Friday, 25 December 2020

මිතුදමක සොඳුරු බව


ජිවිතයේ සමහර අවධියන්හි අපිට ඉතා කිට්ටු මිතුරු මිතුරියන් ලැබේ.  ඔවුන් ළඟම ඥාතීන්ටත් වඩා අපට සමීප වන අවස්ථා බොහෝ ඇත. මේ මිතුරුකම් වෙනස් ලිංගික පාර්ශවවල වන විට ඒවා මිතුරු ඇසුරක් ලෙස දිගු කල් පවත්වා ගැනීමට බොහෝ දෙනා අසමත්වෙති. එක්කෝ ඔවුහු පෙම්වතුන් වෙති. නැත්නම් ඉතා අප්‍රසන්න සතුරන් බවට පත්වෙති. බොහෝ විට සිදුවන්නේ දෙවෙනි කාරණයයි. මෙය සෑම සමාජ පද්ධතියකම දැකිය හැකි වුවත් එය ලංකාව සහ ඉන්දියාව සඳහා වඩාත් අදාළ වන බව මගේ අත්දැකීමයි.

මේ ගැන ගැඹුරු මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක් කල යුතු බව සැබෑය. එහෙත් සරල විග්‍රහයක් කරනවා නම්  මා දකින විදියට මේ කාරණයට හේතුව දකුණු ආසියාතික සමාජයේ බහුතරයකට අවේනික වූ සුවිශේෂි මනෝභාවයකි. එනම් අනෙකාගේ සිතීම්-හැඟීම් නිදහස (freedom of thinking & feeling) අවබෝධ කරගැනීමට සහ අනෙකාගේ ගත-භාෂාව (body language) තේරුම් ගැනීමට ඇති නොහැකියාවයි. 

ජිවිතයේ සමහර අවස්ථාවල අපිට මිතුරු මිතුරියන්ගේ අවශ්‍යතාවය ඉතා තදින් දැනේ. මේ මිතුරා හෝ මිතුරිය සමහර විට ඔබේ සහකරු හෝ සහකාරියද විය හැක. නමුත් එසේ නොවන අවස්ථා වැඩිය. අපට ගැහැණු පිරිමි බේදයකින් තොරව අනෙකාගේ උර මත හිස හොවා හඬා වැටෙන්න සිතෙන අවස්ථා ඇත. සිත තුල තෙරපෙන සිතුවිලි හැගීම් නිදහසේ මුදා හරින්න සිතෙන අවස්ථා ඇත. අතින් අත අල්ලා ගෙන ඇවිද යාමට සිතෙන අවස්ථා ඇත. තනිවම තම මිතුරා හෝ මිතුරිය සමග බොහෝ වෙලා කතා කරන්නට දේවල් තිබෙනු ඇත. නමුත් මෙය සම්මත (හෝ අසම්මත) ප්‍රේමයෙන් හෝ රාගයෙන් වෙනස් වන සීමාව වටහා ගැනීමට දකුණු ආසියාතිකයා බොහෝ විට අසමත් වෙයි. මේ අතින් බහුතරයක් බටහිර යුරෝපීයයන් සහ ලතින් ඇමරිකානුවන් ඉතා ඉහල මානසික තලයක පසුවෙයි. ඔවුන් අතර ඉතා සමීප ළබැඳියාවන් දශක ගණනක් පුරා පවතිනු මා දැක ඇත. 

අප සැමටම සිතුවිලි සහ හැඟීම් පිළිබඳව අයිතියක් ඇත. අපේ හැඟීම් සංසිද්ධි මත පවත්වා ගැනීමට අප සැමටම හැකියාව තිබිය යුතුය. එනම් කාන්තාවක් තමන් මානසිකව කඩා වැටුණු විටෙක තම මිතුරාගේ උරහිස මත හඬා වැටුනාය කියා ඇය සැමවිටම තමා සෙවනේ සිටිය යුතු නැති බව මිතුරා තේරුම් ගත යුතුය.  ඇයගේ පෞද්ගලික මනෝභාවයට ඔබ ගරු කල යුතුය. 

මිතුදමක අගය වැටහෙන්නේ ඉතා සමීප මිතුදම් තිබෙන අයටය. ඔබත් ඒ ගැන සිතන්න. මිතුදමක අලංකාරය යහපත් සිතින් විඳගන්න. 


Wednesday, 23 December 2020

විඥානය


පෙරදිග බොහෝ ආගමික සහ ශාස්ත්‍රීය දර්ශන ගොඩනැගෙන්නේ "මම" නමින් භුතාර්ථයක් පැවතීම (හෝ නොපැවතීම) මුල් කරගෙන බව පසුගිය මාස කිහිපයේදී ඇසුරු කරන ලද පොතපත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් මට තේරුම් ගියේය (තවමත් අවබෝධයක් නැත). මේ "මම" නම් භුතාර්ථයේ පැවැත්ම පිළිබඳව අපට ඇතිවන සංවේදනය නාමකරණය කිරීමේදී ඉංග්‍රීසි බසින් "Consciousness" යන වදන යොදාගන්නා බව පෙනේ. බටහිර දාර්ශනිකයන් බොහෝ දෙනෙක් අතර මෙම Consciousness වදන අර්ථ දැක්වීමේදී සහ යොදා ගැනීමේදී යම් සමානතාවයක් ඇත. 

නමුත් ඉංග්‍රීසි බසින් පෙරදිග දර්ශන පිළිබඳව හැදෑරීමේදී මෙම Consciousness යන වදන විස්තර කරන ආකාරයේ විශාල පරාසයක් දැකිය හැකිය.  එය ආගමික දර්ශනය මත මෙන්ම එකම ආගමේ නිකාය අනුවද, පුද්ගලයා අනුවද වෙනස්වේ. 

සිංහල අකුරුවලින් මෙම වදන ලිවිමේදී පවා ප්‍රබේද කිහිපයකි; විඤඤානය, විඥ්ඥානය, විඥානය. පහසුව තකා අපි මේ වදන විඥානය ලෙස භාවිත කරමු.

ඔබ "විඥානය" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අර්ථ දැක්වීමකට වඩා මට අවශ්‍යවන්නේ එය ඔබ අවබෝධකරගෙන ඇති ආකාරය පිළිබඳව තේරුම් ගැනීමටයි. මෙය මා ලියමින් පවතින පොතකට ඇතුලත් කිරීම සඳහාය. මෙහිදී මම ඔබගේ අදහස් ඔබගේ නමින්ම එම පොතේ පළ කරමි. 


                    


Sunday, 13 December 2020

වෙදකමට පෙම් බැඳී අය වෙනුවෙන්

 


මගේ සීයා (මවගේ පියා) පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙක් ලෙස වසර 35 කට වඩා සේවය කර විශ්‍රාම ගියේය. නමුත් දෙහිවල සහ පිළියන්දල යන ඔහු ජිවිතයේ සැන්දෑ සමය ගතකල ප්‍රදේශවල බොහෝ දෙනෙක් ඔහු හඳුනාගෙන සිටියේ පියසිංහ වෙද මහතා ලෙසයි. ඒ ඔහු වැඩිහිටි ජීවිතය පුරාවටම තම පරම්පරාවෙන් රැගෙන ආ එමෙන්ම ඔහු විසින් නොයෙකුත් පොත්පත් කියවා සොයාගත් වෙදකම් ප්‍රදේශයේ අවශ්‍ය ඕනෑම අයෙකුට නොමිලේ ලබා දීම නිසාය. මගේ ජිවිතයේ කුඩා කල බොහෝ සති අන්ත ගෙවුනේ ඔහුගේ කටයුතු වලට බෙහෙත් සෙවීම, බෙහෙත් කෙටිම ආදිය වෙනුවෙනි. 

සීයාගේ බෙහෙත් කිසිම බටහිර විද්‍යාත්මක ක්‍රමයකට තහවුරු කර නැති බව නම් මම දනිමි. එහෙත් ඔහුව සොයාගෙන පැමිණි රෝගීන් ඔහුගේ වෙදකම පිළිබඳව දැඩි විශ්වාසයකින් යුක්ත විය. ඊට හේතුව කුමක්ද? 

පියසිංහ වෙද මහතා (සමහරු ඔහුව හැඳින්වුයේ පියසිංහ රාළහාමි කියාය) උපදින්නේ කඩිගමුව ප්‍රදේශයේය. ඒ 1898 දීය. නමුත් ඔහු තම ගම ලෙස සැලකුවේ රඹුක්කන ප්‍රදේශයයි. තවමත් එහි අපගේ නෑදෑයෝ සිටිති. ඔහු පොලිසියට බැඳුනු පසු ලංකාවේ ප්‍රදේශ ගණනාවක සේවය කර ඇත. ඒ සෑම ප්‍රදේශයකදීම ඔහු තමන් දන්නා පාරම්පාරිකව ලබාගත් සහ පසුව ඊට එකතු කරගත් දැනුම ආශ්‍රයෙන් ප්‍රදේශයේ ජනතාවට සේවය සලසා ඇත. මේ නිසා පියසිංහ රාළහාමි මීගහතැන්න පොලිසියෙන් පිළියන්දල පොලිසියට මාරු වූ විට (උදාහරණයක් ලෙස) මීගහතැන්නේ මිනිසුන් ඔහුව සොයාගෙන පිළියන්දලට පැමිණි බව මගේ මව පවසයි. මේ ආකාරයට පිළියන්දල ජනතාවද ඔහුව වෙදෙක් ලෙස හඳුනාගෙන ඇත. 

මේ කතාව මා කියන්න සිතුවේ මේ වන විට ලංකාවේ ඇතිවෙමින් පවතින ඉතා භයානක මනෝ භාවයක් සහ ඊට අනුපාන සපයන මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ මා කවදත් ප්‍රශ්ණ කරන දැක්මක්  හේතුවෙනි.

දේශීය වෙදකම ලංකාවට පමණක් නොව ලොව සෑම රටකටම පාහේ ආවේණික වූ කලාවකි. එය චීනය, ඉන්දියාව, මැදපෙරදිග ආදී ප්‍රදේශවල වසර 5000 කටත් එහා ගිය අදටත් ප්‍රයෝගිකව භාවිතා වන වෛද්‍ය විද්‍යාවකි. ඒ පිළබඳව මම පසුගිය ලිපියේ කරුණු ගෙනහැර දැක්වුයෙමි. මේ සෑම වෙදකමක්, ඖෂධයක්ම සියවස් හෝ සමහර විට සහශ්‍ර ගණනාවක් ජනතා පරීක්ෂණයට ලක්ව ප්‍රත්‍යක්ෂ වූ කාරණාය. අද අප දන්නා මෙම දේශීය ඖෂධ මෙන්ම ජනතා පර්යේෂණයේදී අසමත්ව භාවිතයෙන් ඉවත් වූ වෙදකම් සහ ඖෂධද ගණනාවක් පවතින්නට ඇත. 

අපේ සීයාගේ වෙදකම මුලින්ම පටන්ගනිද්දී සේවාලාභීන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා අනිවාර්යයෙන්ම පාරම්පාරිකව එම වෙදකම ලබා තිබූ  ප්‍රත්‍යක්ෂ වීම උපයෝගී කරගන්නට ඇත (ඔහු නොදැනීම). ඉන්පසු දශක ගණනාවක් ඔහුගේ වෙදකම් ජනතාව විසින් ප්‍රත්‍යක්ෂ කරගැනීම නිසා ඔහු ජනතා පරීක්ෂණයෙන් සමත්වන්න ඇත. ජිවිතයේ අවසන් කාලයේ ඔහු වෙතට විශාල පිරිසක් වේදකම් කරගැනීම සඳහා පැමිණීමට මෙය හේතු වන්න ඇත. 

මා කලින් ලිපියේ සඳහන් කල පරිදි මේ දේශීය හෝ ආයුර්වේද වෙදකම් සහ ඖෂධ වැඩි දියුණු වන්නේ ඉතා දීර්ඝ කාලයක් තුළදීය. එය ජනතා පරීක්ෂණය සඳහා භාජනයවී සමත් වීමටද ඒ සා විශාල කාල පරාසයක් අවශ්‍ය වේ. මානව ඉතිහාසය පුරාවටම පවතින විද්‍යාත්මක ක්‍රමවේදය මෙයයි. අවශ්‍ය නම් ඔබට එය දේශීය විද්‍යාත්මක ක්‍රමය ලෙස අර්ථ දක්වා ගත හැකිය.

මේ සහශ්‍ර-සියවස් කාල පරාස තුල විකාශනය වූ විද්‍යාව දශක-වසර වලට පරිවර්ථනය වන්නේ නවීන විද්‍යාව තුලයි.  එය මීට සියවස් දෙක තුනකට පෙර සිදුවිය. අදටත් එම ක්‍රමවේදය තුල වුවද පර්යේෂණය, නිගමනය සහ ප්‍රත්‍යක්ෂය වසරකට වඩා අඩුකරගැනීම ඉතා අසීරු ඉලක්කයක් වී ඇත. මේ වන විට ලෝකයේ සොයාගෙන ඇති කෝවිඩ් එන්නත් සඳහා මෙම ක්‍රියාවලියට දැනටමත් වසරකට ආසන්න කාලයක් ගතවී ඇත. මෙහිදීද ගෝලීය ව්‍යසන තත්වය සලකා එම එන්නත ජනතාවට ලබා දීමට තීරණය කර ඇත්තේ නොමේරූ (premature) ක්‍රමවේදයක් තුල බව බොහෝ වෛද්‍යවරුන් පිළිගනී. හරිනම් එය තවත් වසරක්වත් සායනික පර්යේෂණ සඳහා භාජනය කලයුතු බව බොහෝ විද්‍යාර්ථයන්ගේ අදහසයි. 

අපේ රටේ දැන් මතයක් ගොඩනැගෙමින් පවතින්නේ නවතම රෝගයක් ලෙස වසරකට පමණ පෙර මතුවූ කොවිඩ් රෝගයට ක්ෂණිකව පහළවන ඖෂධ ක්ෂණිකවම ලබා දියයුතු බවයි. මේ සඳහා නවීන විද්‍යාත්මක ක්‍රමවේදය අනුව පරීක්ෂණ පැවැත්වීමද, පෞරාණික විද්‍යාත්මක ක්‍රමවේදය වූ දීර්ඝ කාලයක් (සියවස් ගණනාවක්) ජනතා පරීක්ෂණයට ලක් කිරීමද ඔවුන් ප්‍රතික්ෂේප කරයි.  මෙම ඖෂධයට මේ ක්‍රමවේද කිසිවක් අදාළ නොවන බව ඔවුන්ගේ අදහසයි. 

මේ අනුව කිසිවෙකු උදෑසන නැගිට පෙරදා රාත්‍රියේ තමා අහවල් දෙවියාගෙන් අහවල් බෙහෙත අසාගත්තා යයි කී විට අප පිළිගත යුතුය. ධම්මික මහතා කාලි මෑණියන්ගෙන් ලබා ගත්තාය කියන බෙහෙත අපි පිලිගන්නවා නම් දැන් තවත් මහතෙක් රාවණාගේ පුස්කොල පොතකින් ලබා ගත්තාය කියන බෙහෙත්ද පිළිගත යුතුය. නුදුරේදී නොයෙකුත් දෙවිවරුන්, දෙවඟනන්,  භූතයන්. ප්‍රේතයන්, ලබා දුන් බව හෝ තම අධ්‍යාත්මික බලයෙන් ලබා ගත් බව පවසමින් දිනපතා බෙහෙත් එලි දකිනු ඇත. ධම්මික මහතාගේ පැණිය ඔබ පිළිගන්නේ නම් ඒ කියන අනෙක් බෙහෙත් ඔබ නොපිලිගැනිමට හේතුවක් ඇත්දැයි මම විමසා සිටිමි.

මේ ඔබ සියළු දෙනා දායක වන්නේ දේශීය වෙදකම ගොඩගැනීමට නොව නොයෙකුත් වංචනික තෙල් බෙහෙත් වෙළෙන්දන්ට, හොර මගඩිකාර තක්කඩින්ට අනුග්‍රහය දැක්වීමටයි. මෙය බොහෝ කලක පටන් ලංකාවේ යම් ප්‍රමාණයකට සිදුවුවත් අද තරම් රාජ්‍ය සහ වියත් අනුග්‍රහය සහිතව එය කිසිදාක ඔලුව ඉස්සුවේ නැත. මෙය ඔබ සිතනවාට වඩා බරපතල තත්වයකි. මෙයින් සිදුවන්නේ දේශීය වෙදකම වලපල්ලට යාම අධි වේගී කිරීමයි.

මේ අප හසුවන්නේ දේශපාලන උගුලකට බව බොහෝ දෙනෙකුට නොතේරීම ජාතියේම අවාසනාවකි. 



Friday, 11 December 2020

රජය සාර්ථකය


මා සංචාරය කර ඇති සියළු දේශයන්හිදී වටහා ගත් කාරණයක් නම් ඒ සෑම රටකටම ආවේනික වූ ඖෂධ වර්ග රාශියක් ඇති බවයි. එය ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනගරයේ ජිවත්වන මහල් නිවැසියෙකුගේ සිට නැමීබියාවේ සිටින නොදියුණුම සමාජයක් ලෙස බටහිර ලෝකය ලේබල් කරන හිම්බා ගෝත්‍රිකයෙක් දක්වා අදාළ වේ. මේ අනුව දේශීය වෙදකම යනු ලංකාවට පමණක් ආවේනිකවූ විෂයයක් නොවේ. නවීන විද්‍යාව යම් යම් විසඳුම් ලබා දෙන තෙක් මේ සමාජ පද්ධති දීර්ඝ කාලයක් පවතින්නේ මේ දේශීය වෙදකමට පිංසිදු වෙන්නය. අදටත් හිම්බා වැනි ගෝත්‍ර නිරෝගී ජීවිත ගතකරන්නේ 100%ම දේශීය ඖෂධයන්ගේ පිහිටෙනි. ඔවුන් බටහිර වෙදකම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. 

ආයුර්වේදයේ ඇතුළු ලොව පුරා පවතින මේ දේශීය වෙදකම ගොඩනැගී ඇත්තේ තැත්-වරද (trial & error) ක්‍රමවේදය සහ සතුන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් බව පෙනෙයි. මෙය සහශ්‍ර ගණනාවක සිට සියවස් ගණනාවක් දක්වා වූ කාල පරාසයක වර්ධනය වී ඇත. ලෙඩ රෝග සඳහා පරිසරයෙන් විසඳුම් සොයා ගැනීමට මිනිසාට වඩා ඉතා ඉහල හැකියාවක් බොහෝ සත්වයන්ට ඇත. මෙය ඔවුන්ගේ ජානගත හැකියාවකි. මේ සියල්ල ප්‍රත්‍යක්‍ෂ වූ විද්‍යාත්මක දැනුමයි. එහි කිසිඳු අද්භූත ස්වරුපයක් නැත. 

ඉතිහාසයේ වරින් වර බිහි වූ බුද්ධිමත් පුද්ගලයන් මේ සහශ්‍ර ගණනක් තුල එකතු වූ දැනුම ග්‍රන්ථාරූඩ කර ඇත. මේ දැනුම සාර්ථකව ජනගත කිරීම සඳහා  ඔවුන් සමහර විට දේව සංකල්ප යොදා ගන්නට ඇතැයි නිගමනය කල හැක. මෙම විද්‍යාර්තිකයන්ගේ සේවය උදෙසා පසු කලෙක ඔවුන්ව දේවත්වයෙන් ඔසවා තැබීමටද සමහර ජන කොටස් උත්සහ ගෙන ඇති බව පෙනෙයි. 

මා කලින් කිහිප වතාවක් විස්තර කල පරිදි නවීන විද්‍යාව මේ වසර ලක්ෂ ගණනක විද්‍යාවෙන් වෙනස් වන්නේ මීට සියවස් කිහිපයකට පෙර ගොඩනැගුණු පිළිගත් පර්යේෂණ ක්‍රමවේදය නිසාය. මේ නිසා වසර දහස් ගණනක අත්දැකීම් අවශ්‍ය වූ නව නිපයුමක්  (භාණ්ඩයක්, සේවයක් හෝ දැනුමක්) වසර හෝ දශක කිහිපයකදී සාක්ෂාත් කරගත හැකි විය. අනාදිමත් කාලයක සිට පැවතෙන විද්‍යාව (මානවයා ඇතුළු මුළු සත්ව ලෝකයටම පොදු වූ) නවීන විද්‍යාවෙන් වෙනස් වන්නේ මේ මූලික සාධකයෙනි. 

ලංකාවද ඇතුළු බොහෝ රටවල වරින් වර පැමිණි වසංගත තත්ත්ව නිසා මිනිසුන් දහස් ගණනක් කෙටි කලකදී මිය ගොස් ඇත. ලංකාවේ ආසන්නතම සිද්ධිය 1930 ගණන් වලදී මතු වූ මැලේරියාවයි. මෙලෙස අළුතින් පැමිණෙන රෝගයකට මේ කිසිඳු දේශීය වෙදකමක විසඳුම් නොතිබූ බව ඉතිහාසය පෙන්නුම් කරයි. මේ නිසා දශක ගණනාවක් පුරා මිනිසුන් සහ සතුන් ලක්ෂ ගණනක් බිලිගනිමින් පැවතුන වසංගත ස්වභාවධර්මයා විසින්ම තුරන් කරන තුරු මිනිසාට කළහැකි දෙයක් නොතිබුණි. නමුත් සියවස් ගණනාවකට හෝ සහශ්‍ර කිහිපයකට පසු නැවතත් එම රෝගය හිස ඔසවන විට ඊට පිළියම් සමාජය විසින් උත්පාදනය කරගෙන තිබුණි. චීන, ඉන්දීය, මිසර, පර්සියානු, ග්‍රීක සහ රෝම ඉතිහාසය හදාරන අයෙකුට මෙම කාරණා අපූරුවට පැහැදිලි වෙයි. 

කෝවිඩ් සඳහා දේශීය විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබූ ඖෂධය මම මැජික් පැණියක් ලෙස හැඳින්වුයෙමි. ඊට හේතුව එහි මූලය අභිරහසක් වූ බැවිනි. ඔබ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් යම් ඖෂධයක් පිළිබඳව විමසු විට ඔහු එහි මූලය (අඩංගු ද්‍රව්‍ය, ඒ ද්‍රව්‍යයන් යොදා ගැනීමට හේතුව, ඒවා සැකසීමේ ක්‍රමවේදයේදී සිදුවන වෙනස් කම් ආදී) පිළිබඳව ඉතා පැහැදිලි විවරණයක් කරනු ඇත. එහෙත් යන්ත්‍ර මන්ත්‍ර, දේව බලයෙන් ලැබෙන උපදෙස් ආදිය සඳහා මෙවැනි මූලයක් නැත. එය අද්භූත හෝ මැජික් (එදිනෙදා වදනින් ) ලෙසින් හඳුන්වා දිය හැක්කේ මේ නිසාය.

ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් මර්දනය සඳහා එහි ප්‍රාථමික අවධියේදී ඉතා සාධනීය පියවර රාශියක් ගනු ලැබිය. වෙනත් බොහෝ රටවලට වඩා කෝවිඩ් මර්දනය අතින් ලංකාව ඉදිරියෙන් සිටියේ මේ නිසාය. එහෙත් පසුව මේ තත්වය වෙනස් විය. මැතිවරණය මෙන්ම වෙනත් දේශපාලන වාසි තකා පසු කලකදී නායකාදීන් වගකීම් විරහිතව හැසිරීමට හා තීරණ ගැනීමට පෙළඹුණු බව සමාජය පැහැදිලිවම දුටුවේය (බහුතරයක් නොදැක්කා සේ සිටියේය). මෙහි ප්‍රතිඵලය වුයේ ඉතා වේගයෙන් කෝවිඩ් රෝගීන් ගණන වැඩිවීමයි. මෙම තත්වය රජයේ පාලනය වෙතින් ගිලිහී යන බව දැන් අපි නිරීක්ෂණය කරමු. දැන් සෑම දිනකම රෝගීන් 500-1000 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගනියි. ඒ සීමිත රෝගී පරීක්ෂාවක් මගිනි. සැබෑ සංඛ්‍යා මීට වඩා අතිශයින් විශාල විය හැක.

මා දකින්නේ, මේ තත්වය තුල රජයට මහජන අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා කඩිනම් පියවරක් ගැනීමට අවශ්‍ය වූ බවයි.  මේ රජය තරම් සාර්ථකව ලංකාවේ ජන විඥානය තේරුම් ගත් පිරිසක් ලංකාවේ සිටියාදැයි මම නොදනිමි. මහන්සිවී හෝ නුවණ මෙහෙයවා වැඩ කිරීමට වඩා ලංකාවේ බහුතරයක් ජනතාව දියසේන කුමරු ඉපිද, රාවණා නැගිට, නාථ පහළවී තම ගැටළු විසඳා දෙන තෙක් ගල් කණු අතර බුලත් විට හප කරමින් කයිවාරු ගැසීමට උපන් ජාතියක් බව මේ දේශපාලුවා මැනවින් අවබෝධ කරගෙන ඇත. මේ අනුව ඔවුන් සුදර්ශනී පානය, මුට්ටි ගඟේ දැමීම, මැජික් පැණිය ආදී අද්භූත බලවේග එකිනෙක ගෙන එමින් පවතී. මේ ක්‍රමය තව මාස තුනක් ඇදගෙන ගියහොත් තමන් ගොඩ බව ඔවුන් වටහා ගෙන ඇත. මන්ද, එවන විට වෙනත් රටවල පර්යේෂකයන් ඉමහත් වෙහෙසකින් වැඩි දියුණු කල විසඳුම් ලංකාවටද ගොඩ බසින නිසාය.

මේ අතින් මා දකින්නේ රජය අතිශයින්ම සාර්ථක වූ බවයි. දැන් මිනිසුන්ට සුදර්ශනී පානය හෝ මුට්ටි දැමීම මතක නැත. ඔවුහු පසුගිය සතියක දෙකක පටන් මැජික් පැණියේ එල්ලී සිටිති. දැන් ක්‍රමයෙන් ඒ පිළිබඳව මතකය හීන වෙමින් පවතී. තව ටික දවසකින් තවත් විප්‍රකාරයක් මතුවනු ඇත. උගත් නුගත් සියළු දෙනා ඒ පසුපස හඹා යනු ඇත.

මේ සියළු නර නාටක අවසන් වී ජනතාව සිහිබුද්ධියෙන් සිතන දවසක් එළඹුනොත් අපි දේශීය වෙදකම දියුණු කල හැකි ක්‍රමවේද පිළිබඳව කතා කරමු. 


                



Sunday, 6 December 2020

ගිනි කඳු සෙවනේ තැනු මාළිගා


"චන්දිම, ඔබ සිතන විදියට ප්‍රභාකරන්ට වැරදුණේ කොතනද?" 

අප මැලේසියාවේ ගත කල කාලයේදී අපගේ හිතවතියකගේ නිවසේදී ඇතිවූ කොටි සටන පිළිබඳව සංවාදයක් මගේ මතකයට නැගේ. කලින් යුධ හමුදාවේ උසස් නිලයක් හෙබවූ, මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහලම තලයේ නිලධාරියෙක් (දැන් අප අතර නැති) එදා මගෙන් ඒ පැනය ඇසීය. 

"මම ප්‍රභාකරන් වුනා නම් වසර 2000 වන විට මම යුද්ධයට කරන වියදම හැකිතාක් අඩුකර ඒ සියලුම මුදල් ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට යොදවනවා" මම ඔහුට පැවසුවෙමි.

90 දශකයේ අග භාගය වනවිට LTTE සංවිධානයට ලොව පුරා විසිරුණු ඉතා ප්‍රභල සාමාජික ජාලයක් සහ මුදල් උපදවන යාන්ත්‍රණයක් පැවතුනි. ඔවුන්ට ජාත්‍යන්තරවද යම් පිළිගැනීමක් විය. එසේම ඔවුන් ලංකාවේ සැහෙන ප්‍රදේශයක් තම අණසකට නතු කරගෙන තිබුණි. මෙතැන් සිට ඔහු කල යුතුව තිබුණේ තම දේශීය සහ ද්විත්ව පුරවැසිභාවය හිමි දමිළ ප්‍රජාව ඔස්සේ ලංකාවේ ඉඩම් මිලයට ගැනීමයි. LTTE සංවිධානයට එවකට තිබූ වත්කම් අනුව ටික කලකින් ලංකාවේ මර්මස්ථාන රාශියක් නිත්‍යානුකුලව අත්පත් කරගැනීමට හැකියාව තිබුණි. මේ අනුව 2009 වන විට ශ්‍රී ලංකා රජය තම අණසකට යට කරගැනීමට පවා ඔවුනට අවස්ථාවක් උදාකර ගත හැකිව තිබූ බව මට සිතෙයි. 

නමුත් ඔවුන්ගේ අවාසනාවට ප්‍රභාකරන්ගේ යුදගාය මීට එරෙහි විය. ඔහුට බලපෑමක් කල හැකි එවකට සිටි එකම පුද්ගලයා වන ඇන්ටන් බාලසිංහම් මේ පිළිබඳව වටහා ගන්නට ඇතැයි මට සිතේ. සමහර විට ඔහුගේ බලපෑම අනුව 2000 මුල් දශකයේ මුල් භාගයේදී කොටහේන, වැල්ලවත්ත ආදී කවදත් ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් සිටි ප්‍රදේශවල ඉඩම් විදේශ ගත වූ ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව විසින් කඩිනමින් මිලදී ගන්න විය. ඉන් පසු කෙටි කලකදී එහි අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ වේගයෙන් ගොඩනැගෙන්න විය. එහෙත් එල්ටීටීයේ අවාසනාවකට මෙන් ටික කලකින් අධික ලෙස රෝගාතුර වූ ඇන්ටන් බාලසිංහම්ගේ ග්‍රහණයෙන් ප්‍රභාකරන් ගිලිහී ගියේය. මේ නිසා නැවතත් ඔහුගේ යුදවාදී ක්‍රියාන්විතය ඉස්මතු විය. එහි ප්‍රතිඵලය අද අපි මැනවින් දනිමු. 

මට මේ පරණ කතාව මතකයට ආවේ ඊයේ දුරස්ථ සන්නිවේදන ක්‍රමවේදය මගින් මා හා කතාවට වැටුණු එවකට ගුවන් හමුදාවේ සේවය කල හිතවතකුගේ පැනයක් හේතුවෙනි.

"චන්දිම නැවතත් ත්‍රස්තවාදය හිස එසවුවහොත් එහි ස්වභාවය කුමක් වේද?"

විද්‍යුත් චුම්භක ත්‍රස්තවාදය පිළිබඳව මා මේ දිනවල ලියන පර්යේෂණ පත්‍රිකාවක් වෙනුවෙන් මම මෙම පැනයට පිළිතුරු විය හැකි බොහෝ කාරණා පිළිබඳව පසුගිය කාලයේ  අධ්‍යනය කෙරුවෙමි. 

"LTTE සංවිධානය හෝ ඔවුන්ගේ අරමුණම ඇති වෙන යම් ත්‍රස්තවාදී සංවිධානයක් නැවතත් ලංකාවට බලපෑමක් කරයි නම් ඔවුන්ගේ ක්‍රමෝපායයන් මීට වසර එකොළහකට පෙර තිබුනාට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇත." මම පිළිතුර ඇරඹුවෙමි.

පසුගිය දශකය තුල ලෝකයේ හැඩතල විශාල වෙනසකට බඳුන්විය. එය තාක්‍ෂණය, ක්‍රමෝපායයන් මෙන්ම දේශපාලන කරලියේද සිදුවිය. මේ නිසා වසර එකොළහකට පෙර ලැබූ ජයග්‍රහණයක් පිළිබඳව නැවතත් සිහින දැකීම අතිශයින් භයංකාර සිතුවිල්ලකි.

එදා ලොව කොතැනක සිට හෝ යුද්ධයට කැපවුණු දමිළ තරුණයාට සාපේක්ෂව අද එම ප්‍රජාවේ අධ්‍යාපන පසුබිම, සමාජීය සහ ආර්ථික මට්ටම, වෘතිය නිපුණතාවය සහ දේශපාලන හැකියාව  ඉතා ඉහල මට්ටමක ඇත. මෙය සමාජ මාධ්‍යවල විප්‍රකාර දසුන් මවන ලංකාවේ බොහොමයක් සිංහලයන්ට සිතා ගැනීමටවත් නොහැක.

බොහෝ විට ලංකාවට ඇති කරන බලපෑම සඳහා ඔවුන් වසර 5 ක පමණ කාලයක සිටවත් සුදානම් වනු ඇත. මෙහිදී ඉඩම් හා ව්‍යාපාර මිලදී ගැනීම මොවුන්ගේ එක් උපාය මාර්ගයක් පමණක් වනු ඇත.  

ඔවුන් ඉතා සුක්‍ෂම ලෙස සමාජයේ මර්මස්ථාන වන බැංකු, විදුලි බලය, සන්නිවේදන ආයතන, ආර්ථික වශයෙන් ඉහල වැදගත්කමක් ඇති ව්‍යාපාර ආදියෙහි ඔවුන්ගේ සාමාජිකයන් ස්ථාන ගත කරනු ඇත. ජන මාධ්‍ය ආයතන ක්‍රමයෙන් තමන් නතු කරගැනීමද ඉතාමත්ම වැදගත් කාර්යයකි. ඔවුන්ගේ අරමුණට ලැදි පුද්ගලයන් මෙන්ම මුදලට විකිනෙන සියලුම ජාතීන්ට අයත් පුද්ගලයන්ද ඔවුන්ගේ අභිප්‍රායන් සාර්ථක කරගැනීම සඳහා යොදාගත හැක. 

තවත් වැදගත් ක්‍රමවේදයක් විය හැක්කේ පවතින පහසුකම් අනුව ඔවුන් හැකිතාක් තම සඟයන් පාලන තන්ත්‍රයට ඇතුළු කිරීමයි. මෙය පළාත් සභාවල සිට පාර්ලිමේන්තුව දක්වා සියළුම ආයතන නියෝජනය වන පරිදි සිදුකල හැක. මෙහිදීද ද්‍රවිඩ බහුතරයක් ඇති ප්‍රදේශවල මෙන්ම ද්‍රවිඩ ඝනත්වය වැඩි ප්‍රදේශ ඇති කොළඹ දිස්ත්‍රික්කයේද ඔවුන් සාර්ථක වනු ඇත. මුදල් මත දිවෙන ලංකාවේ මැතිවරණ ක්‍රමය යටතේ ඔවුනට සිංහල චන්ද පවා බා ගැනීම අපහසු නොවනු ඇත. විදේශයන්හි පවා ඉහල දේශපාලන තලයක සිටින ඔවුන්ගේ පිරිසට මේ ලාංකීය දේශපාලනයේ නියෝජිතයන් එක් වූ විට ඔවුන්ගේ හඬ ඉතා ප්‍රභල වනු ඇත.

ඔවුන්ගේ තුන්වන ක්‍රමවේදය විය හැක්කේ ඉතා බරපතල (critical) අවස්ථාවල රට අකර්මන්‍ය කිරීමයි. මේ සඳහා ඔවුනට සම්ප්‍රදායික අවි ආයුධ තවදුරටත් අවශ්‍ය නොවේ. බැංකු ඇතුළු වැදගත් ආයතනවල පරිඝනක පද්ධති අක්‍රිය කිරීම, විදුලි සහ සන්නිවේදන ජාලය අවුල් කිරීම, රටේ ආරක්‍ෂණ පද්ධති බිඳ දැමීම මින් කිහිපයකි. මේ සඳහා ඇතුලතින් පැල කල සේවකයන්ගේ මෙන්ම පිටත සිට ක්‍රියාත්මක වන විද්‍යුත් චුම්භක ප්‍රහරකයන්ගේ සහයද ඔවුනට ලබාගත හැක. 

මේ අනුව බහුතරයක් සිංහලයන් ජිවත්වන අධි-මානි සිහින ලෝකය පුපුරා යාමට ගතවන්නේ ඉතා කෙටි කාලයක් බව සිතට ගන්න.  මා දකින ආකාරයට මේ එළඹෙන තත්වයට මුහුණ දීමට අප රට කිසිසේත් සුදානම් නැත. මගේ මතය නම් මෙවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා කල හැකි එකම කාර්යය දෙමල ජනතාව තුල තව දුරටත් ක්‍රෝධය වෛරය මතුවීමට ඉඩ නොදී ඔවුන්වද අපගේ කරගැනීමයි.

මළවුන් සැමරීමත් අපරාධයක් කර ඇති යුගයක එබඳු සහජීවනයක් අපිට බලාපොරොත්තු විය හැකිදැයි යන්න ප්‍රශ්නාර්ථයකි ?