Tuesday 22 October 2013

එංගලන්තේ කථාවක්




පීතර බැංකුවෙන් ණයක් ගත්තේ ගෙයක් හදන්න. ගෙටම අල්ලා කඩ කෑල්ලක්ද හදාගන්න ඕනේ වුන නිසා ගත්ත ණය බොහොම ලොකුයි.

පීතරට ආතර හමු වුනේ ඔන්න ඔය දවස්වල. ආතර හොඳ ඔපිනියන් කාරයාය. ගත්ත ණයෙන් 1/4 ක් වියදම් කර කඩ කෑල්ලත් ගෙයත් හදා ඉතිරි ටික යටි මඩි ගසාගෙන ජොලි කරන හැටි ආතර පීතරට කියා දුන්නේය. ලාබම කෑලි වලින් ගෙයත් කඩයත් ගෙදරට බඩුමුට්ටු ටිකත් එකතුවිය. බාලම බඩු වලින් කඩේද පිරුණි. 

පීතරටයි ආතරටයි හොඳට ආතල් ගන්නත් සල්ලි ගොඩයි. පීතරගේ නෝනට සාරි දෙකයි, කොල්ලෝ දෙන්නට Nokia ෆෝන්, ලොකු කෙල්ලට බ්‍රේස්ලට් එකයි, බාල කෙල්ලට මේකප් සෙට් එකයි තව මොනවද බෝල කූරු වගයකුයි. 

පීතරට හරිම සතුටුයි. ආතරටත් සතුටුයි. නෝනට, කොල්ලෝ දෙන්නට, කෙල්ලෝ දෙන්නට...... නාන්න සතුටුයි. 

මුලින් කඩේට ආපු සෙට් එක වැඩි කල් නොගිහින් ආයෙත් පුරුදු තම්බි කඩේට යන්න පටන් ගත්තා. බඩු  අප්සෙට් හින්දලු. මොනවා වුනත් මාසේ අන්තිමට බැංකු ණය - පොළී වාරිකය ගෙවන්න ඕනේ. 

පිච්චිය නැතුව හිටපු පීතරට ආතර පොලියට සල්ලි ටිකක් හොයල දුන්න. ටිකක් කිව්වට වාරිකය වගේ තුන් ගුණයක්. වාරිකය ගෙවල වැඩිපුර සල්ලි වලින් පීතරයි, ආතරයි ජොලියක් දැම්ම. ගෙදරට කුකුල් මස්, නෝනට සායක්, කොල්ලොන්ට සන් ග්ලාස්, ඔරලෝසු, කෙල්ලන්ට සැන්ට් පව්ඩර්...... මගුල් හතයි 

පීතරට හරිම සතුටුයි. ආතරටත් සතුටුයි. නෝනට, කොල්ලෝ දෙන්නට, කෙල්ලෝ දෙන්නට, එතකොට බැංකුවට...... මාර සතුටුයි. 

හැම මාසෙම ණය-පොලිය ගෙවන්න එපැයි. බැංකුවට විතරක්යැ ... ඇයි ආතරට.. ආතරත් තව වැඩි පොලියට සල්ලි හොයල දෙනවා. ආතරගේ සල්ලි මදි වුනහම ලෑතර ගෙන්, මාතර ගෙන්, සූත්තර ගෙන් හැමෝගෙන්ම ගිනි පොලියට ණය ගන්නවා. හැමෝටම වෙලාවට පොලිය ගෙවනවා. වාරික වලට වඩා වැඩිපුර පොලියට ගන්න නිසා පවුලටත් හොඳට සලකනවා.. ඒ විතරක්යැ ආතරත් එක්ක හොඳට ජොලි කරනවා. 

පීතරට සතුටුයි. ආතරටත් සතුටුයි. නෝනට, කොල්ලෝ දෙන්නට, කෙල්ලෝ දෙන්නට, එතකොට බැංකුවට,  ලෑතරට, මාතරට, සූත්තරට ...... මාර සතුටුයි. 

කඩේ ඇරන් හිටියට බඩුත් නැහැ සෙනගත් නැහැ. ගෙදර මේස පුටු හැමදාම එක එක කැඩෙනවා. ගත්තේ බාලම බඩු නේ. 

දැන් ඔපීනියන් කාරයෝ ගොඩයි. ආතර වෙනද වගේම පීතරට ජොලි කරන හැටි කියල දෙනවා. ලෑතර නෝනත් එක්ක සහයෝගෙන් සහවාසය කරන විදිය කියල දෙනවා, මාතර ළමයි හරියට හදන හැටි කියල දෙනවා, සූත්තර ණය උගුලෙන් ගැලවෙන්න හරියට ණය වෙන විදිහ කියල දෙනවා..... ණය කාරයෝ හින්ද කියන දේ අහන්නේ නැතුවත් බැහැ. 

ගෑනියි ළමයිනුයි ලෑතරලට, මාතරලට පස් පඩංගුවේ බනිනවා ඔපීනියන් දෙන්න එනවා කියල. උන්ට දැනෙන එකක්යැ ඔක්කොම ජොලි කරන්නේ පොලියට ගත්ත සල්ලි වලින් කියල.  පීතරත් ගෙදර උන් එක්ක එකතුවෙලා එක සීරුවේ බනිනවා ලෑතරලට. හැබැයි ගෙදරදී විතරයි. 

ආතර හොඳ මිනිහ වගේ පුරුදු විදියටම ගෙදර යනවා එනවා... ඔව් යනවා එනවා......  කෙල්ලෝ දෙන්නත් ලස්සනයි, නෝනත් සුන්දරයි, කොල්ලෝ දෙන්නත් මෝඩ පහේ........ඔන්න ඔහේ ඕන දෙයක් හිතා ගන්නකො.

ඔන්න ඔහොම කාලයක් ගියා කියමුකෝ......

ගේ කඩෙත් එක්කම සින්න වුනා බැංකුවට. තිබුන සතේටම හූරලත් පොලිය වත් ගෙවාගන්න බැරිවුනා ගත්ත ණයවල. 

නෝනා දැන් ආතරත් එක්ක. කෙල්ලෝ දෙන්න ලන්ඩන් ටවුමේ බස් හෝල්ට් ගානේ ඇවිදිනවා. එක කොල්ලෙක් හිරේ, සුද්දෙක්ට  පික් පොකට් ගහල.  අනෙක කුඩු ගහනවා. පීතර බිග් බෙන් ඔරලෝසු කනුව යට හිඟා කනවා.....

..... ඔන්න ඔහොමයි ආයිබෝවන් එංගලත්තේ දේවල් සිද්ධවෙන්නේ. 

4 comments:

  1. ඉතාම අපූරුයි.. එංගලන්තෙ මෙහෙට වඩා සෑහෙන්ට වෙනස් නෙ..

    ReplyDelete
  2. Why become a UFA24H member?
    Call Center 24 hours service, minimum bet 20 baht, free of charge on all transactions. Bet at the casino via mobile system Live football, watch free, clear HD, football steps, minimum 2 pairs, service through 6 leading banks, football betting via mobile system 24hbets

    ReplyDelete
  3. Your post is an interesting post. Read and enjoy and can understand easily, not complicated, can be published. I like your post
    Thank you and good luck สมัครบาคาร่า

    ReplyDelete