Friday 12 August 2022

අරගලය නිම විය

 


ගෝල්ෆේස් අරගලය නිම විය. ඒ ගැන වැටෙන පෝස්ට් නිමක් නැත. ඒවා ලංකාවේ ජන විඥානය කියාපාන කැඩපත් වැනිය.

අරගලය සාර්ථකද අසාර්ථකද යන්න තීරණය වන්නේ අරගලය තුලින් ඔබ බලාපොරොත්තු වූ හෝ නොවූ ප්‍රතිදාන මතය. එහි මුඛ්‍ය සටන් පාඨය වූ "Go home Gota" යන්න අරගලයේ අරමුණ කරගත් පිරිසට මෙය අති විශිෂ්ඨ නිමාවකි. System change එකක් වෙනුවෙන් අරගලයට එක්වූ පිරිසට එහි ප්‍රතිඵලය ඉතා අසතුටුදායකය. මේ අන්ත දෙක අතරේ අරගලයේ යහ ඵල කිහිපයක්ම ඇත. System change එකක් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කී සමහරුන්ගේ ඇත්තම අරමුණ වී තිබුණේ Coruption-ownership change එකකි. එනම් උඹලා කැමති හොරා වෙනුවට අපි කැමති හොරා රජකිරීමයි. 

මා දකින ආකාරයට අරගලයේ අග්‍ර ඵල දෙකකි. ඉන් පළමුවැන්න ලංකික ජන විඥානය ප්‍රායෝගිකවම අවබෝධ කරගැනීමට ඒ සඳහා උනන්දුවන අයට ලැබුණු අවස්ථාවයි. එය ලංකාව ගොඩ දැමීමට උණක් යන්තමට හෝ තවමත් ඇති සියළු දෙනාටම අනාගතයේදී බොහෝ සෙයින් උපකාරී වනු ඇත. 

දෙවැන්න ලංකාවේ ක්‍රියාකාරී අති බහුතරයක් දේශපාලකයන් එකම ජාලයක ඉත්තන් බව ස්ථිර වශයෙන්ම සාක්‍ෂාත් වීමයි. 

------------------------------------------

බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇරඹෙන්න හේතු පාදක වූ කරුණු මතක නැත. සමහරු දැන් කතාකරන්නේ එය අසුරු සැනෙකින් ඕපපාතිකව පහල වුවා සේය.

කෙටියෙන් කියන්නම්. අරගලය ඇරඹීමට පෙර රටේ කිලෝ මීටර ගණන් දිග තෙල්, ගෑස් පෝලිම් විය. සාගතය හිස ඔසවා තිබුණි. සංචාරක ව්‍යාපාරය පමණක් නොව රටේ සෙසු බොහෝ කර්මාන්ත බිඳ වැටී තිබුණි. උද්ධමනය ඉතා ඉහල අගයක තිබුණි. මාස කිහිපයක සිට රට ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබුණි.

අරගලයෙන් විනාශ වෙන්න තරම් දෙයක් රටේ ඉතිරි වී තිබුණේ නැත.

අරගලයේ මූලිකත්වය ගත්තේ දේශපාලන මෙන්ම සාමාජීය වශයෙන්ද පරිනත නොවූ තරුණ ජවයකි. එයට නායකත්වයක්, මාර්ග සිතියමක්, පැහැදිලි අරමුණක් සහ ඉලක්ක ලබා දිය යුතු විය. නමුත් එය කල යුතුව තිබූ අත්දැකීම් බහුල ක්‍රියාකාරී දේශපාලන ප්‍රවාහ එය මග හැරියෝය. ඒ ගැන මම කිහිප වරක්ම ලිව්වෙමි. 

------------------------------------------

දේශපාලකයන්ට පවරා ඇති නඩු, නීතිපති විසින් තාක්‍ෂණික හේතු මත ඉවත් කරගත් නඩු, කෝප් කමිටු වාර්තා සහ වෙනත් අනේක කොමිෂන් වාර්තා අනුව මේ රටේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අති බහුතරයක් දේශපාලුවන් මහජන මුදල් ගසා කා ඇති බව සක් සුදක්සේ පැහැදිලිවේ. නොඑසේ නම් රුපියල් ට්‍රිලියන ගණනක මුදල් බහිරවයා ගිල්ලා විය නොහැක. WWE සහ ලංකාවේ පාර්ලිමේන්තුව අතිශයන්ම සමාන වන්නේ මේ හේතුව නිසාය. ඔවුන් එක් පවුලකි. එකෙකුට එකෙක් නැතුව බැරිය. 

ලංකාවේ බහුතරයක් ජනතාවගේ දැනුම් සම්භාරය තුල මේ ගැන දත්ත ඇත. නමුත් මට දැනෙන ආකාරයට මේ දැනුම විශ්ලේෂණය කර තේරුම් ගැනීමට තරම් තර්ක බුද්ධියක් බොහෝ දෙනෙකු සතුව නැත. එය උගත්-නුගත් කියා වෙනසක් නැතිව සමාජය තුල පිළිබිඹු වේ. තේරුම් ගන්නා සුළුතරය අතර පවා තේරුම අවබෝධය කරා ගෙන යාම පිණිස මානසික අවස්ථිති පවුර තරණය කර ගත හැකි අය සිටින්නේ අතලොස්සකි. 

අරගලය ඇති වන්නේ තමා පෙළන, තම ධනය සොරා කන, පාලක පැලැන්තියට එරෙහිව පද්ධති වෙනසක් සඳහා බව ලංකාවේ බහුතරයක් පාලිතයන්ට වැටහෙන්නේ නැත. අරගලය සමච්චලයට ලක් කරමින් පෝස්ට් පලකරන කිසිවෙක් රටේ යස ඉසුරින් වැජබෙන ධනපතියන් නොවන බව නම් ඉතා පැහැදිලිය. පාලකයාගේ හොර තක්කඩි අමන කම් හේතුවෙන් දරිද්‍රතාවය හිස මත තබාගෙන, බසයක පා පුවරුවේ එල්ලී යන පහල මධ්‍යම පාන්තිකයා, තම පීඩකයා වෙනුවෙන් පෙනී සිටින සමාජයක, system පෙරලන්නට පෙර, පෙරලන්න ඇති දේ බොහෝය.    




12 comments:

  1. //මා දකින ආකාරයට අරගලයේ අග්‍ර ඵල දෙකකි. ඉන් පළමුවැන්න ලංකික ජන විඥානය ප්‍රායෝගිකවම අවබෝධ කරගැනීමට ඒ සඳහා උනන්දුවන අයට ලැබුණු අවස්ථාවයි. එය ලංකාව ගොඩ දැමීමට උණක් යන්තමට හෝ තවමත් ඇති සියළු දෙනාටම අනාගතයේදී බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

    දෙවැන්න ලංකාවේ ක්‍රියාකාරී අති බහුතරයක් දේශපාලකයන් එකම ජාලයක ඉත්තන් බව ස්ථිර වශයෙන්ම සාක්‍ෂාත් වීමයි.//
    සහතික ඇත්ත....

    කලබල වුණහම කොරස් කටෙත් අත දා ගන්නට බැරි වෙයි, සත්තයි
    අරගල ප්‍රතිඵල කොහෙද කියන්නේ, ඇස්වල කොරපොතු තියෙන අයයි
    වන්දි භට්ටකං නොකරන පිරිසක් දැන් දැන් බිහිවී ඇති පාටයි
    ඒකම මට ඇති, ප්‍රතිඵල පෙනෙන්න ටික දවසක් ඉවසන්නට වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් අරගලයේ යහපත් ප්‍රතිඵල රාශියක් ඇත. ඒ දෙස බලා අවබෝධයක් ලබා ගැනීමට හැකි වැඩි පිරිසක් නැත.

      Delete
    2. නිදි අංකල්,

      මමත් ලංකාවේ අරගලයට 2022 මාර්තු මාසයේ ඉඳන් සක්‍රීය ලෙස සහභාගී වූ කෙනෙක් සහ ගෝල්පේස් එකේ දැන උගත් වැදගත් තරුණ තරුණියන් සමඟ මුලදී ඇරඹූ ආදරයේ අරගලය වෙනුවෙන් සම්බන්ධ වී කටයුතු කළා.

      නමුත් අරගලය විනාශ වීමත් හේතුවූයේ දූෂිත අසික්කිත රාජපක්ෂ කල්ලියේ මැයි නමය අමන මැර ප්‍රහාරය සමග අරගලය අල්ලාගත් සංවිධානාත්මකව ක්‍රියාත්මක වු ගර්හිත සම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම් වල පාදඩ වැඩ නීසායි

      විශේෂයෙන් අන්තරය හා ජවිපේ වැනි විනාශකාරී කඩාකප්පල්කාරී කල්ලි සහ ඊට සම්බන්ධ ඇතැම් කලාකරුවන්, සංවිධාන, වැලේ වැල් නැතිව හිටපු රාජ්‍ය නොවන සංවිධාන, තව කතෝලික ඉවැන්ජලික බෝන් අගේන් මහමදික සහ බෞද්ධ ආගමික ව්‍යාපාරික කණ්ඩායම් විසින් නිර්පාක්ෂික සැබෑ අරගලය වනසා දමා ඇති අතර මට හිතෙන විදියට මේක රාජපක්ෂ හොර රැල වික්‍රමසිංහයන්ගේ ද සහය ඇතුව ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ වල නායකයන් සහ තවත් සිවිල් සංවිධාන සමග දාගත්ත ඩීල් අනුව සිදුවන්නට ඇති බවයි.

      මේ නිසා අවාසනාවන්ත ආකාරයට අප බලාපොරොත්තු වූ මූලිකම දේවල්වන උද්ධමනය පාලනය කිරීම වැනි දේවල් පවා සිදුවන්නේ නැහැ ඔබත් මෙතන රාජපක්ෂ වහලුන් මෙන් මේක ගැන බැතිමත් මානසිකත්වයක සිටීමෙන් වෙන්නේ අරගලය තවත් ජෝක් එකක් බවට පත්කරන්නට කටයුතු කරන අයට උඩගෙඩි දීමක්

      අප විසින් මේ ගැන ස්වයං විවේචනයක්කළයුතුයි අවංකවම අරගලය නිසා වුණේ කුමක්ද?
      ඇයි ලංකාවේ ජීවන වියදම අඩු උනාද? අඩුම තරමින් ඒ මට්ටමේ නැවතුනා ද? රට පුරා රැකියා අහිමි වූ මිලියන එකක්පමණ පිරිසට ආපහු රැකියා වැඩි උනා ද? හොරකම, දූෂණය නැති උනා ද? රටේ ඒක පුද්ගල ආදායම වැඩි උනාද? සිස්ටම් චේන්ජ් උනාද ? හොරාගත් බවට පැවසූ මහජන මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් ද?

      ඒ මොනවත් නෑනේ...

      උනේ කාරණා 3යි.

      01. තමන්ගේ ආසනේවත් බේරා ගන්න බැරිව අනාථ වෙලා හිටි රනිල් ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්දීය සහයෝගය සමගින් ලේසියෙන්ම රටේ ජනාධිපති උනා,

      02. අරගලය මුවාවෙන් සමහර විශාල පිරිසක්, ඒ වගේම ආගම් විකුණගෙන කන කාලකණ්ණි පාදිලි උන්නාන්සේලා, හොර ගණගෙඩියෝ සහ මෞලවීලා, වීදි ගණිකාවන් සහ නළු හාල්කෑලි කුඩ්ඩෝ, තවත් එක එක අපත හාල්පාරුවෝ සෑහෙන පිරිසක් NGO සල්ලිවලින් ඉතා ලේසියෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බකරගන ගොඩ ගියා..

      03. අප ඇතුළු අවංකවම රටේ සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලනික පද්ධතිය සැලකිය යුතු මට්ටමකින් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගෙන සචනට බට බහුතරයක් දැන උගත් අවංක තරුණ තරුණියන් බහුතරයකට නිර්පාක්ෂික අරගලයක් සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ තිබ්බ කැක්කුම, ආදරය වතුරෙ ගියා....

      එච්චර තමයි...

      මේ නිසා මීළඟ වතාවේ මේ අරගලය විනාශ කිරීමට කටයුතු කළ සියලුම කණ්ඩායම් කිසිම ආකාරයක මැදිහත්වීමකට ඉඩ නොතබා සැලසුම් සහගතව අලුත්ම සැලසුම් ආරම්භ කළ යුතුයි අවාසනාවට ඒ බොහෝ දෙනෙක් මෑත කාලීනව මා මෙන්ම ලංකාවෙන් පිට වී ඇති පසුබිමක අප නැවතත් ඒ අවංක ක්‍රියාකාරීන් සමාජ ජාලා හරහා එකතු කර ගැනීම සඳහා මේ දවස් වල කටයුතු කරනවා අපි ආපහු නැගී සිටින බව පමණක් දැනට පවසන්නට පුළුවන්

      Delete
    3. සැබෑ අරගලකරුවන්ට සටන් කරන්නට වෙනවනේ- අරගලය නිසා පාඩු වෙන උදවිය එක්කත්; පාවා දෙන්නන් එක්කත්; කූටෝපක්‍රම පාවිච්චි කරන්නන් එක්කත් වාගේම විවිධ පෙරමුණුවල- විවිධ අරමුණු ඇති අයත් එක්ක.
      අරාගලයේ යෙදුණු අයට නෙවෙයි අරගලය දිනුවා නං ප්‍රතිලාභ ලැබෙන්නේ. පොදුවේ රටටමයි. ඒත් අරගලය පැරදුණාම තම-තමන්ගේ වාසි- ජාවාරම්- හොරකම් ආරක්ෂා වෙන කට්ටිය වැඩියි. ඔව්න්ගේ බලයත් වැඩියි- ධනයත් වැඩියි. ඒ නිසාම අටවන බොරු වලවලුත් වැඩියි.
      මේ වගේ දේවලුත් වෙද්දී , මම නං බලාගෙන ඉන්නවා පරීක්ෂාවෙන්.
      https://www.facebook.com/StudioRatta/posts/pfbid02P9xjot55B9kEHbYVSARK3YBq7nvt2WbbuwC8Tp3zmpoGdP6hS3MzCdGB6kznzdgil

      Delete
    4. @ නිදිගෙ පංච තන්තරේ

      ලංකාවේ සමාජය පැත්තෙන් බැලූ විට විශාල අසහනයක් මෝරා තිබෙනවා. එහෙත්, ඒ අයගේ පැත්තෙන් අරගලයක් වගේ civil unrest එකක් සාධනීය විකල්පයක්ද?

      මොන අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව තවමත් ජනතාවට ඉහළින් සිට ජනතාව නොසලකා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන්නේ නැහැ. මම මෙයින් අදහස් කළේ civil unrest එකක් ඇති නොකර බැරි තරමට කියන එක. මිනිස්සුන්ට ආණ්ඩුවට බණින්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. ඒ වගේම, ආණ්ඩුව වෙනස් කිරීමෙන් තත්ත්වය හොඳ අතට හරවා ගත හැකි බවට කිසිදු සහතිකයක් නැහැ. ජවිපෙ, සජබ (චම්පික, සජිත් ඇතුළු එහි සංරචක) හෝ එජාපෙ සතුව අසහනයෙන් සිටින බහුතර පිරිසකට පිළිගත හැකි කිසිදු විශ්වාසනීය විකල්ප වැඩ පිළිවෙලක් නැහැ. අසහනයෙන් ඉන්න බොහෝ දෙනෙක් හොයන්නේ විකල්ප වැඩපිළිවෙලක් මිසක් විකල්ප නායකත්වයක් නෙමෙයි. විකල්ප නායකත්වයකට මතු විය හැක්කේ විකල්ප වැඩපිළිවෙලක් ඇත්නම් පමණයි. මේ වගේ තත්ත්වයක් යටතේ civil unrest තත්ත්වයක් හරහා සිදු වන්නේ තමන් කාගේ හෝ අතකොළු වීම පමණක් බව ලංකාවේ බොහෝ දෙනෙකුට තේරෙනවා කියා මම හිතනවා.

      සාමාන්‍යයෙන් civil unrest තත්ත්වයක් ඇතිවෙන්න සාධක තුනක් සම්පූර්ණ විය යුතුයි.

      (1) පවතින තත්ත්වය තුළ කිසියම් අසහනකාරීත්වයක් වර්ධනය වීම

      (2) එම අසහනකාරීත්වය සමනය කර ගත හැකි විකල්ප තත්ත්වයක් පෙනෙන්නට තිබීම

      (3) පවතින තත්ත්වය එම විකල්ප තත්ත්වය කරා පරිවර්තනය වන බවක් නොපෙනීම. මෙහිදී civil unrest හරහා සිදුවන්නේ අවශ්‍ය පරිවර්තනය සිදු කිරීමට උත්තේජනයක් සැපයීමයි.

      දැන් තියෙන්නේ (1) සාධකය පමණයි. කාටවත් පෙනෙන්න (2)ක් නැහැ. යම් හෙයකින් කා විසින් හෝ (2)ක් යෝජනා කර ඒ සඳහා මහජන සහයෝගය ලැබුණොත් මේ ආණ්ඩුව විසින්ම බොහෝ විට නොපැකිළ අවශ්‍ය පරිවර්තනය සිදු කරනවා. ඒ බව මිනිස්සු දන්නවා. ඒ නිසා, දේශපාලන බලය අතට ගන්න මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. 2015දී යහපාලන ආණ්ඩුව විසින් හෝ 2019දී රාජපක්ෂ කල්ලියේ ආණ්ඩුව විසින් මිනිස්සුන්ට පැහැදිලි විකල්පයක් ඉදිරිපත් කළේ හෝ යෝජනා කළේ නැහැ. මිනිස්සු ආණ්ඩු වෙනස් කළේ තමන්ට නොපෙනුණත් ආණ්ඩුව ගන්නා කණ්ඩායම සතුව මොකක් හෝ විසඳුමක් ඇති කියන විශ්වාසය පෙරදැරිව. 2015දී වගේම 2019දීත් ඉතා කෙටි කලකින් එම විශ්වාසය බිඳ වැටුනා.

      දැන් අපේක්ෂා භංගත්වයක් ශේෂව ඇතත් විකල්ප අපේක්ෂාවක් ශේෂව නැහැ. එවැනි රික්තකයක් තුළින් civil unrest තත්ත්වයක් පැන නැගිය හැක්කේ අපේක්ෂාවක් ප්‍රබල ලෙස ඇති වුවහොත් පමණයි. 1971දී හෝ 1988/89දී මෙන් වත්මන් තරුණ පරපුර ස්වභාවයෙන්ම (ඔවුන් ඉපදී හැදී වැඩී තිබෙන ලෝක තත්ත්වය අනුව) කැරලිකරුවන් නෙමෙයි. අදටත් වැඩිපුරම කැරලිකාර විභවයක් තිබෙන්නේ 40-60 වයස් කාණ්ඩයේ ඉන්න අයට. කාට හෝ පහසුවෙන් මෙහෙයවිය හැකි "වහල්ලු" වැඩිපුර ඉන්නේ මේ කණ්ඩායමේ.

      මම පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. වැදගත් වන්නේ වැඩ පිළිවෙළ මිසක් එය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක නෙමෙයි. මා විශ්වාස කරන ආකාරයේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී වෙන්නේ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් සතු බලය ඔවුන්ගෙන් ගිලිහෙන එකයි. එවැනි වැඩ පිළිවෙලක් කිසියම් නායකයෙකු හෝ කණ්ඩායමක් හරහා ක්‍රියාත්මක කරගැනීම කියන එකේම යම් කිසි විසංවාදයක් තිබෙනවා.

      කොහොමත් ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට ආණ්ඩුව වගේම විපක්ෂයත් එපා වෙලා තියෙන්නේ මේ නිසා විශාල පිරිසක් ඡන්දය නොදා මග අරීවි අලුත්ම පිරිසක් විශ්වාසනීය වැඩ පිළිවෙලක් සමග නොආවොත්. හැබැයි ආණ්ඩු වෙනස් කළත් මේකට ඉක්මනින් කළ හැකි පිළියම් මොකුත් නැහැ නේද? ආණ්ඩුව වගේම විපක්ෂය ප්‍රශ්න කිරීමටත් මිනිස්සු පුරුදු විය යුතුයි. බලයට පත් වූ වහාම පොරවල් වුනත් ඉතා කෙටි කලකින් ආණ්ඩු වින්දිතයින් බවට පත් වෙනවා. ලංකාවේ මෑතකාලීන යථාර්තය එයයි. මගේ දේශපාලනය දිගටම තිබුණෙත්, තිබෙන්නේත් ආණ්ඩුව වගේම විපක්ෂයත් ප්‍රශ්න කිරීමටත් මිනිස්සු පුරුදු විය යුතුයි කියන තැනයි. එය සිදු වන තුරු ලංකාවට ගොඩ යෑමක් නැහැ

      Delete
  2. පූල් එකේ සබන් ගලා නාල ෆොටෝ දැම්ම අයට ඉගෙන ගන්නවත් පිටරටකට යන්න බැරිවෙයි ඔන්න, අල්ලන් ගිහින් පොතේ ලියල ඇප දුන්න අයට කොහොමත් බැ. ඔර්ගනිස් කර අයට පමණක් ඇමරිකාවට යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තරය ඔබ හිතනවාට වඩා ගොඩක් වෙනස්. ගෝඨාභයට ගන්න බැරි විසා හුඟ වෙලාවට පූල් එකේ නාපු කෙනාට ගන්න හැකි වේවි. සංවර්ධිත රටවල් මිනිස් හැසිරීම් රටාවන් තේරුම් ගන්නේ ලාංකිකයන්ට වඩා ගොඩක් මානුෂික පැත්තෙන් බලල. ලාංකිකයාගේ දැක්ම වගේම දැනුම් වපසරියත් හරිම පටුයි

      Delete
  3. ලංකාවේ 90% ම ඉන්නේ ජිවිතේට රටින් පිටට අඩිය තියපු නැති ඉතා පටු දැක්මකට කොටු වුන මිනිස්සු. ලංකාවෙන් එලියට ගිහින් ජිවත් වෙන අය ගැන සැලකුවත් එකෙන් 50% විතර ගතින් එංගලන්තේ හිටියට මනසින් තවම තුම්පනේ. ලංකාවේ අරගලයට සම්බන්ධ වුණේ රටෙන් 10% විතර. ඒ අතරින් 80% විතර ලෝකය ගැන යම් තරමක පුළුල් දැක්මක් ඇති අය. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 8% විතර උත්සහ කරනවා 92% ගොබ්බ සේනලව හරි මගට ගන්න. ඕක වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. හරි මගට යන්නේ රජයේ/මහජනතාවගේ දේපොළ විනාස කරලද? පොලිස් ක්ලියරන්ස් එක දන්නවද? එම්බසි වල බුද්දි අන්ස, මුණු අදුනාගැනීම් නැදද? මේ ෆොටෝ දැන් ලෝකේ පුරා මාද්‍ය වල නැද්ද? ව්නාස කාරයෝ වෙන රටක් ගනීද? අබ සරණයි

      Delete
    2. @ Anonymous13 August 2022
      රුපියල් ට්‍රිලියන ගණනක් රජයේ/මහජනතාවගේ ධනය දේශපාළුවා විසින් කොල්ල කෑ රටක, ඒ විනාශය නවත්වන්න කල අරගලයකදී කැඩුණු මේස, පුටු ගැන, වෙලිච්ච්ච තණකොළ ගැන වැළපෙන ජනතාවක් ඉන්න නිසාම තමයි දේශපාලුවා මේ තරම් ජයට හොරා කන්නේ.

      Police clearance අවශ්‍ය සාමාන්‍ය විදියට long-term විසා apply කරනකොට. Political refugee status ඉල්ලන්න ඒවා අදාළ නැහැ. ඔය ෆොටෝ සහ වීඩියෝ ක්ලිප් තමයි refugee status ඉල්ලන කෙනාත් ඉදිරිපත් කරන්නේ තමන්ගේ case එක strong කරගන්න. ඒවා විදේශ මාධ්‍යවලත් පලවෙලා නම් case එක බොහොම වෙලාවට ලේසියෙන්ම දිනනවා. මම වැඩ කරන්නේ කැනඩාවේ Immigration Consultancy firm එකක. ඒ නිසා මට ඒ ගැන හොඳ දැනීමක් තියෙනවා. අපිට දැනටමත් ලංකාවෙන් application 600ට වඩා ලැබිල තියෙනවා පහුගිය මාසෙට. ඒක 2000% ක වැඩි වීමක්.

      Delete
  4. "ලංකාවේ බහුතරයක් ජනතාවගේ දැනුම් සම්භාරය තුල මේ ගැන දත්ත ඇත. නමුත් මට දැනෙන ආකාරයට මේ දැනුම විශ්ලේෂණය කර තේරුම් ගැනීමට තරම් තර්ක බුද්ධියක් බොහෝ දෙනෙකු සතුව නැත. එය උගත්-නුගත් කියා වෙනසක් නැතිව සමාජය තුල පිළිබිඹු වේ. තේරුම් ගන්නා සුළුතරය අතර පවා තේරුම අවබෝධය කරා ගෙන යාම පිණිස මානසික අවස්ථිති පවුර තරණය කර ගත හැකි අය සිටින්නේ අතලොස්සකි."
    මානසික අවස්ථිති පවුර තරණය කර ගත හැකි අතලොස්ස පෙරමුණ ගතයුතු ය.

    ReplyDelete


  5. ලංකාවේ ආර්තිකයට ඇතිවී තිබෙන තත්ත්වය මත ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව මාධ්‍ය හරහා පැහැදිලි කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යම කාරනය බව ද ඉතාමත් කෙටි කාලයක් තුළ ජනතාවට අත්‍යවශ්‍ය දෑ සැපයීමෙන් අනතුරුව මැතිවරණයකට පැවැත්විය යුතු බව ද පැවසූ අතර අද වන විට ජනතාව ඡන්දයක් ඉල්ලා සිටින බවද ඒ හේතුවෙන් ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණයකට යාමට බිය වී ආණ්ඩු බලය තව දුරටත් පවත්වාගෙන යාමට මාර්ග සොයමින් සිටින බවද මාධ්‍ය හරහා පැහැදිලි කළා.

    තව දුරටත් පැහැදිලි කළ ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසුරිය ‘ගෝටා ගෝ හෝම්’ සටන් පාඨය සමඟ සියලු දෙනාම එක් වූ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟතාවයකට පැමිණීමට බැරි වූ බවත් එය අරගලයේ පැවති බරපතලම දුර්වලතාවය බවත් පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා. දැන් ක්ෂණිකව මැතිවරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් ම ජේවීපී එකෙන් පාර්ලිමේන්තු වට 12- 15,ක් අතර ගානක් එයි, ඒත් අනුර සහොදරයට අගමැති කම ගන්න වෙන්නෙ නැහැ, ඊට පස්සෙ මොකද කරන්නෙ?

    ReplyDelete