මානව සමූහයක් විසින් ශිෂ්ඨාචාරයක් ගොඩ නගයි. මෙය ඒකක දහස් ගණනකින් සැදුම් ලත් තනි පද්ධතියකි. මෙම පද්ධතියේ පැවැත්ම රඳා පවතින්නේ තනි තනි ඒකකයන්ගේ පැවැත්ම මතය. එසේම තනි තනි ඒකකයන්ගේ පැවැත්ම පවතින්නේ පද්ධතියේ පැවැත්ම මතය. එනම් මෙම ශිෂ්ඨාචාරයේ පැවැත්ම එක් එක් ඒකකයේ පැවැත්ම මෙන්ම සමුහයේ පැවැත්ම මතද රඳා පවතී. මේ කාරණය මුලින්ම තේරුම් ගන්න උත්සහ කරන්න.
තනි ඒකකයක යහපත් පැවැත්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය සතුටින්, සැහැල්ලුවෙන් සිටින සහ සමාජයට පලදායි භූතාර්ථයක් වන විටය. සමස්ත පද්ධතියේ පැවැත්ම පවතින්නේ එය එකකයක් ලෙස අවට පරිසරය සමග (එම ඒකකය පවතින පරිසර පද්ධතිය සහ තනි තනි ඒකක) පවත්වන යහපත් සබඳතාවය මතය.
යම් කාල-අවකාශ රාමුවක් තුල ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද ක්‍රියාකළ යුතු සුදුසුම ආකාරයක් හෝ ආකාර කිහිපයක් ඇත. ඒ සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද යොමු කරවීමට ක්‍රම තුනක් ඇතැයි මට සිතෙයි.
1. නොපෙනෙන බලවේගයක් මගින් මෙලොව මෙන්ම මරණින් මතු පැවැත්මද පාලනය කරන බවට පිළිගැනීමක් සමාජය තුල ස්ථාපිත කිරීම
2. සමාජ සංස්ථාව මගින්ම මෙහෙයවන්නා වූ නීති-විනිශ්චය පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාම
3. තනි තනි ඒකකයේ මෙන්ම සමාජ පද්ධතියේද පැවැත්ම උදෙසා තමාගේ කාර්ය බාරය සෑම මානව ඒකකයක් මෙන්ම සමාජ ඒකකයද අවබෝධ කරගැනීම.
මානව ශිෂ්ඨාචාරය පවත්නා වසර 20,000 ක ඉතිහාසයෙන් වසර දෙතුන් සියයක් හැර අනෙක් මුළු කාලයම ගත වුනේ පළමු ක්‍රමය හෝ පළමු ක්‍රමය මත දැඩිව රඳා පැවති දෙවන ක්‍රමයෙනි. අදත් ඉතා දියුණු යයි පවසන රටවල පවා නීතිය විමසන්නේ අදාළ ආගමික ග්‍රන්ථයක් මත දිවුරා සිටීමෙන් පසුවයි. මෙම නොපෙනන බලවේගය + මරණින් මතු පැවැත්මේ තවමත් පවතින දැඩි අවශ්‍යතාවය ඔබට මෙයින්ම පැහැදිලි වේ.
මගේ කලින් ලිපියට පිළිතුරු අදහස් සපයන කිහිප දෙනෙක්ම පවසන්නේ මරණින් මතු පැවැත්මක් නැත්නම් අපට ජොලියේ ඕනේ දෙයක් කරන්න පුලුවන්නේද යන්නයි. මට හිතෙන ආකාරයට සමාජයේ අති බහුතරය සිතන්නේ මෙලෙසය. එය එසේ වීමේ කිසිඳු අරුමයක් නැත. අප ජීවිතයේ බලාපොරොත්තුවන ජොලිය කුමක්දැයි බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.
මා සිතන විදියට "මරණින් මතු පැවැත්මක් හෝ එය පවතින ආකාරය තීරණය කරන බලවේගයක් නැත" යන යථාර්තය අවබෝධකරගෙන, තුන්වෙනි ක්‍රමවේදය හරහා සමාජ පද්ධතිය ස්ථාවර කරගැනීම පිළිබඳව පැවසු දහම් කිහිපයෙන් තවමත් රැඳී ඇත්තේ බුදුදහම පමණකි (සහ බුදු දහමේ ආභාෂයෙන් පෝෂණය වූ චීන-ජපන් දහම්).
නමුත් මෙම යථාර්තය අවබෝධයෙන් යහපත් වූ සමාජයක් බිහිවීමට තරම් මානව බුද්ධිය වර්ධනය වීමට තවත් වසර දෙදහස් පන්සියක පමණවත් කාලයක් ගතවනු ඇති බව මගේ හැඟීමයි. මේ අනුව බුදුන් තමන් අවබෝධකරගත් යථාර්තය පවසා ඇත්තේ වසර 5000 පමණ in advance ය.
බුදුන්ගේ කාලයෙන් සියවස් දෙක තුනක් යන විටම පාලකයන්ට සහ පුජ්‍ය-පූජකයන්ට මෙම දර්ශනය සමාජ පාලනයට හිතකර නොවන බව පෙනෙන්නට ඇත. මේ අනුව වසර තුන් හාරදහසක් ස්ථාපිතව තිබූ වෛදික දර්ශනය, සහ ඒ ආශ්‍රිතව ගොඩනැගු කතන්දර බුදුදහම නමින් එලි දක්වන්න ඇත. එය එසේ නොවුනා නම් අශෝක අධිරාජ්‍යයා කිසිසේත් මෙම දහම ප්‍රවර්ධනය කරන්නේ නැත. බුදු දහම මේ දක්වා කාලයක් පැවතුණේ මෙම වෛදික ප්‍රවිෂ්ඨය නිසා බව මම සිතමි.
වෛදික පෝෂණය ඉවත්කළ විට මට පෙනෙන්නේ බුදු දහම යනු තනිකරම ක්‍රමවේදයකි. ඒ මරණින් මතු පැවැත්මක හෝ නොපෙනෙන බලවේගයක බිය ගැන්වීමකින් තොරව ස්ථාවර මානව ඒකකයක් සහ සමාජ පද්ධතියක් පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයයි. එසේම එයින් ඈත්වන විට තනි තනි ඒකකය මෙන්ම සමාජ සංස්ථාවද බිඳ වැටෙන ආකාරයයි.
තව වසර 2500 කින් බිහිවන මානවයෙක් සිතන ආකාරයට ඔබටත් සිතිය හැකිද?