Sunday, 14 October 2018

මම මෙන්න මෙයා


මට මතක ඇති ආකාරයට ඒ මේ වසරේ මාර්තු මාසයේ දිනෙකි.  ඉංජිනේරු පීඨයට අයත් අවන්හලෙහි මම කෝපි කෝප්පයක් තොල ගාමින් සිටියෙමි. මා දුටු මගේ මැලේසියානු මුස්ලිම් සඟයෙක් මා වෙතට දිවගෙන ආවේය. තම අත වූ ස්මාර්ට් දුරකථනයෙහි ඒ වන විටත් ක්‍රියාත්මක කර තිබූ වීඩියෝ පටයක් ඔහු මට පෙන්විය. එය මැලේසියානු රුපවාහිනී චැනලයක ප්‍රවෘති ප්‍රකාශනයයි.

පෙරදින පැවති නුවර ප්‍රදේශයේ මුස්ලිම් මිනිසුන්ට පහර දීමේ සිදුවීම එහි පෙන්වමින් තිබුණි. ගල් පොලු මුගුරු රැගත් තරුණයන් පිරිසක් උන්මාදයෙන් මෙන් කඩ පෙළකට පහර දෙයි. තව රූප රාමුවක තරුණ පෙනුමැති හාමුදුරු නමක් රෞද්‍ර විලාශයෙන් පිරිසකට අණ දෙයි. 

"චන්දිම, ලංකාවේ  දරුණු මුස්ලිම් විරෝධයක් තියෙනවද? මුස්ලිම් අයට ලංකාවට යන එක අනතුරුදායකද?" ඔහු ඇසුවේ ඊට සති දෙකකට පමණ පසු IEEE ආයතනයේ ආරාධනයක් මත ඔහුට කොළඹදී දේශනයකට ආරාධනා ලැබී තිබූ නිසාය. 

මොහොතකට මම ගොළු වුනෙමි. සියුම් හිරියක් හිසේ සිට පාදාන්තය දක්වා ඇදී යයි. එය ඇතිවූ ලැජ්ජාව නිසාවෙනි. මේ රටේදී ඔවුන් මා වෙත දක්වන කරුණාව, දයාව, සහෝදරත්වය පිලිබඳ අදහස් එක දිගට මගේ සිතට ගලා එන්න විය. තත්පර කිහිපයකින් මම පියවි සිහියට පැමිණියෙමි.

"හරි හමන් අධ්‍යාපනයක් නොලැබූ, නූගත් තරුණයන් පිරිසක්. මේ මෝඩ පිරිස වැඩිම වුනොත් 200 ක් වෙයි" මම කීවෙමි. 

ටික වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි මගේ සඟයා නික්ම ගියේය.

මම ඉතා දීර්ඝ සිතිවිල්ලකට අවතීර්ණ වුනෙමි. 

"හරි හමන් අධ්‍යාපනයක් නොලැබූ, නූගත් තරුණයන් පිරිසක්". මගේ වදන් මම නැවතත් ආවර්ජනය කලෙමි. 



මගේ සිත වසර 32 ක් ඔබ්බට ඇදී යයි. එය 86 දෙසැම්බරය යයි සිතමි (මා වැරදි නම් මගේ සඟයෙක් නිවැරදි කරනු ඇත). නවක වද සමය යන්තමින් ඉවර වෙමින් තිබුණි. නවක සිසුන්වූ අපට පීඨයේ ජේෂ්ඨයන් තබා අපගේ වසරේම සමහර සඟයන් පවා වෙන්කර හඳුනා ගැනීම උගහටය. 

එදින උදෑසන 7.30 ට පමණ මම වෙනදා මෙන්ම තර්ස්ටන් පාරේ ගේට්ටුවෙන් විද්‍යා පීඨයට ඇතුල් වුනෙමි. වෙනදා නොමැති විශාල වෙනසක් පීඨය පුරා  දිස්විය. පොලු මුගුරු අතින් ගස් ජේෂ්ඨයන් විශාල පිරිසක් කලබලයෙන් එහා මෙහා ගමන් කරයි. 

මා සෙමින් සෙමින් විවෘත ආපන ශාලාව වෙත පිය නැගුවෙමි. එහි කනුවකට තබා බැඳ දැමු සිසුවෙකි. ඔහු කිහිප විටක්ම දෙහිවල බස් නැවතුම් පොලේදී මා සමග කතා කර ඇති නීති පීඨයේ ජේෂ්ඨ සිසුවකු බව මම අඳුර ගතිමි. ඔහු සාමාන්‍යයෙන් බොහොම සෙමින් කතා කරන සිනහමුසු පුද්ගලයෙකි. නමුත් එදින ඔහුගේ මුවින් පෙනුනේ ඉතා තැතිගත් පෙනුමකි. කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව මම අන්ද මන්ද උනෙමි. 

උස මහත දේහයකින් හෙබි පුද්ගලයෙක් නුග ගස යට තිබූ කැඩිච්ච ගල් බංකුවක් උඩට නැග කතා කරන්න විය. මම ඔහුව හඳුනා ගතිමි. විද්‍යා පීඨයේ නිතර සැරිසැරුවත් ඔහු කලා පිඨයේ සිසුවෙකි. සිසුවෙක් කිව්වාට ඔහු අපට වඩා වසර 15 ක්  වත් වැඩිමල් ඇතැයි මට සිතෙයි. සමහර විට ඔහු වසර ගණනාවක් එකම වසරේ සිටින සිසුවෙකු විය හැක. 

දිනක් නවක වදය සඳහා ජේෂ්ඨ සිසුවෙක් (අද ඔහු ලංකාවේ සුපතල මහාචාර්යවරයෙකි) මට පොදු ශිෂ්‍ය කාමරයේදී (අපි එයට කිව්වේ කොමන් එක කියාය) මේසයක් මතට නැග එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට බණිමින් කතාවක් පවත්වන ලෙස අණ කළේය. කතා කිරීම මට කවදත් විනෝදජනක ක්‍රියාවකි. එබැවින් මා මේසය මතට නැග ඉතා උද්වේගකර කතාවක් කරමින් එවකට පැවති රජය විවේචනය කලෙමි. මෙය අවට සිටි සියළු දෙනාගේ අවධානයට පාත්‍ර විය. 

එම කතාවෙන් පසු මා බිමට බැස හතිලන විට අර උස මහත පුද්ගලයා මා වෙතට පැමිණ වතුර බෝතලයක් දිගු කළේය. ඉන් පසු පසෙක පිහිටි ආසනයක් වෙත මා රැගෙන ගිය ඔහු පවතින සමාජ විෂමතාවයන් සහ ශිෂ්‍යයන් ඊට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පිළිබඳව මට දීර්ඝ විස්තරයක් කළේය. එය විස්තරයකට වඩා අණ කිරීමකි. අවසානයේදී ඔහු පැවසුවේ ඔහු හමුදාවේ සේවය කර එයින් ඉවත් වූ අයෙකු බවයි.

නුග ගහ යට බංකුව මත සිටින උස මහත පුද්ගලයා ඉතා උස හඬින් කතා කරයි.

"අද ඉන්ඩෝ එන්නේ සයන්ස් ෆැකල්ටිය ඉවර කරලා දාන්න. උන් තමයි අපේ අරගලය පවා දෙන පරම හතුරෝ. මේ වෙලාවේ උන්ව නැති කලේ නැත්නම් උඹලා අපි ඔක්කොම ඉවරයි. උඹලාගේ මේ සටන ෆැකල්ටිය වෙනුවෙන් බව මතක තියා ගනිල්ලා". ඔහු කියාගෙන යයි. 

මම එවකට ජෝන් වේන්ගේ කව් බෝයි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වී සිටියෙමි. මේ නිසා උස මහත පුද්ගලයා ඉන්ඩෝ යනුවෙන් පවසන විට මට සිහියට ආවේ ඔළුවේ පිහාටු ගහගෙන අස්සයා පිට ගමන් කරන,  සුද්දන් මරන්නම ජිවත් වෙන (චිත්‍රපටය අපිට දෙන පණිවිඩය එයයි) රතු ඉන්දියානුවන්වය. චිත්‍රපටිය බලන විට මම සුද්දගේ පැත්තේය (චිත්‍රපටි බලන හැමෝම එහෙමය).



"උඹලා නිකන් ගුටි කන්නේ නැතුව අතට අහුවෙන ආයුධයක් අරන් ඉන්ඩන්ට නෙලපන්. මුකුත් නැත්නම් ගලක් හරි ගනින්" උස මහත පුද්ගලයා පවසයි. 

දැන් සැවොම ගල් පොලු සොයයි. මේ අතර මා වෙතට පැමිණි අපට වසරක් ජේෂ්ඨ සිසුවෙක් මගේ අතට ශල්‍ය කර්ම වලදී භාවිතා කරන මිට සහිත ඉතා මුවහත් තියුණු තලයක් (scalpel) දී "ඕනේ වුනොත් පාවිච්චි කරපන්" යයි කිවේය. අද මේ ජේෂ්ඨ අයියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහල නිලයක් දරයි. 

දැන් මම ජෝන් වේන්ට නොදෙවෙනිය. අඩුව ඇත්තේ අස්සයකු පමණි. සිසුන් සියල්ලෝම මහා හඬින් ගෝෂා කරමින් රීඩ් මාවතට මුහුණලා ඇති පිවිසුම දෙසට ඇදේ. 

"කොහොමද මචං අපි ඉන්ඩෝ අඳුන ගන්නේ" මා සමග ඉදිරියට යන මගේ වසරේ සඟයෙක් ගෙන් මම ඇසුවෙමි. ඔහුගේ අතේ දෙකේ දෙකේ පොල්ලකි. 

"අනේ මන්දා බං නෙලමු හතර අතට" මගේ මිතුරා පැවසුවේ අතේ තිබූ පොල්ලෙන් සතුරකුට ගහන ආකාරය අභිනය කරමිනි. ඔහුද කවුරුන් හෝ වීරයෙක් මනසෙහි ආරුඩ කරගෙන ඉන්න ඇත. 

රීඩ් මාවතෙන් එහා පැත්තේ තවත් මාර සෙනගකි. ඒ ඉන්ඩෝ ය. ඔවුන්ගේ හිසේ රාජාලි පිහාටු නැත. මා අවට සිටින පිරිසත් ඉන්ඩොත් අතර කිසිම වෙනසක් පෙනෙන්නට නැත. 

එක වරම රීඩ් මාවතට ඉහලින් ගඩොල් බාග පියඹා එන්න විය. මා අවට ගල් අතේ තියාගෙන සිටි පිරිස ප්‍රති පහර දෙන්න විය. මට තරමක් ඈතින් එහෙත් පෙනෙන මානයේ සිටි මගේ වසරේ සිසුවෙක් එක්වරම ඔළුව බදාගෙන පහත් විය. ඔහුගේ නම අනුර යැයි මට යාන්තමින් මතකය (වැරදි නම් නිවැරදි කරන්න). ඔහුගේ හිසෙන් ලේ ගලයි. ඒ සමගම අප ඉදිරියෙන් සිටි පිරිස අපවද තල්ලු කරගෙන පිටු පසට දුවන්න විය. අතේ තිබූ පිහි තලය කොහෙට විසි කලාදැයි මට මතක නැත. අපි නැවතත් විවෘත ආපන ශාලාව දෙසට දිව ගියෙමු. 

එදා මෙම නාටකය අවසන් වුයේ සරසවිය තුළට පොලිසිය ඇතුළු වී සිසුන්ට නිර්දය ලෙස බැටන් පහරින් සංග්‍රහ කිරීමෙන් අනතුරුවයි. බැටන් පොලු පහරක් වැදීමෙන් මගේ අත හොඳටම ඉදිමී තිබුණි. මගේ මව රිදවීමට නොහැකි බැවින් ගෙදර ගොස් මම මහා මුසාවාදයක් කිව්වෙමි; මම පැත්තකට වෙලා ඉන්න කොට ළමයි දුවගෙන ආව. ඒගොල්ලන්ව පොලිසියෙන් පැන්නුව. ළමයෙක් මගේ ඇඟේ වැදිලා මම ගල්  ගොඩක් උඩ ඇදගෙන වැටුණා ..... කතා ගොඩයි.

ඊට සති කිහිපයකට පසු අපේ නොදත් සතුරා වන ඉන්ඩන්ගේ නායක දයා පතිරණ ශිෂ්‍යයා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව සැලවිය. ඉන්ඩෝ යනු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ (independent Student Union) සාමාජිකයන්ය. ඔවුන්ට එරෙහි වුවෝ ජනතා විමුක්ති පෙරමුණට අයත් සාමාජිකයන් විය. ඉන් පසු ගතවූ වසර තුනක කාලය තුල සරසවි ශිෂ්‍යයෙකු යයි හැඳින්වීමද දැඩි ලෙස  අනතුරුදායක විය. නැවතත් සරසවි විවෘත කරන විට ඉන්ඩෝද, එදා සටන් මෙහෙය වූ ජවිපෙ සාමාජිකයෝද බොහෝ දෙනෙක් "අතුරුදන්වී" සිටියහ. අද ඔවුන් ගැන කිසිවෙකුටත් අංශු මාත්‍රයක් මතක නැත. 



මේ මහා දිග කතාව මට ලියන්න සිත් වුනේ අද ලංකාව පුරා දකින්නට හැකි ඍණාත්මක ප්‍රවනතාවයක් නිසාවෙනි. මගේ මැලේසියානු සඟයාට මා පවසා ඇත්තේ යථාර්තයක් දැයි මට ප්‍රශ්ණයක් ඇති වේ. තාරුණ්‍ය ප්‍රචණ්ඩත්වයට යොමුවීම සහ අධ්‍යාපන මට්ටම අතර සම්බන්ධයක් නැතැයි මට සිතේ. 

වරක් මට හමු වූ චීන රජයේ නිලධාරියෙක් බයිජු (ඉතා ඉහල මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති පානයක්) වීදුරු කිහිපයකින් පසු මෙසේ කීය.

"ඕනෑම පුද්ගලයකු ලවා ඔබට ඕනෑම දෙයක් කරගත හැක. අවශ්‍යවන්නේ ඔහුට අනන්‍යතා රාමුවක් තනා දීම පමණයි".

උපතින් ඔබට ඇත්තේ එකම එක අනන්‍යතාවයක් පමණකි. ඒ ගැහැණු හෝ පිරිමි බවයි. සමේ වර්ණයත් යම් පමණකට අනන්‍යතාවයක් ඔබට ලබා දෙයි. ඊට අමතරව ඔබට අනෙක් සියළුම අනන්‍යතාවයන් ලබා දෙන්නේ සමාජය විසිනි. කුලය, ආගම, ජාතිය, දේශපාලන පක්ෂය, ගුරු කුලය, සමාජ මට්ටම, ආර්ථික තලය ආදී ලේබල් ගණනාවක් සමාජය විසින් ඔබගේ ඇඟේ අලවයි. නොඑසේ නම් ඔබ ස්වේච්චාවෙන් අළවා ගනී. 

සමහර පිරිස් තමාට ඇලවූ ලේබල කිහිපයක් එකට අනා ඉතා කුඩා වපසරියක් සහිත කූඩුවකට බලෙන්ම කොටුවීම හාස්‍ය දනවයි. මීට වසර කිහිපයකට පෙර මැලේසියාවට පැමිණි ලාංකික කලාකරුවෙක් ඔහුව අනෙක් අයට හඳුන්වා දුන්නේ "මම උඩරට ගොවිගම සිංහල බෞද්ධයෙක්" කියාය. එය ඔහු උජාරුවෙන් පැවසුවත් එහි සිටි ලාංකික සම්භවයක් සහිත මැලේසියානුවන්ට ඔහු විකාරයක් විය. මේ සිද්ධියෙන් වසර කිහිපයකට පසුද එදා සිටි පිරිස නැවත එකතු වූ විට මේ කලාකරුවා විකට මාතෘකාවක් බවට පත්වෙයි. 

ඔබට ලේබලයක් වදින හැම විටම ඊට සමගාමිව සතුරෙකු බිහි වේ. එනම් එම ලේබලයට අයත් සමුහයෙන් පිටත සිටින්නන්ය. සතුරාගෙන් ඔබ සමුහය බේරා ගත යුතුය. ඒ නිසා ඔබ සතුරාට පහර දිය යුතුය. සමුහ නායකයන් වන ලේබලයේ අයිතිකරුවන් බේරා ගැනීම ලේබල්ධාරියාගේ පරම යුතු කමයි. 

ලංකාවට පැමිණි පෘතුගීසින් අතලොස්ස රටෙන් විශාල ප්‍රමාණයක් තනිව සටන් කර අල්ලා ගත්තා යයි ඔබ සිතනවද? ඔවුන් කලේ මුහුදුබඩ ජිවත් වූ ලාංකිකයන් කතෝලිකයන් ලෙස ලේබල් කිරීමයි. මෙහිදී කතෝලික දර්ශණය තුලින් එම සිංහලයාට හෝ දෙමළාට යහපතක් කිරීම පෘතුගීසීන්ගේ පරමාර්ථය වන්න ඇතැයි මම කිසිසේත් නොසිතමි. සිදුවුයේ මෙම ලාංකිකයන්ට කතෝලික ලේබලය අලවා ඔවුන්ගේ නව කුලකය රැක ගැනීම සඳහා ඔවුන්ගේම පරණ කුලකය (දැන් ඔවුන්ගේ සතුරන්) හා යුද්ධයට යැවීමයි.

ඉහත කතාවේ උස මහත පුද්ගලයා මේ සමුහකරණය සඳහා ගජ හපනෙක් යැයි මට සිතෙයි. සතුරන් හෝ මිතුරන් ගැන මෙලෝ හසරක් නොදත් අප ගල් පොලු අතට දී යුද්ධයට යැවීම සඳහා ඔහු ක්‍ෂණයකින් අපේ නළලේ ලේබලයක් ඇලවීය. ඒ ෆැකල්ටියයි. ඒ අතින් ඔහු පෘතුගීසි කාරයන්ටත් වඩා ඉදිරියෙනි.

අද සමාජය පුරා පිළිලයක් සේ පැතිරෙන්නේ අනාදිමත් කාලයක පටන් පැවතෙන මෙම කුලක හෝ සමූහ ලේබල් කිරීමයි. 

මා දකින ආකාරයට බොහෝ මුල් ආගමික නායකයින් සිදු කර ඇත්තේ අවට සමාජයෙන් සහ පරිසරයෙන් සිදුවන අතවරයන්ගෙන් තම පිරිස මුදවා ගැනීම සඳහා ඔවුන් ලේබල් ගත කිරීමයි. ඊට පසුව ශතවර්ෂ ගණනාවක් තුල බිහි වූ නායකයන් බොහෝ දෙනෙකු කර ඇත්තේ තමන්ගේ පැවැත්ම සඳහා ලේබලය අනුසාරයෙන් අනුගාමිකයා වහලෙකු කරගැනීමයි. 



"ඔබ වෙනුවෙන් ඔබ සටන් කරන්න". මෙය මහා දියාරු පාඨයකි. "අපි වෙනුවෙන් අපි" ව්‍යාපාරය සිංදු දෙකකට සිමා විය. 

"දෙවියන්වහන්සේ වෙනුවෙන් යුධ වදිව්"

"බුදුදහම බේරාගැනීමට සටන් කරව්"

"සමාජවාදය වෙනුවෙන් අරඟල කරව්"

"මාතෘභූමිය වෙනුවෙන් සතුරන් නසා දමව්"

මේවා ඉතා ආකර්ෂණීය සටන් පාඨය.

තම පැවැත්ම වෙනුවෙන් සමුහකරණය වීම මනුෂ්‍ය ස්වභාවයයි. එහි වරදක් මම නොදකිමි. එහෙත් අද ලෝකය වෙනස් වී ඇත. මීට ශතවර්ෂ කිහිපයකට පෙර සතුරු බලවේග වලට එරෙහිව කටයුතු කල ආකාරයට වඩා දැන් එය කලයුතු  තත්වය වෙනස්ය. 

දෙවියන්වහන්සේ වෙනුවෙන් යුධ වැදිය යුත්තේ ඔබ නම් ඔහුට සර්වබලධාරී යයි උපසර්ගයක් යෙදීම හාස්‍යජනකය. බුද්ධාගම බේරා ගැනීමට ඔබ සිතන විටම බුදු දහමේ හරය ඔබගෙන් ඈත් වී යයි. මන්ද එය පිළිපැදිය යුතු දර්ශනයක් මිස බේරා ගත යුතු භුතාර්ථයක් නොවන බැවිනි. 

එදා සිට අද දක්වාම ඔබේ නළලේ ලේබලයක් අලවා, අතට කඩුවක් දී ඔබව යුද්ධයට තල්ලු කලේ රජුන්ගේ, ආගමික නායකයන්ගේ, සාමාජීය නායකයන්ගේ පැවැත්ම උදෙසා බව ඔබ තේරුම් ගත් දින ඔබ වහල් බවෙන් නිදහස් වනු ඇත. 

ඔබට ආගමක් අවශ්‍ය අධ්‍යාත්මික සැනසීම උදෙසා බව ඔබ පිලිගන්නෙහිද? ආගමක් යනු හුදෙක් සංඛල්පයකි. එය ජීවමාන කරන්නේ ඒ මත යැපෙන පිරිසයි. යම් ආගමික සංඛල්පයක් තුලින් අධ්‍යාත්මික සැනසීම ලබා ගැනීමට නම් ඔබ එම ධර්මයෙහි හැසිරිය යුතුය. මේ සඳහා ඔබට සමූහකරණය වීමේ අවශ්‍යතාවයක් නැත (අවස්ථා කිහිපයකදී හැර). ඔබ ආගමික වත් පිළිවෙත් පුරණ විට, එයින් ඔබට සැනසීම ලැබෙන විට, ඔබ අවට සිටින්නන්ද එය කිරීමට හුරුවෙයි. එය ඊළඟ පරපුරටද සම්ප්‍රේෂණය වෙයි. ආගමක පැවතීම සිදුවන්නේ මෙසේය. 

සමුහකරණය වී ආගම රැකගැනීමට සටන් වැදීමේ අවශ්‍යතාවය පැන නැගෙන්නේ ආගමික නායකයන් සහ ඔවුන් මත යැපෙන දේශපාලුවන්ගේ වුවමනාව උදෙසාය. අද ලංකාව දෙස බැලුවොත් මෙය හොඳින් වැටහෙනු ඇත. ආගම කුමක්දැයි යන්නෙන් ස්වායත්තව පුජ්‍ය පක්ෂ නායකත්වය සහ දේශපාලුවන් සහජීවනයෙන් ක්‍රියා කරයි. ඒ ඔවුන්ගේ පැවැත්ම සහ සුඛ විහරණය වෙනුවෙනි. අවාසනාවන්ත කරුණ නම් මොවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මානසික වහලුන් බවට පත් වූ සාමාන්‍ය ජනතාව එකිනෙකා මරා ගැනීමයි. 

ආගම එක් ලේබලයක් පමණි. අද වන විට සමාජය, තමා පාවිච්චි කරන දන්තාලේපයේ සිට දහසකුත් කාරණා වෙනුවෙන් වෙන වෙනම සමුහකරණය වී ඇත. සමාජය, සමුහකරණයේ වාසි පසෙක තබා ලේබලය වෙනුවෙන් යුධ වැදීම මෙහි ඇති ඛේදනීය තත්වයයි. 

සමුහකරණ ක්‍රියාවලියේදී තාරුණ්‍ය පහසු ගොදුරක් වෙයි. මීට හේතු කිහිපයකි. එකක් මුහුකුරා නොගිය  සමාජය පිලිබඳ දැනුම සහ අත්දැකීම්ය. අනෙක් අතට තාරුණ්‍යයටම ආවේනික වූ  වීරයන් අනුගමනය කිරීම සහ තනි තනි වශයෙන් කටයුතු කිරීමට ඇති සමාජ භීතියයි. තම සමුහය සමග සිටින විට දඩබ්බර කුළු මීමුන් සේ හැසිරෙන බොහෝ තරුණයෝ තනිව සිටින විට කුලෑටි මීමින්නට නොදෙවෙනි වෙති. විද්‍යා පීඨයට පැමිණි උස මහත පුද්ගලයාගේ සිට අද වන විට කසා වතින් හෝ  සුදු වතින් සැරසුන පුජ්‍ය පක්‍ෂය දක්වා ආයුධය කරගන්නේ මෙම තාරුණ්‍යයේ හැසිරීම් ස්වභාවයයි. 

තාරුණ්‍යයේ මෙම හැඩතල වෙනස් කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියකි. ඊට වඩා පහසු ක්‍රමය නම් වැඩිහිටියන් ලබා දෙන නායකත්ව දිශානතිය නිවැරදි කිරීමයි. සමුහකරණය යහ මගට ජනතාව යොමු කිරීම සඳහා යොදා ගැනීමට සමාජ නායකත්වයට බල කිරීම වැදගත්ය. එසේම සමුහ ලේබලය රැකගැනීම සඳහා සටන් කිරීම වෙනුවට සමුහය ඵලදායි ක්‍රියාවලියකට යොමු වනසේ ජන මනස සකස් කිරීම යමක් තේරුම් ගැනීමට තරම් මානසික වර්ධනයක් ඇති සියලු දෙනාගේ යුතුකමකි. 

මේ වන විට සමාජ ජාලා තුල වැඩි වශයෙන් පළවන්නේ ජන මනස දුගතියට යොමු කරන කාරණාය. හැකි නම් ඔබ ඉන් මිදී සමාජයට අර්ථවත් දේ පළ කිරීමටත් අනර්ථකාරී දේ ව්‍යාප්ත කිරීමෙන් වැළකීමටත් අධිෂ්ඨාන කරගන්න. අපට යහපත් සමාජයක් ලෙස ඉදිරියට ගමන් කල හැක්කේ එවිටයි. 



Saturday, 6 October 2018

රටින් එන පැණිබීම නොබී ඉන්න හැකි නම්



ඒ වෙනස අදම .....

රට වෙනුවෙන් වෙනසක් විය යුතු බව අද බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වෙනස ඇත්තේ අප අතේ මිස දේශපලුවාගේ අතේ නොවන බව සිතට ගන්න. අප වෙනස් වන විට දේශපලුවාද ඉබේටම වෙනස් වෙයි. ඒ ඔහුද අපම නිසාය. 


අංක - 2: රටින් එන බීම නොබී ඉන්න හැකි නම්


ඒ 70 දශකයේ මැද භාගය යයි සිතමි. කුඩා කොලු ගැටයකු වූ මම දෙමව්පියන් සමග ළඟ ඥාතියෙකුගේ මල ගෙදරකට පැමිණ සිටියෙමි. නිවසට යාබදව අටවා තිබු කුඩාරමක් සෙවනේ සිටින අපට නෑදෑ වන මාමා කෙනෙකුගේ ගෝරනාඩුවක් ඇසුනි. 

"කව්ද මිනිහෝ කිව්වේ මේ කොත්තමල්ලි බීම උස්සන් එන්න කියල. ඒ මදිවට කේස් දෙකක් ගෙනල්ලා".

"අලියා බීම තිබුනේ නැහැ අංකල්. අපි ඒජන්ට් ලගටත් ගියා. ඔක්කොම තැන්වල එක බෝතලයක්වත් නැහැ" තරුණයන් දෙදෙනෙක් බයාදු ගතියෙන් තෙපලයි.

"එහෙම කියල කොහොමද බං මේ දහ ජරාව මිනිස්සුන්ට අල්ලන්නේ" මාමා බිඳුණු හඬින් කීය. 

මීට වසර 40ට පෙර ඒ ගෝරනාඩුව දැමූ මාමා නව සහශ්‍රයට පිය නොනගාම අප අතරින් වෙන්විය. එහෙත් එදා ඔහු අමුත්තන්ට සංග්‍රහ කිරීමට අතිශයින් පැකිළුණු කොත්තමල්ලි බීම අද මුළු මහත් ලංකාවම නොපැකිල කටේ හලා ගනී. ඒ කොකා කෝලාය. 

එදා බහුතරයක් ජනතාව අප්‍රිය කල මේ විදේශීය පානය මෙතරම් මහජනතාව අතර ප්‍රචලිත වුයේ කෙසේද? මේ සඳහා ව්‍යාපාරික විශ්ලේෂණයක් කල යුතුය. එහෙත් වැදගත් වන්නේ මේ විදේශීය පානයන්ගෙන් රටට සිදු වූ අහිතකර බලපෑම් පිලිබඳව සලකා බැලීමයි.

විදේශයන්ගෙන් ගෙන්වා මෙරටට හුරු කල පැණිබීම වර්ග ලංකාවට විදේශ විනිමය බිලියන ගණනින් අහිමි කළා පමණක් නොවේ. පැවති හා අළුතින් බිහිවීමට තිබූ දේශීය නිෂ්පාදන ගණනාවකට මග අහුරාලීය. ලාංකිකයා තුල තිබූ අභිමානය බිඳ පරදෙස් ගැති චින්තනයක් බිහි කිරීමෙහි ලා විශාල කාර්යභාරයක් ඉටුකළේය. තවමත් නිසි ලෙස අධ්‍යනය වී නොමැති දරුණු පරිසර හානියක් අදාළ ව්‍යාපාර පාදක කරගෙන සිදුවන බවටද වාර්තාවේ. එමතුද නොව, ලොව පුරා පළවූ නොයෙකුත් පත්‍රිකා සහ වෛද්‍ය වාර්තා අනුව මෙම බීම වර්ග මගින් සිරුරට කෙරෙනා අහිතකර බලපෑම් පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. මෙම පානයන් නිෂ්පාදනය කරන රටවල පවා ඒවා පරිභෝජනය පිළිබඳව ජනතාව තුලින්ම ප්‍රබල විරෝධයක් මතුවෙද්දී, අප වැනි නොදියුණු රටවල මෙම පානයන් සරුවට විකිනෙයි.

කොත්තමල්ලි ඩ්‍රින්ක් එකේ සිට lifestyle එකක් දක්වා පැමිණීමට මෙම විදේශීය පානයන්ට ගතවුයේ ඉතා සුළු කාලයකි. එසේ නම් අභිමානවත් ජාතියක් ලෙස එය ප්‍රතිවර්තනය කිරීමටද කෙටි කාලයක් තුලදී අපට හැකි විය යුතුය. 

අද සිට ඔබට හැකි නම් මෙම විදේශීය පැණිබීම පානය සම්පුර්ණයෙන්ම නතර කිරීමට එයම රට ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත. මේ සඳහා දැනට ඇති විකල්පය තැඹිලි සහ කුරුම්බාය. කුරුම්බා වතුර පැකට් හෝ බෝතල් කර විකිණීම මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, පිලිපීනය ආදී රටවල සරුවට කෙරෙයි. එහෙත් තැඹිලි එසේ ලබාගත හැකි අවස්ථා ඉතා විරලය. මන්ද තැඹිලි පිළිබඳව බොහෝ රටවල් දන්නේ වත් නැති නිසාය. එසේ නම් මේ අංශයෙන් අපිට ඉහලට ඒමට නොහැකිද? ඕනෑම රටක නිෂ්පාදනයක් බිහිවීම සඳහා දේශීය වෙළඳ පොළක් තිබිය යුතුය. එය සකසා දීම ඔබේ යුතුකම නොවේද? මේ වන විට ලංකාවේද තැඹිලි සහ කුරුම්බා බෝතල් කිරීමේ ව්‍යාපාරයක් තිබුනත්, විදේශීය පැණිබීම අලෙවිය හා සසඳන විට එය ඉතා කුඩා ව්‍යාපාරයකි. 

මීට අමතරව කහට වැඩි තේ වීදුරු භාගයකට දෙහි ස්වල්පයක්, සීනි හෝ මීපැණි කලවම් කර එය අයිස් වලින් පුරවා සාදන දෙහි-අයිස් තේ පානය ඉතා සුමිහිරිය. එය මැලේසියාවේ ප්‍රධාන පානයකි. දෙහි වෙනුවට ලංකාවේද ඉතා සරුවට වැවෙන පොකුරු නාරං ගෙඩියක් මිරිකා ගෙඩිය පිටින්ම දැමීම මැලේසියාවේ සිරිතයි. එය ලාංකිකයාට හුරු කිරීම අපහසු කටයුත්තක් යැයි ඔබ සිතනවාද?

කොකා කෝලා වෙනුවට සැබෑ කොත්තමල්ලි පානයක්, බෙලිමල් වතුර, රණවරා, ඉරමුසු මෙන්ම දෙහි-අයිස් තේ ආදී පැකට්/බෝතල් කල හැකි බීම වර්ග ගණනාවක් මගේ මතකයට පැමිණෙයි. මෙම ව්‍යාපාරය ලෝකයේ බොහෝ රටවල ඉතා ප්‍රචලිතය. 

මේ යෝජනාව තුලින්, ලංකාවේ මෙම විදෙස් බීම අසුරාලන ව්‍යාපාරය කඩා වැටෙනු ඇත. රැකියා ගණනාවක් තාවකාලිකව නැතිවනු ඇත. එහෙත් ඒ සමගම ගොඩනැගෙන දේශීය ව්‍යාපාර එම අඩුව සපුරා තවත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කරනු ඇත. රටට විදේශ විනිමය ඉපැයෙන අතරම මෙතෙක් අප රටින් එතෙරට ඇදී ගිය විදේශ විනිමය විශාල ප්‍රමානයක් රට තුල සුරැකෙනු ඇත.

මේ ඔබට රටේ දියුණුව සඳහා මෙන්ම ඔබේ යහපත් සෞඛ්‍යය සඳහාද පහසුවෙන්ම දායක විය හැකි අනගි අවස්ථාවකි. 









ආහාර බඩගින්නට මිස.......



ඒ වෙනස අදම .....

රට වෙනුවෙන් වෙනසක් විය යුතු බව අද බොහෝ දෙනෙකුගේ අදහසයි. ඒ වෙනස ඇත්තේ අප අතේ මිස දේශපලුවාගේ අතේ නොවන බව සිතට ගන්න. අප වෙනස් වන විට දේශපලුවාද ඉබේටම වෙනස් වෙයි. ඒ ඔහුද අපම නිසාය. 


අංක - 1: ආහාර බඩගින්නට මිස පන්ති ප්‍රදර්ශනයට නොවේ 


මීට දෙවරකට පමණ පෙර කල සංචාරයකදී මම රෝමයේ අවන්හලකට ගොඩ වුනෙමි. එහි සෑම මේසයක් මතම කරදාසි ඝනකයක් තබා තිබුණි. එම ඝනකයේ සිරස් පැති හතරේ අලංකාර කෑම බන්දේසියක රූපයකට යටින් වැකි දෙකක් ලියා ඇත. හතර පැත්තේම  වුයේ එකම අදහස භාෂා හතරකින් බව මට හැඟී ගියේය. ඉංග්‍රීසි බසින් තිබු වැකි දෙකෙහි සිංහල පරිවර්තනය ආසන්න වශයෙන් මෙසේය.

අප ලාබ ලබන්නේ සපයන ආහාර මත මිස ඔබගේ නාස්තිය මත නොවේ.
ඔබට අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ඇනවුම් කරන්න.

යුරෝපයට මෙය විශේෂයෙන් මතක් කර දිය යුතු පණිවිඩයක් නොවේ. එහෙත් අවට බලන විට මට මෙහි අවශ්‍යතාවය වැටහුණි. එහි සිටි බොහෝ දෙනෙක් විදේශිකයෝය. එම ප්‍රදේශය ලෝක ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයකි.

ලාංකිකයා අතර පවතින ආහාර නාස්තිය පිළිබඳව මම අත්දැකීමෙන්ම දන්නෙමි. මෙහිදී වඩාත්ම අවිචරශීලි ආහාර භාවිතය ඇත්තේ පහල මධ්‍යම පාන්තිකයන් තුල වීම ඛේදජනකය. විශේෂයෙන්ම බුෆේ ක්‍රමයට ආහාර සපයන උත්සවවලදී පිගාන ඉතිරෙන තරමට කෑම බෙදාගෙන ඉන් තුනෙන් දෙකක් අපතේ යවන උදවිය අප අනන්තවත් දැක ඇත. පිරිසක් සමග අවන්හලකට ගිය විටද තම පසුම්බියට ඉතා අධික පීඩනයක් දැනෙන සේ  සත්කාරකයා ආහාර පාන ඇනවුම් කිරීම නිතර දැකිය හැක. මෙය ආගන්තුක සත්කාරයකට වඩා තම ධනවත් බව ප්‍රදර්ශනය කිරීමක් බව නොරහසකි. 

මීට දශක දෙකකට පෙර මම මේ පිළිබඳව ප්‍රථම පාඩම ඉගෙන ගත්තේ මගේ ස්වීඩන් ජාතික මිතුරන්ගෙනි. වරක් අපේ අසල්වැසි යුවලකට රාත්‍රී භෝජනය සඳහා අපි ආරාධනා කළෙමු. සාමාන්‍යයෙන් ලංකාවේදී කරන්නාක් මෙන් අප ව්‍යංජන 5-6 ක් සමග බත් සහ පාන් වර්ග මේසය මත තබා තිබුණි. 

"කී දෙනෙක් අද මෙම සාදයට එනවාද?" අප මිතුරා විමසීය.

"මෙය සාදයක් නොවේ. ඔබ දෙපළට පමණයි අපි ආරාධනා කලේ" මම පැවසූ විට ඔවුහු නෙතින් නෙත බලා ගත්තෝය.  

ආහාර ගන්නා විට ඔවුන් සෑම ආහාරයකින්ම ඉතා ස්වල්පයක් පිගානට බෙදා ගෙන එහි රස බලයි. එයට ඔවුන් කැමති නම්, ඉන් පසු මදින් මද තරමක් විශාල ප්‍රමාණ වලින් බෙදාගෙන එය නිමා වූ පසු අවශ්‍ය නම් නැවත බෙදා ගනී. එලෙසම තමාට අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගැනීමට ඔවුන් නොපැකිලෙයි. ඒ සඳහා කවුරුන් හෝ කියන තෙක් සිටීම ඔවුන්ගේ ක්‍රමය නොවේ. පෙරැත්ත කරමින් කෑම බෙදීම ඔවුන්ව තැති ගන්වයි. අපි වරක් මේ වරද කල අතර ඉන් පසු එයින් පාඩමක් ඉගෙන ගත්තෙමු. 

අප මොන තරම් පුරාජේරු කතා කීවත්, මේ රටේ අද රෑ කුසට අහරක් නොමැතිව නින්දට යන වැඩිහිටියන්, දරුවන්, රෝගීන්, ගර්බණි කාන්තාවන්, කිරිදෙන මව්වරුන් කී ලක්ෂයක් ඇත්දැයි ඔබ සිතනවාද. අප බත් මිටක් විසි කරන විට ඒ අපතේ යන්නේ බඩවල් කීයක් පුරවන්න තිබූ අවස්ථාවක් දැයි ඔබට සිතේ නම් නැවතත් ඔබ ඒ වරද නොකරනු ඇත. 

ඔබට අද සිට තම කුසට සරිලන අහර ප්‍රමාණයෙන් පමණක් සෑහී නාස්තිය අවම කරගත හැකි නම් ඔබ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරන්නෙකු වනු ඇත.