Wednesday, 5 May 2021

අපොස උපෙ රටට සාපයක් නොවීමට



අපොස උසස් පෙළ තරඟ විභාගයක්ද? මේ පැනයට ලංකාවේදී බොහෝ විට ලැබෙන්නේ "ඔව්" යන පිළිතුරයි. මම රටවල් ගණනාවක අධ්‍යාපනය හා සම්බන්ධ වී ඇත්තෙමි. ඒ සෑම රටකම උසස් පෙළ හෝ ඊට සමාන කඩඉම් විභාගයක් ඇත. එහෙත් බොහෝ දියුණු රටවල මෙය තරඟ ඉසව්වක් සේ සැලකෙන්නේ නැත.

කඩඉම් විභාගයක් යනු දරුවෙකුට තමාගේ අනාගත වෘත්තීය තීරණය කල හැකි තවත් එක් අවස්ථාවකි. මෙවැනි විභාගයකින් බලාපොරොත්තු වන්නේ දරුවාට තමා යා යුතු දිශාව පිළිබඳව යම් මග පෙන්වීමක් ලබා දීමයි. නමුත් එයින් දරුවාගේ මග අහුරාලීම හෝ දරුවා යම්  මාවතකට බලහත්කාරයෙන් තල්ලු කිරීම සිදු නොවිය යුත්තකි. කෙනෙකුගේ හැකියාව සහ ප්‍රඥාව උද්දීපනය වීමට නිශ්චිත කාල වකවානුවක් නැත. එය ජිවිතයේ ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. දියුණු යයි සම්මත රටවල් දියුණු වීමට එක් මූලික හේතුවක් වන්නේ රටේ නීති සම්පාදකයන් මේ බව මීට දශක ගණනාවකට පෙර තේරුම් ගැනීමයි. 

ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල මේ කඩඉම් විභාගය තරඟ විභාගයක් වන්නේ උසස් අධ්‍යාපනයට රටේ ඇති ඉඩකඩ ඉතා සීමිත බැවිනි. මේ අනුව නොමිළේ අධ්‍යාපනය සඳහා  දරුවන් අතර ඉතා තියුණු අසහනකාරී තරඟයක් හටගනී. රටේ සියළුම දෙමව්පියෝ තමාට හැකි (හෝ නොහැකි වුවත් දහසක් ආර්ථික අතවරයන්ට මුහුණ දෙමින්) පමණින් දරුවාට අමතර අධ්‍යාපනය ලබා දෙමින් මේ තුරඟ තරංග පිටියේ ඔවුන්ව දුවවයි. මෙය මා දකින ආකාරයට නොමිළේ අධ්‍යාපනයේ එක් අඳුරු ප්‍රතිඵලයකි (මේ පිළිබඳව දීර්ඝ ලිපියක් මම වසර කිහිපයකට පෙර පළ කලෙමි). මේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක යෙදී විසඳුමක් ලබා දීමට අපි දැනටමත් දශක දෙක තුනක් පමාවී ඇත.

මේ වන විට ලෝකයේ ඕනෑම දියුණු රටක හෙදියකට ජිවිතයේ ඕනෑම අවස්ථාවක තම අත්දැකීම් සමග අදාළ පාඨමාලා හැදෑරීමෙන් වෛද්‍ය වෘත්තිකයකු විය හැක. නමුත් ලංකාවේ එසේ නොමැතිය. දැන් දේශීය අපොස උසස් පෙළ විභාගය නොකළ හෝ ඉන් යම් නිශ්චිත සාමාර්ථයක් නොලද කෙනෙකුට ලෝකයේ කුමන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තත් ලංකාවේදී එම වෘත්තියේ යෙදිය නොහැකිය. එසේම විදේශික වෛද්‍යවරයෙක් නොබෙල් සම්මාන ලාභියෙක් වුවත් ඔහුට ලංකාවේ සේවය කල නොහැක. 

මෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සහ විදේශ ගතව වෛද්‍ය විද්‍යාව හදාරන බොහෝ දරුවන් රට හැර යාමයි. මේ බොහෝ දෙනෙක් යම් ප්‍රමාණයක වත්පොහොසත්කම් ඇති පිරිසකි. ඔවුන් රට හැර යාමේ පල විපාක ඉතා කටුක විය හැක. 

කන්දක් තරණය කිරීමට තිබිය යුත්තේ එකම මගක් පමණක් යයි සිතන, ඒ සඳහා නීති පනවන, ජන සමාජයකින් ඈත්වීම ඔබගේ ජයග්‍රහණයක් වනු ඇත.  





Friday, 30 April 2021

අට වසර ගණිත ගැටළුවක් විසඳන්න පුලුවන්ද?


අසර්බයිජානේ හාදයෙක් මොංගෝලියාවෙන් ශීතකරණ ගෙන්වල තමන්ගේ රටේ විකුනන්න තීරණය කරනවා. ආනයනය කරන ශිතකරණයකට අසර්බයිජාන් ආණ්ඩුවෙන් 100% බදු ගහනවා. හැබැයි පොත්පත්වලට ඒ රටේ ආනයන බදු අයකරන්නේ නැහැ. අසර්බයිජාන්කාරය මොංගෝලියානු කොම්පැනියෙන් එකක් ඩොලර් 100 වන ශීතකරණ 1000 ක් ගෙන්නලා එකකින් ඩොලර් 40ක් ලාබ තියාගෙන විකුනන්න සුදානම් වෙනවා. ඒ කියන්නේ එක ශීතකරණයක් ඩොලර් 240 කට. ශීතකරණ දාහක් විකුණන කොට ඩොලර් 40,000 ක් ලාබයි. නරක නැහැ නේද?

මේ හාදයාගේ හොඳ යාළුවෙක් ඉන්නවා මොංගෝලියාවත් එක්ක නිතර ගනුදෙනු කරන. යාළුවට වැඩේ ආරංචි වෙලා මිනිහ ඇවිත් අපේ හාදයට යස උපදෙසක් දෙනවා. ඒක මොනතරම් අපූරූ අදහසක්ද කියල මේ හාදයට තේරෙන්නේ වැඩේ කෙරිලා ලාභය අතට එනකොට. මෙන්න මෙහෙමයි වැඩේ කෙරුණේ.

යාළුවගේ උපදෙස් අනුව අසර්බයිජාන් හාදය මොංගෝලියන් කොම්පැනියේ සේල්ස් මැනේජර්ට කතා කරලා මෙහෙම කියනවා.

"මට එකක් ඩොලර් 20 ගණනේ ශිතකරණ 1000 කට ඉන්වොයිස් කරන්න. ඒ එක්කම මොංගෝලියාවේ තියෙන එකක් ඩොලර් 1 ක් වෙන පොත් ලෝඩ් එකකටත් ඉන්වොයිස් කරන්න, එක පොතක් ඩොලර් 9 ගණනේ දාල. පොත් ලෝඩ් එක තීරණය කරන්න ඔයගොල්ලගේ කොම්පැනියට එකක් ඩොලර් 100 ගණනේ ශීතකරණ 1000 ටයි  පොතක් ඩොලර් 1 ගණනේ පොත් ලෝඩ් එකටයි මුදල් ලැබෙන විදියට". 

මොංගෝලියන් සේල්ස් මැනේජර්ට තේරුණා මේකෙන් ඒගොල්ලන්ට කිසිම පාඩුවක් නොවෙන වග. අනෙක මොංගෝලියාවේ රට ඇතුලේ නීතිරීති බොහොම තදට තිබුණට මොංගෝලියානු කොම්පැනි රටෙන් පිටත අයත් එක්ක කරන ගනුදෙනු වලදි ඇති වෙන ඔය සුළු සුළු අංක ගණිත ගැටළුවලට රජය අතගහන්නේ නැහැ.

ඉතින් අන්තිමේදී අසර්බයිජාන් හාදය ඉන්වොයිස්වල තිබුණ විදියටම බදු ගෙවල බඩු ටික ක්ලියර් කරගත්තා. 

දැන් ඔයාලගේ වාරේ.  

පොත් ලෝර්ඩ් එකේ පොත් කීයක් තිබුනද?

මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින්  හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?

මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?


                                           


Tuesday, 6 April 2021

සුහුරුව හිතන්න - Think smart

බැංකුවකට පැමිණි තරුණයෙක් තමාට මුදල් හදිස්සියක් ඇති බැවින් ඩොලර් 500ක් ණයට ගත හැකිදැයි කළමණාකරුගෙන් ඇසුවේය. ඒ සඳහා ඇපයට තම BMW ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථය තැබිය හැකියයි ඔහු පැවසීය. ඩොලර් 400,000ක්  පමණ වටිනා මෙම රථය ඇපයට තබා ගැනීම හොඳටම ප්‍රමාණවත් බව හැඟුණු බැවින් මුදල ලබා දීමට කළමණාකරු එකඟවිය. එහෙත් මසකට පොලිය 10% බව ඔහු පැවසීය.  මෙය ඉතාමත්ම අධික පොලියක් වුවත් (වසරකට වැල් පොලිය නොසලකා හැරියත් පොලිය 120%) තරුණයා කිසිඳු පැකිලීමක් නොමැතිව ඊට එකඟ විය. කාරය බැංකුවේ යටි මහලේ විශේෂ ආරක්‍ෂිත කලාපයේ ගාල් කිරීමෙන් පසුව ඔහු ඩොලර් 500 ද රැගෙන යන්න ගියේය.

මසකට පසු පැමිණි තරුණයා ඩොලර් 550 ලබා දී මෝටර් රථය රැගෙන යන්න හදද්දී, මේ ගනුදෙනුව සඳහා ලියකියවිලි සකස් කල තරුණ නිලධාරියා ඔහු වෙතට පැමිණ මෙසේ ඇසීය. 

"මහත්මයා මට සමාවෙන්න ඔබගෙන් පුද්ගලික පැනයක් අසනවාට. මෙතරම් වටිනා රථයක් තිබෙන ඔබට ඇයි මෙතරම් සුළු ණයක් ලබාගැනීමට සිදුවුයේ, මේ වගේ රථයක් ඇපයට තියල". 

සිනහවකින් මුව සරසා ගත තරුණයා මෙසේ කීය.

"මම ගිය මාසේ මගේ නිවස විකුණුවා ඉතා හොඳ ඉල්ලුමක් ලැබුණු නිසා. ඉන්පසු මම ලොව පුරා මාසයක් සංචාරය කිරීමට සිතුවා. සංචාරයෙන් පසු නව නිවසක් කුලියට ගැනීම මගේ අරමුණ වුණා. නමුත් ප්‍රශ්නය මම බොහොම ආදරය කරන මගේ මේ කාර් එක. මාසයක් කලින් ගේ ගත්තා නම් මට ඩොලර් 8000 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. වාහනය මාසයක් සුරැකිව රදවා ගැනීමට BMW සමාගම ඩොලර් 6000 ක මුදලක් ඉල්ලුවා. නමුත් ඔබේ බැංකුවට පිං සිද්ධ වෙන්න මම ඩොලර් 50 ගෙවා ඉතා සුරක්ෂිත තැනක කාරය තබා සැනසිල්ලෙන් ගමන ගොස් පැමිණියා".



Sunday, 28 March 2021

අනුරාධපුරයේ මහා සෑ ත්‍රිත්වයේ පිහිටීමට රණවිරු මහා සෑයේ බලපෑමක් ඇත්ද?

මා මේ ලියන්නේ මට කිසිසේත්ම අවබෝධයක් නොමැති කරුණක් සම්බන්ධවයි.

ගිය සිකුරාදා අප සරසවියේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකු අතර ඇතිවූ සතුටු සාමිච්චියකදී ඊජිප්තුවේ මූලික පිරමිඩ තුන පිළිබඳව කතා බහක් ඇතිවිය. එහිදී එක් මහාචාර්යවරයෙක් කියා සිටියේ මෙම පිරමිඩ තුන මගින් මානවයාට ගෝචර නොවන යම් බලවේගයන් අතර අන්තර් සම්බන්ධිත සංවේදනයක් සිදුවන බවයි. මම සාමාන්‍යයෙන් මෙවැනි අද්භූත කතා පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුවත් සංවාදය රසවත් වූ බැවින් අවධානය යොමු කරගෙන සිටියෙමි. 

මෙහිදී කිහිප දෙනෙකුගේම මතය වුයේ මෙම ශිෂ්ඨාචාරය පැවති වසර 3000 පමණ කාලය තුල (මෙම ශිෂ්ඨාචාරය අවසන් වී තවමත් ගතව ඇත්තේ වසර දෙදහසක් පමණ වේ) කිසිදු පාලකයෙක් මෙම පිරමිඩ තුනට යන්තමින් හෝ සමාන ප්‍රමාණයෙන් වෙනත් පිරමිඩ සාදා නැති බවයි. ඊට හේතුව මේ සන්නිවේදන ජාලයට එයින් බලපෑමක් ඇතිවිය හැකි වීම බව ඔවුන්ගේ මතය විය. මෙම සන්නිවේදන අද දක්වාම කෙරෙන බවත් තව වසර දහස් ගණනක් එලෙසම පවතින බවත් ඔවුන්ගේ මතය විය. 

මගේ පුදුමයට මෙන් එතන සිටි සියලුම වියතුන් පාහේ මේ කතාව තරයේ විශ්වාස කරන බව මට වැටහුණි. ඊළඟට ඇසුණු කතාවෙන් මගේ පුදුමය විශ්මයක් බවට පත්විය. 

මුලින් කතාව පටන් ගත් මහාචාර්යවරයා පැවසුයේ මෙම පිරමිඩවල වඩා සාර්ථක වූ නිර්මාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවයි. ඒවායේ ව්‍යුහයන්ගේ (structures) හැඩය සහ මාන අනුව ඇතිවූ වැඩි කාර්යක්ෂමතාවය නිසා ඒවා වඩා කුඩාවට සකසා අවශ්‍ය කාර්ය කරගැනීමට හැකිවූ බව ඔහුගේ අදහස විය. මට වැරදීමකින් ශ්‍රී ලංකා යන වචනය ඇසුනා දෝ යයි සිතමින් සිටින විට ඔහු ඉතා අපහසුවෙන් තම දුරකතනයේ වූ ගූගල් සෙවුම ආශ්‍රයෙන් (යැයි මම සිතමි) රුවන්මැලි සෑය, උච්චාරණය කරද්දී මට නොවැරදුනු බව පසක් විය. එතැන සිටි සියලු දෙනාම මා මැලේසියානුවෙක් යැයි සිතා සිටි බැවින් ඔවුන් මගෙන් මේ ගැන කිසිවක් නොවිමසීය. 

අද දින ලංකාවේ විද්‍යුත් පුවත්පත් බලන විට දුටු සඳහිරු සෑය හා සම්බන්ධ පුවත එකවරම මගේ මතකය වසර දෙක තුනක් පසුපසට ගෙන ගියේය. දිනක් මගේ දුරකතනයට ලංකාවෙන් ඇමතුමක් ලැබුණි. එකල අපි මැලේසියාවේ පදිංචිව සිටියෙමු. දුරකතනයෙන් ඇමතු මහතා (මට ඔහුගේ නම මතක නැත) ඇසුවේ ලංකාවේ ඉදිවන රණවිරු මහා සෑය මගින් අනුරාධපුරයේ ඇති මූලික දාගැබ් තුනේ පිහිටීමේ හැඩ තලයන්ට හානියක් නොවන්නේද යන්නයි.  සාමාන්‍යයෙන් මෙවැනි කරුණු දේශපාලනය හා සම්බන්ධ වන බැවින්ද මා ඇත්තටම ඒ ගැන කිසිවක් නොදැන සිටි බැවින්ද එම මහතා තුන් හතර විදියකින් ඇසූ එකම පැනයට මම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කලෙමි. 



Saturday, 27 March 2021

අමරණීය පානය


හූ මින්ග් රජු ඉතා කෘර පාලකයෙක් විය. වයස අවුරුදු 20 දී සිහනසුනට පත් වූ ඔහු ධනවත් සිටුවරුන්ගෙන් මෙන්ම දිළිඳු ගොවියන් ගෙන්ද ඉතා අසාධාරණ ලෙස බදු අය කළේය. බදු ගෙවිය නොහැකි ගොවියන් පවුල් පිටින් මරා දැමිය. ඔහු වසරේ වැඩි කාලයක් තම අධිරාජ්‍ය විශාල කරගැනීම සඳහා ගම් නියම ගම් ගිනිබත් කරමින්, අසරණයන් වහල්භාවයට පත් කරගනිමින්, ආක්‍රමණයේ යෙදුනේය. ඉහල පෙළේ සෙනෙවිවරුන් පවා ඔහුට වඩා දක්ෂ බව හැඟී ගියහොත් ඔහු සුක්ෂම ලෙස ඔවුන්ව අපරාධවලට පටලවා හිස ගසා දැමිය. කෙමෙන් ඔහුට, මතුපිටින් නොපෙන්නුවත් සිත යටින් අකමැති වූ සතුරන් විශාල ගණනක් බිහිවන්න විය. මෙය ඉවෙන් වැටහුණු හූ මින්ග් තදබල අසහනයකින් පෙලෙන්න විය. මේ නිසාම ඔහුගේ සැකය දිනෙන් දින උත්සන්න විය.

හූ මින්ග් රජුට ඉතා සට කපට උපදේශකයෙක් සිටියේය. ඔහු රජුගේ මානසික තත්වය වටහාගෙන රජුට කදිම උපදේශයක් දුන්නේය. 

"කඳුකරයේ වෙසෙන සාධුවරුන් කිහිප දෙනෙකු ලඟම අමරණීය වන පානයක් තිබෙනවා, එය පානය කළහොත් ඔබ සදාකාලිකවම මේ මුළු ලෝකයටම එකම අධිරාජ්‍යයා වනවා" උපදේශකයා කීය. 

මේ බව කන වැකුණු වහාම හූ මින්ග්, කඳුකරය පීරා සාධුවරයෙකුගෙන් අමරණීය පානය පැහැරගෙන එන ලෙස දන්වා සේනා පිටත් කර හැරියේය. මේ දරුණු සෙබළුන්ද කඳුකරයේ සිටින සාධුවරුන් අල්ලා ඔවුන්ගෙන් අමරණීය පානය තමන්ට ලබා දෙන ලෙස අණ කරන ලදී. තමා ළඟ එසේ පානයක් නොමැති බව පවසන සියළු සාධුවරුන් ඔවුහු මරා දැමුහ. 

මේ විනාශය දරා ගැනීමට නොහැකි වූ නැණවත් රටවැසියන් පිරිසක් කඳුකරයේ ඈත පෙදෙසක වෙසෙන ලූ ජයන් නම් ධ්‍යානලාභී සාධුවරයා හමුවී මේ ව්‍යසනයෙන් මානව සංහතිය ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. ලූ ජයන් තුමා ඔවුන්ට කියා සිටියේ තමා ළඟ අමරණීය පානය ඇති බව සෙබළුන්ට පවසන ලෙසයි. 

සෙබළුන් පැමිණි විට ලූ ජයන් තුමා කියා සිටියේ, තමා ළඟ අමරණීය පානය ඇති නමුත් එහි ඵල ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම එය තම පූජා භූමියේ ඇති ඉපැරණි රොන්ෂු ගස පාමුලදී පානය කල යුතු බවත්ය. 

මේ බව දැන් වූ විට ඉතා අකමැත්තෙන් වුවත් අමරණීය වීමට ඇති ලෝභය නිසා මෙම සාධුවරයාගේ භූමියට යාමට හූ මින්ග් කැමති විය. තමා අමරණීය වූ වහාම තමාව ඔහුගේ දෙපා මුලට ගෙන්වා ගැනීමෙන් කල අවමානයට සාධුවරයාගේ හිස ගසා දැමීම හූ මින්ග්ගේ අභිප්‍රාය විය. 

පූජා භූමියට ගිය හූ මින්ග් රජුට රොන්ෂු ගස මුලදී ලූ ජයන් තුමා විසින් ශාක පොතු තම්බා සකස් කල ඉතා තිත්ත පානයක් ලබා දෙන ලදී. ලූ ජයන් තුමා කියූ වත්පිළිවෙත් පිළිපැද ඉතා අපහසුවෙන් තිත්ත දියරය පානය කල හූ මින්ග් ඊළඟට ලූ ජයන් තුමාගෙන් ඇසුවේ තමා අමරණීය බව ඔප්පු කරන්නේ කෙලෙසද යන්නයි. 

ලූ ජයන් තුමා ඉතා යටහත් පහත්ව මෙලෙස කියා "නරෝත්තමයාණෙනි ඔබගේ ගෙලට කඩු පහරක් එල්ල කරන ලෙස ඔබගේ සෙබළෙකුට අණ කරන්න" 

තම අණින්ම හූ මින්ග්ගේ ගෙලට කඩු පහරක් එල්ල වූ අතර ඉන් ඔහුගේ ගෙල සිඳී හිස බිමට පතිත විය. මේ සමගම එතෙක් කලක් මුළු රටටම තිබූ හිසරදයක් නිමා විය. 



Friday, 12 March 2021

ඝර්ෂණ භූතයෝ

මේක ඒ දවස්වල මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මැතිතුමා පළමු වසර භෞතික විද්‍යා සිසුන්ට පවසන ජනප්‍රිය කතාවක්. 

විද්‍යාඥ පීටර් විසින් මතුපිටක ඝර්ෂණය පැහැදිලි කිරීමට මොඩලයක් ගොඩනැගීය. ඔහුගේ මතය අනුව ඕනෑම මතුපිටක ඇති සියුම් සිදුරුවල මිලියන ගණනක් වූ ඝර්ෂණ භූතයන් ජීවත්වෙයි. ඔවුන් තම වාසස්ථාන හරහා යමක් ගමන් කිරීමට දැඩිසේ  විරෝධය දක්වයි. මේ නිසා මතුපිටක් මත තව මතුපිටක් ඇතිල්ලෙන විට ඔවුන් වාසස්ථාන වලින් එලියට පැමිණ ගමන් කරන වස්තුව නවතාලීමට බලයක් යොදයි. මෙය ඝර්ෂණ බලය නම් වේ.

ඔහුගේ අදහසට විරුද්ධව අනෙක් විද්‍යාඥයන් ප්‍රශ්න රාශියක් අසන්නට විය. 

"එතකොට සුමට මතුපිටක ඝර්ෂණය අඩු ඇයි"

"එහෙම තැනක සිදුරු අඩු නිසා ඉන්න පුළුවන් භූතයන් ගණන අඩුයි" පීටර් ඉතා සරලව පිළිතුරු දෙයි 

"එතකොට අපි තෙල් තට්ටුවක් මතුපිට ආලේප කලාම ඝර්ෂණය අඩුවෙන්නේ ඇයි"

"අපොයි එතකොට භූතයෝ වැඩිදෙනෙක් තෙල් තට්ටුවේ ගිලිලා මැරෙනවා"

"අපි මුලින් බලය වැඩි කරනකොට ඊට සමානුපාතිකව ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට ලඟාවෙන්නේ ඇයි" 

"ඒක තේරුම් ගන්න හරි ලේසියි. මුලින්ම එන්නේ වසස්ඨාන වලින් එළියේ ඉන්න භූතයෝ. ඒ අයට නවත්ත ගන්න බැරි වෙනකොට ගෙවල් ඇතුලේ ඉන්න කට්ටියත් ටික ටික එකතුවෙනවා උදව්වට. ඉන්න ඔක්කොම භූතයෝආවට පස්සේ තවත් බලය වැඩි වෙන්නේ නැහැනේ" 

"මුලින් යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට එනවා (ස්ථිතික ඝර්ෂණය). ඊට පස්සේ මතුපිට මත අනෙක් මතුපිට ගමන් කරන්න පටන් ගත්තම ඝර්ෂණ බලය ටිකක් අඩුවෙනවා (ගතික ඝර්ෂණය). ඒ මොකද?"

"ආ ඒකද? කොච්චර මහන්සි උනත් නවත්තගන්න බැහැ කියල තේරුණාම සමහර කම්මැලි භූතයෝ වැඩේ අල්ල දාල ගෙවල් වලට යනවා". 

මේ ආකාරයට මොන ප්‍රශ්ණේ ගෙනාවත් පීටර් තර්කානුකුලව ඒවාට උත්තර දුන්න. 

අදටත් පීටර්ගේ ඝර්ෂණ මොඩල් එක මේ නිසා වලංගුයි. 



Monday, 8 March 2021

මම - අද්වෛත වේදාන්තය තුලින්

 

අද්වෛත වේදාන්තයේ මම නොවන, මගේ වන, කෝෂ පහක් ගැන සඳහන් වනවා. එනම් අන්නමය කෝෂ (ආහාර කෝෂය), ප්‍රාණ කෝෂ, මනෝමය කෝෂ, විඥාන කෝෂ (තීරණ ගැනීමේ බුද්ධිය), ආනන්දමය කෝෂ ලෙසින්. මේ ගැන විස්තර අප පසුවට කතා කරමු. මම යනු මේ කෝෂ 5 ට ස්වායත්තවූ භූතාර්ථයක්. යමෙකුට එයට ආත්මය යැයි කිව හැකියි. ආත්මය සදාතනිකයි. පංච කෝෂ එක් එක් ජිවිත කාලයට අනුව ගොඩනැගෙන අධි-ගතික (extremely dynamic) භූතාර්ථයක්. එනම් මෙම පංච කෝෂ කාල අවකාශයේ වේගයෙන් වෙනස් වනවා. එහෙත් "මම" මමමයි. කුඩා කල තිබුණාට වඩා මගේ පෙනුම, මගේ ප්‍රාණ ක්‍රියාවලිය (හුස්ම ගැනීමේ සහ හදවත ගැසීමේ වේගය, ආහාර ජීර්ණ ක්‍රියාවලිය, සෛල වැඩෙන සීඝ්‍රතාවය ආදිය), මගේ සිතුවිලි, මගේ බුද්ධිමය හැකියාව, මට හැගීම් දැනෙන ආකාරය දැන් බොහෝ සෙයින් වෙනස්. නමුත් මම නැමැති යමක් වෙනස් නොවී පවතිනවා. 

"මම" හෙවත් ආත්මය නිර්ගුණ, නිර්හැඩ, නිර්ලිංග, නිර්කාල, නිර්මාන භූතාර්ථයක්. එනම් හොඳ-නරක, ශරීරයේ ස්වරුපය, ගැහැණු-පිරිමි බව කාලය ගතවීම පිලිබඳ සංකල්පය, මිනිසකුට නම් ත්‍රිමානය (විවිධ සතුන්ට විවිධ මාන ප්‍රත්‍යක්ෂ වේ) ආදී කරුණු "මම" විසින් ගොඩ නගා ගන්නා කෝෂ වලට මිස "මම" නැමැති භූතාර්ථයට අදාළ නොවේ.     

මරණයේදී මේ කෝෂ පහ "මම" විසින් අත්හරිනවා. ඉන් පසු කර්ම විපාක අනුව තවත් කෝෂ පද්ධතියක් ඇති කරගන්නවා (උපාදාන කරගන්නවා). එය කෝෂ පහක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත පැවැත්මක් විය හැකි. උදාහරණයක් ලෙස තවත් මිනිසෙකු නම් කෝෂ පහක්ද, දේව උත්පතියක් නම් කෝෂ තුනක්ද, ඉතා ඉහල තල වලදී ආනන්දමය කෝෂය පමණක්ද විය හැකියි. මෝක්ෂය හෙවත් විමුක්තිය ලබද්දී මෙම කෝෂ පහම අතහරිනවා. 

මෙම අද්වෛත වේදාන්ත මොඩලය තේරුම් ගැනීම පහසුයි. මේ තුලින් මරණයේදී සිදුවන ක්‍රියාවලිය පහසුවෙන් විස්තර කල හැකියි. මම සවන් දුන් බොහෝ බෞද්ධ ධර්ම දේශනා වලදී ස්වාමින්වහන්සේලා දැන හෝ නොදැන විස්තර කලේ මේ අද්වෛත වේදාන්ත සංකල්පයයි.