Thursday, 23 May 2019

එය ඇරඹී ඇත...



කුඩා කල මා බොහෝ සති අන්ත ගත කරන්නේ අපගේ මවගේ දෙමාපියන්ගේ නිවසේය. අපි එය හැඳින්වුයේ ආච්චිලාගේ ගෙදර කියාය. එහිදී මට නිතර ඇසුණු දෙබසක් මට එදා මෙන්ම අදත් විද්‍යාත්මකව පැහැදිලි කල නොහැක. 

"මේ, මම පොළට යනවා. එන්න දවල් වෙයි. රෙදි ටික අව්වේ දාල යන්නද?" මේ අපේ ආච්චිගේ පැනයයි. 

"හා, දාල යන්න අද වහින්නේ නැහැ" සමහර දිනවල සීයා කියයි. 

"දාල ගියාට කමක් නැහැ. ආව ගමන් ගන්නවා හොඳයි. හවහට වහී" මේ තවත් දිනෙක කාලගුණ අනාවැකියයි. 

"අපෝ අද වහිනවා, රෙදි දාල යන්න එපා, මට ඕව ගන්න මතක් වෙන්නේ නැහැ. මතක ඇතුව කුඩේ අරන් යනවා හොඳයි, ඔය කොලුවව තෙමන්නේ නැතුව" ඔහු මෙසේ කියන්නේ මමත් නිතරම පොළේ  යන ගමනට සම්බන්ධවන නිසාය. 

සීයාගේ කාලගුණ අනාවැකිය පිළිබඳව ආච්චිට තිබුණේ පුදුම විශ්වාසයකි. ඇය සමහර විට සීයාගේ කාලගුණ වාර්තාව අල්ලපු ගෙවල් වලටද ලබා දෙයි. මට මේ වාර්තාවේ නිරවද්‍යතාවය නිරීක්ෂණය කිරීමට කවදාවත් මතක් වුයේ නැත. එහෙත්, "මම කිව්වා මිසිස් පෙරේරාට අද දවල්ට වහිනවා කියල, ඇහුවේ නැහැනේ. ඔන්න රෙදි ටික ඔක්කොම තෙමුනට පස්සේ අකුලාගෙන ගියා" මෙලෙස ආච්චි කියන වාර නම් අනන්තවත් අසා ඇත. 

.......................................................

ජිවිතයේ අත්දැකීම් සමග සමහර මිනිසුන්ට  අනාගතය පිළිබඳව ලැබෙන ඉව මා රටවල් ගණනාවකදී නිරීක්ෂණය කර ඇත. ඒ හැකියාව ඇති බොහෝ මිනිසුන් මට මුණ ගැසුනේ සාමාන්‍ය ජනතාව අතරේදීය. දින දෙකකට පසු සන්ධ්‍යා කාලයේදී යම් නිශ්චිත කුඩා ප්‍රදේශයකට ඇතිවන අකුණු පිළිබඳව ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකි ගැමියන් මට අප්‍රිකාවේදී හමුවී ඇත. මෙය මා දන්නා අකුණු විද්‍යාවෙන් කිසිසේත්ම පැහැදිලි කල නොහැක. මට සිතෙන ආකාරයට මෙය අන් සියළු සත්වයන්ට සේම මනුෂ්‍යයාටද උපතේදීම ලැබෙන හැකියාවකි. වැඩිවිය පැමිණෙන විට අප මත සමාජය විසින් බලහත්කාරයෙන් පටවන "උගත්කම" අපව පරිසර සංවේදීතාවය පිළිබඳව නූගතුන් කරයි. 

ඔබට ලෝකය අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්, ඔබේ උගත්කම පසෙකින් තබන්න.

.........................................................

මේ කතන්දර මැද කතන්දර මට කියන්න සිත් වුයේ, ලංකාවේ දැනට සිදුවෙමින් පවතින සමාජ පරිවර්තනයක ඉව දැනෙන්න වූ නිසාය. මට ලංකාවේ එදිනෙදා සිදුවන හැඩතල වෙනස්කම්, වර්ණ ගැන්වීම්, ඇසට පෙනෙන්නේ නැත. ඒ මා සත් සමුදුරක් එතෙරින් සිටින නිසාය. නමුත් පසුගිය කෙටි කාලය තුල, පුවත් මගින් කියවෙන, නෑදෑ හිතමිතුරු දුරස්ථ සංවාද වලින් ඇසෙන කරුණු මගේ නූගත් ඉවට යම් යම් අනාගත සිදුවීම් පිළිබඳව පූර්ව දැනීමක් ලබාදෙයි. මේ අනාගත පින්තුරය පූර්ණ ඉවක් මතම සිත්තාරු කෙරෙන්නක් ලෙසද මම නොසිතමි. ඒ එහි යම් තාර්කික පදනමක්ද නැතුවාම නොවන නිසාය. 

......................................................

පසුගිය වසර දහය තුල ලාංකික ජන සමාජය තුල දේශපාලුවා පිළිබඳව ඇති ප්‍රසන්න චින්තනය ක්‍රමයෙන් වියෝවන බව පෙනුණි. සාමාන්‍යයයෙන් එතෙක් සිදුවුයේ අඩ-දශකයකට පමණ වරක් මහජන දේශපාලන ලැදියාව පක්‍ෂ දෙකක් හෝ තුනක් අතර දෝලනය වීමයි. එහෙත් පසුගිය දස වසර තුල මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් වූ අතර අවසන් වසර තුන තුල එය ත්‍වරණයට ලක්වී පසුගිය සති කිහිපය තුල විදුලි වේගයක් ලබා ගත් සේයක් දැනේ.

.......................................................

සහරාන් බොහෝ දේ වෙනස් කළේය. කෙදිනක හෝ ඔහු ඉතිහාස ගත වනු ඇත. ඒ ලංකික ජනමනස පූර්ණ පරිවර්තනයකට භාජනය කල එක් ප්‍රබල සාධකයක් ලෙසයි. සහරාන්ගේ ක්‍රියාදාමය නිමවන්නේ ලාංකික බහුතර ජන විඥානය තුල දේශපාලන රාමුවම පිළිබඳව දැඩි පිළිකුලක් මතුකරමිනි. මෙම සිද්ධිය හා සම්බන්ධව සියළුම දේසපාලුවෝ අසමර්ථ විය.

"මම සිටියා නම් මෙසේ කරන බව", ඔවුන් කියන හැම විටම ඔවුන්ද පින්තුරයේ කොතැනක හෝ සිටින බව ඇස් කන් ක්‍රියාත්මක වන සියළු දෙනාටම අවබෝධ වන්න විය. ඇස් කන් වසා ගෙන සිටින දේශපාලන ගැත්තන් පමණක් අනෙකාගේ වරද දකිමින් තමාගේ පිලට සුදු හුණු ගෑමට යත්ත දැරුවත්, ඔවුන් වේගයෙන් සුළුතරය වෙමින් පවතී. 

අපි කෙතරම් system change එකක් ගැන කතා කලත්, ජනතාව එය තේරුම් ගත්තත්, ජනවිඥානයට එය අවබෝධවන තෙක් පරිවර්තනයකට මග පෑදෙන්නේ නැත. එය දැන් සිදුවෙමින් පවතී. තමන්ම තමන්ට ප්‍රභූන් යයි කියාගන්නා හොර තක්කඩියන්ට  එරෙහිව නැගුණු හෝන් හඬ මේ පද්ධති පරිවර්තනයේ සැබෑ ආරම්භය ලෙස මම දකිමි. මන්ද එය කිසිසේත්ම පෙර සංවිධානායකින් තොරව ජන මනස තුලින් පැනනැගුනු විරෝධයක් බැවිනි. 

රටේ අප්‍රසාදයට පත් වූ දේසපාලුවෙක් දුකට පත් ජනතාව වෙනුවෙන්, ජනතාවගේම මුදල් ලබාදීමට සංදර්ශන පැවැත්වීම හා ඊට පැන නැගුනු විරෝධයද සැලකිය යුතු කාරණයකි. මෑත කාලයේදී යම් කලාකරුවන් කිහිප දෙනෙකු විසින් මේ සඳහා පූර්වාදර්ශ ලබා දී තිබුණි. ඉන් පසු විපක්ෂයේ දේශපාලුවන් දක්වන්න ගිය අනවශ්‍ය සහ අනාරාධිත පාසැල් ප්‍රදර්ශනයන්ට නැගුනු හූ හඬද බැරෑරුම් ලෙස තේරුම් ගැනීමට තරම් ලාංකීය දේසපාලුවා මුහුකුරා ගොස් ඇතැයි මම නොසිතමි. 

මෙතෙක් සුළුතරයක් තුල හෝ යම් බලාපොරොත්තුවක් ජනිත කරවූ ජනතා විමුක්ති පෙරමුණ ස්වයං-විනාශයක් කරා ගමන් කිරීම පිළිබඳවද මෙහිදී යමක් නොකියාම බැරිය. ඉතා අපකීර්තිමත් දේශපාලකයෙකු රැකගැනීම සඳහා ඔවුන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙහි අරමුණ තේරුම් ගැනීමට අසමත් කුඩා දරුවෙක් පවා ඇතැයි සිතිය නොහැක. ඔවුන්ගේ මේ බිඳ වැටීම පරිපුර්ණ පද්ධති වෙනසක ආරම්භය සැබෑවටම සනිටුහන් කරයි. 

ජන මනස පිබිදීමත් සමගම ධනාත්මක මෙන්ම ඍණාත්මක ක්‍රියාවලියන්ද උත්ප්‍රේරණය වී ඇත. වසර කිහිපයක් තිස්සේ සංවිධානාත්මකව සිදු කිරීමට යත්ත දැරූ, යම් ජන වර්ගයකට අයත් ව්‍යාපාර වර්ජනය කරවීම, මෙතෙක් හැමවිටම අසාර්ථක විය. එහෙත් මෙවර එය ජනවිඥානය තුලට සාර්ථකව ඇතුළු කිරීමට සහරාන් සමත් විය. මෙහි යහ-අයහ ඵල අනාගතයේදී අපි විඳිනු ඇත. 

............................................................

දෑස් වසාගෙන වුවද දකින්න. එය ඇරඹී ඇත. ඔබද එහි ඇත. 


Thursday, 16 May 2019

ලංකාව කොයිබටද?


මගේ ජීවිත තුල මා සාමාන්‍ය කතා බහක යෙදී ඇත්තේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකු සමග පමණි. ඒ දෙදෙනාම පකිස්ථානුවන්ය. පර්වේස් මුෂරෙෆ් හා බෙනාසීර් භූතෝ ඒ දෙදෙනාය. පළමුවැන්න රාජ්‍ය නායකයාව සිටියදීත් දෙවැන්නා නායකත්වයෙන් පරාජයවී සිය රටෙනුත් පිටමන්වී සිටින අවධියක මට මුණ ගැසුණි.

මුෂරෙෆ් මහතා හමුවූ දෙවතාවෙහිම මම බොහෝ දේ ඉගෙනගත්තෙමි. එක් අවස්ථාවක අපගේ කතාව නොසිතූ පැනයක් වෙතට ඇදී ගියේය. මට මතක ඇති ආකාරයට ඒ මාතෘකාවට අපව ගෙන ගියේ අපගේ සාකච්චාවේ රැඳී සිටි ආතාර්-උර්-රහ්මාන් මහතාය. පැනය වුයේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක සිට හමුදා පාලනයකට රටක් ගෙන ඒම බලහත්කාරයක්ද යන්නයි.

මුෂරෙෆ් මහතා සාමාන්‍ය කතාබහේදී ඉතා ප්‍රියමනාප පුද්ගලයෙකි. ඔහු ඉතා සැහැල්ලුවෙන් ඔහුගේ පිළිතුර ඇරඹීය.

"රටක පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මුළු දේශපාලන තන්ත්‍රයම අන්ත දුෂිත වන විට ජනතාව අසරණ වෙනවා. එවිට ඔවුන්ට ඇත්තේ එකම පිලිසරණයි ඒ රටේ හමුදාවයි. මහජනතාවට වැදගත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද නැත්නම් මිලිටරි ආණ්ඩුවක්ද කියන එක නෙවෙයි. වැටුණු දේශයක් ගොඩගත හැකි පාලකයෙක්. රටක දේශපාලනය දුෂණයේ අන්තයටම වැටෙන අවස්ථාවක හමුදා නායකයා නැණවත් එසේම උදාර පුද්ගලයෙක් නම් එය දෙවියන්ගේ ආශීර්වාදය ලත් දේශයක්"

ඔහු තම පැහැදිලි කිරීම නිම කලේ යම් ගාම්භීර, ආත්මාභිමානයෙන් යුත් ස්වරයකිනි.

රටවල් කිහිපයකම දේශපාලනය අත්විඳ ඇති මට ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව යම් ඉවක් දැනෙයි. අප මෙතෙක් කල් කතා කල system change එක පැමිණීමට වේදිකාව සකස් වී ඇතැයි මට සිතේ. එහෙත් එය අප බොහෝ දෙනෙක් සිතු පද්ධති වෙනසට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇත.

ශ්‍රී ලංකාව දෙවියන්ගේ ආශිර්වාදය ලත් දේශයක් දැයි අනාගතය විසින් තීරණය කරනු ඇත.



............

Wednesday, 1 May 2019

ලංකාවේ කම්කරු දිනය සහ අජාන් බ්‍රහ්ම්


මට අජාන් බ්‍රහ්ම් ස්වාමින්වහන්සේගේ ප්‍රසිද්ධ කතා දෙකක් මතක් වෙයි. 

එතුමා වරක් ඕස්ට්‍රේලියාවේ සිරගෙදරක පැවැත්වූ දේශනයකදී, තම ආශ්‍රමයේ ඇති අල්පේච්ඡ දිවි පැවැත්ම ගැන දීර්ඝ විස්තරයක් කර ඇත. සිය ගණනක් දෙස් විදෙස් ජනතාව දුර කතර ගෙවාගෙන ස්වේච්චාවෙන් පැමිණ භාවනා කටයුතුවල යෙදෙන මෙම ආශ්‍රමයේ කිසිඳු සුඛෝපබෝගීත්වයක් නැත.  අත්තිවාරමේ සිටම සංඝයා වහන්සේලාගේ සහ අනෙකුත් සැදැහැවතුන්ගේ දෑතින් ඉදිවූ එය ඕස්ට්‍රේලියාවේ සිර ගෙදරක ඇති සුව පහසුව හා සසඳන කල ඉතා අවම මට්ටමක පවතී. 

මේ කතාවෙන් අනතුරුව ඉතා කණගාටු ස්වරයෙන් කතා කල සිරකරුවෙක් "එසේනම් ඔබ වහන්සේ අප සමග විත් නතර වන්න" යයි අවංක සිතින් ආරාධනා කලේය. නිමේෂයකින් සියළු දෙනාටම සිනහ පහල වුයේ සිරකරුට තමා සිටින තැනද අමතක වූ බැවිනි.

ඊළඟ කතාවද මේ සිරගෙදර පිළිබඳවමය. සිරගෙදර අධිපතිගේ ආරාධනයෙන් එතුමා එහි සති පතා පැවැත්වෙන භාවනා පන්තියක් ඇරඹීය. පළමු දින ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී තිබුණි. එහෙත් සතියෙන් සතිය ක්‍රමයෙන් සෙනග අඩුවන්න විය. සති කිහිපයකට පසු ඉතිරිවූයේ සුළු දෙනෙකි. ඉන් අයෙක් භාවනා සැසියෙන් පසු අජාන් ස්වාමීන් වෙත පැමිණ යටහත් පත්ව මෙසේ ඇසීය. 

"අපිට තාප්පේ උඩින් පාවෙලා යන්න තව කොච්චර කල් යයිද?".

ස්වාමීන් වහන්සේට යතාර්ථය තේරුණේ එවිටය. භාවනා කිරීමෙන් මිනිසුන්ට පාවීමේ (levitating) හැකියාව ලබා ගත හැකැයි  යම් අයෙක් (බොහෝ විට තවත් සිරකරුවෙක්) ඔවුන්ට අණ්ඩරයක් දී ඇත. ඔවුන් සියල්ලෝම පැමිණ ඇත්තේ සිරගෙදර බිත්ති වලට උඩින් පාවී පලා යන අරමුණෙනි.

...........................................................................

මීට වසර 32 කට පෙර, ජේ ආර් ජයවර්ධන රජය මැයි දිනය තහනම් කළේය. ඒ සිදුවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර වලින් ජනතාව මුදවා ගැනීමට යයි කියාය. එහෙත් එයින් රට තුල මහා කලබගෑනියක් ඇතිවිය. මිනිසුන් තහනම නොතකා පෙළපාලි ගියේය. අන්තිමට මිනිසුන්ට සිදුවුයේ ත්‍රස්තවාදීන්ගෙන් නොව රජයෙන් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් බේරී සිටීමටය.

වසර 2006 දී මෙලෙසටම රාජපක්ෂ රජය මැයි දින පෙළපාලි නොපවත්වන ලෙස නිල නොවන තහනමක් පැනවීය. ඉන් පසු 2018 වසරේදී වෙසක් පොහොය පටලවාගෙන සිරිසේන-රනිල් රජය මැයි දිනය සතියකින් කල් දමන්න උත්සහ කළේය. අවස්ථා දෙකම කෙලවර වුයේ රට තුල වාද විවාද මෙන්ම කලහකාරී වතාවරණයක්ද ඇති කරමිනි.

මෙවර එවන් කිසිම අණපනත් පැනවීමක් සිදු නොවීය. යම් ඉල්ලීමක් පමණක් බල අධිකාරියෙන් සිදුවිය. සියල්ලෝම ස්වේච්චාවෙන් තම තමන්ගේ මැයි දින පෙළපාලි අවලංගු කළහ. ඒ වෙනුවට ඇතුලත හෝ සුරක්ෂිත එළිමහනක සංකේතාත්මක කෙටි සීමිත රැළියක් පමණක් පැවැත්වීමට සියල්ලෝ වගබලා ගත්හ. 

මේ සංසිද්ධිය අපට පැහැදිලි පණිවිඩයක් ලබා දෙයි. අපගේ සියළු භෞතික ක්‍රියා තීරණය වන්නේ මානසික ප්‍රතිචාරය මත බව අපට දේශපාලනයේ සිට පවුල් ජීවිතය දක්වාම අමතක වෙයි. සෝවියට් කඳවුරේ වැසියන් තුල වූ ජීවන තත්වය එදා සහ අද සංසන්දනය කිරීමේදී අපට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් එදා, කාලයට සාපේක්ෂව වඩා හොඳ ජිවිත ගතකල බවයි. එහෙත්  ඒ වකවානුවේදී සෑහෙන පිරිසක් විශාල ජීවිත අවධානමක් ගෙන බර්ලින් තාප්පයෙන් බටහිරට පැනීමට උත්සහ ගත්තේය. අනෙක් අතට යාමට කිසිවෙක් උත්සහ ගත් බවක් වාර්තා නොවෙයි. අදත් ඔවුන් බොහෝ දෙනෙක් කියන්නේ පසු-සමාජවාදී යුගයට ඔවුන් වඩාත් කැමති බවයි. 

සමාජ පද්ධතියක්, හොඳ හෝ නරක යමක් බලහත්කාරයෙන් කරවීමට යොමු කල හැකි ක්‍රමවේද දෙකකි. එකක් පාලන අධිකාරිය මගින් බලහත්කාරය පැටවීමයි. අනෙක දේව අධිකාරිය මගින් එය සිදු කිරීමයි. 

මේ ක්‍රමවේදයන් දෙකම අවශ්‍යවන අවස්ථා ඇත. ටජ් මහල, මිසරයේ පිරමීඩ, ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආදී බොහෝ දේ අපට පෙන්වන්නේ දේශපාලන බලධිකාරියේ බලහත්කාරයයි. එහෙත් ඒ බලහත්කාරය සමාජයේ අවශ්‍යතා දශක ගණනාවක සිට සහශ්‍ර ගණනාවක් දක්වා සපුරා ඇත. සමාජ පීඩනයේ අන්තයට වැටුණු මිනිස් පද්ධතියක් ඉන් මුදවා ගැනීම සඳහා දේව බල අධිකාරිය මහඟු මෙහෙයක් ඉටු කරයි. අපි එය ලොව දස දෙස සහශ්‍ර කිහිපයක් පුරා දැක ඇත්තෙමු. 

එහෙත් එම බල අධිකාරීන්ගේ අවශ්‍යතාවය වියැකී යද්දී බලහත්කාරයද ක්‍රමයෙන් තුනී කිරීමේ සුදානමක් තිබීම වැදගත්ය. මෙය තේරුම් නොගත් සෝවියට් දේශයට වූ දේත්, එය තේරුම් ගත් චීනයේ පැවැත්මත් මීට හොඳ උදාහරණයන්ය.