අප මේ වන විට සිටින්නේ ඉතිහාසයේ දුර්වලම විපක්ෂය සමගය. මා කියන්නේ විපක්ෂයේ අඩු පාර්ලිමේන්තු ආසන ගණන ගැනවත්, ඔවුන්ගේ සංවිධාන ශක්තියේ පිරිහීම ගැනවත්, මිනිස්-ධන බලය අඩුවීම ගැනවත් නොවේ. ඔවුන්ට ඉදිරි වැඩපිළිවෙලක් හෝ දැක්මක් නැතිකම ගැනය. මීට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ ඔවුන් 2022 අරගලය සම්පුර්නයෙන්ම වැරදියට කියවා ගැනීමයි. විප්ලවයක් බලහත්කාරයෙන් ඇති කල නොහැක. එය ජනතාව තුලින්ම ඇතිවිය යුතුය. ඔබ දක්ෂ දේශපාලකයෙකු නම් ඔබට කල හැක්කේ ඇතිවන විප්ලවයට නායකත්වය දීම පමණි. මෙය ජන අරගල වලටද වලංගුය.
ඉතා සාධාරණ උපකල්පනයක් වන්නේ මෙවන් ජන අරගලයක් තවත් සියවස් ගණනාවකටවත් ලංකාවේ සිදු නොවන බවයි. නමුත් විපක්ෂය ක්‍රියා කරන්නේ අරගලය සිල්ලරට ගත හැකි භාණ්ඩයක් ලෙස සිතාගෙනය.
ප්‍රධාන විපක්ෂ සංඝටක දෙකට සටන ඇත්තේ ආණ්ඩුව සමග නොව තම පක්ෂ දෙක අතරය. ඔවුන් ආණ්ඩුවට තරඟෙට පහර දෙන්නේ ආණ්ඩුවට රිද්දීමට වඩා මහජනතාව අතර තමන්ට අනෙක් විපක්ෂ කණ්ඩායමට වඩා වැඩි බලයක් තිබෙන බව පෙන්වීමටය. ඔවුන් හීන දකින ඊළඟ අරගලය අද හෙට පැමිණෙද්දී තමන් මුදුනා වීම දෙපාර්ශවයේම අභිප්‍රායයි. මේ නිසා ඔවුහු ප්‍රධාන මැතිවරණයක සේයාවක්වත් නැති කාලයක කිසිඳු ප්‍රයෝගිකත්වයක් හෝ වැදගන්මක් නැති විකටරූපී ප්‍රකාශන නිකුත් කරති, තම උපරිම ශක්තිය යොදා ජන රැලි, විරෝධතා කරලියට ගෙන එන්න උත්සහ කරති. මේ මගින් ඔවුහු තම ආධාරකරුවන් වෙහෙසට පත් කරති. නියම අවශ්‍යතාවය පැමිණෙන විට ඔවුන්ට ඉතිරිවන්නේ හෙම්බත්වූ පාක්ෂිකයන් රොත්තකි.
මෙයට හොඳම උදාහරණය හරිණි අමරසුරියට එරෙහිව සංවිධානය කරන විරෝධතායි. තම ධනය, ශ්‍රමය වැය කරගෙන කරන මේ විරෝධතාවයන්ගේ අරමුණ කුමක්දැයි ඔවුන්ටම වැටහීමක් නැත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට තමා විරුද්ධ නම් එයට එරෙහි වීමේ කිසිඳු අවුලක් නැත. එහෙත් හරිණි ඉවත්කලා කියා හෝ ඇයට අපහාස කළා කියා විපක්ෂයට වන කිසිම ලාභයක් නැත. සමහර විට moderated දේශපාලකයෙකු වූ හරිණි වෙනුවට hard core ජේවීපී කාරයෙක් ඒ තනතුරට පත්වෙනු ඇත. විමල් වීරවංශ වැනි ආතක් පාතක් නැති විකටයෙකු විගඩම් කලාට කම් නැත. නමුත් වග කිව යුතු විපක්ෂයකට මෙය තරම් නොවෙයි.
පසුගිය වසර දෙක තුන තුල රටේ ජනවිඥානයේ ඇතිවූ වෙනස තේරුම් නොගැනීමද විපක්ෂයට සහයෝගය දෙන බොහෝ දෙනාගේ අවාසියට හේතුවෙයි. මා සමග දුරස්ථ සන්නිවේදනය හරහා කතා කල බොහෝ ලාංකිකයන් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට දැඩි ලෙස විරුද්ධය. එහෙත් ඒ මුවාවෙන් සමලිංගිකත්වයම අනා ඉතා පහත අන්දමින් තවත් කාන්තාවකට අවමන් කිරීම ඔවුන් ඊටත් වඩා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි. අවසානයේ මෙහි ප්‍රතිඵලය වන්නේ අදාළ පක්ෂය පරිහානියට පත්වීමයි.
අනෙක් අතට විපක්ෂයට සහයෝගය දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් බොහෝ දෙනෙකුට රටේ සැබෑ තත්වය ගැන හෝ විපක්ෂයක් ගොඩගැනීමේ ක්‍රමවේද පිළිබඳව කිසිඳු අවබෝධයක් නැත. ඔවුන් ලවක් දෙවක් නැතිව බොහෝ විට ඉතා පහත් භාෂාවෙන් පෝස්ට් ෂෙයාර් කරයි. මීට හොඳම උදාහරණය වරායෙන් කන්ටේනර් 300+ කිසිඳු පරික්ෂා කිරීමකින් තොරව පිට කිරීමයි. මෙය ඇත්තෙන්ම දේශපාලන වාසි ගැන නොතකා ඇදිය යුතු කාරණයකි. එහෙත් අර්චුනා වැනි පාර්ලිමේන්තුවට ආගන්තුක කිහිපදෙනෙක් තම කටහඬ අවදිකලා ඇරෙන්න කලින් මැති-ඇමති ධූර හෙබවූ කිසිවෙක් මේ ගැන කෑගසන්නට පාරට බැස්සේ නැත. හේතුව ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ මීට පෙර මෙවැනි කන්ටේනර් දහස් ගණනින් පිටවූ බවත් ඒ ගැන සොයන්න ගියහොත් බොහෝ දෙනා අමාරුවේ වැටෙන බවත්ය. මගේ හිතවත් රාජ තාන්ත්‍රිකයෙක් පැවසුවේ බැරිවෙලාවත් ප්‍රියත් බන්දු වික්‍රම වැනි අයෙක්ව ගිරවා කල හොත් විපක්ෂයේ උඩ ඇවරියේ කිහිප දෙනෙක්ම දශක ගණනාවකට සිරගත විය හැකි බවයි.
විපක්ෂයට කීමට වැඩි යමක් නැති වකවානුවල ඔවුන් කල යුත්තේ නිහඬව පක්ෂයේ බිම් මට්ටම සවිමත් කිරීමයි. ඒ වෙනුවට තමන්ගේ presence එක පෙන්වීමට විකාර දෙඩවීම තුලින් නායකත්වය මුළු විපක්ෂයම හෑල්ලුවට ලක් කරයි. තම පියාණෝ වර්ණනා කරන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ හෙංචයියන් පොලීසියට ඇඟිලි නොගසනු, මාධ්‍යට අත නොතබනු ආදී ප්‍රකාශ නිකුත් කරන විට මහජනතාවට ඔවුන් විහිළුකරුවන් සේ පෙනීම ස්වභාවිකය. අඩු ගණනේ තව වසර තුන හතරක් ඉවසගෙන සිටියහොත් ජනතාවට සමහර දේවල් අමතක වනු ඇත. මෙවැනි දේ කිරීමට ගම්මන්පිල වීරවංශ වැනි අයට අවුලක් නැත. ඒ ඔවුන් දේශපාලනිකව නනත්තර වූ සරණාගාතයන් නිසාය. නමුත් සජිත්, පාඨලී, නාමල් වැනි අනාගත ජාතික තලයේ නායකයන් තමන්ගේ ප්‍රකාශ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

No comments:
Post a Comment