Tuesday, 20 December 2016

නුවණක්කාරයාගේ පරිත්‍යාගය හෙවත් ව්‍යාපාරික ආයෝජනය



එක්දහස් නවසිය හැත්තෑව අග භාගයේ අපිට රුපවාහිණි සංස්ථා සංකීර්ණය ලැබුණි. ඒ ජපානයේ පුර්ණ පරිත්‍යාගයක් ලෙසටයි. එවකට සිටි යූ එන් පී  කාරයෝ මහත් අභිමානයෙන් කියා සිටියේ නවසිය පනස් ගණන් වල ජේ ආර් ජයවර්ධන මහතා ජාත්‍යන්තර සමුළුවකදී ජපානය වෙනුවෙන් කී "නහී වේරෙන වෙරාණී..." කතාවක් නිසා ජපනුන් මහත් ආදරයෙන් අපට මෙය පරිත්‍යාග කල බවයි. 

ඒ රුපවාහිනී යන්ත්‍ර නිෂ්පාදන තාක්ෂණය ජර්මානුවන්ගේ අතින් ජපනුන්ගේ අතට හුවමාරු වෙමින් තිබූ කාලයයි. අපට රුපවාහිනී සංස්ථාව ලැබී ඊළඟට ගතවූ වසර දහය තුල ජපන් රූපවාහිනී යන්ත්‍ර ලක්ෂ ගණනක් ලංකාවට ආනයනය විය. ජපන් රජයේ අනුග්‍රහයෙන් රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ පාඨමාලාද එකල පැවැත් වුනි. වසර කිහිපයකින්, රුපවාහිනී සංස්ථා පරිත්‍යාගය මෙන් කිහිප ගුණයක් ජපනා ලාබ ලබන්න ඇත. වසර 35ට පසුත් තවමත් වැඩිපුරම රුපවාහිනී යන්ත්‍ර ලංකාවට පැමිණෙන්නේ ජපානයෙනි. අපි රුපවාහිනියකට සවි කරන ඇණ මුරිච්චියක්වත් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැත.

එක්දහස් නවසිය පනස් ගණන් වල අත්සන් කෙරුණු චීන-ලංකා රබර්-සහල් ගිවිසුම එවකට මෙම රටවල් දෙකම මුහුණ දී සිටි ආර්ථික අර්බුදයට අස්වැසිල්ලක් විය. කිහිප විටක් අවලංගු වෙමින්, ප්‍රතිෂ්ඨාපනය වෙමින් පැවති මෙම ගිවිසුම 70-77 සමගි රජය සමයේදී පුළුල් තලයක නැවත අත්සන් කරන ලදී. අපට චීනෙන් හාල් ලැබුණු අතර අපේ රබර් චීනයට ගියේය. එවකට සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආඩම්බරයෙන් කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමාජවාදයට බර නිවැරදි ප්‍රතිපත්ති වලට පැහැදී චීනය අපිට මේ මහඟු අවස්ථාව ලබා දුන් බවයි.

ඒ ස්වභාවික රබර් වෙනුවට ඊට වඩා තත්වයෙන් බොහෝ සේ ඉහළ කෘතීම රබර් වෙළඳ පොලට හඳුන්වා දෙමින් සිටි යුගයයි. අපි චීනෙන් සහල් ලැබෙන බැවින් සහල් නිෂ්පාදන තාක්ෂණය වැඩි දියුණු කිරීමට වෙහෙස නොගත්තෙමු. චීනා හැමදාම රබර් ගනීවි යයි සිතමින් තව තවත් රබර් වවා ඊට කිසිඳු අගය එකතු කිරීමක් නොකර චීනයට පැටෙව්වෙමු. අද අපිට රබරුත් නැත, සහලුත් නැත. චීනය අද සහල් නිපදවීම අතින් ලෝකයේ පළමු තැනය. රබර් නිෂ්පාදන අතින්ද ඔවුන් ලොව ඉදිරියෙන්ම සිටියි.


මේ ගැන ලියන්න මට සිතුණේ "චීනාගේ ණය: උගන්ඩාවෙන් කථාවක්" නමින් මා ලියු ලිපියකට පෞද්ගලික ලැබුණු අදහස් කිහිපයක් සහ පලවූ කොමෙන්ටු කිහිපයක් කියවීමෙන් පසුවයි.

බොහෝ දෙනෙක් එක්කෝ චීනයට දොස් පවරා තිබුණි. නොඑසේ නම් චීනයට මා දොස් පැවරුවා යැයි උපකල්පනය කර මට දොස් පවරා තිබුණි. සමහරු කාට දොස් පවරන්නදැයි සිතාගත නොහැකිව අන්ද මන්ද වී සිටි සේයකි. 

ඇත්තෙන්ම අදහස් දැක්වූ බහුතරයකට සිදු වී තිබුණේ පොදු අතපසු වීමකි. සිද්ධිය දෙස විවෘත මනසකින් බලනවා වෙනුවට, ඔවුන් කරන්නේ මේ සිද්ධියේදී තමා කරගසා ගත් හෝ වලදමා පස්වලට යට කරන්න හදන දේශපාලකයාගේ ප්‍රතිරූපයට සිදුවන දේ අනුව තම දැක්ම සකස් කරගැනීමයි. 

ලිපිය පැහැදිලිව කියෙව්වා නම් ඔබට අවබෝධ විය යුතු යයි මා සිතන්නේ මෙම අවාසනාවන්ත තත්වයට චීනය වගකිව යුතු නොවන බවයි. වැරැද්ද ඇත්තේ උගන්ඩාවේ මෙන්ම අපේ රටේද දේශපාලුවා අතයි. මෙම සංසිද්ධියේ ඇති අපුර්වත්වය නම්  දේශපාලකයන් ඔසවා ගත් කිසිවෙකුටත් තමාගේ එකා සුද්ධ කර අනෙකාගේ වතෙහි මඩ තැවරීමට නොහැකි වීමයි. මන්ද සියල්ලෝම එක වලේ මඩ නාන බැවිනි.

ලෝකයේ කිසිඳු රටක් තව රටකට ප්‍රේමාන්විත හදවතින් යමක් ලබා නොදෙයි. සියළු පරිත්‍යාගවල මිලක් සලකුණු කර ඇත. අප කළ යුත්තේ පරිත්‍යාගය ප්‍රතික්ෂේප කිරීම නොව සලකුණු කල මිළ පිළිබඳව සැලකිලිමත් වීමයි. පරිත්‍යාගයක් බැවින් අපට මිළ නොගෙවා සිටීමට හැකියාව තිබේ.

ජපනා රුපවාහිනී සංස්ථාව ලබා දෙන විට, ඊළඟට එළඹෙන දශක කිහිපයේදී ලංකාවේ රුපවාහිනී යන්ත්‍ර කීයක් අළෙවි වෙත්දැයි අපගේ පාලකයන් හෝ අඩුම ගණනේ පෞද්ගලික අංශයවත් සිතුවා නම්? සුළුවට හෝ රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය ඇරඹුවා නම්? අඩුම ගණනේ රුපවාහිනී යන්ත්‍ර සඳහා අමතර කොටස් හෝ නිෂ්පාදනය කිරීමට උනන්දු වුවා නම්? 

"නම්" වැලකි.

නමුත් අපගේ ව්‍යාපාරික ප්‍රජාව සිතුවේ ඉහළම ලාභයක් තමාට ලැබෙන සේ ජපානයෙන් රුපවාහිනී යන්ත්‍ර ආනයනය කරන ආකාරය පිළිබඳවයි. ලංකාවට වඩා ඉතා කුඩා තායිවානය මෙන්ම දකුණු කොරියාවද මෙම ව්‍යාපාරයට අත ගැසුවේ ජපනා හදන රුපවාහිනියට අඩු මිළට අමතර කොටස් නිපදවීමෙනි. අද ඔවුන් ඔවුන්ටම කියා වෙළඳ පොළවල් බිහි කරගෙන ඇත. පසු කාලයක මැලේසියාව, තායිලන්තය වැනි රටවල්ද ඊට එකතු විය. අපි තාමත් එතැනමය.

චීනය අප සමග බලහත්කාරයෙන් ගිවිසුම් අත්සන් කලේ වත් අපට බලෙන් ණය දුන්නේවත් නැත. චීනයෙන් මෙන්ම IMF, WB හරහාද ණය ලබාගෙන ඉතා ඉහල සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යාපෘති ලොව බොහෝ ඇත.

ව්‍යාපෘතිය සාර්ථක වුවද අසාර්ථක වුවද චීනා සාර්ථකය. ව්‍යාපෘතිය සාර්ථක නම් ඔවුනට ලබා දුන් ණයට ඉහල පොලියක් සමග වාරිකය ලැබේ. එවිට ඔවුන් සාර්ථක බැංකු ව්‍යවසායකයන්ය. ව්‍යාපෘතිය අසාර්ථක නම් ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලසුම් ඔවුන් ක්‍රියාවට නංවයි. එයින් ඔවුනට ලැබෙන වාසි බොහෝමය. ව්‍යාපෘතියට ණය ඉල්ලන මුල් අවස්ථාවේම එහි සාර්ථක හෝ අසාර්ථක බාවය පිළිබඳව ඔවුහු නිගමනයකට පැමිණෙති. මේ සඳහා ඔවුනට ව්‍යපෘති යෝජනාව දෙස බැලීමටවත් වුවමන නැත. අවශ්‍යවන්නේ අදාළ රටෙහි සිටින දේශපාලුවන් පිළිබඳව දැනුමයි. 

කලක සිට වතපොතේ පල කරන සමහර පොස්ට් සහ කොමෙන්ටු දෙස බලන විට ඇතිවන්නේ හාස්‍ය මුසු දුකකි. අප රටේ බොහෝ දෙනෙක් සිතා ගෙන ඉන්නේ පට ජාත්‍යන්තර ප්‍රශ්ණයක් පැන නැගුන හොත් අරයා මෙයා "මාර" සපෝර්ට් එකක් දෙතැයි කියාය. එහෙත් තමන්ගේ ඇජෙන්ඩාවෙන් පිට ඔවුන් අඩුම ගණනේ වචනයකින්වත් වෙන රටකට සහයෝගය දෙන්නේ නැත. සමහර විට අහම්බෙන්, යම් දෙන ලද කාල පරාසයකදී අපි වෙනුවෙන් කතා කිරීම ඔවුන්ගේ ඇජෙන්ඩාවේ කොටසක් බවට විය හැක. එවිට අප සිතන්නේ ඒ අපේ ගැලවුම් කරු කියාය. මෙය මහා මුග්ධ කමකි.

මම පහත දැක්වෙන කරුණත් සමග මෙම ලිපිය අවසන් කරන්නම්.

මා යටතේ ආචාර්ය උපාධිය හදාරණ සිසුන් දෙදෙනෙකුම ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් පැමිණි අයයි. පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා මා හමුවීමට පැමිණෙන්නේ හවස් වරුවේය. ඊට හේතුව ඔවුන් මැලේසියාවේ වේලාවෙන් පාන්දර 2-3 වනතුරු අවදිව සිටිමින් මොසුල් හි සිටින තම දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් පිළිබඳව විපරම් කිරීමයි. ඔවුන්ගේ මුහුණුවල මා මේ දිනවල නිරන්තරයෙන් දකින්නේ බිය, සැක, සාංකාව, තැතිගැන්ම ආදී ඍණාත්මක හැගීම් සමුදායකි. 

ඔවුන් මා සමග බෙදාගත් තම ඥාතීන්ගේ අත්දැකීම් කිහිපයක් මම මෙලෙස ලියා තබමි.


මොසුල් ප්‍රදේශයේ සිටින ISIS කැරළි කරුවන් දරුණු ඝාතකයන්ය. ඔවුන් ලේ පිපාසිතව දහස් ගණනක් වැසියන්ව මරා දමයි. එම ප්‍රදේශයෙන් ISIS හමුදා ඉවත් කිරීමට ඉරාක රජයේ හමුදා ගොඩබිමින් සටන් කරන අතර ඇමරිකාව ප්‍රමුඛ යුරෝපිය හමුදා ගුවන් ප්‍රහාර එල්ල කරති. ඒ මුවාවෙන් විදේශ හමුදා වැඩි පුරාම කරන්නේ එහි ඇති ගොඩනැගිලි වලට පහර දීමයි. 

තට්ටු 20ක බිල්ඩිමක සැගවී, එක් ISIS ස්නයිපර් තුවක්කු කරුවෙක් වෙඩි පහර එල්ල කරයි. ගොඩ බිමින් සටන කරන ඉරාක රජයේ හමුදා ඇමරිකන් කඳවුරට පණිවිඩ යවමින් කියා සිටින්නේ එම ස්නයිපර් තුවක්කු කරු ඊළඟ විනාඩි 20-30 ඇතුලත තමන්ට මරා දැමිය හැකි බවයි. එහෙත් විනාඩි පහක් යන්න මත්තෙන් පැමිණෙන ඇමරිකන් ප්‍රහාරක යානා එම ගොඩනැගිල්ල බිමට සමතලා කර දමයි. එක් ISIS සෙබළෙක් පාලමක් උඩ ඇවිදගෙන යාම මුළු පාලමම විනාශ කර දැමීමට ඇමෙරිකන් හමුදාවලට හේතුවකි. 

මෙහෙම කරන්නේ ඇයි? 

පිළිතුර ඉතා සරළය. තව මාස කිහිපයකින් යුද්ධය නිම වනු ඇත. සුන්බුන් බවට පත් වූ ඉරාකයක් ඉතිරි වනු ඇත. පාදමේ සිට නැවතත් මෙම සුවිසල් ගොඩනැගිලි, ඒ තුල තිබිය යුතු උපකරණ ආදී සෑම දෙයක්ම ඉදි කල යුතු වනු ඇත. ඒ සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කොන්ත්‍රාත් කරුවෝ පැමිණෙනු ඇත. ඔවුන් සුවිසල් මහා නගර තනනු ඇත. පෙට්‍රෝලියම් සම්පතෙන් අනූන ඉරාකය මේ සඳහා ඩොලර් බිලියන ගණනින් ගෙවනු ඇත. ඒ මන්දිර, පාලම්, මහා මාර්ග අතර, අද දින මේ අනාගත ව්‍යාපාර වෙනුවෙන් මිය යන සුවහසක් දරුවන්ගේ, මව් වරුන්ගේ, පිය වරුන්ගේ හඬ නොඇසෙනු ඇත.

තව වසර ගණනකින් නැවතත් ව්‍යසනය එළඹෙනු ඇත. නැවතත් බටහිරයෝ සුන්බුන් අතරින් මහා නගර තනනු ඇත. මෙය නවසිය හැත්තෑ ගණන් වල සිට මැද පෙරදිගකට හුරු පුරුදු කතාන්දරයකි.

ලංකාවට මෙය සිදුවන්නේ නැත. මන්ද අපිට ඒ ගොඩනැගෙන මන්දිර වෙනුවෙන් ගෙවන්න සල්ලි නැත. සල්ලි එන්න තැනකුත් නැත.

නමුත් මගේ කතාව අවසන් වන්නේ මෙතනින් නොවේ. 

මෙම යුද්ධය පිළිබඳව කලක සිට ඇඹරෙමින් සිටි රුසියාව හදිසියේම පෙට්‍රෝලියම් සපිරි සිරියාවෙන් ISIS හමුදා ඉවත්කිරීමට ඉදිරිපත් වෙයි. සිරියාවේ මේ වනවිට සිදුවන ප්‍රහාරයන් සහ යූ ටියුබ් හි ඇති සිරියාවේ අලෙප්පෝ නගරයේ ඛේදවාචකය පෙන්වන ඩ්‍රෝන දර්ශන දුටු විට ඔබට පෙනෙයි කුමක්ද රුසියාවේ අරමුණ කියා?

මැද පෙරදිග සෞභාග්‍ය උලා කෑමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ට පමණක් නොව රුසියාවටද අයිතියක් ඇත. 




Thursday, 8 December 2016

මා දුටු අවබෝධය


"පිංවතුනි අවබෝධ කරගන්න ලෝකයේ සියලුම දේ නැසෙන සුළු බව". 

යූ ටියුබ් වීඩියෝ පටයෙන් නැගෙන සෝම හිමිගේ ගැඹුරු හඬ මට ඈතින් ඇසෙන්නක් මෙනි. ටික වෙලාවකට මම ජීවිතයේ සැහෙන ඈත අතීතයකට ගියෙමි.

මා කුඩා කල ඉතා ලඟින් ඇසුරු කල මිතුරෙකු විය. මා සිතා සිටියේ ඔහු සදාකාලිකවම මගේ හොඳම මිතුරා වෙතැයි කියාය. අප එකම පාසැලට ගිය අතර ඒ ආගිය ගමන්ද එකටම කෙරුණි. පස් වන ශ්‍රේණියෙන් පසු අප දෙදෙනාගේම පාසැල් වෙනස් වූ අතර අපට යාමට සිදු වුයේද දෙපසකටයි. ඉන් පසු ඔහු වෙනත් කණ්ඩායමකට එක් වූ අතර අපගේ ඇසුර එකවරම දුරස් වී නැතුවම ගියේය. 

මේ ගැන මා ඉතා දුකෙන් පසු වූ අතර අපේ අම්මා දිනක් මා අමතා මෙසේ කීවාය.

"පුතේ ඔයාට මතකද අර ගිය පෝයට අපි සිල් ගන්නකොට නාරද හාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ හැමදේම වෙනස් වෙන සුළුයි කියල"
"ඔව් අම්මේ"
"ඔයාට ඒ කියපු දේ තේරුණාද?"
"ඔව් අම්මේ"
"එහෙනම් ඔයා ඇයි දුක් වෙන්නේ. ඔයාගේ යාළුවත් මේ ලෝකෙම කොටසක්. ඒක නිසා එයා වෙනස් වුණා. ඔයත් ඒ වගේම වෙනස් වෙයි. ඔය ටික ඔයා තේරුම් ගන්න ඕනේ".

මට නාරද හාමුදුරුවන් වගේම  අම්මා පැවසු දෙයද පැහැදිළිවම තේරුම් ගියේය. එහෙත් යහළුවා නැතිවූ දුක නම් කිසි සේත්ම අඩු නොවීය. ජීවිතයේ ගෙවුණු හැම දිනකම පාහේ මේ වෙනස් වීම මම අත්‍ දුටුවෙමි. මිනිසා, සතා සිව්පාවා, ගස් වැල්, මෙන්ම ගල්, වැලි, ලී, ප්ලාස්ටික් ආදී සියලුම සිත්පිත් නැති දේද කාලය සමග වෙනස් විය. ඒ තබා ද්‍රව්‍යමය පැවැත්මක් නොමැති සිතුම්, පැතුම්, හැගීම් පවා අතොරක් නොමැතිව වෙනස් වෙයි. එම වෙනස් වීම් මම මැනවින් තේරුම් ගතිමි. එහෙත් ඒ වෙනස්කම් ගෙන ආ සිනහව මෙන්ම කඳුලද මට පාලනය කරගත නොහැකි විය. වැරදුණේ නාරද හමුදුරුවන්ටද, අපේ අම්මටද, නැත්නම් මටද?

මේ දේ වටහා ගැනීමට මට අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත්වන්නට සිදු විය. 

ජීවිතයක සාර්ථකත්වය පිළබඳව ඉංග්‍රීසි බසින් ලියැවෙන මගේ ඊළඟ පොතෙහි අවසාන පරිච්ඡේද කිහිපය මිනිස් බැදීම් පිළිබඳව සංවාදයක් ගෙනහැර දැක්වීමට මම යොදා ගතිමි. ජීවිතයේ හමුවන අමිහිරි වෙනස් වීම් පිළිබඳව හා ඊට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රමවේදයන් ගැන මම හදාරන්න වුනෙමි. මුලින්ම ජීවිතයේ මා ලද අත්දැකීම් විග්‍රහයට පාත්‍ර කලෙමි. 

මෙම කර්තව්‍ය මා එදිනෙදා යෙදෙන ඉංජිනේරු පර්යේෂණ කටයුතු වලට වඩා බෙහෙවින් අසීරු විය. එක් පරිච්ඡේදයක් වෙනුවෙන් මට වසරක කාලයක් ගතවිය. ඒ එය ලිවීමට නොව ඒ ගැන සිතීමටය. අන්තිමේදී මා වටහා ගත්තේ ඉතා සරළ වදන් පැටලීමක් නිසා ඊළඟට පියවර තැබිය යුතු මානසික ක්‍රියාවලියක් වෙත අප යාමට උත්සහ නොකරන බැවින් අපට තේරුම් ගත් දෙයින් ප්‍රයෝජන ගත නොහැකි වන බවයි. 

*******************************************

"තේරුම්" ගැනීම සහ "අවබෝධ" කර ගැනීම 

ඉහත වදන් දෙක අප සමාන තේරුම් ඇති වචන ලෙස බොහෝ විට භාවිත කරයි. එහෙත් කාලයක් මේ පිළිබඳව විශ්ලේෂණය කල විට මේ වදන් දෙක තරමක් වෙනස් වූ සංඛල්ප දෙකක් ප්‍රකාශ කිරීමට යොදා ගත හැකි බව මට වැටහුණි. 

තේරුම් ගැනීම යනු යමක් ඇති සැටියෙන් දැකීමයි. මෙම "ඇති සැටිය" ඇති සැටිය වන්නේ යම් රාමුවක් තුල පමණක් බවද කිව යුතුය. තමා යමක් ඇති සැටියෙන් දැක එය පිළිගැනිම (ධාරණය කරගැනීම) අවබෝධ කර ගැනීමයි. මේ අනුව අවබෝධ කරගැනීම, තේරුම් ගැනීමට වඩා පියවරක් ඉදිරියෙන් ඇත. ඒ පියවර කෙතරම් ඈතින් ඇත්දැයි තීරණය වන්නේ යම් කෙනෙකුගේ මානසික මට්ටම අනුවය. 

අප තේරුම් ගන්නා බොහෝ දේ එලෙසින්ම පිළිගැනීමට අප සුදානම් නැත. මේ නිසා අප හුඟක් දේවල් අවබෝධ කරගන්නේ නැත. 

ලබැඳියෙකුගේ වියෝව ලෝක ස්වභාවය ලෙස අපි තේරුම් ගනිමු. එහෙත් එවන් අවස්ථාවක එය පිළිගැනීමට අපි සුදානම් නොවෙමු. වෙනස් වන ලෝකයේ, ආදරය කරුණාව වැනි හැගීම් පවා වෙනස් විය හැකි බව අපි තේරුම් ගනිමු. එහෙත් එය එසේ සිදුවූ විට හැගීම්වල ස්වභාවය එසේ බව පිළිගැනීමට අපි මැලි වෙමු. තමාට සමීපතම ප්‍රියයකුගේ වෙනස් වීමකදී, එය එසේ සිදුවිය නොහැකි යයි ප්‍රතික්ෂේප කිරීමට පවා බොහෝ විට අපගේ සිත පෙළඹේ.  

එපමණක් නොව අදෘෂ්‍යමාන බලවේග, ඇදහිලි, දෙවියන් සහ ලෝකය මැවීම ආදී සමාජීය සහ ආගමික මතවාද පවා යථාර්තයන් නොවන බව අප බොහෝ දෙනෙක් අද පවතින විද්‍යාත්මක රාමුව තුල පැහැදිලිවම තේරුම් ගෙන ඇතැයි මම සිතමි. එහෙත් තමා කුඩාකල සිටම සිරවූ අනෙකුත් රාමු තුළින් එලියට විත් මෙම යථාර්ථයන් අවබෝධ කරගැනීමට බොහෝ දෙනෙක් සුදානම් නැත. 

මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තත් එය අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව නිසා අපි අපේ සිතේ ඇති සන්සුන් බව සහ සැනසීම නැති කරගනිමු. 

අවශ්‍යතාවයක් ඇත්නම්, යමක් තේරුම් ගැනීම බොහෝ විට පහසුය. වැඩි දෙනෙකුට යමක් තේරුම් ගත නොහැක්කේ, තේරුම් ගැනීමේ ඇති සංකීර්ණ බව නිසා නොව තේරුම් ගැනීමට ඇති අකමැත්ත හෝ වුවමනාවක් නැති කම නිසාය. එහෙත් තේරුම් ගැනීමේ සිට අවබෝධය කරා පියනැගීම සංකීර්ණ මානසික ක්‍රියාවලියකි. එය ප්‍රථම වරට කිරීම අපහසුය. ඒ සඳහා යම් පුරුදු / පුහුණු වීමක් අවශ්‍යය. එහෙත් වරක් අවබෝධ කරගත් පසු එය නැවත නැවත කිරීම අපහසු නැත. 

සියළුම දේ වෙනස් වන බව අවබෝධ කරගත් විට සිතට දැනෙන්නේ ඉතා සැනසිලිදායක සැහැල්ලුවකි. සෝම හිමි මෙන්ම නාරද හිමිද දේශනා කරන්න ඇත්තේ මේ අවබෝධය ගැනයි. 









Tuesday, 22 November 2016

අමානුෂික ට්‍රැෆික් දඩය......




නැවතත් දෙසැම්බරය පැමිණ ඇත. පාර දෙපස හිම කඳු ගොඩ ගැසෙයි. ඝනකම හිම කබාය විනිවිද ඇඟට ඇතුළුවන සීතල සමට ඉඳිකටු අනින්නාක් මෙන් දැනේ. 

මට ගිය දෙසැම්බරය මතක් වෙයි. ස්ටොක්හෝම් නුවර සිටින සිංහල පවුලක් අප කිහිප දෙනෙකුට රාත්‍රී භෝජනයට ආරාධනා කලේ නත්තල් සමයේ ඔවුන් ප්‍රංශයට යාමට සැලසුම් කර සිටි නිසාවෙනි. මට නුවන් හමුවුණේ එහිදීය. ඔහු කිලෝමීටර 150 ක් පමණ දුරක් තම මෝටර් රථය පදවාගෙන සාදයට පැමිණ තිබුණි. 

ස්වීඩනයේ සාදයකට නැතිවම බැරි වොඩ්කා වලින් එම රාත්‍රියද පිරී ඉතිරී ගොස් තිබුණි. තමාට රිය පදවාගෙන යා යුතු බව කියා නුවන් මදු විතින් ඈත්වී සිටියේය. එහෙත් සාදය සංගීතයට පරිවර්තනය වෙත්දී නුවන්ගේ සිල් බිඳුණ බව පෙනුනි. ඔහු වීදුරුවකට පුරවාගත් මත්පැන් මිශ්‍රිත පානයක් තොලගාන්න විය. 

රාත්‍රී 11 පමණ වන විට සාදය නිම වෙමින් පැවතී අතර එකා දෙන්නා පිටව යන්න විය. නුවන්ද තරමක් පමාවී අප සැමට සමු දුන්නේය. කලින් කතා කරගෙන සිටි පරිදි අප සාදය පැවත්වුවන්ගේ නිවසේ එදින රාත්‍රී නතර විය. 

පසුදා උදෑසන අපි නිවැසියන්ට ස්තුති කර අපගේ නිවස කරා යාමට එළියට පිවිසියෙමු. එවිටම වාගේ එම නිවසේ ගේට්ටුව අද්දරම පාරේ නවතා තිබු රථයක පිටුපස අසුනෙන් එලියට බැස්සේ නුවන්ය. ඇස් දෙක පිසදමමින් අප දෙස බලා සිටින නුවන්ගෙන් මම මෙලෙස ඇසුවෙමි.

"ආ නුවන් ඔයා එලි වෙනකම් හිටියේ මෙතනද? ඊයේ රෑ ටෙම්ප මයිනස් 20 විතර නේද තිබුනේ", පෙරදින රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 20 පමණ බව ප්‍රවෘති වල වාර්තා විය. 

"චන්දිම, ඊයේ මම පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තනේ. පොලිසියට අහුවුණොත් මාසේ පඩියෙන් භාගයක් ෆයින් එකට යනවා. ඒ මදිවට මාස හයක් ලයිෂන් කැන්සල්. මම කරන්නේ ටුවර් ගයිඩින්. ලයිෂන් කැන්සල් වුනොත් මම හම්ඹ කරලත් ඉවරයි. මෙතන රැයක් නිදියන එක ඊට වඩා දාහෙන් සම්පතයි".

මම කිසිවක් නොකිව්වෙමි.

***************************************

මොනැකෝ සහ මික්‍රොනිසියා යන ඉතා කුඩා රාජ්‍ය දෙක හැරුණු විට ලොව අඩුම මෝටර් රථ අනතුරු ප්‍රමාණයක් වාර්තා වන රට ස්වීඩනයයි. ඒ ඉතා කටුක දේශගුණයක්ද පරදවමිනි.  


  


Monday, 14 November 2016

හොල්මන් අවතාර සහ පාතාලය



1993 වසරේ දෙසැම්බර් 11 වනදා මැලේසියාවේ මෑතකදී වාර්තා වූ විශාලම ඛේදවාචකය සිදුවිය. තට්ටු 12කින් යුත් ගොඩනැගිලි තුනක් සහිත හයිලන්ඩ් නිවාස සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටුණි. මෙය 48 දෙනෙකුට මරු කැඳවූ අතර අනෙක් ගොඩනැගිලි දෙකේ පදිංචි නිවැසියන් වහා ඉවත් කරන ලදී. ඉන් අනතුරුව මේ ගොඩනැගිළි ක්‍රමයෙන් වල් බිහිවී භූත මන්දිර බවට පත්විය.

නොබෝදා නැවතත් මෙම නිවාස සංකීර්ණය පිළිබඳව කතා බහ ඇතිවන්නේ ඒවා තම අධිරාජ්‍ය කරගත් අපරාධ විශාල ප්‍රමාණයකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙක් එහිදී පොලිස් වෙඩි පහර වලින් මිය යාමත් සමගය. ප්‍රදේශයේ සිවිල් ජනතාව ඉන් අනතුරුව විශාල උද්ඝෝෂණයක් කරමින් පසුගිය දශකයකට අධික කාලයක් තමා මේ නිවාස සංකීර්ණයට අරක් ගත් අපරාධ කරුවන්ගෙන් විශාල ලෙස පීඩා විඳින බව පවසමින් එම ගොඩනැගිළි සම්පුර්ණයෙන්ම කඩා ඉවත් කරන්න යැයි රජයට බල කරන්න විය. 


මට සිහිවන්නේ මීට වසර තිස් පහකට පමණ පෙර කැලණිය සරසවියේ (මට මතක ඇති විදියට) සමාජ විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් සිදු කල ගවේෂණයකි. මේ පිළිබඳව සති අන්ත පුවත් පතක පලවූ පරිදි ඔවුන් හොල්මන් අවතාර වලට ප්‍රසිද්ධ ලංකාවේ ගම් කිහිපයක් තෝරා ගෙන මෙම අදෘශ්‍යමාන බලවේගවල පසුබිම ගවේෂණය කර ඇත. ඔවුන්ගේ නිගමනය වී තිබුණේ මෙම සංසිද්ධි 100% ම ප්‍රදේශයේ සොරුන්, මංකොල්ල කරුවන්, වැලි සහ දැව ජාවාරම් කරුවන්, ගංජා හේන් වවන්නන්, හොරෙන් පතල් කපන්නන්, දඩ මස් වෙළෙන්දන්, කාම විකෘතිතාවලින් පෙළෙන්නන් ආදී සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නන් විසින් ගොතන ලද ප්‍රබන්ධ බවයි. ප්‍රදේශයේ සිටින කට්ටඩියන් සහ දේවාලවල කපුවන් මීට පොහොර එකතු කරයි. 


බොහෝ ගම් වල අබිලිං මාමලා දෙතුන් දෙනෙක්වත් සිටින බැවින් ගම බිය වැද්දීම ඉතා පහසුය. අපරාධ කරුවන්ගේ අරමුණ ගම්වැසියන් තම සමාජ විරෝධී කලාප සහ එම කටයුතු සිදු කරන කාල පරාසයන්ගෙන් ඈත් කර නිවාස අඩස්සියේ තැබීමයි.  එය කට්ටඩියන්ට, කපුවන්ට මුදලක් සොයාගත හැකි ක්‍රමවේදයක් බැවින් ඔවුන්ගේ සහය ඊට නොමදව ලැබේ. අබිලින් මාමලා තම චෛතසික තෘප්තිය උදෙසා මේ අපරාධයට හවුල් වෙති. භූතයන්, ප්‍රේතයන් නගරබදට වඩා ගම්බදට විශාල ඇල්මක් දක්වන්නේ මේ නිසා විය හැක. 

මීට පසු ඔබේ ප්‍රදේශයේ අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට ඔබ කල යුත්තේ කට්ටඩියන්, කපුවන් සොයාගෙන යාම නොව වහාම පොලිසියට දැනුම් දීමයි.  


Monday, 7 November 2016

අශ්වයන් පුහුණු කිරීම හෙවත් අධ්‍යාපනයේ අවුල් ජාලය



ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනයේ අවුල් ජාලය ගැන නම් සම්පුර්ණ පොතක් ලිවිය හැකි තරමට කරුණු තිබේ. එහෙත් මේ කතා කරන්නේ උපකාරක පංති (Tuition) පිළිබඳව මීට ටික කලකට පෙර සිදුවූ මිතුරු සංවාදයකදී මතුවූ කරුණක් ගැනයි. එහිදී බොහෝ දෙනෙකුගේ අදහස වුයේ පාසලේදී ලබා දෙන අධ්‍යාපනයේ බොහෝ අඩුපාඩු ඇති බැවින් ටියුෂන් පංති හරහා සිසුන්ගේ දැණුම පුළුල් කරගැනීමට දෙමව්පියන්ට සිදුවන බවයි.  

නමුත් මගේ අදහස ඊට වඩා වෙනස් විය. ලංකාවේ ටියුෂන් කලාව පිළිබඳව මට ඇත්තේ හොඳ දැනීමකි. ඒ මාද කුඩා කල පටන් ජීවිතේ සැහෙන දුරක් එම වෘතියේ විවිධ තලවල ක්‍රියාකාරී වූ බැවිනි. 

අද දෙමව්පියන් දරුවන්ව උපකාරක පංති වලට යොමු කරන්නේ තරඟකාරිත්වයේ පීඩනය දරාගත නොහැකි බැවිනි. මට සහතික කල හැක්කේ ලංකාවේ කිසිම සාර්ථක ටියුෂන් ගුරුවරයෙකු සිසුන්ට ඔය දෙමව්පියන් පවසන විෂය දැණුම හෝ සිතීමේ සහ විශ්ලේෂණය කිරීමේ ශක්තිය ලබා නොදෙන බවයි. ඔවුන් කරන්නේ හුදෙක් සිසුවා සාර්ථකව විභාගයට මුහුණ දිය හැකි පරිදි පුහුණු කිරීමයි. මෙය දරුවාගේ මොළය පරිඝනකගත කිරීමකට හෝ අශ්වයෙකු වේගයෙන් දිවවීමට පුහුණු කරනවාට වඩා වෙනස් නැත. මේ පුහුණුව ලබා දිය නොහැකි නම් ඔබ කොපමණ හොඳ අධ්‍යපනඥයෙක් වුවත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස අසාර්ථක වනු ඇත. මා මෙම ක්ෂේත්‍රයේ දකින යථාර්තය එයයි. 


මෙහිදී ඇතිවන ජාතික ගැටලුව වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කරන දරුවා රටට අවශ්‍ය ප්‍රයෝගික සේවය ලබා නොදී ජීවිත කාලයම කාගේ හෝ මග පෙන්වීම ඔස්සේ හැල්මේ දිව යන මගක් සෙවීමයි. නිතර සිදුවන රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ මේ මතය සනාථ කරයි. සරසවියෙන් පිටවන ඔවුන් සෑම විටම අසරුවෙක් සොයයි. අසරුවා ලබා නොදීම ගැන රජයට දොස් කියයි. අසරුවා පිට නංවා ගත් කල ඔහු අණ දෙන ආකාරයට ජීවිත කාලයම එක එල්ලේ දිව යයි. 

මේ අනර්ථකාරී ජාතික රෝගී තත්වය මැඩලීමට නොහැකිවන තාක් කල් අප රටේ දහසකුත් ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. ලාංකීය පාසැල් අධ්‍යාපනයේ නොයෙකුත් අඩුපාඩු තිබුනත් මා දන්නා තරමින් එය ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් පවතියි. එබැවින් වහාම කලයුත්තේ මේ අනවශ්‍ය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනස් කිරීමයි. පාසැල් අධ්‍යාපනයේ අඩු පාඩු කම් පිළිසකර කිරීම කෙරේ දෙවනුවට අවධානය යොමු කල හැක.

ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ ආර්ථිකය ගැනද මනා දැනුමක් ඇති පරිපුර්ණ විද්වත් මණ්ඩලයක් මගිනි. දේශපාලුවා එතැනටද ඇඟිල්ල ගැසීමට යාමෙන් තත්වය තවත් බරපතල විය හැක. 


Saturday, 22 October 2016

වෛද්‍ය විද්‍යාවේ කළුවර පැත්ත


එඩ්වර්ඩ් ජෙනර්, ලුවී පාස්චර්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්, රොබට් කොක්, ජෝනාස් සොල්ක්, ජෝසෆ් ලිස්ටර්...... මේ ඔබ කුඩා කල අසා පුරුදු නම් වැලක කොටසකි. 

මේ අය ජීවත් වුයේ 18-19 ශත වර්ෂ වලයි. කිහිප දෙනෙක් 20 වන ශත වර්ෂය දකින්නට වාසනා කර තිබුණි. ඔවුන් සියළු දෙනාම අප දන්නේ මිළියන ගණනක් රෝගීන් සුවපත් කිරීමට දායක වූ ජීවකයන් ලෙසයි. ඔවුන්ගේ සොයා ගැනීම්, ඔවුන් මිය ගොස් සියවස් ගණනාවක් යන තුරුම සතට සෙත සලසයි. ලෝකයේ මිනිසුන් වන්දනා මාන කරන ආගම් කර්තෘවරු කී දෙනෙකුගෙන් මේ සේවය සිදුවී ඇත්දැයි ඔබම කල්පනා කර බලන්න.

වසර 1940 වන විට ලෝකයේ එවකට පැවති සෑම රෝගයකටම පාහේ බෙහෙත් සොයාගෙන තිබුණි. වසුරිය, පෝලියෝ, කහ උණ, කළු උණ, මහාමාරිය, මැලේරියාව, ක්‍ෂය රෝගය ආදී නම් වැලක් ඒ අතර වෙයි. මෙයින් සමහර ලෙඩ රෝග මේ වන විට මුළු ලෝකයෙන්ම තුරන් වී ඇත. 


ඉහත නම් සඳහන් විද්‍යාඥයින් පර්යේෂණ සිදු කලේ කුමන පහසුකම් සහිතවදැයි සොයා බැලීම වටීයි. ඔවුන්ගේ පර්යේෂණාගාර අද පවතින පහසුකම් සහ තාක්ෂණික උපාංග සමග සැසඳූ විට හාස්‍ය ජනකය. අද පාසල් විද්‍යාගාර පවා ඒවාට වඩා ඉදිරියෙන් ඇත. මේ අයගෙන් සමහරක් දෙනා මූලික පර්යේෂණ සිදු කලේ තම නිවසේ ඉහල මාලයේ වූ කුඩා කාමරයක, මුළුතැන් ගෙයි හෝ අශ්ව ඉස්තාලයේ බව ඔවුන්ගේ ජීවිත කථා වල සඳහන් කර ඇත. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ඔවුහු මිනිස් වර්ගයා වෙනුවෙන් තම යුතුකම් ඉටු කළෝය.

1940-60 යුගය අඳුරු කාල පරිච්චේදයක් විය. දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට සහ ඉන් අනතුරුව බිඳුණු ලෝක ආර්ථිකය නැංවීමට බොහෝ රටවල කාලය සහ ශ්‍රමය වැය විය. 1960 න් පසු අද වන විට වසර 56 ක් ගතවී ඇත. ලොව පුරා විද්වතුන් කණ්ඩායම් දහස් ගණනක් ඖෂධ වර්ග පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවයි. ඔවුන් වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් පොම්ප කෙරෙමින් පවතී. තම පර්යේෂණ කටයුතු සඳහා මෙම විද්‍යාඥයන්ට ඇති පහසුකම්, තාක්‍ෂණය, ක්‍රමවේද එඩ්වර්ඩ් ජෙනර්ලා තම අභාව්‍යමය සිහිනවල වත් දකින්නට නැත. එහෙත් ලොව මේ කාල පරාසය තුල මිලියන ගණනක් මිනිසුන් පීඩාවට සහ මරණයට පත් කල ප්‍රධාන රෝග ත්‍රිත්වය, HIV, පිළිකාව සහ දියවැඩියාව සම්පුර්ණයෙන් සුවකිරීමට තවමත් පැහැදිළි අත්දුටු ප්‍රතිකර්මයක් සොයාගෙන නැත.

නමුත් මෙම රෝගියෙකු තවත් එක දවසක් ජීවත් කල හැකි තාවකාලික ඖෂධ වර්ග සහ ප්‍රතිකාරක ක්‍රම දිනපතා වෙළද පොලට හඳුන්වා දෙනු ලැබෙයි. ඔබට මුදල් ඇත්නම් තව දිනකට මෙලොව එළිය දැකිය හැක. නො එසේ නම් ඔබ මිය යනු ඇත. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය ඔබව සුවපත් කිරීමට නොව ඔබ අපහසුවකින් තොරව සදාකාලික රෝගියකු ලෙස පවත්වාගෙන යාමයි.



Thursday, 13 October 2016

එට්කා විරෝධය සහ ඉන්දීයානු විරෝධය





මෑතකදී එක් ආචාර්යවරයෙක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එට්කා විරෝධය යනු නොදැනුවත්කම බවයි. ඔහු සමග කල සම්පුර්ණ සංවාදය කියවූ පසු මට හැඟී ගියේ ඔහු වුවමනාවෙන්ම සියල්ලම පටලවා අන්තිමේදී කිසිම ගතයුත්තක් නැති වචන මාලාවක් පවසා ලිස්සා ගොස් ඇති බවයි. මෙය අනිවාර්යයෙන්ම ඔහුගේ නොදැනුවත්කම නම් නොවේ. 

එට්කා ගිවිසුම පිළිබඳව මා හරියටම නොදනී. මා තබා රටේ ඉතා අතලොස්සක් හැර කිසිම කෙනෙක් මේ ගැන හරියටම දන්නා බවක් නොපෙනේ. සියල්ලෝම අඳුරේ අත පත ගායි. නොදන්නා යමක් ගැන පැවසීමත් එතරම් ගුණදායක නොවේ. එහෙත් නේපාලය, බංග්ලාදේශය, භූතානය වැනි රටවල් ඉන්දියාව සමග ගිවිසුම් ගතව අද පත්ව ඇති තත්වය දෙස බලන විට පවතින ආර්ථික පරිසරය තුල කුමන හෝ ආකාරයක බාධක-හල භාණ්ඩ හා සේවා හුවමාරු ගිවිසුමකට යාම ලංකාවට ඉතා අවාසිදායක බව නම් ආර්ථික විද්‍යාව ගැන එතරම් දැනුමක් නැත්තෙකුට වුවද අවබෝධ වන බව මගේ හැඟීමයි. මීට අමතරව මෙතෙක්  මෙම ගිවිසුමට පක්‍ෂ කිසිම කෙනෙකුගෙන් මම මෙයින් ලංකාවට ඇතිවන වාසි පිළිබඳව නිවැරදි සරල පැහැදිලි කිරීමක් නොසුවෙමි. අනෙක් අතට මෙම ගිවිසුමට එරෙහි වන්නන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන කරුණු සෑහෙන දුරකට තර්කානුකුල බව මට හැඟෙයි.  මා එට්කා ගිවිසුමට එරෙහි වන්නේ මේ පදනමේ සිටයි. 

ඉන්දියාව සමග නොව කළාපයේ අනෙකුත් සියලුම රටවල් සමග වුවද නොයෙකුත් ගණුදෙනු උදෙසා ගිවිසුම් ගත වීම යුගයේ අවශ්‍යතාවයකි. විශේෂයෙන්ම කළාපීය යෝධයෙකු අසල සිටින විට ඔහු හා සබැඳියාවෙන් කටයුතු කිරීම නුවණක්කාර කමකි. එහෙත් ගිවිසුම් ගත වූ පසු තමන් සිටින තැනිනුත් පහලට වැටේ නම් එවන් ගිවිසුමකින්  ඈත් වී සිටීම රාජතාන්ත්‍රිකත්‍වයේ පරිණතභාවය පෙන්නුම් කරයි.  



අප රටේ ඉතිහාසය පුරාම අපි ඉන්දියාවෙන් බොහෝ දේ ගත්තෙමු. නමුත් අන් කවර කලෙකටත් වඩා අද අපි ඔවුන්ගෙන් දේවල් ගනිමින් සිටිමු. මා මේ පිළිබඳව අනෙක වාරයක් ලියා ඇත. කාන්තා ජාතික ඇඳුම හෙවත් සාරිය 100%  පාහේ ඉන්දියාවෙන් ආනයනය කරයි. අඩුම තරමින් අපේ හාමුදුරු නමක් අඳින අඳන-කඩය වත් ලංකාවේ සාදන්නේ නැත. එය එන්නේද ඉන්දියාවෙනි. දුප්පතාගේ රථය, බජාජ් ත්‍රී වීලරය එන්නේ ඉන්දියාවෙනි. පිටකොටුව-ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාළනය කරන්නේ ඉන්දියන් ජාතිකයන්ය. ඔබ නොදන්නවාට හොද්දට දාන කහ කුඩු ටිකේ සිට වැඩට යන අශෝක් ලේලන්ඩ් බසය හරහා ජීවිතයේ සෑම අංගයක්ම පවත්වාගෙන යාමේ භාණ්ඩ සහ සේවා වැඩි හරියක් අපි ඉන්දියාවෙන් ලබා ගන්නෙමු. 

අනෙක් අතට ලංකාවෙන් හිරමනයක්වත් ඉන්දියාවට අපනයනය කෙරේදැයි සැක සහිතය. අපට ඉතා අවාසි සහගත මේ වෙළඳ ගනුදෙනු සිදුවන්නේ කිසිඳු ගිවිසුමකින් තොරවය. තවත් ගිවිසුමකින් වන්නේ මහා පරිමාණයෙන් අඩු වේතනයට සේවා ලබා දෙන පහල තලයේ ශ්‍රමිකයන් රටට ඇතුල් වීම පමණි. ඉහල පෙලේ වෘත්තීය විශේෂඥයෙකුට ඉන්දියාවේ පෞද්ගලික අංශය මසකට ගෙවන වේතනය ලංකාවේ ආයතනයකට වසර දෙකකටවත් ගෙවිය නොහැක. මේ නිසා එබඳු විශේෂඥයන් මෙම ගිවිසුම මගින් ලංකාවට ගෙන්වාගත හැකැයි සිතීම විහිළුවකි.  

අප මේ පවත්නා ලෝක සහ කලාපිය ආර්ථික පරිසරය තුල සැලකිය යුතු වේගයකින් ඉදිරියට යාමට නම් අප සිටින තත්වයත් කලාපයේ අනෙක් රටවල් වල තත්වයත් පිළිබඳව මනා දැනුමකින් කටයුතු කලයුතුය. මෙම අවබෝධය පාලකයාගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ ඔලුවල පමණක් නොව සාමාන්‍ය ජන විඥානය තුළද සැබෑ ලෙසම ඇති විය යුතුය.

ඉන්දියාව යනු ලෝකයේ අධිකතම ජනගහණ ඝනත්වයක් ඇති රටකි. සීමිත සම්පත් ප්‍රමානයක් සමග ඔවුන් යන ගමනේදී රටේ සැහෙන ජන කොටසකගේ  අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍යය සහ නිවාස වැනි මුලික අවශ්‍යතා සපුරා ලීම වුවද විශාල අභියෝගයකි. මෙහිදී ඇතිවන අඩු පාඩු සහ දුර්වලතා හාස්‍යයට ලක් කිරීම බොහෝ විට සිදුවන්නේ බටහිර මාධ්‍ය හරහාය. ඒ ඔස්සේ යමින් අපිද බටහිරයා සමග සිටගෙන ඉන්දියාවට සිනාසෙමු. එහෙත් අපි නොසිතන කරුණ නම් බටහිරයාට ඉන්දියාව සහ ලංකාව අතර වෙනසක් නොමැති බවයි. ඔවුහු අපටද එලෙසම සිනාසෙති. 

ඔබ වනාතමුල්ල මුඩුක්කු පෙලට ගොස් ඇත්නම්, ඔබ ඉන්දියාවට සිනාසෙන්නේ නැත. කුණුවෙන්න ආසන්න පළතුරු වට්ටිය දාහේ, දෙදාහේ කොළවලට හුවමාරු වෙන කතරගම පුජා භූමියෙන් සැතපුම් 10 ක් ඈතට යන විට දිනකට රුපියල් සියයකවත් ආදායමක් නොලබන කෙසඟ මිනිසුන් සිටින පැල්පත් ඇති බව ඔබ අමතක කරයි. 




අනෙක් අතට ඉන්දියාව තාක්ෂණික සහ ආර්ථික අංශ වලින් ශ්‍රී ලංකාවට වඩා ආලෝක වර්ෂ කිහිපයක් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනෙකු නොදනී. වසරකට තමිල්නාඩුවේ පමණක් නිපදවෙන ඉන්දීය නොවන වාහන (යුරෝපීය, ඇමරිකානු, ජපන්, කොරියානු ආදී) ප්‍රමාණය ලංකාවට වසරක් තුල ආනයනය කරන මුළු වාහන ප්‍රමාණය මෙන් විසි ගුණයකට වඩා වැඩිය. මුළු ලංකාවම තොරතුරු තාක්ෂණයෙන් (IT Industry) ලබන ආදායම, බැංගලෝර් නගරය එමගින් ලබන ආදායමෙන් 10%ත් වඩා අඩුය. මේ ගැන තව දුරටත් කරුණු අවශ්‍ය නම්  ගුගුල් සෙව්මක් මගින් දත්ත හරියටම සොයාගත හැක. 

කල යුත්තේ ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග විසංවාදයකට අවතීර්ණ වීම නොව උපක්‍රමිකව එම රටවල් සතු දැනුම සහ තාක්ෂණය ලබා ගැනීමත්, එම රටවල වෙළඳ පොලට ඇතුළු විය හැකි නව මං පෙත් සොයා ගැනීමත්ය. 

සරළ උදාහරණයක් දෙනවා නම් ඉන්දියාවේ ඇති බොහෝ ඉන්දීය-යුරෝපීය හවුල් ව්‍යාපාරවල කර්මාන්ත අංශයෙහි තත්ත්ව සහ ප්‍රමිති පාලනයේ ඉහලම ධූරයක ශ්‍රී ලාංකිකයෙකු සිටින බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. මීට හේතුව ලෙස මා දකිනුයේ, කලාපයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලාංකිකයා තුල නිමැයුම් අවසානය (product finishing) ඉතා හොඳින් කිරීමට ඇති විඥානාත්මක උනන්දුවයි. මෙය යුරෝපියයා මැනවින් අවබෝධ කරගෙන ඇත. බංග්ලාදේශයේ කර්මාන්ත ශාලා වලද මම මේ තත්වය නිරීක්ෂණය කලෙමි. එහෙත් අපේ රටේ කී දෙනෙක් මෙම ලංකාවට ආවේනික වූ හැකියාව හඳුනාගෙන විදේශ ශ්‍රම වෙළඳපොල ජයගැනීමට කටයුතු කරනවා ඇත්ද? 



මා දින කිහිපයකට පෙර වතපොතේ ලංකාවේ ඇති ජල ප්‍රශ්ණය පිළිබඳව ලිපියක් පළ කරමින් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය මෙයට දී ඇති විසඳුම් සඳහන් කලෙමි. එය විශාල වාර ගණනක් ෂෙයාර් වෙමින් පවතින අතර මා එම අඩවි වල මෙම ලිපියට දැක්වූ අදහස් කියවුයෙමි. කිහිපදෙනෙකුම අපේ අතීතයේ වාරි කර්මාන්තයේ තිබු ශ්‍රී විභුතියත්, මහා පරාක්‍රමබාහු රජු ඉන්දියාවට වැව් පොකුණු සෑදීම කියා දුන් අකාරයත් පිලිබඳ සඳහන් කර තිබුණේ ලිපියේ ඇති කරුණු වලට දෝෂාරෝපණයක් ද එක් කරමිනි. 

මට මතක් වන්නේ මෑතකදී ඉතා ප්‍රසිද්ධියට පත් ටෙලි නාටකයක චරිතයකි. එම චරිතය මේ වන විට පාර්ලිමේන්තුවටද ගොස් ඇත. හීං බබා සීයා වර්තමාන සිංහල ජාතියේ කැඩපත බඳුය.  තම අසරණකම මෙන්ම නොහැකියාවද ඔහු තුනී කරගන්නේ තම නැසී ගිය පියාගේ පුරාජේරුව මෙනෙහි කිරීමෙනි. එය හීං බබා සීයාගේ සිතට නිවනකි. එහෙත් ඉන් ඔබ්බට එම සිතිවිලිවලින් කිසිදු සුගතියක් වර්තමානයට නොලැබේ. සිදු වන්නේ ඔහු කොල්ලෝ කුරුට්ටන්ගේ හාස්‍යයට ලක්වීම පමණි. 

අතීතයේ බැඳී වැව් පොකුණු ගැන පාරම්බෑමෙන් වර්තමානයට කිසිඳු යහපතක් නොවේ. 

තව ටික කාලයකින් ඌවට වසිනු ඇත. නියගයක් තිබුණා වත්දැයි අපට අමතක වනු ඇත. වසර දෙක තුනකින් නැවත නියගය පැමිණෙනු ඇත. සරසවි නැවතත් වසනු ඇත. අප නැවතත් මුතුන් මිත්තන් ගැන පම්පෝරි ගසනු ඇත. 


ගංවතුර ගැනද එසේමය. මීට මාස කිහිපයකට උඩදී මුළු කොළඹම යටවී විනාශයක් සිදු වුවා කිසිවෙකුටත් දැන් මතක නැත. එබඳු අවස්ථාවක් නැවත එළඹුන හොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිඳු වගකිව යුත්තෙක් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. 

ගංවතුර නැවත පැමිණෙනු ඇත. දහස් ගණනක් අවතැන් වනු ඇත. අවතැන් නොවුවෝ නිවසේ සිට රූපවාහිනියෙන් ව්‍යසනය නරඹමින් කෙසෙල් ගෙඩි බෙදන පොලිටික්කන්ට සරදම් කරනු ඇත.....

**************************************************
මීට ටික කලකට පෙර මා උපදේශක කටයුත්තක් සඳහා චෙන්නායි නගරයට ගොස් සිටියදී අදාළ ආයතනය මගින් මට තාවකාලිකව දෙන ලද කාර්යාලයේදී මාත් මගේ ඉන්දියානු මිතුරෙකුත් අතර රසවත් දෙබසක් ඇතිවිය.

සවස වැඩ කටයුතු නිමවීමෙන් පසුව ලංකාවේ එදින සිදුවීම් වෙබ් පිටු හරහා නැරඹීම මගේ පුරුද්ද විය. ඉතා සෙමෙන් ස්පීකරය දමාගෙන මා ප්‍රවෘති කොටස් බලන අතර මගේ මිතුරා පැමිණ යාබද අසුනේ වාඩිවී මගේ කොම්පියුටර් තිරය දෙසට එබුණේය. මේ අවස්ථාවේ මා නරඹමින් සිටියේ එදින කොළඹ පැවති ඉන්දීය විරෝධී රැලියකට නායකත්වය දුන් ලංකාවේ "ප්‍රකට" දේශපාලකයෙක් අතින් ගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ගිරිය පුප්පා ඉන්දියාවට බැන වදින ආකාරයයි. 

"මොකද මේ හාදය මේතරම් තරහෙන් කෑගහන්නේ?" මගේ මිතුරා ඇසීය.

"ඔහු ඉන්දියාවට බැන වදිනවා ලංකාවේ වැඩ වලට අත පොවනවා කියලා" මම සිනාසෙමින් ඔහුට ඇත්තම කීවේ ඔහු මගේ ඉතා කුලුපඟු මිතුරෙකු බැවිනි. 

"ආ එක බොහොම රසවත් දෙයක්". ඔහු මගේ අසුනේම කොනක ඉඳගෙන ඉතා උනන්දුවෙන් දේශපාලකයාව නිරීක්ෂණය කරන්න විය.

"චන්දිම මෙතන පොඩි කොස්සක් තියෙනවා. මෙයා ඉන්දියාවට බනින්නේ ඉන්දියාවේම හදපු ස්පීකර් එකකින්නේ". ඔහු දේශපාලකයා අත වූ ශබ්ද විකාශන යන්ත්‍රයේ වෙළඳ නාමය හඳුනා ගනිමින් කීවේ මහා හඬින් සිනාසෙමිනි. රැස්වීමෙන් අනතුරුව සහභාගී වූ සමහරු බජාජ් ත්‍රිරෝද රථවල එල්ලී කොඩි වන වනා ගමන් කරණු පෙන්වන ලදී......