Friday, 19 August 2016

මගේ උණ


ඒ 90 දශකයේ අවසාන භාගයයි.  මම සියළු අධ්‍යාපන කටයුතු නිම කොට ලංකාවට පැමිණ කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධූරයේ ස්ථිර පත්වීම ලැබුවෙමි.  ඒ වන විට මා ජීවිතයේ තෙවන දශකය පසු කර තිබුණි.

ස්වීඩනයේ ගත කල කාලයේදී මා දුටු එහි වැසියාගේ සෞභාග්‍යයත්, සැහැල්ලු විවේකී ජීවන රටාවත්, මානසික සුවයත් ලක් වැසියාටත් ලබා දීමට උවමනා නොවේදැයි මගේ සිතුවිලි මට නිරන්තරයෙන් වධ දෙන්න විය. මෙය දරුණු උණ රෝගයක් බව තේරුම් ගැනීමට මට තවත් සෑහෙන කාලයක් ගත විය.

දෙදහසේ මුල් දශකය ලංකාවේ ගත කිරීමට ලැබීම ජීවිතයේ ලද විශාල භාග්‍යයක් යයි මම සිතමි. ඒ ජීවිතය පිලිබඳ, ආචාර්ය උපාධි තුනකින් වත් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක් රැස් කරගැනීමට මට ඒ කාලය තුල හැකිවූ බැවිනි. 

ඒ වකවානුවේදී සිදුවූ එක් සිදුවීමක් මට තවමත් මතකය. 

අකුණු ආරක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා කිහිප වරක් බංග්ලාදේශයේ සංචාරය කල මට එහි ජීවන රටාවේ ස්වභාවය අනුව දියත් කල හැකි ව්‍යපෘති කිහිපයක් පිළිබඳව යෝජනා මාලාවක් ගොඩ නැගීමට හැකිවිය.

ඉන් එකක් නම් තෝරාගත් ජන සමුහයකට ඔවුන්ට අත්‍යාවශ්‍ය වූ සේවාවන් ලබාදීම සඳහා එම සමුහයෙන්ම තෝරාගත් ව්‍යවසායකයන් පිරිසක් පුහුණු කර ඔවුනට ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ණය මුදලක් ලබා දීමයි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා දියත් වූ අතර ව්‍යාපාර ඇරඹීමෙන් පසු ඒවායේ ප්‍රගති නියාමනයද එම සංවිධානය මගින් සිදු විය. 

එක් උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ ඇති විශාල ජලාශ ආශ්‍රිතව සිදුවන මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සලකමු (මෙම උදාහරණය ගත්තේ එය පසු විස්තරයකටද අවශ්‍ය බැවිනි). 

මෙම කර්මාන්තය කෙරෙන්නේ ගම්මානයක හෝ ගම්මාන කිහිපයක ජීවත්වන ධීවරයන්, සමුහයක් වශයෙනි. මෙහිදී අප ධීවර ගම්මාන කිහිපයක අවශ්‍යතාවයන් හදුනා ගෙන (එම ගම්මාන තුල සති දෙකක් පමණ රා.නො.ස. යේ පිරිසක් රැදී සිට ලබා ගන්නා දත්ත අනුව) එහි සිටින තෝරාගත් ව්‍යවසායකයන් පිරිසකට ධීවර අංශයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පුහුණුව ලබාදෙනු ලැබේ. 

මෙම පුහුණුව ලබා දෙන විෂය පථය ප්‍රදේශයේ අවශ්‍යතාවය අනුව වෙනස් වේ. එයට දැල් ආම්පන්න අලුත්වැඩියාව, බෝට්ටු සහ ඔරු අලුත් වැඩියාව, ශීතාගාර අලුත් වැඩියාව, ධීවර මලු තැනීම, මත්ස්‍ය වියලනය සඳහා විජලක සහ වියලන කුටි සෑදීම, කෙටි දුර මත්ස්‍ය ප්‍රවාහණය සඳහා එන්ජින් රහිත වාහන සෑදීම ආදී පුළුල් පරාසයක ක්‍රියාකාරකම් ඇතුලත් වේ. පුහුණුවෙන් පසුව ග්‍රාමීන් බැංකුව හරහා ව්‍යාපාරික ණයක් ගැනීමටද රා.නො.ස. ය කැප වී කටයුතු කරයි. 


මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වෙමින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ අතර කැනේඩියානු රජයේ ආධාරද ඒ සඳහා ලබාගැනීමට මගේ ඉතා කිට්ටු මිතුරෙකු වූ මෙම ව්‍යාපාරය දියත් කල බංගලාදේශයේ ටාරා ආයතනයේ සභාපති ආචාර්ය මුනීර් අහමඩ් සමත් විය.

මගේ සහජාත දරුවකු වූ මෙම ව්‍යාපෘතිය ලංකාවේද දියත් කිරීමට මට දැඩි ලෙස උවමනා විය. එවන විට මම ශ්‍රී ලංකා ජාතික විද්‍යා හා තාක්‍ෂණික ආයතනයේ (NASTEC) ක්‍රියාත්මක වන තරුණ විද්‍යාඥයන්ගේ පර්ෂදයේ (YSF) සභාපති වරයා ලෙස කටයුතු කලෙමි. NASTEC ආයතනයේ එවකට අධ්‍යක්ෂක ලෙස කටයුතු කලේ ආචාර්ය නොබෙල් ජයසූරිය මහතාය. 

මා මේ පිළිබඳව පැවසු විට ඉතා උනන්දුවෙන් අසා සිටි එතුමා පසුදාම මා කැටිව එවකට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරයාව සිටි ආචාර්ය තිස්ස විතාරණ මහතා හමු වීමට ගියේය. කලින් NASTEC ආයතනයේ සභාපතිවරයාව සිටි බැවින් තිස්ස විතාරණ මහතාව මා පෙර සිටම දැන සිටියෙමි. 

නියාමක ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාතේ ධීවර ගම්මානයක් හෝ ගම්මාන කිහිපයක් තෝරාගෙන ව්‍යවසායක පුහුණුව ලබා දීම සඳහා සකස් කල සවිස්තරාත්මක ව්‍යපෘති යෝජනාවක් මා අත විය. ඊට අවශ්‍ය විදේශ ආධාර ලබා ගැනීමට පවා සැලැස්මක් මා එවන විටත් සකස් කර තිබුණි. 

මගේ යෝජනාව ඉතා ඉහළින් පිළිගත් ඇමතිතුමා ප්‍රකාශ කලේ, හිතවතුන් තරහ නොකරගෙන එය ක්‍රියාත්මක කරමු කියාය. එබැවින් මේ සඳහා දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ නියෝජනය කල එවකට ධීවර ඇමතිවරයාගේ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඔහු යෝජනා කළේය. 

ඉන් පසුව තිස්ස විතාරණ මහතාගේ උපදෙස් හා යොමු කිරීම් සමග මම ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා හමු වීමට ගියෙමි. ඔහුට මා මෙම ව්‍යාපෘතිය පිළිබඳව විස්තර කර දකුණු පළාතේ ගම්මාන කිහිපයක සතියක පමණ කාලයක් නිරීක්ෂණ චාරිකාවක් කල යුතු බව පැවසුවෙමි. 

"හා එහෙම නම් ඔයා මේ මාසේ අන්තිමට ලැහැස්ති වෙන්නකෝ යන්න. මම ට්‍රාන්ස්පෝර්ට්, ෆුඩ් ඇන්ඩ් ලොජින් අරේන්ජ් කරන්නම්" ඔහු එතරම් උනන්දුවක් නැතුව ප්‍රකාශ කළේය. 

ගමනට දින කිහිපයක් තබා මම ධීවර අමාත්‍යංශයට නැවතත් පිය නැගුවේ ගමනේ විස්තර ස්ථිර කර ගැනීමටයි. 

"ආ ඔයා අර රස්සාවල් දෙන්න යෝජනා කරන එක්කෙනා නේද? ඔයා එන සෙනසුරාද යන්න මාතර අපේ වෙහිකල් එකේ. එහෙ අපේ ඇමති තුමාගේ සංවිධායක ඔයාව අවශ්‍ය තැන් වලට එක්ක යයි. සඳුදට කොළඹ එන වාහනේක එන්න පුළුවන්".

"මේ සර්වේ එක දවස් දෙකකින් නම් කරන්න බැහැ. අඩුම ගණනේ දවස් පහක්වත් එහෙ ඉන්න ඕනේ".

"ඔයා මේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇමතිතුමාගේ උපදෙස් පිට ගමේ සියයකට දෙසීයකට විතර රස්සාවල් දෙනවා කියල එහෙ මිනිස්සුන්ට කිව්වහම ඇති. ඕනේ නම් කියන්න අපි රස්සාව කරගෙන යන්න මාස් පතා මුදලකුත් දෙනවා කියල". 

මා ඒ ගමන යෑම තබා නැවතත් ඒ අමාත්‍යාංශය පැත්තටවත් ගියේ නැත. කළකිරිම කොතරම්ද යත් එම ව්‍යපෘති යෝජනාවේ මෘදු කොපිය පැවති pre-Pentium පරිඝනකය අභාවයට යද්දී එහි කොපියක් ලබා ගැනීමටවත් මට උනන්දුවක් නොවීය. 

ඒ ව්‍යාපෘතිය ඉවත දැමුවත් මගේ උණ රෝගයේ අඩු වීමක් සිදු වුයේ නැත. ලංකාවේ වැසියන් වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ සෙයින් ඇති බව මට නැවත නැවත මෙනෙහි විය.  

ගතවූ එම දශකය තුල මා අමාත්‍යංශ කිහිපයකම ව්‍යපෘති වලට උදව් කලෙමි. කොමිෂන් සභා ගණනාවක වැඩ කලෙමි. ජාතික ප්‍රතිපත්ති කිහිපයක්ම ගොඩනැගීමට කර දුන්නෙමි. සමහර ආයතනවල මෙම කාර්යයන් සඳහා ගෙවීම කේක් කෑල්ලක්, කට්ලට් එකක් සමග තේ කෝප්පයකි. NASTEC, TRC වැනි ආයතනවල මීට අමතරව එක් හමුවකට රු. 500 - 1000 පමණ ලබා දුනි. මේ හැම දෙයකින්ම මම අතිශයින් තෘප්තිමත් වුනෙමි. කථිකාචාර්යවරයෙකු ලෙසත් අකුණු ආරක්ෂණ තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපදේශකයෙකු ලෙසත් මට හොඳ ජීවන තත්වයක් තිබුණි. එබැවින් ස්වේච්ඡා සේවයේ යෙදීමෙන් මම ආත්ම තෘප්තිය ඇරෙන්න කිසිවක් නොපැතුවෙමි.

එහෙත් අමාත්‍යංශ මට්ටමේ කටයුතු වලදී ඇතිවුනේ බොහෝ විට කලකිරීමකි. සමහර දේවල් කලකිරීමකට වඩා මෙම සමාජය ගැන තදබල අනුකම්පාවක් මා තුල ඇති කෙරුවේය.


වරක් ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයක ආරාධිත දේශනයක් පැවැත්වීමට මට ආරාධනා ලැබුණි. මතුගම ප්‍රදේශයේ පාසලක පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ මෙම උළෙල සංවිධානය කල අමාත්‍යංශයේ අමාත්‍යවරයා විය. 

දේශනය පැවැත්වෙන ශාලාවේ රැඳී සිටි අයට මාව හඳුන්වා දීම බාරව තිබුණේ එම අමාත්‍යංශයට අයත් ආයතනයක ප්‍රධාන නිලධාරිනියකටයි. ඇය ජීව විද්‍යාව පිළිබඳව පශ්චාත් උපධි ධාරිනියක් බව කතා බහේදී හෙළිවිය. 

ඇමතිවරයාගේ පැමිණීම පැය දෙකකටත් වඩා පමා වූ බැවින් මගේ දේශනයද ඊට අනුරූපව පමා කිරිමට සිදුවිය. දැන් ශාලාව තුල කුඩා කාලගෝට්ටියකි. එක්කෙනා දෙන්නා අසතුටු මුහුණින් යුතුව ශාලවෙන් පිටවෙනු දක්ට ලැබේ. 

"අපි එහෙනම් ලෙක්චර් එක පටන් ගමු" සැහෙන වෙලාවක් නොසන්සුන් ආකාරයෙන් ඔරලෝසුව දෙසත් ලූවර් අතරින් ශාලාවේ සිටින පිරිස දෙසත් බලමින් සිටි අර නිලධාරිනිය අවසානයේදී මෙසේ  කියමින් මාද කැටුව දේශන ශාලාවේ පිවිසුම වෙතට ගමන් කලාය.

"අන්න ඇමතිතුමාගේ ලේකම්තුමා ඇවිල්ල" කවුදෝ පිටිපසින් පැමිණ නිලධාරිනියට පැවසුවේය.

"අනේ ඇත්තද?" ඇයට මාවද අමතකවී පණිවිඩ කරුවා පසු පස දුවන්න පටන් ගත්තාය. 

සාරියක් ඇඳ සිටි ඇයට වැඩි දුර දිවීමට නොහැකි විය. හොඳින් වැඩුනු කෙසෙල් ගසක් මුලින් කපා දැමුවාසේ ඇය සාරිය පැටලී බොරළු පොළවේ මුනින් අතට ඇදන් වැටුණාය. මාත් අසල සිටි කිහිප දෙනෙකුත් විගසින් ඒ දෙසට ගියේ ඇයට නැගී සිටීමට උපකාර කිරීමටයි. එහෙත් අප පැමිණීමටත් පෙර ඇය ස්වෝත්සාහයෙන්ම නැගිට ගත්තාය. ඇයගේ අත්ල මෙන්ම වැලමිටද හොඳටම සීරි තිබුණි. සමහර විට දණහිස් සහ පාදද තුවාල වී තිබෙන්න ඇත.  

වහා අත් බෑගයෙන් ලේන්සුවක් ගත් ඇය ඉන් තුවාල පිසිමින් නැවතත් ගමන පටන් ගත්තේ "මේක එච්චර අමාරු නැහැ" කියමිනි. 

කල යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකි වූ බැවින් මමද ඇය පසු පස පිය මැන්නෙමි.

සුඛෝපභෝගී මෝටර් රථයක් අසල සිටි මැදි වියේ අහංකාර පෙනුමැති මහත්මයෙක් වටා පස් හය දෙනෙක් රැස්ව සිටියහ. ඒ ඇමති ලේකම් යැයි මම අනුමාන කලෙමි.

මා සමග මහත් අභිමානයෙන් යුතුව කතා කරමින් සිටි නිලධානිරිය "ආ සර් දැන්ද ආවේ" යයි ඉතා යටහත් පත්ව කියමින්, සමහර විට ඇයට වඩා ඉතා පහළ අධ්‍යාපන සුදුසුකම් ඇති, ලේකම් වරයා ලඟට ගියේය. 

"ආ මිසිස් ----------, ඇමතිතුමා එන්නත් කලින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න වගේ ලැහැස්තිය නේද?" ලේකම් උපහාසාත්මකව අයගෙන් ඇසීය. ඒ විනාඩි කිහිපයට, මෙම නිලධාරිනිය මා කැටුව දේශණය ඇරඹීමට ශාලාව වෙත යන බව ලේකම්ගේ කණට ගොස් ඇත. 

"අනේ නැහැ සර්. මම මේ ගෙස්ට්ලා හැමෝටම කිව්වේ ඇමතිතුමා ඇවිල්ලා පහණ පත්තු කරන කම් කිසිම වැඩක් පටන් ගන්න බැහැ කියල". ඇය අසරණ හඬින් කීවාය. 

ඇමතිවරයා පැමිණි විට තත්වය තවත් විකට ස්වරූපී විය. අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රධානීන් ඔවුනොවුන් පරයමින් ඇමතිවරයාට මුහුණ පෙන්නා කුමක් හෝ ආදර බසක් පැවසීමට දැඩි උත්සහයක් ගත්තේය. මේ සමහර ඇත්තෝ ආචාර්ය, මහාචාර්ය පදවි ලාභියෝය. 

"ඔබතුමා කාර් එකෙන් බහින කොට තමයි පැත්තටම එලිය වැටුණේ. මෙච්චර වෙලා හරිම වැහි අන්ධකාරයක් තිබුනේ" මේ ගජබින්නය ඇද බෑව පුද්ගලයා අදටත් රූපවාහිනී තිරයේ සිංහයෙකුසේ නාද කරනු මා යූ ටියුබ් ඔස්සේ දකින්නෙමි. 

මේ තත්වය මා විශාල වාර ගණනක් දැක ඇත. හැම විටම පහල සිටින නිලධාරින් ඉහළ සිටින අයට චාටු බස් පවසමින් ඔවුන්ගේ සිත් ඇදගැනීමට උත්සහ කරයි. එහෙත් අවස්ථාවක් ලැබුණ පමණින් ඉහළ නිලධාරියා කපා දමා තමන් ඒ තනතුරට එසවීමට උත්සහ කරයි. ඇමතිවරයා හැම විටම තමාගේ චන්ද පදනම ගැනත් අවට සිටින තම පක්ෂයේම සඟයන්ගේ පිහි පහරින් ගැලවෙන අයුරු ගැනත් නිතර මෙනෙහි කරයි. ජනාධිපතිවරයා සතුටු කිරීමද ඔහුගේ ප්‍රමුඛත්වයක් විය යුතුය. 

මේ සියළු කාරණා අතරේ මහජන සේවය ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමයා බවට පත්වේ. එහෙම දෙයක් කල යුතුද යන්නවත් සමහර රජයෙන් වැටුප් ලබන අයට නොතේරේ. නොඑසේ නම් නොදැනේ. 

එදා මගේ මෙන්ම පැමිණ සිටි අනෙකුත් විද්වතුන්ගේ දේශන පවත්වන විට ඇමතිතුමා පිටව ගොස් තිබුණි. ඒ සියලු දේශන මහජනතාවගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් දේවල් වුවත් දේශන ඇසීමට "මහජනතාව" සිටියේ නැත. පැය ගණනක් බලා  සිටි ඔවුන් ඇමතිතුමා ආ පසු ලැබුන කේක් කෑල්ලත් සෑන්ඩ්විච් එකත් කා කුඩා හයිලන්ඩ් කිරි පැකට් එකෙන් උගුර තෙමා ගෙන ගෙදර ගොස් තිබුණි. දේශනයට සහභාගී වුවේ කොළඹින් ගිය අමාත්‍යංශයේ රියඳුරන් සහ අත්උදව් කාරයනුත්, තව කෑම ලැබේදැයි ඉවකරමින් සිටි ප්‍රදේශයේ කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙකුත් පමණි. 

සමහර ඇමතිවරුනට මෙන්ම රජයේ නිලධාරීන්ටද රට වෙනුවෙන් යමක් කරන්නට සැබෑ උවමනාවක් ඇති බව කිහිප විටෙකම මට වැටහුණි. මාව ආචාර්ය උපාධියෙන් පසු ලංකාවේ රඳවා ගත්තේ මේ නිරීක්ෂණයයි. එහෙත් එම අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු මානුෂීය පරිසරයක් හෝ දේශපාලන ක්‍රමවේදයක් ලංකාවේ නැති බව තේරුම් ගැනීමට මට දශකයක් ගත විය.

අද ලංකාවේ රජුන් තනන්නේද රජුන් නසන්නේද මාධ්‍ය මුදලාලිය. රට කරවන ජනාධිපතිවරයාගේ  සිට රෝද පුටුවේ සැතපී රුපවාහිනිය නරඹන අත්තම්මා දක්වා සමස්ථ ජනතාවම මෙම මාධ්‍ය මාෆියාවේ සිරකරුවන් වී ඇති සේයකි. 

අන්තර්ජාල සමාජ වෙබ් අඩවි නිසා අද බොහෝ රටවල ජනතාව මාධ්‍ය අයිතිකරුවාගේ හස්තයෙන් මිදෙමින් පවතී. එහෙත් ලංකාවේ එම තත්වය මම තවමත් නොදකිමි. තම ස්වයං අදහස් පවසනවා වෙනුවට නැවතත් අර මාධ්‍ය අයිතිකරුවා විසින්ම වපුරන අනේක වූ විප්‍රකාර තම සමාජ වෙබ් පිටුවල ස්ථානගත කරගැනීමටත් ඒවාට අඩු වැඩි වශයෙන් ඌන පූර්ණ යෙදීමටත් උත්සුක වන තරුණ පෙළක් අද අපිට දැකගත හැක. සංකල්ප-කේන්ද්‍රීය දේශපාලනයක් වෙනුවට පුද්ගල-කේන්ද්‍රීය දේශපාලනයක් කරපින්නාගෙන ඉන්නවා මදිවාට ඒ වෙනුවෙන් තම ප්‍රතිරූපය පවා විනාශ කරගන්නා මට්ටමකට උගත් නුගත් බේදයකින් තොරව අද ලාංකික සමාජය පිරිහී ඇත.  

තව බොහෝ දේ ලිවීමට ඇතත් කාලය ඊට හරස් වේ. 

වසර දහයක් ලංකාව වෙනුවෙන් යමක් කරන්නට වෙහෙසුන මට 2009 වන විට දැන් නික්ම යන්නට කාලය පැමිණ ඇති බව වැටහුණි. ඉන් පසු එළැඹි වසර හත පුරා මා, මගේ පවුල වෙනුවෙන්, මැලේසියාව වෙනුවෙන්, තව බොහෝ රටවල් වෙනුවෙන් මෙන්ම ලංකාව වෙනුවෙන්ද, ලංකාවේ සිටියා නම් වසර 30 කින් වත් කල නොහැකි යමක් කලෙමි. ඒ සියල්ල කරන අතර මට විවේක සුව විදීමට පමණක් නොව මෙලෙස බ්ලොග් සටහන් ලිවීමට පවා කාලය ප්‍රමාණවත් වී ඇත. ලංකාවේ සිටියදී මට දවල් ආහාරය ගැනීමට කාලය ලැබෙන්නේ රාත්‍රී දහයටත් පසුවය. 

මා එදා සිටි මා මය. මගේ දැනුම් සම්භාරයේ හෝ නිපුණතාවයන්ගේ මහා වෙනසක් සිදු වීද නොමැතිය. සිදුවී ඇති එකම වෙනස නම් මට අවට සිටින "අපේ අයගෙන්" කොයි මොහොතේ ගැහැටක් වේදැයි සිතීමට තත්පරයක්වත් කාලය වැය නොවීමයි. 

ඒ වෙනස මොනතරම් සුන්දරදැයි එය විඳින තෙක් ඔබට නොවැටහෙනු ඇත. 











Sunday, 7 August 2016

අර්ත් ප්ලේට් එකේ රේඩියම්



මීට මාස කිහිපයකට පෙර උදෑසනක නුපුරුදු ලංකාවේ නොම්මරයකින් මගේ ජංගම දුරකථනය නාද  වන්න විය. 

"හෙලෝ, චන්දිම ගෝමස්…. හියර්"

"ආ සර් මම ලංකාවේ ......... ටී වී චැනල් එකෙන් කතා කරන්නේ. සර් දන්නවද දන්නේ නැහැ ලංකාවේ මේ දවස්වල මිනිස්සු පරණ අර්තින් ප්ලේට් හොයනවා. ඒ වල එකතු වෙච්ච රේඩියම් ගන්න. සර් අපිට කියන්න පුලුවන්ද  අවුරුදු පනහක් විතර පොලව යට තිබුණ ප්ලේට් එකකින් රුපියල් කීයක විතර රේඩියම් ලබා ගන්න පුලුවන්ද කියල?" බොහොම උද්යෝගීමත් තරුණ කටහඬක් අනෙක් පසින් ඇසුණි.

මම හෙමිහිට කටහඬ අවදි කලෙමි.

"දරුවෝ මම දන්න විද්‍යාව අනුව නම් එහෙම කොපර් ප්ලේට් එකක් පොලව යට තිබුණ කියල රේඩියම් හැදෙන්නේ නැහැ. ඕක කාගේ හරි බොරුවක්"

"ආ එහෙනම් සර් දන්නේ නැතුව ඇති, නිකම්ම ප්ලේට් වල නෙවෙයි, ඔය අකුණු සන්නායකයට ලයිට්නින් වැදුනම ඒ ගලන කරන්ට් එකෙන් තමයි ඔය ප්ලේට් එකේ රේඩියම් හැදෙන්නේ" තරුණ මාධ්‍යවේදියා තරමක බිඳුණු කටහඬකින් මාව අකුණු විද්‍යාව පිළිබඳව දැනුවත් කරයි.

"ආ ඇත්තද?" මම ඔහුගෙන් උනන්දුවෙන් ඇසුවෙමි.

"සර්ට ඒ රේඩියම් හැදෙන ප්‍රමාණය ගැන පොඩි වොයිස් කට් එකක් දෙන්න බැරිද?" 

"දරුවෝ එහෙම රේඩියම් හැදෙන කතාවක් ජීවිතේට ඉගෙන ගෙන නැතුව මම කොහොමද වොයිස් කට් දෙන්නේ?" 

"ආ එහෙනම් කමක් නැහැ සර්" තරුණයා ඉතා බිඳුණු හඬකින් පවසා දුරකථනය විසන්ධි කළේය.

පැය කිහිපයකින් තවත් ලංකාවේ නොම්මරයක් දුරකථනය නාද කරවන්න විය.

"සර් මම ලංකාවේ ........ පත්තරෙන්"

"අනේ දරුවෝ අර්ත් ප්ලේට් වල රේඩියම් හැදෙන එක ගැනනම් මම කිසිම දෙයක් දන්නේ නැහැ...." ඔහු අසන්නත් පෙරම මම පැවසුවෙමි.

පසු කලෙකදී මෙබඳු තඹ ඵලක වල රේඩියම් නොව ඉරේඩියම්,  පොසිට්‍රෝන ආදී විවිධ දෑ තැම්පත් වන බවට කතා පැතිර ඇත. මේවාට සිනහ පහල කරනවා හැරෙන්නට වෙන දෙයක් කල නොහැක. 

මෙම ඵලක කෝටි ගණන් වටිනවා යැයි කීවාට ඒවා ගත්ත කෙනෙකු හෝ විකනපු කෙනෙකු හෝ මෙතෙක් කල් වාර්තා වී නැත.



Friday, 8 July 2016

ලලිත් කොතලාවල, SAITM සහ Sunway අධිරාජ්‍යය




මුස්ලිම් බහුතරයක් සිටින, භූමි පුත්‍ර නමින් මුස්ලිම්වරුන්ට පමණක් බොහෝ රාජ්‍ය පහසුකම් ලබා දෙන, මැලේසියාවේ, චීන සම්භවයක් ඇති ජෙෆ්රි චේ 1974 දී ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරයක් ඇරඹුවේය. රජය පමණක් නොව රටේ ජනතාවද ජෙෆ්රි චේ පසු පස සිටියේ ජාතික සම්භවය කෙසේ වෙතත් ව්‍යාපාරිකයෙකුගේ බිහිවීම රටට වැඩදායක බැවිනි. විශේෂයෙන්ම කුඩා සමාගමකින් පටන් ගෙන තම ජීවිත කාලය තුල මහා පරිමාණ ව්‍යාපාරික අධිරාජ්‍යයක් දක්වා ගමන් කල හැකි ව්‍යාපාරිකයන් බිහිවන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින සේ කලාතුරකිනි. එවන් ව්‍යවසායකයෙකුගේ අනුප්‍රාප්තිය වටහා ගැනීමේ ඉවක් මේ රටේ වැසියාට ඇත.

කුඩාවට පටන් ගත් Sunway ව්‍යාපාරය අද විශාල අධිරාජ්‍යයකි. විශ්වවිද්‍යාල (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක්ද ඇතුළුව), සුපිරි වෙළඳ සංකීර්ණ, රෝහල්, අහස උසට නැගුන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ, දැවැන්ත විනෝදාගර (theme පාර්ක්), උද්‍යාන, ජල තටාක, ආදී සියළුම නවීන අංගෝපාංගයන්ගෙන් සපිරි Sunway ව්‍යාපාර ජාලය අති නවීන අහස් මහාමාර්ග වලින් යා වුනු වෙනමම ලෝකයකි. එහි මුල්‍ය වටිනාකම ඩොලර් බිළියන 10ය ඉක්මවයි. ව්‍යාපාර ජාලයෙන් 14,000 ඍජු රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර ඇති අතර මිලියනයකට පමණ වක්‍ර ආදායම් මාර්ග උපයා දී ඇත. මැලේසියානු රජය ලබා දිය හැකි සෑම පහසුකමක්ම මෙන්ම සිවිල් පුරවැසියෙකුට ප්‍රධානය කල හැකි ඉහලම නම්බු නාම වලින්ද ජෙෆ්රි චේව දිරිමත් කරන ලදී. මේ අධි ධනවත් මිනිසා මැලේසියානුවන් අතර ඉහලම ගෞරවයට පාත්‍ර වන අතර සැමදෙනාම ඔහුට බෙහෙවින් ආදරය කරයි. 



අනූව දශකයේදී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ආසියානු ශාකාව ලංකාවේ ඇරඹීමට යෝජනාවක් පැමිණියේය. එවකට තිබූ චන්ද්‍රිකා රජයේ බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම අවබෝධ කරගත්තද ඒ වකවානුවේ එම රජය ජ. වි. පෙ. සමග ඇති කරගෙන තිබු සංහිදියාව නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට තරම් කිසිවෙක් නිර්භීත නොවීය. ලංකාවට එපා දේ කවදත් තමන්ගේ කර ගන්නා ඉතිහාසයක් ඇති මැලේසියාව මෙතැනදීද යුහුසුළු විය. ජෙෆ්රි චේගේ ආරාධනයෙන් මොනෑෂ් සරසවියේ ආසියානු මණ්ඩපය Sunway නගරයේ බිහිවිය. අද එය මැලේසියාවට ඩොලර් මිලියන ගණනාවක් ගෙන එන ව්‍යාපෘතියකි. ලංකාවේ සිසුන් බොහෝ ගණනක් මෙන්ම ශ්‍රී ලාංකික සරසවි වල සේවය කල ආචාර්යවරුන්ද අද වන විට මෙම සරසවියට අනුයුක්ත වී ඇත. 



ජේ ආර් ජයවර්ධන රජය දාස මුදලාලිගේ කොඳු නාරටිය කඩා දමන විට මේ රටේ ජනතාව  හුරේ දමන්න විය. මහින්ද රාජපක්ෂ රජය ලලිත් කොතලාවලගේ සෙලින්කෝ අධිරාජ්‍ය බිඳ දමන විට මේ රටේ සිටින බොහෝ ඇත්තෝ "ඕකට හොඳ වැඩේ" යැයි ක්‍රෝධය මුසු සතුටකින් කීහ. ඊයේ පෙරේදා Avant Garde ආයතනයට කෙනෙහිලි කම් කරන විටද වතපොතේ බොහෝ දෙනෙක් ප්‍රීතියෙන් පිනා යනු මම දුටිමි. 

මා කුඩා කල අපේ අම්මා මා කැටිව බම්බලපිටියේ වජිරාරාමයට මසකට වරක්වත් යන පුරුද්දක් විය. ඒ නාරද හාමුදුරුවන්ගෙනුත් මඩිහේ පඥාසිහ නාහිමිගෙනුත් බණ ඇසීමටයි. මඩිහේ පඥාසීහ හාමුදුරුවෝ නිතරම කියූ එහෙත් මට ඊළඟ වසර පහළොව පමණ වනතෙක් නොතේරුණු කියමනකි.

"පිංවතුනි හැමවිටම හිතන්න දුප්පතුන් නැතිවේවා කියා. අද බොහෝ දෙනෙක් උදේ හවස පතන්නේ පොහොසතුන් නැතිවේවා කියායි. සමහර පිංවතුන් දවල් පෙළපාලියේ යනවා පොහොසතුන් බංගවෙලාම පල කියල මොර දිදී. රෑට පන්සලට ඇවිත් සාධුකාර දිදී අහගෙන ඉන්නවා අනේපිඬු සිටාණන් ජේතවනාරමේ මිලට අරන් සසුනට පූජාකරපු හැටි". 



රෝහණ විජේවීර මෙරට එකම වැසියෙකුටත් රැකියාවක් ලබා දුන් බවක් අප දන්නේ නැත. අනෙක් අතට ඔහුගේ අනුගාමිකයෝ නොයෙකුත් වකවානුවල එවකට පැවති දහසකුත් රැකියා අවස්ථාවන් විනාශ කර දමන ලදී. එහෙත් බොහෝ දෙනෙකුට විජේවීර තම සදාදරණීය නායකයාය. මෙරට ජනතාවට රැකියා 11,000 පමණ උත්පාදනය කල ලලිත් කොතලාවල පොදු මිනිසාගේ පරම සතුරාය. 

වෘත්තීය සමිති නායකයන් වෘතීය අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ වෘතිකයාට රැකියාවක් තිබෙන බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල බොහෝ වෘතිකයන්ට රැකියාව ලබා දෙන්නේ පෞද්ගලික අංශයයි. මින් පරිබාහිරව සමාජවාදී දේශපාලන රාමුවක් තුල රජයේ පාලනයට යටත් රැකියා ක්‍රමවේදයකට ගිය සියලුම රටවල් පාහේ අසාර්ථක විය. මේ පිළුණු වූ කතා වස්තුව නැවත වැමෑරිමෙන් දැන් පලක් නැත. 

රැකියාවේ මට්ටම ඉහලට ගෙන ඒම සඳහා අරඟල කල යුත්තේ රැකියා සපයන්නාට එදිරිව වෛර බැඳ ඔහු විනාශ කිරීමට අවි මෑනීමෙන් නොවන බව අප පැහැදිලිව තේරුම් ගත යුතුය. වෛද්‍යවරයාගේ සිට කසළ ශෝධකයා දක්වා සියළුම වෘත්තීය ක්‍රියාකාරකම් රෝබෝවක මාර්ගයෙන් සිදුවන යුගය යතාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බවත් අප අමතක නොකළ යුතුය. 

ව්‍යාපාරිකයාද මනුෂ්‍යයෙකු බව යථාර්ථයයි. ලැබෙන ආදායම තව තවත් වැඩි කරගැනීමට යත්ත දැරීම මනුෂ්‍යාගේ ස්වභාවයයි. එය එක පැත්තකින් රැකියා උත්පාදනය වැඩි කිරිමෙහි ලා දායක වන අතර අනෙක් පසින් නිසි අනිසි හැම ආකාරයකින්ම තම අරමුණ කරා යාමට ව්‍යාපාරිකයා පොළඹවයි. මෙය අනේපිඩු සිටාණන්ගේ සිට ජෙෆ්රි චේ දක්වා සියලුම ව්‍යාපාරිකයන්ට වලංගුය. රජයේ මෙන්ම සමාජයේද සෙවුම් ඇස සහ මැදිහත්වීම අවශ්‍යවන්නේ ව්‍යාපාරය නොමරා මෙහිදී ඇතිවන අනිසි කටයුතු අවමයක් කරගැනීමටයි. එය නිසි අයුරින් කරන රජය සහ සමාජය දියුණු වෙයි. මේ සරළ ක්‍රියාවලිය තේරුම් ගත නොහැකිවීම ලාංකිකයාගේ අවාසනාවයි.

මතක තබා ගන්න අපගේ ප්‍රාථමික, ද්විතීය, තෘතීය මෙන්ම චාතුර්ව අධ්‍යාපනයද සිදුකරන්නේ 99.9% ක් රැකියා අපේක්ෂකයින් බිහි කිරීමයි. ඒ සියල්ලගේ අභිප්‍රාය සැපිරිය යුත්තේ 0.1% වන රැකියා උත්පාදකයාය. රැකියා ඉල්ලමින් බෝර්ඩ් කෑලි උස්සාගෙන මහපාරේ කෑ මොර දෙන දහසක් දෙනාද හැකිතාක් බැට දෙන්නේ මේ රැකියා උත්පාදකයාටමය. ඉතින් මේ රටට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නැත. 



පසුගිය සතියේ මගේ කිට්ටු මිතුරෙක් මා සමග කල Skype කතා බහක් මෙහි සඳහන් කිරීමට සිතෙයි.

"චන්දිම, ඔයා කැමතිද SAITM එකෙන් පාස් වෙලා ඉන්න ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් ගන්න"

ඔහු මුදල් අය කර ලබාදෙන අධ්‍යාපනය පිලිබඳ මගේ ලිපි කියවා ඇත. ඔහු මා රැගෙන යන්න හදන තැන මට වැටහේ.

"ඇත්තටම නැහැ" මම කෙලින්ම පිළිතුරු දුනිමි.

"ඒක තමයි. අපි කට කැඩෙන කන් කියන්නේ ඔය ඉලව්ව වහල දාන්න කියලා. කෝ ඉතින් සමහර බක පණ්ඩිතයන්ට ඕක තේරෙන්නේ නැහැනේ" ඔහු ව්‍යංගයෙන් මට පහර දෙයි.

"මචං නහයේ කුරුලෑවක් අවහම නහය කපල විසි කරන එකද විසඳුම" මම බොහොම පහල ස්වරයකින් මිතුරාගෙන් ඇසුවෙමි.

SAITM ඇරඹෙන්නේ රාජපක්ෂ පාලන සමයේය. එහි ප්‍රථම වෛද්‍ය උපාධිලාභීන් බිහිවන්නේ සිරිසේන පාලන සමයේය. එවකට මෙම ආයතනය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ ඇමති දෙපල මේ රජයේද ඇමති වරුන්ය. SAITM අසරණ වුයේ එම රජය සහ මෙම රජය මේ ව්‍යාපෘතිය දෙස අන්ධ ඇසින් බලා සිටි නිසාය. සියලු දෙනාට අවශ්‍ය වුයේ කෙසේ හෝ මුදල් අය කරන වෛද්‍ය විද්‍යාලයක් බිහි කිරීම පමණකි. එහි තත්ත්ව පරික්ෂාව පිළිබඳව කිසිවෙක් උනන්දු නොවුහ. මා දකින ලෙස මෙයට පාදක වන්නේ මීට වසර 30 කට පමණ පෙර සිදුවූ බලවත් වරදකි.

1987-88 කාලයේදී ලංකාවට තම ප්‍රථම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහිමි විය. ඒ වෙනුවට ජාතික වියදම් ගොනුවට තවත් බරක් එකතුවිය. ඉතා ක්‍රමානුකුලව ආරම්භ කල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රේමදාස රජයේ ජනප්‍රිය දේශපාලනය හරහා රජයට පවරා ගන්නා ලදී. මෙම වෛද්‍ය විද්‍යාල එදා ඇරඹුණේ ලාබ නොලබන පෞද්ගලික ආයතනයක් (not-for-profit private venture) ලෙස බව ධාරණය කරගන්න. මේ පිළිබඳව වෙනත් වෙබ් පුවත්පතක දීර්ඝ ලිපියක් පලවූ බැවින් මා ඒ පිළිබඳව වැඩි දුර නොලියමි.
(http://lankaenews.com/news/4205/si)



1992 දී දුරදර්ශි මැලේසියානු අධ්‍යාපන ඇමතිවරයා ලංකාවට වූ අහිමිවීම තම රටේ හිමිකම කරගනිමින් IMU පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බිහිකිරීමට මැලේසියානුවන් දිරිමත් කළේය. මුල සිටම දැඩි තත්ත්ව පාලනයක් යටතේ ඉදිරියට පැමිණි මෙම වෛද්‍ය විද්‍යාලය අද ලොව බොහෝ රටවල ඉතා ඉහල පිළිගැනීමකට ලක්වන වෛද්‍යවරු බිහි කරයි. ලාංකික සිසුන් දහස් ගණනක් මෙම වෛද්‍ය විද්‍යාලයෙන් උගෙනුම ලබා ලොව පුරා සේවය කරන බව ඔබ නොදන්නවා ඇත. ඒ වෙනුවෙන් ලංකාවෙන් ඉවතට ඇදී ගිය මුදලින් මේ රටේ තවත් වෛද්‍ය විද්‍යාල දෙකක්වත් මේ වන විට ගොඩ නගන්න තිබුණි. 

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එලෙසින්ම ඉදිරියට ආවා නම් SAITM බිහිවන්නේ මීට වඩා ඉතා ඉහල ප්‍රමිතියකිනි. නමුත් අවාසනාවකට SAITM බිහිවන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳව ලංකාව තුල කිසිඳු මිණුම් සලකුණක් (bench-marking) නොමැතිවයි. ඒ පිළිබඳව මැලේසියාව වැනි රටකින් උපදෙස් ලබාගැනීමටද ආයෝජකයන් යොමු කරවීමක් රජය විසින් සිදුකර නොතිබුණි. වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක වීම පිළිබඳවද පැහැදිලි නියාමනයක් සිදු වී නැත. මෙහිදී ඇති ඛේදනීය තත්වය නම් පෞද්ගලික විද්‍යාලයේ ප්‍රමිතිය රැකීමට ලබාදී ඇති උපදෙස් රජයේ සමහර වෛද්‍ය විද්‍යාලවල ක්‍රියාත්මක නොවීමයි. මෙය රජය මෙන්ම වෛද්‍ය සභාව අතින්ද සිදුවෙමින් පවතින වරදකි. 

වසර ගණනාවක සිට රටේ සියළුම විශ්ව විද්‍යාල (මුදල් අය කරන සහ නොකරන) විෂය මට්ටමින් ප්‍රමිති පාලනයකට ලක් කිරීම සහ තත්ව ඇගයීම සඳහා බලයලත් කමිටුවක අධීක්ෂණයට යටත් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. එය නොසිදුවීම තුල ආයෝජකයාගෙන් අපට ලාබ ලැබීමෙන් ඔබ්බට යමක් බලා පොරොත්තු වීම අසීරුය.  මේ පිළිබඳව නැගී සිටීමට හෝ ජාතික මට්ටමෙන් සංවාදයක් ඇති කිරීමට අද SAITM වැසීමට පොලවේ හැපෙන කිසිවෙකු එදා සිටම උනන්දු වුයේ නැත. රජයේ රෝහලේ සේවය කරන පැය කිහිපයෙන් එපිට දවසේ වැඩි හරියක් නින්දක් කෑමක් පවා හරි හැටි නොගෙන පෞද්ගලික රෝහල්, ඩිස්පැන්සරි වල ජීවිතය ගත කරන වෛද්‍යවරු මෙම මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට මුදල් අය කර හෝ සායන පුහුණුව ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව මා මැලේසියාවේ මිතුරු වෛද්‍යවරයෙකුට පැවසූ විට ඔහු කියා සිටියේ ලංකාව ගැන තමන් ඉතා සතුටට පත්වෙන බවයි. ඊට හේතුව මෑත අනාගතයේ කවදාකවත් ලංකාවෙන් මැලේසියාවට ආර්ථික තර්ජනයක් එල්ල නොවෙන බව ඔහුට ඉතා හොඳින් පැහැදිලි වීමයි.

වෛද්‍ය විද්‍යාලයක් වැනි ව්‍යාපෘතියකට ආයෝජකයන් සෙවීම දුෂ්කර කාර්යයකි. එබැවින් පිහිටුවා ගත් මේ ආයතනය ජාතික සම්පතක් ලෙස දැකීම ජාතික අවශ්‍යතාවයකි. එහෙත් වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් මෙන්ම මෙහිදීද ලාංකික ජන විඥානය මුහුකුරා ගොස් නැති බව මගේ හැඟීමයි. එය එසේ වනතෙක් අප නොදියුණු රටක් ලෙස සිටිය යුතුය. 



මීට වසර තුනකට පමණ පෙර මම අකුණු ආරක්‍ෂණ උපදේශක වරයා ලෙස කණ්ඩලම හෝටලයට ගොස් එහි දෙදිනක් ගත කලෙමි. මෙහිදී මා දුටුවේ පිරිසක් සමග විත් රස මුසු ආහාරයෙන් තෘප්ත වන විමල් වීරවංශ මැති තුමාය. මෙම හෝටලය ගොඩනැගීම අරඹන විට මෙතුමා ඇතුළු විශාල පිරිසක් පොලවේ පස් කමින් ඊට විරෝධය පෑවා මට මෙන්ම ඔබටද මතක ඇතැයි සිතමි. 

දඹුල්ල ප්‍රදේශයේ දුප්පත් ජනතාවගෙන් කී දෙනෙකුට කණ්ඩලම හෝටලයෙන් ආහාර වේලක් මිලදී ගත හැකිද? පිළිතුර බොහෝ විට බින්දුව වනු ඇත. එහෙත් කණ්ඩලම හෝටලය නිසා ආහාර වේල සරි කරගන්නා කී දහසක් දඹුල්ලේ ඇත්ද? අද විමල් වීරවංශ මැතිතුමාටත් මෙලෙසම හිතෙනවාදැයි මම නොදනිමි. 

SAITM එකෙන් මෙතෙක් පිටවූ සිසු සිසුවියන්ට තව වසරක කාලයක් දැඩි සායනික පුහුණුවක් ලබාදී ඉන් අමතරව රජයෙන් පත්කළ පිළිගත් වෛද්‍ය මඩුල්ලක් මගින් පවත්වන විභාගයකින් සමත් වූ පසු ඔවුනට රැකියාව කිරීමේ අවස්තාව ලබා දේ නම්, ඉදිරියට බඳවා ගන්න සිසුන්ට මා කලින් විස්තර කල ආකාරයට ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාදී ප්‍රමිතිගත විභාගයකින් පසු සමත් කරයි නම් මම කිසිඳු චකිතයකින් තොරව SAITM දොස්තර කෙනෙකුගෙන් ඕනෑම අබාධයකට ප්‍රතිකාර ගනිමි. මෙහිදී වෛද්‍යවරයා ඉගෙන ගත්තේ මුදල් ගෙවාද නැත්නම් නොමිළේද යන්න හෝ ඔහුගේ උසස් පෙළ ප්‍රතිපල මට අදාළ නොවේ.

එදා සමාජය ද්විතීක අධ්‍යාපන සුදුකම් කිරමින් සිටියා නම් ඇල්බට් අයින්ස්ටයින් ඇතුළු ලොව දිනු බොහෝ විද්‍යාඥයන් විද්‍යාවේ තිබිරිගෙයිම මිය යන්න තිබුණි. 




*****************************************************
මේ වන විට ලංකාවේ දරුවන් මැලේසියාවද ඇතුළු පිටරට වෛද්‍ය විද්‍යාල වලට යොමු කරන ආයතන බොහෝ ගණනක් බිහිවී ඇත. මේවායේ තිරයෙන් පිටුපස සිටින්නේද නොයෙකුත් තරාතිරම්වල වෛද්‍යවරු සහ දේශපාලන බලපුලුවන් කාරකම් ඇති සරසවි ඇඳුරන් ආදීන්ය. මෙය විශාල වශයෙන් ලාබ ලබන ව්‍යාපාරයකි. මෙම පහසුකම් සපයන්නාට වියදම් දරන්න වන්නේ web advertising සහ වෙනත් සූළු වියදම් සඳහා පමණි. ප්‍රසිද්ධිය සඳහා වන මූලික වියදම්ද විදේශීය සරසවියම බොහෝ විට දරයි. එහෙත් පහසුකම් සපයන්නාට ලැබෙන කොමිස් මුදල ඉතා ආකර්ශනීය වේ. මේ කිසිඳු ආයතනයක් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිවීමට කැමති වේදැයි ඔබම කල්පනා කර බලන්න.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දැමීමට යැයි කෑගසමින් මහා පාරේ ඇවිදින සියලු දෙනා උගුර කඩා ගෙන කෑගසන්නේ මේ මිලියනපතියන්ගේ අනාගතය වෙනුවෙන් බව ඔවුනුත් නොදැනීම ජාතියේම අවාසනාවකි. 


******************************************************
මෑතකදී කල පුවත්පත් සාකච්චාවකදී හෙළි වුයේ SAITM සිසුන්ට ERPM විභාගයට (කලින් ACT 16 ලෙස හැදින්වූ) පෙනී සිටීමට ඉඩ දෙන ලෙස එවකට රජය සහ පසුව පත් වූ රජය කල ඉල්ලීම මෙඩිකල් කවුන්සිලයේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කල බවයි.

අපේ බොහෝ දොස්තර වියතුන් පය නොතැබූ විදේශ සරසවියක උපාධිය හදාරා එන සිසුවෙකුට කල හැකි විභාගයක්, ලංකාවේ සරසවියකින් පිටවන දරුවෙකුට කල නොහැකි ඇයිද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. මේ සඳහා කිසිවෙකුට පැහැදිළි තර්කයක් ඇත්ද?

*****************************************************

අපොස උසස් පෙළ ප්‍රතිඵල අඩු ළමයෙකු සල්ලි ඇති නිසා වෛද්‍ය උපාධිය ගනිද්දී ඊට ඉහල ප්‍රතිඵල ලැබූ සිසුන්ට එම අවස්ථාව නොලැබීම විශාල සමාජ අසාධාරණයක් ලෙස සමහරුන් දකියි. 

ධනවත් පවුල්වල ළමයි එංගලන්තයට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට ගොස් උපාධිය රැගෙන එන විට, ඊට මදක් පල්ලෙහා පන්තියේ ළමයි මැලේසියාවට, තායිලන්තයට, යුක්රේනයට ගොස් උපාධිය අරන් එන විට මේ සමාජ අසාධාරණය සිදු වන්නේ නැද්ද? වෙනසකට ඇත්තේ මේ කෑගසන පිරිසට SAITM ළමයින් ඉගෙනගන්නවා බලාගෙන ඉන්න ඇති නොහැකියාවයි (එංගලන්තයේ ඉගෙන ගන්න දරුවාව අපට නොපෙනේ. පෙනුනත් ඒ අපේ පන්තියට කිට්ටු කරන්න බැරි අය කියා හිත හදා ගනියි).

සල්ලිකාර පවුල්වල දරුවන් හොඳ ටියුෂන් ගුරුවරුන් ගෙදරට ගෙන්වාගෙන ඉගෙනගනිද්දී මේ සමාජ අසාධාරණය නොපෙනේද?

නැති බැරි මිනිසුන් උදේ පාන්දර 4 සිට පෝලිමේ ඉඳ බෙහෙත් ටික ලියවාගෙන රෝහලේත් බෙහෙත් නැතිව, ෆාමසියෙන් ගන්නත් සල්ලි නැතිව සිටිද්දී, ධනවත් මිනිසුන් එම රජයේ වෛද්‍යවරයාටම සල්ලි ගෙවා චැනල් සර්විස් එකෙන් හවසට ප්‍රතිකාර ගනිද්දී ඔය සමාජ අසාධාරණය සිදු නොවේද? ඒ නිසා චැනල් සේවය අත හැරීමට රජයේ වෛද්‍යවරුන් සුදානම්ද?

ඒ සියල්ල පසෙකින් තබමු. කුරුණෑගල හෝ බදුල්ලේ ඉහල පාසලක ඉගෙන ගෙන ටියුෂන් වලින්ම C 2 යි S 2 යි ගොඩ දාගෙන රජයේ වෛද්‍ය විද්‍යාලයට තේරෙන දරුවා, වෛද්‍ය කවුසලයේ ලේඛම් වෙනකොට ඒ අවුරුද්දෙම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දුෂ්කර පාසලක ඉගෙන ගෙන B 4 ක් ගත්තු දරුවා හෙදියක වීම සමාජ සාධාරණයද?

ඔබ මේ සියල්ල මැදහත් සිතින් පිළිගනිද්දී SAITM එකෙන් ඉගෙන ගන්න දරුවාට කෙනෙහිලි කම් කිරීම කොතරම් සාධාරණද?

*****************************************************

සමහරුන් අසන්නේ ලක්ෂ 120 ක් ගෙවිය හැක්කේ කාටද කියාය? 

SAITM ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවන මුදල ම‍ම නොදනිමි. එහෙත් එම මුදල කීයද යන්න අදාළ වන්නේ එයට ඇතුළත්වන සිසුන්ට පමණකි. අනුන්ගේ මුදලින් ඉගෙන ගන්නා කෙනෙකුට තමන්ගේ මුදලින් ඉගෙන ගන්නා කෙනෙක් කියක් ගෙවනවාද යන්න අදාළ වන්නේ කෙසේදැයි මට නොතේරෙයි. 

කෙනෙක් දන්සැලකින් නොමිලේ කන අතර තව අයෙක් වේලකට රුපියල් 12,000 ක් වියදම් කර හිල්ටන් හෝටලයෙන් ආහාර ගනියි. දන්සලෙන් කෑම කන කෙනාට නොහැකි බැවින් හිල්ටන් හෝටලය වසා දැමිය යුතුද? රුපියල් 12,000 වියදම් කර ආහාර වේලක් ගත හැකි පිරිස නැති වූ දින හෝ එම ප්‍රමිතියෙන්ම අඩු ග ආහාර දෙන තැන් බිහිවෙන විට හෝටලය තම මිළ ගණන් පහත හෙලනු ඇත. නැතිනම් එය ඉබේම වැසී යනු ඇත. 

*****************************************************

ඉතා මෑතකදී රුපවාහිනි සාකච්චාවකට පැමිණි වියතෙක් අපුරු තර්කයක් ඉදිරිපත් කළේය. 

ඔහු මුලින් කියා සිටියේ අයිතිකරුවන් ලාබ ලබා ගන්නා සරසවි ලොව කොහෙවත් නැතැයි කියාය. ඉන්පසු ඔහු කිව්වේ එවැනි සරසවි සමහර රටවල ඇති බවයි. ඔහු ඒ රටවල ලැයිස්තුවක් කියවීය; ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, අප්‍රිකානු රටවල් රාශියක්, මැලේසියාව ඒ අතර විය. මීට අමතරව සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් බොහෝමයකද මෙවැනි සරසවි ඇත.

ඉන් පසු ඔහු කියන්නේ ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව වැනි රටවල එසේ නොමැති බවයි. ඒ නිසා ලංකාවේද ඒවා නොතිබිය යුතුය.

මෙම කියමන හාස්‍යජනකය. අපි අයත් වන්නේ ඉහත කුලක දෙකෙන් කුමකටදැයි සිතා බලන්න. ධනවත් රටවල ලාබ නොලබන සරසවි දීර්ඝ කාලයක සිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ ඒ රටවල ඇති ධනවත් ආර්ථික ව්‍යුහය නිසාය. ලංකාව වැනි රටක එබඳු ව්‍යවසායකයන් සොයා ගැනීම අසීරුය. අමතක නොකරන්න මීට වසර තිහකට පෙර (අර අපේ කුලකයේ ඇති බොහෝ රටවලට පෙර) අපේ රටේ බිහිවූ එම ව්‍යවසායකත්වය අප විසින් තිඹිරි ගෙයිහිදීම මරා දමන ලදී. දැන් අපි ඒ වරද ගැන බොහොම උජාරුවෙන් කතා කරමු. 

පෞද්ගලිකව මා දකින්නේද අපි යා යුත්තේ අර ඉහළ කුලකය දක්වා බවයි. එහෙත් ඒ සඳහා කොතනකින් හෝ පටන් ගත යුතුය. පටන්ගත් ඉහල මාලය අපිම කඩා දමා දැන් සත්මහල් ප්‍රසාද ගැන දෙඩවීමෙන් පලක් නැත.    

*****************************************************
ලංකාවේ දුප්පතුන්, දුප්පතුන් ලෙසම සැමදා සිටින බව හෝ සිටිය යුතු බව බොහෝ ලාංකිකයන් දක්වන අදහස්වලින් පැහැදිලි වෙයි. පක්‍ෂ බේදයකින් තොරව දේශපාලුවාද මෙම සංකල්පය මැනවින් පෝෂණය කරයි. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එතනයි. 

බහුතරයකගේ තේරීමද දුප්පත්කම උත්කර්ෂයට නැංවීම නම් ඒ රට පිළිබඳව තවත් කතා කිරීමෙන් පලක් තිබේදැයි මම මගෙන්ම අසමි.....!

       

Wednesday, 6 July 2016

The Story of Gabo





This is a story from the early 19th Century America.

Gabo was the strongest man among the slaves. He could plow three times the area that his fellow mates do in a day. He got muscles and some brain too. 

The slave owner, Jonathan was a cruel man. He was one of the richest in the state, thanks to the exhaustive work done by the slaves in the corn plantation. 

In the morning, slaves were given two pieces of cornbread with some cooked animal fat. They start working at 8 o'clock sharp in the morning in the field and toil in the blazing sun until 6 in the evening. A 15-minute break was given at noon for the lunch during which they had to swallow three pieces of cornbread with animal fat, in the open field itself. The dinner was the same. 

During the ten-hour duty period, a single wrong move by a slave could attract a number of lashes from the supervisor, by the order of Jonathan. It may be three lashes for not removing the hat when the supervisor is arriving and twenty lashes for getting fainted during the working hours. The slave women had to fulfill the needs of Jonathan and his friends, in addition to the fieldwork. 


On Sundays, they were given a two-hour break for lunch where a piece of chicken is added to the routine portion. As soon as they finish the lunch in the packed thatched hut, where they are allowed to take the meal only on Sundays, they have to listen to the preaching of the reverend who comes after a sumptuous meal with Jonathan in his cottage. 

The reverend used to say that it is the honourable duty of the slaves to be obedient and follow the orders of the slave master, for which the Good Lord in heaven will reward them.  

“The Good Lord rewards only human beings. The reverend says that we will also be rewarded by the Lord. Then we should also be human beings” Gabo started thinking. 

Thinking in that line for weeks, Gabo understood that it is wrong that they are being kept as animals by the Master. He started talking to other people after the dinner and convinced them to get escaped from the captivity of the Master.


After a couple of months of planning, one night, when the lamps were blown off one hour after the dinner, as usual, he executed the operation. He knocked the guard unconscious and let all the salves creep through a hole in the fence that he had secretly carved for two weeks. He led them through the forest clearing the way by cutting the bushes himself. 

After about seven hours of continuous and arduous walking, they came to the top of the hills. Then Gabo addressed the fellow slaves.

“Friends, you are no longer slaves. We are on our own. In a few hours the sun will rise and we’ll start walking again. Now we have to find our food. There are ample supplies on the other side of the hill, but we have to work for that”. 

Gabo asked his fellow-mates to take a few hour rest and he himself leaned on a tree trunk. Tired by clearing the way forward, Gabo was soon fallen into a deep sleep. 

By the time he opened his eyes the sun was shining bright in the mid-sky. He quickly got up and looked around to find no one in the vicinity. 

Bewildered by this unexpected absence of his mates, Gabo started walking back on the track towards the slave quarters. As he was a few miles away from the field where he used to work all his life, he heard the sounds of the guard dogs of the Master. 

In a few minutes, Jonathan appeared with his security force and captured Gabo. By that afternoon the badly beaten lifeless body of Gabo was seen hanging from the neck by a rope in front of the slave quarters. 


On that day, as the morning sun was peeping through the trees, an elderly man of the breakaway slave mass told the others "We will miss the breakfast today and maybe for the rest of our lives". 

Then one by one has started telling that how grateful they should be to the slave master for providing them food right on their tabletop. And a lady started crying, saying that how nice the Master is to give them chicken on Sundays. And soon everybody started recalling the words of the Reverend “The obedient slave that follows the master will be rewarded in heaven”. 

Thus, the slaves have come to the conclusion that Gabo is crazy. Maybe he has gone mad by the influence of the devil. So that they decided to go back. 

One of the slaves, who has been really worried that Gabo will miss his breakfast, has informed the slave quarter supervisor regarding their adventure in the night and also where they can find Gabo.

This 19th Century slaves are well existing even today, every corner of the society. Perhaps, you may be one of them as well. The slave mentality-bearer feels very comfortable within his slave quarter, irrespective of the unjust advantage that the masters take out of them. Therefore, one should be very careful before playing the role of Gabo, even if you are very much concerned about the victim’s plight. 

Whenever you feel that you need to help a modern-day slave to get away from his quarter, always make reconfirmation regarding his will before you come forward to break the chain. 

Perhaps, they may love their chain more than they love their freedom.





Monday, 23 May 2016

ඊළඟ කුණාටුවට පෙර



වසර 2008 දී මම පකිස්ථාන පර්යේෂණ කණ්ඩායමක් සමග අසාද් ජම්මු කාශ්මීරයේ මුසාෆරාබද් නුවරට ගියෙමි. එහි අරමුණ වුයේ 2005 දී සිදුවූ භූමි කම්පාව නිසා නාය ගිය ප්‍රදේශ වල නැවත නාය යාමකට ඇති ඉඩකඩ හැදෑරීමයි. පකිස්ථානයේ ඉන්දියානු දේශ සීමාවට ආසන්නයේ ඇති ප්‍රදේශයකදී අපි ඉතා සංවේදී ස්ථානයකට පැමිණියෙමු. භූ කම්පනය සමගම අවට කදු පද්ධතියක ඇතිවූ නාය යාම හේතුවෙන් ගම්මාන තුනක් අඩි ගණනාවක් පොළව තුල වැළලී ගියේ කිසිවකුත් ඉතිරි නොකරමිනි. මෙහි ඇති පින්තුරයේ ඔබ දකින්නේ මිනිසුන් 12,000 ට වඩා එක තැන මිහිදන්වූ මේ මරණයේ මිටියාවතයි.

ඉන් පසු ගෙවුණු වසර අටේදී ලංකාවේ ඉඳහිට ඇසෙන සුළු භූ කම්පන පිළිබඳව මම නිතර අවධානය යොමු කලෙමි. සෑම භූ චලනයකදිම කඳු ආශ්‍රිත පස් ස්ථර වල යම් කුඩා පැලුම් ඇතිවීමෙන් ඒවායේ අස්ථාවර වීමක් සිදුවිය හැක. එකවර ඇතිවන අධික වර්ෂා පතනය මේ තත්වය නාය යාමක් කරා ගෙනයාමේ ක්‍රියාරම්භය විය හැක. මෙම සංසිද්ධිය මාගේ මුලික විෂය පථයෙන් පරිබාහිර මාතෘකාවක් වූ බැවින් ඒ ගැන අදාළ පර්යේෂකයන් දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මම මීට වසර කිහිපයකට පෙර මේ ගැන බ්ලොග් සටහන් කිහිපයක් තැබුවෙමි.

පෙර සලකුණක් නොතබාම ඒ ධාරාණිපාතය පැමිණියේය. රටේ දහසකුත් අසරණ වැසියන් පෙළමින් පැන නැගුන ජල ධාරා කඳු කිහිපයක් පහලට රැගෙන ආවේ ගම් බිම් රාශියක් එහි මිනිස් වාසයද සමගම යට කර දමමිනි. අරණායක පමණක් සියයකට කිට්ටු ප්‍රමාණයක් මිය ගොස් ඇත. පස් වලින් යටවී මිය යාම ඉතාමත්ම වේදනාජනක සිදුවීමක් බව එවැනි අවස්ථාවලින් යාන්තම් දිවි ගලවා ගත්තෝ පවසති. 

මේ අවසානය නොවේ. යන්තම් ඇරඹුනා පමණකි. ස්වභාව ධර්මය අස්ථාවර වීමේ බියකරු බව රැදී ඇත්තේ එතැනය.

ලංකාව පමණක් නොව ලොව බොහෝ රටවල් මේ වන විට ගෝලීය දේශගුණික විපර්යාස ගෙන එන පෙර නොදුටු අනතුරු වලට ලක් වෙමින් පවතී. ලංකාව වැනි කුඩා රටකට ඇති ගෝලීය විපර්යාස වැළක්වීමේ හැකියාව ඉතා අඩුය. අපිට කල හැක්කේ ඒවායින් විය හැකි විනාශය අවම කරගැනීමය.

මා මේ ලිපිය ලියන අවස්ථාවේදී මගේ පරිඝණක තිරයේ ඉන්දියාව සතු INSAT චන්ද්‍රිකාවේ දකුණු ආසියාවේ කාලගුණික තත්වය පෙන්වන සිතියම දිස්වේ. ඒ සිතියම අනුව මේ අවස්ථාවේදී ලංකාවේ සිටින ඔබට හොඳින් හිරු පායා පැහැබර දිනක් උදාවී ඇත. එහෙත් ඒ හිරු එළිය ඔබෙන් සඟවන රහසක් තිබේ. එනම් අප සිටින්නේ අතිශයින් අන්තරාදායක භූමියක බවයි. ඒ අවදානම් වර්ෂාව නැවත එනු ඇත. මේ වන විටත් කාලගුණ විද්‍යා වාර්තා වලට අනුව නිරිත් දිග මෝසම් සුළං ප්‍රවාහ රටට ඇතුළු වී ඇත. තෙත බරිත පොළව එම වැසි ජලය ප්‍රතික්ෂේප කළහොත් නැවතත් නගර, ගම් කියා වෙනසක් නොමැතිව ජනතාව විපතට පත් වනු ඇත. මෑත හෝ ඈත අනාගතයේදී සුළු හෝ මාධ්‍ය පරිමාණ භූ කම්පන පොළව සොලවනු ඇත. ඒ පසුපස විනාශය එළඹෙනු ඇත. අප එයට සුදානම්ද?

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සමහර උස් බිම් මේ වන විට මතුපිට ස්ථර ලිහිල් වීමේ තත්වයකට පත්ව ඇතැයි අපට අත්දැකීමෙන් අනුමාන කල හැක. නුවර-කොළඹ මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ උල්පත් ජලයෙන් වාහන සෝදන කොටස මට මහත් භීතියක් දනවයි. එහි මහා මාර්ගයට ඉහල මෙන්ම පහල කොටසේද ඇත්තේ සීඝ්‍ර බෑවුමකි. එහි ඉහල සිට පහල දිවෙන බොහෝ උල්පත් පෙනෙන්නට ඇත. මේවායේ ගලා බැස්ම මහා මාර්ගය නිසා අවහිර වී තිබීමට පුළුවන. එය ප්‍රදේශයේ පාංශු ස්ථායිතාවයට බෙහෙවින් බලපායි. මෙම ප්‍රදේශයේ ඉහල බෑවුමේ පැළුම් රේඛා (fault lines) සහ බිම් ස්ථායිතාවය පිළිබඳව අධ්‍යනය කර ඇත්දැයි මා නොදනිමි. එසේ කර නොමැති නම් එය වහාම සිදු කර නිසි ක්‍රියා මාර්ග නොපමාව ගත යුතුව ඇත. 

මෙහිදී මා ඉතා තැති ගැන්මකට ලක් කරන තවත් කරුණ නම්  උඩරට දුම්රිය මාර්ගයේ ඇති අවදානමයි. මා දකින්නේ මේ මාර්ගය පස් පිඩකින් වැසූ බියකරු බෝම්බයක් ලෙසයි. එම මාර්ගයේ කඳුකරය හරහා ඇති මුළු පථයේ භුමි ස්ථායිතාවය සහ අවට ඇති උස්බිම්වල නාය යාමේ ප්‍රවණතාවයන් පිළිබඳව මනා අධ්‍යනයක් මේ වන විට කර ඇත්දැයි මම නොදනිමි. විශේෂයෙන්ම වටවල, රොසැල්ල ආදී ප්‍රදේශ වලට තියුණු අවධානයක් යොමු කල යුතු බව මගේ හැඟීමයි. නොඑසේ නම් අපට නැවතත් පත්තර පිටු ගණන් ලිවීමේ අවස්ථාවක් උදා වනු ඇත.

ශ්‍රී ලංකාවේ සිටින බොහෝ පරිසරවේදීන් නොදකින තවත් ආන්ත්‍රාවක් මට පෙනේ. කොළඹ සිට දෙහිවල දක්වා මුහුදට සමාන්තරව මාර්ග තුනක් ඇත. මේවා ලංකාවේ ඇති වාහන ගමනාගමනය අධිකම මාර්ග වේ. ඒ අතරින් එක් මාර්ගයක් මුහුදට යාබදවත් අනෙක් දෙක මීටර් 500 - 2000 අතර දුරකින් පවතී. මෙම පාරවල් පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2 ක් පමණ දක්වා උසකය. සමහර කොටස්වලදී මාර්ගය පවතින්නේ මුහුදු මට්ටමේම වාගෙය.  

සුළි සුළඟකදී මුහුදු රළ මීටර් 10 ට වඩා ඉහල යන අවස්ථා විරල නොවේ. දවස් කිහිපයක සිට පවතින තද වර්ෂාවක් සමග සුළි සුළඟක් කොළඹ දෙසට ඇදුණොත් ඇතිවන තත්වය ඔබට දැන් සිතා ගත හැක. දිවයින් මධ්‍යයේ සිට ගලන වැසි දිය දහරා සමග මුහුදු මට්ටමේ ඇතිවන ඉහළ යාම මෙම මාර්ග වල සහ ඒ අවට ජාල මට්ටම මීටර් ගණනාවක් ඉහලට නංවනු ඇත. මෙය මහා ඛේදවාචකයක් අපට උරුම කර දෙනු ඇත. මේ තත්වයට විසඳුමක් අප ළඟ තිබිය යුතුය. විසඳුමට පෙර ප්‍රශ්ණයක් තිබෙන බව අවබෝධ කරගත යුතුය. 

පසුගිය මාර්තු මාසයේදී කොළඹදී පැවති ස්වභාවික සංසිද්ධි වලින් සිදුවන විපත් පිලිබඳ ජාත්‍යන්තර සමුළුවේදී මම සිදුවන අන්තරාය අවම කරගැනීමට පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කලෙමි. එම කාරණා පිතුරයේ ඇති පිරමිඩයෙන් දැක්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, කාලගුණය පිළිබඳව සැහෙන කාලයක් ඉදිරියට නිවැරදි සහ සවිස්තරාත්මක අනාවැකි පලකල යුතු බව නොකිව මනාය. මේ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණය සහ අවශ්‍ය මෘදුකාංග ලබාදීම මෙන්ම එහි නිලධාරීන්ව නිරන්තරයෙන් විදේශ පුහුණු වීම් වලට සහභාගී කරවීම රජය සතු යුතු කමකි. නොඑසේ නම් ඔවුන් "හෙට පෙර භාගයේදී හෝ අපර භාගයේදී තද වැසි හෝ මද වැසි ඇතිවීමට ඉඩ ඇත" යනුවෙන් ඉදිරියටත් පවසනු ඇත.

ස්වභාවික විපත් පිළිබඳව අනාවැකි පළකිරීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් අදාළ කාර්යයක් නොවේ. රටේ ජනතාවද මේ සඳහා යම් කාර්යභාරයක් සිදු කල යුතුය. උදාහරණයක් ලෙස පහත දැක්වෙන සිදුවීම් පරිසරයේ දකින්නට ලැබේ නම් එය ළඟදීම සිදුවිය හැකි නාය යාමක පෙර නිමිත්තක් බව ඔබ පසක් කරගත යුතුය. ඉන් පසු ඒ ගැන අවට ප්‍රජාව දැනුවත් කල යුතුය.

පෙර වියලි ස්වභාවයෙන් තිබු පසෙහි එකවර දිය සීරා මතුවීම හෝ පස තෙත භරිත වීම. 

ගෙබිම, ගෙවත්තේ, පාරක, පදික වේදිකාවේ හෝ පිට්ටනියක ඉබේ පැලුම් ඇතිවීම, කොටසක් ගිලා බැසීම හෝ ඉහලට නෙරා ඒම.

නිවසේ බිත්ති ඉරිතැලීම, පැලුම් මතුවීම හෝ ගොඩනැගිළි අත්තිවාරම සහ අවට පස අතර පරතරයක් ඇතිවීම.

නිවසේ දොර ජනෙල් කිහිපයක් ඇරීමට හෝ වැසීමට අපහසු වනසේ තදවන ස්වභාවයක් එකවර ඇතිවීම.  

විදුලි හා දුරකථන කණු, උස ගස්, කොන්ක්‍රීට් කුළුණු ආදිය හේතුවක් නොමැතිව ඇලවීම. 

ළිං වල ජල මට්ටම එකවර බොහෝ සෙයින් අඩුවීම හෝ වැඩිවීම.

උස් බිම් වල සිට කුඩා ගල් කැට නිතර පහලට රූරා පැමිණෙන ස්වභාවයක් ඇතිවීම. 

අස්වාභාවික ලෙස ගස් වැල් එකට ඇතිල්ලෙන හෝ ගල් පර එකට ගැටෙන ශබ්ද ඇතිවීම.

කොපමණ අනාවැකි පළ කලත්, ඒවායින් ප්‍රයෝජන ගන්න ආකාරය පිළිබඳව දැනුවත් නැත්නම් එම අනාවැකි වලින් පලක් නොවේ. මේ නිසා රජය මෙන්ම රජයේ නොවන ආයතනද මාධ්‍ය සමග ඒකාබද්ධව ප්‍රජාව දැණුවත් කිරීමේ නිරන්තර ක්‍රියාවලියක යෙදිය යුතුය. මෙහිදී එක් එක් අධ්‍යාපන සහ වයස් මට්ටම් කාණ්ඩ වශයෙන් බෙදා, වෙන වෙනම ඔවුන් ආමන්ත්‍රණය කිරීම වැදගත් වේ. මෙහිදී අප සැලකිය යුතු වැදගත් කරුණක් නම් ව්‍යාජ හෝ විකෘති දැනුම මහජනතාව අතරට පත් වීම වැලැක්වීමයි. උදාහරණයක් ලෙස පසුගිය වකවානුවේ ජංගම දුරකථන වලට අකුණු ඇදගන්නවා යයි ප්‍රචාරය වූ සාවද්‍ය මතය දැක්විය හැක. එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට මහජනතාව දැණුවත් කල මාධ්‍ය සහ විද්වත් පර්ෂදයට අප කෘතඥ විය යුතුය.

ස්වභාවික විපත් ආරක්ෂණය පිළිබඳව ජනතාව කොපමණ දැනුවත් කලත් එවැනි අවදානමක් ඇතිවූ විගස බොහෝ දෙනෙකුට ඒවා අමතකවී තමාගේ අභිමතය පරිදි ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස 2011 දී බැංකොක් නුවර ජල ගැලීම ඇති වූ විට බොහෝ දෙනෙක් අහස් මාර්ග වල මුව විටෙහි වාහන නවත්වා පලා ගොස් තිබුණි. මේ නිසා පොළවට ඉහලින් පවතින මෙම මාර්ග වලට ඇතුළු කර බේරාගත හැකිව තිබු බොහෝ වාහන මෙන්ම ජීවිතද නිකරුනේ විනාශ විය. මෙවැනි අවස්තාවක ප්‍රජාව තුල අණ දිය යුත්තේ කවුරුදැයි රජය විසින් ජනතාව පුර්ව දැනුවත් කිරීමකට ලක් කල යුතුය. තවත් උදාහරණයක් ලෙස කන්දක් නාය යාමේ පෙරනිමිති එකවරම ඇති වුව හොත් අවට සිටින ජනතාව පිළිපැදිය යුත්තේ කවුරුන් විසින් දෙනු ලබන උපදෙස්ද කියා මුලික දැනුවත්වීමක් තිබිය යුතුය. 

පසුගිය දින කිහිපයෙහි කඳු නාය යාමෙන් ආපදාවට පත් වූ බොහෝ දෙනෙකුට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස පොලිසිය හෝ වෙනත් ප්‍රජා නායකත්වයක් මගින් මාස ගණනාවකට පෙර දැනුම් දී තිබු බව කියවේ. එහෙත් දිවි ගලවාගත් බොහෝ දෙනෙකු අසන පැණය නම් "තම නිවාස අත හැර කොහෙට යන්නද? ගිහින් මොනවා කරන්නද?"  යන්නය. මෙය ඉතා තාර්කික ප්‍රශ්නයකි. බොහෝ ගම්බද පිරිසකගේ ජිවන රටාව (විශේෂයෙන්ම මුල්‍ය උත්පාදක මාර්ගය) තමා ජිවත්වන පරිසරය හා බද්ධ වී පවතී. ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමේදී ඔවුන්ගේ පැවැත්ම සඳහා ආදේශක ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. 

අවසාන කරුණ නම් තාක්ෂණ උපයෝගිතාවයයි. අධික වර්ෂාව ඇතිවන හැම අවස්ථාවකම ගං වතුර කළාප වලින් මිනිසුන් ඉවත් කරනවාට වඩා ඔවුන්ට උභයජීවී නිවාස (amphibious houses) ලබාදීම හෝ එවන් නිවාස තනා ගැනීම සඳහා තාක්ෂණික පහසුකම් ලබාදීම වැදගත් වේ. ලංකාවට ගැලපෙන උභයජීවී නිවාස පිළිබඳව මේ දක්වා පර්යේෂණ පවත්වා ඇත්දැයි මම නොදනිමි. මේ ආකාරයෙන්ම, අකුණු ආරක්ෂණ පද්ධති පිළිබඳවත්, දැඩි සුළං ඇතිවන ප්‍රදේශ වල ඒවාට ඔරොත්තු දෙන ගොඩනැගිලි සැදීම පිළිබඳවත්, නාය යාම් නවතා ගැනීමේ නව තාක්ෂණය පිළිබඳවත් අවධානය යොමු කිරීම සියළු අදාළ පාර්ශව සතු යුතු කමකි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් ස්වභාවික ව්‍යසන (natural hazards) කියා දේවල් මේ ලෝකයේ නැත. ඇත්තේ ස්වභාවික සංසිද්ධි (natural events) සහ මානුෂිය විපත්ය (human disasters). ස්වභාවික සංසිද්ධි විපත් බවට පත් කරගන්නේ මනුෂ්‍යයා විසින්මය. එබැවින් ඒවා වලක්වා ගත යුත්තේද මනුෂ්‍යය විසින්මය.

*************



Friday, 13 May 2016

Lightning and Mobile Phone



ජංගම දුරකථන සහ අකුණු

අකුණක් යනු වලාකුළක සිට පහතට පැමිණෙන ආරෝපණ ධාරාවක් පොළවේ ඇති යම් වස්තුවක් හරහා භූගත වීමයි. එබඳු ධාරාවක් ගලා යන වස්තුව අකුණු පහරකට ලක් වුනා යයි කියනු ලැබේ. මෙම ධාරාව ඉතා කෙටි කාලයකදී ගැලුවත් එහි තිව්‍රතාවය ඉතා අධික බැවින් (සාමාන්‍ය ගෘහ පරිපථයක ගලන ධාරාව මෙන් 3000 ගුණයකින් පමණ විශාල) අකුණු ප්‍රහාරයට ලක්වන යමක් විශාල හානියකට පත්විය හැක.

මෙහිදී පොළව කරා පැමිණි ආරෝපණ ධාරාව කුමක් හරහා භූගත වේදැයි තීරණය කරන්නේ ආරෝපණ ධාරාව පොළවේ සිට මීටර් 50-100 පමණ ඉහල ඇති විටයි.

යමකට අකුණක් වදින ඉඩකඩ වැඩිවීමට ප්‍රධාන කාරණා හතරක් බලපායි.

එනම් එහි උස; සාමාන්‍යයෙන් උස වැඩි යමකට අකුණු වදින ඉඩකඩ වැඩිය.
එහි සන්නායකතාවය; සන්නායකතාවය අධික ලෝහ කුළුණු වැනි දෙයට අකුණු වදිනවා වැඩිය.
එහි තියුණු තුඩු සහ දාර තිබීම; එවැනි වස්තුවකට අකුණු වැදීමට ඇති ඉඩකඩ වැඩිය.
ඒ අවට පසෙහි සන්නායකතාවය; පසෙහි සන්නායකතාවය වැඩි නම් අකුණු වැදීමට ඇති ඉඩකඩද වැඩිය.

මිනිසෙක් අකුණු පහරකට ගොදුරු වීමටද ඉහත සාධක බලපායි. මෙහිදී ඔහු අත තිබෙන ජංගම දුරකතනයක්, ලෝහ භාණ්ඩයක් හෝ ඔහු පැළඳ සිටින වස්ත්‍රයේ ඇති ලෝහ කොටසක් නිසා අකුණක් වැදීමේ සම්භාවිතාවය වැඩි වීමට කිසිඳු ඉඩකඩක් ඇතැයි ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත. මෙහිදී ජංගම දුරකථනය සන්නිවේදනයෙහි නිරත වුවාද නැත්ද යන්නද බල නොපායි.

අනාරක්ෂිත නිවෙසක් තුල හෝ ගසක්, උස කුළුණක් වැනි යමක් ආසන්නයේ සිටින අයෙකුට එම වස්තුවට වදින අකුණක පැති ප්‍රහාරයක් වැදිය හැක. මෙබඳු අවස්ථාවක අකුණු ධාරාව අසල සිටින්නාගේ සිරුර මතට ප්‍රගමනය වන්නේ කෙටි විද්‍යුත් පුලිඟුවක් ආකාරයෙනි. උදාහරණයක් ලෙස නිවසකට අකුණක් වැදුණු විට බිත්ති දිගේ ගලන අකුණු ධාරාවෙන් කොටසක් අසල සිටින පුද්ගලයකුගේ හිසට විද්‍යුත් පුලිඟුවක ආකාරයෙන් පැනිය හැක. අකුණු සහිත කාලගුණයක් පවතින විට අකුණු ආරක්ෂණයෙන් තොර නිවසක සිටින අයෙක් බිත්තිවලින් මීටර් 2 ක් වත් ඈත්වී සිටින ලෙස උපදෙස් දෙන්නේ එබැවිනි.


මෙහිදී අකුණු පැති පහර වැදීමට ඇති ඉඩකඩ වැඩිවීමට තම සිරුර හා සම්බන්ධව ඇති ලෝහමය කොටසක බලපෑමක් ඇත්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් දීමට තරම් පරීක්ෂණ තවමත් සිදු කර නොමැත. එහෙත් මිනිස් සිරුරේ ප්‍රමාණය සහ සන්නායකතාවය හා සසඳන කල ජංගම දුරකතනයක ඇති ලෝහ කොටස් වලින් මේ සඳහා බලපෑමක් ඇතිවේ යැයි  සිතීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත.

කෙසේ නමුත් බල ගැන්වීම සඳහා (charging) නිවසේ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කල ජංගම දුරකතනයක් භාවිත කිරීම අකුණු සහිත කාලගුණයකදී බොහෝ අහිතකර ප්‍රතිඵල ලබාදිය හැකිය. දුරකථනය භාවිත නොකලත් එවැනි අවස්තාවක දුරකථනයට හානිකර තත්වයක් ඇතිවිය හැකි බැවින් අකුණු සහිත පරිසරයක ඔබේ ජංගම දුරකථනය බලගැන්වීම සඳහා එය නිවසේ විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමෙන් වළකින්න.

මේ අනුව අකුණු සහිත පරිසරයක වයර් මගින් ඇති සම්බන්ධයකින් තොර ජංගම දුරකතනයක් භාවිත කිරීමේ කිසිඳු ආන්ත්‍රාවක් ඇතැයි මට නම් නොහැඟෙයි.

එහෙත් බොහෝ දෙනෙකුගේ මතය වන්නේ අකුණු සහිත කාලගුණයකදී ජංගම දුරකථන භාවිතය නොසුදුසු බවයි. මේ සඳහා ඔවුන් උදාහරණ ලෙස ජංගම දුරකථන භාවිතා කරන අතර අකුණු ප්‍රහාරයන්ට ලක්වූ කිහිපදෙනෙකුගේ තොරතුරු ලබාදෙයි. මා ඔවුන්ට ලබා දෙන සරළම පිළිතුර වන්නේ අද සමාජය ජංගම දුරකථන භාවිතා කරන ප්‍රවණතාවයේ හැටියට දුරකථන සංවාදයක නොයෙදෙන අයෙකුට අකුණක් වැදීම නම් පුදුමයට කරුණක් විය හැකි බවයි.


Chandima Gomes
Professor of Electrical Engineering, Universiti Putra Malaysia
Former Head, Center for Electromagnetic and Lightning Protection, Malaysia
Chief Adviser, African Center for Lightning and Electromagnetics, Uganda 

Saturday, 7 May 2016

නවක වදයේ පිළිකුල් මුහුණ




ආචාර්‍ය රංජිත් නිර්මාල් දේවසිරි ලංකාවේ රජයේ සරසවි වල පවතින නවකවදය පිලිබඳ අර්ථාන්විත ප්‍රවිෂ්ඨයකට පිවිස ඇති බව දැක මම ඉතාම සතුටු වුනෙමු. පසුගිය වසර 30-40 පමණ කාලයේදී නවකවදය ලංකාවෙන් තුරන්කිරීමේ චේතනාවෙන් මෙලෙස කතිකාවතක් ඇරඹු කිහිප අවස්ථාවක් විය එහෙත් ඒ එක් අවස්ථාවකවත් එම සාකච්චා ක්‍රියාන්විතයක් දක්වා ගෙනයාමට කිසිවෙකුටත් නොහැකිවීම ජාතියේ අවාසනාවකි.

මා ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබන්නේ මෙතෙක් කල් මේ රටේ තිබූ දුර්භාග්‍යතම කාල පරිච්චේදයක් මැදි කරගනිමිනි. 86 අගභාගයේදී සරසවියට පය තියන අප පළමු වසර අවසන් කරන්නේ 1990 වසරේදීය. ඒ රබර් වූ පළමු වසර තුල බොහෝ දේ සිදුවිය. නැවත සරසවි යථා පරිදි අරඹන විට අපගේ සොයුරු සොයුරියන් සමහරෙක් අප අතර නොවිය. කිහිප දෙනෙකු මරණයේ සෙවනැලි අතර සැඟව ගොස් තිබූ අතර සමහරෙක් වසර ගණනාවකට පසු සියළු යස ඉසුරු සමග යුරෝපයෙන් හෝ වෙනත් සංවර්ධිත රටකින්  මතුවිය.

අප කණ්ඩායම නවකවදයට ගොදුරු වන්නේ 88/89 භීෂණයට පෙර එම වධ බන්දනයට ලක්වන අවසන් පිරිස ලෙසයි. කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

අප දෙවන වසරට පිවිසියේ මෑත ලංකා ඉතිහාසයේ (පසුගිය වසර 50 ක පමණ කාලයකදී) අඩුම නවකවදයක් තිබූ වසර සනිටුහන් කරමිනි. ඒ අපගේ හොඳක් නිසා නම් නොව, එවකට සිටි රාජ්‍ය ආරක්ෂක ආමාත්‍ය ජෙනරාල් රංජන් විජේරත්න මහතා නිසාවෙනි. 

රංජන් විජේරත්න යනු සාමාන්‍යයෙන් කථිකාවන් කෙරේ විශ්වාසය තැබූ අයෙක් නොවේ. ඔහු පළමු වසර සිසුන් සමග සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් විශාල ගණනක් එවීය. ඒ සඳහා ඔහු උපකුලපතිගෙන් හෝ අවසර ගත්තාදැයි නොදනිමි. එවන විට සරසවි සිසුන් රාශියක් ටයර් සෑයවල් උඩ අවසන් ගමන ගොස් තිබුණි. රංජන් විජේරත්න මහතා පෙරදින ජාතිය අමතා ඔහුගේ සුපුරුදු විලාශයෙන් අනතුරු ඇඟවුයේ නවකවදය දී හසුවන ඕනෑම සිසුවකුගේ ඉරණම දරුණු විය හැකි බවයි. 1990 වසරේදී සරසවියේ ප්‍රථම වසරට පිවිසි සිසු සිසුවියන් වෙනස වටහා ගන්නට ඇත. 

ඉහත රංජන් විජේරත්න පන්නයේ ක්‍රමවේදයෙහි හොඳ-නරක කීමට මම උත්සුක නොවෙමි. එහෙත් එම ක්‍රියාන්විතය 100% ම වගේ සාර්ථක විය. අවාසනාවකට එතුමා ඊළඟ වසරේ මුල් භාගයේදී LTTE ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. 

ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. 

මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් සහ හැසිරීම් රටා ඉතා වැදගත් පර්යේෂණ ගැටළු කිහිපයකට පාදක වෙයි. එය අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හත අටකට සහ ආචාර්ය උපාධි දෙක තුනකටවත් අවශ්‍ය කළමනා සපයයි. 

නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවකින් මේ අහිමි වීම් වලට අලඟු තැබීමටවත්  හැකියැයි මම නොසිතමි.   

නවකවදය විඳි මෙන්ම නවකවදය දුන් තැනැත්තන්ද (මේ දෙදෙනාම බොහෝ විට එක චරිතයකි) සමාජයට පිය නගන්නේ විකෘති මනස් ඇත්තවුන් ලෙසටයි. එය අද අපි ඇස් පනාපිටම අත්විඳිමු. 

නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවකවදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි. 

නවකවදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි. 

පැවති හෝ පවතින රජයන් කිසිවක් මේ පැනයට අර්ථාන්විත පිළිතුරක් ලබා දීමට උත්සුක වුයේ නැත. ඒ නවකවදය දැඩි ලෙසම ලංකාවේ දේශපලනය හා අනුබද්ධ වී ඇති නිසාදෝ යයි සැකයක් මතුවෙයි. 

මා සති කිහිපයකට පෙර ලංකාවට පැමිණි විට මේ පිළිබඳව බොහෝ නෑදෑ හිතමිතුරන් සමග කතාබහ  කලෙමි. ඉන් අනතුරුව සමාජ ජාලාවල පවතින අදහස් කියවුයෙමි. මට හැඟී ගියේ සරසවියේ දේශපාලනය කරන (රට තුල කිසිම ජන පදනමක් නොමැති) එක් ඉතා කුඩා පක්ෂයක සාමාජිකයන් හැරුණු විට මුළු මහත් රටේම ජනතාව එක හෙලා නවකවදය පිළිකුලෙන් යුතුව හෙලාදකින බවයි. නවකවදය හොඳ යයි කීමට මේ කුඩා පක්ෂයේ පුද්ගලයෝ පවා බියවෙති. ඔවුන් ඒ වෙනුවට පවසන්නේ නවකවදයට වඩා විශාල ප්‍රශ්න රටේ ඇති බවයි. මෙය ඉතා අඥාන තර්කයක් බව පැවසීමට අවශ්‍ය නැත. 

රටේ ජනතාව තුල සරසවි සිසුන් කෙරේ පිළිකුල් සහගත ප්‍රතිරූපයක් ගොඩනැගීමට යම් පක්ෂයකට හෝ රජයට අවශ්‍ය නම් නවකවදය තරම් ඊට සුදුසු නිමිත්තක් නැති තරම්ය. 

කෙනෙකුගේ කැමැත්තකින් තොරව ඔහු හෝ ඇය ප්‍රසිද්ධියේ වද හිංසාවට ලක් කිරීම (මානසිකව හෝ ශාරීරිකව) ශිෂ්ඨ සමාජය විසින් මීට ශත වර්ෂ  කිහිපයකට ඉහතදී  පිළිකෙව් කල කාරණයකි. එය ඉක්මනින්ම අවසන් කල සමාජ වඩ වඩා දියුණු විය. 

සරසවියකට මුලින්ම පිවිසෙන දරුවා ඇත්තෙන්ම පාසල් සිසුවෙකි. ඔහු කිසිඳු අයිතිවාසිකමක් වෙනුවෙන් සටන් කිරීමට පැමිනෙන්නෙක් නොවේ. එවන් සිසුවෙකු හෝ සිසුවියක් බලහත්කාරයෙන් තාඩන පීඩන වලට ලක් කරන ජේෂ්ඨ සිසුවා, ඔහුට පරිපාලනයෙන් එල්ලවන තාඩන පීඩන වලට එරෙහි වීම සමාජය දකින්නේ විහිළුවක් ලෙසයි. මෙය තමන් විසින්ම තම වල කපා ගැනීමකි. 

අප ජාතියක් වශයෙන් මෙම නවකවදයට එරෙහිව රටටම දැනෙන හඬක් නගන තෙක්, ඒ සම්බන්ධව වගකිව යුතු ක්‍රියාන්විතයක් දියත් කරන තෙක්, ලංකාවේ පවතින මේ පිළිකාව සුව වන්නේ නම් නැත. එය ජාතිය මරණය කරා රැගෙන යන තවත් එක් ප්‍රබල සාධකයක් පමණක් වනු ඇත. 

මේ වන විට නවකවදය සම්පුර්ණයෙන්ම තුරන් කල ලංකාවේ සරසවි සහ පීඨ වලට හිස නමා ගෞරවය පිරිනමමින් මම මෙතනින් නවතිමි.