Saturday 11 March 2023

සමාජය හිතන හැටි

සමහර ලිපි පළකිරීමට පෙර ඊට පෙරමග වදනක් (පෝස්ට් එකක්) FB එකේ දැමීම මගේ පුරුද්දකි. එතුලින් මා ලියන ලිපිය කෙතරම් පිරිසක් ග්‍රහණය කරගනීවිද යන්න පිළිබඳව මට අදහසක් ගත හැක. උමංදාව පිළිබඳව පෝස්ට් එකට අදහස් පළකළ ඔබ සැමට තුති. 

මෙම පොස්ට් එකට පලවී තිබුණු අදහස් අති බහුතරයක් සමාජයේ වැඩි දෙනා සිතන පතන ආකාරය පිළිබිඹු කරන, මා බලාපොරොත්තු වූ ප්‍රතිචාරයන්ය. ඒ අතර පෙට්ටියෙන් එලියට විත් සිතන එක් කෙනෙකු හෝ දෙන්නෙකු විය. එය මට මේ ලිපිය සඳහා ප්‍රමාණවත්ය.

පිටිදුවේ සිරිධම්ම භික්ෂුව මට වසරක පමණ කාලයක් නිතර හමුවිය. ඒ මීට වසර 22 කට හෝ 23 කට පෙර ජාතික විද්‍යා හා තාක්ෂණික කොමිෂම (NASTEC) යටතේ වූ තරුණ විද්‍යාඥයන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙසයි. ඊට වසරකට හෝ දෙකකට පසු මම එම සංසදයේ සභාපති වුනෙමි. පිටිදුවේ සිරිධම්ම භික්ෂුව කමිටුවේ සිටින සමයේ ඔහු එහි කැපී පෙනෙනම චරිතයක් විය. ඔහුගේ අදහස් සහ යෝජනා ඉතා හරවත් මෙන්ම ලාංකික සමාජය නගා සිටුවීමට ඉතා ඵලදායක ලෙස යොදා ගත හැකි සංකල්ප බව මට එදාද වැටහුණි. නමුත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට තරම් අනුග්‍රහයක් පැවති ආයතනකික වාතාවරණය තුල අප සතු වුනේ නැත. මා තරුණ විද්‍යාඥයන්ගේ සංසදයේ සභාපතිධූරය දැරුවේද NASTEC ආයතනයට සභාපතිවරයෙකු හෝ විධායක අධ්‍යක්ෂකවරයෙක් පත්කරගැනීමටවත් නොහැකිව තිබූ සමයකය. මම පිටිදුවේ සිරිධම්ම භික්ෂුවගේ යම් යම් යෝජනා යම් පමණකට ක්‍රියාත්මක කිරීමට උත්සහ ගතිමි. ඒ සමහර අවස්ථා සාර්ථක විය.

නැවතත් මට මෙම  භික්ෂුව පිලිබදව හඳුනා ගැනීමක් ලැබෙන්නේ ඊට වසර කිහිපයකට පසු කලින් NASTEC හි  විධායක නිලධාරිනියක්ව සිටි අමාලි දිසානායක මහත්මිය අහම්බෙන් හමු වූ විටය. එවකට බෙල්ලන්තර ප්‍රදේශයේ වූ පන්සලක මහා කලබැගෑනියක් ඇති වී එහි සිටි භික්ෂුවක් සම්බන්ධයෙන් ඉතා අමිහිරි පුවත්පත් සිරස්තල මැවී තිබුණි. ඒ අප සමග කටයුතු කල පිරිදුවේ සිරිධම්ම භික්ෂුව බව අමාලි පවසා සිටියාය.

ඉන්පසු එළඹුණු දශක එකහමාරකට වැඩි කාල පරාසය තුල සමන්ත භද්‍ර නමින් මෙම භික්ෂුව දිගු ගමනක් ගියේය. එය සම්මත ථෙරවාදී බුදුදහමින් මෙන්ම බොහෝ යහපත් සමාජ සම්මතයන්ගෙන්ද විශාල වශයෙන් ඈත් වී තිබුණි. 

පිටිදුවේ සිරිධම්ම හෝ සමන්ත භද්‍ර යනු අහසින් කඩා පාත් වූ චරිතයක් නොව ලංකාවේ දේශපාලන-ආගමික-සමාජීය වාතාවරණය විසින් බිහි කල තවත් එක් භූතාර්ථයක්ය. රටට ලෝකයට යමක් කරන්න ජවයක් සහ උණක් ඇති පිරිස් ලංකාව වැනි රටක සොයා ගැනීම ඉතා අසීරුය. එසේ කලාතුරකින් බිහිවන පුද්ගලයන්ගේ අනාගතය තීරණය කරන්නේ පවතින සමාජ සංස්ථාව විසින්මය. සමාජ පද්ධතියෙන් හවුහරණක් නොලැබෙන කල මේ පුද්ගලයන් එක්කෝ රට හැර දමා තමන්ගේ ජවයට සුදුසු භූමියකට නික්ම යයි. සමහරුන් පවතින දුෂිත සමාජ ක්‍රමයට අනුගත වී විශාල පෙරලි සිදු කරයි. ඉන් පසු සමාජය විසින්ම මේ සියලු දෙනාටම බැන වදිමින් ආඬපාලි කියයි. නමුත් මෙම සමාජ ක්‍රමය වෙනස් කිරීමට නොහැකි නම් අවම වශයෙන් මේ ජවය-උණ ඇති අතලොස්සගෙන් තෝරා බේරා පෙරා යමක් ගැනීමට උත්සහ දරන්නන් සිටින්නේද කෙතරම් සුලුතරයක්ද යන්න අද ලංකාව වැටී ඇති තත්වයෙන් පැහැදිලි වෙයි. මා මේ කියන දේ අති බහුතරයකට නොතේරෙන බවද මම දනිමි. එය තුන් දෙනෙකුට අවබෝධ වුවහොත් මේ ලිපිය අති සාර්ථකය.  

තමා බහලුම්ගත්වූ පෙට්ටියෙන් ඉවතට පැමිණ ලෝකය දෙස එක මොහොතක් බැලිය හැකි අතලොස්සට මම මෙසේ කියමි. ඔබ කී දෙනෙකුට ඇවන්ට්ගාර්ඩ්, සයිටම්, සෙලින්කෝ ව්‍යාපාර ජාලය හෝ විශාල කැසිනෝ ව්‍යාපාරයක් බිහි කිරීමට හැකියාව හෝ ජවය ඇත්ද?  මෙම ව්‍යාපාරවල පවතින දහසක් වැරදි හෝ දූෂණ ඇති වුයේ කෙසේද? එය පවතින දේශපාලන-සාමාජික පද්ධතියේ සහ ක්‍රමවේදයේ අඩු පාඩුවක් නොවේද? අප කල යුත්තේ දේශපාලන-සමාජ ව්‍යහය වෙනස් කර මේ සද්ධන්තයන් නිවැරදි කිරීමද නැත්නම් එම ව්‍යාපාර බිඳ දැමීමද? මම එදත් අදත් ඉන්නේ එකම තැනකය. 

සද්ගුරු විසින් වසරකට ඉන්දියාවට ඍජුව හා වක්‍රව ගෙන එන විදේශ විනිමය ලංකාවේ වාර්ෂික ආදායම මෙන් තුන් ගුණයක් පමණ වේ. සමහර විට නිවැරදි දේශපාලන-සාමාජීය පද්ධතියක් තිබුණා නම් පිටිදුවේ සිරිධම්ම ලංකාවේ සද්ගුරු වන්න තිබුණි.

මා දකින සිරිධම්ම මොඩලය ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. 


3 comments:

  1. සිරිධම්ම හිමි කියන සමහර දේවල් (බෞද්ධාගමික) වැරදි නැහැ කියන එකයි මගේ මතය. ඔහුට බෞද්ධ ධර්මය පිලිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. තර්කානුකුල දේවල් කරනවා. කොටින්ම උපන්දින සාද ගැන හිනාවෙන බෞද්ධයන් ඔහු පෙන්වන්නේ බුදුන් දවසේ අනේපිඬු සිටන් කළා යයි කියන පුණ්‍යකර්ම මොන විකාරද යනවග. හැබැයි ඉරාජ් සමග හා රාජපක්ෂ ල සමග ඔහුගේ සම්බන්ධය තුල මම දකින්නේ ඉතා සුක්ෂම ආකාරයෙන් මුදල් විශුද්ධිකරණ ශුර වෙළෙන්දෙක්. ඔහු දක්ෂයෙක් කියා තමයි කිව හැක්කේ. (හරි හෝ වැරදි පැත්තෙන්)

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ අදහස මොකද්ද වැඩිපුර tax ගෙවන අයට මුල්‍යමය නොවන වාසි දෙනවට? (මාකටින් වගේ වැඩක් තමයි). මොකද ලංකාවේ කොහොමත් tax ගෙවන්නේ අඩු පිරිසක් නිසා, අනිත් පැති වලින් නිතිය විදිමත් කරනවා වගේම මේකත් බැලුවොත් කොහොමද? Priority pass වගේ දෙයක්.

      අනික tax ගෙවන අයට උනත් ලංකාවේ තියෙන්නේ නෙගටිව් ඉම්ප්රේෂන් එකක් නේ.

      උදාහරණයක් කියන්නම්, එක වෙලාවක දැන් කාලෙකට කලින් ලංකාවේ උඩම tax බ්‍රකට් ඒකෙ ඉන්න අවුරුද්දකට ලොකු ප්‍රමාණයක් tax ගෙවන කෙනෙක් හම්බුනා ප්‍රිය සම්බාෂණයකදී. එතැනදී කතා වේවි ඉන්නකොට (රජයේ උසස් නිලදාරීන්, සමාජයේ උසස් අය, වගේ කිහිප දෙනෙක් හිටියා), අර tax ගෙවන පුද්ගලයට කිවේ "පිස්සුද බං ඔහොම ගෙවන්න, ඔය ගෙවන ගානෙන් 10% වියදම් කරලා tax එකෙන් බේරෙන හැටි දන්නේ නැද්ද" කියල.

      Delete
    2. ඔබ හරි. නමුත් ආණ්ඩුවේ මේ බදු ගැහිල්ලේ අසාධාරණ කමක් තියනවා. වියදම් කරන මිනිස්සුන්ට , ලෙහෙසියෙන් ආණ්ඩුවට බදු ගහන්න පුළුවන් බදු ගෙවන අයටම තමා ගහල තියෙන්නේ. ඒක අසාධාරණයි. ඔබ කියන පරිදි බදු හොරු සෑහෙන ප්‍රමාණයක් සිටිනවා.

      Delete