Friday 10 December 2021

හෝරාවේ තේමාව-6: රට බාර දිය යුත්තේ කාටද?


මේ penultimate හෝරාවේ තේමාවයි. තව එක ලිපියකින් මම මේ පෙළ අවසන් කරමි. 

ලිපියේ ශීර්ෂය අර්ථවත් පැනයක්දැයි මට දැන් සැක සහිතය. මෙය තව ටිකක් වෙනස් විදියකටද ඇසිය හැක.

"රට බාරගෙන කල හැක්කේ කාටද?"

මේ පැන දෙකටම දැන් මට ඇත්තේ මහා ඕලාරික පිළිතුරකි.

"අනේ මන්ද".

මීට වසර එකහමාරකට පමණ පෙර මට මේ පැන දෙකටම යම් නිශ්චිත පිළිතුරක් තිබුණි. එනම් ජනතා විමුක්ති පෙරමුණයි.

ඉන් පසු ගතවූ දහඅට මාසයේදී සිදු  වූ වෙනස කුමක්ද? 

ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳව මගේ පැහැදීම දිනපතා වැඩි විය. දශක තුනක් පමණ මා ඉතා අප්‍රිය කල මේ පක්ෂය කෙමෙන් කමෙන් වඩාත් නම්‍යශීලී පුළුල් දැක්මක් සහිත මාවතකට අවතීර්ණ වන බව දකින්නට ලැබෙයි. ඔවුන් රැඩිකල් දේශපාලන පක්ෂයක සිට සවිමත් මුලික දේශපාලන ධාරාවක් (mainstream party) ලෙසට වර්ධනය වී ඇත. ඔවුන්ගේ දෘෂ්ඨිය රටේ මූලික ගැටළු කරා නාභිගත වීම පැහැදිලිවම පෙනෙන්න තිබේ.

එසේ නම්?

නමුත් ජවිපෙ පිබිදීමේ වේගයට වඩා අධි ත්වරණයකි රටේ ආර්ථිකය ගැඹුරු ආගාධයක් දෙසට ඇදී ගියේය. මේ වන විට ලංකාව පවතින බැරෑරුම් තත්වය බොහෝ දෙනෙකුට අවබෝධවී නැත. අවබෝධ වුවා කියා සිතන අයටත් එහි දිග පළල ගැඹුර ගැන නිසි වැටහීමක් නැතැයි මට සිතේ. මේ ලිපිය අද ලිවීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මන්ද තව දෙමසකින් මෙය ලීවා නම් එවන විට ඔබට මේ ලිපි කියවීමට තරම් මානසික ස්ථායිතාවයක් නොතිබෙනු ඇත.

මට සැම්බියානු පාෂ්ටර් වරයෙකුගේ කියමනක් සිහියට නැගේ.

"අන්ධයෝ භාග්‍යවන්තයෝය. මක් නිසාද යත් ඔවුන් මරණය අභියසදීත් මරණයේ දූතයා නොදකින හෙයිනි"

ඔබ බොහෝ දෙනෙක් භාග්‍යවන්තයෝය.

ලංකාව එක් අවස්ථාවකදී ප්‍රත්‍යවර්ත (නැවතත් රිවස් කල හැකි) සීමාව පසු කළේය. මම ඒ දිනවල ඒ පිළිබඳව පෝස්ට් කිහිපයක්ම පළ කලෙමි. දැන් ගැසට් රිවස් කලාට රට රිවස් කරනු නොහැකිය. ජවිපෙ නොව ශක්‍රයාගේ පුත් වයිමා ආවත් එය කල නොහැක. රටේ ආර්ථිකයේ සැබෑ තත්වය දන්නා කිහිප දෙනා මේ දේ හොඳින් වටහාගෙන ඇත. 

ආණ්ඩු පක්ෂය එකම අවුල් ජාලයකි. පළපුරුද්දක් නැති පුද්ගලයෙක් ඉතා බාරදුර වගකීමකට පැරෂුට් කිරීමෙන් ඔහු උම්මත්තකයෙකු විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 2010 වසරේ SF ජනාධිපති උනා නම් සිදුවන්නේද මෙයම බව මට දැන් වැටහෙයි. නමුත් වසර 11ට පසු අද ඔහු දැනුමෙන් තරමක් වියපත්ව ඇත. ආණ්ඩුවේ සිටින බහුතරයක් මෙලෝ බුද්ධියක් නැති අඳබාලයන් බව සිහි බුද්ධියෙන් බලන ඕනෑම අයෙකුට පෙනෙයි. තමන් රාජපක්ෂලා ඉදිරියේ කැපී පෙනීම සඳහා ඔලමොට්ටල කතා පවසමින් විගඩම් කරනවා හැරෙන්න ඔවුන්ට රටේ පවතින අනතුර පිළිබඳව කිසිම වැටහීමක් නැත. එහි සිටින සුසිල්, දිනේෂ්, අමරවීර, දයාසිරි වැනි බුද්ධිමත් (මම එම වදන බැරිවීමකින් යෙදුවක් නොවේ) දේශපාලකයන් යන එන මං නැතිව දේශපාලන අනාථයන් බවට පත්ව සිටියි. සමහර විට මේ අතරමං වීම තාවකාලික විය හැක. 

සජබයේ බොහෝ දෙනෙකුටද මේ අවස්ථාවේ ඇත්තේ "මෝඩ චූන්" එකක් බව ඔවුන්ගේ කතාවලින් සහ අංග චලන භාෂාවෙන් තේරෙයි. ඔවුන්ට මේ අවස්ථාවේ විය හැකි දරුණුම දේශපාලන මරණය නම් කුමක් හෝ හේතුවක් නිසා රටේ බලය ලැබීම බව තේරුම් ගන්න තරම්වත් හැකියාවක් මේ කෑගහන බොහෝ දෙනෙකුට නැත. ඒ අතරින් හර්ෂ, එරාන් සහ පාඨලී වැනි කීප දෙනෙක් යථාර්තය පැහැදිලිවම තේරුම් ගෙන ඉතා ප්‍රවේශමෙන් වචන හසුරුවන බව පෙනී යයි. සජබයෙන් පත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇත්තේ කඳ පමණකි. 

එජාපය යනු මළ ගෙදරකි. රනිල් පමණක් අවමගුල් නිවසේ මනාලයා බවට පත්වී ඇත. ඔහුට තරම් සිදුවන්න යන දේ පිළිබඳව ඉව කල හැකි වෙනත් දේශපාලකයෙක් රටේ ඇත්දැයි මම නොදනිමි. නමුත් ඔහු ඒ දෙස බලා මහත් වින්දනයක් ලබන බව මට පෙනෙයි. ඒ රනිල්ට උරුම වූ මානසික තත්වයයි.

මේ අනුව පාර්ලිමේන්තුව තුල සිටින පිරිසගෙන් රට පත්ව ඇති අගාධයෙන් අනුවණ වින්දනයක් ලබා නොගෙන යථාර්තය දකින්නේ ජවිපෙ තිදෙනා සහ දෙමළ පක්ෂවල මන්ත්‍රීවරු කිහිපදෙනෙක් බව මම දකින යථාර්තයයි. 

මේ තත්වය මත මට දැනෙන කාරණය නම් රට සම්පුර්ණයෙන්ම විනාශ වී නොයාමට නම් කල යුතු එකම දේ ජනතාව දැනුවත් කිරීමයි. මෙතෙක් අප ජනතාව දැනුවත් කල යුතුව තිබුණේ නිවැරදි පාලකයා තෝරා ගැනීම පිළිබඳවයි. නමුත් දැන් එය කල යුත්තේ වෙනත් කාරණයක් සඳහාය. ඒ කවුරු ආවත් ඉතා කටුක කාලයක් ගෙවිය යුතු බවත් එය බාරගෙන නැණවත්ව ඉවසා වදාරන ලෙසටත්ය. වැඩි පඩි, සහන පැකේජ, නොමිලේ අරක මේක තියා වේල් දෙකක් ආහාර ගැනීමද මධ්‍යම-මධ්‍යම පාංතිකයන්ට පවා ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. කිරි තේ එකක් ඉහල මධ්‍යම පංතියේ උදෑසනට පමණක් සීමා වනු ඇත. මස් මාංශ මෙන්ම වෙනදා සාමාන්‍ය වූ ආහාර වේලක් පවා බහුතරයකට අකැප වනු ඇත. වාහන භාවිතය අති පොහොසත් පැලැන්තියකට සීමා වනු ඇත. 

"ඔබ විසින්ම වැපුරූ බීජ ඉවසීමෙන් නෙලා ගන්න".

ජවිපෙට රට යා යුතු බව මගේ හැඟීමයි. ඒ ඔවුන් මේ අවස්ථාවේ ඇති එකම විසඳුම නිසාවෙනි. පැහැදිලිවම අනාගතයේ දිනක ඔවුන්ට වඩා යහපත් පිරිසක් ලැබෙනු ඇත. එතෙක් ඔවුන් පෙන්වන මාර්ගයේ යා යුතුව ඇත. මා ඉතා ගරු කරන නාගනන්ද වැනි මහත්වරුන්ද මීට එකතුවිය යුතුය. එසේම ජවිපෙ මේ ඉහල බුද්ධිමය වටිනාකමක් ඇති ශක්තිමත් මිනිසුන් ඇගයීමට භාජනය කලයුතුය. ඔවුන්ගේ හැකියාව උපරිමයෙන් නෙලා ගත යුතුය. අනෙක් අතට ලංකාවේ බිහි වූ විකල්ප නායකයන් ජවිපෙ සමග නොගැටී, ඒ වෙනුවට යම් එකඟතාවයකට පැමිණිය යුතුය. ඔවුන් සියලු දෙනාම පාහේ මහජනතාව පිබිදවීම සඳහා යම් වැඩ කොටසක් ඉටු කලෝය. 

ඉදිරියේදී ඇතිවන ඉතා සංකීර්ණ ආර්ථික බිඳ වැටීම තුල ජවිපෙන් බාහිර වෙනත් විකල්ප සෙවීම නුවණට හුරු කාරණයක් නොවන බව මගේ වැටහීමයි. එසේ කල හැකිනම් ඉතා හොඳය. නමුත් වසර කිහිපයක් තුල අති දුෂ්කර පරිසරයක් තුල ලංකාව පුරා සවිමත් ක්‍රියාන්විත ජාලයක් (operational network) සෑදීම යථාර්තයක් නොවන බව මට පැහැදිලිය. 

ජවිපෙ යනු ඇලඩින්ගේ පුදුම පහන නොවන බව ජනතාව තේරුම් ගත යුතුය. මා ජවිපෙන් බලාපොරොත්තුවන හෝරාවේ එකම පැලැස්තරය ආර්ථික ව්‍යසනය සමාජ ව්‍යසනයක් බවට පත්වීම වලක්වා ගැනීමයි. ඉන්පසු අපට ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳව බොහෝ දේ සංවාදයට බඳුන් කල හැක. 



 


10 comments:

  1. දිනේෂ් වැන්නෙකු බුද්ධිමතෙකු ලෙස හඳුන්වන්නේ කොහොමද?

    ReplyDelete
  2. නැවතත් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවතෙන්නේ 2024 හෝ 2025 අවුරුදු වලයි. දේශපාලනිකව එය ඉතා දිගු කාලයක් ලෙස මට හැඟේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපිට අතීතය අමතක වෙන්න යන්නේ ටික කාලයයි. ලංකාව දැන් තිබෙන ආර්ථික තත්වය මීළඟ ජනාධිපතිවරණයට පෙර යම් සුබවාදී තත්ත්වයකට පත්වීමට ඇති ඉඩකඩ බොහෝමයි. (රාජපක්ෂලාගේ හෝ පොහොට්ටුවේ දක්ෂතාවය මත නොව, ලෝක ආර්ථිකයේ බලපෑම සහ විදේශ සංචාරකයින්ගේ පැමිණීම මත) දැන් පවතින තත්ත්වය අනුව රාජපක්ෂ පවුලේ කෙනෙකුට හෝ පොහොට්ටුවේ නියෝජිතයකුට මීළඟ ඡන්දය ජය ගැනීම අපහසු බව පෙනුණත් තව අවුරුදු තුනකින් නැවතත් ජාතිවාදය හෝ ආගම්වාදය හා විදේශීය කුමන්ත්‍රණ යන අයුතු බිය මත එසේ සිදුවිය නොහැකි යැයි කීමට අපහසුයි.

    ජවිපෙට තිබෙන හොඳම අවස්ථාව මෙය බව සත්‍යයක්.
    මීලඟ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය තුළින් හරිනි අමරසූරිය වැනි උගත් ජවිපෙට සම්බන්ධ නැති පුද්ගලයෙක්ව ඉදිරිපත් කිරීම තව වැදගත් බව මගේ මතයයි.

    ජවිපෙ හෝ ජාතික ජන බලවේගය පවසන වංචා අල්ලස් හොර නැති සමානාත්මතාවක් ඇති පාලනයකට ලාංකීයන් සූදානම් ද යන්න විශාල ප්‍රශ්නාර්ථයක්.

    ReplyDelete
  3. ජවිපෙන් සැදුම්ගත් ජාතික ජන බලවේගයක් හරහා බලය ගැනිමෙන් රටට ඉදීරියක් තියෙවී.
    It should include more people like Dr. Harini Aamarasuriya
    ලාල්කාන්තගේ Interview එකක් බැලුවෙමි , ඔහුගේ අදහස් අනුව සමුර්දිය නැතිකර ඔව්නට ගෙදර නිකන් ඉන්න නොදී රැකියා සැපයිය යුත්යි, මෙය දනවාදී කියාගන්නා පක්ෂ දෙකම නොකියන කාරණයකි, ඔව්න් (ජවිපෙ නායකත්වය)යටිහිතින් දන්න්නව නව ලිබරල් ආර්ථිකය තුලින්ම තමියි විසදුම නමුත් එය ජවිපෙ කඩරයට කෙලින්ම කිවනොහැකි දෙයකි, මම හිතනවා වෙනිළසිඋල හෝ කියූබා නැතව චීන මොඩලය හෝ සමාන ආර්ථික ක්‍රමයක් අනුගමනය කොලොත්, ජවිපෙයට රට ආර්ථික අගාදයෙන් ගොඩගතහැකියි. එහිදී'ලාල් කියනවා අපි පළමුව රුස්සියවේ October විප්ලවයට පෙර February විප්ලවය කලයතූයි කියා.

    ReplyDelete
    Replies
    1. මම ඔය interview එක බැලුවේ නෑ ඒත් ඔබ කියන කතාව අනුව නම් එම යෝජනාව ප්‍රායෝගික නෑ. ලංකාවේ දැඩි ලෙස දුප්පත්කම නිසා බැට කන ජනතාවගේ තරුණ පරපුර 1971 සහ 1988 මෙන්ම උතුරේ ද 1983 පමණ සිට භයානක ලෙස කැරලි ගැසීම සමග මහත් ව්‍යාසනයක් සිදු වූ නිසා ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය උපදේශ IBRD (ලෝක) බැංකුව ආදියේ උපායමාර්ගික සංවර්ධන උපදෙස් මත යුරෝපීය රටවල සහ ඇමෙරිකාව වැනි බටහිර රටවල ආකාරයට රැකියා විරහිත ජනයාට සුභසාධන දීමනාවක් සමග ඔවුන් ස්වයං රැකියාවලට යොමු කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළා.

      ඇත්තටම 1990 පමණ ජනසවිය ලෙසත් පසු කලෙක 1995 සමෘද්ධිය ලෙසත් පැමිණි වැඩ සටහන සහ වියපත් අයට ලබාදෙන වැඩිහිටි දීමනාව (පිංපඩි), වෙනත් ස්වයං රැකියා ණය පහසුකම්ද ආදිය මෙහි ප්‍රතිඵලයක්.

      විවිධ හේතූන් නිසා ලංකාවේද දිළිඳු ජනතාව රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට කිසියම් අනුග්‍රහ දැක්වීමක් නොමැතිව නිෂ්ක්‍රීය වූ ජන කොටසක් බවට පත්වීම මත ඔවුන් අවසානයේ අනුන් මත යැපෙන තත්වයක් දක්නට ලැබේ. එහෙත් මේ සෑම පුද්ගලයකු තුළම සැඟවුණු විභවතා ශක්තියක් ඇත. මෙම විභවතාවන් යටපත් කරගෙන ඇති බාධක දුරලමින් ඔවුන් ඉදිරියට ගෙන ආ යතුය. ඒ සඳහා ඔවුන්ව ස්වභාවිකව ශක්තිමත් කිරීම සඳහා කරනු ලබන ක්‍රියාමාර්ගයන් ප්‍රජාව බල ගැන්වීමේ ක්‍රියාවලියක් මෙම වැඩසටහන යටතේ සිදු කරනවා.

      Delete
    2. මේ අනුව සමෘද්ධි වැඩසටහන තුළ ඳිළිඳුකම පිටුදැකීමේදී දුප්පතුන් බලශක්තීකරණය කිරීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි බැංකු සංගම් ව්‍යාපාරයයි. මෙම බැංකු සංගම් ව්‍යාපාරය එක්තරා පද්ධතියක ස්වරූපය ගනී. සමෘද්ධි බැංකුසංගම් ව්‍යාපාරය තුළ එවැනි උපපද්ධතීන් 4ක් දක්නට ලැබේ. 5දෙනාගේ කණ්ඩායම එක් උප පද්ධතියකි. කුඩා ගම්මාන මට්ටමේ සමෘද්ධි සමිතිය තවත් උප පද්ධතියකි. කලාප මට්ටමේ බැංකු සංගමය තවත් උප පද්ධතියක් වන අතර සමෘද්ධි මහා සංගමය මෙහි තවත් උප පද්ධතියකි. මෙහිදී කුඩා කණ්ඩායම් හා සමෘද්ධි සමිතිය පිළිබඳව ගත්කල පස් දෙනාගේ කණ්ඩායම හා සමෘද්ධි සමිතිය දුප්පත් ප්‍රජාව සමාජ සජීවකරණයට ලක්කිරීම සඳහා යොදාගන්නා ලද පහළ මට්ටමේ සංවිධානක ලෙස කණ්ඩායම කුඩා වනවිට පෞද්ගලිකත්වයට වඩා කණ්ඩායම් හැඟීම වැඩිවන බව ඇතැම් පර්යේෂණවලින් හෙලි වී ඇත. විශ්ෂයෙන්ම බංග්ලාදේශයේ ග්‍රාමීන් බැකුව පිළිබඳ පර්යේෂණ රාශියක මෙය මනාව පැහැදිළි කර ඇත. මෙම කරුණු සැලකිල්ලට යොමුකරමින් සමෘද්ධි ව්‍යාපාරය තුළ අතුරු කල්ලි නැති සාමූහික 5 දෙනාගේ කුඩා කණ්ඩායම් ක්‍රමය ඇති කරගෙන තිබේ. කණ්ඩායම සතිපතා රැස්වී සාකච්චා පැවැත්වීම තුළින් තම තමා මුහුණ දෙන ගැටලු විමර්ෂණය කිරීමටත්, ඒවාට විසඳුම් සොයා ගැනීමටත් ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වේ. මෙම සාකච්චාව හා සංවාදය ඉතාමත් අගනා නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් සාකච්චා සටහන් වාර්තා කර තැබීමටත්, ඒවා පසුවිපරම් කිරීමටත් ඉගෙන ගනී. මෙම ක්‍රියාවලිය තුළින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා සැලසුම් ක්‍රියාවලියකට ඳිළිඳු පවුල් ක්‍රම ක්‍රමයෙන් යොමු කිරීමක් සිදුවේ. සමිතිය වාර්ෂිකව නව මභාපති, ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය තෝරාගනුලැබේ. ගම්මානයේ සියළුම කුඩා කණ්ඩායම් සමිතිය තුළ සංවිධානය වේ. මේ නිසා සති දෙකෙන් දෙකට කණ්ඩායමේ කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්චා කිරීමට ඉඩ සැලසේ. තවද බැංකු සංගමයට ඉදිරිපත් කරනු ලබන ණය ඉල්ලුම් පත්‍ර විවෘතව සාකච්චා කර අනුමත විය යුතුව ඇත.පවුල් සෞඛ්‍ය සේවිකාව, ගමේ ගුරුවරුන්, අනෙකුත් රජයේ නිළධාරීන් ආදී සහය සේවාවන් සපයන අංශ සමිතිය තුළප්‍රජාව දැනුවත් කිරීම සඳහා කැඳවා ගැනීමට පුළුවන. එමෙන්ම නායකත්ව හා ගීත කවි ගායනා කිරීමේ කුසලතා වරධනයටද සමිතිය යොදා ගනු ලැබේ. ගමේ පොදු අවශ්‍යතාවන් සාකච්චා කරීමටත්, සමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත්, පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් ගෙනැවිත් බෙදා ගැනෑමටත් මෙම සමිතිය යොදා ගනී සමෘද්ධි සමිතිය සම්මත ප්‍රජා සංවිධාන වලින් වෙනස්වන ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ එය ඳිළිඳු පවුල් සමූහය සඳහා වෙන්වී තිබීමයි. මේ නිසා සාමාන්‍යෙන් ප්‍රභූන් විසින් මෙහෙයවනු ලැබූ සංවිධාන වෙනුවට දිළිඳු ජනතාව මෙහෙයවන නව සංවිධානයක් ඉස්මතු වී ඇත. මේ නිසා ග්‍රාමෝදය මෙන් කොන්ත්‍රාත් කරන සංවිධාන වෙනුවට දුප්පත්කමේ ගැඹුරු පැතිවලට යොමුවී අවශ්‍ය සංවර්ධනය කිරීමට හැකි වේ. එමෙන්ම සමිතිය නොවිධිමත් ඒකකයක් ලෙස දිළිඳු ප්‍රජාවගේ දැනුම කුසලතා හා ආකල්ප වෙනස් කිරීමේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඉතාමත් ප්‍රබල නොවිධිමත් අධ්‍යාපන ඒකක විශාල ප්‍රමාණයක් සමෘද්ධි සමිතිය සතුව ඇත. එමෙන්ම දුප්පත් ප්‍රජාව සංවිධානගත කිරීමේදී දශ ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සමෘද්ධි සමිති ව්‍යාපාරය තුළ සංවිධානය වී ඇත. ජවිපය ඇතුලු බොහෝ දෙනෙකුට මේ ගැන නිසි අවබෝධයක් නැති අතර ජනසවිය සහ නූතන සමෘද්ධි ව්‍යාපාරය නිසා ජවිපෙට ගම්මාන වල පෙර පැවති පරිදි දිළිඳු ජනතාව රජයන්ට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර වලට පොළඹවා ගැනීමට ඇති හැකියාව දුබල වූ බව ජවිපෙ ගම්බද ඡන්ද පදනම ගැන ඇතැම් ලිපි ලියූ සමහර දේශපාලන විශ්ලේෂකයන් ලියා තිබුණා. කෙසේ වෙතත් මම නම් ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ.

      Delete
  4. මෙහි දී ඔබගේ අදහස් සමග මට යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට විනාශයක් පතන බව කීම කිසිම විදිහකින් පිළිගන්න බැහැ. ඔහු රජයට දැඩි ලෙස අවධාරණය කළා වහාම IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ආර්ථික අර්බුදය එනම් විදේශ මුදල් සංචිතය සිඳී ගිය නිසා ඇතිවූ උග්‍ර විදේශ විනිමය හිඟය සහ ආනයන වියදම් ඉහළ යෑමත් ආදී ප්‍රශ්න පාලනය කරගන්න කියලා. ඔහු කියන දේ රජය නොකරයි නම් ඔහු ඊට වගකිවයුතු නෑ නේද? මම හිතන්නේ කියලා කියලා ඇති වෙලා බලාගෙන ඉන්නවා කබ්රාල් වගේ අය වෙනස් තීන්දු තීරණ හරහා අමුතුම ආකාරයේ ක්‍රමයකින් මේක විසඳන ආකාරය දිහා බලාගෙන.

    ඊළඟට දෙවෙනි කාරණය ජවිපේ ජාතික ජන බලවේගය ගැනයි. පහල සමාජ තල වල ඉන්නා, තරමත් හැකියාවක් ඇති, තමන්ගේ මහන්සියෙන් වැඩ නොකර, හැකියාව ඇති මිනිසුන් මහන්සියෙන් ලබා ගත් ධනය තමන්ට බෙදා ගැනීම සඳහා වූ ව්‍යාපාරයක නියුක්ත වන සහ ඒ හීන දකින අය විදිහටයි මම ජේවීපී පාක්ශිකයන් දකින්නේ. තමන්ට ගොඩ යෑමේ එකම ක්‍රමය එම විදිහ පමණක් බව විශ්වාස කරන ඔවුන්, සමාජ ක්‍රමය වෙනස් කරන්න හදන්නේ ඒකයි. හැකියාවක් ඇති යැයි මං අදහස් කරේ කවුරුහරි ලියා තිබෙන පොත් ගොඩක් කියවීමේ හැකියාව මිස ලොවට අවශ්‍ය කිසිවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව නොවේ.

    විෂයානුබද්ධව කතාකරන, ඔවුන්ව ප්‍රශ්න කරන අයට පුද්ගලානුබද්ධව පහරදීම ඔවුන්ගෙ එක උපක්‍රමයක්. හුගක් උගත් අයට ඒ විදිහෙ පෞද්ගලික ප්‍රහාරවලට මූණදීලා හුරු නැතිනිසා පසුබැහැල ගියාම දැනුමේ ආධිපත්‍යයක් පවත්වගන්න ලේසියි JVP එකේ අයට.

    අපහාස කරල උපහාස කරල තර්ජනය කරල එහෙම නැත්නම් Facebook Account report කරල තමයි දැනටත් සමාජාමාධ්‍යවල ජවිපෙ තමන්ගෙ මතය පතුරවන් ඉන්නෙ. එහෙම පිරිසක් රටේ පාලනය සඳහා යොමු කරන එකට ඔබ කරන යෝජනාව පිළිගන්න බෑ අප වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කෙරෙහි විශ්වාසය තබා නිදහස් වෙළඳ පොළ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේ උසස් තත්ත්වයේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වයක් බලාපොරොත්තු වන පුද්ගලයන් බහුතරයකට. ඒකයි ඔය ඔවුන් හැමදාටම සීමිත ඡන්ද ප්‍රමාණයක් පමණක් ලැබීමට හේතුව.

    ReplyDelete
  5. චන්දිම මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඒකාබද්ධ වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ දැනට පවතින සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසඳන්න පුළුවන් බව පවසන නිසා පහත කරුණු කාරණා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම කළ හැකි වේවි.

    ඒ නිසා ජවිපෙ ආණ්ඩුවක් තුළ;
    1. දැනට එළඹ ඇති සහ අනාගතයේ එළඹෙන ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධ ඔබගේ ක්‍රියා මාර්ගය කුමක්ද?

    2. ලංකාවට එරෙහිව පවතින දෙමළ ඊලාම් ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියා මාර්ගය කුමක්ද?

    3. ලංකාව තුළ මුස්ලිම් අන්තවාදයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියා මාර්ගය කුමක්ද ?

    4.ඔබගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද ?

    5.බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද ?

    6. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අදහස්, Good Governance, institutions ශක්තිමත් කරමින් එක රටක් එක නීතියක් සංකල්පය ගැන ඔබේ අදහස කුමක්ද ?

    7. සහල්, කිරිපිටි, සීනි, ගෑස් වැනි අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩ හා සේවා වල මිල අර්බුදය පාලනය කර ගැනීමට ඔබේ පිළියම සහ වැඩ පිළිවෙල කුමක්ද?

    8. ඔබ රජයේ නියාමනය සහ පරිපාලනය සඳහා තීරණාත්මක වගකිවයුතු තනතුරු වලට සුදුසුම පුද්ගලයන් පිරිසක් පත්කරමින් තනතුරු ලබා දෙන ක්‍රමවේදය කුමක්ද?

    9.මෙරට තුළ ඔබ ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රමවේදය පැහැදිලිව තේරුම් කර පවසන්නේ කුමක්ද? ලිබරල් ධනවාදයේ වපසරිය තුළ සමාජවාදී සංකල්ප ක්‍රියාත්මක කරන්නේ කෙසේද?


    10. ලංකාවේ ආදායම් විෂමතාවය පාලනය කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?

    11.ආනයන අපනයනය ක්‍රියාවලිය තුළ ඔබේ ප්‍රමුඛතා මොනවාද ?

    12. ආණ්ඩු වෙනස් කළත් වෙනස් නොවන අකාර්යක්ෂම, අලස, දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

    13. මේ වන විට ඩොලර් බිලියන 50 ක් පමණ වන රටේ මුළු ණය නැවත ගෙවීමේ වැඩපිළිවෙළ කුමක්ද? විදේශ ගත ලාංකීය ජනයාට උපරිම ඩොලර් මිලියන 500 ක් විතර අමාරුවෙන් එකතු කර රජයට ලබා දිය හැකි වුණත් ඉතුරු බිලියන 49.5 හොයාගන්නෙ කොහොමද? රජයේ විදේශ වගකීම් වන ණය ඩොලර් බිලියන 30 කට අධික ණය ගෙවන්නේ කෙසේ ද? IMF එකට යන්න කැමතිද? එසේ නම් එම කොන්දේසි වලට එකඟ වෙනවා ද?

    14. වත්මන් ආණ්ඩුවේ සහ හිටපු ආණ්ඩුවල දූෂිත, දේශපාලකයන් සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියාමාර්ගය කුමක්ද? විපක්ෂයේ සිටින නිසා දූෂණ චෝදනා නැති නමුත් ඔබට බලය හිමි වූ පසු පාලනය කිරීමේදී ඔබගේ පක්ෂයේ අය කරන දූෂණ වංචා පාලනය සඳහා යාන්ත්‍රණයක් පවතීද? එසේ නම් එය කුමක් ද විස්තර කරන්න.

    15. වත්මන් දූෂිත රාජපක්ෂ රජයට එල්ල වී ඇති චෝදනා මෙන්ම කලින් රජයට ඔබද චෝදනා එල්ල කළ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔබගේ විසඳුම හා ඊට සම්බන්ධ අය නීතිය හමුවට ගෙන ඒම සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගය කුමක්ද?

    16. පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියා මාර්ගය කුමක්ද?

    17. භාෂණයේ, ප්‍රකාශනයේ හා මූලික මිනිස් අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සම්බන්ධයෙන් ඔබ ගන්නා පියවර මොනවාද ?

    18. ලංකාවේ අර්බුදකාරී තත්ත්වයක් ඇති ප්‍රවාහන සේවය, අධ්‍යාපනය, සෞඛ්‍යය තවදුරටත් පෞද්ගලික අංශය සතුවේද? නැතහොත් රජය සතුවේද?

    19.රටට වඩාත් ගැළපෙන ව්‍යවස්ථාව (ඒකීය /ෆෙඩරල්) සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද ?

    20.වඩාත් ඵලදායි රාජ්‍ය සේවයක් ලබා දීමට ඔබ ගන්නා පියවර කුමක්ද ?

    21.අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගන්නා පියවර මොනවාද ?

    22. ඔබ භාවිත කරන මැතිවරණ නීති ක්‍රමය කුමක්ද ? ( සමානුපාතික / කොට්ඨාස ක්‍රමය) හා ඊට හේතු?

    23. රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරන මණ්ඩල වලට පත් කරන අයගේ සුදුසුකම් මොනවාද ? පත් කරන ක්‍රමවේදය කුමක් ද?

    24. කාන්තාවන් තව දුරටත් විදේශ ශ්‍රමිකයන් ලෙස යවනවාද? නැතහොත් ඔවුන් ශ්‍රම බලකායට දායක කරගන්නේ කෙසේද?

    25.රාජ්‍ය සේවය සඳහා ජනතා නියෝජිතයන්ට දෙන පහසුකම් සහ වරප්‍රසාද මොනවාද ? දැනට පවතින දේවල් වැඩි බව ඔබේ මතය නිසා ඒවා කප්පාදු කරනවා නේද?

    26.ජාත්‍යන්තර මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියා මාර්ගය කුමක්ද ?

    27.භාවිතයට නොගත් රාජ්‍ය දේපල සහ ඉඩකඩම් රටේ දියුණුවට ඵලදායි ලෙස යොදාගන්නේ කෙසේද ?

    28. වත්මන් ආණ්ඩුව විසින් උග්‍ර අතට හරවා උද්ඝෝෂණ ව්‍යාපාර කරන ගොවීන්ගේ පොහොර ගැටළුව විසදීමට ඔබගේ යෝජනා මොනවාද? ලෝක වෙළඳ පොළේ අධික ලෙස පොහොර මිල ගණන් වැඩි වෙලා නම් ආනයනික පොහොර ගෙන්වීමට අවශ්‍ය ඩොලර් මිලියන 400 ක් විතර හොයා ගන්න පුළුවන් වෙයි ද?

    29. රට තුළ පවතින විවිධ සේවා අතර පවතින උග්‍ර වැටුප් විෂමතාවය වැළැක්වීමට ඔබගේ යෝජනා මොනවාද ? ඒවා ක්‍රියාත්මක කරන්නේකුමන වැඩ පිළිවෙළක් ලෙසට ද?

    30. රාජ්‍ය සේවය තුළ අල්ලස හා දූෂණය නැති කිරීමට ඔබගේ ක්‍රියා මාර්ග මොනවාද ?

    31. ලංකාවේ දරුවන් ගේ අධ්‍යාපන අයිතිය හා සුරක්ෂිතතාවය පිළිබඳව ඔබගේ වඩපිළිවෙල කුමක්ද ?

    මේ කෙටි ප්‍රශ්න කීපයක්. මේ වගේ සංවාදයක් ඇති කරගෙන අවශ්‍ය වැඩ පිළිවෙළක් ගොඩ නැගීම අවශ්‍යයි.

    - නීතිඥ මධුමාලි අල්විස්

    ReplyDelete
    Replies
    1. Excellent points. I will take them up on my FB, under your name.
      Thanks

      Delete
  6. දූෂිත රාජ්‍ය නිලධාරීන්ගෙන්ද මේ සමගම ගැලවිය යුතු නොවේද? බොහෝ ආයතන තුළ දුෂණ සඳහා දේශපාලකයා සමග එකට ගොඩයන ඉහළ රාජ්‍ය නිලධාරීන් බොහොමයක් සිටී.

    ReplyDelete