Saturday, 26 August 2023

සිංගප්පුරු වැසියෙකු සේ සිතමු

"ඔබට ලංකාව සිංගප්පුරුවේ මට්ටමට දියුණු කල යුතු නම් මුලින්ම සිංගප්පුරු වැසියකු සේ සිතන්න". මේ පෝස්ට් එකට ඉතාම වටිනා අදහස් (එහෙත් විවිධ කෝණ වලින්) පලවී තිබෙනවා. විය යුත්තේ මෙයයි.

විසිකළ යුතු අදහස කෙටි විය යුතු නිසා මම පලකලේ "thought provoker" එකක් විතරයි. නමුත් මෙය අප යම් ගැඹුරකට හැදෑරිය යුතු කාරණයක්.

සිංගප්පුරු වැසියන්ගේ චින්තනය තේරුම් ගැනීමට නම් අප සිංගප්පුරුවේ ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කල යුතුයි. මම මේ ගැන කලකට පෙර ඉංග්‍රීසි බසින් ලිපියක් පලකලා. මම එහි සඳහන් කරුණු කෙටියෙන් ලියන්නම්.

මැලේසියානු ෆෙඩරේෂණයට අයත් වූ  චීන සම්භවය ඇති බහුතරයක් සිටි සිංගප්පුරු ප්‍රන්තයත් මුස්ලිම් බහුතරයක් ඇති අනෙකුත් ප්‍රාන්තත් අතර 1920 ගණන්වල සිට විශාල අර්බුද මතුවී තිබුණා. 1965 දී එක රැයකින් මැලේසියාව සිංගප්පූරුව තම ෆෙඩරේෂණයෙන් එලවා දැමුවා. බොන්න ජලය නැති, අන්නාසි හැර වෙන යමක් වගා කල නොහැකි, කිසිම ආර්ථික වටිනාකමක් ඇති වත්කමක් නොමැති බිම කඩක නූගත් මිලියන කිහිපයක බඩගිනි හමුදාවක් සමග ලී ක්වාන් යූ නැමැති නායකයා තනි වුනා. 

එවකට පලවූ පුවත්පත් වාර්තා අනුව LKY කාමරයකට වී දින ගණනාවක් ආහාර නොගෙන හැඬු කඳුලින් සිටි බව පැවසෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ එවකට මැලේසියාවේ සිටි බ්‍රිතාන්‍යය තානාපති වරයා LKY හමුවී "ඔබ නැගිටින්න අපි ඔබට ආධාර කරන්නම්" යයි කී බව පැවසේ. එහිදී LKY කියා ඇත්තේ අපට අවශ්‍ය ඔබගේ ආධාර නොව ආයෝජන බවයි. ඒ වෙනුවෙන් තමන් ලෝකයට ආයෝජන සඳහා ඉතා සුදුසු වූ රටක් ලබා දෙන බවට සහතික වී ඇත. 

පසුදා ජාතිය ඇමතු LKY ජනතවට කියා ඇත්තේ ජනතාව කොන්දේසි දෙකකට කැමති නම් තමන් රටේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට එකඟ වන බවයි. 

1. රටේ ආගම්-ජාති බේදය ශුන්‍ය විය යුතුය.

2. රටේ දුෂණය-වංචාව ශුන්‍ය විය යුතුය.

ජනතාව එයට එකඟවිය. සිංගප්පුරුවේ ගමන පටන් ගන්නේ එතැන් සිටය. මේ කරුණු දෙක වෙනුවෙන් LKY ඉතා දැඩි තීරණ ගත්තේය. ඔහුගේ සමීපතම සඟයන් පවා දඟ ගෙයි දැමිය. ආගම ඇදහීම නිවසට හෝ පන්සලට-පල්ලියට සීමා විය. සංස්කෘතිය රටටම පොදු වූ විනෝදාශ්වාදය  ගෙන එන කටයුත්තක් විය. රටේ නිල භාෂාව ඉංග්‍රීසි විය. කන්තෝරුවේ කොලයක් අයථා ලෙස පරිහරණය කල කාර්ය සහයකයටද සිපිරිගෙට යාමට සිදුවිය. රථවාහන වරදක් කළහොත් මුළු මාසික වේතනයම දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය. පාරේ කෙල ගැසීම පවා සිපිරිගෙට යාමට හැකි වරදක් විය. නූගත් අලස ජනතාවක් දශක දෙකකදී විනයානුකූල කඩිසර අවංක සමාජයක් බවට පත්විය. ඔබ අද සිංගප්පුරුවේ පොලිස් රාජ්‍යයක වැසියන් ලෙස දකින්නේ මෙලෙස ගොඩනැගුනු සමාජයයි. 

LKY යනු සුර දුතයෙක් නොවේ. සිංගප්පුරුව ලොව දියුණුතම රාජ්‍යයක් වන විට LKY ඇතුළු නෑදෑ පිරිවරද ලෝකයේ ධනවත්ම පවුලක් විය. එසේම ඒ පවුලේ සාමාජිකයන් ලෝකයේ ඉහලම සරසවි වලින් උපාධි ලද උගතුන් සහ වෘත්තිකයන් විය. කෙසේ නමුත් මේ ගැන අදටත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට දොස් කියන්නේ නැත.

අප මැලේසියාවේ සිටි සමයේදී සිංගප්පුරුවට යාමට තිබුණේ අපගේ නිවසේ සිට පැය 4 පමණ drive එකකි. මේ නිසා මැලේසියාවට පැමිණෙන නෑදෑ හිත මිතුරන් සමග කිහිප වරක් අපට එහි යාමට සිදුවිය. සිංගප්පුරුව මම යාමට අකමැතිම රටකි. හේතුව එහි මිනිසුන්ගේ රොබෝ-වැනි හැසිරීමයි. ඔවුන් ඉතා විනය ගරුකය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු තුලින් මම මානුෂ්‍ය බැඳීමක් නොදකිමි. එය සමහර විට මගේ වරදක් විය හැක. 

අපට ගමනක් යනවා නම් 1965 සිංගප්පුරුවෙන් එය පටන් ගත යුතු නැත. ලාංකිකයා සාක්ෂරතාවයෙන්, දැනුමෙන්, මානසික මට්ටමින් එදා සිංගප්පුරු සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. එහෙත් අවාසනාවකට ඉරිසියාව-කුහකකම-ලේබල්ගතවීම යන ඍණාත්මක කරුණු තුනෙන් ඔවුන් යා හැකි උපරිම දරුණු මට්ටමට ලඟා වී ඇත.

ලාංකිකයා හිතන්න පුරුදු වූ දිනෙක ඔවුන් තම මනසට තමන්ම දමා ගෙන ඇති විලංගු වලින් මිදෙනු ඇත. ඒ සඳහා LKY කෙනෙක් අවශ්‍යද? ඔබ ඒ තරමටම දුර්වලද? 


Friday, 25 August 2023

බිඳුණු සිහින

ලංකාවේදී මා දුටු ඉතා ව්‍යාකූල සමාජ-ආර්ථික වාතාවරණය තේරුම් ගැනීමට මම කිහිප ආකාරයකින් උත්සහ ගතිමි. නමුත් එය නිෂ්ඵලය. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ නිෂ්පාදන හෝ ආදායම් මාර්ග කිසිවක වර්ධනයක් නැත. ඒ වෙනුවට ඇත්තේ අවගමනයකි. උද්ධමනය යම් පමණකට පාලනය කර ගෙන ඇත්තේ ආනයන සඳහා පනවා ඇති සම්බාධක මගින්ය. නමුත් ජනතාව අතරින් යම් කොටසක් අසීමිතව වියදම් කරති. මෙය සිදුවිය හැකි එකම ක්‍රමය ලෙස මා දකින්නේ අදිසි තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන කෘතීම කළමනාකරණයකි. ඒ ගැන මම තවම දැනුවත් නැත. නොදන්නා දේ කතා කල යුතුද නැත. 

මෑත ඉතිහාසයේදී ලාංකීය සමාජය බොහෝ සිහින ගොඩ නැගීය. 

අම්පිටියේ සුමන හිමි දේවගතිවරයෙකුගේ කනට ගසන විට, ඥානසාර හිමි, ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් චන්ඩින් සේ හැසිරෙන විට, වචනයක් අල්ලාගෙන නටාෂලා, සේපාල්ලාව දඟගෙයි දමන විට, තම දූ දරුවන් වෙනුවෙන් බුදු දහම රැකේවී යයි ඔබ සිහින දැකීය. 

පිටුපසින් සිටි දේශපලුවා රැකගැනීමට ආයුධ පෙන්වන නාඩගම පෙන්වා මාකඳුරේ මදුෂ්ලාව මරා දමන විට, සිපිරි ගෙයි කලබල ඇති කර සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන විට රටේ පාතාලය නැතිවේ යයි ඔබ සිහින දැකීය 

විමල් වීරවංශලා වැනි අවස්ථාවාදී මුග්ධයන් ඉදිරියේ පොලිසිය අසරණ වන විට, පොලිසියේ කෲර හස්තය අහිංසක ජනතාව තලා පෙලා දමන විට, හමුදාවේ මර්ධන හස්තය ඔබේ විරුද්ධවාදියා වෙත යොමුවන විට ඔබේ පස ජයපැන් වඩන අයුරු ඔබ සිහින දැකීය.

ඇවිදින මංතීරුවක ගල් ඇල්ලීමෙන් ඔබ්බට සංවර්ධන ව්‍යපෘති කිසිවක් හා සම්බන්ධ නොවූ, භූ - සමාජ දේශපාලනය ගැනද මෙලෝ හසරක් නොදන්නා මෝඩ පන්නයේ උද්දච්ච මිනිසෙක් රාජාසනයේ හිඳුවා, දියුණු රටක් පහල වෙතැයි ඔබ සිහින මැවීය. 

මේ කිසිවක් කිසිඳු පදනමක් ඇතිව ගොඩනග ගත් සිහින නොවේ. මේ නිසා ඒවා පැවතුනේ ඔබ නින්දෙන් ඇහැරෙන තුරු පමණි. සිහින යථාර්තයක් වනතුරු ඒ තුල ජීවත්වන මිනිසුන් මා අනන්තවත් දැක ඇත. එහෙත් ඔබ ගොඩනගා ගත්තේ යථාර්තයට ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි අභව්‍ය සිහිනය. ඒවා ඇහැරෙන විටම බිඳ වැටුනේ ඒ නිසාය. 

ලංකාවේදී මා දුටුවේ රටින් පිටවන සහ පිටවීමට පෙරුම් පුරන බහුතරයක් (සියල්ලන් නොවේ) කලකට පෙර මේ සිහින වෙනුවෙන් සිහිනවලට නතු නොවූවන් සමග සටන් කල උදවියයි. එදා යම් යම් දේශපාලකයන් වෙනුවෙන් "කන්න නැතත් ඉන්න රටක් තියෙනවා" යයි කියමින් කෑගැසූ මිනිසුන් මුලින්ම රට දමා දුවගොස් ඇත. මුදල් ගෙවා ලබන අධ්‍යාපනයට එදිරිව විලාප නැගූ අය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ඉවතට සංක්‍රමණය වෙමින් පවතී.  

රටවල් කිහිපයකම විවිධ සංවර්ධන ව්‍යපෘති වලට සහභාගී වී මා ලද අත්දැකීම් අනුව මට පහත නිගමනය කල හැක. 

බහුතරයක් මිනිසුන් සිය ආකල්ප වෙනස් කරගැනීමට සුදානම් නම් කවුරු රටින් පිට වුනත් කෙටි කලකදී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් කල හැක. 

ඒ සඳහා 

නීතියේ ආධිපත්‍යට හිස නමන්න

පාලකයන් පත්කරගැනීමේදී නිවැරදි තීරණ ගන්න 

දුෂණය-වංචාව පිටු දැකීමේ පළමු පියවර ඔබ වෙතින් පටන් ගන්න 

ඉරිසියාව සහ කුහකකම ඔබගෙන් ඈත් කරන්න 

තමා වෙත තමා විසින්ම ගසා ගෙන ඇති ලේබල් ගලවා දමන්න නොහැකි නම් අඩුම ගණනේ බොඳ කර දමන්න 

අපි ඉන් පසු ලංකාව ගොඩගන්න මාර්ග සිතියම සාදමු 



Saturday, 19 August 2023

මා දුටු ලංකාව

 

ලංකාවේ ගත කල සති තුනක කාලය තුලදී මට නිරීක්ෂණ කිහිපයක් සිදුකල හැකි විය. ඒවා මම මෙසේ පෙලගස්වමි. මා කතා බස් කල සමාජ රාමු අතර තරමක් පිටිසර දුප්පත් ගැමි පරසරයක්, නගරයේ පහල ආර්ථික ස්ථර කිහිපයක්, ත්‍රිරෝද රථ සමාජය, මධ්‍යම පන්තියේ අප සාමාන්‍යයෙන් ඇසුරු කරන නෑ සිය මිතුරන්, holiday resort හතරකදී සහ තරු පහේ හෝටල් දෙකකදී මුණ ගැසුණු පිරිස් සහ රටේ ඉතාම ධනවත් කිහිප දෙනෙකුගේ නිවෙස් වලදී හඳුනා ගත් පිරිස් විය.

ලංකාවේ පවතින්නේ අතිශයින්ම කෘතීම වූ සමාජ-ආර්ථික ව්‍යුහයකි. 

රටේ භාණ්ඩ සහ සේවා මිළ නොසිතිය හැකි තරම් ඉහල අගයක ඇත. එළවලු මස් මාළු ඉතා මිල අධිකය. කුලී රථයක ගමනක් යාමට කිලෝ මීටරයකට රුපියල් 120-160ත් අතර මුදලක් අය කරයි. ත්‍රිරෝද රථයක නම් කිලෝමීටරයට රුපියල් 80-100ත් අතර මුදලකි.

එහෙත් ආර්ථික මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් වල බඩු භාණ්ඩ පිරී ඉතිරී ඇත. රෙදිපිළි විකුණන සාප්පු සංකීර්ණ වලද සෙනග අඩුවක් පෙනෙන්න නැත. Pick Me හෝ Uber රථයක් ගෙන්වා ගැනීමට සෑහෙන වෙලාවක් ගතවේ. ත්‍රිරෝද රථ බොහෝමයකද පාරිභෝගිකයෙකු නැති අවස්ථාවක් සොයා ගැනීම අසීරුය.

පන්ති බේදයකින් තොරව මා කතා බස් කල බොහෝ දෙනා රටේ ජීවත්වීමට ඇති අපහසු තත්වය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත්කරන්න විය. බොහෝ දෙනා තමන්ගේ ආදායම සහ වියදම පිළිබඳව ගණන් හිලව් පවා ඉදිරිපත් කරනු ලැබීය. ඇත්තෙන්ම ඔවුන්ට තම සමාජ පංති රාමුව තුල සැනසුම් සහගත ජිවිතයක් ගත කිරීමට නොහැකි බව ඉතාමත්ම පැහැදිලිය. පහල පන්තියේ සියළු දෙනාම කියා සිටියේ මීට වසර දෙකකට පෙර තමන් පරිභෝජනය කල දේ දැන් 50% ට වඩා අඩු කර ඇති බවයි.

අනෙක් අතට holiday resort සහ තරු පහේ හෝටල්වල අවන්හල් පිරී ඇති සේයකි. කොළඹින් බැහැර ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක කාමරයක් සති අන්තයේ book කරගැනීමත් පහසු නැත. බොහෝ මධ්‍යම පාන්තිකයන් රට පුරා විනෝද ගමන්වල යෙදෙති. 

වෘත්තිකයන් පවුල් පිටින් රට හැරයාම ඉතා දරුණුවට සිදුවෙමින් පවතී. අප සිටි සති තුන ඇතුලත පමණක් අප ඇසුරුකරන පවුල් 6 ක් ලංකාවෙන් නික්ම ගියහ. ඔවුන් අතර වෛද්‍ය, හෙද, සහ IT විශේෂඥයන් විය. මීට අමතරව තවත් අප හා කතා බස් කල විශාල පිරිසක් නුදුරු අනාගතයේදී රටින් නික්ම යාමට පිඹුරුපත් සකස් කර අවසානය. ඔවුන් සියළු දෙනාම පැවසුවේ රටේ ජීවත්වීමට නොහැකි තරම් ජිවන වියදම ඉහල ගොස් ඇති බවත් විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් එම තීරණය ගන්නා බවත්ය. සියලු දෙනාගේම ඇත්තේ එකම මැසිවිල්ලකි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම සාධාරණය.

මේ පිටරට පදිංචියට සංක්‍රමණය වන බව කී වැඩි පිරිසක් මට හමු වුණේ තරුපහේ හෝටලයක හෝ නිවාඩු නිකේතනයක විවේක සුවය වෙනුවෙන් පැමිණ සිටින විටකදීය. 

මා මෙවර ලංකාවේදී  කල කිසිසේත් බලාපොරොත්තු නොවූ නිරීක්ෂණයක් ඇත. එනම් ජනතාව තුල දේශපාලනය කෙරේ ඇති ඉතා පහල උනන්දුවයි. වෙනදා අප හමු වූ විට කතාබස් කරන මුළු කාලයෙන් 80%ට වඩා දේශපාලන මාතෘකා සඳහා කැප කරන බොහෝ නෑදෑ - මිතුරු සමුහ මෙවර ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුයේ නැත. මා දේශපාලනය පිළිබඳව මාතෘකාවක් බලෙන් ඇද ගත්තත් "ඕව කතා කරලා වැඩක් නැහැ චන්දිම, පුලුවන්නම් අපිට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ ඔයා දන්න රටකින්" කියා කතාව නිම කරයි. සියළු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා උදාසීන කලකිරීම් සහගත ආකල්පයකි.

ජවිපෙ පිළිබඳව ඇති සමාජ ආකල්ප පිළිබඳව මම වැඩි උනන්දුවකින් අධ්‍යනය කලෙමි. සමාජ මාධ්‍ය තුල ඔවුන්ට ඇති තැන රට තුල ඔවුන්ට නැති බව මගේ නිරීක්ෂණයයි. අමාරුවෙන් කතාවට අල්ලා ගත බොහෝ දෙනා කියා සිටියේ "රටට යමක් කරනවා නම් කල හැක්කේ ජවිපෙට පමණයි. නමුත් ඒ අයටත් දැන් ඇවිල්ලා කිසිදෙයක් කරන්න බැහැ" වැනි ප්‍රකාශයි. එසේම උසස් අධ්‍යාපනය වැනි මාතෘකා වලදී ජවිපෙ කිසිඳු ස්ථාවරයක නොමැති බවත් මේ නිසාම ඔවුන් බලයට පැමිණීම තුල යම් අන්තරායදායක තත්වයක් පවතින බවත් ප්‍රකාශ විය. 

මා දකින ආකාරයට ජවිපෙ තමන් මෙතෙක් කල ඓතිහාසික වරදක් repeat කරමින් සිටියි. එනම් ඔවුන් චන්දදායකයන් එකතුකරනවා වෙනුවට පාක්ෂිකයන් එකතුකිරීමට උත්සහ දරමින් සිටීමයි. 

මේ කෘතීම සමාජ-ආර්ථික රාමුව කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ සහ ගමනාන්තය කුමක්ද? ජනතාවට කල හැකි දෙයක් ඇත්ද? මා කල නිරීක්ෂණ තුලින් මා ගොඩනැගූ නිගමන නැවත කාලවේලාවක් ලැබුණු විට ඉදිරිපත් කරන්නම්. 


Wednesday, 19 July 2023

ගැටළුව කුමක්දැයි නොතේරීමේ ගැටළුව

වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව නොතේරෙන අයට එය තේරුම් කර දීම අපහසුය. මන්ද ඔවුන්ට අවශ්‍ය ගැටලුව තේරුම් ගැනීමට නොවන නිසාය. මේ ලියන්නේ යමක් සිතීමේ හැකියාව ඇති අය වෙනුවෙනි. 

බොහෝ අයට ඇති ලොකුම ගැටළුව වෘත්තිකයා define කර ගැනීමට නොහැකි වීමයි. වෘත්තිකයෙක් (professional) යනු යම් ක්ෂේත්‍රයක නිසි පුහුණුව, කුසලතා වර්ධනය, අත්දැකීම් සහ පළපුරුද්ද ලැබූ නිපුණයෙකි. මේ අනුව වෘත්තිකයෙක් බිහි වීමට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඒ සඳහා ජේෂ්ඨ වෘත්තිකයන් සිටීමද අවශ්‍යවේ. ඔවුන් අපි "trainers of trainers" යනුවෙන් හඳුන්වමු. වෘත්තිකයන් වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තියේ සිට පෙදරේරු හෝ මැටි කර්මාන්තය දක්වා විශාල පරාසයක විහිදී ඇත. 

සමහර ලාංකිකයන්ගේ ඊළඟ අවුල තවත් ලාංකිකයෙක් රටින් නික්ම ගොස් ඇත්නම් ඔහු හෝ ඇය ගියේ කුමක් නිසාද, යන්න පෙර සහ පසුව එම පුද්ගලයා රටට කල සේවය, දැනටත් කරන සේවය, විදේශ ගත අයෙකුට තමන්ගේ උපන් රට වෙනුවෙන් කල හැකි සහ නොහැකි දේ මොනවාද ආදී වූ කිසිම දෙයක් නොදැන කියවීමයි. එය සමහර විට සමහර ලාංකිකයන්ගේ පාරම්පරික ගතිය විය හැක. 

ඊළඟ කරුණ, මේ වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව පිළිබඳව  මා නැවත නැවත පවසන්නේ එසේ රට හැර යන වෘත්තිකයන්ට දෝෂාරෝපණය කිරීමට නොවේ. එම වෘත්තිකයන් රට හැර යන තත්වයට රට බංකොලොත් කල දේශපාලකයන්ට බැනිමටද නොවේ. ඒ තබා ඒ දේශපාලකයන් පත් කර ඔවුන් හොර මැර තක්කඩිකම් කරද්දී ඔල්වරසන් දෙමින් ප්‍රශස්ති ගී ගැයූ අබුද්ධික ජනතාවට දොස් පැවරීමටද නොවේ. සිදු වූ දේ සිදුවී හමාරය. ඒ ගැන තව දුරටත් අදෝනා නැගීමෙන් පලක් නැත. සිදුවෙමින් පවතින දේ වලකා ගත යුතුය. 

වෘත්තිකයෙකුගෙන් උපන් රටට සේවය ලබා ගැනීමට ඔහුගේ භෞතික පදිංචියේ බලපෑම විවිධාකාරය. සමහර වෘත්තිකයන්ගේ පදිංචි දේශය මීට කිසිසේත් අදාළ නොවේ. IT විශේෂඥයන්, සහ බොහෝ consultant ලා මේ ගණයට වැටේ. සමහර වෘත්තිකයන්ට ලෝකයේ කොහේ සිටියත් අවශ්‍ය නම් උපන් රටට සෑහෙන යමක් කල හැක. පර්යේෂකයන්, උසස් අධ්‍යයනිකයන්, බොහෝ ව්‍යවසායකයන් මීට අයිති වේ. සමහර වෘත්තිකයන්ට උපන් රටේ උන්නතිය වෙනුවෙන් යම් සීමිත දායකත්වයක් ලබා දිය හැක. විශේෂඥ වෛද්‍යවරුන්, ඉහලම පෙලේ නීතිඥයන්, ඉංජිනේරු විශේෂඥයන්, ඇතුළු අවශ්‍යතාවයකදී ලංකාවට කෙටි කාලීනව පැමිණ දායකත්වය ලබා දීමේ හැකියාව ඇති අය මීට ඇතුලත් වේ. නමුත් රටේ අති බහුතරයක් වෘත්තිකයන් ඉහත කිසිම කුලකයකට අයත් නොවේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, හෙදියන්, ගණකාධිකාරීවරුන්, පොත් තබන්නන්, නීතිඥයන්, විද්‍යුත්-මෝටර්-වඩු ඇතුළු සියළුම පුහුණු කාර්මිකයන්, පෙදරේරුවන්, බස් රථ රියදුරන් ආදී විශාල පරාසයක් මීට ඇතුලත් වෙයි. ඔවුන් රට හැර ගියොත් ඒ අඩුව පිරවීමට ඉතා අසීරුය. සමහර විට ඊට අඩ සියවසක් හෝ සියවසක් ගතවිය හැක. 

භාරතයේ බුද්ධිමය තෝතැන්න ලෙස හැඳින් වූ බෙංගාලයේ (පසුව නැගෙනහිර පකිස්ථානය හා බංගලාදේශය) 1970-71 සමයේදී සිදු වූ වෘත්තික සංහාරය සහ ඉන් අනතුරුව සිදු වූ වෘත්තිකයන් විශාල ගණනක් කෙටි කාලයකදී රට හැර යාම (exodus of professionals) පිළිබඳව හදාරා බලන්න. ඔබට වැටහේවි බංගලාදේශය අන්ත දුප්පත් රටක් වුයේ ඇයිද කියා. අදටත් ඔවුන් මේ තත්වයෙන් ගොඩ ඒමට දැඩි ලෙස උත්සහ දරයි. 

එදා බොහෝ වෘත්තිකයන් රටින් නික්ම ගියේ යම් මුදලක් උපයාගෙන නැවතත් ලංකාවට පැමිණ සුව පහසු ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අද කොරියාවට යන තරුණයාගේ සිහිනයත් වෙනත් රටකට කෙසේ හෝ පදිංචිය සඳහා පැනගනිමටයි. අනතුර ඇත්තේ මෙතැනයි. මෙය වෙනස් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් අඩුම ගණනේ අපි ඒ ගැන සාකච්චා කල යුතු නොවේද?


              


Wednesday, 12 July 2023

මගේ ආගම


මීට සති දෙකකට පමණ පෙර අපේ සරසවියේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක්ගෙන් මට ඇමතුමක් ලැබුණි. සිය ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවියකට තම නිබන්ධනය සඳහා මහාචාර්ය වරුන් 50කගේ පමණ ආගමික මතවාදයන් පිළිබඳව අදහස් විමසිය යුතු බවත් ඒ සඳහා මගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය. කාලය මට මිළ අධික වුවත් ඔහු හා පවතින මිත්‍රත්වය නිසා මම ඔහුගේ සිසුවියට අදාළ කාලය ලබා දුනිමි.

ඇය මා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඇයගේ පසින් සම්පුර්ණයෙන්ම අසාර්ථක බව මට අවබෝධ වෙයි. නමුත් එය ඔබට වැදගත් විය හැකි බැවින් මෙසේ ඉදිරිපත් කිරීමට මම තීරණය කලෙමි. 

--------------------------

ඇය: ඔබේ නම චන්දිම ගෝමස් මේ අනුව ඔබ පාරම්පාරික කතෝලිකයෙක් යයි මා සිතනවා. 

මම: නැහැ ඔබ වැරදියි. මගේ දෙමව්පියන් පාරම්පාරික බෞද්ධයන්. මා උපදින විටම මට බෞද්ධ කියා ලේබලයක් තිබුණා.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් 

මම: නැහැ ඔබ වැරදියි. මම මා වෙත එහෙම ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙකු නොවේ. එසේ නම් දැන් ඔබ අදහන්නේ කුමන ආගමක්ද?

මම: මම එහෙම කිසිම ආගමක කියා ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: ඒ කියන්නේ ඔබ දෙවියන් අදහන්නෙක් නොවෙයිද (are you an atheist?)

මම: නැහැ. ඔබේ ප්‍රශ්ණය ව්‍යාකුලයි. මම බෞද්ධයෙක් වුණා නම් ඒත් මම athesist කෙනෙක් වෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ නිරාගමිකයෙක් (are you a secularist)?

මම: නැහැ. මම විවිධ ආගමික කටයුතු වල නියැලෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ සර්ව ආගම්වාදියෙක් (then are you an omnist)?

මම: මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මාව මේ ලෙස ලේබල්ගත කරන්න හදන්නේ කියා. 

ඇය: සමාවෙන්න. මට හිතෙන්නේ ඔබ නිදහස් චින්තකයෙක් කියා (I think you are a free thinker).  

මම: මට ඔබගේ ගැටළුව වැටහෙනවා. ඔබට මාව කුමන හෝ කැටගරියකට ලේබල් කරන්නේ නැතුව ඉදිරියට මේ සාකච්චාව කරන්න බැහැ. 

ඇය යම් ඉච්චා භංගත්වයට පැමිණුනු විලසකින් මා දෙස බලා සිටියාය. මම ඇයට මෙලෙස කිව්වෙමි.

මම: මා කියන දේ තේරුම් ගැනීමට මම ඔබට උදාහරණයක් දෙන්නම්".

මම: ඔබ දැන් සමාජ විද්‍යාව හැදෑරුවත් පාසලේ යම් මට්ටමකට සාමාන්‍ය විද්‍යාව හදාරන්නට ඇති. ඒ නිසා මේ කියන දේ ගැන ඔබ දන්නවා. හිතන්න, මට අවශ්‍ය වෙනවා කුඩා රොකට්ටුවක් හදන්න. මේ සඳහා මට අයිසැක් නිව්ටන් ඉදිරිපත්කල නියම යොදාගන්න සිදුවෙනවා. මේ නිසා මම "නියුටෝනියන්" කෙනෙක් වෙනවාද? මට යම් තාරකා විද්‍යා ගැටළුවක් විසඳීම සඳහා ඇල්බට් අයින්ස්ටයින්ගේ වාදයන් යොදා ගැනීමට සිදුවෙනවා. දැන් මම "අයින්ස්ටයිනියන්" කෙනෙක් වෙනවාද? මේ කිසිම විද්‍යාත්මක න්‍යායක් භාවිත කිරීමට අවශ්‍ය නොවන වෙලාවට මම "අවිද්‍යාත්මක පුද්ගලයෙක්" වෙනවාද?

ඇය විපිළිසර දෑසින් යුතුව මා දෙස බලා සිටියි. මේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි.

මම: මගේ ආගම භාවිතාකිරීමත් මේ ආකාරයටමයි. යම් අභියෝගයකට මුහුණ දීමට ඇතිවිට හෝ සිතේ තද කැළඹීමක් ඇති වූ විට මම පන්සලකට ගොස් නිසංසල තැනක ඉඳගෙන ඉන්නවා. එහි පුජනීය ස්ථානවලට වන්දනා මාන කරනවා. පන්සලක් අසලක නැත්නම් කෝවිලකට හෝ පල්ලියකට යනවා. දෙවියන් යදිනවා.  මට මරණින් මතු පැවැත්ම/හෝ නොපැවැත්ම වැනි ගැටළු පිළිබඳව ස්වයං-විශ්ලේෂණ කිරීමට සිතුන විට මම බෞද්ධ, අද්වෛත වේදාන්ත හෝ ජෛන දහමේ සංකල්ප යොදාගන්නවා. ඒ අවස්ථාවේදී මගේ දැනුම් සම්භාරයේ සහ තර්කන හැකියාවේ මට්ටමට අනුව සුදුසු මොඩලයක් තෝරා ගන්නවා. මම සහමුලින්ම මානසිකව වැටුණු විට මම දෙවියන්ගෙන් පිහිට ආශීර්වාදය පතනවා. මට සමාජ ඇසුර සහ බැඳීම් අවශ්‍ය වූ විට මම බෞද්ධ සමාජය හා එක්ව වත් පිළිවෙත් කරනවා. එබඳු සමාජයක් නැති අවස්ථාවල මම කතෝලික හෝ ඉස්ලාම් සමාජයට අනුගත වෙනවා. මම සතුටින්, සැහැල්ලුවෙන් සිටින බොහෝ අවස්ථාවල මට මේ කිසිවක් වුවමනා නැහැ".  

මා ඉදිරියේ සිටින සිසුවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මා දෙස බලා සිටින්නීය. ඇයට මා පවසන දේ නොතේරෙන බව නම් සහතිකය. ඇයගේ මුහුණේ ඇත්තේ "අපරාදේ මගේ කාලේ. මේ interview එකෙන් කිසිම වැඩක් නැහැ" යන හැඟීමයි. 

ඇය: සමාවෙන්න, මට ඊළඟට ඇති ප්‍රශ්ණ 20 ක් පමණ ඔබගෙන් අසා වැඩක් නැහැ"  

මගේ කුතුහලය උදෙසා ඒ එක ප්‍රශ්නයක් මට පැවසිය හැකිදැයි මම ඇසුවෙමි. 

"ඔබ කතෝලිකයෙකු ලෙස ඉස්ලාම් දහම දෙස බලන්නේ කෙලෙසද?" ඇය මා කතෝලිකයෙකු යයි මූලික උපකල්පනයක් කර තිබු බැවින් එහි බොහෝ ප්‍රශ්ණ මේ මත ගොඩනගාගෙන ඇති බව මම සිතමි.

ඇය: "අන්තිම ප්‍රශ්ණ දෙක මට ඔබගෙන් ඇසිය හැකියි".  

ඇය: "LGBTQIA+ පිළිබඳව සාමාන්‍ය සමාජය සහ රජය/නීතිය බැලිය යුතු ආකාරය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?" 

මම: "කෙනෙකුගේ ලිංගික දිශානතිය එම තැනැත්තාගේ අයිතියක්. ඒ පිළිබඳව විනිශ්චය කිරීමට සමාජයට හෝ නීතියට නොහැකියි. මේ නිසා තමන්ගේ ලිංගික දිශානතිය සඟවා ගැනීමට බලකිරීමට හෝ පාර්ශව දෙකක් (හෝ වැඩි ගණනක්) සිය කැමත්තෙන් පෞද්ගලික ස්ථානයක ලිංගිකව හැසිරීම තහනම් කිරීමට නීති පැනවීම සමාජයක් විසින් සිදු නොකළ යුතුයි. අනෙක් අතට මෙතෙක් පැවති සියළු ජන සමුහ (හෝ ශිෂ්ඨාචාර) විරුද්ධ ලිංගික හැසිරීම සම්මතයක් ලෙස පිළිගත්තේ වර්ගයාගේ පැවැත්ම සඳහායි. අදටත් එය වලංගුයි. මේ නිසා LGBTQIA+ ප්‍රවර්ධනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. කලයුත්තේ සමාජය ඊට එරෙහිවීම වලක්වීමයි".

ඇය: "ඔබගේ ජිවිතයේ මූලික අරමුණ කුමක්ද? ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?"

මම: "ජිවිතයට අරමුණු දමා ගැනීම භයානකයි. එය ඔබගේ සතුට විනාශ කරනවා. මම හැමවිටම උත්සහ ගන්නේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න. ඒ සඳහා මම කරන්නේ මා වෙතට ලේබල් අලවා නොගැනීමයි. ඔබගේ සියළු දුක් දොම්නස් ඇතිවන්නේ තමාට ලේබල් ගසා ගැනීමෙන් හෝ තමා වෙත අනුන් ගසන ලේබල් බාර ගැනීමෙන්. එවිට ඔබ ලේබලය වෙනුවෙන් සටනට බසිනවා. එය දුකට මුලයි".

ඇයට මෙන්ම ඔබ බොහෝ දෙනෙකුටත් මා කියන දේ නොතේරෙනු ඇත. 






   




Sunday, 9 July 2023

අරගලය ගැන කෙටි සටහනක්


අරගලය මධ්‍යම පන්තියේ නිර්මාණයකි. එහි කිසිඳු වරදක් ඇතැයි මම නොසිතමි. එයට පිතෘත්වය දීමට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නොහැකියැයි මම කියමි. ලංකාවේ ස්වයං ජන නැගිටීමක් සිදුවේ නම් (අනාගතයේ හෝ) එය සිදුවන්නේ මධ්‍යම පාන්තිකයා තුලින් පමණි. ධනපති පන්තියට නැගිටීමට අවශ්‍ය නැත. ඔවුන්ට සයනයේ සැතපීගෙන වුවත් බොහෝ වෙනස්කම් කල හැක. පීඩිත (පහලම තලයේ) පන්තියට ස්වයං නැගිටීමකට සරිලන සුහුරු බුද්ධියක්, දැක්මක් හෝ ජාලගතවිමක් (netwoorking) නැත. මේ නිසා ලෝකයේ කොතැනකවත් පීඩිත පන්තිය තුල ස්වයං නැගිටීමක් සිදුවී නැත. එම පන්තිය අරගලයකට අවතීර්ණ කිරීමට නම් විචාරශීලි සහ අවයාජ වූ ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. 

ලංකාවේ පීඩිත පන්තිය ජන අරගලයකට කැඳවිය හැකි සන්ධිස්ථාන කිහිපයක්ම තිබු බව පෙනෙයි. නමුත් මෙම පන්තියට නායකත්වය දෙනවා යයි කියන කිසිම කණ්ඩායමක් මේ සඳහා එම පන්තියේ ජන සමුහය යොමු කලේ නැත. ඒ වෙනුවට ඔවුන් එක්කෝ දේශපාලන වාසි වෙනුවෙන් පාලක පන්තිය හා අත්වැල් බැඳගත්හ. නැත්නම් පාලක පන්තිය වෙතින් ඇතිවූ පෞද්ගලික අසාධාරණකම්වලට එරෙහිව අවි ගත්තෝය. මේ අවස්ථා දෙකේදීම ඔවුන් පීඩිත පන්තිය පොරොන්දු දේශයකට රැගෙන යනවා වෙනුවට  තව තවත් පීඩනයට පත් කලෝය.  

ලෝකයේ කොතැනක වුවත් ජන විපර්යාසයක් සිදුවන විට එයින් උපරිම ඵල නෙලාගැනීමට මාන බලන දේශීය දේශපාලන බල කේන්ද්‍රයන් මෙන්ම කලාපීය සහ ගෝලීය බලවතුන්ද ඇත. අරගලය ස්වයං-ජාතක වුවත් එහි පැවැත්ම සඳහා එක් අවස්ථාවක ශක්තිමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අත්‍යවශ්‍ය විය. ඒ අවස්ථාවේ මම පුන පුනා මේ පිළිබඳව ලිව්වෙමි. නමුත් එය සිදු වුයේ නැත. දැන් සියල්ල ඉතිහාසයට එකතුවී ඇත.

නමුත් අද අරගලකරුවන්ටත් අමතක වූ දෙයක් ඇත. එනම් අරගලය ඇරඹු සටන් පාඨය එහි අරමුණ වී නම් මෙය ඉතා ජයග්‍රාහී ලෙස අවසන් වූ ලෝකයේ සාර්ථකම ස්වයං ජන නැගිටීමක් බවයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇති වුණේ ඇයිදැයි මතක නැත. එය ලාංකිකයාගේ සාමාන්‍ය ස්වභාවයයි. අන්තිමට රට බංකොලොත් වුණේ අරගලය නිසා යයි කියන පඬි රුවන්ද නැත්තේම නැත. ගැටළුවක මූලය අමතක කර තමා ප්‍රිය කරන තක්කඩි දේශපාලුවන් රැකගැනීමට පමණක් විකාරරූපී හේතු ඉදිරිපත් කරමින් විලාප නගන ජන සමූහය බහුතරයක් වන තාක් කල් ලංකාව ඉදිරියට යතැයි සිතීම අසීරුය. 


Friday, 7 July 2023

මේරිගේ කොළුවා

අපහාසය, උපහාසය, උත්ප්‍රාසය, හාස්‍ය යන වදන් වල ඇති වෙනස තේරුම් ගැනීමට සමත් වියත් සමාජයක් ලංකාවේ විසීය. ඒ ලංකික සාහිත්‍ය උච්චතම අවස්ථාවට පත් වූ 60-70 යුගයේය. කෘත හස්ත ලේඛකයෙකුට භව තරණය වැනි පොතක් පලකරන්න එකල කිසිඳු අවුලක් නොවීය. එය කියවා රස විඳීමට පමණක් නොව නිර්දය ලෙස එය විවේචනය කිරීමටද හැකි ඉහල මට්ටමේ සෞන්දර්යාත්මක විචාර බුද්ධියක් සහිත ජන විඥානයක් එකල තිබුණි.

ජාතියක් ලෙස ලාංකිකයාගේ තර්ක ඥානයේ පසුබැස්ම ඇති වුනේ කුමන කාලයකදීද කියා මා දන්නේ නැත. නමුත් මේ අප ගත කරන්නේ එහි පතුලෙහි නොවන බව නම් මට විශ්වාශය. ඔබ තව ගැඹුරට වැටීමට ඉඩ ඇත.

"ඕක ඉස්ලාම් ආගම ගැන අරාබියේදී කිව්වා නම් මොකද වෙන්නේ" කියා අසන පිරිස්ද ඇත. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ "අපි යා යුත්තේ ඒ පැත්තට" යන බවයි. යුරෝපයේ ජිවත්වන මෙන්ම යුරෝපයේ ජිවත් වීමට සිහින මවන බොහෝ ලාංකිකයන් මනසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ බව මා කලින් ප්‍රකාශ කලේ මේ නිසාය. 

ලොව ප්‍රකට standup commedianලා ආගම් පිළිබඳව කරන උපහාසාත්මක, උත්ප්‍රාසය දනවන මෙන්ම හාස්‍ය ජනක ඉදිරිපත්කිරීම් දහස් ගණනක් You Tube එකේ ඇති බව වත් මේ පිරිස දන්නේ නැත. නොඑසේ නම් ඔවුන්ට භාෂාව පිළිබඳව ගැටළුවක් තිබෙනවා විය හැක. 

පහත ඇත්තේ එක් උදාහරණයක් පමණි.

https://www.youtube.com/watch?v=LbP4KttZOcc