"1965-70 සමයේ ජිවත් වූ සිංගප්පූරු වැසියකු සමග කතා කරන්න. එම යුගය වර්තමාන ලංකාවේ තිරගතවන බව ඔබට දැනේවි".
මා ඉහත පෝස්ට් එක පළකලේ මේ ලිපියට ප්‍රවිෂ්ඨයක් ලෙසය. මා සිතුවා සේම මා දෙන පණිවිඩය නිවැරදිව කියවා ගත හැකි අය වුයේ ඉතාම අල්පයකි. එයට හේතුව ලංකාවේ ඇති "ලේබල්ගත කාරයන්" මානසිකත්වයයි.
කමෙන්ට් දැමූ බොහෝ දෙනෙක් සිංගප්පුරු වැසියන් දීර්ඝ කාලයක් ඇසුරු කර ඇති හෝ සිංගප්පුරුවට නිතර ආ ගිය අය නොවේ. ඔවුන් තුල ඇත්තේ සිංගප්පුරුව යනු පාරාදීසයක් වැනි පුරවරයක් යන මනෝ දර්ශනයයි.
NPP කාරයන් සිතුවේ මම මේ රජය විසින් ලංකාව මේ පාරාදීසය කරා කැඳවාගෙන යන බව ප්‍රකාශ කරන බවයි. ඔවුන් ඉමහත්සේ සතුටු විය. NPP විරෝධීන් (UNP, SJB, පොහොට්ටු සහ අනෙකුත් ත්‍රී වීලර් කාරයන්) සිතුවේ මා රජයට කඩේ යන බවයි. ඔවුන් මේ කරුණ ක්‍රෝධයටත් උපහාසයටත් ලක් කරන්න විය.
මා සඳහන් කලේ ඊට වඩා ඉතා ගැඹුරින් අල්ලා ගත යුතු අනාගත තත්වය පිළිබඳවයි.
1965 ලී ක්වාන් යූ (LKY) අතට ගත්තේ කන්න අන්නාසි හැර වෙන යමක් නැති, බොන්න වතුර නැති, මෙලෝ ස්වභාවික සම්පතක් නැති භූමි භාගයක් සමග මිලියන දෙකක කුසගිනි හමුදාවකි. ලංඩන් - කේම්බ්‍රිජ් අධ්‍යාපනය ලද ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්නෙහි දේශපානය කියවූ ලී සිය පළමු වසර ඉතා සංසුන්ව සාමකාමිව සමානාත්මතාවයෙන් පාලනය කිරීමට උත්සහ කල බව එකල යමක් තේරෙන වයසේ වූ අද වයෝවෘද්ධ පුරවැසියන් සඳහන් කරයි.
එහෙත් ඔහුගේ විරුද්ධවාදීන් මාධ්‍ය සමග එකතු වී විශාල රාජ්‍ය විරෝධයක් රට තුල ගොඩනගන්න විය. මේ අතර අන්ත කොමියුනිස්ට්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, මෙන්ම එතෙක් කල් නොමනා අන්දමින් ධනය ඉපයූ ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය සේවකයන්ද විය. අතරින් පතර ඔහුගේම රජයේ සමීපතමයෝද ඔහුට වක්‍රාකාරයෙන් අරියාදු කරන්න විය.
සිංගප්පූරුව මැලේසියාවෙන් නෙරපා හැරීමෙන් වසරකට පමණ පසු එනම් 1966 වන විට, ඔහුට තව දුරටත් තමා ගමන් කල බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා නොහැකි බව අවබෝධ විය. රටේ බහුතරයක් කුමන තත්වයක් යටතේ වුවද තමන් සමග සිටින බව ඔහුට තහවුරු වී තිබුණි (ඒ ඔවුන්ට වෙන අතක් නොතිබූ බැවිනි). ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට වඩා ආර්ථික සංවර්ධනය, සමාජ ස්ථාවරත්වය සහ ජාතික පැවැත්මට ප්‍රමුඛත්වය දෙමින් ඉහළ සිට පහළට, ඒකාධිපති පාලන ආකෘතියක් සම්පූර්ණයෙන්ම වැළඳ ගත්තේය. ඔහුගේ ඒකාධිපතිවාදය, දෘෂ්ටිවාදී නොව ප්‍රායෝගික - විනයගරුක, සමෘද්ධිමත් සහ ගෝලීය වශයෙන් තරඟකාරී සිංගප්පූරුවක් පිළිබඳ ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ ආයුධයක් විය.
සිංගප්පූරුව එවකට මුහුණ දෙන ආර්ථිකය එකතැන පල්වීම, වාර්ගික ආරවුල් සහ භූ දේශපාලනික තර්ජන ඔහුගේ ප්‍රධාන අවධානයන් විය. මේ ගැටළුවලට පිළිතුරු සෙවීමට1966 දී ඔහු තම වෙස් මුහුණ වෙනස් කරගත්තේය.
LKY රජය අභ්‍යන්තර ආරක්ෂක පනත (ISA) යොදාගෙන දේශපාලන විරුද්ධවාදීන් සහ ක්‍රියාකාරීන් විධිමත් චෝදනාවලින් තොරව රඳවා තබා ගැනීම බහුලව සිදු කළේය. බරිසාන් සොසියාලිස් (Barisan Sosialis) වැනි විරුද්ධ පක්ෂ සාමාජිකයින් සිරගත කිරීම හෝ පිටුවහල් කිරීම, සමහර දේශපාලන ව්‍යාපාර දුර්වල කරමින් දැඩි මාධ්‍ය වාරණය සහ පාලනය මෙකල සාමාන්‍ය තත්වයක් විය. පුවත්පත් සහ මුද්‍රණාල පනත මගින් සියලුම පුවත්පත් රාජ්‍යයට පක්ෂපාතීව පවතින බව සහතික විය යුතු යයි අණ කෙරුණි. රජය විවේචනය කරන විදේශීය මාධ්‍ය ආයතන සීමා කරන ලදී. LKY විශ්වාස කළේ දේශපාලන අස්ථාවරත්වය, අභ්‍යන්තර ව්‍යාකූලත්වයට හෝ විදේශීය මැදිහත්වීමට හේතු විය හැකි බවයි.
ගම්බද සහ නාගරික පැල්පත් නගරවල පදිංචිකරුවන් සහ පැල්පත්වාසීන් රජය විසින් ඉදිකරන ලද නිවාස සංවර්ධන මණ්ඩලයේ (HDB) මහල් නිවාස වෙත බලහත්කාරයෙන් ගෙන යන ලදී. වාර්ගික වාසස්ථාන වැලැක්වීම සඳහා, සිංගප්පූරුව HDB මහල් නිවාසවල වාර්ගික කෝටා ක්‍රියාත්මක කළ අතර, මැලේ, චීන සහ ඉන්දියානුවන් මිශ්‍ර ප්‍රජාවන් තුළ ජීවත් වීම සහතික කළේය. LKY විශ්වාස කළේ වෙන් වූ ප්‍රජාවන් වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කරන බවයි. මුඩුක්කු සහ ජනාකීර්ණ ගම්මාන ආර්ථික ප්‍රගතියට බාධාවක් ලෙස ඔහු සැලකීය. ඒ වෙනුවට ජනතාව උස් මහල් නිවාස වෙත ගෙන යාමෙන් සංවිධිත නාගරික සංවර්ධනයට සහ යටිතල පහසුකම් සැලසුම් කිරීමට ඉඩ සැලසෙන බව ඔහු විශ්වාස කළේය.
මුලදී අධික දරිද්‍ර තත්වයෙන් පෙලෙන ජනතාව කැමැත්තෙන් මේ ව්‍යාපෘතියට එකඟ වුවත් තමන්ට යම් භූමි අයිතියක් ඇතැයි සිතූ සමහර මුඩුක්කු සහ පැල්පත් වාසින් අතරින් පසුව යම් විරෝධතාවයක් මතුවිය. නමුත් පොලිසිය හා හමුදාව හමුවේ ඔවුන් නිහඬ විය.
ශ්‍රම පිරිවැය අඩු මට්ටමක තබා ගැනීමට සහ විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට රජය වැටුප් වැඩිකිරීම් යටපත් කළේය. සාමාජික ස්වාධීන කම්කරු සංගම් අහෝසි කරමින් ජාතික වෘත්තීය සමිති සම්මේලනය (NTUC) රාජ්‍ය පාලනයට යටත් කළේය.
වැඩ වර්ජන සාපරාධී ලෙස සලකනු ලැබූ අතර, වැඩ වර්ජන කරන කම්කරුවන් සිරගත කිරීම් ඇතුළු දැඩි දඬුවම්වලට මුහුණ දුන්හ. LKY සිංගප්පූරුව වේගයෙන් කාර්මීකරණය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. ශ්‍රමය ලාභදායී ලෙස තබා ගැනීම සහ බාධා කිරීම් වැළැක්වීම නිසා රට බහුජාතික සමාගම් (MNCs) වෙත ආකර්ශනීය කළේය. පාලනය නොකළ කම්කරු ක්‍රියාකාරකම් සහ රජයේ වැරදි කළමනාකරණය හේතුවෙන් අලුතින් ස්වාධීන වූ බොහෝ ජාතීන් (උදා: අප්‍රිකාවේ) දුක් විඳිති. සේවක නිදහස වෙනුවට ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම මගින් සිංගප්පූරුව මෙම උගුල් මග හැරියේය.
ඉංග්‍රීසි භාෂාව පාසල්වල ප්‍රාථමික භාෂාව බවට පත් කළ අතර මැන්ඩරින්, මැලේ සහ දෙමළ යන භාෂා දෙවන භාෂා ලෙස ඉගැන්වීය. චීන තරුණයින් අතර ඇතිවිය හැකි රැඩිකල් හැඟීම් මැඩපැවැත්වීම සඳහා රජය චීන මාධ්‍ය පාසල් වසා දැමීය. විනයගරුක සමාජයක් නිර්මාණය කිරීම සඳහා කෙළ ගැසීම, කුණු දැමීම සහ චුයින්ගම්වලට දැඩි දඩයක් පැනවීය නැත්නම් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. දැඩි මත්ද්‍රව්‍ය නීතිවලට සුළු ජාවාරම් සඳහා පවා මරණ දණ්ඩනය ඇතුළත් විය.
සිංගප්පූරුව මූල්‍ය හා තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙම භාෂා ප්‍රතිපත්තිය උපකාරී විය. LKY සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යය ජාතික වටිනාකම් ලෙස විශ්වාස කළේ විනය, අධිකාරියට ගරු කිරීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම බවයි. මේ දැඩි නීති මගින් සිංගප්පූරුව අවුල් සහගත පශ්චාත් යටත් විජිත රාජ්‍යයන්ගෙන් වෙනස් කරමින් පිරිසිදු, කාර්යක්‍ෂම සහ මනා පිළිවෙළක් ඇති සමාජයක් සහතික කළේය.
LKY විසින් උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන්ට වැඩිපුර දරුවන් සිටිය යුතු බවට යෝජනා කළ අතර, අඩු අධ්‍යාපනය ලැබූ කාන්තාවන් ප්‍රජනනය කිරීම අධෛර්යමත් කිරීමට වැඩසටහන් දියත් කළේය. ඔහු විශ්වාස කළේ එක් පරම්පරාවක බුද්ධිය (intelligence) වර්ධනය කල විට එය පාරම්පාරිකව ඉදිරියට යන බවයි. සිංගප්පූරුවේ දිගුකාලීන ප්‍රගතිය රඳා පවතින්නේ බුද්ධිමත් ජනගහනයක් මත බව LKY ගේ අදහස විය.
LKY ට හරිගියාද වැරදුනාද යන්න මේ වන විට ඉතිහාසය විසින් තීරණය කර ඇත.
තඹුත්තේගම මාධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණ පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලැබූ අනුර කුමාර දිසානායක යන ගමන දෙස අපි බලා ඉඳිමු.
විදේශීය ඇසින් ශ්‍රී ලංකාව - ලී ක්වාන් යූ
ReplyDeleteසුචරිත ගම්ලත් මහතාගේ පරිවර්තනය , මේක කියවපු අයත් හිතුවේ මම සිංගප්පුරුවක් කරන්න කතා කරනව කියල .
ReplyDelete