Monday 24 January 2022

සංචාරක ව්‍යාපාරංඡ විනාසානංච සංවද්ධානං


මට පාසැල් විවාද කණ්ඩායමේ සිටි කාලය සිහිවෙයි. කාන්තා විදුහලක සාහිත්‍ය දිනය දා ඔවුන් සමග සුහඳ විවාදයකට අපට ඇරයුම් ලැබුණි. මාතෘකාව "සංචාරක ව්‍යාපාරය මගින් ලංකාව සංවර්ධනය කල හැකිද?" යන්නයි. ගැහැණු ළමයි "ඔව්" කියූ අතර අපි "බැහැ" කීවෙමු.

අපේ පිළේ අංක එක අද ඔබ මාධ්‍යයෙහි දකින නීතිය පිලිබඳ මහාචාර්යවරයෙකි. දෙක අද කොළඹ සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳව මහචාර්යවරයෙකි. තුන මමය. හතර අද සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරයෙකි. 

අපේ හැකියාවන් කෙසේ වෙතත් අවසාන අංකයට යන විට අපි හොඳටම ඇනගෙන සිටියෙමු. කාන්තා හඬ ඉතා ප්‍රබල විය. දරුණු නෝන්ඩියකට ආසන්නය.

අපේ අංක හතර නැගිට්ටේය. ඉතා ගැඹුරු ධර්මාන්විත හඬකින් ඔහු පහත පාඨය ප්‍රකාශ කළේය. 

"සංචාරක ව්‍යාපාරංඡ විනාසානංච සංවද්ධානං" 

"බුදු බනෙත් තියෙනවා සංචාරක ව්‍යාපාරය නිසා රටක සංවර්ධනය විනාශ වෙනවා කියලා. ඉතින් මේ සහෝදරියෝ කොහොමද ඒක එහෙම නෙවෙයි කියන්නේ". 

මුළු ශාලාවම නිහඬවිය. ප්‍රතිපිලේ සොහොයුරියන් කලබල වී එකිනෙකාට කොඳුරන්න විය. අංක හතර තම ගැඹුරු හරබර පච ටික කියා නිමවන විට අපේ ජාම යන්තම් ගොඩ ගොස් තිබුණි.

මට මේ අතීත කතාව මතක් වෙන්නේ අද දිනයේ දේශපාලකයන්ගේ පමණක් නොව සංඝ සමාජයේද සාරගර්බ ගජබින්න ඇසෙන විටය. අප පාසලේ දමා ආ ඒ සොඳුරු පලාප මේ පැසුණු ඇත්තෝ තවමත් කිසිඳු පැකිලීමකින් තොරව මාධ්‍ය ඉදිරියේ දමා ගසා ලිස්සා යයි. රටේ බහුතරයක් ඒ වදන් දේව වදන් සේ හිස් මුදුනින් පිළිගනී.


                  


2 comments:

  1. හරිම අරුත්බර සටහනක්. මට හිතෙන්නේ ඔබේ සටහන් සති අන්ත සිංහල පුවත්පතක තීරු ලිපි පෙලකට හොදයි. හිතල බලන්න. ඔබ සටහන් කර ඇති පරිදි වගකිව යුතු අය පාසැලෙන් ඔබ්බට බොරුව ගෙනයාම විශාල ව්‍යාපාරයක්. හැබෑව යට කරන්නට, ප්‍රශ්ණ යට ගසන්නට විශාල මාධ්‍ය යාන්ත්‍රණයක් එක්කයි එය ක්‍රියාත්මක වන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබට තුති අනුරුද්ධ. මා මේ සටහන් ලියන්නේ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු වලින් හෙම්බත් වූ විට ඒ පීඩනයෙන් මිදෙන්නත් කියවන්න කැමති කෙනෙකුට මගේ ජිවිතයෙන් යමක් දෙන්නත්. එය නියමිත කාල සටහනකට කල හැකි දෙයක් නොවෙයි. මා කලින් පුවත්පත් කිහිපයකට සතිපතා ලිපි ලිව්වත් පසුව තේරුණා එය හිතට කරදරයක් බව.

      Delete