ආදරය යනු ආත්මාර්ථය හා බැඳුනු මනෝභාවයකි. එය සැමවිටම අහිමි වීමේ බිය මත යැපෙන හැඟීම් සමුදායකි. ආදරයෙන් වෙලෙන පෙම්වතුන් අනෙකා වෙනුවෙන් බොහෝ සෙයින් කැපකිරීම් කරන්නේ මේ අහිමි වීමේ බිය නැත්නම් හිමිකරගැනීමේ ආශාව නිසාය.
සහකම්පනය යනු ඊට බොහෝ සෙයින් වෙනස් වූ බැඳීමකි. තම සහකරුවා හෝ සහකාරිය සිත් තැවුලෙන් සිටින විට එය තමාගේ සිතට තදින් දැනීම සහකම්පනයයි. එහි හිමි-අහිමි වීම් පිළිබඳව හැඟීමක් නැත. ආත්මාර්ථය හෝ මමත්වයද නැත. සහකම්පනයේ ඉහලම benchmark එක මවක් සහ දරුවෙක් අතර ඇතිවන බැඳීමයි (මනෝ විද්‍යාඥයන් කියන්නේ මවක් සහ පුතෙක් අතර කියාය).
විවාහයත් සමගම ඇතිවන නීතිමය සහ සමාජමය බැඳීම නිසා බොහෝ අඹුසැමියන්ට අහිමි වීමේ බිය සෑහෙන දුරට පහවී යයි. සහකම්පනයෙන් තොර ආදර බැම්මෙන් වෙළුණු බොහෝ දෙනෙකුගේ අහිමිවීමේ ආරම්භය ඇත්තේද මෙතැනයි. විවාහයට පෙර දුටු පුද්ගලයන් මේ නොවන බව ඔවුන්ට දැනෙන්න ගනියි. නමුත් වරද තමන් අතේද වන බව දෙදෙනාටම නොහැඟේ. මෙය කෙලවර වන්නේ මාස කිහිහිපයක් තුල උසාවි භූමියේදී ගැටළුව විසඳා ගැනීමෙනි.
තම සහකරුවා හෝ සහකාරිය දුකින් සිටින විට ඔහු හෝ ඇයව සිප වැළඳගෙන හෝ අඩුම ගණනේ උරහිසට අත තබා "ඇයි ඔයා මෙහෙම ඉන්නේ" කියා අසන්නේ අනෙකාට ඇතිවන සහකම්පනය නිසාය. තරමක රෞද්‍ර මුහුණින් තරමක් ඈතින් ඉඳ "ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ" යනුවෙන් අසන්නේ ආදරය නිසාය. එහි ඇත්තේ අහිමි වීමේ බියයි. තම partner තවත් කෙනෙකු වෙත ඇල්මක් ඇතිකරගෙන ඇත්ද යන හැඟීම එහි ගැබ්ව ඇත. සමහරු තම partner මිය යාමෙන් අහිමි වීමේ බිය නිසා ඔහු හෝ ඇය ජීවත් කරවීමට බොහෝ කැපකිරීම් කරති. නමුත් භෞතිකව එවැනි අන්තරායක් නැති මානසික අවශ්‍යතා ඉදිරියේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය පිළිබඳව කිසිම තැකීමක් නොකරයි. මෙයත් සහකම්පනය නැති ආදරයේ ගති ලක්ෂණයකි.
අඹුසැමි බැඳීමකදී දෙදෙනාටම ඇත්තේ සහකම්පනයක් නැති ආදරයක් නම් බොහෝ විට ඔවුන් ඉක්මනින්ම වෙන්වී යයි. ඉඳහිට "ඔයා ඔයාගේ ලෝකේ මම මගේ ලෝකේ" පන්නයේ ජීවිත ගත කරන අයද හමුවේ. දෙදෙනා තුලම සහකම්පනයක් ඇත්නම් ඔවුන්ගේ ජිවිත ඉතාමත් වාසනාවන්ත සහ ප්‍රීතිමත්ය. ආදරයෙන් තොර සහකම්පනය යනු කලාතුරකින් දකින්නට ලැබෙන විශේෂ අවස්ථාවකි. ඒ ගැන අප වෙනමම කතා කල යුතුය.
නමුත් වේදනාකාරී තත්වයක් උද්ගත වන්නේ යුගදිවියක එක් අයෙකුට පමණක් සහකම්පනය ඇතිවිටය. ඔහු හෝ ඇය සැබෑම අවාසනාවන්තයෙකි. එවැනි බොහෝ විවාහ එක් අයෙකුගේ මරණය තෙක් පවතී. මීට හේතුව සහකම්පනය ඇති පුද්ගලයා සියල්ල දරා සිටින බැවිනි.
