Monday, 18 January 2016

ලෝකෙන් උතුම් රට ඉතියෝපියාවයි



මට එඩ්වර්ඩ් හමුවුනේ වසර 2013 දී බෙයිජිං නුවර පැවති දේශගුණ විපර්‍යාස සම්බන්ධ වැඩමුළුවකදීය. අඩි හයක් පමණ උස පුළුල් උරහිස් සහිත එඩ්වර්ඩ් ඉතියෝපියානු ජාතිකයෙකි. කෝපි කෝප්පයක් තොලගාමින් අපි දෙදෙනා ඉතියෝපියාව ගැන කතාකරන්න වන්නෙමු.

"ඔබ එතරම් සුන්දර රටක් දැක ඇතැයි මා සිතන්නේ නැහැ.  ඇඩිස් අබාබා නගරය පැරිස් නුවර වාගෙයි. රටේ මොන පැත්තට ගියත් ඔබට ලෝකයේ වෙන කොහෙවත් දකින්න නොලැබෙන ස්වභාවික සෞන්දර්යයන් දකින්න පුළුවන්. ඇත්තටම එය ලෝකයේ ඇති අති පුජනිය වූ දේශයයි" එඩ්වර්ඩ් කියාගෙන යයි. ඉන් නොනැවතී, තම පරිගණකයේ ගූගල් සෙවුම ඔස්සේ ඔහු තම රටේ ඇති සුන්දරත්වය මා ඉදිරියේ දැක්විය.




ඇත්තෙම්ම එය සුන්දර දේශයකි. සුවිසල් ගොඩනැගිලි වලින් හෙබි ප්‍රධාන නගර, ප්‍රෞඩ ඉතිහාසයක නටබුන්, චමත්කාර වර්ණ සංකලනයකින් යුත් දනකිල් ප්‍රදේශය, නිල් නයිල් නදිය අවට සාරවත් ප්‍රදේශ, සිනහමුසු මුහුණින් සිටින පෘෂ්ටිමත් පිරිමින් සහ ඉතා රූමත් කාන්තාවන්.

මට මගේ කුඩා කල මතක් වේ. සිසිර නම ඇති ගැටවරයන් දෙදෙනෙක් අපේ නිවසට යාබදව වාසය කලෝය. ඔවුන්ගෙන් ඉතා කෙසඟ සිරුරකින් හෙබි එක් අයෙකුව අනෙක් යහළුවන් හැඳින්වුයේ 'ඉතියෝපියා සිසිර' නමිනි. සැකිල්ල පෑදුන හරකෙකු දුටුවත් "මූ ආවේ ඉතියෝපියවෙන්ද" කියා අසන පුරුද්දක් එවකට තිබුණි.

මා ලංකාවේ මිනිසුන් තුල පවතින මේ අදහස ගැන එඩ්වර්ඩ්ට පැවසූ විට ඔහු කියා සිටියේ 80 දශකයේ ඉතියෝපියාවේ එක් ප්‍රදේශයකට බල පෑ දීර්ඝ කාලීන ඉඩෝරය නිසා ඇතිවූ තත්වයක් බටහිර මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් හුවා දැක්වීම මෙම සංකල්පයට හේතු වූ බවයි.  පසුව මා කල හැදෑරීම්වලින්ද පැහැදිලිවුයේ මුල සිටම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිවූ ඉතිහාසයක් ඇති ඉතියෝපියාව මාධ්‍ය මාෆියාවේ දරුණු පහර දීම්වලට දිගටම මුහුණදී ඇති බවයි.




ජිවිත කාලය තුල මට මුණ ගැසුණු සිය ගණනක් විදේශිකයන් තම රටවල් පිළිබඳව දැක්වුයේ එකම අදහසකි. ඒ තම රට ලෝකයේ ඇති උතුම්ම දේශය බවයි. මෙය ශ්‍රී ලංකාවටද පොදුය. අපේ පාසල් වලද දරුවන්ට කුඩා කාලයේ සිටම දේශාභිමානය වර්ධනය වන ආකාරයෙන්, ඉතිහාස කථා, ආදර්ශ පාඨ, ඔවදන් ඉගැන්වීම පුරුද්දක් ලෙස කෙරෙයි. මෙය ඉතා හොඳ ක්‍රියාවකි. එමගින් දරුවා තුල තම රට පිළිබඳව ආදරයක් සහ ගෞරවයක් මෙන්ම තමා තුලද ආත්ම ශක්තියක් ඇති කරවයි. එහෙත් අවාසනාවට අප රටේ සිදුවන්නේ ඉන් පියවර ගණනාවක් ඔබ්බට ජනතාව ගෙන ගොස් ඔවුන්ව 'ජාති ආල' ෆැන්ටසියක අතරමන් කර දැමීමයි.

බොහෝ විට අප විසින්ම අපගේ ජනතාව හුරු කරවා ඇත්තේ මිම්මක් නොමැති සිහින සංකල්ප තුල සිරවී සිටින අතර, එම සිහින විනාශ කිරීමට ලෝකයේ සිටින අනෙකුත් සියලු දෙනාම උත්සහ දරණ බව සිතමින් වෛරයෙන් ජිවත් වීමටයි.

පසුගිය වසරේ ලංකාවට පැමිණි අතරවාරයේ මා හට හිතවතෙකුගේ දහසය හැවිරිදි පුතෙකුගේ අදහස් වලට කන්දීමේ අවස්ථාව උදාවිය. ලංකාව පිළිබඳව වැඩිහිටි කිහිප දෙනෙකු අතර ඇතිවූ කථා බහකට බලහත්කාරයෙන් මෙන් ඇතුළු වූ ඔහු කියාගෙන ගියේ, අපි තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම ජාතිය, අපේ තමයි ලෝකෙන්ම හොඳම භාෂාව, උතුම්ම ආගම, ප්‍රෞඩතම ඉතිහාසය ආදී වදන් වැලකි. මේ සියල්ලම අසා සිටි මා ඔහුගෙන් ඇසුවේ ඔය කියන ශ්‍රේෂ්ඨත්වය, හොඳකම, උතුම් බව ආදිය මැන්නේ කුමන මිනුම් දඬු වලින්ද කියාය. මේ අනපේක්ෂිත පැණයෙන් කලබල වූ ඔහු "ඕවා එන් ජී ඕ කාක්කන්ගේ ප්‍රශ්න" කියමින් මට දොස් පවරන්න වූ අතර මගේ මිතුරා බැණ වැදී ඔහුව එතනින් එළවා දැමිය.

මගේ මිතුරාගේ පුතා නියෝජනය කරන්නේ අද රටේ තරුණ මෙන්ම වැඩිහිටි සමාජයේද පොදු ආකල්පයයි. වතපොත පුරා පැතිර යන්නේද මේ අදහසයි. අපට ලෝකයේ ඇති දිගම ගංගාව, උසම ගොඩනැගිල්ල, ඉහලම ඒක පුද්ගල ආදායම, වැඩිම ආදායමක් ලබන ගුවන්තොටුපොළ, විශාලම බහාලුම් පර්යන්තය සහිත වරාය නැත. ඒ වෙනුවට, ශ්‍රේෂ්ඨම, උතුම්ම, හොඳම, ලස්සනම, මනරම්ම, ප්‍රෞඩතම ඒවා එමට ඇත. ඊළඟට ඒවා විනාශ කිරීමට හැමවිටම අවි මානාගෙන ඉන්නා සතුරන්ද කෙළවරක් නැත.

ලෝකයේ ඇති හොඳම ඒවා අපිට ඇත්නම් අපේ දේශපාලකයන්ට කරන්න ඇත්තේ ඒවා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම පමණි. අප රටේ සිටි හා සිටින බොහෝ නායකයෝ මේ මනඃකල්පිත සතුරා දිගින් දිගටම හැඩ වැඩ දමමින් පවත්වාගෙන යන්නේ රට පාලනය කිරීමේ හෝ බලයට පැමිණීමේ පහසුම ක්‍රමය එය බැවිනි. එහෙත් අවාසනාවට ඇත්ත තත්වය එය නොවේ. නේපාලය කවදාවත් එවරස්ට් කඳු මුදුන අලෙවි කලේ නැත. එහෙත් එවරස්ට් නැගීමට වසරකට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව පාලනය කිරීමට නේපාල රජයට සීමා පැනවීමට සිදුව ඇත. ඒ එය ලොව උසම කඳු මුදුන නිසාවෙනි. සිංගප්පුරුව ඉතා කුඩා රාජ්‍යයක් වුවත් ලෝකයේ ඇති විශාලම වරාය සහ ගුවන්තොටුපල ඔවුන්ට ඇත. එබැවින් රටේ ආර්ථිකය පිළිබඳව ඔවුනට වැඩි බියක් නැත. මැලේසියාවට සහ ඩුබායි දේශයට වැඩිම ජනතාවක් ඇදෙන්නේද ලෝකයේ ඇති උසම ද්විත්ව කුළුණු ගොඩනැගිල්ල සහ උසම ගොඩනැගිල්ල නැරඹීමටය. අපිට මේ ආදී වූ කිසිවක් නැත. ඇත්තේ අප විසින්ම අර්ථ දක්වාගන්නා වචන කිහිපයකි. නමුත් ලෝකයාට ඒ ගැන වගක් නැත. සියවසකට පෙර සුද්දෙක් ලංකාව ගැන කී හොඳක් ඇත්නම් අපි එය හතර වටේට කරකවමින් තවමත් කරගහගෙන යන්නෙමු.




ලංකාවේ කඳුකරය සුන්දරය. එහෙත් එය ලෝකයේ සුන්දරම කඳුකරය යැයි කීමට පෙර ඔස්ට්‍රියාවේ සහ පකිස්ථානයේ කඳුකරයවත් යූ ටියුබ් ඔස්සේ නරඹන්න.  අප රටේ ඇති ඓතිහාසික නටඹුන් පිළිබඳව සතුටු වන්න. එහෙත් ඒවාට අලංකාර පද යෙදීමට පෙර ලෝකයේ වෙනත් බොහෝ රටවල ඇති පෞරාණික ස්ථාන පිළිබඳව සොයා බලන්න. ඉරානයට, ඉන්දියාවට, චීනයට පිය නගන්න.




අපි ලෝකයේ සුන්දරතම මුහුදු වෙරළවල් අපට ඇතැයි උදම් අනමු. එහෙත් බේකරියෙන් පාන් භාගයක් සහ පෙට්ටි කඩෙන් පරිප්පු පීරිසියක් මිළදී ගෙන, බෝක්කුව උඩ ඉඳගෙන දවාලට කන හම්පඩ සුද්දන් කිහිප දෙනෙක් මෙරට මුහුදු තිරයේ සුව විඳීමට පැමිණෙද්දී දහස් ගණන් කෝටිපතියන් ඉන්දුනීසියාවේ බාලි දුපතට, තායිලන්තයේ ෆුකට් සහ පතායා ප්‍රදේශවලට, හවායි දුපත් වලට ඇදෙන්නේ ඇයිදැයි අප සිතන්නේ නැත.   

වසරකට ලංකාවට පැමිණෙන ධනවත් විදේශිකයන් ගණන මෙන් දෙගුණයක් කොළඹ ගුවන් තොටුපල හරහාම ඉතා කුඩා මාල දිවයිනට ගමන් කරන බව කනගාටුවට කරුණක් නොවේද? 2013 වසරේ වැඩිම විදේශිකයන් පිරිසක් පැමිණි රටවල් දහයෙන් ඉන්දියාව ඉවත් කල විට, ලංකාවට ආසන්න වශයෙන් 550,000 ක් පැමිණෙද්දී මාල දිවයිනට 1,100,000 පැමිණ ඇත. අපිට කොහේදී හෝ වැරදී ඇත. 

සිහින ලෝකයෙන් නික්මී පියවි ලෝකයට පිය නැගීමට දැන් කාලය එළඹ ඇත. 

සංචාරක කර්මාන්තයෙන් රටක් ඉහලට ගැනීමට ලෝකයේ ලොකුම, උසම, හොඳම ඒවා අවශ්‍ය නොවන බව මගේ අත්දැකීමයි. මා පිය නගා ඇති ලෝකයේ බොහෝ සංචාරක ස්ථාන විදේශිකයන්ට ආකර්ෂණීය වී ඇත්තේ එහි ඇති නැරඹීමට හෝ රසවිඳීමට හැකි දෙයට වඩා සංචාරක සහ අලෙවි කලමනාකරණය නිසාය. 

උදාහරණයක් ලෙස මම මැලේසියාවේ ඇති ධන උල්පතක් වන 'ගෙන්ටින් හයිලන්ඩ්' විනෝද උද්‍යානය (amusement park) ගන්නම්. කුඩා කඳු ගැටයක් සහ අසලින් ගලා යන දිය පහරක් ආශ්‍රිතව ගොඩ නගා ඇති මෙම උද්‍යානය කිසිඳු, පාරිසරික, ඓතිහාසික හෝ ජෛව විද්‍යාත්මක වැදගත්කමක් නොමැති ස්ථානයකි. එහෙත් එය මැලේසියාවට මිලියන ගණනින් සෙනග අද්දවයි. ලංකාවේ මෙබඳු ස්ථාන දහසකට වඩා ඇති බව මගේ හැඟීමයි. එහෙත් ඒවා ධන උල්පත් කිරීමට හැකි බව අප සිහිනෙන්වත් සිතා නැත. මා මගේ ලාංකික මිතුරන්ට නිතර කියන දෙයක් නම් 'කිතුල්ගල' මැලේසියාවේ හෝ චීනයේ තිබුනා නම් අද එය ඩොලර් කන්දක් බවට පත්වී තිබෙනු ඇති බවයි. 



විශාල අමතර වියදමක් නොමැතිව වුවත් අපට අලෙවි කල හැකි සීගිරිය, දළදා මැදුර, රජරට නටඹුන් ආදී ස්ථානද අප මනාසේ කළමනාකරණය කිරීමට නොදන්නා සේයකි. මෙම ස්ථානවලට ඇතුළු වීමට ඩොලර් 20-25 වැනි මිලකට විදේශිකයෙක් ටිකට් පත් මිලදී ගත යුතුය. දේශීය සංචාරකයෙකුට මේ සඳහා ගෙවීමට සිදුවන්නේ ඩොලර් එකකටත් අඩු මුදලකි. මෙමගින් අප සංචාරකයා මුලින්ම සිත් වේදනාවට පත් කරයි. රටක් ලෙස අප මුදල් සෙවිය යුත්තේ මෙලෙස ඇතුල්වීමේ ටිකට් පත්වලින් නොවන බව අපේ පාලකයන්ට නොතේරීම අපේ අවාසනාවයි. මෙලෙස අධික මුදලකට ඇතුල්වීමේ ටිකට් පත් විකුණා අප සොයන මුදල සොච්චමකි. එහෙත් එමගින් අප ලෝකයට දෙන පණිවිඩය මෙරට ලැබීමට තිබෙන ඩොලර් කෝටි ගණනක් නවතාලයි. 

එලෙස අධික මිලකට ටිකට් පතක් ගෙන ඇතුළුවන විදේශිකයෙකුට, භාවිතා කිරීමට සුදුසු වැසිකිලියක් නැත, අවශ්‍ය ආකාරයට කෑමක් බීමක් මිලදී ගැනීමට ආපනශාලාවක් නැත. මහන්සි වූ විට රැඳී සිටීමට විවේකාගාරයක් නැත, ඇතුලත සංචාරයට විදුලියෙන් දුවන මෝටර් රථ නොමැත. සමහර ස්ථානවල අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට ආවරණයක් හෝ නොමැත. අප ඉන්දියාවේ සිට ඇමරිකාව දක්වා සියලුම රටවලින් පැමිණෙන විදේශිකයන්ගෙන් අය කරන්නේ ස්විට්සර්ලන්තයේ සංචාරක ස්ථානයකට ඇතුළු වීමේදී අය කරන මිලයි.  එහෙත් ඔවුන්ට ලබා දෙන්නේ ඉන්දියානුවෙකුට ඉන්දියාවේදී ඩොලර් භාගයක ටිකට් පතක් ගත් විට ලැබෙන සැලකිල්ලයි. මේ ආකාරයට රටක සංචාරක ව්‍යාපාරය දියුණු කල නොහැක.




ප්‍රථමයෙන් කල යුත්තේ තෝරා ගත් සුදුසුකම් සහිත පිරිසක් ලෝකයේ ඇති ප්‍රකට සංචාරක ස්ථාන වලට යවා ඔවුන්ගෙන් ක්‍රමවත් ලෙස සකස් කල වාර්තාවක් ලබා ගැනීමයි. ඉන් පසු ඒ අනුව අපගේ අඩු පාඩු නිවැරදි කරගැනීමයි. අවාසනාවකට මෙවැනි සංචාරයක් ගැන සඳහන් කල පමණින් ඉඳිරියට පැමිණෙන්නේ දේශපාලන හිතවත්කම් සහ ආයතන ප්‍රධානීන්ට සම්බන්ධතා ඇති පුස්සන් පිරිසකි. සාප්පු සහ විනෝද සවාරියක් යෑම හැරුණු කොට ඔවුන්ගෙන් ගත යුත්තක් නැති වනු ඇත. මේ බව දැනගෙන මේ කටයුත්ත ක්‍රියාත්මක කල යුතුය.




මීට වසර කිහිපයකට පෙර Lonely Planet ආයතනය මගින් නම් කල ලොව ඉහළම සංචාරක අගයක් ඇති මුහුදු වෙරළ ලෙස උණවටුන වෙරළ දෙවරක් තේරිණි. අප මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන ඇත්ද? බොහෝ රටවල් මෙබඳු තේරීමක් වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් වැය කරද්දී අපට එය නිකම්ම ලැබුනේය. නිකම්ම ලැබුණු දෙය අපි නිකම්ම පා කර හැරියෙමු. 

නැවත වරක් වසර 2016 දී සංචාරකයන් යා යුතුම රටක් ලෙස ජාත්‍යන්තරය විසින් ලංකාව තෝරාගෙන ඇත. මෙවරත් අපි එය නිකම්ම පා කර යවමුද? 

.................................................

01/01/2021

බොහෝ දෙනෙක් ලංකාව දියුණු කල හැකි ක්‍රමවේද ගැන මගෙන් අසා එවති. කිසිවක් ලිවීමට සිත් නොදුන්නත්, නව වසරේ සිතන්න යමක් මෙසේ ඉදිරිපත් කර නිහඬ වෙමි.
-------
පසුගිය දශකය තුල ලංකාව තෙවරක් Lonely Planet ආයතනයේ ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 න් එකක් ලෙස තේරුණි. එහිදී දෙවරක් එය පළමු ස්ථානයට පත්විය. උණවටුන වෙරළ තීරය ලෝකයේ හොඳම සංචාරක වෙරළ තීරය බවට දෙවරක් පත්විය. ශ්‍රී ලංකාව බුදුදහමේ ගෝලීය කේන්ද්‍රය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලදී.
------
2018 සහ 2019 දී ලංකාවට සංචාරකයන් පිලිවෙලින් මිලියන 2.3 සහ 1.9 පැමිණි අතර ඉන් අති බහුතරයක් ඉන්දියානුවන් විය.

මේ වසරවලදීම අසල්වාසී මාල දිවයිනට පිලිවෙලින් මිලියන 1.4 සහ 1.7 පැමිණි අතර ඉන් බහුතරය යුරෝපය, ඇමරිකාව සහ ශාන්තිකර කලාපයෙන් විය.

මාල දිවයිනේ භූමි ප්‍රමාණය ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 0.5% කි.

ආර්ථික ශ්‍රේණිගත කිරීම් ප්‍රතික්ෂේප කළා මෙන්ම සංචාරක දේශාන්ත ශ්‍රේණිගත කිරීමද අපි ප්‍රතික්ෂේප කළා විය හැක.

.....................

               

Saturday, 9 January 2016

Can the Adam’s Eye Bail out Sri Lanka




Can the Adam’s Eye Bailout Sri Lanka


World's largest blue star sapphire 'found in Sri Lanka'. This is what BBC reports. ‘The gem is valued at least $100m and the current owner estimates that it could sell for up to $175m at auction’, it continues.

If sapphires found in Sri Lanka are called Adam’s tears; tears shed by Adam for expelling from the heaven and turned to be gems over the years, then we have found the Adam’s Eye.

For all these years we were talking about the proudest history, holiest country, purest ancestry, best natural beauty etc.; all are non-measurable. Any other country could also claim so. We did not have the tallest, longest, largest or oldest something to show the world. 

And now we got it.

Can this Adam’s Eye make the breakthrough in Sri Lankan economy? I am not referring to the USD 100 million, which is a peanut in a politician’s perspective. It may be a magnet that could attract millions of tourists to the country.

There are several long due ‘bests’ in the country that may have completely changed our fate. One is a national Gem Museum.



Every time that I organize an international event in Sri Lanka or attend such event, a majority of foreign participants ask for a specific thing; to visit a place that displays Sri Lankan gems. Apart from few house-turned-display units  in Colpitty (Colombo 03), where the major focus is to sell few stones to the visitors, there is no place to take them.

Instead of investing in some white-elephant style mega projects we could have invested on a full-scale geological museum, that displays all types of gems in Sri Lanka, samples of rock formations and even minerals. Gradually the contents may be expanded to include samples from the rest of the world. Such a place could have attracted not only tourists but geologists, gemologists, nature conservationists etc. etc. 

We are still not late. If we crown such large museum complex with the Adam’s Eye, the world’s largest blue sapphire, we may attract millions of people per year getting billions of dollars; of course with well-tailored advertising campaign.  The money will flow into the country, not only by sales of tickets to the museum, as you may easily understand. The collection through tickets will be a minute portion of the foreign revenue to the country. 

The government should invest in buying the gem from the owner rather than letting it leave the country for a mere 100 million dollars. Alternatively, the government may come to an agreement with the owner (if he would like) to give a significant portion of the ticket collection to the owner for a long period. Even the museum can be named after him, if he agrees to such proposal.

To make it or break it, the decision is in the hands of the government. Let’s see the fate of the Adam’s Eye and that of us as well. 











Tuesday, 22 December 2015

නිදහස් අධ්‍යාපනයේ මළගම



නිදහස් අධ්‍යාපනයේ මළගම




මිනි පෙටියක් කර තියාගත් සරසවි සිසුන් හතරදෙනෙක් වෝඩ් පෙදෙසෙන් හැරී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇදේ. ඒ පිටුපස ගිරිය පුප්පා කෑගසමින් යන පිරිස අතර මාද පෙරමුණේ සිටියේය. මේ ඇදෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමයි. මිනීපෙට්ටිය නිදහස් අධ්‍යාපනය සංකේත වත් කරයි.

ඒ 87 වසරේ මුල් මාස කිහිපයයි. අපි සරසවියට ඇතුළු වී ඉතා ටික කලකි. පිටිපස්සෙන් දෙන උපදෙස් වලින් ඔබ්බට සිතන්න අපිට ශක්තියක් තිබුනේ නැත.  


වසර 27 කට පසු අදත් ඒ මළගම ඇදෙමින් පවතී. මා වියපත් වී ඇත. එහෙත් තාරුණ්‍ය තවමත් එතැනමය. ඒ සටන් පාඨ, මිනි පෙට්ටි, බැනර් සහ තාරුණ්‍යයේ සුමට නොවූ ජවය තවමත් එහෙමමය.  




"රටක ජීවත්වෙන සියලු දෙනාට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම නිදහස් අධ්‍යාපනයයි".  එක් එක් රට වල, එක් එක් යුගවල විවිධ සමාජ ස්ථරයන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩකට සමාජීය, ආගමික හෝ දේශපාලන රාමු තුලින් අහුරා තිබුණි. 

සමහර ඉස්ලාමීය රටවල කාන්තාන්ගේ පාසල් අධ්‍යාපනයට තහංචි පනවා ඇත. මෙය තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය තුල තදින් පැවතුනි. 90 ට පෙර දකුණු අප්‍රිකාවේ කළු හම සහිත දරුවන් බොහොමයකට නීති මගින්ම අධ්‍යාපනය ලැබීමේ මං අහුරා තිබුණි. ඉන්දියාවේ කාලයක් කුලහීනයන්ට අධ්‍යාපනය ලැබීම සාමාජීය වශයෙන් තහනම් විය. මේ තත්වයට පිලියමක් ලෙස ඉන්දීය රජය කුලහීනයන්ට ලැබෙන විශ්ව විද්‍යාල කෝටාව විශාල වශයෙන් වැඩිකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස කුලවතුන්ට ලැබෙන විශ්ව විද්‍යාල වරම් විශාල වශයෙන් කප්පාදු වූ අතර බිහාර් ආදී ප්‍රාන්ත වල මෙය විශාල සමාජ අර්බුදයක් කරා දිව ගියේය. එහෙත් 80-90 දශකවල ඉන්දියාවේ සීග්‍රයෙන් බිහිවූ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙම අසහනය සමනය කිරීමට සමත් විය. සමහර අප්‍රිකානු රටවල අදටත් මුදල් නොමැති දරුවන්ට ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව නැත.  

මේ නිදහස් අධ්‍යාපනය දකින්න නොලැබෙන අවස්ථා කිහිපයකි.

ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබේද? 



නුතන අධ්‍යාපන සංකල්පයන් එළිදැක්වුණ 19 වන සියවසේ මුල් සමයේ අපේ රටේ පාසල් අධ්‍යාපනය හිමිවුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහ සුපිරි පැලැන්තියේ අතලොස්සක් දරුවන්ටය. මෙය ක්‍රම ක්‍රමයෙන් අනෙක් සමාජීය ස්ථර දක්වා විහිදුන අතර නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සහ මිෂනාරි පාසල්ද මුදලක් අයකර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ පාලනය යටතේ වූ පාසල්ද ක්‍රමයෙන් බිහිවිය. 50 දශකයේදී රජයේ පාසැල් බොහොමයක් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත්වුණි. ඒ සමගම අලුතින් පෞද්ගලික විද්‍යාල කිහිපයක්ද  ඇරඹුනේය. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, දේවි බාලිකා වැනි පාසල් රාශියක් සුපිරි තලයට වර්ධනය වූ අතර සමහර පාසල් අසාර්ථක වී වැසී ගියේය. අදත් රජයේ සමහර පාසල් වැසෙමින් පවතී. ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ට්‍රිනිටි, ශාන්ත බ්‍රිජට්, මියුසියස් වැනි පෞද්ගලික අංශයේ මුදල් අයකරන පාසල්ද රටේ ඉතා ඉහල තලයකට නැගුනු අතර පෙම්බ්‍රොක් වැනි සමහර පාසල් අසාර්ථකවී වැසී ගියේය.

90 දශකයේදී හතුපිපෙන්නක් මෙන් රටේ ජාත්‍යන්තර පාසල් විවෘත වූ අතර ඉන් CIS, AIS වැනි පාසල් කිහිපයක් ජාත්‍යන්තරවද පිළිගැනීමකට ලක්විය. සමහර ඒවා අසාර්ථක වී වැසී ගියේය. අප රටේ නොයෙකුත් ආගමික පසුබිම් වලට අයත් පාසල්ද, බාධිත දරුන්වන් සඳහා පාසල්ද ඇත. මේ අනුව සමාජයේ ඕනෑම තරාතිරමක දරුවෙකුට තමන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. මෙය සැබෑ "නිදහස් අධ්‍යාපනයයි".  නමුත් එය "නොමිලේ අධ්‍යාපනය පමණක්" නොවන බව අප කාටත් පහසුවෙන් වැටහේ. නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ එක් වැදගත් අංගයක් පමණි. එම අංගය නොතිබුනානම් මුදල් ගෙවාගත නොහැකි සමාජ පන්තියට අධ්‍යාපනය  අහිමිවේ. එහෙත් "නොමිලේ  අධ්‍යාපනය පමණක්" නිසා මුදල් ගෙවාගත හැකි පන්තියට තමාට මුදල් ගෙවා ලබාගත හැකි  අධ්‍යාපන ඉඩ කඩ ඇහිරෙයි නම් එය නිදහස්  අධ්‍යාපනය නොවේ. 

ලංකාවේ නොමිලේ අධ්‍යාපනය  දෙන පාසල් ටික විතරක් තිබුනානම් අද ඇතිවන තත්වය කුමක්දැයි වටහා ගන්න. මුදල් ගෙවා අධ්‍යාපනය දෙන පාසල් වලින් බිහිවී රට කරවන තැනටම ගිය ඩී එස්, ඩඩ්ලි, එස්. ඩබ්. ආර්. ඩී, සිරිමාවෝ, චන්ද්‍රිකා ආදීන් ගැන සිතන්න.මෙම පාසල් වලින් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ සහ යුද්ධයේදී දිවිදුන් රණ විරුවෝද බොහෝමයකි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඵලයන්ය.

අවාසනාවකට අප රටේ තෘතික අධ්‍යාපනය මෙම "නිදහස් අධ්‍යාපන" සංකල්පයෙන් බැහැරවී "නොමිලේ අධ්‍යාපනය" නම් තැනට තල්ලු විය. මෙහි අහිතකර ප්‍රතිපල රාශියක් අද අපි විඳිමින් සිටිමු. 

මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ, තෘතික මට්ටමේදී නොමිලේ අධ්‍යාපනය පමණක් යන සංකල්පය අද කියුබාව හැර ලොව කිසිම රටක නොමැති බවයි (මා දන්නා තරමින්).  අවාසනාවකට ලංකාවේ එය ඇත්තේද නැත,  නැත්තේද නැත. මේ තත්වය තුල ජනතාව වඩා අසීරු තත්වයකට පත්ව ඇත. කියුබාවේ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසු අයුරින් ද්විතීක අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙකුටම එම අවස්ථාව හිමිවේ. එබැවින් පෞද්ගලික සරසවිවල අවශ්‍යතාවයක් නොදැනේ. එහෙත් ලංකාවේ සරසවියකට ඇතුල්වීමට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ විභාගය සමත්වන (එනම් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන) සිසුන්ගෙන් 15%-20% අතර ප්‍රමාණයකටය. ඉතිරි 80%-85% ට නොමිලේ දෙන සරසවි අධ්‍යාපනයත් නැත. මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබන්නට ඉඩකඩද නැත. මේ කිනම් "නිදහස් අධ්‍යාපනයක්" ද?

මෙහිදී මා භාවිතා කරන පෞද්ගලික සරසවි යන යෙදුම එතරම් සුදුසු නොවේ. මන්ද බොහෝ රටවල රජය මගින් පාලනය වන සරසවිවලද අධ්‍යාපනය සඳහා යම් මුදලක් අයකරන බැවිනි. එහෙත් ලංකාවේ මුදල් අයකරන සරසවි සඳහාම පෞද්ගලික සරසවි යන්න යෙදීම සුලබ බැවින් මමද එය භාවිතා කරමි. 

ලංකාවේ පෞද්ගලික සරසවි කළඑලියට ඒම වැළකීමෙන් මැද මධ්‍යම පන්තියෙන් බිහිවන්න සිටි වියතුන් බොහොමයක් ද්විතික අධ්‍යාපනයෙන් එහා යාමට නොහැකිව අතරමන් විය. ලංකාවේ පෞද්ගලික සරසවි තිබුනානම් මේ බොහෝ අයෙකුට උපාධිධාරීන් හෝ ආචාර්ය වරුන් වීමට තරම් මුදල් වැය කිරීමේ හැකියාවක් තිබුණි. එසේ වුයේ නම් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවන්නට තිබුණි. 50,000 වන හොර දොස්තරලා වෙනුවට නියම දොස්තරලා රටේ සේවය කරන්නට තිබුණි. එහෙත් එය එසේ නොම විය. මන්ද තෘතික අධ්‍යාපනය තුල "නිදහස" නොතිබුන බැවිනි. 

අප රටේ සුපිරි ධනපති පන්තියට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවයක් නොවිය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ) හෝ ඇමරිකාවේ සරසවි වල අධ්‍යාපනය හැදෑරිය. ඉහල මධ්‍යම පන්තිකයාද කෙසේ හෝ තම දරුවන් වෙන රටක උපාධියක් සඳහා පිටත් කර හැරියේය. මුලදී ඔවුන්ද යුරෝපීය සරසවි කෙරේ සිත යොමු කළ අතර පසුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා මැලේසියාව, තායිලන්තය  සිංගප්පුරුව වෙත ගමන් කළේය. 90 දශකයේදී ලැට්වියාව, ලිතුවේනියාව ආදී පරණ සෝවියට් දේශයෙන් කැඩී ගිය බෝල්කන් රටවල්වල සරසවි ඔවුන් අතර ප්‍රචලිත විය. ඉන්දියාව කවදත් තරමක් හැකියාව ඇති මැද මධ්‍යම පන්තියේ දරුවන්ට සරසවි  වරම් ලැබීමේ මාර්ගයක් විය. අද ඊටත් වඩා ජනප්‍රිය බංගලාදේශයේ සරසවිය. මේවන විට ලංකාවේ සිටින  ධනවත්  වෛද්‍යවරු සැහෙන දෙනෙකුගේ දරුවෝ බංගලාදේශයේ හා ලැට්වියාවේ සරසවි වල වෛද්‍ය විද්‍යාව හදාරති.  

ලංකාවෙන් මැලේසියාවේ සරසවි වලට පමණක් වසරකට සිසුන්ගෙන් ලැබෙන අදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධිකය. මුළු ලෝකයේම සරසවි වල ඉගෙනුම හදාරන අපේ දරුවන් නිසා රටෙන් ඉවතට ඇදෙන මුදල ඔබට සිතා ගත හැක. මෙම ගණනය කිරීම් වලට විදේශගත වීම සඳහා සහ විදේශයක ජීවත්වීම සඳහා වැයවන මුදල එකතු කර නැති බව සලකන්න.   

2001-2003 වකවානුව තුල නව ප්‍රවණතාවයක් වුයේ විදේශ සරසවි වලට අනුයුක්ත ශාකා සරසවි ලංකාවේ පිහිටුවීමයි. මෙය මැද මධ්‍යම පන්තියට මහත් අස්වැසිල්ලක් විය. වසර 2 හෝ තුනක් ලංකාවේ ඉගෙනීම කර අවසාන වසර හෝ වසර කිහිපය සඳහා වෙන රටකට යාම මෙහිදී සිදුවිය. මුළු උපාධියම වෙන රටක කරනවාට වඩා මෙහිදී දැරිය යුතු වියදම සැහෙන්න අඩුය. කෙසේ නමුත් මෙම ක්‍රමයේදීද වැඩි මුදලක් අපේ රටෙන් ඉවතට ඇදෙයි. 

පෞද්ගලික සරසවි නොතිබුණා කියා අපේ රටේ නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි දියුණුවී තිබේද? 


ප්‍රථමික හා ද්විතීක අධ්‍යාපන ස්ථර වලදී අඩුපාඩුකම් මධ්‍යයේ වුවද අපේ පාසල් පද්ධතිය ලොව බොහෝ රටවල ඉහල ඇගයීමකට ලක්වේ. මෙය රජයේ මෙන්ම පෞද්ගලික පාසල්වලටද එකසේ පොදුය. මා කලින් සදහන් කල ආකාරයට වසර විස්සකට අඩු කාලයකදී බිහිවූ ජාත්‍යන්තර පාසල් කිහිපයක්ම බ්‍රිතාන්‍යයේ පවා හොඳ ඇගයීමකට ලක් වෙමින් පවතී. එහෙත් නොමිලේ අධ්‍යාපනය පමණක් වූ අපේ සරසවි බොහෝ ශ්‍රේණිගත කිරීම් වල ඉතා පහල මට්ටමක පවතී. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කිහිපයක අපේ සරසවි 1700-2500 අතර අංකනයක් ලබා ගනී. ලොව ඉතා දිළිඳු රටවල් වන බංගලාදේශයේ හා සිම්බාබ්වේ හි සරසවි පවා අපට ඉදිරියෙන් සිටිතී. 

පර්යේෂකයන්ගේ වර්ගීකරණය (H-අංකනය) අනුව ගත්තත් අපේ ජේෂ්ඨ මහාචාර්යවරුන් පවා ඉතා පහල අංකනයක හෝ අංකනයක් නොමැති තත්වයකට පත්ව ඇත. මෙය අපේ රටෙන් බිහිවන විද්වතුන්ගේ හැකියාවේ අඩුවක් ලෙස මා නොදකින්නේ 90 මුල් හා මැද භාගයේ ප්‍රථම උපාධිය අපේ සරසවි වලින් ලබාගෙන ඇමරිකාවට ගිය සමහරුන් මේ වනවිට H-අංකනය 20 ද ඉක්මවා ඇති බැවිනි (මෙය ඉතා ඉහල අගයකි). මෙම තත්වය තේරුම් ගැනීමට මම පහත උදාහරණය ඉදිරිපත් කරමි.

දශක ගණනාවක සිට පැවත එන ලංකාවේ සරසවි වල ඉංජිනේරු පීඨ බොහෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්වන්නේද නැත (2000 න් හෝ 3000 න් පහල බැවින්). වසර 1997 දී ආරම්ඹ කළ මා සේවය කරන මැලේසියාවේ පුත්‍රා සරසවියේ ඉංජිනේරු පීඨය මේවනවිට ජාත්‍යන්තර ශේණිගත කිරීම් වල 235 ස්ථානයේ පසුවේ. මෙය රජයේ සරසවියකි. එහෙත් ඉගෙනීම සඳහා සිසුන් මුදල් ගෙවිය යුතුය. මෙහි පශ්චාත් උපාධි හදාරන 75% වැඩි පිරිසක් විදේශීය සිසු සිසුවියෝ වෙති.

මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිසුවෝ හැමවිටම තමා ගෙවන මුදලට සරිලන තත්වයක තම සරසවිය තිබෙනවාදැයි සොයති. මෙහිදී සියලු සිසුන් සරසවියේ ශ්‍රේණිගත අංකනයත් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් නම් සිය පර්යේෂණ මහාචාර්යවරයාගේ H-අංකනයත් සොයා බැලීමට උත්සුක වෙති. මේ නිසා හැකි ඉක්මනින් සිය අංකනයන් ඉහලට ගෙන ඒමට බලධාරීන්ද කථිකාචාර්ය වරුන්ද නිබඳ උත්සහ දරති.  අපේ සරසවි වලට මේ සඳහා අවශ්‍යතාවයක් නැත. මන්ද උසස්පෙළ සමත්ව සරසවි වරම් ලබන සිසුන්ට වෙන විකල්පයක් නොමැති බැවිනි. ඉතා කුඩා රටවල් වන සිංගප්පුරුවෙත්, හොංකොං හිත් විශ්වවිද්‍යාල අද ලෝකයේ ඉහලම තලයේ පසුවනු දකින විට දීර්ඝ කාලීන අධ්‍යාපන පද්ධතියක් ඇති ලංකාවේ සරසවි වල තත්වය ගැන ඇතිවන්නේ සංවේගයකි.  

තත්වය එසේ නම් පෞද්ගලික සරසවි විරෝධයේ හරය කුමක්ද? 


පෞද්ගලික සරසවි විවෘත කිරීමෙන් අපේ දැනට සරසවි වරම් ලබන සිසු ප්‍රමාණයේ වර්ධනයක් මිස අඩුවීමක් නොවේ. මෙය රටට යහපත් වාතාවරණයකි. 

පෞද්ගලික සරසවිවල ප්‍රමිතිය පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුය. කෙසේ වුවත් මෙම සරසවි වලට නිරතුරු තම ප්‍රමිතිය ඉහලට ගෙන ඒමට සිදුවේ. නොඑසේ නම් ටික කලකින් ඔවුන් ගේ පැවැත්ම නිම වනු ඇත. ඔවුන්ට සෑම විටම අනෙකුත් සරසවි සමග තරඟයක් දීමට සිදුවේ. මේ නිසා ඉහල H-අංකනයක් ඇති කථිකාචාර්ය වරුන් බදවා ගැනීමටත් සිටින අයගේ අංකනය වැඩි කරගන්නා ලෙස ඔවුන් ධෛර්යමත් කිරීමටත් (වැඩිවන අංකනය සඳහා ගෙවීමක් හෝ වර ප්‍රදානයක් කිරීමෙන්) මෙම සරසවි බලධාරීන්ට නිරතුරුව සිදුවේ. සරසවියේ ශ්‍රේණිගත වීම සඳහා වඩාත්ම බලපෑමක් සිදුවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය මගිනි. 

මේවන විට ඇමෙරිකාවේ හා කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානුවන් විශාල  සංඛ්‍යාවක් දිනපතා සිය රටට එමින් පවතී. මෙය ඉන්දියාවේ ඇතිවී තිබෙන ආර්ථික ප්‍රබෝධයත් ඇමෙරිකාව ආදී රටවල ඇතිව තිබෙන ආර්ථික අර්බුදයත් නිසාවෙනි. අප මේ තත්වය දෙස සැලකිල්ලෙන් බැලිය යුතුය. රට තුල අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවේ නම් ඇමෙරිකාවේ සහ අනෙකුත් දියුණු රටවල සරසවි බබළවන අපේ වියතුන්ද මෙරටට නැවත ගෙන්වා ගැනීමට නොහැකි නොවනු ඇත.  

මා දකින ලෙස මෙහිදී සිදුවිය හැක්කේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පහල මට්ටමක තිබීම නොව එය කෙටි කලකින්ම රජයේ සරසවි අභිබවා ඉහලට යාමයි. මෙය පැහැදිලි කිරීමට මම අද පවතින ද්විතික අධ්‍යාපනයෙන් උදාහරණයක් ගනිමි. 

සමීක්ෂණයක් කළහොත්, මේ වනවිට රාජකීය විදුහලෙන් අස්වී CIS සහ AIS ජාත්‍යන්තර පාසල් වලට පමණක් ඇතුළුවන සිසුන් ගණන සැහෙන්න ප්‍රමාණයක් බව පෙනෙනු ඇත. මේ තත්වයට හේතුව රාජකීය විදුහලේ අධ්‍යාපන තත්වය බාලවීම නොවේ. ඒම පාසලේ අධ්‍යාපන මට්ටම පෙර දිනටත් වඩා වැඩිවී ඇති බව මගේ හැඟීමයි. නමුත් සිදුවී ඇත්තේ මෙම ජාත්‍යන්තර පාසල් ඉතා ඉහල ප්‍රගතියක් සීග්‍රයෙන් අත්පත් කරගැනීමයි. මෙය මා දකින ආකාරයට අධ්‍යාපනයේ ඇතිවී තිබෙන හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයකි. දැන් කලයුත්තේ රාජකීය විදුහලේ ප්‍රගතිය වැඩි දියුණු කිරීමද නැතිනම් ජාත්‍යන්තර පාසල් වසා දැමීමද යන්න ඔබ කල්පනා කර බලන්න.
  
ලෝක ශ්‍රේණිගත කිරීම්වල හෝ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඉහලම ඇති සරසවි 100 දෙස බලන්න. ඉන් එකක්වත් නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි නොවේ. දකුණු ආසියාවේ ශ්‍රේණිගත කිරීම් වල ඇති මුල් සරසවි 7 ම මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන ඉන්දියාවේ සරසවිය. මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන සරසවි වල ප්‍රමිතිය පාලනය කල නොහැකි නම් මේ තත්වය ඇතිවුයේ කෙසේදැයි කල්පනා කර බලන්න. 



රජයේ සරසවි වල සිටින සාර්ථක කථිකාචාර්යවරු එයින් ඉවත් වී මෙම පෞද්ගලික සරසවි වලට එක්වෙතැයි යන තර්කයද මා පිළිගන්නේ නැත. ඔවුන් එසේ එක්වෙයි නම් එසේ වන්නේ ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් පෞද්ගලික සරසවි වලින් ගෙවන බැවිනි. මේ සඳහා පිළියම පෞද්ගලික සරසවි තහනම් කිරීමද? 

අපේ කලාපයේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය වැනි අනෙකුත් රටවල්වල නොමිලේ තෘතික අධ්‍යාපනය දෙන රජයේ සරසවිද, මුදලට අධ්‍යාපනය දෙන රජයේ මෙන්ම පෞද්ගලික සරසවිද ඇත. මේ රටවල සිදු නොවන දෙයක් ලංකාවේ පමණක් සිදුවිය හැකිද. 

අනෙක් අතට වෛද්‍ය වෘතිය සලකන්න. අද ඉතා ඉහල තත්වයේ පෞද්ගලික රෝහල් ගණනාවක් ලංකාවේ ඇත. මේ නිසා රජයේ රෝහල්වල සේවය කරන හොඳ වෛද්‍යවරු එයින් ඉවත් වී පෞද්ගලික රෝහල්වල සේවයට යන්නේ නැත. ඔවුන් බොහෝවිට රජයේ රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලේද සේවය කරයි. සිදුවන්නේ වෛද්‍යවරයාගේ සේවය රජයේ රෝහලටත් පෞද්ගලික රෝහලටත් දෙකටම ලැබීමයි. අන්තිමට සිදුවී ඇත්තේ රටේ සිටින වෛද්‍ය වරයාගේ සේවය උපරිම අයුරින් රටට ලැබීමයි. සිදුවිය යුත්තේ මෙයද නැත්නම් සියලු පෞද්ගලික රෝහල් වසා දැමීමද?

පෞද්ගලික සරසවි විවෘත කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදාළ පාර්ශව දැනුවත් විය යුතුය. ප්‍රයෝගික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක් නොමැතිව අරඹන වෛද්‍ය විද්‍යාලයක් අසාර්ථක වන බව නොකිවමනාය. ලෝකයේ සාර්ථක වෛද්‍ය විද්‍යාල සියල්ලටම පහේ තමාගේම වූ ශික්ෂණ රෝහලක් ඇත. ඒම රෝහල් බොහෝ විට තත්වයෙන් උසස් බැවින් තමා සිසු අධ්‍යාපනයට උදව් විය යුතු බව දැන ගත්තත් බොහෝ රෝගීන් ඒම රෝහල් වෙත පැමිණේ. ඇමරිකාවේ බොහෝ වෛද්‍ය විද්‍යාල වල වැඩිම ආදායමක් ලැබෙන්නේ සිසුන්ගෙන් නොව ශික්ෂණ රෝහලෙනි. වෛද්‍ය විද්‍යාලය සමගම ශික්ෂණ රෝහලක් ඇති කිරීමෙන් සිසුන්ට මෙන්ම රටටද වන්නේ යහපතකි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපනය තෘතික මට්ටමේදී ස්ථාපිත කිරීමට නම් ගත යුතු ක්‍රියා මාර්ග දෙකකි. ඉන් පළමුවැන්න නම් සුදුසුකම් ලබන සියලුම සිසුනට නොමිලේ සරසවි අධ්‍යාපනය ලබා දීමයි. දෙවැන්න සරසවි වරම් නොලබන සිසුන්ගෙන් යම් කොටසකට හෝ උපාධියක්  ලැබීමට හැකිවන අයුරින් පෞද්ගලික සරසවි ඇති කිරීමයි. රජය හෝ වෙනයම් ආයතන වලින්  මෙම සරසවි සඳහා සිසුන්ට පුර්ණ සහ පාර්ශ්වික ශිෂ්‍යත්ව ලබා දීම මගින් සරසවි වරම් ලබන සිසුන් ගණන තව වැඩිකළ හැක.

මිලියන 11 ක් ජනගහනය සහිත කියුබාවේ සරසවි ධාරිතාව ලංකාවේ මෙන් 5 ගුණයකට ආසන්නය. එසේනම් මිලියන 23 ක ජනගහනයක් සිටින ලංකාවේ සරසවි සුදුසුකම් ලබන සිසුන් සියල්ලටම උපාධිය ලබාගැනීමේ අවස්ථාව නොමිලේ ලබාදීමට අපි තව කොපමණ දුර යා යුතුදැයි ඔබට සිතා ගත හැක. ප්‍රයෝගිකව මෙය කළ නොහැක්කකි. කළ හැකි නම් ඊට කලින් කලයුතු දේ තව බොහොම ඇත. සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා එයට වරම් නොලැබෙන සිසුන්ගෙන් කොටසකට හෝ අවස්ථාවක් ලබා දීමට නම් පෞද්ගලික සරසවි හැරෙන්නට අපිට වෙන විසඳුමක් නැත.

"නිදහස් අධ්‍යාපනය රැකගනිව්" යන්න පසුගිය වසර තිහක පමණ කාලයක පටන් අද දක්වා හොඳ සටන් පාඨයකි. සටන් පාඨ වලින් රටක් දියුණු කළ හැකි නම් අද ලංකාව ලෝකයේ දියුණුම රටවලින් එකක් විය යුතුය.

මෙහිදී අප සැලකිය යුතු කරුණ නම් තෘතික මට්ටමේදී අපේ රටේ කිසි දිනක නිදහස් අධ්‍යාපනයක් නොතිබුණ බවයි. නැවතත් මා අවධාරණය කරන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් 85% ට පමණ සරසවි යාමට නොහැකි නම් එහි නිදහස් අධ්‍යාපනයක් නොමැති බවයි. 

"නිදහස් අධ්‍යාපනය" ලෙස නම් කළ මිනි පෙට්ටිය ඔසවාගෙන යන දරුවන්ට මම මෙසේ කියමි. ඔබේ සටන "නොමිලේ අධ්‍යාපනය පමණක්" ලෙස වෙනස් කළහොත් ඔබට ඔබ යන ගමනට යම් හරයක් එකතු කළ හැක. එහෙත් ඉන් රටට ප්‍රයෝගික සුගතියක් වෙත් දැයි ඔබ කල්පනා කර බලන්න. 

නොඑසේ නම් ඔබ ඇත්තටම ඔසවාගෙන යන්නේ "නිදහස් අධ්‍යාපනයේ තිඹිරිගෙයිහිම මළගම" බව ඔබ තේරුම් ගන්න.

අවසාන වශයෙන් මම ඔබට යමක් පවසමි. ඔබට ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට පැහැදිලි අයිතියක් ඇත. එහෙත් ඔබට අනෙකාගේ අධ්‍යාපනය නවතන්න යැයි ඉල්ලීමට කිසිඳු අයිතියක් නැත. එය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සාපරාධී ක්‍රියාවක් බව තේරුම් ගන්න. 

................................................................................................
Following is my reply to a comment made with a name 'Aka'. Please check in the "comments" section for his/her comment.

ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයකි.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ සඳහන් කරන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාලයක්ම සිසුන්ගෙන් මුදල් අය කරන බවයි. උදාහරණයකට ඔබ සඳහන් කරන University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වන ගාස්තු චක්‍රය පහත දිගුවෙන් බලන්න.

http://admissions.berkeley.edu/costofattendance

මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස (Freedom of Education) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත.

මා ඔබට සුළු උදාහරණයක් දෙන්නම්. 80 දශකයේදී දී බිහි වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැත්ත විරෝධයක් මතුවූ බැවින් එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණා දැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි. 

නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා අද SAITM හි උප කුලපතිවරයාය.


ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක. 


Tuesday, 3 November 2015

මට හිතෙන හැටි


මට හිතෙන හැටි 


පනස් ගණන් වල දේශපාලන නායකයෝ සිංහල භාෂාව පාසල්වල එකම අධ්‍යාපන මාධ්‍ය කළහ. දෙමළ පාසල් වල දෙමලෙන් උගැන්විය. 

එම දේශපාලන නායකයන් තම දරුවන් පිටරටවලට යවා ඉංග්‍රීසි උගතුන් කළේය. රටේ ධනපති පන්තිය ඔවුන්ව අනුගමනය කළේය. ඉහළ මධ්‍යම පන්තිය දරුවා සිංහලෙන් උගන්වන පාසැලට යැවුවත් ගෙදරට ගුරුවරුන් ගෙන්වා ඔවුනට ඉංග්‍රීසිය හුරු කළේය. නාගරික පහළ මධ්‍යම පන්තියේ ඉහළ කොටසද හැකි පමණින් මුදල් වැය කර තම දරුවා "එලකියුෂන්" පන්තියට රැගෙන ගියේය. 

පහල මධ්‍යම පන්තියේ පහළ කොටසත්, ගොවි - කම්කරු පන්තියත් සිංහලෙන්ම ඉගෙනුම ලද්දේය. 

ලංකාවේ හොඳම සිංහල සාහිත්‍ය කෘති බිහිවුනේ 60-70 දශක වලයි. ඒ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලද පිරිස අතිනි. ඔවුන් ඉංග්‍රීසියේ මෙන්ම සිහල බසෙහිද නිපුණයෝ වුහ. අසුව දශකය පමණ වනතෙක් ලංකාවේ රාජ්‍ය සේවයේ මෙන්ම බොහෝ පෞද්ගලික සේවා ආයතනවලද ඉහළ පුටු දැරුවේ ගම්බද පෙදෙස්වලින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ඉහලට ආ පිරිසයි. 


ක්‍රමයෙන් මෙම පරපුර වඳවී ගියේය. අදවන විට රටේ වැඩි පිරිසකට ඉංග්‍රීසි බස කතා කිරීමට නොහැකිය. සිංහල බසද හරියාකාරයෙන් හැසිරවිය නොහැකිය. අනෙකක් තබා රාජ්‍ය අමාත්‍යංශ වලින් නිකුත් කරණ චක්‍රලේඛන වල පවා සිංහල බස මරා දමා ඇත.

එහෙත් ධනපතියන්ගේද, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේද දරුවෝ මැනවින් ඉංග්‍රීසිය හදාරා රටේ ඉහලම තනතුරුවල රැඳී සිටිති. පහළ මධ්‍යම පන්තියේ ඉහල තලයේ දරුවෝද කෙසේ හෝ මේ ගොඩට බඩගාති. එහෙත් බහුතරයක් වන රටේ ජනතාව සිංහල පමණක් උගෙන නියමාකාර රැකියාවක් නොමැතිව වැලපෙති.  

සරසවි සහ වෙනත් උසස් අධ්‍යාපන සහතික ලබා ගෙන සමාජ ගත වන තරුණ පරපුරේ තත්වයද මෙයයි. ඉංග්‍රීසි බස මැනවින් හසුරුවන එකා ඉහල රැකියාවකට යන අතර එකම සරසවියේ උගෙන ඉහල සාමාර්ථයක් ලබන ඉංග්‍රීසි බැරි එකා කලින් එකාගේ යටතේ රැකියාව කරයි. 


අද අප දකින සමාජ වෛරය මේ අභාග්‍යයේ ප්‍රතිඵලයකි. පෙළපාලි යන සිසුන් කෑගසන්නේ පෞද්ගලික සරසවි ප්‍රමිතිගත කරන්න කියා නොවේ, ඒවා වැසීමට කියාය. ඒවා වැසුවා කියා ධනපති හෝ ඉහළ මධ්‍යම පන්තියට දැනෙන්නේ නැත. ඔවුන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ වෙනත් රටවලය. ඒවායේ ඉගෙනුම අවසන්කර පැමිණෙන විට ඔවුන්ට ඉහල රැකියාවක් සහතිකය. 

මෙරට ඇති පෞද්ගලික සරසවි වලට තම දරුවන් ඇතුල් කරන්නේ අමාරුවෙන් මුදල් සරිකරගන්නා පහළ මධ්‍යම පන්තියේ ඉහල කොටසයි. මේවා වසන්න කියා පහළ මධ්‍යම පන්තියේ පහලින් සහ ගොවි-කම්කරු පන්තියෙන් පැමිණි සරසවි සිසුන් මොර දෙන්නේ ඔවුන්ට යන්තමින් හෝ තරඟ කල හැක්කේ මේ පන්තිය සමග පමණක් බැවිනි. 

මේ අවාසනාවන්ත අසහනකාරී තරඟය ඇතිවන්නේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසිය කරන කොටගෙනය. අපි සුද්දාගේ භාෂාව රටේ බහුතරයකගෙන් මකා දමා ඔවුන්ගේ වහල් චින්තනය පමණක් සිංහලෙන් කරගසා ගෙන යමින් සිටිමු. මේ තත්වය ඇති කල දේශපාලකයා අයිති වුනේ ධනපති පන්තියටයි. අද ඔහුගේ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම සාර්ථක වී ඇත.



උගුර ලේ රස වනතුරු කෑගසමින්, පොලිස් බැටන් පහර කමින්, ලේ හලා ගනිමින් ඇදෙන සරසවි සිසුවා දකින මේ ධනපති පන්තිය  "stupid idiots, they are wasting our tax money" යැයි පිළිකුලෙන් පවසති. 

ඒ ගමන්ම තම අධ්‍යාපන කඩවේයිදෝ කියා බියෙන් තැතිගෙන සිටින පෞද්ගලික සරසවි සිසුවා දෙස බලන ඔවුන් "I feel sorry for these poor buggers. They should understand that they cannot reach our levels" යයි ඔලොක්කුවෙන් කියති. 

මේ උභතෝකෝටිකය කෙටි කලකින් විසඳීමත් පහසු නැත. ඉංග්‍රීසිය යලිත් ගමේ පාසලට ගෙනයාමට ඉංග්‍රීසි උගත් ගුරුවරුන් අවශ්‍යය. එබඳු ගුරුවරුන් තැනීමට ගමේ ඉස්කෝලයෙන් ඉංග්‍රීසි උගත් දරුවන් බිහිවිය යුතුය. 

සැමටම කලින් රටේ බහුතරයක් ජනතාවගේ ඇස් පෑදිය යුතුය.