමා සිටිය යුතු ආකාරය අවබෝධ කරගෙන නිවෙනු ඇත.
බහුජාතික සමාගම් කිහිපයක් විසින් නිල වශයෙන් පාලනය නතුකරගන්නා ප්‍රථම රාජ්‍ය ලංකාව වෙනු ඇතැයි මට සිතෙයි. මම එහි හොඳ-නරක විග්‍රහ කිරීමට උත්සහ නොගනිමි. සමහර විට අවුරුදු 2500 ක මෙව්වා එක රෝල් කර ඉන්දියන් සාගරයට දැමීම ඔබට ඉමහත් සැහැල්ලුවක් වනු ඇත. නැත්නම් ඔය මෙව්වා එක ඔබට ණය කන්දටත් වඩා බර මහමෙරුවක් වනු ඇත.