Wednesday, 19 July 2023

ගැටළුව කුමක්දැයි නොතේරීමේ ගැටළුව

වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව නොතේරෙන අයට එය තේරුම් කර දීම අපහසුය. මන්ද ඔවුන්ට අවශ්‍ය ගැටලුව තේරුම් ගැනීමට නොවන නිසාය. මේ ලියන්නේ යමක් සිතීමේ හැකියාව ඇති අය වෙනුවෙනි. 

බොහෝ අයට ඇති ලොකුම ගැටළුව වෘත්තිකයා define කර ගැනීමට නොහැකි වීමයි. වෘත්තිකයෙක් (professional) යනු යම් ක්ෂේත්‍රයක නිසි පුහුණුව, කුසලතා වර්ධනය, අත්දැකීම් සහ පළපුරුද්ද ලැබූ නිපුණයෙකි. මේ අනුව වෘත්තිකයෙක් බිහි වීමට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඒ සඳහා ජේෂ්ඨ වෘත්තිකයන් සිටීමද අවශ්‍යවේ. ඔවුන් අපි "trainers of trainers" යනුවෙන් හඳුන්වමු. වෘත්තිකයන් වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තියේ සිට පෙදරේරු හෝ මැටි කර්මාන්තය දක්වා විශාල පරාසයක විහිදී ඇත. 

සමහර ලාංකිකයන්ගේ ඊළඟ අවුල තවත් ලාංකිකයෙක් රටින් නික්ම ගොස් ඇත්නම් ඔහු හෝ ඇය ගියේ කුමක් නිසාද, යන්න පෙර සහ පසුව එම පුද්ගලයා රටට කල සේවය, දැනටත් කරන සේවය, විදේශ ගත අයෙකුට තමන්ගේ උපන් රට වෙනුවෙන් කල හැකි සහ නොහැකි දේ මොනවාද ආදී වූ කිසිම දෙයක් නොදැන කියවීමයි. එය සමහර විට සමහර ලාංකිකයන්ගේ පාරම්පරික ගතිය විය හැක. 

ඊළඟ කරුණ, මේ වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව පිළිබඳව  මා නැවත නැවත පවසන්නේ එසේ රට හැර යන වෘත්තිකයන්ට දෝෂාරෝපණය කිරීමට නොවේ. එම වෘත්තිකයන් රට හැර යන තත්වයට රට බංකොලොත් කල දේශපාලකයන්ට බැනිමටද නොවේ. ඒ තබා ඒ දේශපාලකයන් පත් කර ඔවුන් හොර මැර තක්කඩිකම් කරද්දී ඔල්වරසන් දෙමින් ප්‍රශස්ති ගී ගැයූ අබුද්ධික ජනතාවට දොස් පැවරීමටද නොවේ. සිදු වූ දේ සිදුවී හමාරය. ඒ ගැන තව දුරටත් අදෝනා නැගීමෙන් පලක් නැත. සිදුවෙමින් පවතින දේ වලකා ගත යුතුය. 

වෘත්තිකයෙකුගෙන් උපන් රටට සේවය ලබා ගැනීමට ඔහුගේ භෞතික පදිංචියේ බලපෑම විවිධාකාරය. සමහර වෘත්තිකයන්ගේ පදිංචි දේශය මීට කිසිසේත් අදාළ නොවේ. IT විශේෂඥයන්, සහ බොහෝ consultant ලා මේ ගණයට වැටේ. සමහර වෘත්තිකයන්ට ලෝකයේ කොහේ සිටියත් අවශ්‍ය නම් උපන් රටට සෑහෙන යමක් කල හැක. පර්යේෂකයන්, උසස් අධ්‍යයනිකයන්, බොහෝ ව්‍යවසායකයන් මීට අයිති වේ. සමහර වෘත්තිකයන්ට උපන් රටේ උන්නතිය වෙනුවෙන් යම් සීමිත දායකත්වයක් ලබා දිය හැක. විශේෂඥ වෛද්‍යවරුන්, ඉහලම පෙලේ නීතිඥයන්, ඉංජිනේරු විශේෂඥයන්, ඇතුළු අවශ්‍යතාවයකදී ලංකාවට කෙටි කාලීනව පැමිණ දායකත්වය ලබා දීමේ හැකියාව ඇති අය මීට ඇතුලත් වේ. නමුත් රටේ අති බහුතරයක් වෘත්තිකයන් ඉහත කිසිම කුලකයකට අයත් නොවේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, හෙදියන්, ගණකාධිකාරීවරුන්, පොත් තබන්නන්, නීතිඥයන්, විද්‍යුත්-මෝටර්-වඩු ඇතුළු සියළුම පුහුණු කාර්මිකයන්, පෙදරේරුවන්, බස් රථ රියදුරන් ආදී විශාල පරාසයක් මීට ඇතුලත් වෙයි. ඔවුන් රට හැර ගියොත් ඒ අඩුව පිරවීමට ඉතා අසීරුය. සමහර විට ඊට අඩ සියවසක් හෝ සියවසක් ගතවිය හැක. 

භාරතයේ බුද්ධිමය තෝතැන්න ලෙස හැඳින් වූ බෙංගාලයේ (පසුව නැගෙනහිර පකිස්ථානය හා බංගලාදේශය) 1970-71 සමයේදී සිදු වූ වෘත්තික සංහාරය සහ ඉන් අනතුරුව සිදු වූ වෘත්තිකයන් විශාල ගණනක් කෙටි කාලයකදී රට හැර යාම (exodus of professionals) පිළිබඳව හදාරා බලන්න. ඔබට වැටහේවි බංගලාදේශය අන්ත දුප්පත් රටක් වුයේ ඇයිද කියා. අදටත් ඔවුන් මේ තත්වයෙන් ගොඩ ඒමට දැඩි ලෙස උත්සහ දරයි. 

එදා බොහෝ වෘත්තිකයන් රටින් නික්ම ගියේ යම් මුදලක් උපයාගෙන නැවතත් ලංකාවට පැමිණ සුව පහසු ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අද කොරියාවට යන තරුණයාගේ සිහිනයත් වෙනත් රටකට කෙසේ හෝ පදිංචිය සඳහා පැනගනිමටයි. අනතුර ඇත්තේ මෙතැනයි. මෙය වෙනස් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් අඩුම ගණනේ අපි ඒ ගැන සාකච්චා කල යුතු නොවේද?


              


Wednesday, 12 July 2023

මගේ ආගම


මීට සති දෙකකට පමණ පෙර අපේ සරසවියේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක්ගෙන් මට ඇමතුමක් ලැබුණි. සිය ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවියකට තම නිබන්ධනය සඳහා මහාචාර්ය වරුන් 50කගේ පමණ ආගමික මතවාදයන් පිළිබඳව අදහස් විමසිය යුතු බවත් ඒ සඳහා මගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය. කාලය මට මිළ අධික වුවත් ඔහු හා පවතින මිත්‍රත්වය නිසා මම ඔහුගේ සිසුවියට අදාළ කාලය ලබා දුනිමි.

ඇය මා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඇයගේ පසින් සම්පුර්ණයෙන්ම අසාර්ථක බව මට අවබෝධ වෙයි. නමුත් එය ඔබට වැදගත් විය හැකි බැවින් මෙසේ ඉදිරිපත් කිරීමට මම තීරණය කලෙමි. 

--------------------------

ඇය: ඔබේ නම චන්දිම ගෝමස් මේ අනුව ඔබ පාරම්පාරික කතෝලිකයෙක් යයි මා සිතනවා. 

මම: නැහැ ඔබ වැරදියි. මගේ දෙමව්පියන් පාරම්පාරික බෞද්ධයන්. මා උපදින විටම මට බෞද්ධ කියා ලේබලයක් තිබුණා.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් 

මම: නැහැ ඔබ වැරදියි. මම මා වෙත එහෙම ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙකු නොවේ. එසේ නම් දැන් ඔබ අදහන්නේ කුමන ආගමක්ද?

මම: මම එහෙම කිසිම ආගමක කියා ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: ඒ කියන්නේ ඔබ දෙවියන් අදහන්නෙක් නොවෙයිද (are you an atheist?)

මම: නැහැ. ඔබේ ප්‍රශ්ණය ව්‍යාකුලයි. මම බෞද්ධයෙක් වුණා නම් ඒත් මම athesist කෙනෙක් වෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ නිරාගමිකයෙක් (are you a secularist)?

මම: නැහැ. මම විවිධ ආගමික කටයුතු වල නියැලෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ සර්ව ආගම්වාදියෙක් (then are you an omnist)?

මම: මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මාව මේ ලෙස ලේබල්ගත කරන්න හදන්නේ කියා. 

ඇය: සමාවෙන්න. මට හිතෙන්නේ ඔබ නිදහස් චින්තකයෙක් කියා (I think you are a free thinker).  

මම: මට ඔබගේ ගැටළුව වැටහෙනවා. ඔබට මාව කුමන හෝ කැටගරියකට ලේබල් කරන්නේ නැතුව ඉදිරියට මේ සාකච්චාව කරන්න බැහැ. 

ඇය යම් ඉච්චා භංගත්වයට පැමිණුනු විලසකින් මා දෙස බලා සිටියාය. මම ඇයට මෙලෙස කිව්වෙමි.

මම: මා කියන දේ තේරුම් ගැනීමට මම ඔබට උදාහරණයක් දෙන්නම්".

මම: ඔබ දැන් සමාජ විද්‍යාව හැදෑරුවත් පාසලේ යම් මට්ටමකට සාමාන්‍ය විද්‍යාව හදාරන්නට ඇති. ඒ නිසා මේ කියන දේ ගැන ඔබ දන්නවා. හිතන්න, මට අවශ්‍ය වෙනවා කුඩා රොකට්ටුවක් හදන්න. මේ සඳහා මට අයිසැක් නිව්ටන් ඉදිරිපත්කල නියම යොදාගන්න සිදුවෙනවා. මේ නිසා මම "නියුටෝනියන්" කෙනෙක් වෙනවාද? මට යම් තාරකා විද්‍යා ගැටළුවක් විසඳීම සඳහා ඇල්බට් අයින්ස්ටයින්ගේ වාදයන් යොදා ගැනීමට සිදුවෙනවා. දැන් මම "අයින්ස්ටයිනියන්" කෙනෙක් වෙනවාද? මේ කිසිම විද්‍යාත්මක න්‍යායක් භාවිත කිරීමට අවශ්‍ය නොවන වෙලාවට මම "අවිද්‍යාත්මක පුද්ගලයෙක්" වෙනවාද?

ඇය විපිළිසර දෑසින් යුතුව මා දෙස බලා සිටියි. මේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි.

මම: මගේ ආගම භාවිතාකිරීමත් මේ ආකාරයටමයි. යම් අභියෝගයකට මුහුණ දීමට ඇතිවිට හෝ සිතේ තද කැළඹීමක් ඇති වූ විට මම පන්සලකට ගොස් නිසංසල තැනක ඉඳගෙන ඉන්නවා. එහි පුජනීය ස්ථානවලට වන්දනා මාන කරනවා. පන්සලක් අසලක නැත්නම් කෝවිලකට හෝ පල්ලියකට යනවා. දෙවියන් යදිනවා.  මට මරණින් මතු පැවැත්ම/හෝ නොපැවැත්ම වැනි ගැටළු පිළිබඳව ස්වයං-විශ්ලේෂණ කිරීමට සිතුන විට මම බෞද්ධ, අද්වෛත වේදාන්ත හෝ ජෛන දහමේ සංකල්ප යොදාගන්නවා. ඒ අවස්ථාවේදී මගේ දැනුම් සම්භාරයේ සහ තර්කන හැකියාවේ මට්ටමට අනුව සුදුසු මොඩලයක් තෝරා ගන්නවා. මම සහමුලින්ම මානසිකව වැටුණු විට මම දෙවියන්ගෙන් පිහිට ආශීර්වාදය පතනවා. මට සමාජ ඇසුර සහ බැඳීම් අවශ්‍ය වූ විට මම බෞද්ධ සමාජය හා එක්ව වත් පිළිවෙත් කරනවා. එබඳු සමාජයක් නැති අවස්ථාවල මම කතෝලික හෝ ඉස්ලාම් සමාජයට අනුගත වෙනවා. මම සතුටින්, සැහැල්ලුවෙන් සිටින බොහෝ අවස්ථාවල මට මේ කිසිවක් වුවමනා නැහැ".  

මා ඉදිරියේ සිටින සිසුවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මා දෙස බලා සිටින්නීය. ඇයට මා පවසන දේ නොතේරෙන බව නම් සහතිකය. ඇයගේ මුහුණේ ඇත්තේ "අපරාදේ මගේ කාලේ. මේ interview එකෙන් කිසිම වැඩක් නැහැ" යන හැඟීමයි. 

ඇය: සමාවෙන්න, මට ඊළඟට ඇති ප්‍රශ්ණ 20 ක් පමණ ඔබගෙන් අසා වැඩක් නැහැ"  

මගේ කුතුහලය උදෙසා ඒ එක ප්‍රශ්නයක් මට පැවසිය හැකිදැයි මම ඇසුවෙමි. 

"ඔබ කතෝලිකයෙකු ලෙස ඉස්ලාම් දහම දෙස බලන්නේ කෙලෙසද?" ඇය මා කතෝලිකයෙකු යයි මූලික උපකල්පනයක් කර තිබු බැවින් එහි බොහෝ ප්‍රශ්ණ මේ මත ගොඩනගාගෙන ඇති බව මම සිතමි.

ඇය: "අන්තිම ප්‍රශ්ණ දෙක මට ඔබගෙන් ඇසිය හැකියි".  

ඇය: "LGBTQIA+ පිළිබඳව සාමාන්‍ය සමාජය සහ රජය/නීතිය බැලිය යුතු ආකාරය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?" 

මම: "කෙනෙකුගේ ලිංගික දිශානතිය එම තැනැත්තාගේ අයිතියක්. ඒ පිළිබඳව විනිශ්චය කිරීමට සමාජයට හෝ නීතියට නොහැකියි. මේ නිසා තමන්ගේ ලිංගික දිශානතිය සඟවා ගැනීමට බලකිරීමට හෝ පාර්ශව දෙකක් (හෝ වැඩි ගණනක්) සිය කැමත්තෙන් පෞද්ගලික ස්ථානයක ලිංගිකව හැසිරීම තහනම් කිරීමට නීති පැනවීම සමාජයක් විසින් සිදු නොකළ යුතුයි. අනෙක් අතට මෙතෙක් පැවති සියළු ජන සමුහ (හෝ ශිෂ්ඨාචාර) විරුද්ධ ලිංගික හැසිරීම සම්මතයක් ලෙස පිළිගත්තේ වර්ගයාගේ පැවැත්ම සඳහායි. අදටත් එය වලංගුයි. මේ නිසා LGBTQIA+ ප්‍රවර්ධනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. කලයුත්තේ සමාජය ඊට එරෙහිවීම වලක්වීමයි".

ඇය: "ඔබගේ ජිවිතයේ මූලික අරමුණ කුමක්ද? ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?"

මම: "ජිවිතයට අරමුණු දමා ගැනීම භයානකයි. එය ඔබගේ සතුට විනාශ කරනවා. මම හැමවිටම උත්සහ ගන්නේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න. ඒ සඳහා මම කරන්නේ මා වෙතට ලේබල් අලවා නොගැනීමයි. ඔබගේ සියළු දුක් දොම්නස් ඇතිවන්නේ තමාට ලේබල් ගසා ගැනීමෙන් හෝ තමා වෙත අනුන් ගසන ලේබල් බාර ගැනීමෙන්. එවිට ඔබ ලේබලය වෙනුවෙන් සටනට බසිනවා. එය දුකට මුලයි".

ඇයට මෙන්ම ඔබ බොහෝ දෙනෙකුටත් මා කියන දේ නොතේරෙනු ඇත. 






   




Sunday, 9 July 2023

අරගලය ගැන කෙටි සටහනක්


අරගලය මධ්‍යම පන්තියේ නිර්මාණයකි. එහි කිසිඳු වරදක් ඇතැයි මම නොසිතමි. එයට පිතෘත්වය දීමට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නොහැකියැයි මම කියමි. ලංකාවේ ස්වයං ජන නැගිටීමක් සිදුවේ නම් (අනාගතයේ හෝ) එය සිදුවන්නේ මධ්‍යම පාන්තිකයා තුලින් පමණි. ධනපති පන්තියට නැගිටීමට අවශ්‍ය නැත. ඔවුන්ට සයනයේ සැතපීගෙන වුවත් බොහෝ වෙනස්කම් කල හැක. පීඩිත (පහලම තලයේ) පන්තියට ස්වයං නැගිටීමකට සරිලන සුහුරු බුද්ධියක්, දැක්මක් හෝ ජාලගතවිමක් (netwoorking) නැත. මේ නිසා ලෝකයේ කොතැනකවත් පීඩිත පන්තිය තුල ස්වයං නැගිටීමක් සිදුවී නැත. එම පන්තිය අරගලයකට අවතීර්ණ කිරීමට නම් විචාරශීලි සහ අවයාජ වූ ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. 

ලංකාවේ පීඩිත පන්තිය ජන අරගලයකට කැඳවිය හැකි සන්ධිස්ථාන කිහිපයක්ම තිබු බව පෙනෙයි. නමුත් මෙම පන්තියට නායකත්වය දෙනවා යයි කියන කිසිම කණ්ඩායමක් මේ සඳහා එම පන්තියේ ජන සමුහය යොමු කලේ නැත. ඒ වෙනුවට ඔවුන් එක්කෝ දේශපාලන වාසි වෙනුවෙන් පාලක පන්තිය හා අත්වැල් බැඳගත්හ. නැත්නම් පාලක පන්තිය වෙතින් ඇතිවූ පෞද්ගලික අසාධාරණකම්වලට එරෙහිව අවි ගත්තෝය. මේ අවස්ථා දෙකේදීම ඔවුන් පීඩිත පන්තිය පොරොන්දු දේශයකට රැගෙන යනවා වෙනුවට  තව තවත් පීඩනයට පත් කලෝය.  

ලෝකයේ කොතැනක වුවත් ජන විපර්යාසයක් සිදුවන විට එයින් උපරිම ඵල නෙලාගැනීමට මාන බලන දේශීය දේශපාලන බල කේන්ද්‍රයන් මෙන්ම කලාපීය සහ ගෝලීය බලවතුන්ද ඇත. අරගලය ස්වයං-ජාතක වුවත් එහි පැවැත්ම සඳහා එක් අවස්ථාවක ශක්තිමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අත්‍යවශ්‍ය විය. ඒ අවස්ථාවේ මම පුන පුනා මේ පිළිබඳව ලිව්වෙමි. නමුත් එය සිදු වුයේ නැත. දැන් සියල්ල ඉතිහාසයට එකතුවී ඇත.

නමුත් අද අරගලකරුවන්ටත් අමතක වූ දෙයක් ඇත. එනම් අරගලය ඇරඹු සටන් පාඨය එහි අරමුණ වී නම් මෙය ඉතා ජයග්‍රාහී ලෙස අවසන් වූ ලෝකයේ සාර්ථකම ස්වයං ජන නැගිටීමක් බවයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇති වුණේ ඇයිදැයි මතක නැත. එය ලාංකිකයාගේ සාමාන්‍ය ස්වභාවයයි. අන්තිමට රට බංකොලොත් වුණේ අරගලය නිසා යයි කියන පඬි රුවන්ද නැත්තේම නැත. ගැටළුවක මූලය අමතක කර තමා ප්‍රිය කරන තක්කඩි දේශපාලුවන් රැකගැනීමට පමණක් විකාරරූපී හේතු ඉදිරිපත් කරමින් විලාප නගන ජන සමූහය බහුතරයක් වන තාක් කල් ලංකාව ඉදිරියට යතැයි සිතීම අසීරුය. 


Friday, 7 July 2023

මේරිගේ කොළුවා

අපහාසය, උපහාසය, උත්ප්‍රාසය, හාස්‍ය යන වදන් වල ඇති වෙනස තේරුම් ගැනීමට සමත් වියත් සමාජයක් ලංකාවේ විසීය. ඒ ලංකික සාහිත්‍ය උච්චතම අවස්ථාවට පත් වූ 60-70 යුගයේය. කෘත හස්ත ලේඛකයෙකුට භව තරණය වැනි පොතක් පලකරන්න එකල කිසිඳු අවුලක් නොවීය. එය කියවා රස විඳීමට පමණක් නොව නිර්දය ලෙස එය විවේචනය කිරීමටද හැකි ඉහල මට්ටමේ සෞන්දර්යාත්මක විචාර බුද්ධියක් සහිත ජන විඥානයක් එකල තිබුණි.

ජාතියක් ලෙස ලාංකිකයාගේ තර්ක ඥානයේ පසුබැස්ම ඇති වුනේ කුමන කාලයකදීද කියා මා දන්නේ නැත. නමුත් මේ අප ගත කරන්නේ එහි පතුලෙහි නොවන බව නම් මට විශ්වාශය. ඔබ තව ගැඹුරට වැටීමට ඉඩ ඇත.

"ඕක ඉස්ලාම් ආගම ගැන අරාබියේදී කිව්වා නම් මොකද වෙන්නේ" කියා අසන පිරිස්ද ඇත. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ "අපි යා යුත්තේ ඒ පැත්තට" යන බවයි. යුරෝපයේ ජිවත්වන මෙන්ම යුරෝපයේ ජිවත් වීමට සිහින මවන බොහෝ ලාංකිකයන් මනසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ බව මා කලින් ප්‍රකාශ කලේ මේ නිසාය. 

ලොව ප්‍රකට standup commedianලා ආගම් පිළිබඳව කරන උපහාසාත්මක, උත්ප්‍රාසය දනවන මෙන්ම හාස්‍ය ජනක ඉදිරිපත්කිරීම් දහස් ගණනක් You Tube එකේ ඇති බව වත් මේ පිරිස දන්නේ නැත. නොඑසේ නම් ඔවුන්ට භාෂාව පිළිබඳව ගැටළුවක් තිබෙනවා විය හැක. 

පහත ඇත්තේ එක් උදාහරණයක් පමණි.

https://www.youtube.com/watch?v=LbP4KttZOcc