Sunday, 4 July 2021

රෙදි අපුල්ලන්නාගේ බූරුවා

 


මේ අද්වෛත වේදාන්තයේ හරය ඉතා ගැඹුරින් විග්‍රහ කෙරෙන බොහොම සරල උපමා කතාවකි. මම එම කතාවෙන් ඊට වඩා බොහෝ සෙයින් නොගැඹුරු, බොහෝ දෙනෙකුගේ චිත්ත අසහනයට හේතුවන කරුණක් පැවසීමට උත්සහ ගනිමි. 

බොහෝ කලකට පෙර ගමක රෙදි අපුල්ලන්නෙක් ජීවත්විය. ඔහු සතියකට දෙවරක් කලින් දින කිහිපයේ එකතු කරගත් කිලිටි රෙදි තම වටිනා වාහනය වූ බූරුවාගේ පිටෙහි පටවාගෙන නිවසේ සිට යොදුන් කිහිපයක් ඈතින් වූ කුඩා නදිය වෙත ගමන් කරයි. හිමිදිරි උදයේ ගමන් අරඹන රෙදි අපුල්ලන්නා රෙදි සෝදා, වේලා නැවතත් නිවසට පැමිණෙන්නේ රෑ අඳුරත් සමගයි. 

දිනක් කිලිටි රෙදිත් පටවාගෙන ගඟ ලඟට පැමිණි අපුල්ලන්නාට තමා වැඩ කටයුතු නිමවන තෙක් බූරුවා ගසකට තබා බැඳ තබන කඹය ගෙන ඒමට අමතක වී ඇති බව වැටහුණි. මෙයින් ඔහු ඉතා කනස්සල්ලට පත්විය. කඹය ගෙන ඒමට නැවතත් නිවසට යාමෙන් ඵලක් නැත. එවිට නැවතත් පැමිණීමට කාලයක් ඉතිරි නොවේ. බූරුවා ගැට ගැසුවේ නැත්නම් ඔහුට තම ජීවිකාව කරගන්නා එකම වාහනය නැතිවෙයි.

මෙලෙස විස්සෝපයෙන් සිටින රෙදි අපුල්ලන්නාට ගඟට යාබද අසපුවක වසන බමුණෙක් ඔහු සිටින දෙසට පිය නගනු පෙනුණි. ඔහු දිව ගොස් බමුණාට තමා පත්වී ඇති අකරතැබ්බය විස්තර කළේය. සිනාසුණු බමුණා එය ඉතා පහසුවෙන් විසඳිය හැකි ගැටළුවක් බව පැවසීය.

"ඔබ බූරුවාට පෙනෙන්න කඹය ගන්නා බව අභිනයෙන් පෙන්වන්න. ඉන්පසු බූරුවාගේ ඉදිරියෙන් ගොස් වෙනදා මෙන්ම  කඹය උගේ කරේ බැඳ අනෙක් කෙලවර ගසෙහි බඳිනවා සේ රඟපාන්න. ඉන්පසු ඔබගේ වැඩපල ටික වෙනදා වගේම කරගන්න".

රෙදි අපුල්ලන්නාද බමුණා කියපු ආකාරයෙන්ම බූරුවා ගසට තබා ගැට ගසන බව අභිනයෙන් දැක්වීය. 

ඉන්පසු රෙදි ටිකත් ගෙන ගඟ ලඟට ගිය අපුල්ලන්නා තම වැඩය කරන අතර වරින් වර ඈතින් සිටින බූරුවා දෙස බැලීය. ඌ වෙනදා මෙන්ම ගහ යට රැඳී සිටියි. 

සවස තම කාරිය නිමවා සේදු රෙදි ටික බූරුවාගේ පිට උඩ පටවාගත් අපුල්ලන්නා බූරුවාගේ පිටට අතින් පහරක් දුන්නේය. එය නිවසට යාම ඇරඹීමේ සංඥාව විය. එහෙත් බූරුවා හෙල්ලෙන්නෙවත් නැත. කිහිප වරක් උත්සහ කර බූරුවා ගමන් කරවීමට අපොහොසත් වූ රෙදි අපුල්ලන්නා බමුණාගේ අසපුවට දිව ගොස් අළුත් තත්වය පැහැදිලි කළේය. 

"ඕක සුළු දෙයක්. උදේ කළා වගේම දැන් බූරුවාව  කඹයෙන් ගලවා දමන බව අභිනය කරන්න". 

රෙදි අපුල්ලන්නා බමුණාගේ උපදෙස් එලෙසම ක්‍රියාත්මක කල අතර ඉන් පසු පිටට වැදුණු පහරත් සමගම  බූරුවා සුපුරුදු ගමන ඇරඹිය.

---------------------------------

රෙදි අපුල්ලන්නා විසින් බූරුවා ගැට ගැසුවේ එක් නොපවතින කඹයකිනි. නමුත් අප සමාජයේ සිටින අති බහුතරයක් මෙලෙස මනෝමය කඹ ගණනාවකින් බැඳ දැමූවන්ය. උපන්දා සිට දෙමාපියන්, නෑදෑ වැඩිහිටියන්, ගුරුවරුන් විසින් ආගම, ජාතිය, දේශපාලන පක්ෂය, කුලය, සමාජ මට්ටම ආදී අදෘශ්‍යමාන කඹ රාශියකින් මිනිසා බැඳ දමයි. වැඩිහිටියන් බවට පත්වෙද්දී මේ බොහෝ දෙනෙක් තමන්ගේම කඹ නිර්මාණය කරගන්නා අවස්ථා එමටය. 

කඹයේ බැඳි බූරුවාගේ ලෝකය ඌ කඹයේ දිග යැයි සිතන දුරයි. තමා බැඳ දමා ඇත්තේ මනෝමය කඹයකින් බව නොතේරෙන තාක් කල් බූරුවා නිදහස් ලෝකයට සාප කරමින් බර පොදිය පැමිණෙන තෙක් ගහ යට බලා සිටිනු ඇත. 



6 comments: