Wednesday, 12 July 2023

මගේ ආගම


මීට සති දෙකකට පමණ පෙර අපේ සරසවියේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක්ගෙන් මට ඇමතුමක් ලැබුණි. සිය ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවියකට තම නිබන්ධනය සඳහා මහාචාර්ය වරුන් 50කගේ පමණ ආගමික මතවාදයන් පිළිබඳව අදහස් විමසිය යුතු බවත් ඒ සඳහා මගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය. කාලය මට මිළ අධික වුවත් ඔහු හා පවතින මිත්‍රත්වය නිසා මම ඔහුගේ සිසුවියට අදාළ කාලය ලබා දුනිමි.

ඇය මා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඇයගේ පසින් සම්පුර්ණයෙන්ම අසාර්ථක බව මට අවබෝධ වෙයි. නමුත් එය ඔබට වැදගත් විය හැකි බැවින් මෙසේ ඉදිරිපත් කිරීමට මම තීරණය කලෙමි. 

--------------------------

ඇය: ඔබේ නම චන්දිම ගෝමස් මේ අනුව ඔබ පාරම්පාරික කතෝලිකයෙක් යයි මා සිතනවා. 

මම: නැහැ ඔබ වැරදියි. මගේ දෙමව්පියන් පාරම්පාරික බෞද්ධයන්. මා උපදින විටම මට බෞද්ධ කියා ලේබලයක් තිබුණා.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් 

මම: නැහැ ඔබ වැරදියි. මම මා වෙත එහෙම ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙකු නොවේ. එසේ නම් දැන් ඔබ අදහන්නේ කුමන ආගමක්ද?

මම: මම එහෙම කිසිම ආගමක කියා ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: ඒ කියන්නේ ඔබ දෙවියන් අදහන්නෙක් නොවෙයිද (are you an atheist?)

මම: නැහැ. ඔබේ ප්‍රශ්ණය ව්‍යාකුලයි. මම බෞද්ධයෙක් වුණා නම් ඒත් මම athesist කෙනෙක් වෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ නිරාගමිකයෙක් (are you a secularist)?

මම: නැහැ. මම විවිධ ආගමික කටයුතු වල නියැලෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ සර්ව ආගම්වාදියෙක් (then are you an omnist)?

මම: මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මාව මේ ලෙස ලේබල්ගත කරන්න හදන්නේ කියා. 

ඇය: සමාවෙන්න. මට හිතෙන්නේ ඔබ නිදහස් චින්තකයෙක් කියා (I think you are a free thinker).  

මම: මට ඔබගේ ගැටළුව වැටහෙනවා. ඔබට මාව කුමන හෝ කැටගරියකට ලේබල් කරන්නේ නැතුව ඉදිරියට මේ සාකච්චාව කරන්න බැහැ. 

ඇය යම් ඉච්චා භංගත්වයට පැමිණුනු විලසකින් මා දෙස බලා සිටියාය. මම ඇයට මෙලෙස කිව්වෙමි.

මම: මා කියන දේ තේරුම් ගැනීමට මම ඔබට උදාහරණයක් දෙන්නම්".

මම: ඔබ දැන් සමාජ විද්‍යාව හැදෑරුවත් පාසලේ යම් මට්ටමකට සාමාන්‍ය විද්‍යාව හදාරන්නට ඇති. ඒ නිසා මේ කියන දේ ගැන ඔබ දන්නවා. හිතන්න, මට අවශ්‍ය වෙනවා කුඩා රොකට්ටුවක් හදන්න. මේ සඳහා මට අයිසැක් නිව්ටන් ඉදිරිපත්කල නියම යොදාගන්න සිදුවෙනවා. මේ නිසා මම "නියුටෝනියන්" කෙනෙක් වෙනවාද? මට යම් තාරකා විද්‍යා ගැටළුවක් විසඳීම සඳහා ඇල්බට් අයින්ස්ටයින්ගේ වාදයන් යොදා ගැනීමට සිදුවෙනවා. දැන් මම "අයින්ස්ටයිනියන්" කෙනෙක් වෙනවාද? මේ කිසිම විද්‍යාත්මක න්‍යායක් භාවිත කිරීමට අවශ්‍ය නොවන වෙලාවට මම "අවිද්‍යාත්මක පුද්ගලයෙක්" වෙනවාද?

ඇය විපිළිසර දෑසින් යුතුව මා දෙස බලා සිටියි. මේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි.

මම: මගේ ආගම භාවිතාකිරීමත් මේ ආකාරයටමයි. යම් අභියෝගයකට මුහුණ දීමට ඇතිවිට හෝ සිතේ තද කැළඹීමක් ඇති වූ විට මම පන්සලකට ගොස් නිසංසල තැනක ඉඳගෙන ඉන්නවා. එහි පුජනීය ස්ථානවලට වන්දනා මාන කරනවා. පන්සලක් අසලක නැත්නම් කෝවිලකට හෝ පල්ලියකට යනවා. දෙවියන් යදිනවා.  මට මරණින් මතු පැවැත්ම/හෝ නොපැවැත්ම වැනි ගැටළු පිළිබඳව ස්වයං-විශ්ලේෂණ කිරීමට සිතුන විට මම බෞද්ධ, අද්වෛත වේදාන්ත හෝ ජෛන දහමේ සංකල්ප යොදාගන්නවා. ඒ අවස්ථාවේදී මගේ දැනුම් සම්භාරයේ සහ තර්කන හැකියාවේ මට්ටමට අනුව සුදුසු මොඩලයක් තෝරා ගන්නවා. මම සහමුලින්ම මානසිකව වැටුණු විට මම දෙවියන්ගෙන් පිහිට ආශීර්වාදය පතනවා. මට සමාජ ඇසුර සහ බැඳීම් අවශ්‍ය වූ විට මම බෞද්ධ සමාජය හා එක්ව වත් පිළිවෙත් කරනවා. එබඳු සමාජයක් නැති අවස්ථාවල මම කතෝලික හෝ ඉස්ලාම් සමාජයට අනුගත වෙනවා. මම සතුටින්, සැහැල්ලුවෙන් සිටින බොහෝ අවස්ථාවල මට මේ කිසිවක් වුවමනා නැහැ".  

මා ඉදිරියේ සිටින සිසුවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මා දෙස බලා සිටින්නීය. ඇයට මා පවසන දේ නොතේරෙන බව නම් සහතිකය. ඇයගේ මුහුණේ ඇත්තේ "අපරාදේ මගේ කාලේ. මේ interview එකෙන් කිසිම වැඩක් නැහැ" යන හැඟීමයි. 

ඇය: සමාවෙන්න, මට ඊළඟට ඇති ප්‍රශ්ණ 20 ක් පමණ ඔබගෙන් අසා වැඩක් නැහැ"  

මගේ කුතුහලය උදෙසා ඒ එක ප්‍රශ්නයක් මට පැවසිය හැකිදැයි මම ඇසුවෙමි. 

"ඔබ කතෝලිකයෙකු ලෙස ඉස්ලාම් දහම දෙස බලන්නේ කෙලෙසද?" ඇය මා කතෝලිකයෙකු යයි මූලික උපකල්පනයක් කර තිබු බැවින් එහි බොහෝ ප්‍රශ්ණ මේ මත ගොඩනගාගෙන ඇති බව මම සිතමි.

ඇය: "අන්තිම ප්‍රශ්ණ දෙක මට ඔබගෙන් ඇසිය හැකියි".  

ඇය: "LGBTQIA+ පිළිබඳව සාමාන්‍ය සමාජය සහ රජය/නීතිය බැලිය යුතු ආකාරය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?" 

මම: "කෙනෙකුගේ ලිංගික දිශානතිය එම තැනැත්තාගේ අයිතියක්. ඒ පිළිබඳව විනිශ්චය කිරීමට සමාජයට හෝ නීතියට නොහැකියි. මේ නිසා තමන්ගේ ලිංගික දිශානතිය සඟවා ගැනීමට බලකිරීමට හෝ පාර්ශව දෙකක් (හෝ වැඩි ගණනක්) සිය කැමත්තෙන් පෞද්ගලික ස්ථානයක ලිංගිකව හැසිරීම තහනම් කිරීමට නීති පැනවීම සමාජයක් විසින් සිදු නොකළ යුතුයි. අනෙක් අතට මෙතෙක් පැවති සියළු ජන සමුහ (හෝ ශිෂ්ඨාචාර) විරුද්ධ ලිංගික හැසිරීම සම්මතයක් ලෙස පිළිගත්තේ වර්ගයාගේ පැවැත්ම සඳහායි. අදටත් එය වලංගුයි. මේ නිසා LGBTQIA+ ප්‍රවර්ධනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. කලයුත්තේ සමාජය ඊට එරෙහිවීම වලක්වීමයි".

ඇය: "ඔබගේ ජිවිතයේ මූලික අරමුණ කුමක්ද? ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?"

මම: "ජිවිතයට අරමුණු දමා ගැනීම භයානකයි. එය ඔබගේ සතුට විනාශ කරනවා. මම හැමවිටම උත්සහ ගන්නේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න. ඒ සඳහා මම කරන්නේ මා වෙතට ලේබල් අලවා නොගැනීමයි. ඔබගේ සියළු දුක් දොම්නස් ඇතිවන්නේ තමාට ලේබල් ගසා ගැනීමෙන් හෝ තමා වෙත අනුන් ගසන ලේබල් බාර ගැනීමෙන්. එවිට ඔබ ලේබලය වෙනුවෙන් සටනට බසිනවා. එය දුකට මුලයි".

ඇයට මෙන්ම ඔබ බොහෝ දෙනෙකුටත් මා කියන දේ නොතේරෙනු ඇත. 






   




Sunday, 9 July 2023

අරගලය ගැන කෙටි සටහනක්


අරගලය මධ්‍යම පන්තියේ නිර්මාණයකි. එහි කිසිඳු වරදක් ඇතැයි මම නොසිතමි. එයට පිතෘත්වය දීමට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නොහැකියැයි මම කියමි. ලංකාවේ ස්වයං ජන නැගිටීමක් සිදුවේ නම් (අනාගතයේ හෝ) එය සිදුවන්නේ මධ්‍යම පාන්තිකයා තුලින් පමණි. ධනපති පන්තියට නැගිටීමට අවශ්‍ය නැත. ඔවුන්ට සයනයේ සැතපීගෙන වුවත් බොහෝ වෙනස්කම් කල හැක. පීඩිත (පහලම තලයේ) පන්තියට ස්වයං නැගිටීමකට සරිලන සුහුරු බුද්ධියක්, දැක්මක් හෝ ජාලගතවිමක් (netwoorking) නැත. මේ නිසා ලෝකයේ කොතැනකවත් පීඩිත පන්තිය තුල ස්වයං නැගිටීමක් සිදුවී නැත. එම පන්තිය අරගලයකට අවතීර්ණ කිරීමට නම් විචාරශීලි සහ අවයාජ වූ ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. 

ලංකාවේ පීඩිත පන්තිය ජන අරගලයකට කැඳවිය හැකි සන්ධිස්ථාන කිහිපයක්ම තිබු බව පෙනෙයි. නමුත් මෙම පන්තියට නායකත්වය දෙනවා යයි කියන කිසිම කණ්ඩායමක් මේ සඳහා එම පන්තියේ ජන සමුහය යොමු කලේ නැත. ඒ වෙනුවට ඔවුන් එක්කෝ දේශපාලන වාසි වෙනුවෙන් පාලක පන්තිය හා අත්වැල් බැඳගත්හ. නැත්නම් පාලක පන්තිය වෙතින් ඇතිවූ පෞද්ගලික අසාධාරණකම්වලට එරෙහිව අවි ගත්තෝය. මේ අවස්ථා දෙකේදීම ඔවුන් පීඩිත පන්තිය පොරොන්දු දේශයකට රැගෙන යනවා වෙනුවට  තව තවත් පීඩනයට පත් කලෝය.  

ලෝකයේ කොතැනක වුවත් ජන විපර්යාසයක් සිදුවන විට එයින් උපරිම ඵල නෙලාගැනීමට මාන බලන දේශීය දේශපාලන බල කේන්ද්‍රයන් මෙන්ම කලාපීය සහ ගෝලීය බලවතුන්ද ඇත. අරගලය ස්වයං-ජාතක වුවත් එහි පැවැත්ම සඳහා එක් අවස්ථාවක ශක්තිමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අත්‍යවශ්‍ය විය. ඒ අවස්ථාවේ මම පුන පුනා මේ පිළිබඳව ලිව්වෙමි. නමුත් එය සිදු වුයේ නැත. දැන් සියල්ල ඉතිහාසයට එකතුවී ඇත.

නමුත් අද අරගලකරුවන්ටත් අමතක වූ දෙයක් ඇත. එනම් අරගලය ඇරඹු සටන් පාඨය එහි අරමුණ වී නම් මෙය ඉතා ජයග්‍රාහී ලෙස අවසන් වූ ලෝකයේ සාර්ථකම ස්වයං ජන නැගිටීමක් බවයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇති වුණේ ඇයිදැයි මතක නැත. එය ලාංකිකයාගේ සාමාන්‍ය ස්වභාවයයි. අන්තිමට රට බංකොලොත් වුණේ අරගලය නිසා යයි කියන පඬි රුවන්ද නැත්තේම නැත. ගැටළුවක මූලය අමතක කර තමා ප්‍රිය කරන තක්කඩි දේශපාලුවන් රැකගැනීමට පමණක් විකාරරූපී හේතු ඉදිරිපත් කරමින් විලාප නගන ජන සමූහය බහුතරයක් වන තාක් කල් ලංකාව ඉදිරියට යතැයි සිතීම අසීරුය. 


Friday, 7 July 2023

මේරිගේ කොළුවා

අපහාසය, උපහාසය, උත්ප්‍රාසය, හාස්‍ය යන වදන් වල ඇති වෙනස තේරුම් ගැනීමට සමත් වියත් සමාජයක් ලංකාවේ විසීය. ඒ ලංකික සාහිත්‍ය උච්චතම අවස්ථාවට පත් වූ 60-70 යුගයේය. කෘත හස්ත ලේඛකයෙකුට භව තරණය වැනි පොතක් පලකරන්න එකල කිසිඳු අවුලක් නොවීය. එය කියවා රස විඳීමට පමණක් නොව නිර්දය ලෙස එය විවේචනය කිරීමටද හැකි ඉහල මට්ටමේ සෞන්දර්යාත්මක විචාර බුද්ධියක් සහිත ජන විඥානයක් එකල තිබුණි.

ජාතියක් ලෙස ලාංකිකයාගේ තර්ක ඥානයේ පසුබැස්ම ඇති වුනේ කුමන කාලයකදීද කියා මා දන්නේ නැත. නමුත් මේ අප ගත කරන්නේ එහි පතුලෙහි නොවන බව නම් මට විශ්වාශය. ඔබ තව ගැඹුරට වැටීමට ඉඩ ඇත.

"ඕක ඉස්ලාම් ආගම ගැන අරාබියේදී කිව්වා නම් මොකද වෙන්නේ" කියා අසන පිරිස්ද ඇත. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ "අපි යා යුත්තේ ඒ පැත්තට" යන බවයි. යුරෝපයේ ජිවත්වන මෙන්ම යුරෝපයේ ජිවත් වීමට සිහින මවන බොහෝ ලාංකිකයන් මනසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ බව මා කලින් ප්‍රකාශ කලේ මේ නිසාය. 

ලොව ප්‍රකට standup commedianලා ආගම් පිළිබඳව කරන උපහාසාත්මක, උත්ප්‍රාසය දනවන මෙන්ම හාස්‍ය ජනක ඉදිරිපත්කිරීම් දහස් ගණනක් You Tube එකේ ඇති බව වත් මේ පිරිස දන්නේ නැත. නොඑසේ නම් ඔවුන්ට භාෂාව පිළිබඳව ගැටළුවක් තිබෙනවා විය හැක. 

පහත ඇත්තේ එක් උදාහරණයක් පමණි.

https://www.youtube.com/watch?v=LbP4KttZOcc


Thursday, 29 June 2023

නාඳුනන පිස්සා


කාලයක් තිස්සේ මෙම බ්ලොග් ලිපිවල කමෙන්ට් ලෙස මට දැඩි ලෙස අපහස කරමින් ලියූ පුද්ගලයා වෙනුවෙන් සටහනක් තැබීමට සිතුනි. ඒ ඔහු මේ බ්ලොග් අඩවිය වෙනුවෙන් කැප කල කාලය උදෙසා පල කරන ගෞරවයක් ලෙසය. මේ බ්ලොගය තුල දශකයකට වඩා කාලයක් අදහස් පලකල කිහිප දෙනෙක් මෙම පුද්ගලයා "පිස්සා" ලෙස බෞතිස්ම කලෝය. පිස්සාගේ අපහාසද පිස්සට එරෙහිව නැගෙන ප්‍රති අපහාසද එක්තරා අවස්ථාවක සීමාවන් ඉක්මවා යන්නට වූ බැවින් මට අකමැත්තෙන් වුවද මෙම බ්ලොගයේ යම් සීමා පනවන්න සිදුවිය. එහෙත් බ්ලොගය තවමත් පිස්සාට විවෘතය. පිස්සා කියනා දේ ගැන පිස්සාට ආත්ම විශ්වාසයක් සහ අභිමානයක් ඇත්නම් පිස්සාට පිස්සාගේ සැබෑ නමින් අදහස් පලකල හැක. ඒ සඳහා මගේ සියළු සමාජ මාධ්‍ය අඩවියන්ද පිස්සාට විවෘතය. 

පිස්සාට ඉක්මන් සුවය පතමි 

Wednesday, 28 June 2023

නෝනා සහ භූතයා


මේක පරණ කතාවක්. 

අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්‍රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්‍රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්‍රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.

දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ  ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.

"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.

"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.

"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"

"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.

" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.

"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.

"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.

දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.

"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.

"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.

නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා. 

මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල. 

"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"

භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"

භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"

භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා 

හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.

ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා. 

"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.

"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"

"එතකොට මහත්තයා?" 

"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්‍ට්‍රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"

භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා 

"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ" 


Monday, 19 June 2023

අන්ඩ දමා පැච් ඇල්ලු සිහින


මෝසස්ගේ පොරොන්දු දේශයේ සිට සියළුම නායකයන් ජන සමුහයන්ගේ පැවැත්ම සහතික කලේ ජනතාව අතර සිහින ගොඩ නැගීමෙනි. ශිෂ්ඨාචාරයක ඉදිරි ගමන උදෙසා සිහින නැත්නම් බලොපොරොත්තු අත්‍යවශ්‍යය. සිහින බිඳ වැටුණු කල ජන සමුහ විසිරී යයි. ඔවුන් නව සිහින සොයා දේශාටනවල යෙදෙයි. ලංකාවේ දේශපාලකයන් ජනතාවගේ සිහින බොඳ කරන විට මිනිසුන් "දියසේන උප්පත්තිය", "රාවණා නැගිටීම" වැනි සංකල්ප ඔස්සේ හෝ සිහින තනන්නට උත්සහ ගත්හ. 

පසුගිය සමයේ රජය සුනු විසුණු කර දැමුවේ මේ ජනතා සිහිනයයි. ඔබ අද ගුවන් තොටුපලේ, පාස්පෝට් කාර්යාලයේ, තානාපති කාර්යාලවල දකින්නේ මේ සිහින නොමැති මිනිසුන් සිහින සොයා යාමයි. මේ එදා සිහින පොදි බැඳගෙන තාප්ප වල චිත්‍ර අඳින්න, පුරන් කුඹුරු අස්වද්දන්නට ඉදිරියට පැමිණි තරුණ පෙලමයි. 

රනිල් වික්‍රමසිංහගේ 2048 සංවර්ධනය මේ ජනතා සිහින රෙපයාර් කිරීමේ අවසාන උත්සාහය ලෙස මම දනිමි. 

නමුත් අද ලාංකිකයා රනිල්ගේ අන්ඩ දමා පැච් ඇල්ලු සිහින හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව පෙනෙයි. 



Sunday, 18 June 2023

මෙව්වා එකෙන් රට හදන අපි



"හැකියාවක් ඇති අන්තිම වෘතිකයාත් රටින් නික්ම ගිය දිනෙක ඉතිරිවන දේශමාමකත්වය දෝරේ ගලන ලාංකිකයන් ලංකාව මෙව්වා එකෙන් දියුණු කරනු ඇත".

ඉහත FB පොස්ට් එකට අදහස් පලකල සැමට තුති.

මෙම පෝස්ට් එක මම පළ කලේ ලංකාව මේ වන විට මුහුණ දී සිටින බරපතලම ගැටළුවක් ලාංකිකයා කෙතරම් දුරට ග්‍රහණය කරගෙන ඇත්දැයි යන්න පිළිබඳව යම් අදහසක් ගැනීමටයි. බලාපොරොත්තු වුවා සේම බොහෝ දෙනෙකුට ගැටළුව ග්‍රහණය කරගැනීමට තබා මා කියන කාරණය තේරුම් ගැනීමටවත් පුළුවන් වී නැත.

සමහරෙක් තමා ජිවත් වන යුරෝපීය රටවල්වල වෘතිකයන් (professionals) යන වදන අසාවත් නැත.

සමහරෙක්ට අනුව වෘතිකයන් කිසිම වැඩකට නැති පිරිසකි. ඔවුන්ගෙන් රටට කිසිඳු දියුණුවක් ලැබී නැත. මේ නිසා ඔවුන් රට හැර යාම හොඳය.

බොහෝ දෙනෙකුට ඇත්තේ වෘතිකයා පිළිබඳව තමා විසින්ම කරගන්නා ලද අර්ථ දැක්වීමකි. ඒ අනුව වෘතිකයන් යනු දොස්තරවරුන්, ඉංජිනේරුවන් වැනි විශේෂ කණ්ඩායමකි. ඉන්පසු ඔවුන් තමන්ගේම ස්වයං අර්ථ කථනයට තමන්ම බැන වදිති.

ගැටළුවක් නැට්ටෙන් අල්ලා ගැනීම ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ මෙයයි. අපි එය ඔලුවෙන් අල්ලා ගැනීමට උත්සහ දරමු.

වෘතිකයා යනු යම් ක්ෂේත්‍රයක් තුල නිපුණත්වයක් ලබාගෙන එය ජීවිකාව කරගත් අයෙකි. මේ අනුව වෘතිකයා දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී, ගුරුවරු, පෙදරේරු, වාහන රෙපයාර් කරු, පේන්ට් බාස්, ක්‍රීඩකයන් ආදී විශාල පරාසයක පැතිරෙයි. වෘතිකයෙකු සහ ආධුනිකයෙකු අතර ඇති වෙනස් කම් කිහිපයකි. එනම් වෘතිකයෙකු වීමට අවශ්‍ය විධිමත් පුහුණුව, ක්ෂේත්‍රීය දැනුම සහ අත්දැකීමයි. මේ අවශ්‍යතා සපුරාලීමට කාලය ගතවෙයි. "හැකියාවක් ඇති වෘතිකයන් (capable professionals)" යනු තමන්ගේ නිපුණත්වය මනාව ක්‍රියාවේ යෙදවිය හැකි පිරිසයි. මෙවන් වෘතිකයන් රටකට අහිමිවීම තුල ජනතාවට බොහෝ දේ අහිමි වෙන්නේ මේ නිසාය.

රටක් දියුණු කිරීම වෘතිකයාගේ කාර්යභාරය නොවෙයි. වෘතිකයාගේ කාර්යභාරය රටක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. රටක් දියුණු කිරීම සැලසුම් සම්පාදන සහ තීරණ ගැනීමේ බලය හිමි පිරිස මත රඳා පවතී. ඒ සඳහා හොර තක්කඩි මැටි මෝලුන් පත් කරගෙන වෘතිකයා රට හදන කම් බලාගෙන සිටින නුවණක්කාරයන්ද ලංකාවේ ඇත.

අද වන විට මෙම වෘතිකයන් සිය දහස් ගණනින් රටින් පිටවෙයි. වෙනදා මෙන් නොව අද කොරියාවට යන තරුණයාගේ සිහිනයද එහිම පදිංචි වීමයි. නැත්නම් ළඟ පාත රටකට පැනගැනිමයි. අන්තිමේදී පුහුණුවකට යන ඉහළ පෙලේ පොලිස් නිලධාරින්ද ඒ රටවල ගල් වෙන තත්වයකට පත්ව ඇත.

තමන්ගේ දේශපාලන කන්නාඩිය මත බුද්ධිය සිර කර මේ ගැටලුව දෙස බැලීමෙන් වලකින්න. තමන්ට බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් නැතිව UNO එකේ පිං සායනයට දුවන්න වූ විට, ගෙයකට ප්ලෑනක් ඇඳගන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැති වූ විට, වහල හදා ගන්න වඩු බාස් කෙනෙක් නැති වූ විට, වාහන බාස්ලා නැතිව කැඩුණු කාර් එක ගෙදරට තල්ලු කරගෙන එන්න වූ දවසට, තම දරුවාට ඉංග්‍රීසි අකුරක් උගන්නන්න ගුරුවරයෙකු නැති වූ විට ඔබට තේරේවි මා මේ කියනා දෙය.

විසිවන සියවසේ මැද භාගයේ ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විට එවකට සිටි එක් ප්‍රභල දේශපාලකයෙක් "ඕකෙන් වෙන්නේ අපිට ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වෙන එකයි" කියා කියූ බව ප්‍රකටය. සමාජ අසාධාරණය කුමක් වුවත් මෙහිදී ඔහුගේ කතාවෙන් ගම්‍ය වන්නේ සැබෑ යථාර්තයකි. එනම් අනාගතයේ යම් ක්ෂේත්‍රයක ඇතිවන වෘතිකයන්ගේ හිගයක් පිළිබඳව හඳුනා ගැනීමයි. නමුත් එයට පිළියම නිදහස් අධ්‍යාපනය වැලැක්වීම නොව පොල් කඩන පුද්ගලයාටත් වෘතියමය ගෞරවයක් සමග හොඳ වේතනයක් ලබා දීම බව දේශපාලකයාට වැටහුණේ නැත. පසුගිය අඩසියවස තුල ගෙඩි කැඩීමට කෙනෙක් නොමැතිව ගෙවතු වල කපා දැමුණු පොල් ගස් කොස් ගස් ගණන නිමක් නැත.