Wednesday 20 July 2022

ඔබට සුබ අනාගතයක් - Adiós


මේ ලිපිය මා ලියන්නේ දෛවෝපගත දිනකය. පාර්ලිමේන්තුවේ එකඳු ආසනයක්වත් දිනාගත නොහැකි වූ පක්ෂයක පුද්ගලයෙක් රටේ විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන දිනයකය. සමහර විට දිගු කලකට මා ලංකාවේ දේශපාලනය පිළිබඳව ලියන අවසන් ලිපිය මෙය විය හැක. 

මා දන්නා බොහෝ දේ ලිවිය නොහැක. එයට හේතු ඇත. නමුත් ජනතා මෙහෙවරක් ලෙස මම සෑම විටම ඔබට යම් ඉඟියක් දීමට උත්සහ කලෙමි. එය කියවා ගැනීමට සමහර සහෘදයන් සමත් විය. 

රනිල්; ඔහු යන්නේ රාජපක්ෂලා සිතන ගමනවත් අරගලකරුවන් සිතන ගමනවත් නොවේ. රනිල්ට ස්වාමියෙක් ඇත. ඔහුගේ ගමන එම ස්වාමියා විසින් pre-program කරන ලද්දකි. ඒ සඳහා ඔහුට ජනතා ප්‍රසාදයක් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නැත. මන්ද ඔහු පත්වන්නේ මේ කිසිවක් නොමැතිවය. මේ නිසා ඔහු ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් වග කිව යුතු නැත. එය රනිල්ගේ ගමනටම ඉඳිකළ ස්වර්ණමය මාර්ගයකි. 

මේ ගමනට මම පෞද්ගලිකව දැඩි ලෙස බිය වීමි. මේ නිසාම එයට එරෙහිව මට හැකි අයුරින් හඬ නැගුවෙමි. එම හඬ අද මම නිහඬ කරමි. අද ඇති දේශපාලන ගතිකය තුල රනිල්ගේ ගමනට බාධා කිරීම ලාංකිකයාට අතිශයින්ම භයංකාරය. මේ බව අරගලය තේරුම් නොගන්නා බව මට සහතිකය. එය ඔවුන් අනාගතයේදී දුෂ්කර මාර්ගයෙන් තේරුම් ගනු ඇත. යථාර්තය තේරුම් ගැනීමට තරුණ ජවය මැලිය. එය දැඩි අවාසනාවන්ත තත්වයකි. 

ඔබ වියට්නාමය සහ පිලිපීනය ගැන අධ්‍යනය කරන්න. මේ රටවල් දෙකේම නායකයන් ඇමරිකන් ගැති විය. වියට්නාම් ජාතිකයන් ඉතා ඉක්මනින් ඇමරිකන් ගැතිබාවය වැළඳ ගත් අතර පිලිපීන වැසියන් කොටසක් එයට දැඩි ලෙස විරුද්ධ විය. අද වියට්නාම් වැසියන් බොහොමයක් සතුටින් ජිවත් වෙයි. ඔවුන් තම සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ආගම (බුදු දහම) ඇමරිකන් ගැති බාවය වෙනුවෙන් අත හැරියේය. ඒ වෙනුවට ඔවුන්ට හොඳ ගෙවීමක් ලැබුණි. අද වියට්නාමය වේගයෙන් දියුණු වෙයි. ඔවුන්ට ඇමරිකන් විසා ලබාගැනීම පවා  ඉතා පහසුය. පිලිපීනයේ තත්වය තරමක් වෙනස්ය. 

ඔබ 2500 මෙව්වා එක ගැන ආඩම්බර වුනා පමණකි. එයින් කිසිවක් උකහා ගැනීමට හෝ එම එඩියෙන් ඉදිරියට යාමට උත්සහ කලේ නැත. අද ඔබ පමා වැඩිය. කාලකන්ණි නායකයන් රොත්තක් මත බලාපොරොත්තු තබා ඔබ හිඟන්නන්ගේ තත්වයට පත්ව ඇත. තව දුරටත් ඔබට bargaining powers නැත. මේ බව අවබෝධ කරගන්න. රනිල් පසුපස යන්න. ඔබගේ 2500 ක ආඩම්බරය සහ සංස්කෘතිය අකුළා ඉන්දියන් සාගරයට දමන්න. ජීවත්වීමට මුල් තැන දෙන්න. සමහර විට ඔබගේ මී මුණුපුරන් නැවතත් ඔය අතීත ශ්‍රී විභූතිය ගැන සිතනු ඇත. ඔවුන් වෙනුවෙන් යමක් ලියා තබන්න. 

මෙතෙක් මා ලංකාවේ දේශපාලනය ගැන පැවසූ දේ කියවූ ඔබට බොහොම ස්තුතියි





3 comments:

  1. මං සමහරවිට බැනුම් අහනවා cynical කියලා. ඒකට වඩා ඇත්තෙන්ම මං realistic and pragmatic ප්‍රායෝගික/යථාර්ථවාදී මේ රටේ චාන්සස් ගැන .

    අපි මොනව කිව්වත් මේ රට හොඳට හැදෙන්නේ නෑ. පෙට්‍රල් පෝලිම්වල හිටපු අය දන්නව. මිනිස්සු මිත්‍රශීලී ඇති නිකම් බලන් ඉන්නකොට . එච්චරයි. සිස්ටම්වලට කැමති නෑ. මේක ආචාරශීලීත්වය, නීතිගරුකත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ලොකුවට සංවර්ධනය වුන හෝ වෙන රටක් නෙමෙයි. තිත්ත ඇත්ත තමයි මේක පිටිපස්සට යන්න ප්‍රවණතාවය වැඩි රටක්. අපේ දෙමව්පියන්ගේ කාලෙට වඩා මිත්‍යා විස්වාස දැන් වැඩි එක උදාහරණයක්.

    දැන් තියන ලොකුම ප්‍රශ්නය ඉන්ධන. ඒක සාමාන්‍ය ගාණකට විසඳලා ආර්ථික අර්බුධයෙන් සාමාන්‍ය ගාණකට ගොඩයන එක තමයි මේ රටේ කරන්න පුලුවන් සහ මේ රටේ අති බහුතරය deserving .
    ලස්සන න්‍යායන් ගැන කතා කරමින් සිටීම හා අරගල කිරීම කොහොමත් කලෑකි අපිට. ඒක අපේ විනෝදාංශයක් වගේම pressure valve එකක්. මානසිකව අපිට අවශ්‍ය දෙයක්.
    මගේ cynical (ඒකටත් කියන්නෙ 'නරුම' කියලද? ) යයි පෙනෙන realism එකෙන් කාටවත් තරහ ගියොත් සමාවෙන්න

    ReplyDelete
  2. චන්දිම ගෝමස් ලා ලංකාවේ රෙජීම් චේන්ජ් එක කරන්න ඇමරිකන් ඇජෙන්ඩා එකකට බැහැලා වැඩකලා නේ, දැන් ටාගට් එක ඇචීව් කළාට පස්සේ ශේප් එකේ කඩේ වහල දාල වගකීමෙන් නිදහස් වෙලා වෙන අතක් බලාගන්න හදන්නේ, නමුත් හොඳින් මතක තියාගන්න ගෝමස් නුඹගේ කාර්යභාරය බොහෝ දෙනෙකුට අමතක නොවන බවත් ඔබලා විසින් රටෙන් පිට සිට උසි ගැන්වූ ලංකාවේ ලාබාල අපරිණත තරුණයින් මෙම විප්ලවයට දායක වී එහි ප්‍රතිඵල භුක්ති විඳින විට ඊට ඔබටත් ප්‍රශංසා මෙන්ම වගකීම ද හිමිවන බව.

    නූතල ලාංකේය 2022 අරගලයේ හොඳ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබටත් යම් ගොඋරවයක් හිමිවන අතරම එහි නරක ප්‍රතිඵල සහ අහිමි වන ජීවිත වල ලේ ඔබේ දෑතේත් තැවරී ඇත. අප කිසිදා එය අමතක නොකරමු.

    ලංකාවේ හිටපු පාලක නන්දේ මෙන් ඔබත් බියසුල්ලෙකු මෙන් අමාරුම අවධියේ පලා ගොස් ශේප් වීමට උත්සාහ කරන බව ලාංකේය 2022 මානුශීය අරගලයේ ක්‍රියාකාරීන් විසින් නිරීක්ෂණය කළ අතර ඔබ වැනි එබඳු ගේම් කාරයින් ලැයිස්තුවක්ම ඔවුන් විසින් සකස් කර අවසන් බව අපට ඔවුන්ගෙන්ම දැනගැනීමට ලැබුණා. ඒ නිසා ඔබගේ හිතවත් පාඨකයකු ලෙස එය ඔඅබට පැවසීමට කැමති අතරම ඔබට මෙන්ම ඔබ ඇතුලත් කුලකයේ අන් අයටද ලෙහෙසියෙන් මෙයින් අත පිස දා ගැනීමට ලැබෙන එකක් නැති බව මට සිතේ. ඒ නිසා දිගටම අරගලයේ යෙදී සිටීම යහපත් බව මගේ යෝජනාවයි. ගොඩක් අය රනිල්ට බනිනවා අරගලකාරයන්ට ගැහුව කියල. මං හිතන්නෙ රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලත් වෙලා ඉන්න අය ඉවත් කරන්න නිතිය ක්‍රියාත්මක කිරිම කිසිම වරදක් නැති බව. එකම දේ එතනදි හැමෝටම අවම හානියක් වෙන ලෙස එය කළ යුතුය. ඒක මෙච්චර කල් නොවු එක ප්‍රශ්නයක්. අනෙක් කාරණය පොදු ස්ථානයක පදිංචි වෙලා ඉන්න කාටවත් නීතියෙන් අයිතියක් නැත. ඒකත් නිති විරෝධී වැඩක්. ව්‍යස්ථාවෙ තියෙන සාමකාමීව රැස්විමයි පොදු ස්ථානයක අනවසරයෙන් පදිංචිවෙලා ඉන්නව කියන එකයි දෙකක්. ඒ නිසා රනිල් කරපු වැඩේ නීතියට එකගයි. ඒ විතරක් නොවේ රටේ පාලකයා ලෙස ඔහුට වගකීමක් තියෙනවා නීතිය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. බියසුළු දුර්වල නිවට ජනපතිවරයෙක් වන ගෝඨාභය එය පැහැර හැරලා පැනලා ගියා.

    කෙසේ නමුත් සමහර නිතිවිරෝධි වැඩ වෙන්න දීල කාලයක් බලං ඉන්දැද්දි ඒක සාමාන්‍යකරණය වෙන එක ලංකාවේ සුලබ සිදුවීමක්, එයම තමයි මෙතනත් වෙලා තිබ්බෙ. යමක් සාමාන්‍යකරණය වූ පමණින් එය නීතියට එකග වෙන්නෙ නෑ.

    මෙතනදි ආචාර්ය චන්දිම ඇතුලු පිරිස බලාපොරොත්තු වූ පරිදිම විශේෂම කාරණය රනිල්ට බලයට එන්න මෙතන තිබ්බ අරගලය හේතු උනා.

    ඒ වගේම ආචාර්ය රනිල් වික්‍රමසිංහ අරගලයට පක්ෂපාතී ස්ථාවරයක් 2021 වසරේ සිටම දැරූ අතරම ඔහුම කිව්ව අගමැති උනාට පස්සෙ අරගලය පිළිගන්නවා ගෝල්පේස්වල පදිංචිවෙලා ඉන්න අයට පහසුකම් සලසනවා ආදිය කියල, විදේශිකයන්ටත් ඇවිත් බෝඩ් උස්සන් ඔහුව එලවන්න සටන් කරන්න කියල ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තර මාධ්‍ය වලට කිව්වා (ඒ කරුණු සියල්ලම ලංකාවේ මූලික ව්‍යවස්ථාපිත නීතිය අනුව නිතිවිරෝධී සහ නීතිවිරෝධි වැඩ වලට අනුබල දීමක්).

    කිසිවෙක් නොසිතූ අයුරින් සම්පූර්ණයෙන්ම යූ ටර්න් එකක් ගැසූ රනිල් ජනාධිපති උන ගමන් පහුවදාම ටියුන් එක වෙනස් කරලා සම්පූර්ණයෙන් අනිත් පැත්තට කටයුතු කරනවා. ඒ නිසා මෙතනත් තියෙන්නෙ ප්‍රතිපත්තිමය කටයුතු කිරීමක් නොව අවස්ථාවාදී සටකපට දේශපාලනය. හැබැයි ඔහු කරන වැඩේ රටේ මූලික නිතියට එකගයි. නීතියට අනුව වරදක් තිබුනත් එතික්ස් අනුව සදාචාරාත්මක පැත්තෙන් වැරදියි.

    ඒ වගේම රජයට හීලෑ නොවී ස්වාධීනව පැවති ලාංකේය නීතිඥ සංගමයේ අදහස් වෙනස් කරමින් හරියටම මේ වෙලාවෙම කට්ටිය ඉවත් කරන්න උසාවි නියෝගයක් අරන් ආපු එකත් හරිම සිත්ගන්නා සුළු කරුණක්. නීතිඥ සංගමය මේ ගැන මොනවා කියයිද? මොකුත් කියන එකක් නැහැ කියලයි මං හිතන්නෙ. සමහර විට "අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි, මේක මහ කැත වැඩක්" කියලා බොරුවට මාධ්‍ය ඉස්සරහා ටෝක්ස් ටිකක් දීල බොරු සංදර්ශනයක් පෙන්නලා ශේප් එකේ චන්දිම වගේම ලිස්සලා යාවි.

    කොටින්ම චන්දිමලාගේ සමාජ ජාල ඇවිස්සීම් වගේම මෙතනත් ඇත්තටම ක්‍රියාත්මක උනේ කොන්ඩම් න්‍යායයි. (එනම් කොන්ඩම් එකක් පාවිච්චි කරාට පස්සෙ විසි කරනවනෙ. අරගලය කියන්නෙ දේශපාලනික කොන්ඩම් එකක්. යූස් කළා විසි කළා එච්චරයි )

    බොහෝ දුරට එංගලන්තය එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල තානාපතිල අපිව අන්දන්න ලස්සන බර වචන දාල ට්වීට් ගැහුවට ඔතන ට්වීට් වලින් එහා මොකුත් වෙන්නෙ නැහැ. ඒ ගොල්ලත් සීන් එකේ ඉන්නවා කියලා හැමෝම දනනවානේ, චන්දිමත් මේ එම්බසි එක්ක ඩීල් තියෙනවා නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි නේද?

    ReplyDelete
  3. හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete