Thursday 23 May 2019

එය ඇරඹී ඇත...



කුඩා කල මා බොහෝ සති අන්ත ගත කරන්නේ අපගේ මවගේ දෙමාපියන්ගේ නිවසේය. අපි එය හැඳින්වුයේ ආච්චිලාගේ ගෙදර කියාය. එහිදී මට නිතර ඇසුණු දෙබසක් මට එදා මෙන්ම අදත් විද්‍යාත්මකව පැහැදිලි කල නොහැක. 

"මේ, මම පොළට යනවා. එන්න දවල් වෙයි. රෙදි ටික අව්වේ දාල යන්නද?" මේ අපේ ආච්චිගේ පැනයයි. 

"හා, දාල යන්න අද වහින්නේ නැහැ" සමහර දිනවල සීයා කියයි. 

"දාල ගියාට කමක් නැහැ. ආව ගමන් ගන්නවා හොඳයි. හවහට වහී" මේ තවත් දිනෙක කාලගුණ අනාවැකියයි. 

"අපෝ අද වහිනවා, රෙදි දාල යන්න එපා, මට ඕව ගන්න මතක් වෙන්නේ නැහැ. මතක ඇතුව කුඩේ අරන් යනවා හොඳයි, ඔය කොලුවව තෙමන්නේ නැතුව" ඔහු මෙසේ කියන්නේ මමත් නිතරම පොළේ  යන ගමනට සම්බන්ධවන නිසාය. 

සීයාගේ කාලගුණ අනාවැකිය පිළිබඳව ආච්චිට තිබුණේ පුදුම විශ්වාසයකි. ඇය සමහර විට සීයාගේ කාලගුණ වාර්තාව අල්ලපු ගෙවල් වලටද ලබා දෙයි. මට මේ වාර්තාවේ නිරවද්‍යතාවය නිරීක්ෂණය කිරීමට කවදාවත් මතක් වුයේ නැත. එහෙත්, "මම කිව්වා මිසිස් පෙරේරාට අද දවල්ට වහිනවා කියල, ඇහුවේ නැහැනේ. ඔන්න රෙදි ටික ඔක්කොම තෙමුනට පස්සේ අකුලාගෙන ගියා" මෙලෙස ආච්චි කියන වාර නම් අනන්තවත් අසා ඇත. 

.......................................................

ජිවිතයේ අත්දැකීම් සමග සමහර මිනිසුන්ට  අනාගතය පිළිබඳව ලැබෙන ඉව මා රටවල් ගණනාවකදී නිරීක්ෂණය කර ඇත. ඒ හැකියාව ඇති බොහෝ මිනිසුන් මට මුණ ගැසුනේ සාමාන්‍ය ජනතාව අතරේදීය. දින දෙකකට පසු සන්ධ්‍යා කාලයේදී යම් නිශ්චිත කුඩා ප්‍රදේශයකට ඇතිවන අකුණු පිළිබඳව ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකි ගැමියන් මට අප්‍රිකාවේදී හමුවී ඇත. මෙය මා දන්නා අකුණු විද්‍යාවෙන් කිසිසේත්ම පැහැදිලි කල නොහැක. මට සිතෙන ආකාරයට මෙය අන් සියළු සත්වයන්ට සේම මනුෂ්‍යයාටද උපතේදීම ලැබෙන හැකියාවකි. වැඩිවිය පැමිණෙන විට අප මත සමාජය විසින් බලහත්කාරයෙන් පටවන "උගත්කම" අපව පරිසර සංවේදීතාවය පිළිබඳව නූගතුන් කරයි. 

ඔබට ලෝකය අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්, ඔබේ උගත්කම පසෙකින් තබන්න.

.........................................................

මේ කතන්දර මැද කතන්දර මට කියන්න සිත් වුයේ, ලංකාවේ දැනට සිදුවෙමින් පවතින සමාජ පරිවර්තනයක ඉව දැනෙන්න වූ නිසාය. මට ලංකාවේ එදිනෙදා සිදුවන හැඩතල වෙනස්කම්, වර්ණ ගැන්වීම්, ඇසට පෙනෙන්නේ නැත. ඒ මා සත් සමුදුරක් එතෙරින් සිටින නිසාය. නමුත් පසුගිය කෙටි කාලය තුල, පුවත් මගින් කියවෙන, නෑදෑ හිතමිතුරු දුරස්ථ සංවාද වලින් ඇසෙන කරුණු මගේ නූගත් ඉවට යම් යම් අනාගත සිදුවීම් පිළිබඳව පූර්ව දැනීමක් ලබාදෙයි. මේ අනාගත පින්තුරය පූර්ණ ඉවක් මතම සිත්තාරු කෙරෙන්නක් ලෙසද මම නොසිතමි. ඒ එහි යම් තාර්කික පදනමක්ද නැතුවාම නොවන නිසාය. 

......................................................

පසුගිය වසර දහය තුල ලාංකික ජන සමාජය තුල දේශපාලුවා පිළිබඳව ඇති ප්‍රසන්න චින්තනය ක්‍රමයෙන් වියෝවන බව පෙනුණි. සාමාන්‍යයයෙන් එතෙක් සිදුවුයේ අඩ-දශකයකට පමණ වරක් මහජන දේශපාලන ලැදියාව පක්‍ෂ දෙකක් හෝ තුනක් අතර දෝලනය වීමයි. එහෙත් පසුගිය දස වසර තුල මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් වූ අතර අවසන් වසර තුන තුල එය ත්‍වරණයට ලක්වී පසුගිය සති කිහිපය තුල විදුලි වේගයක් ලබා ගත් සේයක් දැනේ.

.......................................................

සහරාන් බොහෝ දේ වෙනස් කළේය. කෙදිනක හෝ ඔහු ඉතිහාස ගත වනු ඇත. ඒ ලංකික ජනමනස පූර්ණ පරිවර්තනයකට භාජනය කල එක් ප්‍රබල සාධකයක් ලෙසයි. සහරාන්ගේ ක්‍රියාදාමය නිමවන්නේ ලාංකික බහුතර ජන විඥානය තුල දේශපාලන රාමුවම පිළිබඳව දැඩි පිළිකුලක් මතුකරමිනි. මෙම සිද්ධිය හා සම්බන්ධව සියළුම දේසපාලුවෝ අසමර්ථ විය.

"මම සිටියා නම් මෙසේ කරන බව", ඔවුන් කියන හැම විටම ඔවුන්ද පින්තුරයේ කොතැනක හෝ සිටින බව ඇස් කන් ක්‍රියාත්මක වන සියළු දෙනාටම අවබෝධ වන්න විය. ඇස් කන් වසා ගෙන සිටින දේශපාලන ගැත්තන් පමණක් අනෙකාගේ වරද දකිමින් තමාගේ පිලට සුදු හුණු ගෑමට යත්ත දැරුවත්, ඔවුන් වේගයෙන් සුළුතරය වෙමින් පවතී. 

අපි කෙතරම් system change එකක් ගැන කතා කලත්, ජනතාව එය තේරුම් ගත්තත්, ජනවිඥානයට එය අවබෝධවන තෙක් පරිවර්තනයකට මග පෑදෙන්නේ නැත. එය දැන් සිදුවෙමින් පවතී. තමන්ම තමන්ට ප්‍රභූන් යයි කියාගන්නා හොර තක්කඩියන්ට  එරෙහිව නැගුණු හෝන් හඬ මේ පද්ධති පරිවර්තනයේ සැබෑ ආරම්භය ලෙස මම දකිමි. මන්ද එය කිසිසේත්ම පෙර සංවිධානායකින් තොරව ජන මනස තුලින් පැනනැගුනු විරෝධයක් බැවිනි. 

රටේ අප්‍රසාදයට පත් වූ දේසපාලුවෙක් දුකට පත් ජනතාව වෙනුවෙන්, ජනතාවගේම මුදල් ලබාදීමට සංදර්ශන පැවැත්වීම හා ඊට පැන නැගුනු විරෝධයද සැලකිය යුතු කාරණයකි. මෑත කාලයේදී යම් කලාකරුවන් කිහිප දෙනෙකු විසින් මේ සඳහා පූර්වාදර්ශ ලබා දී තිබුණි. ඉන් පසු විපක්ෂයේ දේශපාලුවන් දක්වන්න ගිය අනවශ්‍ය සහ අනාරාධිත පාසැල් ප්‍රදර්ශනයන්ට නැගුනු හූ හඬද බැරෑරුම් ලෙස තේරුම් ගැනීමට තරම් ලාංකීය දේසපාලුවා මුහුකුරා ගොස් ඇතැයි මම නොසිතමි. 

මෙතෙක් සුළුතරයක් තුල හෝ යම් බලාපොරොත්තුවක් ජනිත කරවූ ජනතා විමුක්ති පෙරමුණ ස්වයං-විනාශයක් කරා ගමන් කිරීම පිළිබඳවද මෙහිදී යමක් නොකියාම බැරිය. ඉතා අපකීර්තිමත් දේශපාලකයෙකු රැකගැනීම සඳහා ඔවුන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙහි අරමුණ තේරුම් ගැනීමට අසමත් කුඩා දරුවෙක් පවා ඇතැයි සිතිය නොහැක. ඔවුන්ගේ මේ බිඳ වැටීම පරිපුර්ණ පද්ධති වෙනසක ආරම්භය සැබෑවටම සනිටුහන් කරයි. 

ජන මනස පිබිදීමත් සමගම ධනාත්මක මෙන්ම ඍණාත්මක ක්‍රියාවලියන්ද උත්ප්‍රේරණය වී ඇත. වසර කිහිපයක් තිස්සේ සංවිධානාත්මකව සිදු කිරීමට යත්ත දැරූ, යම් ජන වර්ගයකට අයත් ව්‍යාපාර වර්ජනය කරවීම, මෙතෙක් හැමවිටම අසාර්ථක විය. එහෙත් මෙවර එය ජනවිඥානය තුලට සාර්ථකව ඇතුළු කිරීමට සහරාන් සමත් විය. මෙහි යහ-අයහ ඵල අනාගතයේදී අපි විඳිනු ඇත. 

............................................................

දෑස් වසාගෙන වුවද දකින්න. එය ඇරඹී ඇත. ඔබද එහි ඇත. 


9 comments:

  1. Only people who live outside Sri Lanka can see the situation clearly. Most people in Sri Lanka still see it through Red/Green/Blue glass.

    "None are so blind, than those who refuse to see"

    ReplyDelete
  2. “යහ-අයහ ඵල අනාගතයේදී අපි විඳිනු ඇත.”

    56 දී ශ්‍රී ජාතිවාදී අරගලයේ පටන් 83 දක්වා ජාතිවාදී අරගල රාශියක ඵල අත්විඳ ඇත්තෙමි. යම් ජන වර්ගයකට අයත් ව්යාපාර වර්ජනය මෙන්ම සාර්ථක ව්යාපාරයකයින් ගම්බිම් අත්හැර යාමත් කූඨ අත්පත් කිරීමත් සැමවිටම සිදුවිය. පෙදුවේ ගත්කල අත්කරගත් යහ ඵලවලට අයහ ඵල බරින් වැඩිය.

    ReplyDelete
  3. එකඟයි, පාස්කු බෝම්බ ප්‍රහාරය ලක් ඉතිහාසයේ එක් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතිබව නිසැකයි.

    225 ම එපා කියල කියන්නෙත් වෙනත් අරමුණක් ඇතුව නිසා ඒකට රැවටෙන්න එපා කියල ඊයෙ මහින්දම කියල තියෙන්නෙ මේ පෙරළියේ වෙනස ඔවුන්ටත් දැනෙන්නට පටන් ගත් නිසා වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. System එකේ change එකක් සහ System change එකක් යනු කාරණා දෙකකි

      ලංකාවේ බොහෝ දෙනෙක් ටික කලකට පෙර කතිකාවත පටන්ගත්තේ පළමු කාරණය ගැනයි.
      නමුත් දැන් සෙමෙන් වුවත් පැහැදිලිවම රට ගමන් කරන්නේ දෙවෙනි කාරණය වෙතටයි

      මහින්දට පැටලී ඇත්තේ හෝ පැටලී ඇති බව පෙන්වන්නේ මේ කාරණා දෙකයි.

      Delete
  4. /* මෙතෙක් සුළුතරයක් තුල හෝ යම් බලාපොරොත්තුවක් ජනිත කරවූ ජනතා විමුක්ති පෙරමුණ ස්වයං-විනාශයක් කරා ගමන් කිරීම පිළිබඳවද මෙහිදී යමක් නොකියාම බැරිය. ඉතා අපකීර්තිමත් දේශපාලකයෙකු රැකගැනීම සඳහා ඔවුන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙහි අරමුණ තේරුම් ගැනීමට අසමත් කුඩා දරුවෙක් පවා ඇතැයි සිතිය නොහැක. */

    මා කුඩා දරුවෙකුටත් වඩා බාල අයෙකු යැයි සිතේ.

    මා දන්නා පරිදි ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙනැවිත් ඇත්තේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් මිස ඔබ කියා ඇති පරිදි "ඉතා අපකීර්තිමත් දේශපාලකයෙකු රැකගැනීම සඳහා" වූ විශ්වාසභංග යෝජනාවක් නොවේ.

    ඔබ කියා ඇති දෙය කරුණාකර පහදා දෙන්න.

    ReplyDelete
    Replies
    1. "මා කුඩා දරුවෙකුටත් වඩා බාල අයෙකු යැයි සිතේ"

      රසික නොදන්නවට අනෙක් අය නං ඕක දැනගෙන බොහොම කල්.
      ඇහැට ඇඟිල්ලෙන් ඇනලම කියන්න ඕනේ නැහැ, පොඩ්ඩක් ලංකාවේ පත්තර, අඩුමගානේ ඔන්ලයින් තියෙන එව්වා හරි බලන්න.
      එතකොටත් තේරෙන්නේ නැත්තන් ඉතිං සොරි ඩොට් කොම් ඒයූ තමයි.

      Delete
    2. උගත් යයි හිතාගෙන ඉන්න මැටි මෝල් චින්තනයේ පසුවෙන රසික වැනි අය ගැන කින්න තියෙන්නේ කනගාටුයි කියලයි,
      රිෂාඩ් බදුර්දීන් ට විරුද්දව විස්වාශ භංගය ගෙනඒමට සැරසෙන්නේ විපක්ෂය විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත්
      විසේශයෙන් ක්‍රිස්තියානි ජාතික මන්ත්‍රී වරුන් පිරිසකුත් ඉදිරිපත් වී ඇති විට (ඔවුන් ඉදිරිපත් වී ඇත්තේ අවන්කවම මේ විශ්වාසබන්ගයට පක්ෂ නිසා නෙමෙයි තම
      ජනතාවගේ චන්දය නැතිවීම වලක්වා ගැනීමටයි ) ජනතා විමුක්ති පෙරමුණ මුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ගෙන එමෙන් කරන්නේ ආණ්ඩු පක්ෂය තුල
      සිටින විශ්වාස භංගයට කැමති මන්ත්‍රී වරුන්ගේ බලය නිශේදනය කිරීමයි.

      මෙවැනි සරල කරුණක් වත් හිතාගන්න බැරිව තව මොන කතාද ?

      Delete