Wednesday, 17 July 2019

අපිට ඕනේ මොඩල් එක - සිංගප්පුරු මොඩලයද?


අපි පස්වරු 2ට පමණ ගෙදරින් පිටත් වන අතර කිලෝමීටර 300 කට වඩා දුරගෙවා පස්වරු 6ට පමණ ජෝහොර් බාරු වෙත ලඟා වෙමු. එහි හෝටලයක රාත්‍රිය ගතකරන අප පසුදා උදෑසනින් අවදි වී ගමන ආරම්භ කර වුඩ්ලන්ඩ් පාලම හරහා සිංගප්පුරුවට වන්නෙමු. 

අපි මැලේසියාවේ ගතකල වසර දහයක කාලය තුල මම පස්වරක් සිංගප්පුරුවට ගොස් ඇත්තෙමි. මේවන විට මම හරියටම ලෝකයේ ඇති රටවල් 50 කට පා තබා ඇත. ඉන් මා යාමට අකමැතිම රට සිංගප්පුරුවයි. ප්‍රථම වර මා එහි ගියේ එහි සුන්දරත්වය නැරඹීමට කීවොත් සත්‍යයකි. අනෙක් සෑම වරකම ගියේ අත්‍යවශ්‍ය වූ කාරණාවකට පමණකි. 

සිංගප්පුරුව ලොව ඇති පිරිසිඳුම රටකි. එහි අගය කිරීමට බොහෝ දේ ඇත. අහස සිඹින ගොඩනැගිළි, විනෝද උයන්, තරු ගණනාවක හෝටල්, ඉතා ක්‍රමවත් මාර්ග පද්ධති,  ඕනෑම ක්‍රියාවලියක ඇති ක්‍රමවත්භාවය ආදී ධනාත්මක කරුණු රැසකින් හෙබි මේ නුවර මා යාමට අකමැතිම ස්ථානයක් වන්නේ කෙසේදැයි ඔබ විමතියෙන් අසනු ඇත. 

සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත. බස් රථයකට හෝ දුම්රියකට ගොඩ වන ඔබට තම ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ දෙනෙත් ඔබා නොගත් පුද්ගලයෙකු දැකිය හැකි නම් එය පුදුමයකි. 

තෝකියෝවේ හෝ  හොංකොන්  නුවරදීද ඔබ මීට සමාන මිනිසුන් දකිනු ඇත. එහෙත් ඔවුන් ඉතා ආචාරශීලි වන අතර ඔවුන්ගෙන් කලාත්මක වින්දනය සම්පුර්ණයෙන් ගිලිහි ගිය බවක් නොපෙනේ. වරක් සිංගප්පුරුවේ උමං දුම්රිය පොළකදී අතපසු වීමකින් වයස 16 ක පමණ දැරිවියකගේ  ජංගම දුරකතනයේ මගේ අත යාන්තමින් වැදුණු අතර ඇය ඉතා උස් හඬින් මට බැන වැදුනාය. එවන විට වසර 8 ක් පමණ මැලේසියාවේ ලයාන්විත මිනිසුන් සමග දිවි ගෙවා තිබු මම ඇය දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමි. 

1965 ට පෙර මැලේසියාව සහ සිංගප්පුරුව එකම රටකි. එහි වාසය කලේ එකම ජන කොට්ඨාශයකි (මැලේ, චීන, ඉන්දියන් මිශ්‍ර). වසර 50කදී ආර්ථික වශයෙන් මැලේසියාවට වඩා බොහෝ දුර ගමනක් සිංගප්පුරුව ගියේය. දරුණු නීති රීති යටතේ සිංගප්පුරුව විශාල ආර්ථික ප්‍රගතියක් අත්පත් කරගත්තේය. එහි දුෂණය බිංදුවක් ලෙස බොහෝ දෙනා දකිති. සිංගප්පුරු ජාතිකයන් බොහෝ දෙනෙකු අතර ආගම, ජාතිය, වර්ගය වැනි සංකල්ප පිළිබඳව හැඟීමක් නැත. මේ නිසා මෙම බෙදීම් මත පදනම් වූ ගැටුම් එහි නැත. 

මේ සියළුම යහඵල වෙනුවෙන් අඩසියවසක් තුල සිංගප්පුරුව විශාල ගෙවීමක් කර ඇත. එනම් රටේ සංවර්ධනය භුක්ති විඳීමට මිනිසුන් වෙනුවට යන්ත්‍ර බිහි කිරීමයි. ඔබට වුඩ්ලන්ඩ් පාලමෙන් මෙපිට මැලේසියාවට පා තබන විට මේ වෙනස සැබවින්ම දැනෙනු ඇත.

මම හැමදාම කියන කළු සහ සුදු ලෝකය වෙතට මම නැවතත් ඔබව රැගෙන යමි. කළු කළු වන්නේද සුදු සුදු වන්නේද දකින්නාගේ විඥාණය මතය. මා සිංගප්පුරු ජාතිකයන් කිහිප දෙනෙකු සමගම ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳව කතා කර ඇත්තෙමි. ඔවුන් සියළු දෙනාම එම ජීවිතය පිළිබඳව තෘප්තිමත්ය. ඔවුන් සැම දෙනෙකුගේම සතියේ රටාව එක හා සමානය. ගමන, රැකියාව, රෙදි සේදීම, ආහාර පිසගැනීම සහ අනුභව කිරීමට අමතරව ඔවුන් කරන්නේ සිකුරාදා සවස පබ් එකකට ගොස් බියර් වීදුරුවක් බීමත්, රුපවාහිනිය නැරඹීමත්ය. 

මිතුරු හෝ නෑදෑ ඇසුර, අසල්වැසියා සමග සතුටු සමිච්චිය, ආගමික හෝ සංස්කෘතික කටයුතුවල යෙදීම, විනෝද ගමන් යාම, චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හෝ නැටුම් දර්ශන නැරඹීම ආදී ක්‍රියා ඔවුන්ගේ කාල සටහනේ නැත.

දුප්පත් සමාජ පන්තිවල බොහෝ දෙනාට මේ සිංගප්පුරු ජාතිකයා නොකරන දේවල් කිරීමට ශක්තියක් නැත. එහෙත් ආර්ථික ශක්තිය තිබියදීද එයින් ඈත්වීම ඛේදයක් ලෙස මම දකිමි. සමහර ආගමික සමාජ තුලද මේ තත්වය ඇත. එබඳු තමා විසින් තමාගේ මනසට විලංගු දමාගත් ප්‍රජාවන් පිළිබඳව මම මෙහිදී කතා නොකරමි.

සිංගප්පුරු ජාතිකයෙක් උපතේ සිට මරණය දක්වා ඔහුගේ ජීවිතය ක්‍රමලේඛනය (programmed) කර ඇති බව මට හැඟෙයි. මිනිස් ජීවිතයක් යනු මෙම රජයේ ක්‍රමලේඛන රාමුවෙන් ඔබ්බට ගිය භුතාර්ථයක් විය යුතුයැයි මම සිතමි. මෙම ක්‍රමලේඛනය සහ සමහර ආගමික-සංස්කෘතික රාමු තුල බලහත්කාරයෙන් යොදන මානසික විලංගුවක් අතර ලොකු වෙනසක් මට නොපෙනේ. විලංගු ලාගත් සිංගප්පුරු ජාතිකයා මෙන්ම ආගමික අනුගමිකයාද තම විලංගුව සැපයක් බව සිතයි. මට සිංගප්පුරුව පෙනෙන්නේ, ලෝකයේ ඇති සුවපහසුම සිපිරි ගෙය ලෙසයි. මෙය සමහර විට මගේ චින්තන දෝෂයක් විය හැක. 

ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුව පිලිබඳ ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් ඔහුගේ ක්‍රියා මාර්ගය පසසනු ඇත. මමද එතැන සිටිමි. 

පැය 24ක් තුල මැලේසියාව විසින් පසු පසට පයින් ගසා සිංගප්පුරුව තම ෆෙඩරේෂනයෙන් (Malaysian Federation) එලවා දැමුයේ එහි වෙසෙන මිලියන දෙකක ජනතාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකරය. ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩක මේ පියා දරුවන් මිලියන දෙකක් සමග තනිවිය. ඔහුට තිබුණේ තේරීම් දෙකකි. එකක් සිය දරුවන් සමග මිය යාමයි. නැතිනම් ඉතා කර්කෂක රළු පථයක දිවි පරදුවට තබා ජාතිය ඉදිරියට ගෙන යාමයි. ඔහු දෙවෙනි මාර්ගය තෝරාගත්තේය. 

ඒ ගමන සඳහා ඔහු තම දරුවන් යන්ත්‍ර බවට හැරවීය. යන්ත්‍රවලට රිදවිය නොහැක. මාර්ගයෙන් පිට පනින යන්ත්‍ර ඔහු අක්‍රිය කර කොටස්වලට ගලවා දැමිය. ඒ ගැන අනෙක් යන්ත්‍ර කිසිඳු හඬක් නොනැගීය. ඒ ඒවා යන්ත්‍ර නිසාය. වසර 50 ක පමණ දිගු ගමනකින් පසු ලී ක්වාන් යූ නික්ම ගියේ ඔහුගේ පොරොන්දු දේශය යථාර්තයක් වූ බව මැනවින් පසක් කරගනිමිනි. එහෙත් එහි සිටින දරුවන් යන්ත්‍ර බව ඔහු අවබෝධ කරගත්තාදැයි මම නොදනිමි.   

මේ කතාව මට කීමට සිත් වුයේ ලංකාවට අවශ්‍ය රාජ්‍ය පාලන මොඩලය හෙවත් ආකෘතිය පිළිබඳව යම් කතිකාවතක් ඇතිවී ඇති නිසයි. 

ලංකාවට අවශ්‍ය සිංගප්පුරු මොඩලයද? මගේ පෞද්ගලික අදහස නම් අනිවාර්යයෙන්ම එය නොවන බවයි.

1965 දී ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුවත්, අද පවතින ලංකාවත් සංසන්දනය කිරීම ඔබට බාරය.

කෙසේ නමුත් අපේ මොඩලයකට සිංගප්පුරුවෙන් ගත හැකි දේ බොහෝ ඇත. 

........ ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක -ලාංකීය සමාජවාදී මොඩලයද?

13 comments:

  1. ලංකාව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. සිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.

    රටවල් දෙකේම පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට පලමු තැන සහ අනෙක් සංස්කෘතීන් සියල්ලට දෙවෙනි තැන. තුන්වැනියෝ නෑ.

    නමුත් සිංගප්පූරුවේ ප්‍රධාන ජන වර්ග වන චීන මැලේ දෙමල වාර්ගිකයන්ට සිංගප්පූරුවෙන් පිටත පැවැත්මක් තියෙනවා.

    සිංහලයන්ට තම වර්ගය බෝකරන්න පුළුවන් ලංකාව තුල පමණයි. අනිත් රටවලදී සිංහලයන් වඳවෙලා යනවා.

    එමනිසා ලංකාව සිංගප්පූරුවක් වීම යනු සිංහල ජාතියේ මලගම බව සැලකිය යුතුයි.
    මැලේසියාවේ තත්වය ඊට වෙනස්. මැලේසියාව තුල මැලේ සංස්කෘතියට ප්‍රධාන තැනත් තියෙනවා.
    සිංහලයන්ගේ දේශපාලන අභිලාශය වියයුත්තේ ලංකාව සිංහල බෞද්ධ මැලේසියාවක් කරගැනීමයි.

    සිංහල මිනිස්සු දේශපාලනයේදී ආර්ථිකය සහ යහපාලනය යන සාධක බල්ලාට දැමිය යුතුයි. දැනටමත් ලංකාවේ දෙමල මුස්ලිම් වාර්ගිකයන් දේශපාලන තීන්දු ගන්නේ ආර්ථික දියුනුව ගැන හිතලා නෙමෙයි.

    උදාහරණයක් කියනවා නම්:
    ඔබට මතක ඇති මුත්තයියා මුරලිධරන් වතුදෙමළාගේ බඩගින්න ගැන කතාකලා. අඩුම වශයෙන් වාමාංශික පක්ෂයකින්වත් එයාට ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. එයා නිකාං නෝන්ඩි වුනා.
    මුරලිධරන්ට වතු දෙමෙල්ලුවත් චන්දෙ දෙන්නේ නෑ.
    මුරලිධරන් සිංහල මහජාතියෙන් වතු දෙමළ සුළු ජාතියට වන අපරාධ ගැන කිව්වනම් එයාට පරිනත දේශපාකයෙක් වෙන්න තිබුනා.

    සිංහලයොත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. ආර්ථිකය ගැන කියවන එවුන්ට චන්දෙ දෙන්න එපා.

    ReplyDelete
  2. මමත් එක වරක් මැලේසියාවේ සිට සිංගප්පූරුවට ගියා. හැබැයි ආයේ යන්න හිතෙන රටක් නෙවෙයි. පිරිසිදු කම දියුණුව හැමදේම තිබුනට ජිවත් වීමට හිතෙන ගතියක් දැනෙන්නේ නැහැ. මොකක්දෝ හිර වුන හැඟීමක් මුළු ගමන පුරාම තිබුනා. සමහරවිට ඔබ පැවසූ ලෙස මැලේසියාවේ කාලයක් ජිවත් වීම නිසා ඒ වෙනස දැනෙන්න ඇති. මැලේසියාව සෞම්‍ය රටක්. ජිවිතේ පහසුයි.

    මම මැලේසියාවේ කලින් වැඩ කරපු තැන මගේ ප්‍රධානියා පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් වෙච්ච චීන ජාතිකයෙක් . අපි ඔහු සමග වැඩ කිරීම අපහසු බව කියද්දී වෙන චීන ජාතික යාළුවෙක් කිව්වේ මෙයා එක්ක වැඩ කිරීම අමාරුයි කියල හිතනවානම් ජිවිතේට සිංගප්පූරුවේ වැඩ කරන්න යන්න එපා කියල... :). නමුත් එහෙ වැඩ කරන මගේ යාලුවෝ ඉන්නවා. සමහරවිට ඔබ කිව්වා වගේ හුරු උනාම ගානක් නැතිව ඇති.


    ලංකාවට මැලේසියාවේ ක්‍රමය ගැලපෙනව කියල මටත් හිතෙනවා.


    ReplyDelete
    Replies
    1. හොඳ කියන්නෙ සංසන්දනාත්මකවනෙ. ලංකාවට සංසන්දනය කලාම ඔය දෙකම හොඳයි

      Delete
    2. Pra Jay, ලංකාවේ සමහර දේට සංසන්දනය කලාම මේ රටවල් දෙකම හොදයි තමා. මට හිතෙන දේ නම් අපිට හරි පාරකට වැටෙන්න පුළුවන් නම් සමස්තයක් විදියට මේ රටවල් දෙකටම වඩා හොද තත්වයක් ලබා ගන්න පුළුවන් කියන එක. ලංකාවේ අපේ ගතිගුණ සහ මැලේ මිනිසුන්ගේ ගතිගුණ වල බොහෝ සමානකම් තියෙනවා. ඔවුන්ගේ අපට වඩා මම දකින වෙනස නම් ඔවුන් තුල ධනවාදී ආකල්ප අපිට වඩා තියෙනවා. ඒක කාලයක් තිස්සේ ගොඩ නැගුන දෙයක් කියල මම හිතන්නේ. ලංකාවේ බොහෝ දෙනෙකුට එවැනි හැඟීම් තියෙනවා කියල හිතෙන්නේ නැහැ. නමුත් අපි කවදාවත් යාන්ත්‍රික වෙන්න කැමති ජාතියක් නෙවෙයි. මම හිතන්නේ සෙමින් නමුත් ස්ථාවරව යන ක්‍රමයකින් මිනිස්සුගේ ආකල්ප වෙනසක් කරගෙන ලංකාවට දියුණු වෙන්න පුළුවන් කියන එක. ඒ වගේ දෙයක් කරන්න වඩා සුදුසු මහතීර් මොහොමඩ් වගේ කෙනෙක් මිසක් ලි ක්වාන් යූ වගේ කෙනෙක් නොවෙයි කියලයි මට හිතෙන්නේ

      Delete
  3. Whilst respecting DR Gomes's views on people of Singapore, I have to say that his description does not fit into all Singaporeans and it is unfair by many of my friends whom I have been closely associating since 1982. Whilst I agree in general that the present generation of them may be insensitive to social relationships, in my circle of friends (for the past 37 years) I had the good fortune to associate a large number who are warm, loving,hospitable, caring and selfless people with lifelong relationships. Some of them treat me as their own family. They have readily helped many of my Sri Lankan friends visiting Singapore and such persons too will vouch for the warm hospitality they experienced. Therefore its unfair to put everyone in the same basket. The Bottom line is, that one's perceptions are formed based on his/her own experiences. In short, let me offer to introduce you to some of my close friends when you visit Singapore and let me hear from the horse's mouth afterwards. There are sensitive and insensitive people in any country. Probably it may be true that there are more of the latter in Singapore.

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your valuable comment.

      I was expecting a similar comment. Actually, the objective of this article was to emphasize on few things relevant to Sri Lanka rather than denouncing Singapore.

      Usually in our writings we look at the general perspectives of a country. There are always exceptions. For an example many Europeans who have few SL friends, call us the smiling nation. But we know that there are many frowning faces in this society.

      I have a number of Singaporean friends and colleagues. All of them are wonderful people individually but a majority are the machines as they get into their society. Before I wrote this article I checked with few of my friends (Sri Lankan, Bangladeshi, New Zealand and Australian) who lived for few years in Singapore. All of them had the same opinion of this machine-like life there. On the other hand if you ask people who lived for many years in Singapore, they will give different views as they themselves get dissolved in the society.

      There is no question that what happened to Singapore is great and excellent compared to what they were at the beginning of the journey.

      The bottom line is that do Sri Lankans need or ready to walk the same journey that Singapore has started 50 years ago?

      Delete
    2. දෙදහස් දහයේ එකොලහේදී පමණ කොළඹදී මට සිංගප්පූරු ජාතික ඉංජිනේරුවකු සමග රාජකාරී කටයුත්තක නියැළීමට ඉඩ ලැබුණා. ඔහු ඉංජිනේරු දිවියෙන් විශ්‍රාම ගෙන උපදේශක වරයෙක් වශයෙන් සේවය සපයන වයස හැට පහක පමණ මැන්ඩරීන් සම්භවයක් සහිත පුද්ගලයෙක්. සින්ගප්පූරුවේ ඇති පිළිවෙල සහ පිරිසිදුකම ශ්‍රී ලංකාවට කවදාවත් ළගාකරගත නොහැකි බව මා පවසද්දී ඔහු පුන පුනා පැවසුවේ ශ්‍රී ලාංකිකයින් නිදහසේ කැමති ලෙසකින් ජීවත් වන බවත් ඔහු ඇතුළු සිංගප්පූරු ජාතිකයින්ට කවදාවත් ඔවුන්ට කැමති ලෙසකට ජීවත්විය නොහැකි බවයි. ඔහු සිංගප්පූරුව පිළිබඳව මා සමග දැක්වූ අදහස් බොහොමයක් ඔබගේ ලිපියෙහි කරුණු හා සමපාත් වන බව මට හැගේ. එහෙත් ලංකාවේ වල්බූරු නිදහසට වඩා සිංගප්පූරු යාන්ත්‍රික ක්‍රමය හොද යැයි විටෙක මට සිතේ.

      Delete
  4. තායිලන්ත මොඩලය ගැන ඔබතුමා මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔබ ඒ පිළිබඳව හදාරා ඇත්නම් මෙහි කොමෙන්ටුවක් ලෙස පල කරන්න. එය මේ පිටුවට එන හැමටම ඵලදායි වේවි.

      Delete
  5. ඉතා ගැඹුරින් අධ්‍යයනය කර නැතත් යම්කිසි මට්ටමකින් ඔවුන්ගේ මොඩලය අධ්‍යයනය කර ඇත්තෙමි. ඉක්මනින්ම පළ කරන්නම්

    ReplyDelete
  6. Thanks for your sharing, it helps me a lot and I think I'll watch your post more.
    ………………...
    โกลเด้นสล็อต
    ทางเข้า goldenslot

    ReplyDelete
  7. Thanks for your sharing, it helps me a lot and I think I'll watch your post more.
    …………………….
    slotxo
    สล็อตxo
    ทางเข้า slotxo

    ReplyDelete